Jagath-Who Are You Soldier2

මෙහි උත්සාහ කරන්නේ, තරමක් සංක්ෂිප්ත ලෙස, බ්ලොග් ආකෘතියේ සීමාවන්ට යටත්ව, නලින් ද සිල්වා ගේ සිංහල ජාතිකවාදයේ දාර්ශනික පදනම පිළිබඳව පැහැදිළි කිරීමක් ලබා දීමටයි. නලින් ද සිල්වා ගේ අදහස් දාර්ශනිකව ප්‍රශ්න කිරීම සමකාලීන දේශපාලනයේ උපායමාර්ගික තෝරාගැනීම් සමග සම්බන්ධ වන්නේ කෙසේද කියා මා මිත්‍ර විදර්ශන කන්නන්ගර කලකට පෙර විමසා සිටියේය. මෙම උත්සාහය තුළ තිබෙන්නේ එම ප්‍රශ්නය සඳහා මට තිබෙනා අවංක ප්‍රතිචාරය, හැකිතාක් විධිමත් ලෙස ලබා දීමයි – මගේ ‘අතේ තිබෙනා කොල සියල්ල’ මොනවාද කියා පෙන්වීමේ අවදානම ගැනීමයි. යහපත් සංවාදයක් බිහිවීමේ වියහැකිබව වෙනුවෙන් මෙවැනි අවදානමක් ගැනීම සාධාරණ වන්දියක් කියා මම සිතමි.

අදහස් දැක්වීම හසුරුවා ගත හැකි ප්‍රමාණයට සීමා කිරීම වෙනුවෙන් මෙහිදී මාගේ මූලික විමර්ශකය ලෙස භාවිතා වන්නේ නලින් ද සිල්වා ගේ ඉතාම මෑත කාලීන ලියවිල්ලක් වන “දහම ආගම හා සංස්කෘතිය 3” යන කෙටි ලිපියයි (සම්පූර්ණ ලිපිය මෙතැනින්). ‘කොමියුනිස්ට්වාදය’ වෙනුවට ‘ජාතිය’ යනු මිනිසා ගේ සාමූහික විමුක්තියේ අවසාන සිතිජය කියා විශ්වාස කිරීමේ දාර්ශනික පදනම වටහා ගැනීමට මේ මගින් අපට කවුළුවක් නිර්මාණය කර ගත හැකිය. මා සිතනා ආකාරයට, ජාතිවාදය යන්න සමන්විත වන්නේ බොදු බල සේනාවේ වීදි මැරයන්ගෙන් පමණක් වේ කියා විශ්වාස කිරීම බරපතල දේශපාලන වරදකි. ඉතා පැහැදිළිවම ඒ සමඟ බැඳුනු බුද්ධිමය පදනමක් එයට තිබේ. එම බුද්ධිමය පදනම සඳහා විධිමත් විකල්පයක් නිර්මාණය නොකරන තාක් කල් සමාජයේ දේශපාලනික උනන්දුවක් තිබෙනා බුද්ධිමය තාරුණ්‍යයෙන් සැලකිය යුතු පිරිසක් ජාතිවාදයේ වඩා පහසු නවාතැන තෝරා ගැනීම අවසන් නොවනු ඇත. එවැනි විකල්පයක් නිර්මාණය කිරීම සඳහා ජිජැක්, ලැක්ලාවූ, බදියූ, ඩෙරීඩා, ෆූකෝ, රොන්සියර් ආදී චින්තකයන් ගේ අදහස් සිංහලෙන් සාකච්ඡා කිරීම හෝ විකල්ප කලා භාවිතයන් – සිනමා, සාහිත්‍ය, වේදිකා, චිත්‍ර – පිළිබඳව විචාරාත්මක කියවීම් කිරීම හෝ පමණක් ප්‍රමාණවත් නොවේ. නැවතත් : මේ මගින් කියා සිටින්නේ, එවැනි දේ නොකළ යුතු බව නොව ඒවා පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

