Van Gogh-still-life-with-bible1

පසුගිය වසරේදී ඉංග්‍රීසි පරිවර්තන ලෙස ප්‍රකාශයට පත්වීම ආරම්භ වූ මාටින් හෛඩගර් ගේ පුද්ගලික දිනසටහන් පොත් (Black Notebooks) ග්‍රන්ථ මාලාව සමග හෛඩගර් සහ නාට්සිවාදය අතර – නොනිමි- සාකච්ඡාව, ආන්දෝලනය නැවතත් ආරම්භ විය. මෙම රචනය තුළදී සාකච්ඡාවට ගැනෙන්නේ ස්ලැවෝයි ජිජැක් ගේ“The Persistence of Ontological Difference” නම් රචනයේ දී මෙම සංවාදයට ඔහු කරනා එකතු කිරීමකි. (ජිජැක් ගේ මුල් රචනය සඳහා බලන්න – Žižek, S., “The Persistence of Ontological Difference”, in,(2017), “Heidegger’s Black Notebooks – Responses to Anti-Semitism”, ed. Mitchell, A. J. & Trawny, P., New York, Columbia University Press,  pp. 186-200)

සමස්තයක් ලෙස ගත්විට මෙම රචනයේ තර්කය අපට මූලික කරුණු දෙකක් යටතට ගොණු කළ හැකි වේ. පළමුවෙන් ජිජැක් විසින් අපට පොදුවේ දක්නට ලැබෙනා ‘හෛඩගර් විරෝධයේ’ දෘෂ්ඨිවාදී අඩංගුව පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. එයට අනුව අවසාන විග්‍රහයේදී මෙහි දැක්වෙන්නේ විචාරාත්මක චින්තනයට එරෙහිව එල්ල වන ප්‍රතිරෝධය වන අතර එය දිශානත වන්නේ කොමියුනිස්ට්විරෝධය වෙතටයි. දෙවෙනි කරුණ වන්නේ හෛඩගර් ගේ රැකගත යුතු උරුමය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනා අදහසයි. ජිජැක් ට අනුව හෛඩගර් ගේ‘සද්භාවවේදී වෙනස’ (ontological difference) යන සංකල්පය අප වෙත තවදුරටත් තීරණාත්මක බලපෑමක් කරනවා පමණක් නොව – එයට වඩා රැඩිකල් ලෙස – එය ජිජැකියානු චින්තනයේ අතිමූලික විමර්ශක ලක්ෂ්‍යයන් වන ජර්මන් විඥානවාදයේ එන‘නිශේදනත්වය’ සහ ෆ්‍රොයිඩියානු මනොවිශ්ලේෂණයේ එන ‘මරණ හඹායාම’ හා සම මට්ටමේ වැදගත්කමක්ඇති සංකල්පයක් ලෙස අර්ථකථනය කළ යුතුය. එම නිසා, ජිජැක් ගේ සමාලෝචනය කුමක්ද කියා සිතා ගැනීම අපට අපහසු වන්නේ නැත – පැවැත්මේ යථාව කුමක්ද යන කඩඉම් ප්‍රශ්නය සඳහා පිළිතුරක් ගොණු කිරීම්දී හෛඩගර් ගේ චින්තනය විසින් සිදු කරන්නේ තීරණාත්මක එකතු කිරීමක් වේ යන කරුණ‘කළු සටහන්පොත්’ වල තිබෙනා කිසිවකින් වෙනස් වන්නේ නැත.

කෙසේ වුවත් මෙහිදී උත්සාහ කරන්නේ ජිජැක් මෙහි මතු කරන පළමු කරුණ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් ලබා දීමට පමණි. හෛඩගර් පිළිබඳව සංවාදයක් ඇති වීමේදී මෙම නිශ්චිත ප්‍රශ්නය මග හැරිය යා නොහැකි බව පැහැදිළි වේ. නමුත් මෙහිදී අප උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නයට තිබෙනා ජනප්‍රිය, පහසු පිළිතුර ප්‍රමාණාත්මක නොවන්නේ කුමන කරුණක් නිසාද යන්න සංවාද මේසයට ගෙන ඒමටයි.සමකාලීන දර්ශනය සහ විචාරාත්මක චින්තනය සමග අභිමුඛ වීමේදී අප පොදුවේ ප්‍රවේශම් විය යුතු මූලික අනතුරක් හඳුනා ගැනීමට එමගින් අවස්ථාවක් විවර වනු ඇත.

