Simon Fairless-greenpastures

 

අපේ ගමට රතු සහ නිල් පැහැති සී.ටී.බී. බස් රථයක් පැමිණෙනු මා මුල්ම වරට දැක්කේ හරියට ම මීට අවුරුදු 40 කට පෙර අද වැනි දිනක යි. ඒ 1977 මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පසු කොල පැහැති තොප්පි සහ ඇඳුම් ඇඳි මැරවරයින් පුරවාගෙන අපේ ගමට පහර දීමට පැමිණි බස් රථය යි. අපේ ගමේ ශ්‍රීලනිප නායකයා ගමේ යූඇන්පී නායකයා ගේ වැඩි මහල් සහෝදරයා වූ බැවින් මැරයෝ ගම් වැසියන්ට කිසිදු අතවරයක් නො කොට ආපසු හැරී ගිය හ. එහෙත් සියළුම ගම්වල වැසියෝ අපේ ගමේ වැසියන් තරම් වාසනාවන්ත නොවූ හ. ඉන් හරියටම වසර හතලිහක් පිරීමට දින දෙකක් තිබිය දී මා ද රැකියාව කරන කොළඹ විශ්වවිද්‍යාල භූමිය අසල පිහිටි විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ මූලස්ථානයට, වෛද්‍ය ශිෂ්‍යයින්ගේ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමට පැමිණි පිරිස මහ දවාලේ පැමිණියේ සුදු වෑන් රථයකිනි. මේ සිදු වීම් දෙක අතර සම්බන්ධය කුමක් ද? මේ කෙටි සටහන ඒ පිළිබඳව කෙටි පැහැදිළි කිරීමක් සඳහා ය.

1977 ජූලි 21 වන දා පැවැති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මීට පෙර මැතිවරණයකින් කිසිඳු දේශපාලන පක්ෂයක් නො ලැබූ ආකාරයේ ජයග්‍රහණයක් ලැබී ය. ඒ ජය එජාපයට හිමි වූ යේ මන් ද? ඒ ජය ලැබූ යේ කුමක් ද?

1948 දී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිදහස් වූ අවස්ථාවේ ලංකාව තුළ යහපත් පශ්චාත් යටත් විජිත සමාජයක් ගොඩ නැංවීම සඳහා සිහිනයක් තිබිණි. මේ සිහිනය විවිධ දේශපාලන පක්ෂ විසින් දකිනු ලැබූ යේ එක් ආකාරයකට නොවේ. නමුත් සැමට ම පොදුවේ ලඟා කරගැනීමට අවශ්‍ය වූ ඉලක්ක තිබුණි. එයින් ප්‍රධාන දෙකක් වූයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනයේ අවශ්‍යතා ඉෂ්ට කළ හැකි ආර්ථික වර්ධනයක් අත් පත් කර ගැනීමත්, කිසියම් ආකාරයකට වර්ධනය වෙමින් පැවැති ජනවාර්ගික ජාතිකවාදය ඉක්මවා ගොස් නවීන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍යයක් ගොඩ නැංවීමත් ය. කෙසේ වෙතත් මේ ඉලක්ක සපුරා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව පැවැතියේ බෙහෙවින්ම බෙදුණු මති මතාන්තර ය. දේශපාලන පක්ෂවල තිබූ ඒ මති මතාන්තර වලට “උඩින්” සහ “යටින්” පැවැති යථාර්ථයන් නිසා ඒ සිහින සාක්ෂාත් කර ගැනීමට නොහැකි විය. ආර්ථික වර්ධනය පිළිබඳ සිහිනය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ දේශපාලන පක්ෂ වල අභිලාෂයන්ට “උඩින්”  පැවැති ගෝලීය මට්ටමේ යථාර්ථයන් ය. දෙවෙනි සිහිනය, එනම් එක්සත් ජාතික රාජ්‍යයක් ගොඩ නැංවීමේ සිහිනය සාක්ෂාත් කරගැනීමට නොහැකි වූ යේ දේශපාලන පක්ෂවල සිහිනයන්ට “යටින්” වර්ධනය වූ ජනවාර්ගික ජාතිකවාදයන් ට දේශපාලන ක්‍රියාවලියට බලපෑම් කිරීමට තිබූ හැකියාව පිළිබඳ යථාර්ථයන් ය.

