Manisha Parekh - Home Shrine Series

 

දර්ශනය සහ ‘බලය’ අතර සම්බන්ධය ගැන කතා කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන් අපි ජීවත් වෙන මේ වගේ පසුගාමී සමාජ වටපිටාවක ඉන්නකොට දර්ශනය වගේ දේවල් ගැන, අහම්බයෙන්, නොසිතු මොහොතක, ඇති විය හැකි උනන්දුවක්, ඉතාම ඉක්මනින් නැති වෙලා යන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩියි. ඇයි ඒ? අපි දන්නවා උත්තරය. දර්ශනය කියන්නේ බලයක් නෙමෙයි. දර්ශනය විසින් ඔබේ ජීවිතයට ගෙන එන පුංචි විරාමය ඉක්මනින් අවසන් කරන්න කියලා ‘බලය’ ඔබට නිතරම ‘බල කරනවා’. ‘බලය’ විසින් ඔබට බල කර සිටින්නේ එය තුරුලට එන්න කියන එකයි. ඒ බල කිරීම අපිට මේ විදියට වචනයට නගන්න පුළුවන්: “පිස්සු වැඩ නවත්තන්න”.

අපි මේක තේරුම් ගැනීම සඳහා උපමා කතාවක් ගනිමු. ඒ ආකිමිඩිස් කියන ග්‍රීකයා පිළිබඳව කතාවක්. ආකිමිඩිස් කියන්නේ මිනිස් ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨතම සිතන්නෙක්. සිරාකස් වල හීරෝ රජුගේ ඉල්ලීමක් උඩ රන් ඔටුන්නක අව්‍යාජ බව මැන ගැනීමේ ගැටළුව විසඳීමේ ප්‍රීතිය නිමිත්තෙන් නග්නව දිව ගිය චින්තකයා. ‘යුරේකා’ කියා කෑ ගැසූ විද්‍යාඥයා. ඒත් මම අද කතා කරන්න යන්නේ මෙයට වඩා අඩුවෙන් අපි අහලා තියෙන කතාවක් ගැන. ඒ තමයි ආකිමිඩිස් ගේ මරණය.

ආකිමිඩිස් ට තිබුනා වැලි මත ජ්‍යාමිතික රූප ඇඳීමේ පුරුද්දක්. මේ කාලය වන විට රෝමය විසින් ග්‍රීසිය යටත් කරගෙන තිබුනේ. එක් දිනක් ආකිමිඩිස් මේ සංකීර්ණ ජ්‍යාමිතික රූප අඳිමින් ඉන්නකොට, රෝමන් සොල්දාදුවෙක් ඇවිත් කියනවා, රෝමන් ජනරාල්වරයාට ආකිමිඩිස්ව මුණ ගැහෙන්න උවමනා බව. ඇත්තටම රෝමන්වරුන්ට ග්‍රීක චින්තකයන් ගැන විශාල කුතුහලයක් තිබ්බා. හරියට අපි බුද්ධිමත් බල්ලෙක් හරි කීකරු ඩොල්ෆින් කෙනෙක් හරි දැක්කම පුදුම වෙනවා වගේ. සමහර වෙලාවට අපි ටී වී එකේ දකිනවා කඩේට ගිහිල්ලා පත්තරේ කටෙන් අරන් එන බල්ලෝ, නැතිනම් පුහුණුකරු ගේ සෑම විධානයක්ම අවබෝධ කරගැනීමට සමත් ඩොල්ෆින් ලා. මේ වගේ බුද්ධිමත් සත්තුන්ගේ ක්‍රියාකාරකම් බලන්න අපි ආසයි වගේ, රෝමානු පාලකයන්ට ත් තිබුනා මේ ‘ග්‍රීක චින්තකයන්’ කියන අමුතු හුරතල් සත්තුන්ගේ හැසිරීම බලන්න ආසාවක්.

ඉතින් මේ විදියට රෝම ජනරාල් මාසලස්ටත් තිබුනා ආකිමිඩිස් දැක බලා ගන්න ආසාවක්. මම හිතන්නේ නැහැ මාසලස් හට ගණිතය සඳහා එතරම් ඉහල අවබෝධයක් තිබුනා කියලා. කොහොම උනත් මේ ජාත්‍යන්තරව ප්‍රසිද්ධියක් තියෙන බුද්ධිමතාව මුණ ගැහෙන්න ඔහුට උවමනා උනා. හැබැයි ආකිමිඩිස්, සොල්දාදුවගේ හඬ නෑසුනා වගේ දිගටම එයාගේ ජ්‍යාමිතික රූපය සමග වැඩ කරමින් හිටියා. සොල්දාදුවා නැවතත් කිව්වා: “ජනරාල් මාසලස් හට ඔබව මුණ ගැසීමට අවශ්‍යයි”. මේ සොල්දාදුවත් ගණිතය සඳහා එතරම් උනන්දුවක් තිබුන කෙනෙක් කියලා අපිට හිතන්න බැහැ. ඒ නිසා ඔහු තරමක් කෝපයෙන් තුන්වෙනි වතාවටත් මෙහෙම කිව්වා: “ආකිමිඩිස්! ජනරාල්තුමාට ඔබව මුණ ගැසෙන්නට උවමනායි!”. ආකිමිඩිස් යාන්තමට හිස ඔසවලා මෙහෙම කිව්වා: “මට මගේ සාධනය ඉවර කරන්න දෙන්න”. ඉතින් අපේ සොල්දාදුවා නැවත කිව්වා: “නමුත් ජනරාල් මාසලස් ඔබ එනතුරු ඉන්නවා! මේ මොන පිස්සු වැඩක්ද?” ආකිමිඩිස් කිසිවක් නොකියාම ඔහුගේ ගණිතමය ගැටලුව විසඳන්න පටන් ගත්තා. ඒ වනවිටත් කෝපයේ රතු ඉර පසු කර සිටි සොල්දාදුවා සිය කඩුව ඔසවා පහර දී ආකිමිඩිස් ව මරා දැමුවා. තමන්ගේම ජ්‍යාමිතික රූප මත ආකිමිඩිස් ගේ සිරුර ඇද වැටුනා.

