20527200_329884504106313_1557236182_n

ලිප්ටන් වටරවුම මෙරට පැරණි ම වටරවුමක් මෙන් ම මෙරට ඉතා ජනප්‍රිය ස්ථානයකි. මාර්ග හතක් ආවරණය වන පරිදි මෙම වටරවුම ඉඳිවී ඇත. ඉංග්‍රීසි ආණ්ඩු සමයේ ප්‍රසිද්ධ තේ ව්‍යාපාරිකයෙක් වන තෝමස් ලිප්ටන්ගේ නාමය වටරවුම සඳහා යොදා ගෙන ඇත. මෙරට තේ අපනයනය ශක්තිමත් කිරීම හා පුළුල් කිරීමට විශේෂ වැඩ පිළිවෙලක් දියත් කළ අයෙක් ලෙස තෝමස් ලිප්ටන් හැඳින්විය හැකිය. වර්තමානයේ යුනයිටඩ් මෝටර්ස් ආයතනය පිහිටි ස්ථානයේ එකල ඔහුගේ කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත. එම අර්ථයෙන් ගත්විට ‘ලිප්ටන්’ යනු මෙරට යටත් විජිත දේශපාලන ආර්ථිකය සහ එහි සමකාලීන ප්‍රතිවිපාකයන් පිළිබඳ අපට බොහෝ දේ ඉඟි කරන සංඥාවක් ලෙස ගත හැකි වේ. අද දවසේ කොළඹ කොටුව හා සමාන ජනතාවක් දිනපතා භාවිතා කරන කොළඹ පිහිටි සුවිශේෂී වැදගත් කමක් හිමි ස්ථානයක් ලෙස ලිප්ටන් වට රවුම හැඳින්විය හැකිය.

මෙලෙස ලිප්ටන් වට රවුම, මහ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් විවිධ පරිමාණයෙන් භාවිතා කරන ස්ථානයක් ලෙස සුවිශේෂී වේ. එය අප තවත් සුවිශේෂී පැවැත්මක් ලෙස අර්ථ ගැනුවුවහොත් එයට උපකරණමයභාවයක් ඇත. ඉතාමත් සරල අර්ථයෙන් පවසන්නේ නම් දිශාවල් හතක් වෙත යාමට අවශ්‍ය මඟ පෙන්වීම, රිය අනතුරු අවම කිරීමේ හැකියාව, පහසුවෙන් හඳුනාගත හැකි පරිදි විශේෂ සංඥා පද්ධති රාශියක් දරා සිටීම, වැනි කාර්යයන් සිදු කරන සුවිශේෂී උපකරණයක් ලෙස ලිප්ටන් වටරවුම හැඳින්විය හැකිය. එය අප දෛනික ජීවිතයේ දී අපගේ කාර්යයන් (වැඩ) කර ගැනීම සඳහා යොදා ගන්නා උපකරණයක් ලෙස ම පෙනී සිටියි. මාටින් හෛඩගර් නම් වූ දාර්ශනිකයා මේ ආකාරයේ පැවැත්මවල් හැඳින්වීම සඳහා විශේෂ වචනයක් යොදා ගත්තේය. ඒ තමයි භාවිතයට-හැකි-පැවැත්ම (Ready-to-hand). එම අර්ථයෙන් අපට මෙම වටරවුම භාවිතයට-හැකි-පැවැත්මක් ලෙස අපගේ දෛනික ජීවිතයේ දී මුණ ගැසෙයි. කිසියම් දෙයක භාවිතයට-හැකි-පැවැත්ම යනු එය භාවිතයට ගැනීම මගින් අපට හෙළිදරව් වන එහි පැවැත්මයි. අපට සාමාන්‍යයෙන් ජීවිතයේ බොහෝ විට ලෝකයේ ඇති දේ සමඟ ගණුදෙනු කරනා මූලික මාඳිලිය මෙය (භාවිතයට-හැකි-පැවැත්ම) කියා කිව හැකිය. අප සෑම මොහොතකම විශාල උපකරණ ප්‍රමාණයක් පරිහරණය කරමින් සිටින්නෙමු. නමුත් ඒවා ගැන අප අවධානය යොමු කරන්නේ නැත. මා දැන් වාඩි වී සිටිනා පුටුව, එය තබා තිබෙනා පොළොව, විදුලි පංකාව, මේ කාමරයේ බිත්ති ආදී උපකරණ ජාලයක් මම මේ මොහොතේ භාවිතා කරමින් සිටියත්, ඒවා ගැන මා සිතා බලන්නේ හෝ අවධානය යොමු කරන්නේ හෝ නැත. එම නිසා භාවිතයට-හැකි-පැවැත්මේ මූලික ලක්ෂණයක් වන්නේ එය පූර්ණ ලෙස නිරාවරණය නොවීමයි. ලිප්ටන් වට රවුම අපට කිසි විටෙක පූර්ණ ලෙස නිරාවරණය වන්නේ නැත. දිනපතා අප එය පසුකර ගියත්, එය මගින් වාහන තදබදය කළමනාකරණය කිරීම අපේ ගමනාගමනයට ඍජුව සම්බන්ධ වුවත් අප ඒ ගැන අවධානය යොමු කරන්නේ නැත. එය අපේ ලෝකය තුළ පවතියි. නමුත් එය පවතින්නේ අර්ධ ලෙස ආවරණය වූ ලෙසයි. එය අප භාවිතයට ගන්නා ආකාරය මත අප වෙත අභිමුඛ වෙයි. තුවක්කු,බැටන් පොලූ,වැනි උපකරණ ද අප ඒවා භාවිතා කරන මොහොතේ දී කිසි විටෙක සම්පූර්ණයෙන් නිරාවරණය නොවේ. අපට නිරාවරණය වන්නේ ඒවායේ පැවැත්මේ ඇති එක ස්වරූපයක් වන උපකරණමයභාවයයි. භාවිතයට-හැකි-පැවැත්ම යන්නෙන් අදහස් කරන්නේ මෙයයි. හෛඩගර් මෙම භාවිතයට-හැකි-පැවැත්ම සංකල්පය ගෙන එන්නේ එය පැවැත්මේ අති මූලික සම්බන්ධතාව අප ගොඩ නගා ගන්නේ මෙම උපකරණය සම්බන්ධයෙන් බව තහවුරු කිරීමටය.

