Bandu Manamperi2

 

මෙම ලියවිල්ල ස්ලැවෝයි ජිජැක් ගේ “The Lesson of Ranciere” (‘රොන්සියර් ගේ පාඩම’) යන රචනයෙන් තෝරා ගන්නා ලද කොටසක සිංහල පරිවර්තනයකි.

එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණය කරනා වර්ගවාදයක් සහ වෙළඳපොළවාදයක් අතර දේශපාලන තෝරාගැනීම් සිර වී ඇති විට අප තවදුරටත් ප්‍රතිරෝධය දැක්විය යුත්තේ කෙසේද කියනා ගැටලුව පිළිබඳව සිතා බැලීම සඳහා රොන්සියර් ගේ දර්ශනය අපට මග හැරිය හැකි නොවේ. මිනිසාගේ සමානාත්මතාවය පිළිබඳව උපන්‍යාසයක් මත සිට නූතනවාදයේ දේශපාලන මැදිහත්වීම් ප්‍රකාශ මාන වුනු විවිධ ස්වරූපයන් සහ ඒවායෙන් අපට බෙදා ගත හැකි අත්දැකීම් පිළිබඳව අදහසක් ඇති කර ගැනීමට රොන්සියර් ගේ ලියවිලි කියවීම අත්‍යවශ්‍ය වේ. දේශපාලනය සහ දර්ශනය අතර බෙදුම් රේඛාව නිරන්තරයෙන් විනිවිධ යන රොන්සියර් ගේ මැදිහත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අදහසක් ඇති කර ගැනීමට ජිජැක් ගේ පහත අදහස තරමක් වැදගත් වනු ඇත.

සම්පූර්ණ ලිපිය සඳහා බලන්න Jacques Ranciere, (2004),“The Politics of Aesthetics- Distribution of the Sensible”, trans. Gabriel Rockhill, New York, Continuum Publishers, පිටු 69-79. පරිවර්තනය කර තිබෙන කොටස තිබෙන්නේ පිටු 76-79 දක්වාය.

***

සංවේදනීය ලෝකය කොටස් වලට වෙන්කිරීම (distribution of the sensible) නමැති සංකල්පය හරහා හඳුන්වා දුන් රොන්සියර් ගේ ප්‍රධාන සොයා ගැනීමක් වන්නේ දේශපාලනයේ සෞන්දර්යකරණයයි. එනම් සෞන්දර්යාත්මක මානය ඕනෑම රැඩිකල් විමුක්තිකාමී දේශපාලන ව්‍යාපෘතියක නෛසර්ගික ලක්ෂණයක් බව තහවුරු කිරීමයි. මෙම තෝරා ගැනීම රැඩිකල් දේශපාලනික ප්‍රේක්ශාව (spectacle) අයත් වූ දීර්ඝ ප්‍රංශ සම්ප්‍රදායක් මත පදනම් වූවත්, සමාජ දේහය සෞන්දර්යාත්මක-ඓන්ද්‍රීය සමස්තයක් දක්වා ඔසවා තැබීම තුල ෆැසිස්ට්වාදයේ ප්‍රධාන මූලය දකිනා අද දවසේ ආධිපත්‍යධාරී සංකල්පනයට එරෙහිව යන්නකි.

