eea3d420722c9693fc817e6e05322801--art-world-art-is

සෞන්දර්ය පිළිබඳ අපගේ සාකච්ඡාවේ දී සංවාදයට ගත යුතු ප්‍රධාන පෙළේ අදහසක් ලෙසට ඉමැනුවෙල් කාන්ට්ගේ උත්කෘෂ්ටබව (Sublime) නම් අදහස සලකා බැලිය හැකිය. මෙම අදහස අප පසුගිය ලිපියේ ද සාකච්ඡා කරන ලදි. නමුත් මෙහිදී නැවත එය පැහැදිලි කරගැනීමට අදහස් කරමු. The Day after tomorrow චිත්‍රපටයෙන් අපට මෙම සංකල්පය වටහාගත හැකිය. එහි ලෝකය විනාශ වී ඇමරිකානු ලිබර්ටි ප්‍රතිමාව පවා වැසී යන මට්ටමට සුනාමි ඇති වේ. ලෝකයම සුන්බුන් ගොඩකි. ඒ අතර පියෙකු තම පුතා සොයා යයි. ඒ උත්සහය කළ හැක්කේ මිනිසාට පමණි. එය උත්කෘෂ්ට වේ. එය භාෂාවෙන් තේරුම් කළ නොහැක.

මෙහි මූලික අදහස ලෙසට කාන්ට් මූලික කරුණු ත්‍රිත්වයක් සඳහන් කරයි. එනම් මූලිකව අප සෞන්දර්ය වස්තුවක් ඉදිරිපිටට යාමේ දී අප ඒ දෙස බලයි. වෙනත් වචන වලින් කියන්නේ නම් එය සමඟ අපගේ පංචේන්ද්‍රිය සම්බන්ධයක් හටගනී. දෙවැන්න වන්නේ එක්තරා ආකාරයකට අප දකින දේ පිළිබඳව අවබෝධ කර ගැනීමයි. අප දකින දේ කුමක් ද කියා අවබෝධයකට එන්න හැම විටම අප උත්සහ කරයි. තුන්වැනියට කාන්ට් දක්වන්නේ අප එම අවබෝධ කරගත් දෙය අර්ථකථනය කිරීමට උත්සහ ගන්නා බවයි. එහිදී ප්‍රධාන වශයෙන් අපට යම් කිසි දෙයක් මඟ හැරෙයි. මෙය අපට පසුගියදා ලයනල් වෙන්ඩ්ට් හි දී පැවැත්වූ ලාල් හෑගොඩගේ -සොලොසක් රූ- නම් ඡායාරූප ප්‍රදර්ශනයෙන් වටහා ගත හැකිය.

හෑගොඩගේ ඡායාරූප ප්‍රදර්ශනයේ දී ඔහු ඉතා අපූරුවට දෛනික ජීවිතයේදී අපට අත්දකින්නට සිදුවන දෑ, විවිධ අත්දැකීම් ඡායාරූපයට නඟා තිබිණි. එහි දී වාහනයක ඉදිරිපස වීදුරුවෙන් එළියේ පරිසරය දකින්නට සලස්වන ඡායාරූපයට අප විශේෂ අවධානයක් යොමු කරමු. එක්තරා ආකාරයකට අප ඒවන විටත් එය සමඟ පංච ඉන්ද්‍රීය සම්බන්ධයක් පවත්වන අතර එම ඡායාරූපය ඉදිරිපසට වී අප එය අවබෝධ කරගැනීමට උත්සහ කරයි. එසේම අප එහි විවිධ දෑ දකියි. එවිට එහි ඇති බුදු පිළිමය, පිරිත් නූල් බැඳි දෑත, අපට දක්නට ලැබේ. අප මෙසේ මේවා හඳුනා ගැනීමේදීම යම් දෙයක් අපෙන් ඉවත් වේ. කෙතරම් කියවා ගැනීමට උත්සහ කළත් යමක් ඉතිරි වේ. අප කෙතරම් මෙම ඡායාරූපය ගැන විස්තර කළත් එහි නොයෙකුත් දේවල් හඳුනා ගත්තත් ඒවා කුමන ආකාරයෙන් අර්ථකථනය කළත් අවසානයක් නැත. ඉතිරි වන යමක් ඇත. කාන්ට්ගේ උත්කෘෂ්ටත්වය නම් අදහස අපට මෙවැනි සෞන්දර්ය ප්‍රවේශයකින් මෙසේ වටහා ගත හැකිය. කාන්ට් මෙය කලාව උදෙසාම ඉදිරිපත් නොකළත් ලියොතා මෙම අදහස කලාව වෙනුවෙන් සෘජුව භාවිත කරන ලදි.

