Lucas Arruda1

අප ජීවත් වන යුගයේ මූලික බුද්ධිමය ප්‍රවණතාවයක් වන්නේ ‘සත්‍යය’ යන අදහස බොහෝ පාර්ශවයන් වෙතින් අභියෝගයට ලක් වීම සහ අපකීර්තියට පත් වීමයි. තවදුරටත්, අප බොහෝ දෙනෙක්, ‘සත්‍යය’ යනු කුමක්ද කියා සිතා බැලීමට, එවැනි සිතා බැලීමක් කළ හැකි ද කියා සොයා බැලීමට, එඩිතර වන්නේ නැත. ‘සත්‍යය’ ඉදිරියේ අපගේ ‘නොදැනුවත්බව’ වෙනුවෙන් පෙනී සිටීමේ පහසුව අප බොහෝ දෙනෙකු ගේ පළමු තෝරා ගැනීම වේ. එනිසා ම මේ යුගයේ ‘බැරෑරුම් අදහස්’ කියා දේවල් නොමැත. ඒ වෙනුවට අද සියලු දෙනාට ම, සියලු දේ සඳහා විවිධ මත (opinions) තිබේ. මේවා අතරින් වඩා වැදගත් අදහස් මොනවාද කියා වෙන් කර ගැනීමට අවශ්‍ය නිර්ණායක අපට නොමැත. එවැනි නිර්ණායක සොයන්නට උත්සාහ කිරීම අවසානයේ දී සම වන්නේ තමන්ගේ මතය පමණක් නිවැරදි ලෙස පිළිගනිමින් එයට ප්‍රතිවිරුද්ධ මත දැරූ මිනිසුන් ඝාතණය කළ අධිකාරිවාදී දේශපාලනය කියා අපි සිතමු.

මෙම විවේචනයේ යම් වලංගුභාවයක් තිබෙනා බව කිසිවෙකු ප්‍රතික්ෂේප නොකරනු ඇත. මේ කරුණ අප නොවලහා පැවසිය යුතුය: ‘ඉතිහාසයේ අනිවාර්යය චලනය’ හඳුනා ගැනීම සහ එමගින් තමන් ගේ වර්තමාන දේශපාලන තීරණවලට නිරපේක්ෂ වටිනාකමක් ලබා දීම යනු තවදුරටත් පිළිගත හැකි දාර්ශනික ආස්ථානයන් නොවේ. ‘සත්‍යය’ යනුවෙන් නම් කරනා දෙයක් පිළිබඳ ව සිදු වෙන ඕනෑ ම සංවාදයක් දෙස බහුතරයක් දෙනා වපර ඇසකින් බලන්නේ මෙම නිසාය. අප ව පුරුදු කර තිබෙන්නේ එවැනි දේ පසුපස ඇති අධිකාරිවාදී, ඒකාධිපතිවාදී දේශපාලන වුවමනාවන් සොයා බැලීමටයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ‘සත්‍යය’ යනු සමකාලීන බුද්ධිමය සංවාදයන්වල කේන්ද්‍රීය මාතෘකාවක් නොවේ. අප සිතන්නේ එය, යළි ගොඩ ගත නොහැකි සේ වැළලී ගිය, පූර්ව නූතන දර්ශන සම්ප්‍රදායක නෂ්ටාවශේෂයක් පමණක් වන බවයි. තර්ක බුද්ධියේ ලෝකය තුළින් ‘සත්‍යය’ පිළිබඳ අදහස පිටුවහල් කර තිබේ.

නමුත් මෙයින් අදහස් වන්නේ ‘සත්‍යය’ පිළිබඳ අදහස සමාජයෙන් මුළුමනින් අතුරුදහන් වී ඇති බව නොවේ. තර්ක බුද්ධියේ ලෝකය තුළින් පිටුවහල් කරනු ලැබ ඇති සත්‍යය පුනරාගමනය වී තිබෙන්නේ විශ්වාසයේ ලෝකය තුළයි. ප්‍රධාන, අප්‍රධාන, නිල, නොනිල ආගමික විශ්වාසයන් සහ ඇදහිළි, මුළුමනින් ක්‍රියාත්මක වන්නේ ‘සත්‍යය’ පිළිබඳ අදහස මගින් පැහැදිළි කිරීමට උත්සාහ කරනා මිනිස් අවශ්‍යතාවය තුළයි.