මේ සිහිනය අවසාන වශයෙන් පුපුරා යාම ආරම්භ වූයේ 1970 ගණන් වල දී ය. එහි ආරම්භක පුපුරා යාම 1971 අප්‍රෙල් මාසයේ දී සිදුවි ය. ඒ කිසිවෙක් නොසිතූ විරූ ලෙස කොතැනකින් මතු වූවා දැයි කිසිවෙකුටත් සිතා ගත නො හැකි ලෙස ගම්බද තරුණ තරුණියන් දසදහස් ගණනින් ඒක්තරා රාත්‍රියක රටපුරා පොලිස් ස්ථාන වලට පහර දීමට පටන් ගැනීමත් සමග යි. ගුණදාස අමරසේකරගේ කෙටි කතාවල අපූරුවට නිරූපනය කර ඇති ආකාරයට, මේ පොලිස් ස්ථාන වලට පහර ගැසූ තරුණ තරුණියන් අති බහුතරයක් වනාහී ගම්බද ව ජීවත් වූ, කිසිවකුගේ අවධානයට ලක් නොවූ කිසිවෙකු විසින් බැරෑරුම් ලෙස භාර ගනු නො ලැබූ, ගම්බද අන්ත දිළින්දන්ගේ දූ පුතුන් ය. ඉතාම ගුප්ත නාමකරණයක් වූ “චේගුවේරාකාරයින්” යන පදයෙන් ජනයා විසින් හඳුන්වනු ලැබූ මොවුහු සමාජයෙන් මුළුමනින්ම පිටමං කර සිටි පිරිසකි. ලංකාවේ පශ්චාත් යටත් විජිත (වාමාංශික හා දක්ෂිණාංශික) දේශපාලන ප්‍රභූ තන්ත්‍රය විසින් දක්නා ලද අළුත් ලංකාවක් පිළිබඳ සිහිනය මේ පිරිසට මුළුමනින් ම දුරස්ථ සහ ආගන්තුක එකක් වී ය.

දෙවන සිදු වීම ද ඊට සමාන වුව ද පළමු වැන්න තරම් එක් වරම එක්තරා රාත්‍රියක හටගත් සිදු වීමක් නොවී ය. එය සෙමින් එහෙත් ස්ථිර සාර ලෙස වර්ධනය විය. ඒ උතුරේ තරුණයින් ගේ කැරළි කාරිත්වයයි. ප්‍රශ්න විසඳීම සදහා දකුණේ සිංහල දේශපාලන ප්‍රභූන් සමඟ කේවෙල් කරමින් සහ ඔවුන්ට බලපෑම් කරමින් උතුරේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය පසු වෙද් දී මේ තරුණයින් අතර අසහනය මෝරා යමින් පැවැතිණි. 1976 මැයි 14 වන දා, කේවෙල් කිරීමෙන් හති වැටී සිටි ප්‍රභූ තන්ත්‍රය විකල්පයක් සඳහා තමන් අතර ඒකාබද්ධතාවයක් ඇති කර ගැනීමට යාපන අර්ධද්වීපයේ වඩුක්කොඩෙයි ග්‍රාමයට රැස් වූ අවස්ථාවේ ඔවුනට මෙ අසහනයෙන් දැවෙන තරුණයින්ගේ රස්නයෙන් ගැලවීමට හැකියාවක් නොතිබුණි.

ලංකාවේ නූතන ඉතිහාසය පිළිබඳ, බොහෝ දෙනෙකුගේ අවධානය දිනා නොගත් නමුදු, විශිෂ්ට වූ කෘතියක් (Society and Space, Colonialism, Nationalism and Postcolonial Identity in Sri Lanka – 1998) රචනා කළ නිහාල් පෙරේරා මේ සිදුවෙමින් පැවැති විපර්යාසය කදිමට ග්‍රහණය කරගනී. ඔහු නිවැරදිව ප්‍රකාශ කරන ආකාරයට, “පශ්චාත්-යටත්විජිත” යැයි හැඳින්විය හැකි සමය අවසන් වී, “දේශපාලන සහමන්ත්‍රණයේ” (political negotiation) කේන්ද්‍රය කොළඹ නගරයෙන් දුරබැහැර ගම්වලට විතැන් වීම ආරම්භ වී තිබිණ.