වෙනත් උදාහරණයකින් පැහැදිලි කළහොත් වෙද නලාවේ සැබෑ පැවැත්ම අපට අභිමුඛ වන්නේ වෛද්‍යවරයෙක් එය භාවිතා කරමින් රෝගීන් පරික්ෂා කරන විට ද, වෙද නලාව අප ඉදිරියට ගෙන එහි ස්භාවය සහ එහි විවිධ භෞතික ලක්ෂණ හැදෑරීමෙන් ද? වෙද නලාවේ පැවැත්ම අවබෝධ කර ගැනීමට නම් වඩා ප්‍රාථමික වන්නේ වෙද නලාව භාවිතා කරන විට මිස, වෙද නලාව අප ඉදිරියට ගෙන පරික්ෂා කරන විට නොවේ. අප එය පරීක්ෂා කර බලා, එහි ඇති විවිධ ගුණ නිරීක්ෂණය කිරීම කළ හැකි වුවත්, ඒවා මගින් වෙද නලාව, වෙද නලාව බවට පත් කරන අති මූලික ලක්ෂණය අපට හමු වන්නේ නැත. එය හමුවන්නේ එය අප භාවිතා කරනා මොහොතේදීය. මිටිය, කතුර, ජංගම දුරකථනය වැනි උපකරණවල පැවැත්මවල් තීරණය වන්නේ ඒවා අප භාවිතයට ගන්නා විට පමණි. පැහැදිලිව ම එලෙස උපකරණ ඉදිරියට ගෙන වෙන ම පරික්ෂා කිරීමට අවශ්‍ය වන්නේ එහි ක්‍රියාකාරීත්වය නැති නම් උපකරණමයභාවයේ යම් දුර්වලතාවයක් හට ගත් විට පමණි. උදාහරණයක් ලෙස පොලීසිය තුවක්කුවකින් වෙඩි තිබන විට තුවක්කුවෙන් උණ්ඩ පිට නොවන්නේ නම් අප ඉහත සඳහන් කළ එහි ප්‍රාථමික තලය වන භාවිතාත්මක පැවැත්මෙන් (උපකරණමය සම්බන්ධයෙන්) දෙවන තලයට ගොස් එය ඉදිරියට ගෙන පරික්ෂා කර බලයි. එවිට එය එහි ප්‍රාථමික පැවැත්මෙන් (භාවිතයට-හැකි-පැවැත්මෙන්) ඉවත් වෙයි. හෛඩගරියානු වචනයෙන් කියන්නේ නම් තුවක්කුව එම මොහොතේ ඉදිරිපිට-පැවැත්මක් (Presence-at-hand) බවට පත් වෙයි. එය වෙද නාලව වෙත ආදේශ කළ හොත් ඒ වෙද නලාව ද්වීතියික ආකාරයට පවතින තලය යි. යමක ප්‍රාථමික පැවැත්ම ඇත්තේ එහි භාවිතයට-හැකි-පැවැත්මේ මිස ඉදිරිපිට-පැවැත්මේ නොවේ. යමක් ඉදිරිපිට-පැවැත්මක් බවට පත් වන්නේ එම භාවිතයට-හැකි-පැවැත්මේ යම් අඩුපාඩුවක් (කැඩුණු උපකරණයක්) වූ විට ය. තව ද වෙද නලාව හා වෛද්‍යවරයා, රෝගියා, සායනය, රෝහල, හෙදිය, සාත්තු සේවකයින්, එකිනෙකා බැඳී තිබෙන්නේ අරුත් සහගත සම්බන්ධතා ජාලයකය. ඒවා එකිනෙකට අරුත් සපයමින් එකිනෙක සමඟ වෙන් වූ හා වෙන් නොවූ (නො-වෙන්කිරීම) සම්බන්ධයක පවතියි. මන්ද, භාවිතයට-හැකි-පැවැත්මකට කිසිදා හුදකලාවේ පැවතිය නොහැක. භාවිතයට-හැකි-පැවැත්ම අපට හමුවන්නේ කිසියම් ආකාරයක පසුබිමක් ලෙසයි. තවත් සරල ආකාරයෙන් කියන්නේ නම් රෝගියා, රෝහල, වෛද්‍යවරයා, වෙද නලාව පැහැදිලි අරුත් සහගත සම්බන්ධතා ජාලයක පවතියි. වෙනත් ආකාරයට කියන්නේ නම් වෙද නලාවක් ඇඟලුම් කර්මාන්ත ශාලාවක තිබීම වැනි දෙයක් සිදු වන්නේ නැත. වෙද නලාව අපට හමු වන්නේ ඊට අදාළ පසුබිම තුළ ය. එනම් භාවිතයට-හැකි-පැවැත්මක් යනු අපට කිසියම් ආකාරයකින් ලෝකය තුළ සිටිය යුතු ආකාරය, ලෝකයේ අප සිටිනා තැන කුමක්ද යන්න පිළිබඳ අපට මාර්ගෝපදේශනයක් සැපයීමයි. උදාහරණ ලෙස රෝහල, පන්සල, පොලීසිය…. වැනි ස්ථානවල භාවිතියට-හැකැ-පැවැත්මවල් තුළින් අපට අප සිටිනා තැන පිළිබඳ මාර්ගෝපදේශනයක් සපයයි.