එවැනි දේට අමතරව, සිංහල ජාතිවාදයේ බුද්ධිමය ධාරාවන් සඳහා විධිමත් විවේචනයක්, විශ්ලේෂණයක්, එහි සංකල්පීය සීමාවන් හෙළිදරව් කිරීමක්, අප අතින් සිදු වන්නේ නොමැතිනම් බුද්ධිමය පරම්පරාවක් අපට අහිමි වී යාම නොවැලක්වෙනු ඇත. මෙවැන්නක් කිරීම සඳහා අපට තිබෙනා පහසු ක්‍රමවේදයක් වන්නේ සිංහල ජාතිකවාදී බුද්ධිමය ධාරාවන් අතින් වඩාත් ශක්තිමත්ම පුරුක හඳුනා ගෙන එය සමඟ විචාරාත්මකව අභිමුඛ වීමයි. මේ සඳහා අපට තිබෙනා පළමු තෝරා ගැනීම වන්නේ නලින් ද සිල්වා වීම සම්බන්ධයෙන් මා හට කිසිදු දෙගිඩියාවක් නොමැත. මේ මොහොතේ දේශපාලන බල තුලනය තුළ ඔහුගේ ඍජු බලපෑම කුමක්ද යන ප්‍රශ්නය මේ නිශ්චිත ලක්ෂ්‍යයේ දී අපට තීරාණාත්මක නොවෙයි. ඔහුගේ අදහස්වල දාර්ශනික ශක්තිය තීරණය වන්නේ සිංහල ජාතිකවාදයේ සංවිධානගත දේශපාලනය තුළ පුද්ගලයෙක් ලෙස ඔහුට හිමි වන බලපෑම් කිරීමේ හැකියාව මත නොවේ. එහි දී වැදගත් වන්නේ ඔහුගේ අදහස් වල රැඳී තිබෙනා දාර්ශනික ශක්තිය කුමක්ද යන්නයි. මෙම නිශ්චිත ලක්ෂ්‍යයේ දී නලින් ද සිල්වා පසුකර යා හැකි සිංහල ජාතිකවාදියෙක් සොයා ගැනීම ඉතාම අසීරැ වන්නකි. මෙතැන් සිට මා උත්සාහ කරන්නේ මෙයට හේතුව පෙන්වා දීමයි.

නලින් ද සිල්වා, අප දන්නා පරිදි, සිංහල ජාතිකවාදය දේශපාලනිකව වැළඳ ගැනීමට පෙර මාක්ස්වාදී දේශපාලනයේ නිරත වූ ක්‍රියාකාරිකයෙක් විය. නමුත් 1980 දශකයේ ආරම්භයේදී ඔහු මාක්ස්වාදයෙන් වෙන් වී යයි.

සම්ප්‍රදායිකව ගත්විට මාක්ස්වාදී දේශපාලන භාවිතාවන්වල සිටි අය ඉන් ඉවත් වීම අපට ආකාර දෙකකින් තේරුම් තේරුම් ගත හැකි වේ. එක පසෙකින් තිබෙන්නේ, අප දන්නා පරිදි, සෝවියට් සමූහාණ්ඩුවේ සහ නැගනෙහිර යුරෝපයේ පැවති සමාජවාදී රාජ්‍ය පද්ධතියේ කඩා වැටීම සමඟ කොමියුනිස්ට්වාදය යථාභූත කර ගැනීම වෙනුවෙන් කළ පළමු මහා පරිමාණ අත්හදා බැලීම අසාර්ථක වීමයි. ඒ සමඟ ම ගෝලීය දේශපාලන ව්‍යාපාරයක් ලෙස මාක්ස්වාදය තුළ පසුබැසීමක් වූ බවත් බොහෝ දෙනෙක් එමගින් බලාපොරොත්තු කඩ කර ගැනීමකට සහ දිශානතිහරණය වීමකට ලක් වූ බවත් අපි දනිමු. නමුත් මේ අර්ථයෙන් ගත්විට නලින් ද සිල්වා මාක්ස්වාදය හැර යාම අපට තේරුම් ගැනීමට නොහැකි බව පැහැදිළි වන්නේ 1980 දශකය වන විට මාක්ස්වාදයේ මෙම ‘ප්‍රායෝගික අසාර්ථකත්වය’ පිළිබඳ දෘෂ්ඨිවාදය කරළියට පැමිණ තිබුනේ නොමැති නිසාය. ‘සමාජවාදය’ යනු ඉතා ම සැබෑ වියහැකිභාවයක් ලෙස එකල පිළිගැනීමට ලක් වූවා පමණක් නොව, නලින් ද සිල්වා ගේ ජාතිකවාදය පළමුවෙන් අර්ථ දැක්වූයේ ‘සමාජවාදය’ සඳහා මාක්ස්මය නොවන විකල්පයක් ලෙසයි. එනිසා, නලින් ද සිල්වා මාක්ස්වාදයෙන් වෙන් වීම එහි ‘ප්‍රායෝගික අසාර්ථකත්වය’ පිළිබඳ ව අද තිබෙනා දෘෂ්ඨිවාදය ඇසුරින් තේරුම් ගත හැකි නොවේ.