ලංකාවේ පශ්චාත් යටත් විජිත වකවානුවේ පැවැති සාපේක්ෂ වශයෙන් වඩාත්ම ජනහිතකාමී සහ ස්ථිර දැක්මක් සහිත ආණ්ඩු කාලය ලෙස සැලකිය හැකි 1970-1975 සමගි පෙරමුණු ආණ්ඩවේ අත්හදා බැලීම ඛේදජනක ලෙස අසාර්ථක වන්නේ මේ සංදර්භය තුළ යි. සම සමාජ පක්ෂය සමගි පෙරමුණෙන් ඉවත් වීමත් සමඟ ඒ අත්හදා බැලීම අවසන් වේ. එය පශ්චාත්-යටත්විජිත සිහිනයේ අභාවය ලෙස නම් කිරීමට පුළුවන. 1977 ජූලි මාසයේ 21 වනදා සිදු වූයේ එසේ අභාවයට පත්ව තවත් වසර දෙකක් හොල්මන් කරමින් සිටි මළකුණ අවසානයේ මිහිදන් කර දැමීම යි.

ඉන්පසුව සිදු වූයේ ඉතා අපූරු දෙයකි. ධනවාදයේ ඉතාම නග්න ස්වරූපය ක්‍රියාවට පෙරළුනේ ලංකාව “ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීය සමාජවාදී සමූහාණ්ඩුව” යනුවෙන් නිල වශයෙන් නම් කිරීම මගිනි. 1948 නිදහස ලබන විට මෙන්ම ඉන් දශක දෙක පමණ කාලය තුළ ද ප්‍රජාතනත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ තෙවන ලොව ආදර්ශය ලෙසින් විරුදාවලි ලබා තිබූ ලංකාවේ ප්‍රජාතනත්‍රවාදී දේශපාලන ක්‍රමය අර්බුදයට යමින් තිබුණි. 1975 දී පැවැත්වය යුතුව තිබූ මැතිවරණය වසර දෙකකික් කල් දමා තිබූ අතර මැතිවරණ ක්‍රියාවලිය දැඩි ලෙස ප්‍රචණ්ඩකාරී බවට පත් වෙමින් තිබිණි. රාජ්‍ය බලය කුඩා කල්ලියක් අත සංකේන්ද්‍රණය වෙමින් පැවැතිණි. (මේ සංසිද්ධිය ගාමිණී ෆොන්සේකාගේ, ලංකාවේ “ඩොක්ටර් ෂිවාගෝ” ලෙස එක්තරා ආකාරයකින් සැලකිය හැකි, “සාගරයක් මැද” සිනමා කෘතිය තුළ, තරමක් ප්‍රභූවාදී ලෙස වුව ද, කදිමට නිරූපනය කර තිබුණි.)

අතිශයින්ම අධර්මිෂ්ට වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් ද, තරමක් දුරට හෝ ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ වලින් යුක්ත වූ සමාජ-දේශපාලන දේහය තුළ වර්ධනය වෙමින් පැවැති රාජ්‍යය අතිශයින්ම කෘරත්වයට පත් කිරීමේ (brutalization of the state) දේශපාලන අධිකාරවාදය ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කරනු ලැබීමේ ක්‍රියාවලියකින් ද සමන්විත වූ ව්‍යාපෘතිය “ධර්මිෂ්ට සමාජය” ලෙස බෞතීස්ම කෙරිණි. 1982 දී එදිරිවීර සරච්චන්ද්‍ර විසින් තරමක් ජනප්‍රියවාදී ආකාරයට හෝ සිය “ධර්මිෂ්ට සමාජය” කෘතිය මගින් ග්‍රහණය කර ගැනීමට උත්සාහ දරණ ලද්දේ මේ යථාර්ථය යි. ඉතාම උත්ප්‍රාසජනක ලෙස, රාජ්‍ය බලය හොබවනු ලැබූ දේශපාලන නායකත්වය විසින් උසිගන්වන ලද මැරයෝ සරච්චන්ද්‍රට ද කාණු පල්ලේ දමාගෙන පහර දුන්නෝ ය. ඒ ක්‍රෑරත්වය ම ඊට වඩා සිය දහස් ගුණයකින් 1983 දී මෙවැනි ම මාසයක (සහ ඉන්පසුව සංවිධානාත්මක යුධ මෙහෙයුමක් ලෙස දිගින් දිගටම) දෙමළ ජනයාට විරුද්ධව ද, 1987-89 කාලයේ සිංහල ග්‍රාමීය තරුණයින්ට විරුද්ධව ද නොමසුරු ලෙස මුදා හැරිණි.