ජිජැක් සංවාදය ආරම්භ කරන්නේ සමකාලීන දෘෂ්ඨිවාදයේ ඇති පසුගාමීත්වය පිළිබඳව කෙරෙනා නිරීක්ෂණයක් සමගිනි. දෙවන ලෝකය යුද්ධයේ අවසානයත් සමග යුරෝපයේ ඇති වූ පොදු අදහසක් වූයේ දක්ෂිණාංශික අන්තවාදය (ෆැසිස්ට්වාදය) සහ වාමාංශික අන්තවාදය (කොමියුනිස්ට්වාදය) යන දෙකම අප සමාන ලෙස ප්‍රතික්ෂේප කළ යුතු බවයි. ජිජැක් ගේ නිරීක්ෂණය සම්බන්ධ වෙන්නේ මේ සමාන කිරීමේ වාසිය අත්වන්නේ කාටද යන ප්‍රශ්නයටයි. එය තේරුම් ගැනීම එතරම් අපහසු වන්නක් නොවේ. ෆැසිස්ට්වාදය යහපත් දෙයක් කියාෆැසිස්ට්වාදියෙකු හැර – නිදර්ශනයක් ලෙස බටහිර රටවලදී නව-නාට්සිවාදීන්, ලංකාවේ‘බොදු බල සේනා’ සාමාජිකයන්- සලකන්නේ නොමැති වන නිසා එහි ‘විපරීත අතිරික්තයන්’ යනුවෙන්විශේෂයෙන් සඳහන් කළ යුතු කිසිවක් නොමැත. නමුත්, කොමියුනිස්ට්වාදය යනු එයට එරෙහි වන මිනිසුන් ගේ පවා සාපේක්ෂ ඇගයුමකට ලක් වන්නකි. එවැනි අය බොහෝවිට කියන්නේ කොමියුනිස්ට්වාදයයන්න අදහසක් ලෙස යහපත් වන්නේ වුවත් එය – හොඳම තත්වයන් යටතේදී – ප්‍රායෝගික නොවන අතර – නරකම තත්වයන් යටතේදී – ක්‍රියාත්මක කිරීමේදී අයහපත් ප්‍රතිඵල අත්කර දිය හැකිය. මේ අනුව, කොමියුනිස්ට්වාදය සහ ෆැසිස්ට්වාදය එක සමාන තලයක් තුළට දැමීම මගින් සිදු වන්නේ ‘පූර්ණඅයහපත්’ දේශපාලනයක් වූ ෆැසිස්ට්වාදය සහ ‘අදහසක් ලෙස යහපත් වුවත් ප්‍රායෝගිකව අයහපත්’ දේශපාලනයක් වන කොමියුනිස්ට්වාදයයන දෙකම අයත් වන ‘පොදුනපුරක මූලාශ්‍රයක්’ නිර්මාණය කිරීම සහමෙම ව්‍යාපාරයන් වල හානිදායක ප්‍රතිවිඵාක එම පොදු මූලාශ්‍රය වෙත ඌණනය කිරීමයි. එවිට ෆැසිස්ට්වාදීන් විසින් කර තිබෙන ‘නරක වැඩ’ වුවත් අපට තේරුම් ගත හැකි වන්නේ එයට තුඩු දුන් පොදු නපුර මගින් එම ‘නරක වැඩ’ කොමියුනිස්ට්වාදීන් අතින්ද ක්‍රියාවට නංවා තිබීම හා සමාන ලෙසයි. එම අර්ථයෙන් ගත්විට – ආඛ්‍යානය පෙළ ගැසෙන්නේ මෙසේය – ෆැසිස්ට්වාදීන් ‘ඔය කියන තරම් මහා ලොකු නරකක්’සිදු කර නැත. මේ ආකාරයට ආඛ්‍යානය පෙළ ගැසූ පසු ෆැසිස්ට්වාදීන් අතින් සිදු වූ ‘නරක වැඩ’ පළමුවෙන් සිදු කර තිබෙන්නේ කොමියුනිස්ට්වාදීන් බවද පෙනී යයි. ඒ අනුව ගත්විට කොමියුනිස්ට්වාදය යනු ෆැසිස්ට්වාදයටත් වඩා භයානක දේශපාලනයක්ලෙසට රූපාන්තරණය වේ. අනෙක් අතට, මෙහි ප්‍රතිඵලයක් ලෙස, අපට ෆැසිස්ට්වාදීන් ට අනුකම්පා කිරීමට ද හැකි වේ: ඔවුන් සත්‍ය වශයෙන්ම කර තිබෙන්නේ කොමියුනිස්ට්වාදය යන වඩා භයානක නපුරට එරෙහිව ප්‍රතිචාර දැක්වීම පමණි!