මාක්ස්වාදී භාවිතාවන් අතහැර යන අනෙක් සම්ප්‍රදායික ක්‍රමය වන්නේ, මෙයට වඩා සරල ලෙස, දේශපාලනය අතහැරීමයි. දේශපාලන ක්‍රියාධරයෙක් වීම යනු පවත්නා සමාජ ක්‍රමයේ ආධිපත්‍යධාරී ජීවන රටාවන් සමග සමගාමී වන දෙයක් නොවේ. එනිසා දිගු කාලයක් එවැනි භාවිතයක නිරත වීම සඳහා කෙනෙකුගේ අවශේෂ ජීවිතය – ආදර සම්බන්ධතා, ලිංගිකත්වය, ආර්ථික සුරක්ෂිතතාවය ආදී ලෙස – තරමක් සංකීර්ණ ආකාරයකට යළි සකස් කර ගැනීම කළ යුතු වේ. තරුණ කාලයේ දී – විශේෂයෙන් ශිෂ්‍ය අවධියේදී – මාක්ස්වාදී සමාජ භාවිතාවන් හී නියැලෙන අය තරුණ විය ඉක්මවීමත් සමඟ ඒවායින් ඉවත් වන්නේ මෙම යළි සකස් කර ගැනීම කළ නොහැකි වන නිසාය. නමුත්, නලින් ද සිල්වා මාක්ස්වාදය හැර යන්නේ මෙවැනි හේතුවක් නිසාද නොවේ. අද දවස වන තුරු ම ඔහු ඉතා සක්‍රීය දේශපාලන ක්‍රියාකාරිත්වයක සිටිනා අතර ම, එය රාජ්‍යයෙන් දුරස්ව තබා ගැනීමට ද ඔහු සමත් වී තිබේ. ඇලේන් බදියූ ගේ දර්ශනය ඇසුරින් කියන්නේනම්, නලින් ද සිල්වා යනු ප්‍රතික්‍රියාකාරී ආත්මයක් (reactive subject) ලෙස නම් කළ හැකි වේ. නමුත්, මෙතන දී අපට මතු කර දීමට අවශ්‍ය වන කරුණ වන්නේ ඔහු, ප්‍රතික්‍රියාකාරී ලෙස වුවත්, දේශපාලනික ආත්මයක් වන බවයි. තවත් සරල ලෙස කියන්නේනම්, ඔහු ‘සටන් කිරීම’ ජීවන භාවිතාවක් කර ගැනීම අත් හැර දමන්නේ නැත. එනිසා, ඔහු මාක්ස්වාදයෙන් ඉවත් වීම සමස්ත දේශපාලන ක්‍රියාකාරිත්වයක බිඳ වැටීමක් වන්නේ නැත.

එසේ නම් ඔහු මාක්ස්වාදයෙන් වෙන් වීම සඳහා මේ සම්ප්‍රදායික හේතු දෙක ම – එනම්, පළමු කොමියුනිස්ට් අත්හදා බැලීමේ පරාජයෙන් ඇති වූ දිශානතිහරණය සහ පුද්ගලික පැවැත්මේ අභියෝග හමුවේ සිය පක්ෂපාතිත්වයන් යටත් කිරීම – අදාළ නොවේ. එසේ නම් අප එය තේරුම් ගත යුත්තේ කෙසේද?

අප දන්නා පරිදි සම්භාව්‍ය මාක්ස්වාදය ජනප්‍රිය ලෙස හැඳින්වූයේ විද්‍යාවක් ලෙසයි. විශේෂයෙන් මාක්ස්ගේ මරණයෙන් පසුව එංගල්ස් ගේ බලපෑම මත ඇති වූ දෙවැනි ජාත්‍යන්තරයේ ආධිපත්‍යය යටතේ මෙම මාක්ස්වාදයේ විද්‍යාත්මකබව පිළිබඳ සංවාදය ඉදිරියට පැමිණේ. එයට අනුව මාක්ස්වාදය යනු ඉතිහාසය පිළිබඳව විද්‍යාවකි. තරමක් සරල ආකාරයට අපට මෙම මූලික අදහස මෙලෙස සාරාංශගත කළ හැක. ‘ඉතිහාසය’ යනු මිනිසා මෙන්ම වාස්තවික ලෝකයත් ගොඩ නංවන චලනයයි. එම චලනයේ මූලික ලක්ෂණ මාක්ස්වාදය විසින් හඳුනාගෙන ලැබ තිබේ. එනිසා ඉතිහාසය ගමන් කරන්නේ කුමන දිශාවකටද යන්න මාක්ස්වාදයට පුරෝකථනය කළ හැක. එම ඉතිහාසය යනු අපේ පුද්ගලත්වය ඉක්මවූ පරිබාහිරත්වයක් වන නිසා අපට එය ‘යථාර්ථය’ (‘reality’) කියා නම් කළ හැක. ‘යථාර්ථය මාක්ස්වාදී වන්නේනම් එය මගේ වරදක් නොවේ’ යන අර්නස්ටෝ චේ ගෙවාරා ගේ ජනප්‍රිය ප්‍රකාශය ඇසුරින් මේ අදහස අපට සම්පිණ්ඩනය කළ හැකිය.

