20179718_324861321275298_298675652_n

ඉහත පැනය නැගූ සැනෙන් සිහියට එන්නේ, සැකයකින් තොරව ම දැවැන්ත අරබුධයක් බවට පත් ව ඇති වත්මන් ආණ්ඩුවේ දේශපාලන අවසානය සඟවා, එය වත්මන් ආණ්ඩුවේ නොහොබිනා කම් සාධාරණීකරණය කිරීමට ගන්නා උත්සාහයක් වැනි අදහසකි. නමුත් අප මේ උත්සහ කරන්නේ ‘ජෝන් ද සිල්වා රැක ගනිමු’ සටන් පාඨය වෙත පක්ෂපාතී විවේචනයක් ගෙන ඒම හැර ජනවාරි 08 ව්‍යාපාරයට සහයෝගය දැක්වූවන් නිරුවත් කළ ආණ්ඩුවට සහයෝගයක් දීමට නොවෙයි.

ජෝන් ද සිල්වා රඟහල අලුත් වැඩියා කිරීමේ කටයුතු ආරම්භ වන්නේ 2012 අයවැය සාකච්ඡාවක දී එවකට පැවති ආණ්ඩුව ගත් තීරණයකට අනුවයි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ 2014 නොවැම්බර් මස 07 වන දින අලුත් වැඩියා කටයුතු ආරම්භ කෙරුණි (වැඩි විස්තර මෙතැනින්).

බැලූ බැල්මට එහි වරදක් නැත. අප හොඳින් දන්නා පරිදි අවසන් වරට ජෝන් ද සිල්වා රඟහලේ, රඟ දැක්වුණු නාට්‍ය නැරඹීමේ දී නොයෙක් අපහසුතාවයන්ට හා රංගයට යම් සීමාවන් පැනවීම් සිදු වූ තරමක අබලන් තත්ත්වයක් රඟහල තුළ දකින්නට ලැබුණු බව අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. තව ද නෙළුම් පොකුණ රඟහල ඉදිකිරීමේ දී යම් තාක්ෂණික අපහසුතා ද (ශබ්ද) ජෝන් ද සිල්වා රඟහලට අත්විඳින්නට සිදු විය. ගැටලුව ඇත්තේ රඟහල අලුත් වැඩියා කිරීමේ තීරණය ගැනීම තුළ නොවන බව ද අප අවබෝධ කර ගත යුතුය. රඟහල පෞද්ගලික අංශයට භාර දීමට යන උත්සාහයක් (මේ වන විටත් භාර දී ඇති බව) හේතුවෙන් මෙම විරෝධය පැන නැගී ඇත.

රඟහල ආකරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින නාට්‍යකරුවන් සහ සමාජ ක්‍රියාධරයන්ගෙන් අපට අසන්නට ඇත්තේ, ජෝන් ද සිල්වා රඟහල සහ ජනතාව අතර සම්බන්ධය ඔබ හඳුනාගෙන ඇත්තේ කෙසේද? ජෝන් ද සිල්වා සමරු රඟහල රැක ගත් පසු නාට්‍ය කලාව කොයි ආකාරයක වර්ධනීය හැරවුමක් ලබා ගනියි ද? ජෝන් ද සිල්වා රඟහලේ අලුත් වැඩියා කටයුතු ආරම්භ කිරීමට පෙර නාට්‍ය කලාව තිබූ තත්ත්වය යහපත් ද? රාජ්‍ය හා නාට්‍ය කලාව අතර සුබදායික සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ හැකියාවක් මෙම ආණ්ඩුව පෙන්වා දී ඇත්ද? මේ සියළු කරුණු සැළකිල්ලට ගැනීමේ දී ‘ජෝන් ද සිල්වා රඟහල රැක ගැනීම’ – ‘නාට්‍ය කලාව’ – ‘ආණ්ඩුව’, අතර ඇත්තේ කිසිඳු ආකාකරයක සමීප සම්බන්ධයක් නොවන බව අප අවබෝධ කර ගැනීමට කෙනෙක්ට හැකි වන්නේ මේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට උත්සාහ කරන්නේනම් පමණි. තවත් ආකාරයකට කියන්නේ නම් අද දවසේ නාට්‍ය කලාව පත් ව ඇති අර්බුධකාරීත්වය ප්‍රොසීනියම් නාට්‍යකරණය, ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිපාදනය හා කොළඹ නාට්‍යකරුවන්ට තම නිර්මාණ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැළසීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ කිසි ලෙසකින්වත් ජය ගත නොහැක්කකි.

