st-teresa-face

සංගීතය යනු අපට අභිමුඛ වන යථාර්ථයට ‘අනේකත්වයක්’ තිබෙනා බවට, අප සතු වන ප්‍රභලම සාක්ෂිය කියා ඉන්ග්මාර් බර්ග්මාන් විශ්වාස කළේය. එම අර්ථයෙන් සංගීතය සහ ආගමික සම්ප්‍රදයාන් අතර තිබෙනා සම්බන්ධය තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ. ආගම මගින් යෝජනා කරන්නේ අපගේ පරිමිත, අර්ථවිරහිත, අහම්බයේ වේදනාවන්ගෙන් පිරුණු, මෙම ජීවිතය ඉක්මවාලු, එය අතික්‍රමණය කළ, යථාර්ථයක හෝ අනේකත්වයකය හෝ වියහැකිබවයි. අපගේ මෙම ජීවිතය යනු ඕනෑම මොහොතක අහිමි වී යාමේ ඉඩක් තිබෙන, මායාකාරී රැවටිල්ලක් වන්නේනම්, එම රැවටිල්ලෙන් ඔබ්බෙහි වූ සැබෑව, එසේත් නැතිනම්, පරමත්වය පිළිබඳව සුභාරංචිය ගෙන ඒම ආගමික සම්ප්‍රදායන්ගේ අවසාන ඉලක්කය කියා පැවසිය හැකිය.

ආගමික සම්ප්‍රදායන් සමග බැඳුනු සංගීතය තුළ නිරන්තරයෙන් තිබෙනා ගූඨ සුන්දරත්වයේ ගැඹුර සොයා ගත හැක්කේ මෙම කරුණ ඔස්සේ යාමෙන් පමණි. මේ සඳහා තිබෙනා විශිෂ්ටතම නිදර්ශනයක් ලෙස දිනකට පස් වරක් හඬ නගා ගායනා කළ යුතු ‘අසාන්’ නම් වූ ඉස්ලාමීය දේව යාඥාව සැලකිය හැකි බවට විවාදයක් තිබිය නොහැක. නමුත්, අප බොහෝ දෙනෙකු නිතර අසා තිබෙන මෙම දිව්‍යමය යාඥාවේ අරුත අපට සාමාන්‍යයෙන් හඳුනාගැනීමට හෝ මෙහි තිබෙනා ප්‍රචණ්ඩ සෞන්දර්ය සංවේදනය කරගැනීමට හෝ අප පුරුදු වී නොමැති වේ.

මෙයට හේතුව වටහා ගැනීම එතරම් අපහසු නැත. සෑම ප්‍රාදේශීය පල්ලියකම ඉහළ ගායන කෞශල්‍යයක් හිමි කටහඩක් සහිත යාඥා මෙහෙයවන්නෙක් සොයා ගැනීම ප්‍රායෝගික ඉලක්කයක් නොවේ. අනෙක් අතට – මේ සංස්කෘතික ප්‍රශ්නයයි – ඉස්ලාමීය සංස්කෘතියට වාර්ගික ප්‍රතිරෝධයක් දැක්වීමට පුරුදු කරන තිබෙන පසුබිමක් තුළ මෙම යාඥාවේ ඇති සංගීතයමය-සෞන්දර්යාත්මක අර්ථ වෙනුවට ඉදිරියට පැමිණෙන්නේ එහි ඇති වාර්ගික දුරස්ථබවයි. අසාන් යාඥාව සඳහා තිබෙන සම්ප්‍රදායික පරිවර්තනය කියවීමෙන් මේ දුරස්ථබව වටහා ගැනීම අපහසු නොවේ.

“අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට මම සාක්ෂි දරමි

සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ දහම් දූතයා බවට මම සාක්ෂි දරමි

සලාතය වෙත පැමිණෙන්න

ජයග්‍රහණය වෙත පැමිණෙන්න

අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත”

මෙම සංස්කෘතික දුරස්ථබව ඉක්මවා යාමට අපට හැකියාවක් තිබේද? මේ සඳහා අපට මෙවැනි උපක්‍රමයක් භාවිතා කළ හැකිය – අපි මේ දිව්‍යමය යාඥාව සඳහා නාටකීය සහ නිදහස් පරිවර්තනයක් ලබා දෙමු.