අප මෙය තේරුම් ගත යුත්තේ රොන්සියර් දේශපාලනික න්‍යායවේදියෙක් වනවාට අමතරව කලාව පිළිබඳව – විශේෂයෙන් සිනමාව පිළිබඳව – විශිෂ්ඨ ග්‍රන්ථ මාලාවක් ලියා තිබේ කියා නොවේ. දේශපාලනික දෙයෙහි සිට සෞන්දර්යාත්මක දෙය වෙත විතැන් වීම දේශපාලනික දෙයට නෛසර්ගිකවම අයත් වූවකි. විශ්වීය දෙය නියෝජනය කිරීම වෙනුවෙන් සුවිශේෂ සංඝටකයක් පෙනී සිටීම නම් වූ සෞන්දර්යාත්මක උපමාව යථාභූත වන්නේ පවත්නා බලය ප්‍රතික්ෂේප කරනා විශ්වීය සංඥාවක් වෙනුවෙන් පෙනී සිටිනා සුවිශේෂ ඉල්ලීමකින් සමන්විත වන, නිශ්චිත ලෙසම දේශපාලනික ‘විදුලි කාන්දු වීමක්’ තුළයි. නිදර්ශනයක් ලෙස කිසියම් සුවිශේෂ ක්‍රියාමාර්ගයකට (නව බදු ප්‍රතිපත්තියක් වැනි) එරෙහිව ජනයා වැඩ වර්ජනය කරන විට එහි සැබෑ අරමුණ වන්නේ මෙම නිශ්චිත ක්‍රියාමාර්ගයට එරෙහි වීම පමණක් නොවේ. එම නිසා තමයි බලයේ සිටින්නන් ඉක්මනින් පරාජය පිලි අරන් ඉල්ලීම් ඉටු කළහොත් මිනිස්සු තරමක් කලකිරෙන්නේ. මන්ද ඔවුන්ගේ ඉල්ලීම ඉටු වුවත් ඔවුන් සැබවින්ම ඉලක්ක කල දෙය ඔවුන්ට අහිමි වෙනවා. ඒ එක්කම, විශ්වීය සංකල්පීය ආස්ථානයන් නිශ්චිත කාන්ටියානු අර්ථයෙන් ‘වගුගත’ (‘schematized’) වුනු – එනම්, නිශ්චිත බලගතු රූප පෙළක් බවට පරිවර්තනය වුනු – දෘෂ්ඨිවාදී අරගලය ට වෙන දේ බලන්න. අපිට මතකයි මීට දශකයකට පෙර එක්සත් රාජධානිය තුල සියළු සමාජ ගැටළු වලට හේතුව ලෙස රැකියා නොමැති හුදෙකලා මව (single mother) නමැති චරිතය සම්ප්‍රදායික මාධ්‍යයන් විසින් ඔසවා තැබූ අයුරු: අයවැය පරතරයක් තියෙන්නේ හුදෙකලා මව්වරුන් වෙනුවෙන් උවමනාවට වඩා මුදල් වියදම් කරන නිසා; ලාබාල අපරාධකරුවන් වැඩි වෙන්නේ හුදෙකලා මව්වරුන් සිය දරුවන්ට හරියට අධ්‍යාපනය නොදෙන නිසා… නැතිනම්, ගබ්සා-විරෝධී ප්‍රචාරණ වලදී සෑම විටම පොහොසත් වෘත්තීය කාන්තාවක් ඇයගේ මාතෘ අරමුණු මග හරිනා ආකාරය දැක්වෙන රූප වෙළඳ දැන්වීම් වල යොදා ගත් අයුරු මතක් කරන්න – විශේෂයෙන්ම කම්කරු-පන්ති යේ ගැහැණුන් ට දරුවන් වැඩිපුර සිටිනා නිසා ඔවුන් අතර තමයි වැඩිපුර ගබ්සාවන් සිදු වන්නේ කියන ඉතා පැහැදිළි කරුණත් මෙහිදී උල්ලංඝනය විය. මෙවැනි කාව්‍යාත්මක විස්ථාපනයන් සහ එකතු කිරීම් යනු වඩා ගැඹුරු දෘෂ්ඨිවාදී අරගලයක ද්විතීක පැහැදිළි කිරීම් නොව එම අරගලයේ එකම අරගල කලාපයයි. රොන්සියර් විසින් දේශපාලනයේ පොලීසි-මානය (police-aspect) ලෙස නම් කරන, සමාජ ක්‍රියාවලීන් තාර්කිකව පරිපාලනය කිරීම සහ පාලනය කිරීම මගින්, අවධානය යොමු කරන්නේ සෑම පුද්ගලයෙකුම, සෑම ‘දෘශ්‍යමාන’ සමාජ ඒකකයක්ම, නිරවුල්ව වර්ගීකරණය කිරීම වෙතටනම්, එවිට දෘශ්‍යමාන ලෝකයේ එවැනි පර්යායන් අවුල් කිරීම සහ දෘශ්‍යමාන ලෝකය සඳහා විකල්ප, සැඟවුණු සම්බන්ධතාවයන් යෝජනා කිරීම, අනපේක්ෂිත විදුළි කාන්දු වීම් ඇති කිරීම ආදිය යනු ප්‍රතිරෝධය දැක්වීමේ මූලධාර්මික ආකෘතියයි.