නාට්‍යකරුවන්ගේ උත්සාහය හා අරමුණ වන්නේ මෙරට නාට්‍ය කලාව ජනතාවාදී දෘෂ්ටියකින් යළි ගොඩ නැගීමට නම්, ‘කළ යුත්තේ කුමක්ද?’ යන්න ඔවුන් අවබෝධ කර ගෙන ඇති දැයි යන්න සැක සහිතය. 2000 ක පමණ ප්‍රේක්ෂක ජනතාවකට සීමා වී ඇති නාට්‍ය කලාව, තව දුරටත් කොළඹ කේන්ද්‍රීය මධ්‍යම පංතික ප්‍රේක්ෂකාගාරය තුළ සුරක්ෂිත කිරීමේ අභිප්‍රාය පමණක් අද දවසේ නාට්‍යකරුවන් තුළින් නික්මෙන සටන් පාඨ බවට පත් වී ඇත. ජෝන් ද සිල්වා රැක ගැනීමේ ඒකායන අරමුණ වන්නේ ප්‍රේක්ෂකයින්ට අඩු මුදලක් දී නාට්‍ය දර්ශනයක් පෙන්වීමට ඇති ඉඩ ඇහිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. සත්‍ය වශයෙන් මෙම අඩු මුදල නම් සාධකය තීරණය වන්නේ අද දවසේ නාට්‍ය කලාව භාරගෙන සිටින මුදලාලිලා මතයි. මුදලාලිලාගෙන් තොර වූ උසස් නාට්‍ය සඳහා අවකාශයක් ජෝන් ද සිල්වා රඟහල හරහා විවෘත කර ගැනීමට යම් උත්සහයක් දැරිය හැකි වුවත් අද දවසේ එය අධ්‍යක්ෂවරයෙක් ලබන ඉතා බැරෑරුම් අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

තව ද මේ සඳහා ඇති තවත් එක් අවකාශයක් වන්නේ කොළඹ 07 නාඩා ආයතනය යි. ඉතා සාධාරණ මුදලකට එහි නාට්‍ය පුහුණුවීම් හා නාට්‍ය දර්ශනය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසා ගෙන ඇත. (මෙම විරෝධයට ම සම්බන්ධ නාට්‍යකරුවන් හා දේශපාලඥයන් ඊට සම්බන්ධ වූ බව මතක් කළ යුතුය.) නමුත් නාඩා ආයතන පිරී ඉතිරී යන ප්‍රේක්ෂක සහභාගීත්වයක් හෝ 1990 හෝ ඊට පෙර දශකවල මෙන් නාට්‍ය නැරඹීමේ උද්යෝගයක් ඇති කිරීමට හෝ නාට්‍ය කලාව නඟා සිටුවීමට නාඩා ආයතනය හරහා සිදු වී ඇති සේවය කුමක්ද ? තවත් ආකාරයකට කියන්නේ නම් ගොඩනැගිලි අයිති කර ගැනීම මත නාට්‍ය කලාවේ සශ්‍රීකත්වය තහවුරු වන්නේ නැත. නැවත අදාළ සන්දර්භයේ සිට කියන්නේ නම් ජෝන් ද සිල්වා සටන ජයග්‍රහණය කළ ද කිසිවක් සිදු වන්නේ නැත.

මෙරට නාට්‍ය කලාවේ සැබෑ හිස්තැන් සෙවීම, නැති නම් අප හඳුනා ගත යුතු මෙරට නාට්‍ය කලාව පැමිණ ඇති අර්බුධ රාශියකි.