අප ඉහත කතා බහට ලක් කළේ වට රවුම භාවිතයට-හැකි-පැවැත්මක් බවට තහවුරු කිරීම පිණිසය. එය භාවිතයට-හැකි-පැවැත්මක් බවට පත් වන්නේ එය මහ ජනතාවට මාර්ගයන් සොයා ගැනීමට, විවිධ පැති වලට වාහන ධාවනය කිරීමට  වැනි භාවිතාත්මක කාර්යයන් සඳහාය. ඒ වන විට වට රවුම අරුත් සහගත සම්බන්ධතාවයක් ගොඩ නඟමින් උපකරණයක් ලෙස ක්‍රියාකරයි.

සයිටම් විරෝධී අරගලයේ නියුතු සිසුන් පසුගිය දා ලිපටන් වටරවුම තාවකාලිකව අත්පත් කරගෙන තිබුනේ සිය අරගලයේ ඉදිරි පියවරක් ලෙසයි. එය ‘නොනිදන අරගලය’ නමින් නම් කර තිබුණි. වෛද්‍ය ශිෂ්‍යයන් විසින් ලිප්ටන් වට රවුමේ කුඩාරම් සවිකොට එහි රාත්‍රියක් රැඳී සිටිමින් තම විරෝධය දැක්වීය. විශ්වවිද්‍යාල සිසුන් මෙම වට රවුම අල්ලා ගැනීම තුළ එයට වෙනත් අර්ථයක් එකතු කරයි. ඔවුනට එය භාවිතය-හැකි-පැවැත්මක් බවට පත් වන්නේ, ඔවුන්ගේ විරෝධය එල්ල කිරීමට වඩා වැඩි (දේශපාලනික) ශක්‍යතාවයක් පිහිටා ඇති පොළව බවට මෙය පත් කර ගැනීමෙනුයි. මෙතෙක් කල් වට රවුමේ එම පැවැත්මෙන් ප්‍රයෝජනය ලැබුවේ ඔඩෙල් ආයතනය යි. ඒ ඔවුන්ගේ වෙළඳ පුවරු ප්‍රදර්ශනය කිරීම තුළයි. නමුත් අප ජීවත් වන, ධනවාදය ඉතා ම ස්වභාවික වූ සමාජයක් තුළ, මේ ආකාරයේ වෙළඳ දැන්වීම් පුවරු යනු අප එතරම් පුදුමයට පත් කරනා දේ නොවේ. එයත් එක්තරා ආකාරයකට, අප වැඩි අවධානයක් යොමු නොකරනා පැවැත්මේ පසුබිමට අයත් වන දෙයක් ලෙස සැලකීමට අපි පුරුදු වී සිටිමු.

