Thierry Verron1

සාංදෘෂ්ටිකවාදය යනුවෙන් අප සරලව හඳුන්වා දෙනු ලබන්නේ එක්තරා ආකාරයකට ප්‍රති-පද්ධතිගත නො එසේ නම් පද්ධති විරෝධී ප්‍රවේශයකටය. මෙහි දී අපගේ මූලික එළඹුම වන්නේ සාංදෘෂ්ටිකවාදය පිළිබඳ සොරේන් කියකිගාර්ඩ් සිය ප්‍රවේශය ජෝර්ජ් විලියම් හේගල්ට විවේචනයක් ලෙස ගොඩනගන්නේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡාව ලාංකේය සංදර්භයක වටහා ගැනීමටයි. (මෙම විවේචනය ලිපි කිහිපයකින් ලිවීමට අදහස් කරමු, මෙම ලිපිය එහි පළමුවැන්නයි). සොරේන් කියකිගාර්ඩ් ඔහුගේ සාංදෘෂ්ටිකවාදය ස්ථානගත කරනු ලබන්නේ දයලෙක්තික ආකාරයකටයි. මෙම දයලෙක්තික අදහස අපට හේගල්ගේ දයලෙක්තිය පිළිබඳ අදහසින් කිසිසේත්ම වටහා ගැනීමට නොහැක. මේ සම්බන්ධ ප්‍රවේශයේ දී මුලින්ම හේගල් අපට කියන්නේ කුමක් ද කියා සොයා බැලීම වැදගත් වේ. හේගල්ට අනුව තාර්කිකත්වය (the Rational)  යනු තත්‍ය වේ (Real) , සැබෑ වේ. සැබෑව තත්‍ය යනු තාර්කිකත්වය වේ. යම් දෙයක් තාර්කික වේ ද ඒ දෙය යථාවයි එසේම යම් දෙයක් යථාව වේ ද එය තාර්කිකයි.  එහි අරුත් සැකෙවින් මෙසේය. ඕනෑම දෙයක් පවතින්නෙ නම් ඕනෑම දෙයක් යථාව වේ. එය අපගේ මනසට ස්වාධීන වන්නක් නොවේ. යථාර්ථය මනසට අනුව ස්වාධීන වන්නක් නොවේ. එය පරම (Absolute)  ලෙස මානසික වන අතර පරමාදර්ශී ලෙස ස්වභාවික වේ. අපගේ කල්පනාවන්, අදහස් මානසික වේ. එම නිසා හේගල් ඔහුගේ එළඹුම අදහස් (Idea) සහ දේවල් (Things) අතර ප්‍රභේදයට ලක් කරයි.

මෙහිදී යථාර්ථය සම්බන්ධයෙන් දෙයාකාරයේ බෙදිමක් සිදු වේ. පළමුවැන්න වන්නේ පරමාදර්ශය (Ideal) යන්නයි. එය යථාර්ථයි. එය අනුභූති උත්තරත්වයයි. එය ඉන්ද්‍රියානුභූතික නොවේ. මෙය යම් ලෙසකට ප්ලේටෝගේ අදහස් සමඟ සමපාත වන බවක් පෙනෙන්නට තිබේ. නමුත් එය විවාද සම්පන්න වේ. දේවල් පිළිබඳ ආකෘතිය (form), සංකල්පය තත්‍ය වේ. අනෙක් කාරණාව වන්නේ සාරයයි. වස්තූන් (objects) යනු ඉතිරි කරුණයි. වස්තූනේ සාරය යනු සංකල්පයයි. සංකල්පයන් යනු වියහැකි දේවල් වන අතර දේවල් යනු තත්වාකාරයන් වේ (Ideas are possibilities and Things are actualities).

කිසිදු ප්‍රත්‍යක්ෂයක් නොමැතිව දේවල් තත්වාකාරයන් බවට පත් නොවේ. ප්‍රත්‍යෙක, ඒක පුද්ගල භූථාර්තයන් විසින් පදාර්ථයන් සහ ආකෘතීන් සකස් කරයි. එම නිසා මෙහි වියහැකි බවක් සහ සම්භාවිතාවක් ඇත. එම නිසා මෙහි දී හේගල් උත්සහ කරනවා ඔහුගේ කාල්පනික, පරමාදර්ශී ලෝකය මේ ආකාරයකට පෙන්වා දීමට සහ එම නිසා යථාර්ථය සමස්ථයක් ලෙස ගැනීමටත්. පරම සංකල්පනය යනු  තාර්කිකත්වයේ මට්ටම බව ඒ වෙනුවට ඔහු පෙන්වා දෙනු ලබයි. පරම බුද්ධිය යනු චිත්තමය දැනීමේ මට්ටම බව ඔහු පෙන්වා දෙයි.