ඉන්පසු ආපසු හැරීමක් නොතිබිණි. 1994 දී මේ ගමන ආපසු හැරවීමට ගන්නා ලද උත්සාහය ඛේදජනක ලෙස අසාර්ථක වූ කල් හී, 1997 දී සී.ඒ. චන්ද්‍රප්‍රේම සිය, උචිත ලෙසම “කොලපාට සමාජය” ලෙස නම් කර තිබූ, කෘතිය මගින් මේ මාවතේ අපසු හැරවිය නොහැකි ස්වභාවය උත්කර්ශයට නැංවීය. නැවතත් ඒ මාවත ආපසු හැරවීම සඳහා, වඩාත් අවාසිදායක කොන්දේසි යටතේ, 2015 දී ගන්නා ලද උත්සාහය (තරමක් භයානක) ප්‍රහසනයක් බවට පත් වී තිබේ. එක්තරා ආකාරයකට, දින දෙකකට පෙර විද්වත් වෘත්තිකයින්ගේ සංවිධාන මූලස්ථාන භූමියේ රඟ දැක්වුනේ එම ප්‍රහසනයේ එක් ජුගුත්සාජනක ජවනිකාවක් යැයි කිව හැකිය.

දිනෙන් දින වර්ධනය වන ඇති නැති පරතරය, රාජ්‍යය මගින් පවත්වාගෙන යන පොදු සුභ සාධන සේවාවන් දුර්වල කොට ඒවා වෙළඳපොළ කරණය කිරීම, ප්‍රජාතන්ත්‍රීය අවකාශය හැකිලීම රාජ්‍යයේ මර්ධනකාරී ශඛ්‍යතාවය වැඩි වීම, රාජ්‍ය දේපළ හා මහජන අරමුදල් නින්දිත ලෙස අවභාවිතය, රාජ්‍ය බලය ඉහළ තලයේ දී සමාජයට වග නොකියන සීමිත ප්‍රභූ කල්ලියක් අත ද, බිම් මට්ටමේ දී සමාන්‍ය ජනයා මත නව-වැඩවසම් ආකෘතියක ආධිපත්‍යයක් පවත්වාගෙන යන පාදඩ කල්ලි අත ද සංකේන්ද්‍රණය වීම මේ ඊනියා “ධර්මිෂ්ට” “කොලපාට සමාජයේ” සැබෑ ස්වරූපය යී. වඩාත් උත්ප්‍රාසජනක වන්නේ ඊට ඇති විකල්පය ලෙස ඉදිරිපත් වන්නේ (1977 ජූලි 22වන දා අපේ ගමට කොල පැහැති මැරයන් රැගෙන පැමිණි සී.ටී.බී. බස්රථය මෙන්) මතුපිටින් නිල් හා රතු පැහැ ගන්වා, “මාතෘභූමිය රැකගනිමු” වැනි වසඟකාරී වාග් පාඨ අලවා ඒ “ධර්මිෂ්ට කොලපාට” සමාජය ම වීම යි. කෙසේ වෙතත් නැවතත් ඒ මායාවේ සරණ යාම හැර වෙනත් විකල්පයක් පොදු ජනයාට තිබේවි ද?

 

නිර්මාල් රංජිත් දේවසිරි

2017 ජුලි 22

 

 

***

Advertisements