දැන්, මේ අදහසට නලින් ද සිල්වා එකඟ නොවන්නේ ඇයි? ඔහුගේ ආරම්භක විවේචනය දිශානත වූයේ මාක්ස්වාදයේ මෙම ප්‍රකාශිත විද්‍යාත්මකබව සම්බන්ධයෙනි. නමුත් මෙම විවේචනය මුළුමනින් වර්ධනය වන විට එමගින් අභියෝගයට ලක් වන්නේ, මාක්ස්වාදය ද ඇතුළු ව, විද්‍යාවන් ලෙස තමන්ව හඳුන්වනු ලබන ඕනෑම දැනුමක් මගින් ප්‍රකාශ කරනා යථාර්ථය පිළිබඳ අදහසයි. අපි දැන් නලින් ද සිල්වා උපුටමු:

“වාස්තවික යථාර්ථය යනු පවත්නා දෙයක් යැයි බොහෝ අය කියනවා. ඒ පවත්නා දෙය තේරුම් ගැනීමට දැනුම අවශ්‍ය බව කියනවා. ඒ වාක්‍යය එතරම් නිරවුල් නැහැ. දැනුම යනු කුමක් ද? ඊනියා දැනුම ඊනියා මිථ්‍යාවෙන් වෙනස් වන්නේ කෙසේ ද? ඊනියා වාස්තවික යථාර්ථයක් ඇත්නම් දැනුම යනු අන් කිසිවක් නොව ඒ වාස්තවික යථාර්ථය දැන ගැනීමයි. බටහිරයන්ට අනුව බටහිර විද්‍යාව මේ යථාර්ථය දැන ගැනීමට ඇති මගයි. බටහිර විද්‍යාව යථාර්ථය නොවූවත් යථාර්ථයට ළඟා වෙමින් පවතින්නේ යැයි ඔවුන්ගෙන් සමහරකු කියනවා.

එයින් කියැවෙන්නේ යථාර්ථය යනු කුමක් දැයි බටහිරයන් නොදන්නා බවයි. එහෙත්, එනම් යථාර්ථය නොදැනත්, බටහිර විද්‍යාව යථාර්ථයට ළඟා වෙමින් පවතින බව බටහිර විද්‍යාඥයන් දන්නවා. ඔවුන් ඒ බව දන්නේ කෙසේ ද? යථාර්ථය යනු කුමක් දැයි නොදැන යථාර්ථයට ළඟා වන බව දන්නේ කෙසේ ද?

[…]

බටහිරයන් පමණක් නොව අප ද කරන්නේ දැනුම නිර්මාණය කිරීම. ඊනියා යථාර්ථය ද අපේ නිර්මාණයක්. අපේ හිතළුවක්. මනසේ නිර්මාණයක්. එය පංචෙන්ද්‍රිය ගෝචර නොවන හිතළුවක්. අඩුම තරමෙන් මනසෙන් මවාගත නොහැකි හිතළුවක්. අප එවැනි හිතළුවලට පට්ටපල් බොරු යැයි කියනවා.”

මෙහි මූලික තර්කය වටහා ගැනීම, මේ අනුව, අපහසු නොවේ. අප යථාර්ථය යනුවෙන් වටහා ගන්නා දෙය පිළිබඳ අපට තිබෙනා දැනුම පරිමිත වන බව පැහැදිළි වේ. අප යම් යම් දේ පැහැදිළි කිරීම සඳහා ඉදිරිපත් කෙරෙනා සංකල්ප, ප්‍රවාද ආදිය නිවැරදි නොවන බව සමහර අවස්ථාවන්වල දී අපට තේරුම් ගත හැකිය. එසේනම් අපට දැන් තිබෙනා සංකල්ප, ප්‍රවාද ආදිය පරම ලෙස නිවැරදි බව දැන ගන්නේ කෙසේද? එවැන්නක් කිරීමට අපට තිබෙනා දැනුම සහ ඒ මගින් පැහැදිළි කිරීමට උත්සාහ කරනා දේ අතර සංසන්ධනයක් කර, එම දැනුම නිවැරදි බව පෙන්විය හැකි විය යුතුය. නමුත් ගැටලුව වන්නේ අපට අපේ දැනුමෙන් පරිබාහිරව කිසිවක් සිතිය නොහැකි වීමයි. එනිසා, එම දැනුම සංසන්ධනය කිරීම සඳහා එම දැනුමෙන් බාහිරව සැබවින්ම පවත්නා දෙය කුමක්ද කියා අපට දැන ගැනීමට නොහැකි වේ. මන්ද, “දැන ගන්නවා” කියූ සැනින් අප නැවතත් සිටින්නේ දැනුමේ වපසරිය තුළයි. එනිසා, අපේ දැනුමෙන් පරිබාහිරව තිබෙනවා කියා අප සිතනා යථාර්ථය යනු රැඩිකල් ලෙස අපට දැන ගත නොහැකි වන දෙයයි. අවශ්‍යනම් අපට මෙය වඩාත් හේගලියානු ආකාරයෙන් ලියා තැබිය හැකිය: සිතුවිලිවල ලෝකය සහ සැබෑ ලෝකය අතර විභේදනය අයත් වන්නේ සිතුවිලිවල ලෝකයේ අභ්‍යන්තරය වෙතයි.