නමුත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් අතට මෙය පත්වීමත් සමඟ වටරවුමේ උපකරණමය පැවැත්මේ කිසියම් පරිවර්තනයක් සිදු වේ. හෛඩගර් විශ්ලේෂණය තුළ, භාවිතයට-හැකි-පැවැත්මවල් වල කැඩී බිඳී යාමේ මූලික අවස්ථාවන් තුනක් හමු වේ. පළමු සහ වඩාත් ජනප්‍රිය අවස්ථාව වන්නේ භාවිතයට-හැකි-පැවැත්මවල් වල උපකරණමයභාවය කැඩී යාමයි. මා දැන් වාඩි වී සිටිනා පුටුව පිළිබඳව මම – අවම වශයෙන්, මේ වාක්‍යය ලිවීමට පෙර – සිතා බැලුවේ නැත. මා දිගට ම සිටියේ එම පුටුව සමඟ භාවිතාත්මක සම්බන්ධතාවයකයි. නමුත් හදිසියේ ම මේ පුටුවේ එක් කකුලක් කැඩී ගියොත් මේ භාවිතාත්මක සම්බන්ධතාවය බිඳ වැටේ. එවිට මා කරමින් සිටිනා වැඩ නවත්වා පුටුව දෙස බලන්නට මට සිදු වේ. හදිසියේ මා බලාපොරොත්තු නොවූ දෙයක් මා හමුවේ නිරාවරණය වී තිබේ.

අප සිටිනා භාවිතාත්මක සම්බන්ධතා බිඳ වැටිය හැකි අනෙක් අවස්ථාවන් වන්නේ, අපට යමක් අවශ්‍ය වූ විට එය බලාපොරොත්තු වන තැන නොතිබීම සහ අප බලාපොරොත්තු නොවන මොහොතක අපට යමක් නිරාවරණය වීමයි. මේ අවස්ථාවන් දෙකේදීම සිදු වන්නේත් අප එතරම් අවධානය යොමු නොකරමින් නියැලී සිටිනා ක්‍රියාකාරකම්වල බාධාවක් සිදු වීමයි. මේ සියලු අවස්ථාවන්වල දී පොදුවේ සිදු වන්නේ එක ම අවසානයක් වෙත අපව ගෙන යාමයි. එනම් අප සම්බන්ධ වී සිටිනා විවිධ දේ පසුබිමේ, අපට නොපෙනී තිබෙනා විශාල චිත්‍රය, කෙටි මොහොතකට හෝ අප හමුවේ නිරාවරණය වීමයි. තවත් උදාහරණයක් මඟින් පැහැදිලි කරන්නේ නම් අප සිනමා ශාලාවක සිනමා පටයක් රසවිඳිමින් සිටිනා මොහොතක එක වරම සිනමා පටය ක්‍රියාවිරහිත වෙයි. ඉන් පසුව මෙම කැඩුණු භාවිතයට-හැකි-පැවැත්ම තව දුරටත් එහි උපකරණමය සම්බන්ධය අප වෙත ලබා දෙන්නේ නැත. ඒ මොහොතේ දී සිනමා ශාලාව තුළ අප ඒ දෙස බලා සිටිද්දීත් අප පෙර නොදුටු අප බොහෝ දෑ අපට අභිමුඛ වෙයි. හෛඩගර් මෙය නම් කළේ ‘ලෝකය’ කියාය.