ජිජැක්මෙහිදී පෙන්වා දෙන්නේ දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රායෝගික නිදර්ශනයකි. මේ මගින් අපට කොමියුනිස්ට්වාදය මෙන්ම ෆැසිස්ට්වාදය පිළිබඳවත් සංකීර්ණ කතා බහක් කිරීමට තිබෙනා ඉඩ අහුරා දමයි. ඒවා අතර තිබෙනා වෙනස්කම්, එම ව්‍යාපාර පැන නැගීමේ ඓතිහාසික සන්දර්භය, ඒවායේ මූලික අරමුණු, ඒවා මත පදනම් වූ දර්ශනවාදයන්, ඒවා අසාර්ථක වූ සුවිශේෂ ආකාරයන් ආදී සංකීර්ණ විශ්ලේෂණය වෙනුවට අපට, ඉහත ආඛ්‍යානය මගින්, විසි වෙනි සියවසේ ලෝක දේශපාලනය කියවීම සඳහා සරල, කෙටි ක්‍රමවේදයක් ලබා දෙයි. ගැඹුරු විශ්ලේෂණ වෙනුවට සරල විසඳුම් ලබා දෙන ‘පැනඩෝල් පෙත්තක්’ නිර්මාණය වීම ලෙස අපට දෘෂ්ඨිවාදය හඳුනා ගත හැක.

ජිජැක් ට අනුව, හෛඩගර්ගේ නාට්සි ගණුදෙනුවසම්බන්ධයෙන් සාමාන්‍යයෙන් තිබෙනා පොදු ආකල්පය තුළ අපට හඳුනා ගත හැකි වන්නේද – මෙයට වඩා ක්ෂුද්‍ර ආකාරයෙන් – ලෝකයේ බුද්ධිමය අධිපත්‍යය තිබෙන ලිබරල් වාමාංශිකයන්අතර තිබෙනා මෙම දෘෂ්ඨිවාදී මෙහෙමයුමේ කොටසකි. එහිදී එය ප්‍රකාශමාන වන්නේ ‘ප්‍රංශ න්‍යායට’ එරෙහිව තිබෙනා ප්‍රතිරෝධය ලෙසයි. නිදර්ශනයක් ලෙස යුර්ගන් හබර්මාස් විසින් හෛඩගර් ගේ දර්ශනය අධිකාරිවාදී අතාර්කිකවාදයක්(authoritarian irrationalism) යනුවෙන් හඳුන්වා දෙනු ලබන විට එහි අවසානයේදී ඉලක්කය වන්නේ ඩෙරීඩා, ලැකෝන්, ඩෙලර්වුස් වැනි චින්තකයන් ගේ දර්ශනයන් අවසානයේදී ‘ප්‍රාග්-ෆැසිස්ට්වාදී’ වන බව ඉඟි කිරීම වේ. වෙනත් ආකාරයකට කියන්නේනම් හෛඩගර් නම් ෆැසිස්ට්වාදියා ට පහර දෙනු ලබන්නේ කෙටි ක්‍රමයකින් සමකාලීන බුද්ධිමය වාමාංශය වෙත පහර ගැසීමට අවශ්‍ය වන නිසාය.