දැන්, මෙම අදහසේ තාර්කික අවසානය වන්නේ අපගේ දැනුමේ ලෝකය තුළ අප සදාකාලිකව සිර වීම යන්න පැහැදිළි වේ. සාමාන්‍යයෙන්, දර්ශනය තුළ, ‘විඥානවාදය’ යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. එයට අනුව අපට හඳුනා ගත හැකි එකම යථාර්ථය වන්නේ අපගේ ‘විඥානය’ පමණක් වන හෙයින් එයින් පරිබාහිරත්වයක් පිළිබඳ සිතීම අර්ථ විරහිත ප්‍රයත්නයකි. එනිසා අප මෙම අදහස, එහි ආන්තික අර්ථයෙන් ගත්විට, හසු වන්නේ බරපතල උගුලකටයි. සියල්ල සඳහා තිබෙන්නේ අපගේ විඥානය විසින් ඒවා වෙත ලබා දී තිබෙනා වටිනාකම පමණක් වන හෙයින් කිසිවක අත්‍යන්ත වටිනාකමක් නොමැති වේ. ඕනෑම දෙයක් කිරීම, ඕනෑම දෙයක් සිතීම වලංගු වන අතර එක අදහසක ඇති වටිනාකම තවත් අදහසකට වඩා වැඩි හෝ අඩු හෝ වන්නේ නැත. අවසන් අරුතින් ගත්විට කිසිවක සාරභූත අර්ථයක් නොමැති වේ. අප සිටින්නේ අපගේ සිතුවිලි ලෝකයේ සිරකරුවන් ලෙසයි. මේ සිර ගෙදරින් අප පැන යන්නේ කෙසේද?

විඥානවාදය සහ ඒ ඇසුරින් ගොඩ නැගුනු සියලු ම දාර්ශනික ප්‍රවේශයන් තුළ ආගමිකත්වයේ දැඩි බලපෑමක් තිබෙන්නේ මන්ද කියා වටහා ගැනීමට මේ අනුව අපට අවස්ථාව හිමි වේ. අපගේ මේ මානසික ලෝකයේ සිපිරි ගෙයින් පළා යා හැකි එකම බලාපොරොත්තුව අපට හමු වන්නේ ආගමික විමුක්තිය පිළිබඳ අදහස තුළයි. එය ප්‍රතික්ෂේප කරනවා යනු අප අර්ථ විරහිත මානසික ලෝකයක අභ්‍යන්තරත්වය තුළ සිරකරුවන් වීම පමණි. කිසිවක් කිරීම හෝ නොකිරීම හෝ අපට අරුත්ගන්වා ගැනීමට හැකි වන්නේ නැත.

‘නිවන’ යනුවෙන් බුදු දහමේ එන විමුක්ති මාර්ගය ඇසුරින් නලින් ද සිල්වා සොයා යන්නේ ද මෙම ගැලවීමයි. නමුත්, ගැටලුව වන්නේ, අපගේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වයේ සිට ගත්විට අපට ඒ පිළිබඳව කිසිවක්ම කිව නොහැකි වීමයි. එවැනි විමුක්තියක් ‘පවතිනවා’ කියා කීමට හෝ අපට අවස්ථාව ලැබෙන්නේ නොමැති වන්නේ එවැන්නක් කිව සැනින් අප යථාර්ථය පිළිබඳව ඉහතින් එල්ල කළ විවේචනය එයටද වලංගු වන නිසාය. එම නිසා නිවන සම්බන්ධයෙන් අපට කිව හැක්කේ එය, අපගේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වයේ සිට, අවබෝධ කරගත නොහැකි බව පමණි.

අපි නලින් ද සිල්වා ගේ පැහැදිළි කිරීම කියවමු: “නිවන යනු මනසෙන් මවා ගන්නා දෙයක්වත් මනසෙන් මවා නොගන්නා දෙයක්වත් නො වෙයි. එය හිතළුවක්, අදහසක් නො වෙයි. නිවන යනු අදහස් නැති කිරීමත් නො වෙයි. අදහස් නැති කළ හැක්කේ අදහස් ඇත්නම් පමණයි. ඇති දෙයක් නැති කිරීම උච්ඡෙදයක්. නැති දෙයක් නැති කරන්න බැහැ. නිවන ශුන්‍යතාවක් නො වෙයි, ඇති දෙයක් නැති කිරීම නො වෙයි. නිවන ඊනියා යථාර්ථයක්වත් පරමාර්ථ සත්‍යයක්වත් නො වෙයි. පරමාර්ථ සත්‍යය යන්න මහායානිකයන්, විශේෂයෙන් ම මහායානිකයන් වූ බ්‍රාහ්මණයන් විසින් නිර්මාණය කරන ලද්දක්.