තරමක් සරල ආකාරයකින් අපට එය මෙලෙස පැහැදිළි කරගත හැකි වේ. අපගේ ජීවිතය තරම් ප්‍රමුඛ වන තවත් දෙයක් අපට හමු වන්නේ කලාතුරකිනි. අප සියලු දෙනාගේ ජීවිතය මුළුමනින් ක්‍රියාත්මක වන්නේ මේ පුද්ගල වුවමනාවන්, තෝරා ගැනීම් වටාය. අප සිතන්නේ අපගේ ජීවිතය වැදගත්, වටිනා දෙයක් ලෙසයි. එනිසා ම මෙම ජීවිතය හේතු විරහිත අහම්බයක් විය හැකි නොවේ. අප දුක් මහන්සි වී – රැකියාවන් කර, මුදල් හම්බ කර, දරුවන් සාදා, ආදරය කර – ගොඩනගා ගත් මේ ජීවිතය අර්ථ විරහිත ගමනක් ලෙස තේරුම් ගැනීම අපට පිළිගත හැකි විසඳුමක් නොවේ. අපට අවශ්‍ය වන්නේ මේ සඳහා මෙම සීමිත අර්ථවත් ලෝකය ඉක්මවා ගිය විශාල හේතුවකි.

අවසාන විග්‍රහයේදී සෑම ආගමක් මගින්ම සිදු කරන්නේ මෙම ‘විශාල හේතුව’ ජීවිතයට ලබා දීමයි. ඒක දේවවාදී ආගම් මේ ‘විශාල හේතුව’ සඳහා තිබෙන සම්භාව්‍ය නිදර්ශනය යන්න බොහෝ දෙනෙකුට පැහැදිළි වනු ඇත. ඒවාට අනුව මේ ලෝකය යනු අපට වඩා විශාල සහ සර්වබලධාරී වූ බලයක් විසින් මවන ලද දෙයකි. අපගේ ජීවිතයේ ගමන් පථය සහ ක්‍රියාකාරකම් සඳහා අවසාන වලංගුතාවය ලබා දෙන්නේ මෙම දිව්‍යමය අනේකත්වයයි. නමුත් මෙම ‘විශාල හේතුව’ ලබා ගැනීම සඳහා ඔබ අනිවාර්ය ලෙස ඒකදේවවාදී ආගමක් ඇදහිය යුතු නොවේ. නිදර්ශනයක් ලෙස බුදු දහම මගින් සිදු කරනා දෙය විමසා බලමු. බැලූ බැල්මට එමගින් අප ඉහතින් සඳහන් කළ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්නේ නැත. ඒ වෙනුවට එමගින් සිදු කරන්නේද අපගේ ජීවිතයේ ඇති අර්ථ විරහිත වේදනවා තහවුරු කිරීමයි. නමුත්, තරමක් කල්පනා කර බැලූ විට, පෙනෙන්නට ඇති රූපය මෙතරම් සරල නොවන බව පැහැදිළි වේ. අපගේ ජීවිතයේ ඇති නිස්සාර වේදනාව බුදු දහම විසින් ද තහවුරු කරනු ලබන්නේ වුවත්, ඒ සමගම අපට එයින් ගැලවිය හැකි නියත මගක් පිළිබඳ අදහසක් ද බුදු දහම මගින් ලබා දේ. එනිසා මෙම වේදනාවන්, අර්ථවිරහිත ජීවිත, කවදා හෝ අවසන් කිරීමේ පොරොන්දුව එමගින් අපට ලබා දේ. අප ගේ ජීවිතයේ අනේකවිධ දුක් කම් කටොළු වලට අප මුහුණ දුන්නත් කවදා හෝ ඒවා මුළුමනින් ජයගෙන සුවපත් වීමේ බලාපොරොත්තුවක් අපට ඉතිරි වේ. නැවතත්, අප අලුත් වටයකින් පැමිණ තිබෙන්නේ, මෙම ‘විශාල හේතුව’ වෙතයි.