මෙයින් අදහස් වන්නේ, හෛඩගර් ගේ නාට්සි සම්බන්ධය ජිජැක් විසින් ප්‍රතික්ෂේප කරනා බව නොවේ – එවැන්නක් කළ නොහැකි බව අපි දනිමු. ඒ වෙනුවට ජිජැක් ට අවශ්‍ය වන්නේ ජනප්‍රිය හෛඩගර් විරෝධයේ දෘෂ්ඨිවාදී අඩංගුව වටහා ගැනීමට පමණි. විශේෂයෙන් 2014 දී පළ වීම ආරම්භ වූ හෛඩගර් ගේ පුද්ගලික දින සටහන් පොත් සමග මෙම සම්බන්ධය මතක තබා ගැනීම වැදගත් වේ. මෙම සටහන් පොත් පිළිබඳව තිබෙනා සාමාන්‍ය අර්ථකථනය වන්නේ ඒවා මගින් හෛඩගර් ගේ යුදෙව් විරෝධය සඳහා මෙන්ම නාට්සිවාදය වෙත ඔහු දක්වන අකණ්ඩ පක්ෂපාතිත්වය සඳහාද‘අවසාන තහවුරු කිරීමක්’ ලබා දෙන බවයි. මෙම සටහන් පොත් යනු 1931 සිට 1970 දශකයේ ආරම්භය තෙක් ඔහු ලියූ දිනපොත් සටහන් වළ එකතුවයි. හෛඩගර් ගේ නිල අනුමැතිය ලැබී තිබුනේ සිය සම්පූර්ණ එකතුකළ කෘති පළ කිරීමෙන් පසුව අවසානයේදී ඒවා පළ කරන ලෙස පමණි. මෙම තීරණය වුවත් අවසානයේදී කෙනෙකුගේ ආස්ථානය අනුව අර්ථකථනය කළ හැකිය. එක්කෝ මේ මගින් පෙන්වන්නේ හෛඩගර් ගේ අවංකකමයි; එසේත් නැතිනම් මෙමගින් හෙළි වන්නේ සිය දේශපාලන අදහස් අත් නොහැරීමට ඔහු තුළ තිබූ හිතුවක්කාරී කැමැත්තයි. එසේනම් අප මේවා කියවිය යුත්තේ හෛඩගර් ගේ නාට්සිවාදය පිළිබඳව අවසාන සාක්ෂිය සහ එනයින් හෛඩගර් ගේ දර්ශනය අමතක කර දැමීමට ඇති සාක්ෂිය ලෙසද? මෙයට‘ඔව්’ යනුවෙන් පිළිතුරු දී ප්‍රශ්නය අවසන් කළ නොහැකි වන බව අපි ඉතාම හොඳින් දනිමු.

එක අතකින් හෛඩගර් හට 1934 පමණ සිට නාට්සී පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් තිබෙන්නේ විවේචනයකි. නමුත් මෙම විවේචනය වන්නේ එම පාලන තන්ත්‍රය විසින් සිය සැබෑ උරුමය අතහැර යාම පිළිබඳවයි. හෛඩගර් ට අනුව නාට්සි රෙජීමය විසින් සිය උරුමය අතහැර ගොස් ඒ වෙනුවට ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා සෝවියට් සමූහාණ්ඩුව සේ තාක්ෂණික ආධිපත්‍යයට යටත් වූ නූතනවාදී නාස්තිකවාදය(nihilism) වෙත ඌණනය වී තිබේ. තරමක් සරල ආකාරයකින් අපට හෛඩගර් ගේ මෙම විවේචනය මෙලෙස සාරාංශ කළ හැක: පැවැත්ම පිළිබඳව ප්‍රශ්නය අමතක වීම නිසා සමකාලීන මිනිසා සිටින්නේඉදිරිපිට පැවැත්ම තුළින් සත්‍යය සෙවීමේ මෙහෙයුමක් තුළයි. නමුත් මේ ආකාරයට අපට අපගේ පැවැත්ම මෙන්ම ලෝකයේ පැවැත්ම ද මග හැරී යයි. මෙහි ප්‍රතිඵලය වන්නේ අපගේ පැවැත්මේ අව්‍යාජ මානය අපට මග හැරී යාම බව අපි දනිමු. මේ අනුව තාක්ෂණය අධිනිර්ණය වීම මගින් අපට හෙළිදරව් වන්නේ මෙම නූතන නාස්තිකවාදයයි. කෙසේ වුවත්, මෙහිදී ජිජැක් හට මතු කිරීමට අවශ්‍ය වන කරුණ වන්නේ මේ මගින් අපට හෛඩගර් විසින් නාට්සි පාලන තන්ත්‍රය වෙත කරන විවේචන නිසා සතුටු වීමට අවස්ථාවක් නොමැති වේ යන්නයි. හෛඩගර් නාට්සිවාදයෙන් දුරස් වන්නේ එයට එරෙහි වීම නිසා නොව එය එහි ආරම්භක උරුමය අතහැර ගිය නිසාය – ඔහුට අවශ්‍ය වන්නේ, වෙනත් වචන වලින් කියන්නේනම්, වඩාත් අව්‍යාජ නාට්සිවාදයකි. අනෙක් අතට හෛඩගර් හට නාට්සිවාදයේකුරිරු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තදබල විවේචනයක් නොමැති වනවා පමණක් නොව ඔහුට අනුව නාට්සිවාදයේ සාරය සහ එහි ශ්‍රේෂ්ඨත්වය වෙත යාමේ විභවය රැඳී තිබෙන්නේ ම එහි මූලධර්ම වල ඇති වනචාරී කුරිරුබව නිසාය. එනිසා මෙම තලයේදී අපට හෛඩගර් වෙනුවෙන් කිසිවක් පැවසීමට මෙම දිනසටහන් වල ඔහු ගේ ලියවිලි උපකාර වන්නේ නැත.