දැනුම අපේ අවිජ්ජාව, අනිත්‍ය දුඃඛ අනාත්ම අනවබෝධය නිසා නිර්මාණය කෙරෙන්නක් මිස ඊනියා ඇති දෙයක් දැන ගැනීම නො වෙයි. සියලු දැනුම් බොරු. මේ බොරු, බොරු බව අවබෝධ කර ගැනීමටයි අප උත්සාහ කරන්නේ. බොරු, බොරු බව අවබෝධ කර ගැනීම යනු ඇති දෙයක් නැති කිරීම නො වෙයි. එය අදහසක් නො වෙයි. අදහස් බොරු බව අවබෝධ කර ගැනීම තවත් අදහසක් නිර්මාණය කිරීමක් නො වෙයි.

අපේ දැනුම් සාපේක්‍ෂයි. එයින් කියැවෙන්නේ නිවන නිරපේක්‍ෂ බව නො වෙයි. එසේ තර්ක කරන්නේ ද්විකෝටිකය ඇසුරෙන්. යමක් හා එහි විරුද්ධය පමණයි ද්විකෝටිකයේ ඇත්තේ. සාපේක්‍ෂ නොවන්නේ නම් නිරපේක්‍ෂ විය යුතු යැයි කියන්නේත් ඒ න්‍යාය ඇසුරෙන්. බටහිරයන්ට මේ ද්විකෝටිකයෙන් ඉවත් වන්න බැහැ. ඊනියා ද්විමය (බයිනරි) සම්බන්ධකම් ඇත්තේ ම ද්විකෝටිකය හේතුවෙන්. බටහිරයන්ට ද්විමය සම්බන්ධකම් අවශ්‍යයි. පශ්චාත්නූතනවාදීන් කියන්නන්ටත් ඒ ද්විමය සම්බන්ධකම්වලින් ඉවත් වන්න බැහැ. නිවන ද්විකෝටිකයෙන් පමණක් නොව චතුස්කෝටිකයෙනුත් විනිර්මුක්තයි.”

මෙහිදී පළමුවෙන් පැහැදිළි වන්නේ නිවන සම්බන්ධයෙන් අපට කිව හැකි සියල්ලම පාහේ අයත් වන්නේ ‘නිවන නොවන්නේ’ කුමක්ද කියනා දෙය වෙත බවයි. අපට කිව හැක්කේ නිවන යනු මේ මේ ආකාරයේ දෙයක් ලෙස තේරුම් ගත නොහැකි බව පමණි: එය මනසින් මවා ගන්නා දෙයක් නොවේ, මනසින් මවා නොගන්නා දෙයක් නොවේ, හිතළුවක් නොවේ, අදහසක් නොවේ, යථාර්ථයක් නොවේ, පරමාර්ථ සත්‍යයක් නොවේ, නිරපේක්ෂ නොවේ, ද්වීකෝටිකයන් තේරුම් ගත හැකි නොවේ, චතුස්කොටිකයෙන් තේරුම් ගත හැකි නොවේ. එසේ වන්නේ ඇයි ද කියා පැහැදිළි කරගැනීම ද  අපහසු නැත. නිවන සම්බන්ධයෙන් අපට එහෙම නිශ්චිත ලක්ෂණ කියූ සැනින් එය අයත් වන්නේ අපගේ විඥානයේ ලෝකයට වන හෙයින් එය එහි තිබෙනා තවත් බොහෝ අදහස් අතරින් වෙන් කර ගැනීමට අපට හැකි වන්නේ නැත. එනිසාම එයට විශේෂ වලංගුබවක් හෝ අවලංගුබවක් හෝ එමගින් අත් වන්නේ නැත.

එනිසා නිවන සම්බන්ධයෙන් අපට කිව හැකි එකම දේ වන්නේ නිවන යනුවෙන් බුදු දහමේ දැක්වෙන වියහැකිබව අප විශ්වාස කරනා බව පමණි.

නමුත් මෙම විශ්වාසය සඳහා දැන් අපට තිබෙන්නේ තරමක වෙනස් වටිනාකමකි. අපගේ මානසික ලෝකයේ ඇති, සාරභූතත්වයක් නොමැති, සාපේක්ෂ වූ, අනෙක් වටිනාකම් වලට වඩා වෙනස් වූ බැරෑරුම් කමක් නිවන පිළිබඳව විශ්වාසයට තිබේ. එය අප විශ්වාස කරනා වෙනත් දේ – ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ක්‍රිකට් තරඟය පරාජය වේයැයි විශ්වාස කිරීම වැනි – හා සමාන නොවන සුවිශේෂ විශ්වාසයකි. අප සතුව තිබෙනා එකම සාපේක්ෂ නොවන බලාපොරොත්තුව වන්නේ එයයි. එහෙත් එය සාක්ෂාත් කර ගැනීම අපට බුද්ධිමය අර්ථයකින් කළ හැකි නොවේ. එසේනම් අප කළ යුතු වන්නේ කුමක්ද?