සියලු ආකාරයේ ආගමික විශ්වාසයන්, අවසාන විග්‍රහයේදී, සම්බන්ධ වන්නේ ‘සත්‍යය’ පිළිබඳ අදහස මගින් පැහැදිළි කළ මෙම මිනිස් අවශ්‍යතාවය වෙතටයි. නමුත්, ගැටලුව වන්නේ, මේවා අතරින් එකක් තෝරා ගැනීම සඳහා අපට තවදුරටත් පදනමක් නොමැති වීමයි. ‘සත්‍යය’ යනු තවදුරටත් තර්ක බුද්ධියේ නියාමනයට යටත් වන්නක් නොව විශ්වාසයේ නියාමනයට යටත් වන්නකි. විශ්වාසයන් අතර ගැටුමක දී එක විශ්වාසයක් පරදා තවත් විශ්වාසයක් ජග්‍රහණය කිරීම සඳහා පදනමක් ලබා ගත හැකි නොවේ. මෙයට හේතුව වන්නේ විශ්වාසය යනු ම හේතුව පළවා හැරීමෙන් පසු ක්‍රියාත්මක වන චින්තන කළාපයක් වීමයි. එවිට එක විශ්වාසයක් සහ තවත් විශ්වාසයක් අතර තිබිය හැක්කේ දේශපාලන අරගලයක් පමණි. සියලු ආකාරයන්ගෙන් – සහයෝගාත්මක බහුසංස්කෘතිකවාදයේ සිට අන්තවාදී රණකාමිත්වය දක්වා – ප්‍රකාශමාන විය හැකි මෙම අරගලය, අවසානයේ දී සේවය කරන්නේ බිහිසුණු දෘෂ්ඨිවාදයක් වෙතයි. ඒ තමයි අපගේ ලෝකය, අපගේ ජීවිත, අප දැන් තේරුම් ගෙන තිබෙනා ආකාරයට වඩා වෙනස් වූ, ඒවා දැන් සකස් වී ඇති ආකාරයට වඩා වෙනස් වූ, රැඩිකල් නවීනත්වයක් වෙත යා යුතු නැති බව. තවත් ආකාරයකට කියන්නේ නම් මේ මගින් යෝජනා කරන්නේ අනාගතය ලෙස අප මේ වනවිටත් හඳුනාගෙන තිබෙනා වියහැකිභාවයන්ගෙන් වෙනස් වූ, නොසිතු විරු වියහැකිභාවයන් ඇති විය හැකි, නව ආකාරයේ අනාගතයක් අනවශ්‍ය බවයි. ලෝකය තිබිය යුතු ආකාරය – ‘ඉර හඳ පවත්නා තුරා’ ලෝකය තිබිය යුතු ආකාරය – අප මේ වනවිටත් හඳුනාගෙන තිබේ. එයින් පරිබාහිර වූ අනාගතයක් එයට නොමැත.

නමුත් මේ මගින් අප සිදු කරන්නේ අනාගතයේ ඇති වැදගත්ම මානය එයට අහිමි කිරීමයි. අනාගතය යනු අප නොදන්නා සිදුවීමකින් – අහම්බයෙන් හමු වී, ජීවිතය උඩු යටිකුරු කරනා පෙම්වතෙක් වැනි – අපගේ වර්තමානය වෙනස් කිරීමේ හැකියාවයි. එම හැකියාව ඉවත් වූ අනාගතයක් යනු සත්‍ය වශයෙන්ම අනාගතයක් නොවේ. එය අනාගතත්වය අහිමි වූ අනාගතයක් කියා අපට නම් කළ හැකි ය.

අනාගතත්වය අහිමි වූ අනාගතය යනු නවලිබරල්වාදය සඳහා දිය හැකි සරල නිර්වචනයක් වන බව අපි දනිමු. එමගින් යෝජනා කරන්නේ ද මේ තිබෙන ලෝකය මේ ආකාරයටම අකණ්ඩව තබා ගත යුතු වන බවයි. එයට අනුව අපට කළ හැක්කේ, කුමන වන්දියක් ගෙවා හෝ, මේ තිබෙන ආර්ථික සැකැස්මට හානි විය හැකි දේ ඉවත් කරමින්, මෙය අකණ්ඩව පවත්වාගෙන යාම පමණි. එහි අනාගතය යනු මේ තිබෙනා වර්තමානයේම දිගුවකි – එනම්, අනාගතත්වය අහිමි වූ අනාගතයකි.

මේ හරහා අපට තරමක් වැදගත් නිගමනයක් වෙත පැමිණීමට අවස්ථාව තිබේ: නවලිබරල්වාදය යනු තර්ක බුද්ධියේ ලෝකයෙන් සත්‍යය පිටුවල් කළ සමාජයේ දේශපාලන ආර්ථිකයයි.

 

 

***

Advertisements