හෛඩගර් ගේ යුදෙව් විරෝධය ඔහුගේ දර්ශනයට ඍජුව සම්බන්ධ නොවන බවද අපට මේ හරහා තේරුම් ගැනීමට අවස්ථාව තිබේ. නමුත්හෛඩගර්විසින් යුදෙව්භාවය(Jewishness) සම්බන්ධයෙන් දක්වන අදහස් අපට හුදු නිදර්ශන ලෙස පමණක් සලකා බැහැර කළ නොහැක. ඕනෑම නිදර්ශනයක් මගින්, එම නිදර්ශනය හරහා පැහැදිළි කිරීමට උත්සාහ කරනා පුළුල් ප්‍රපංචය අපට පෙනෙන ආකාරය සංස්කරණය කරයි – නිදර්ශන යනු අහිංසක සහ නිෂ්ක්‍රීය දේ නොවේ.

එමෙන්ම- සුපුරුදු ජිජැකියානු මෙහෙයුමක් අනුව – ජිජැක් අපට මතක් කරන්නේ මෙම සටහන් පොත් වල විසිරී තිබෙනා යුදෙව් විරෝධී අදහස් ටික එකතු කර අපට යුදෙව් විරෝධී‘න්‍යායක්’ නිර්මාණය කළ හැකි බවයි. හෛඩගර් විසින් සිදු කරන්නේ යුදෙව් ජාතිය ස්වභාවිකව ප්‍රතික්ෂේප කිරීම නොවේ. ඔහුගේ විවේචනයේ පදනම වන්නේ ජීව විද්‍යාත්මක උත්තරීතර බව නොව පාරභෞතිකවාදී උත්තරීතත්වයයි. දර්ශනයේ ආධිපත්‍යධාරී පාරභෞතික සම්ප්‍රදාය මගින් පැවැත්ම පිළිබඳව ප්‍රශ්නය අමතක කර දැමූ පසු පැවැත්ම යන්න ගණනය කළ හැකි, ප්‍රායෝගිකව ළඟා විය හැකි, අපට වුවමනා ආකාරයට හැසිරවිය හැකි දෙයක් ලෙස අර්ථකථනය වේ. යුදෙව්වන් ගේ සිතීමේ සම්ප්‍රදාය තුළ තිබෙනා මූලික චරිත ලක්ෂණ වැදගත් වන්නේ මෙම ලක්ෂ්‍යයේදී ය. යුදෙව්වන් සම්බන්ධයෙන් තිබෙන්නේ – ලාංකික සන්දර්භය තුළ මුසල්මානුවාට එරෙහිව ඇති ලෙස – ඔවුන් මුදල් හම්බ කිරීමට සහ මුදල් එකතු කිරීමට දක්ෂ, කපටි මිනිසුන් වන බවයි. හෛඩගර් ට අනුව යුදෙව්වන් ගේ ලෝක ආධිපත්‍යයට හේතුව වන්නේ ඔවුන් ගේ මෙම සංස්කෘතික හැකියාව සමග ප්‍රධාන ධාරාවේ පාරභෞතික සම්ප්‍රදායේ සිතීමේ ආකෘතීන් සමීප වීමයි.