මෙයට සරල පිළිතුර වන්නේ අප මෙම විශ්වාසය අප වෙත ලැබුණු ආකාරය වෙත යොමු වීම යන්නයි. අපට මෙම විශ්වාසය ලැබෙන්නේ අප ඉපදුනු සහ හැදුනු වැඩුණු සමාජ පරිසරයෙන් බව පැහැදිළි වේ. ඉස්ලාමීය සංස්කෘතිය අධිපති වන සමාජයක, නිදර්ශනයක් ලෙස, හැදුනු වැඩුණු කෙනෙක් වෙත මෙවැනි ආකාරයේ විශ්වාසයක් ඇති වීමට ඇත්තේ අඩු ඉඩකි. එම නිසා අප කළ යුතු වන්නේ මෙම විශ්වාසය අප වෙත ලබා දුන් සම්ප්‍රදාය විශ්වාස කිරීමයි. දැන් අපට සත්‍ය වශයෙන්ම විශ්වාසයන් දෙකක් උරුම වේ. එක අතකින් අප නිවන යනු අපගේ මානසික ලෝකයේ අර්ථවිරහිතබවට එරෙහිව තිබෙනා එකම විකල්පය බව විශ්වාස කරයි. අනෙක් අතට, මෙම විශ්වාසය මගින් අපට යෝජනා කරනා විමුක්තිය අත්පත් කරගත හැකි ආකාරය රැඳී තිබෙන්නේ අපගේ සංස්කෘතික උරුමය තුළ කියා විශ්වාස කරයි.

අපට ‘නිවන’ යනුවෙන් හඳුන්වන විමුක්තිය අත්පත් කරගැනීමට, එය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පුහුණුව ලබා ගැනීම සඳහා විශ්වාසය තැබිය හැක්කේ මෙම සංස්කෘතිය මතයි, එයට උරුම වූ ජීවන ක්‍රමය මතයි, එයට උරුම වූ සිතීමේ මාදිළිය මතයි. සමස්තයක් වශයෙන් ගත්විට මේ සියල්ල දිශානතව තිබෙන්නේ එම නිවන වෙත කියා අපි විශ්වාස කරමු. එම සංස්කෘතිය හා බැඳුනු සුවිශේෂ සිතීමේ මාදිළියක් තිබෙන්නේ එම නිසාය. අපට නිර්මාණශීලී ලෙස සිතන්නට හැකි වන්නේ අප කුඩා කළ සිට හැදුනු වැඩුණු මෙම සංස්කෘතික පරිසරය විසින් අපට සිතන්නට පුරුදු කරනා ආකාරයට සිතන්නේනම් පමණි.

මේ අනුව, මෙම සංස්කෘතිය රැක ගැනීම ඉතාම තීරණාත්මක කර්තව්‍යයක් බවට පත්වන්නේ ඇයිද කියා වටහා ගැනීම කිසිසේත් අපහසු නොවේ. එමෙන්ම, මෙම සංස්කෘතිය ආරක්ෂා වීම සඳහා එය ඓතිහාසිකව ආරක්ෂා කළ දේශපාලන සැකැස්ම ආරක්ෂා කරගත යුතු බවත් එම සැකැස්ම ප්‍රතිව්‍යූහගත කිරීම වෙනුවෙන් සටන් කරන අභ්‍යන්තර සහ බාහිර දේශපාලනයන් පරාජය කිරීමත් අනිවාර්ය වන්නේ ඇයිද කියා පැහැදිළි වෙයි.