වෙනත් වචන වලින් සටහන් කරන්නේ නම් කලාව එක්තරා ආකාරයකට අපට සාක්ෂියක් සපයනවා අපට නියෝජනය කළ නොහැකි දේවල් අපට අභිමුඛ වූ විට අපගේ චින්තනයේ බිඳ වැටීම පෙන්වා දීමට. මේ මඟින් ලියොතා පෙන්වා දෙනවා, පසුගිය සියවසේ තිබුණු මහා ආඛ්‍යාන Multi Narration  – චින්තනය සහ ලෝකය එකක් කිරීම පිළිබඳ අදහස – බිඳ වැටුණු බව. නැතහොත් එය දැන් තිබෙන්නේ සෞන්දර්ය නම් කලාපයේ බව ඔහු පෙන්වා දෙනවා. අපට මෙය වෙනත් ලෙසකට සරල කළ හැකිය. අපගේ දේශපාලන විමුක්තිය පිළිබඳ පොරොන්දුව, ඉතිහාසයේ මායාවල් බිඳ වැටීම අපට අද දක්නට ලැබෙනවා.  එම අදහස අප අද දේශපාලනයෙන් උදාහරණ ගෙන සලකා බලමු.

හේගල්ගෙන් පසු මාක්ස්වාදී සම්ප්‍රදායන් ගත්ත ද ඒ තුළ ඉතිහාසය පිළිබඳ සංවාදය අන්තර්ගත විය. ලෝකය ගමන් ගන්නා විදිහක් පිළිබඳව අදහසක් සමඟ ඔවුන් පොර බැදීය. එම අදහස එක්තරා ආකාරයකට චින්තනයෙන් වටහාගත හැකි බව ඔවුන් සිතන ලදි. ඒ අනුව චින්තනය සහ ලෝකය එකක් බවට පත් වෙයි. මෙම මහා ආඛ්‍යාන වල බලයට එරෙහිව, එසේ නැතිනම් එහි නඩු විභාගයේ සාක්ෂියට ලියොතා ගෙන එන ලද්දේ මෙම උත්කෘෂ්ටභාවය පිළිබඳ අදහසයි.  ඒ අනුව ඉහත විවිධ උදාහරණ සපයමින් පැහැදිලි කළ මෙම උත්කෘෂ්ට බව එක්තරා ආකාරාකට භාෂාවට නැඟිය නොහැකි, වචන අසමත් වෙන මොහොතකි. එය වචනයට නැඟිය නොහැකිය. එක්තරා ආකාරයකට රෝහණ විජේවීර ලංකාවේ සමාජවාදය නිර්මාණය කර ලෝක සමාජවාදය උදාකළ හැකි බව විශ්වාසය කළ අයෙකි. විශේෂයෙන්ම සුචරිත ගම්ලත් වැනි ‘කියවන්නෙකුගේ’ ලිපි සීරුවෙන් බැලූ විට අපට ඒ අදහස දැකගත හැකිය. ඒ තුළ ලෝක සමාජවාදයක් යළි නිර්මාණය කිරීම පිළිබඳව අදහස් දැකගත හැකිය. එම කාල වකවානුවේ දී ඔවුන් එය දැඩිව විශ්වාස කරන ලදි.

මෙහිදී ලියොතා ඉදිරිපත් කරන කාරණය වන්නේ චින්තනය ලෝකය බවට පත්වන බවයි. පසුගිය සියවසේ සිදුවූ, මේ චින්තනය සහ ලෝකය එකක් විය යුතුයි කියනා නඩුවිභාගයේ පැමිණිලි පාර්ශවය නියෝජනය කරන්නේ ලියෝතාට අනුව කලාව වේ. අපට මෙම අදහස මෙසේ පැහැදිලි කරගත හැකිය. ලෝකය ගමන් කරනා ආකාරය චින්තනයෙන් තේරුම් ගත හැකි බවට මහා ආඛ්‍යාන වල අදහසක් තිබුණි. මහා ආඛ්‍යාන ලෙසට මෙහිදී මාක්ස්වාදය නිදර්ශනයට ගැනීම ප්‍රමාණවත් කියා සිතමු. මාක්ස්වාදයට අනුව අප දන්නා පරිදි ලෝකය ගමන් කරන ආකාරයක් ඇත. මෙම ලෝකය ගමන් කරන ආකාරය විද්‍යාත්මකව වටහා ගත හැකි බව අල්තුෂර් පවා සිතූ ආකාරය මෙහිදී සිහිපත් කරගැනීම අගනේය. මේ අදහසට අනුව අපගේ චින්තනය සහ ලෝකය එකක් බවට පත් වෙයි. ඒ අනුව අපගේ අලුත් වැඩබිම වන්නේ කලාව පිළිබඳ සිතා බැලීමයි.