හෛඩගර් ගේ නාට්සි පක්ෂපාතිත්වය සම්බන්ධයෙන් අපට හමුවන මේ බිහිසුණු චිත්‍රය පරිසමාප්තියට පත්වන්නේ යුදෙව්වන් සමූල ඝාතණය කිරීම (the Holocaust) සමගයි. ජිජැක් පෙන්වා දෙන පරිදි අපට මෙය අර්ථකථනය කළ හැකි එක් ආකාරයක් වන්නේ යුදෙව්වන් සමූල ඝාතණය වීම යනු යුදෙව්වන් ගේම වරදක් ලෙස හෛඩගර් හඳුනා ගන්නා බවයි. මෙයට සාක්ෂිය ලෙස ඔහු හෛඩගර් ගේ එතරම් ප්‍රකට නොවන උපුටා දැක්වීමක් අපට ලබා දෙයි. එහිදී හෛඩගර් කියන්නේ මෙවැන්නකි:“දේශපාලනයේ ඉහළම ප්‍රවර්ගය සහ ඉහළම ක්‍රියාව වන්නේ තමන්ගේ ප්‍රතිවාදියා හට ස්වයං විනාශ කරගැනීමට බල කර සිටිනා ලෙස ඔහුව ස්ථානගත කිරීමයි” (The highest type and the highest act of politics consists in placing your opponent in a position where he is compelled to participate in his own self annhilation).

වෙනත් ආකාරයකට කියන්නේනම්, හෛඩගර් කියන්නේ යුදෙව්වන් හට අවසානයේදී උරුම වූයේ ඔවුන් විසින් ආරම්භ කරන ලද හානිකර ගෝලීය මෙහෙයුමක අනිවාර්ය ප්‍රතිඵලය වන බවයි. සැකයකින් තොරවම මෙය හෛඩගර් ගේ ජීවිතයේ ඉතාම අඳුරු මොහොතක් වේ. මේ කරුණු වලදී හෛඩගර් අතින් සිදු වන්නේ දේශපාලන වරදක් බවත් එය සාධාරණීකරණය කිරීම කළ නොහැකි බවත් ඉතාමත් පැහැදිලි වේ. ජිජැක් එවැනි උත්සාහයක් දරන්නේ නැත. නමුත්, ජිජැක් පෙන්වා දෙන පරිදි, හෛඩගර් ගේ නාට්සිවාදය සම්බන්ධයෙන් ඇති පක්ෂපාතිත්වය සඳහා ඔහුගේ දර්ශනය සම්බන්ධ වන ආකාරය තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ.

