WHI_1111_ 008

දර්ශනය කියන්නේ නිල අධ්‍යාපන ආයතන වල උගන්වන සහ ඉගෙන ගන්න විෂයක්. හරියට ගණිතය, ඉතිහාසය, දේශපාලන විද්‍යාව වගේ. ලංකාවේ විශ්ව විද්‍යාල කීපයක දර්ශනය උගන්වනවා. ප්‍රංශය වගේ රටවල ඒක ඉස්කෝලෙත් උගන්වනවා. ඒ නිසා මම මේ කරන්න යන යෝජනාව අමුතු එකක්. ඒ තමයි දර්ශනය කියන්නේ අපි තේරුම දන්නේ නැති අලුත් වචනයක් කියල හිතන්න කියන යෝජනාව. කවුරු හරි මෙහෙම වචනයක් ලිව්වොත් මොකද වෙන්නේ: “තමස්ලාන්තිය”? තමස්ලාන්තිය කියල වචනයක් නැති නිසා අපිට ඒක තේරුම් ගන්න බැහැ. දර්ශනය කියන වචනයත් ලංකාවට මේ වගේ නොතේරෙන වචනයක් කියලා අපි හිතමු. ඒ නිසා අපි නිකන්ම දර්ශනය කියල ලියන්නේ නැතුව ඒක උදෘත කොමා ඇතුලේ ලියමු. “දර්ශනය”.

මේ නොදන්නා කමට, මේ අමුත්තට තියෙනවා ප්‍රධාන හේතුවක්. “දර්ශනය” කියන විෂය හැම තිස්සේම තියෙන්නේ කිසියම් ආතතියක. “දර්ශනයට” තියෙනවා ලෝකයේ දේවල් පවතින ආකාරය ගැන විශ්මයක්. අපි සාමාන්‍යයෙන් පුදුම වෙන්නේ නැහැ ලෝකයේ දේවල් තියෙනවා කියන එකට. මම දිනපතා එම දේවල් දකිනවා. ගෙවල්, වාහන, ගස්, පොත්, ගිටාර්, බෝතල්, අධ්‍යාපන ප්‍රතිපත්ති, ආණ්ඩු. නමුත් ඇයි මේ දේවල් තියෙන්නේ කියලා අපි පුදුම වෙන්නේ නැහැ සාමාන්‍ය ලෝකය ඇතුලේ. නමුත් “දර්ශනය” එහෙම හිතන්නේ නැහැ. “දර්ශනයට” හිතන්න ඕන දේවල් පවතින්නේ ඇයි කියලා. එහෙම දේවල් නැතිව තියෙන්නත් තිබුනනේ. මෙහම එක එක දේවල් තියෙනවා කියන එක තරම් විශ්මයජනක දෙයක් තවත් තියෙන්න පුලුවන්ද? “දර්ශනය” අහන පළවෙනි ප්‍රශ්නේ මේකයි.

අනිත් පැත්තෙන් “දර්ශනයට” ඕන වෙනවා දේවල් පවතින ආකාරය ගැන විවේචනයක්. මේ ඇඳුම, මේ අධ්‍යාපනය, මේ ආණ්ඩුව, මේ අදහස තිබෙන ආකාරය පිලිබඳ විවේචනයක්. මේ දේවල් මේ තියෙන පිළිවෙලටම තියෙන්න ඕන නැහැනේ. ඉතාම වෙනස් විදියකටත් ඒවා තියෙන්න පුළුවන් කියන එක පැහැදිළියි. ඉතින්, මේවා මේ තියෙන ආකාරයෙන් තියෙන්න ඕන කියල අපිට පරම වූ හේතුවකින් සහතික කරනවාද? “දර්ශනය” අහන දෙවෙනි ප්‍රශ්නය ඒකයි.

ඒ නිසා තමයි “දර්ශනයට” ආතතිගත සම්බන්ධයක් ඇතුලේ ඉන්න වෙන්නේ: එක පැත්තකින් දේවල් වල පැවැත්ම විසින් ඇති කරනු ලබන විශ්මය; අනිත් පැත්තෙන් එම පැවැත්ම පිලිබඳ තියෙන විවේචනය. නමුත් ප්‍රශ්නේ වෙන්නේ “දර්ශනය” කියන්නේ බලය අයිති වෙන තැනක් නොවීම. ආගම්, රාජ්‍යයන්, නීතිය, මහජන මතය සහ ෆේස්බුක් එක කියන්නේ බලය තියෙන තැන්. ඒවාට අපි යටත් වෙන්න ඕන. අපි කැමති උනත් අකමැති උනත්. නමුත් “දර්ශනයට” එහෙම බලයක් නැහැ. ඒ නිසා දර්ශනයට දේවල් සම්බන්ධයෙන් තියෙන විශ්මය සහ විවේචනය ඉදිරිපත් කරන්න වෙන්නේ අමුතුම ආකාරයකට.