සැබෑ ලෙසටම ප්‍රශ්නය වන්නේ කුමක් ද? වධකාගාර වලට ගොස් වධ බන්ධනයට ලක් වූ බිහිසුනු දේශපාලන ව්‍යාපාර වලට සිදු වූ දෑ කලාවට, සිනමාවට පිවිසීම තුළින් තනුක කිරීම කිසිදු තේරුමක් නැත. ඊට වඩා පුළුල්ව මෙම දේශපාලන සංසිද්ධිය  වටහාගත යුතු බව රොන්සියර් අවධාරණය කරනු ලබයි. වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම්, දේශපාලන යුතෝපියා (කොමියුනිස්ට්වාදය, ස්ත්‍රීවාදය… ආදිය ) දේශපාලන මනෝ රාජ්‍ය අවසන් බව ප්‍රකාශ කිරීමෙන් පසුව මේ චින්තනය සහ ලෝකය අතර ආගාධය, එහි විනාශය අතර වැඩ බිම ලෙසට අපට හඳුනා ගත හැක්කේ කලාවයි. සමකාලීන සංවාද වල කලාවේ විනාශය ගැන සිතීම මඟින් මෙම මූලධාර්මික ප්‍රශ්නය  උඩුයටිකුරු වීම සරල ආස්ථානයකට ලඝු  කරනු ලබයි. සිනමාවේ අර්බුදය, කලාවේ අර්බුදය, සෞන්දර්යයේ අර්බුදය යනාදී වශයෙන් බොහෝ පුද්ගලයන් ප්‍රකාශ කළත් ඊට වඩා මෙම ප්‍රශ්නය සංකීර්ණ වේ.

අපගේ යුගයේ දී සෞන්දර්යවේදය යන වචනයේ අර්ථය පැහැදිලි කිරීම අතිශ්‍ය වැදගත් වේ. එසේ වන්නේ ඉන් කලාව පිළිබඳ න්‍යායක් ඉදිරිපත් කිරීම පමණක් අදහස් නොකිරීමයි. නමුත් රොන්සියර් අදහස් කරන්නේ සෞන්දර්ය යනු සංවේදනය හරහා එන බලපෑම් පිළිබඳව න්‍යායක්, එසේ නොමැති නම් සෞන්දර්ය යනු කලාව හඳුනාගැනීම සහ ඒවා ගැන සිතීමට තිබෙන නිශ්චිත රෙජීමයකි. මෙම රෙජීමය යන අදහස පිළිබඳව රොන්සියගේ අර්ථකථනය පෙර ලිපියේ දී අපි පැහැදිලි කළෙමු. එසේම රෙජීම අතර සහසම්බන්ධතා අපට අධ්‍යයනය කළ හැකිය. අපට එය සරලව වටහා ගත හැකිය. මම මගේ කාමරය අස් කිරීම නම් ක්‍රියාව සහ මම චිත්‍රයක් ඇදීම නම් ක්‍රියාවලිය අපි සලකා බලමු. මේ දෙක අතර වෙනස්කම් පවතී. කාමරය අස් කරද්දී ලස්සන, පිළිවෙළ ඇත. චිත්‍රය අදින විට චිත්‍රය අදින බව ගැන අදහසක් ඇත. මේ දෙක අතර සම්බන්ධයක් පවතින බව එයින් වැටහෙයි. චින්තනයක මාදිලි පිළිබඳ අදහසක් එම මාදිලි මඟින් උපකල්පනය කරයි.