නාටකීය පසුබිම කුමක්ද? එක පසෙකින් සිටින්නේ අප වැනි, පරිමිත, තාවකාලික, මායාකාරී පැවැත්මකි. දෛනික ජීවිතය තුළ ගිලී සිටිනා අපගේ පැවැත්ම ජීවිතයේ පුංචි පුංචි ආශාවන් පසු පස හඹා යයි. එම පුංචි, පුංචි ආශාවන් හා බැඳුනු පුංචි, පුංචි සතුටවල් වලින් ජීවිතය පිරී ඉතිරී තිබේ: රසවත් කෑමක්, මිතුරු හමුවක සතුටු සාමිචියක්, නවීන ජංගම දුරකථනයක්, ලස්සන වාහනයක්, මිල අධික සුවඳ විලවුන් බඳුනක්, නිස්කලංක පරිසරයක නිවාඩුවක්…

නමුත් මේ සියල්ල ඉක්මවමින් ජීවිතයේ අර්ථවිරහිත බව මේ අතර නිරන්තරයෙන් එබිකම් කරයි: අප ආදරය කරන මිනිසුන් මිය යයි, අප ආශා කරන දේ අපට අහිමිව යයි, අවසානයේදී අපහේ මේ ජීවිතද අපට අහිමි වීමේ හැකියාවක් තිබේ. එම හැකියාව අප ජීවත් වන තුරු නැති වන්නේ නැත. අප ජීවත්වනවා යනු එම ජීවිතය අහිමි වීමේ සෙවනැල්ල යටතේ සිටිනවා යන්නයි. අපගේ දෛනික ජීවිතය තෘප්තිමත් කරනා පුංචි, පුංචි සතුටවල් ඉක්මවාලු ශුන්‍යත්වයක්, අරුත්සුන් බවක් එයට ලැබෙන්නේ මිනිස් ජීවිතයේ මෙම ද්විතීය භාගය සඳහා තිබෙනා වැඩි වටිනාකම නිසාය. අප ආදරය කරනා මිනිසුන් මිය යාමට සාපේක්ෂව ගත්විට අලුත් ජංගම දුරකථනයකින් අප ලබන සතුටෙහි වටිනාකම කුමක්ද? එනිසා මේ අර්ථවිරහිත බව ජයගැනීමට, එය ඉක්මවා යාමට, එයට යටත් නොවනා සත්‍යයක් සොයා ගැනීමට ඇති මිනිස් ආශාව කිසිදා අවසන් වන්නේ නැත. ආගම මෙන්ම දර්ශනයද – එකිනෙකට වෙනස් ආකාරයන් වලින් – ගවේෂණය කරන්නේ මෙවැනි ‘සත්‍යයක’ වියහැකිබවයි.

අසාන් යාඥාව සඳහා අප ලබා දෙන නිදහස් පරිවර්තනය කියවිය යුතු නාටකීය පසුබිම අපට දැන් තිබේ. එමගින් කියන්නේ කුමක්ද? ඉතාම සංක්ෂිප්ත ලෙස ගත්විට එහි තිබෙන්නේ පරිමිත වූ මිනිසෙකු විසින් අපරිමිත වූ සත්‍යය වෙත කෑ ගසා කරනා පොරොන්දු වීමකි:

“සත්‍යය ශ්‍රේෂ්ඨ වේ

මෙය සත්‍යය වන නිසා වෙනත් ආකාරයක පරමත්වයක් නොමැත

ජීවිතයේ සත්‍යය පිළිබඳව මට කියා දෙන මෙම දහම නිවැරදි වන්නක් කියා මම සිතමි

අපරිමිත වූ ඔබගේ සත්‍යය කෑ ගසා කියන්නට මම ඉක්මන් වෙමි

සත්‍යය සොයා යාමට මම ඉක්මන් වෙමි

සත්‍යය වෙනුවෙන් කැප වීම මගේ මේ ජීවිතයේ පුංචි පුචි සතුටවල් ඉක්මවා යයි

සත්‍යය ශ්‍රේෂ්ඨ වෙයි

මෙම සත්‍යය හැර වෙනත් පරමත්වයක් නොමැත”

අසාන් යාඥාවේ සෞන්දර්යය විඳීමට අවශ්‍ය සංස්කෘතික පරිවර්තනයක් කළ විට, අපට එය ලිවිය හැකි එක ආකාරයක් ඉහතින් දැක්වේ. මෙම පසුබිම සහ මෙම අර්ථය සිහියේ තබාගෙන, අත්හදා බැලීමක් ලෙස, මෙම වීඩියෝවට සවන් දෙන්න.

නිහඬ පරිසරයක සිට හුදෙකලාවේ මෙයට සවන්දිය හැකිනම් මෙම ඉපැරණි ගායනයේ බිහිසුණු සෞන්දර්යය හඳුනා ගැනීම වඩාත් පහසු වනු ඇත.

 

 

***

Advertisements