වටරවුම අත්පත් කරගත් සිසුන් අතින් සිදු වූයේ කුමක්ද කියා තේරුම් ගැනීමට අපට දැන් තරමක් පහසු න්‍යායික කවුළුවක් තිබේ. ඔවුන් අතින් වටරවුමේ උපකරණමය පැවැත්ම කඩා දැමුනේ නැති බව අපි දනිමු. ඒ මගින් එම වටරවුම හරහා නියාමනය වූ රථවාහන ගමනා ගමනය වෙනස් වූයේ නැත. ඒ වෙනුවට එහි දී සිදු වූයේ, හදිසියේ, එතනින් යන එන දහස් සංඛ්‍යාත මහජනයා හට බලාපොරොත්තු නොවූ භාවිතාත්මක-පැවැත්මක් මුණ ගැසීමයි. අපගේ දෛනික ජීවිතයෙන් බොහෝ ඈතින් තියන්න අප කැමති දේශපාලනික ඉල්ලීම් දිනා ගැනීමට ඇති උද්ඝෝෂණ හදිසියේ අපගේ දෑස ඉදිරියේ පෙනෙන්නට තිබේ. නමුත් වැදගත් වෙන්නේ, හෛඩගරියානු අරුතින්, මේ පෙනෙන්නට ඇති දේ නොව එමගින් අපට පෙනෙන්නට සලස්වන නමුත් සාමාන්‍යයෙන් අපට නොපෙනෙන දෙයයි – ඒ තමයි අප ජීවත් වන ලෝකය. අපට සාමාන්‍යයෙන් ‘ලෝකය’ කියා දෙයක් දැකිය නොහැකි බව අපි දනිමු. අප දකින්නේ ලෝකයේ තිබෙනා විවිධ දේවල් පමණි. නමුත් මෙවැනි තරමක් විරල අත්දැකීම් මගින්, සුළු මොහොතකට අප ගිලී සිටිනා භාවිතාත්මක සම්බන්ධතා ජාලය විනිවිද ගොස්, අපට නොපෙනෙන අපේ පැවැත්මේ ඒ පුළුල් පසුබිම නිරාවරණය වෙයි. ‘නොනිදන අරගලය’ සඳහා සහභාගී වූ ක්‍රියාකාරීන් මහන්සි වී පෙනෙන්නට සලස්වන්නේ මෙයයි. කුමන වන්දියක් ගෙවා හෝ මෙය නැවත්වීමට මේ ‘ලෝකයේ පාලකයන්’ හට අවශ්‍ය වන්නේ ද මේ නිසාය.

සත්‍ය වශයෙන්ම, හෛඩගරියානු අරුතින්, මේ අරගලයේ සාර්ථකම මොහොත උදා වන්නේ මෙතනදී කියා කෙනෙක් පැවසිය හැකිය. අපට ‘ලෝකය’ නිරාවරණය වන්නේ අනපේක්ෂිත මොහොතක, නොගැලපෙන යමක් අප හමු වූ විට – ලිප්ටන් වටරවුමේ දක්නට ලැබෙන දේශපාලන ක්‍රියාකාරිත්වයේ සජීවී පැවැත්ම වැනි – පමණක් නොවේ. ඒ සියල්ලට වඩා එය හෙළිදරව් වන්නේ අප භාවිතාත්මක සම්බන්ධතාවල සිටිනා දේ කැඩී බිඳී ගිය විටයි. පොලීසිය මේ ක්‍රියාකාරීන් හට ප්‍රසිද්ධියේ පහර දී මේ සාමකාමී පෙනී සිටීම නැවැත්වීමෙන් ‘ලිප්ටන් වටරවුම’ කැඩී බිඳී ගිය බව අපි දනිමු. එනම් එම වටරවුම මාර්ගයේ ගමන් කරනා වාහන පදවමින් සිටි මිනිසුන් සමඟ ඇති කරගෙන තිබූ (උපකරණමය) සම්බන්ධතාවය මොහොතකට බිඳ වැටුණි.

ඉතා ම සුළු මොහොතකට, අපට පෙනෙන්නට තිබුනේ, ක්‍රියාකාරීන් හෝ ඔවුන්ව මර්ධනය කිරීමට මුගුරු ලා ගත් පොලිසියේ මිනිසුන් හෝ නොවේ. ඉතා ම සුළු මොහොතකට අපට දක්නට ලැබුනේ ලිප්ටන් වටරවුම හෝ එහි අවට සිටිනා අනෙක් මිනිසුන් හෝ නොවේ. ඉතා ම සුළු මොහොතකට අපට දක්නට ලැබුනේ රනිල් වික්‍රමසිංහ-මෛත්‍රීපාල සිරිසේන පාලන තන්ත්‍රයේ මර්ධනකාරී හස්තය හෝ නොවේ. ඒ වෙනුවට, ඉතා ම සුළු මොහොතකට, අප ජීවත් වන ‘ලෝකය’ අප ඉදිරියේ නිරාවරණය විය. ‘නොනිදන අරගලයේ’ ක්‍රියාකාරීන් හට තුති.

රංග මනුප්‍රිය

 

 

***

 

Advertisements