  1. විචාර කලාවක් නොමැති වීම. (අද දවසේ සිනමාව සම්බන්ධයෙන් තත්ත්වය තරමක් යහපත් වුවත් නාට්‍ය කලාව වෙනුවෙන් විචාර ලියවෙන්නේ ඉතා ම අල්ප වශයෙනි.)
  2. නාට්‍ය කලාවේ න්‍යායාත්මක කරුණු පිළිබඳ සංවාදයක් නොමැති වීම. (රූපණය, නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය, අනුශාංගික කලා, නර්තනය හා බැලේ, ව්‍යවහාරික රංග කලාව, අවම වශයෙන් – ග්‍රොටෝස්ව්කි, ආටෝ, මෙයර් හෝල්ඩ්, ස්ටැනිස්ලව්ස්කි, බෙකට්, අයෙනෙස්කෝ, පින්ටර් වැනි නාට්‍යකරුවන් පිළිබඳ සංවාදයක් නොමැති වීම.) මේ ආකාරයේ කිසිඳු න්‍යායාත්මක සංවාදයක් විශ්වවිද්‍යාල මට්ටමෙන් කලාතුරකින් දැකිය හැකි වුවත් එය ඉතා ම අල්ප වේ.
  3. රංග කලා ආයතන හා සමාජය අතර පවතින දුරස්ථ බව.
  4. නාට්‍යකරුවන් අතින් තුරන් වෙමින් යන නාට්‍ය කලාවේ ප්‍රගතිශීලීත්වය හා ආත්මීයත්වය.
  5. අධ්‍යාපනික විෂය නිර්දේශ මත යැපෙන නාට්‍ය හා ඒවා වෙළඳ භාණ්ඩ බවට පත් වී තිබීම.
  6. සමකාලීන විශ්ව නාට්‍ය පිටපත් පරිවර්තන හිඟ වීම.
  7. ව්‍යවහාරික රංග කලාවක් නොමැති වීම.
  8. සමාජය වෙත පුළුල් දේශපාලනික බුද්ධිමය මැදිහත්වීමක් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට තරම් ප්‍රගතිශීලී විභයක් නොමැති වීම.
  9. රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන මධ්‍යම පංතික නාට්‍ය ව්‍යාපෘති, සමාජ ගැටලු වෙත සක්‍රීය ලෙස අභිමුඛ නොවීම.
  10. රස හීන නාට්‍ය කලාව හා මුදල් අර්බුධ මත අහිමි වෙන නාට්‍ය කලාවේ සැබෑ අරමුණ.

ඉහත අර්බුධ යම් යම් තීව්‍රතාවයෙන් විවිධ කලා මාධ්‍ය තුළ දැක ගත හැකි වුවත්, යම් කලා මාධ්‍යක් ඒ අතරින් කැපී පෙනෙන සේ නැඟී සිටීමෙන් එය අනෙක් කලාවන්ට ද යහපත් රැල්ලක් නිර්මාණය කරනු ඇත. හෛඩගර්ගේ වචනවලින් කියන්නේ නම් දෛනික ජීවිතයේ බොළඳ කතාවට (Idle talk) ඇති ජීවිත අව්‍යාජත්වයට ඔසවා තැබීමට අද දවසේ කලාව තුළ සිදු විය යුතු බුද්ධිමය මැදිහත්භාවයට ඉහත කරුණු ඔස්සේ අප විසින් ජය ගත යුතුව ඇත. 70 හා 80 දශකවල කලාකරුවන් තමුන්ගේ ජීවිතයේ මුඛ්‍ය අරමුණ ලෙස ඇදහූවේ යහපත් සමාජයක් බිහි කිරීමයි. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම ඔවුන්ගේ කාර්ය ලෙස තේරුම් ගනිමින් කලාවේ සාංදෘෂ්ටිකත්වය නිරාවරණය කර ගැනීමට ඔවුහු උත්සහ කළහ. අද දවසේ තම ප්‍රධාන අරමුණ ලෙස ජෛවීය ශරීරය නඩත්තු කිරීම බවට ඌනනය වූ සමාජයට කලා කරුවාද එහි ම සමරිසියෙකු වී ඇත.