වඩාත් පොදුවේ ගත්විට රොන්සියර් ගේ පාඩම වන්නේ සියළු සාමූහික කලාත්මක ප්‍රකාශනයන් ‘සාකල්‍යවාදී’ (totalitarian) කියා ඉවත දැමීමට ඇති ලිබරල් පෙලඹවීමට යට නොවීමට අප පරෙස්සම් විය යුතු බවයි. නාට්සීන් ගේ මුල් කාලයේ නිපදවූ Thingspiel මෙන්ම බ්‍රෙෂ්ට් ගේ ‘උගන්වන නාට්‍යය/Lehrstueckel’ යන දෙක තුලම බහුජන දෘෂ්ඨිවාදී-සෞන්දර්යාත්මක අත්දැකීම් (ගීත, කතා, ක්‍රියාකාරකම්) අඩංගු වූ අතර ඒවා තුල නරඹන්නන් ම නළුවන් බවට පත්විය. මින් අදහස් වන්නේ 30 දශකයේදී නාට්සිවාදය ලෙස පූර්ව-පුද්ගලික ප්‍රජාවක් තුලට ප්‍රතිගාමී ගොනු වීමේ ‘මූල-ෆැසිස්ට්වාදී’ (proto-Fascist) සාකල්‍යවාදී අත්දැකීමට වාමාංශිකයන්ද එකතු වූ බවද (සිග්ෆ්රීඩ් ක්‍රවුකෙර් [Siegfried Kracauer] වැනි අයගේ තිසීසය මෙයයි)? එසේ නොමැතිනම් මේ දෙක අතර වෙනස තිබෙන්නේ නාට්සි Thingspiel එක මගින් බොළඳ හැඟීම්බර එකතු වීමක් වේදිකාගත කරන විට බ්‍රෙෂ්ට් දුරස්තකරණය වූ, තමන් දිහාම බලා සිටින, ඉගෙන ගැනීමේ  ස්වයං-සවිඥානක ක්‍රියාවලියක් අරමුණු කිරීම තුලද? කෙසේ වුවත්, මේ හැඟීම්බර එකතු වීම සහ ස්වයං-සවිඥානික දුරස්තකරණය අතර තිබෙන සම්ප්‍රදායික බ්‍රේෂ්ටියානු දෙබෙදුම අපට ප්‍රමාණවත්ද? ඔක්තෝබර් විප්ලවයේ තෙවෙනි සැමරුම වෙනුවෙන්, 1920 නොවැම්බර් 7 වෙනිදා පෙට්‍රොග්‍රාඩ් හීදී ‘Storming the Winter Palace’ නාට්‍යය වේදිකාගත වීම අපි සිහියට ගනිමු. ලක්ෂ ගණනක් කම්කරුවන්, සොල්දාදුවන්, ශිෂ්‍යයන් සහ කලාකරුවන් නිදි නොමරා, කාෂා (රසක් නොමැති සුදු ධාන්‍ය වර්ගයක්), තේ සහ මිදුණු ඇපල් පමණක් අහරට ගනිමින්, වසර තුනකට පෙර සිදුවීම ‘සැබවින්ම සිදු වූ’ තැනම, ප්‍රසංගය සූදානම් කරයි; ඔවුන්ගේ කාර්යභාරයන් සම්බධීකරණය කරන්නේ හමුදා නිලධාරීන් සහ ඉදිරිගාමී චිත්‍ර ශිල්පීන්, සංගීතඥයන් සහ අධ්‍යක්ෂකවරුන් – මැලවිච් ගේ සිට මේයර්හෝල්ඩ් දක්වා. මේ කරන්නේ රඟපෑමක් වූවත් සහ එය ‘යථාර්ථය’ නොවුවත්, සොල්දාදුවන් සහ නාවුක භටයන් රඟපාන්නේ තමන්වමයි – ඔවුන්ගෙන් බහුතරයක් 1917 සිදුවීම් වලට සැබවින්ම සම්බන්ධ වුවා පමණක් නොව, ආක්‍රමණයකට මුහුණ දී සිටින සහ දරුණු ආහාර හිඟයකට මුහුණ දී තිබුණු යාබද නගරයක් වූ පෙට්‍රොග්‍රාඩ් වල සිවිල් යුද්ධයට සම්බධ සැබෑ සටන් වලට ද සහභාගී විය. සමකාලීනයෙකු මේ ප්‍රසංගය ගැන කිව්වේ මෙහෙමයි: ‘දරුණුතම ලේ හැලීම් සහ කෲර විප්ලවයක් පුරාවටම මුළු රුසියාවම රඟපාමින් සිටි බවට අනාගත ඉතිහාසවේදීන් විසින් වාර්තා කරනු ඇත’; එලෙසම ආකෘතිවාදී න්‍යායවේදියෙක් වන වික්ටර් ශ්ලොව්ස්කි සටහන් කළ පරිදි: ‘ජීවිතයේ සජීවී මුද්‍රාව වේදිකාමය දෙයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන කිසියම් මූලධාර්මික ක්‍රියාවලියක් සිදුවෙමින් පවතියි’.