සැකයකින් තොරවම, මෙම සංස්කෘතිය ආරක්ෂා කරනා දේශපාලන සැකැස්ම ඓතිහාසිකව ගොඩ නගා ඇති ආකාරය මෙහිදී පරිකල්පනය කරනා ස්වරූපයන්වල බැරෑරුම් ගැටලු තිබේ. මෙයට හේතුව වන්නේ එය සම්ප්‍රදායික අර්ථයෙන් ‘සමාජීය විද්‍යාවන්’ තුළ නිර්මාණය වෙන අදහස් නොවීමයි. එය මූලික වශයෙන් ලංකාව තිබිය යුතු ආකාරය කුමක්ද කියා පළමුවෙන් තීරණය කර, ඉන් පසුව එම පරිකල්පිත දේශපාලන සැකැස්ම සඳහා ගැලපෙන ‘ඉතිහාසයක්’, ‘දේශපාලන විද්‍යාවක්’ ආදිය නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයකි. නමුත් ගැටලුව වන්නේ මෙම ක්‍රමවේදයේ තිබෙනා මූලධාර්මික වැරැද්ද කුමක්ද කියා පෙන්වා දීමට අපට හැකියාවක් නොමැති වීමයි. එයට හේතුව වන්නේ ‘සමාජීය විද්‍යාවන්’ වල – සහ පොදුවේ සියලුම දැනුම පද්ධතීන් වල – වලංගුබව ඉහත දාර්ශනික ක්‍රමවේදය මගින් ප්‍රශ්න කර තිබීමයි. එනිසා වඩා නිවැරදි ‘සමාජ විද්‍යාවක්’ නිර්මාණය කිරීම කියන ක්‍රමවේදී ප්‍රශ්නය වෙනුවට ජාතිකවාදියා උනන්දු වන්නේ කුමන හෝ ආකාරයකින් ඔහුගේ/ඇයගේ පරිකල්පිත දේශපාලන සැකැස්ම ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ‘ඉතිහාසවේදයක්’, ‘දේශපාලන විද්‍යාවක්’ නිර්මාණය කිරීමටයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතිකවාදයේ සමාජ විශ්ලේෂණ පිළිබඳව ක්‍රමවේදී දෘෂ්ඨිකෝණයෙන් ප්‍රශ්න ඇසීම, අවසාන විග්‍රහයේදී, ප්‍රයෝජනවත් දෙයක් වන්නේ නැත. එම තලයේදී ජාතිකවාදියා උනන්දු වන්නේ ‘තර්කයෙන් දිනීමට’ මිස ‘සත්‍යය’ පිළිබඳව නොවේ. ඔහුට/ඇයට අනුව මේ සියල්ල අයත් වන්නේ අපේ පරිමිත වූ මානසික ලෝකය වෙත පමණක් වන නිසා ඒවා අතරින් ‘සත්‍යය’ වන්නේ කුමක්ද කියා ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. වැදගත් වන්නේ මේ මානසික ලෝකයෙන් ගැලවීමේ හැකියාව පිළිබඳව ඇති විශ්වාසයයි, එම හැකියාව සාක්ෂාත් කර ගැනීමට උපකාර කර දෙන සම්ප්‍රදාය ආරකෂා කර ගැනීමයි – ‘ජාතිය’ යනු මෙම ගැලවීම වෙනුවෙන් අප තාවකාලිකව ගොඩ නගා ඇති සාමූහික වැඩ බිමයි.

භෞතිකවාදය පිළිබඳව සංවාදයක් කිරීම, විශේෂයෙන් ලාංකික සන්දර්භය තුළ, කිසිදු අයුරකින් හුදු ‘ශාස්ත්‍රීය සංවාදයක්’ පමණක් නොවන්නේ මෙම නිසාය. පරිමිතත්වයේ දර්ශනවාදයන් විසින් සියවස් තුනකට අධික කාලයක් තුළ ගොඩ නංවන ලද දාර්ශනික සම්ප්‍රදායේ දේශපාලන ප්‍රතිවිඵාකය වන්නේ, අවසන් අරුතින් ගත්විට, ‘ආගම’ සහ ‘ජාතිය’ අපගේ සිතීමේ පසු කළ නොහැකි සිතිජය බවට පත්වීමයි. මාක්ස්වාදයේ ඉතිහාසය පුරා, එහි සෑම ප්‍රධාන චින්තකයෙක් ම භෞතිකවාදය පිළිබඳ ප්‍රශ්නය සංවාද මේසයට ගත් බව අපි දනිමු – මාක්ස් ගේ සිට ලෙනින් හා ග්‍රාම්ශි හරහා අල්තුෂර් දක්වා දේශපාලන සිතන්නන් මේ නිශ්චිත ප්‍රශ්නය – ‘විඥානවාදය පරාජය කරන්නේ කෙසේද’ – සමඟ පොර බැදුවෝය. කොමියුනිස්ට්වාදයේ පළමු ගෝලීය අත්හදා බැලීමේ බිඳ වැටීමෙන් දශක තුනකට පසුව අද නැවතත් ඇති වී ඇති ‘කොමියුනිස්ට්වාදය නම් අදහස’ පිළිබඳ නව උනන්දුව ඵලදායි අන්තයකට ගමන් කරනු ඇත්තේ කොමියුනිස්ට්වාදයේ ඉතිහාසයේ මෙම අකණ්ඩ ප්‍රශ්නය වෙත නව පිළිතුරක් නිර්මාණය කළ හැකිනම් පමණි: අපගේ මානසික ලෝකයේ අභ්‍යන්තරයෙන් එළියට පැමිණීම, එහිම-ස්වරූපය ග්‍රහණය කර ගැනීම, අප සිටියත් නැතත් පවතින දේ දැන ගැනීම.

වංගීස සුමනසේකර

 

 

***

 

 

Advertisements