ජෝන් ද සිල්වා සමරු රඟහල වෙනුවෙන් සිදුවන මෙම අරගලය හා ‘පොලිටිකල් එවෙන්ට් එකක්’ ලෙස (මෙය බදියූ ගේ ‘සිදුවීම’ (event) සමග පටලවා නොගන්න) අද දවසේ හඳුනා ගන්නා දේශපාලන පක්ෂ විසින් සිදු කරන ප්‍රවර්ධන වැඩ සටහනක් ලෙස මෙම අරගලය ප්‍රතීයමාන වීම ද වැළක්විය නොහැකිය. වාමාංශික පක්ෂ හෝ විපක්ෂය මෙවැනි ක්‍රියාදාමයක මූලිකත්වය ගැනීම අපට ප්‍රශ්නයක් නොවේ. ඒවායින් පැහැදිලිව ම පවතින ආණ්ඩුවට විශාල බලපෑමක් සිදු කළ හැකිය. (උමා ඔය විරෝධය, සයිටම් ගැටලුව, කසළ බැහැර කිරීමේ ගැටලුව) එමඟින් එම පක්ෂ ද විශාල ජනතා ලාබයක් උපයා ගැනීම, එනම් ජන මතය තමන් වෙනුවෙන් නම්මවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් වන බව ද කිව හැකිය. තවත් ආකාරයට කියන්නේ නම් සමහරක් ජනප්‍රිය නොවන, නමුත් විරෝධය පෑමට පුළුල් ජන විභවයක් ඇති බවට හඳුනාගන්නා ගැටලු ජනප්‍රිය කරමින් කථිකාව තුළ සිට ඒවා ජයග්‍රහණය කිරීමට උත්සහ දැරීම, ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සිදු වෙයි. මේ කුමන අර්ථයෙන් වුව ද මූලික ව ජනතා ගැටලුව විසඳීමට උත්සහ කිරීම වටිනා ක්‍රියාදාමයක් ලෙස සැළකිය හැකිය. එය උගසට තබා ඡන්ද ලබා ගැනීම ඉන් පසු සිදු වන දෙයකි. ඒ සඳහා දැනුවත් බුද්ධිමත් ඡන්ද දායකයින් පිරිසක් මෙරට නිර්මාණය වන තුර මෙවැනි තත්ත්වයන්ගෙන් අපට මිදෙන්නට බැරිය. නමුත් මෙවැනි පක්ෂ විසින් දියත් කරන නොයෙක් ක්‍රියාදාම, ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය අවසන් වූ විගස අවසන් වන සැටි ද අප දැක තිබේ. වත්මන් ආණ්ඩුව ඒ සඳහා අපට තොග ගණනින් උදාහරණ සපයා ඇත. මේ අර්ථයෙන් ‘පොලිටිකල් ඉවෙන්ට්’ එකක් යනු ම මූලික ප්‍රශ්නය අමතක කරන, ජනප්‍රිය මොහොත තම න්‍යාය පත්‍රයට හසු කරගන්නා ප්‍රාග්ධනයේ තවත් දේශපාලන පෙනී සිටීමක් මිස අනෙකක් නොවෙයි. මෙමගින් කියන්නට උත්සහ කරන්නේ සමාජවාදී කලා සංගමය හා මෙම විරෝධය පෑම දේශපාලන අභිප්‍රායක් මත මුලිමනින්ම තීරණය වන වා යන්න නොවෙයි. නමුත් මෙම විරෝධය මගින් ජනතාව වෙත ඉඟි කරනු ලබන්නේ එවැනි තත්ත්වයිකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ඉහත සඳහන් කළ නාට්‍ය කලාව නඟා සිටුවීම, අවසාන අර්ථයෙන් යහපත් සමාජයක් බිහි කිරීමේ ක්‍රියාවලිය වෙත අභිමුඛ වීමට ගත යුතු ප්‍රාථමික නැති නම් පළමු ක්‍රියාමාර්ගය මෙය නොවන නිසා ය.