මේකෙන් අදහස් වෙන්නේ නැහැ “දර්ශනය” කියන්නේ බෙදීම් නොමැති එක තනි අදහසක් කියලා. “දර්ශනයේ” ඉතිහාසය තුල මහා අභ්‍යන්තර අරගල තියෙනවා. යථාර්ථවාදය සහ විඥ්ඥානවාදය අතර අරගලය ඒ වගේ එකක්. හැබැයි ඒ අරගල නිසා ලේ හැලෙන්නේ නැහැ, රටවල් බෙදෙන්නේ නැහැ, විවාහ බිඳ වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ඇත්ත අරගල කියලා කියන්න බැහැ. මොකද “දර්ශනය” බලයක් නොවන නිසා.

එහෙමනම් බලයක් නොවන “දර්ශනයට” බලය සමග ගණුදෙනු කරන්න වෙන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න අපි උපමාවක් යොදා ගමු. ඒ තමයි සුළු ජාතිය සහ මහජාතිය අතර ගැටුම. මහජාතිය කවදාවත් රටක ඒගොල්ලන්ගේ ජාතියට තියෙන වරප්‍රසාද අහිමි කරගන්න කැමති වෙන්නේ නැහැ. අනෙක් අතට සුලුජාතියට බැහැ මහජාතිය සමග මුහුණට මුහුණ සටන් කරලා මහජාතිය පරද්දන්න. මොකද මහජාතිය සංඛ්‍යාත්මකව ගොඩක් විශාලයි. ඒ නිසා තමයි සුළු ජාතියට සිද්ධ වෙන්නේ ගරිල්ලා අරගලයක් කරන්න. ගරිල්ලා අරගලයක් කියන්නේ සම්ප්‍රදායික යුද්ධයකදී වගේ යුධ හමුදාවන් දෙකක් මුහුණට මුහුණ සටන් කරන්නේ නැතිව සැඟවී කරන පහර දීමක්. ඒකේ හැම තිස්සෙම අරමුණ වෙන්නේ මහජාතිය සහ සුළු ජාතිය සාකච්චා මේසයට ගෙන එන එක මිසක් මහජාතිය යුද්ධයෙන් පරාජය කිරීම නොවෙයි.

“දර්ශනය” බලය සමග ගණුදෙනු කරන්නෙත් මේ විදියට. “දර්ශනයට” බැහැ බලය හිමි පුද්ගලයන් සහ ආයතන සමග සතුටු සාමිචියේ යෙදෙන්න. කතා බහ කරලා බෙදා හදා ගන්න දේවල් නැහැ. මොකද, “දර්ශනය” කියන්නේ බලවන්තයන් එක්ක එකට ඉන්න පුළුවන් තවත් බලයක් නෙමෙයි. බලවන්තයෝ “දර්ශනය” කියන දේවල් වලට සවන් දෙන්න සූදානම් නැහැ කොහොමටවත්. ඒ නිසා තමයි “දර්ශනයට” සිද්ධ වෙන්නේ බලවන්තයන්ට තමන්ගේ බලය පැත්තකින් තියලා සාම සාකච්ඡා වලට එන්න බල කරන ගරිල්ලා යුද්ධයක් කරන්න. හැබැයි බලය කියන්නේ අපෙන් පරිබාහිර දෙයක් විතරක් නොවන නිසා සහ එය අපගේ මානසික ලෝකයද විනිවිද යන දෙයක් නිසා “දර්ශනය” අපිව කැඳවන්නේ අමුතුම ගරිල්ලා අරගලයකට. ඒ තමයි අපිවම සාකච්චා මේසයට කැඳවලා අපේ ජීවිතයටම එරෙහිව කරන ගරිල්ලා අරගලයකට.

– සංජය වීරකෝන් –

***

Advertisements