මොකද්ද මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම. ඒ තමයි රාජ්‍යය සහ නිර්මාණශීලී චින්තනය අතර පොදු සාධක කිසිවක් නොමැති වෙයි කියන එක. අවසාන විග්‍රහයේදී බලය කියන්නේ ප්‍රචණ්ඩත්වය. අපි දැන් දන්නවා දර්ශනය කියන්නේ ‘බලයක්’ නොවෙයි කියලා. දර්ශනය යටත් වෙන්නේ එහිම නියාම ධර්මයන්ට. ආකිමිඩිස් සම්බන්ධ වෙලා හිටියේ ඔහුගේ දැනුම සමග පමණයි. ඒ නිසාම ඔහුව පිහිටුවන්න වෙන්නේ බලයේ ක්‍රියාකාරකම් වලට පරිබාහිරවයි. අවසානයේදී ප්‍රචණ්ඩත්වය මුදා හැරිය යුත්තේ මේ පරිබාහිරත්වය වෙතයි. සමහරවිට මෙම ප්‍රචණ්ඩත්වය රෝමන් (නැතිනම් රෝමන් නොවන) සොල්දාදුවාගේ කඩුවේ ආකෘතිය ගන්න පුළුවන්. නමුත් අද වන විට එය බොහෝ විට ඔබට මුණ ගැහෙන්නේ මෙවැනි ආකෘතියකින්. ඒ තමයි මිනිස් ශිෂ්ඨාචාරයේ ශ්‍රේෂ්ඨතම උරුමයක් වන දර්ශනය, වසර දෙදහසකට වඩා ඉතිහාසයක් තුල අප මුණ ගැසී ඇති නිර්මාණශීලී මිනිසුන් අතොලොස්සක් විසින් ගොඩ නැගූ අපගේම ජීවිතයේ අර්ථය පිලිබඳ මහා සංවාදය, ඉගෙන ගැනීම “පිස්සු වැඩක්” කියලා කියන එක. “බුද්ධිමත් වැඩ” කියන්නේ පාරිභෝගික භාණ්ඩ ප්‍රචාරණය කරන්න, වෙළඳ ව්‍යාපාර වලට අවශ්‍ය මෘදුකාංග වැඩසටහන් ගොඩනැගීමට, විශාල සමාගම් වල සේවකයන් පරිපාලනය කිරීමට, ඒවායේ ගිණුම් සටහන් තියන්න ඉගෙන ගන්න එකටයි. මොකද හැමදාමත් අපිව පාලනය කරන්නේ මාසලස් ලා.

‘නෙවිල් ප්‍රනාන්දු’ කියන්නේ මේ මාසලස් ගේ සමකාලීන ජනප්‍රිය ස්වරූපය. එයා අපිට කියන්නෙත්, ‘පිස්සු වැඩ’ නවත්තලා අධ්‍යාපනය හරහා යහමින් මුදල් හම්බ කරගන්න ආකාරයන් කල්පනා කරන්න කියන එකයි. සයිටම් විරෝධී ව්‍යාපාරය දෙස බාහිර සිට බලන සමහර දෙනෙක් මේක ‘පිස්සු වැඩක්’ කියලා කියන එක ඇත්තටම මේ අතින් අසාධාරණ නැහැ. බලයේ දෘෂ්ඨිකෝණයෙන් බලන විට චින්තනය කියන්නේ වැදගත් දෙයක් නෙමෙයි. එච්චර වටිනාකමක් නැති මේ වගේ දෙයක් වෙනුවෙන් මෙච්චර දඟලන්නේ ඇයි කියලා එහෙම කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි. අපිට මේකට කියන්න තියෙන්නේ එකම දෙයයි:

ඔව්! අපි පිස්සු වැඩ තමයි කරන්නේ, මාසලස්ලාට එරෙහිව, ආකිමිඩිස්ලා සමග!

සංජය වීරකෝන්

Advertisements