හේගල් විශ්වාස කරනු ලැබුවේ සවිඥානිකත්වය (Consciousness)  බව අප දැනටමත් දන්නා කරුණකි. එක්තරා ආකාරයකට එය මනසේ උච්ච තත්වයක් ලෙස දැක්විය හැක. මනස  දැනීමේ අවධියකි. අනෙත් ආකාරයට එය වාස්තවික යථාර්ථයකි. පරම පැවැත්ම පිළිබඳ කාරණයේ දී අපට ගහකොළ, සත්වයන් පිළිබඳව පමණක් නොව පුටු මේස ආදිය ගැනත් ප්‍රශ්නයක් නඟන්න පුළුවනි. හේගල්ගේ මේ ගැන අදහස වන්නේ මේ සියල්ල ලෝකයේ ම අංග බවයි. පරමත්වය එහි අංග නොමැතිව පැහැදිලි කළ නොහැකි බව හේගල් එම නිසා අපට පවසයි. පරමත්වය යනු කැටිගැසුන සංයුක්තත්වයක් පිළිබඳ ලෝකයකි. මෙම පරමත්වය පිළිබඳ කාරණයේ දී සියලු වෙනස්කම්, සියලු  භේදයන් එම පරමත්වය  සමඟ සමාදාන වේ.

දැන් අපට සලකා බැලිය හැකි කාරණාවක් ඇත. එනම් හේගල් තාර්කිකත්වය යථාර්ථය ලෙස කියන්නෙ ඇයි ? යන්නයි. එයට හේතුව වන්නේ අපට පුටුව අත්දකින ආකාරයක පරමත්වය අත්දැකිය නොහැකි නිසාය. අප ලෝකයේ දේවල් පවත්වා ගනු ලබන්නේ ඒවා කල්පනා කිරීමෙනි. මානසික වශයෙනි. හේගල්ට අනුව, මෙම සියලු සිතීම් සිදුවන්නේ කෙසේ ද?  සිතීමේ ස්වභාවය ම දයලෙක්තික ආකාරයක් ගනී. දයලෙක්තිකය යනු සරලවම දක්වනවා නම්  සහවාදය පිළිබඳ ක්‍රියාවලිය ප්‍රති-විරුද්ධතාවයන්ගෙන් සිදු වීමයි. එය ත්‍රිත්ව ආකාරයකට හේගල් දක්වයි. ප්‍රවාදය Thesis, ප්‍රති – ප්‍රවාදය Anti – Thesis  සහ සහවාදය synthesis යනු එයයි.

මෙම දයලෙක්තික සිතීම ආශ්‍රයෙන් අප කලින් කී පරමත්වය ගැන අදහස පැහැදිලි කිරීමට ඉදිරිපත් වේ.  සිතීමෙන් කෙසේ ද පරමත්වය සාක්ෂාත් කරගනු ලබන්නේ යන්න හේගල්ගේ ව්‍යාපෘතියයි. සිතීම යනු මෙහි දී දයලෙක්තික සිතීම වේ. ප්‍රවාද සමඟ සිතීම ආරම්භ වන අතර ඒ වෙලෙහිම ප්‍රති – ප්‍රවාදය ද ආරම්භ වේ. එය ප්‍රවාදයට විරුද්ධ වේ. ප්‍රතික්‍රියාවලියක් සිදු වේ. යම් කිසි ක්‍රියාවලියක් අනිවාර්ය ලෙස මෙම ප්‍රවාද සහ ප්‍රති-ප්‍රවාද අතර සිදු වේ.  ඒ අතුරින් සහවාදය ඉලිප්පේ. මෙම ක්‍රියාවලිය ප්‍රවාදය, ප්‍රති ප්‍රවාදය එය නැවතත් ප්‍රවාදය ආදී ලෙස සිදුවෙමින් ඉදිරියට යයි. පරමත්වය පිළිබඳ අදහස එන්නේ සහවාදයට අනුවයි. එම නිසා හේගල්,  යථාර්ථය යනු පැවැත්ම බවත් ඒත් එයට එහිම වූ වියුක්ත  ගුණ පවතින බවත් පවසයි.   ඒ අනුව ප්‍රති-ප්‍රවාදය යනු නො-පැවැත්මයි. අපට නො-පැවැත්ම නොමැතිව පැවැත්ම අවබෝධ කරගත නොහැක. එලෙසම ද්වෛතවාදය එහි නිර්-ද්වෛතවාදයෙන්ම අවබෝධ කරගත හැකියි. මේ ආකාරයට පද්ධතිය නිර්මාණය වන බව හේගල් පෙන්වා දෙයි. ඒ අනුව ඔහුගේ පද්ධතිය (System) දයලෙක්තික පද්ධතියකි. එය සිතීමේ සහ යථාර්ථයේ අංගයකි. හේගල්ගේ පාර-භෞතික (Metaphysics)  ගොඩනැන්වීම වන්නේ මෙයයි. පැවැත්ම සහ නො-පැවැත්මයි.  පැවැත්ම කිසි විටෙක හුදකලා නොවේ.

එරන්ද මහගමගේ

 

 

 

 

***

Advertisements