මේ ආකාරයේ විශ්ලේෂණ වල තවත් ජනප්‍රිය මාතෘකාවක් වන්නේ දහස් ගණනක් සිරුරු විනයගත ලෙස චලනය වන මහජන නර්ත වින්‍යාසයන් (පාගමන්, ක්‍රීඩාංගන වල මහජන ප්‍රසංග ආදිය) වල ඇති ‘මූල-ෆැසිස්ට්වාදී’ ලක්ෂණ ලෙස කියන දෙයයි. මෙය සමාජවාදය තුලද තිබෙන්නේනම්, කෙනෙක් ඉතාම ඉක්මනින් ‘සාකල්‍යවාදයන්’ දෙක අතර ‘ගැඹුරු සම්බන්ධයක්’ සලකුණු කරයි. දෘෂ්ඨිවාදී ලිබරල්වාදයේ මූලික ආකෘතිය වන මෙයටත් ප්‍රධාන දෙය මග හැරී යයි. මෙවැනි මහජන ප්‍රසංග නෛසර්ගිකවම මාක්ස්වාදී නොවනවා පමණක් නොව ඒවා වමට හෝ දකුණට හෝ උරා ගත හැකි වන ලෙස පවතින ‘මධ්‍යස්ත’ දෙයක්වත් නොවේ. ඒවායේ උපන්බිම වන කම්කරු ව්‍යාපාරයෙන් ඒවා සොරා ගත්තේ නාට්සිවාදයයි. මේ කිසිම ‘මූල-ෆැසිස්ට්වාදී’ සංඝටකයක්වත් පාරිශුද්ධ ලෙස ෆැසිස්ට් නොවේ. ඒවා ෆැසිස්ට් බවට පත්වෙන්නේ ඒවායේ නිශ්චිත සන්දර්භය තුළයි. ස්ටෙෆාන් ජේ ගෝල්ඩ් ගේ වචන වලින් කියන්නේනම්, මේ සෑම සංඝටකයක්ම ෆැසිස්ට්වාදය මගින් ‘ex-apted’ කරයි. වෙනත් වචන වලින් කියන්නේනම්, වචනයට පෙර ෆැසිස්ට්වාදයක් නැත. මන්ද, සංඝටක එකතුවක් පැහැදිළි ෆැසිස්ට්වාදය බවට පත්කරන්නේ වචනයයි (නාමකරණයයි).

මේ ආකාරයෙන්ම ශික්ෂණය (ස්වයං-පාලනයේ සිට ශරීරය පුහුණු කිරීම දක්වා) යනු ‘මූල-ෆැසිස්ට්වාදී’ ලක්ෂණයක් යන සංකල්පයද අප විසින් රැඩිකල් ලෙස ප්‍රතික්ෂේප කල යුතුය. ඇත්ත වශයෙන්ම අප විසින් ‘මූල-ෆැසිස්ට්වාදී’ යන ගුණාංගය අත හැරිය යුතු වේ – සැබෑ සංකල්පීය විශ්ලේෂණයට බාධා කරනා ඊනියා සංකල්පයක් පිලිබඳ ඇති හොඳම උදාහරණය වන්නේ මෙයයි. දහස් ගණනක සංවිධානය වූ ශරීර වල ප්‍රේක්ශාවක් (නැතිනම්, ඉහළ උත්සහයක් සහ ස්වයං පාලනයක් අවශ්‍ය කඳු නැගීම වැනි ක්‍රීඩාවක් අගය කිරීමේදී) ‘මූල-ෆැසිස්ට්වාදී’ කියා පැවසීම මගින් අප සැබවින්ම කිසිවක්ම නොපවසයි. අප කරන්නේ අපගේ නොදැනුවත්බව සඟවන වියවුල්කාරී සම්බන්ධයක් ඉඟි කිරීම පමණි. ඉතින්, දශක තුනකට පමණ පෙර කුන්ග් ෆු චිත්‍රපට (බ්රූස් ලී, ආදී) ජනප්‍රිය වූ කාලයේ දී අප විසින් ගණුදෙනු කරන්නේ තමන්ගේ එකම වත්කම වූ ශරීරය ශික්ෂණයකට යටත්ව පුහුණු කිරීම සිය සාර්ථකත්වයට ඇති එකම මග වන්නා වූ කම්කරු පන්ති තරුණයන්ගේ දෘෂ්ඨිවාදයක් සමග බව පැහැදිළි නොවිනිද? කැමති කැමති වෙලාවට කැමති කැමති දේ කිරීම සහ අතිරික්ත නිදහසක් භුක්ති විඳිනා ආකල්පය අයත් වූයේ එහි මිල ගෙවිය හැකි අයට පමණි. කිසිවක් නොමැති අයට ඇත්තේ සිය විනය පමණි. ඇත්තටම ‘නරක’ ශරීෂ ශික්ෂණය කියලා දෙයක් තියෙනවනම් ඒ සාමූහික පුහුණුව නොව තමන්ගේ අභ්‍යන්තර විභවය යථාභූත කර ගැනීමේ ‘නව ලෝකය’ පිලිබඳ මිත්‍යාවේ කොටසක් වන සන්ධ්‍යා කාලයේ දිවීම සහ මාංශ පේශි වර්ධනයයි. මේ අරුතින් ගත්විට හිටපු වාමාංශිකයන් ට ප්‍රායෝගික දේශපාලනයේ ‘පරිණත බව’ වෙත යන මාවත තුලදී තමන්ගේ සිරුර පිළිබඳව පුදුමාකාර ලෙස වද වීම තියෙන එක ගැන අප පුදුම විය යුතු නොවේ. ජේන් ෆොන්ඩා ගේ සිට ජොෂ්කා ෆිෂර් දක්වා අයට අවධි දෙක අතර ඇති ‘අමතක වන කාලය’ තුල මූලික අවධානය යොමු වුනේ තමන්ගේ ම සිරුර වෙතයි.