මේ අදහස අපට තවත් පැහැදිලි කර ගමු. අශෝක හඳගම චිත්‍රපටයක් කරනවා නම් එයින් සමාජයට බලපෑමක් වෙන බවට ඔහුට අදහසක් තිබේ. ඒ ආකාරයේ පුරෝකථනයක් තිබේ. එවන් පුරෝකථනයක් මඟින් දේවල් නිපදවෙන සහ කරන ආකාරය පිළිබඳ සම්බන්ධය පැහැදිලි වෙයි. ඓතිහාසික සංකල්ප සහ සංවාද ගණනාවක් අප විසින් පටලවාගෙන ඇති බව රොන්සියර් අවධාරණය කරයි. දේශපාලනය සමඟ පටලවාගෙන ඇති බවත් ඔහු දක්වයි. එමෙන්ම මහජන යුගය (මහජනයා තීරණය ගන්නා යුගය) යන්න රොමැන්තික අතාර්කිකවාදය සමඟ පටලවාගෙන ඇත. එමෙන්ම කලාවේ නියෝජනය යන්න තහනම ( දෙය නියෝජනය කරන්න නොහැකිය යන්න ) සහ යාන්ත්‍රික ප්‍රති නිෂ්පාදනය පටලවාගෙන ඇත. මේ ආකාරයටම කාන්ට්ගේ උත්කෘෂ්ටබව (Sublime) පිළිබඳ සංකල්පය සහ ෆ්‍රොයිඩ්ගේ ළමයාගේ දෙමාපියන් ලිංගිකව හැසිරෙන බව දැනගැනීමේ සංකල්පය පටලවාගෙන ඇති බව රොන්සියර් අවධාරණය කරයි.

ඉන්පසු දෙවියන් මියයාම සහ යුදෙව්වන් ඝාතනය පටලවාගෙන ඇත.

මේ සියල්ල පැටලෙන්නේ නූතනවාදය පටලවාගන්නා නිසාය. ඒ නිසා මෙම පැටලිලි, පැහැදිලි කර ගැනීම අතිශ්‍ය වැදගත් බව ජාක් රොන්සියර් මතක් කරනු ලබයි. අපට සෞන්දර්ය රෙජීමය වටහා ගැනීමට නම් මේ පැටලිලි ප්‍රථමයෙන් ලෙහා ගත යුතුය. මෙයින් අදහස් කරනු ලබන්නේ සරල බවක් නොවේ. සරල භාවිතයන්, කතිකාවේ ආකෘති, චින්තන සංකල්ප, ප්‍රජාවේ ස්වරූප, මේ සියල්ල කිසියම් ලෙසකට දෝෂ සහගත වැරදි අර්ථකථන වල ප්‍රතිඵලයන් ද නොවේ. මේ අනුව මෙම ඉහත නූතනවාදයේ පටලවා ගැනීම සමඟ ඇති වී ඇති අවසානය, යළි පැමිණීම, යළි උත්පාද වීම (Re-Birth, Return, End) යන අදහස් මුසුවීම ගැන අපි පෙරටත් වඩා සිතිය යුතු බව රොන්සියර් අවධාරණය කරයි.

මේ අනුව අප අද දවසේ දේශපාලනය යනුවෙන් වර නගන්නේ කුමක් ද යන්න වටහා ගත යුතුය. අද අප සිතා සිටින දේශපාලනය වන්නේ අප ඡන්දය දෙන පක්ෂ විසින් කරන දේශපාලනයයි. නමුත් අප ගැඹුරින් සිතිය යුත්තේ දේශපාලනය නොවන්නේම එය බවයි. එයින් යම් කිසි ආකාරයක රාජ්‍ය පාලනයක් වන බව පැවසීම නිවැරදි වේ. නමුත් දේශපාලනය යනු කිසියම් ආකාරයක විමුක්තියක් (Emancipate) පිළිබඳව අදහසකි. සාමූහිකව එකතු වී විමුක්තිය ලබා ගැනීම පිළිබඳ අදහසකි. විමුක්තිය පිළිබඳ එම අදහස තුළ අප දේශපාලනික ව පරාජය වූ බව පිළිගැනෙන අතර ම, දේශපාලනයේ විමුක්තිය පිළිබඳ සංවාද වල උණුසුම අද පවතින්නේ කලාවේ අවකාශ තුළ බව පිළිගත යුතු යැයි, අවසානයේ රොන්සියර් අපට පෙන්වා දෙයි.

එරන්ද මහගමගේ

 

 

***

 

 

Advertisements