සිදු විය යුත්තේ ඉහත සඳහන් කළ මූලික ගැටලු සඳහා යහපත් පෙනී සිටීමක් සංවිධානය කිරීමයි. එවිට ජෝන් ද සිල්වා වෙනුවෙන් නාට්‍යකරුවන් වෙනුවට ජනතාව ඔවුන්ගේ අරගලයක් බවට පත් කරගනු ඇත. මෙරට සියලු වෘත්තීමය හා සමාජයීය අරගල දියාරු වී හා පරාජය ලබන්නේ එම ගැටලු ජනතා ගැටලු බවට පත් කිරීමට එම විෂයෙහි ක්‍රියාධරයන්ට අවශ්‍ය බුද්ධිය නොමැති වීම තුළය. නාට්‍ය කලාව හා බැදුණු ජනතාවක් නිර්මාණය වූ යුගයක කිසිඳු ආණ්ඩුවක් මෙවන් තීරණ නොගන්නා බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. 2000 ක ගේ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගන්නා නාට්‍ය කලාව වෙනුවෙන් ලාබ රහිත හා ජනතා ආකර්ෂණයක් ලබා ගත නොහැකි ව්‍යාපෘතිවලට කර ගැසීමට පාඩු ලබන බංකොලොත් ආණ්ඩුවක් කිසි දා ක්‍රියාත්මක වන්නේ නැත.

මේ සියලු අර්ථයෙන් නාට්‍යකරුවන්ගේ මෙම ක්‍රියාදාමය වැඩදායක එකක් ද යන්න ගැටලුවක් නොවේද? පසුගිය යෞවන සම්මාන උළෙල වෙනුවෙන් තරුණ නාට්‍යකරුවන් කළ විරෝධයත්, රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සිදු කළ විරෝධයත්, මෙම කරමින් සිටිනා විරෝධයේත්, ප්‍රවෘතිමය වටිනා කම පවා අද ගිලිහී ගොසින්ය. ජෝන් ද සිල්වා අහිමි වීම, ජනතාව හඳුනාගන්‍නේ බස් ගාස්තු රුපියලකින් ඉහළ දැමීමෙන් ජනතාව වෙත ඇති කරන බලපෑමෙන් 100 න් එකක් වත් තරමින් නොවන බව නාට්‍යකරුවන් පිළිගත යුතුය. එසේ නම් කළ යුත්තේ නාට්‍ය කලාවේ අර්බුධ හඳුනාගෙන එයට පිළියම් කිරීමයි. එම අර්බුධ විසඳෙන තෙක් කිසිඳු ආණ්ඩුවක් නාට්‍ය කලාව වෙනුවෙන් කිසි දිනෙක පෙනී සිටින්නේ නැත. ජෝන් ද සිල්වා රඟහල අලුත් වැඩියා සඳහා කඩා දැමීමේ දී නාට්‍යකරුවන් විරුද්ධ විය. දැන් එය විකිණීම සම්බන්ධයෙන් විරෝධය අරඹා ඇත. මෙම අරගලයෙන් කුමන ප්‍රතිඵලයක් අත් වුව ද නාට්‍ය කලාවේ අර්බුධය සඳහා යහපත් පෙනී සිටීමක් සිදු වන්නේ නැත. නාට්‍ය කලාවේ අභිවෘද්ධියට නාට්‍ය ශාලා අවශ්‍ය බව සැබවි. නමුත් නාට්‍ය ශාලා ගොඩ නැගීමට පෙර නාට්‍ය කලාවක් තිබිය යුතුය. නාට්‍යකරුවන් විසින් අවබෝධ කරගත යුත්තේ ඔබගේ වේදිකාව තිබෙන්නේ ජනතාව ගැවසෙන, දුක්විඳින, ඔවුන් දිනපතා ඔබ මොබ යන කඩපිලේ, මන්සංදියේ, වෙළඳ පලේ, කොච්චියේ, වෙලේ කමතේ මිස අවවර්ධිත ධනේශ්වර රාජ්‍යයක් මගින් සකසා දීමට පොරොන්දු වන හුදෙකලා රංග ශාලාවක් තුළ නොවන බවයි.

රංග මනුප්‍රිය

 

 

 

 

Advertisements