දේශපාලනික දෙය තුල සෞන්දර්යාත්මක මානය නෛසර්ගිකව ඇති බවට රොන්සියර් කරනා අනුරාගික යෝජනාව තුලදී, පැහැදිළි ලෙසම අවසන් වී ඇති දහනම වන සියවසේ ජනප්‍රිය අරගල වෙත නැවත යාමට ඇති අතීතකාමයක් ඔහු පෙන්නුම් කරනා බව බොහෝ විට සඳහන් වේ. ඇත්තටම එය මෙහෙමද? ඇත්තටම ගත්විට ‘පශ්චාත්-නූතනවාදී’ ප්‍රතිරෝධයේ දේශපාලනය තුල මුළුමනින්ම ඇත්තේ සෞන්දර්යාත්මක ප්‍රපංච නොවේද – ශරීර සිදුරු කිරීම සහ ලිංගය මාරු කර ඇඳුම් ඇඳීමේ සිට මහජන ප්‍රේක්ශාවන් දක්වා? ‘හදිසි ජනරාශි’ (‘flash mobs’) යන කුතුහලය දනවන ප්‍රපංචය යනු පාරිශුද්ධ අර්ථයෙන් සෞන්දාර්යාත්ම-දේශපාලනය එහි අවම රාමුවට ඌණනය කල විට අපට හමු වන දෙය නොවේද? කලින් සැලසුම් කල තැනකට එකතු වන ජනයා කිසියම් කෙටි (සහ බොහෝ විට බොහොම සරල නැතිනම් ලජ්ජාසහගත) රංගනයක් කර ඉකමනින් විසිර යාම – ඇත්තටම ‘හදිසි ජනරාශි’ යනු සැබෑ අරමුණක් නොමැති නාගරික කවි කියා නම් කිරීම ගැන පුදුම විය යුතු නොවේ. මේ අතරට බහුවිධ අනන්‍යතා(හරණයන්) සමග ක්‍රීඩා කල හැකි සහ ස්ථාපිත සමාජ සම්බන්ධතා උඩු යටිකුරු කිරීම් වලින් බහුල සයිබර් අවකාශය ගැන අමුතුවෙන් මතක් කල යුතු නොවේ… ඉතින්, අප ගෝලීය පශ්චාත්-කාර්මික සමාජයකට ඇතුලත් වීම සමගම අපට අහිමි වූ ජනප්‍රියවාදී අතීතයකට අතීතකාමී ලෙස බැඳී පැවතීම කෙසේ වෙතත් රොන්සියර් ගේ චින්තනය අද දවසේ පෙර කවරදාටත් වඩා වලංගු වන්නකි: වාමාංශය දිශානතිහරණය වීමේ අපගේ කාලය තුල දී ඔහුගේ ලියවිලි මගින් අපට ලබා දෙන්නේ අප තවදුරටත් ප්‍රතිරෝධය දැක්විය යුත්තේ කෙසේද කියන එක පිළිබඳව ඇති ඉතාම සීමිත සංගත සංකල්පීයකරණයන් වලින් එකකි.

ස්ලැවෝයි ජිජැක්

 

 

 

***

Advertisements