Being and Time කෘතියේ මූලික අවධානය තිබෙන්නේ පුද්ගලයාගේ අව්‍යාජ පැවැත්මේ ව්‍යූහය අර්ථකථනය කිරීම වෙතයි. නමුත් මේ අව්‍යාජ පැවැත්ම සමූහය වෙත, ප්‍රජාව වෙත යොදා ගන්නේ කෙසේද කියනා කරුණ එහිදී බරපතල ලෙස සාකච්ඡා වන්නේ නැත. එහිදී අපට හමු වන්නේ මෙම හුදෙකලා පුද්ගලයාගේ සද්භාවවේදී ව්‍යූහය අඩුවැඩි වශයෙන් ඒ ආකාරයටම ප්‍රජාව වෙත ද යොමු කළ හැකි බවයි. ජිජැක් ට අනුව, හෛඩගර් ගේ ‘වැරදි පියවර’ නිශ්චිත වශයෙන් හමු වන්නේ මෙම මොහොත තුළයි – අව්‍යාජ පැවැත්ම හුදෙකලා පුද්ගලයාගේ සිට සාමූහික ප්‍රජාවක් දක්වා දිගු කිරීමේ මොහොත. මෙම පියවර අපට හමුවන්නේ ‘මිනිස්සු නම් දෙයෙහි’ ආධිපත්‍යයෙන් ගැලවීම සඳහා අපගේ ඓතිහාසික දෛවය වීරත්වයෙන් බාර ගත යුතු බවට කළ නිගමනය සමගයි. හෛඩගර් ගේ නාට්සිවාදය පිළිබඳව ෆිලිප් ලකු-ලබාර්ත් ගේ ප්‍රකට විශ්ලේෂණය සමග ජිජැක් ගේ විශ්ලේෂණය අපට එකතු කළ හැකි එක තැනක් වන්නේ මෙයයි. දාර්ශනිකයා විසින් සිතා බැලිය යුතු පුද්ගල සාංදෘෂ්ඨිකත්වයේ අර්ථය සාමූහික අනන්‍යතාවයන් ගේ දෛවය සමග ගැලපීමට යාම ඉතා භයානක ක්‍රියාවලියක් කියා මේ අනුව පැහැදිළි වේ.

නමුත් මේ මගින් ගම්‍ය වන අනෙක් කරුණ වන්නේ හෛඩගර් සමස්ත විශ්ලේෂණය නාට්සිවාදය වෙත ඌණනය කිරීම අතිශය ගැටලුකාරී වන බවයි. ඔහුගේ දර්ශනයට අනුගත වන සහ ඉතා පැහැදිළිව වාමාංශික දේශපාලනයට සම්බන්ධ සමකාලීන චින්තකයන් – ජිජැක් මේ සඳහා නිදර්ශන ලෙස ලබා දෙන්නේ ජෝන් ඩී කැපුටෝ සහජියානි වටිමෝ – සිටිනවා පමණක් නොව ඇමරිකාවේ සහ අප්‍රිකාවේ සිටිනා කළු ජාතික දේශපාලන ක්‍රියාකාරීන් විසින් තමන්ට ගෝලීය ධනවාදයට සහ එහි දෘෂ්ඨිවාදයට එරෙහි වීමට හෛඩගර් ගේ දර්ශනය උපකාරී වී ඇති බව – මෙම ආන්දෝලනාත්මක සටහන් පොත් ප්‍රකාශ පත්වීමෙන් පසුව – සඳහන් කර තිබේ. මෙවන් සන්දර්භයක් තුළ නාට්සි චෝදනාවෙන් හෛඩගර් ට දමලා ගැසීම යනු අවංක විවේචනයක් නොව පොදුවේ සාංදෘෂ්ඨිකවාදය, විසංයෝජනය සහ මනෝවිශ්ලේෂණයට එරෙහි සමස්ත දෘෂ්ඨිවාදී මෙහෙයුමක කොටසක් ලෙස වටහා ගැනීම අසාධාරණ නොවේ.

මෙම පසුබිම යටතේ අප පැමිණිය යුතු නිගමනය, ජිජැක් ට අනුව, ඉතාම පැහැදිළි වේ. හෛඩගර් ගේ චින්තනය අපරාධයක් බවට පත් කිරීමට ඇති සමාජ තෙරපුමට අප එරෙහි විය යුතුය. එයට එරෙහිව ඔහු සැබෑ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වන බව අප අවධාරණය කළ යුතුය. හෛඩගර් ගේ සමස්ත දර්ශනය නාට්සිවාදයට ඌණනය කිරීම මගින් අපට අහිමි වී යන්නේ සැබෑ ප්‍රශ්නයට මුහුණ දීමේ අවස්ථාවයි. ඒ තමයි හෛඩගර් වැනි ඉහළ මට්ටමේ චින්තකයෙක් නාට්සිවාදයට සම්බන්ධ වූයේ ඇයි කියනසත්‍ය ප්‍රශ්නය අපට මග හැරී යයි. එමෙන්ම, හෛඩගර් චින්තනය වෙනුවෙන් අප පෙනී සිටිය යුත්තේ ඇයිද කියනා ප්‍රශ්නයටත් අප ඍජු පිළිතුරක් නිර්මාණය කළ යුතු වේ.

සංජය වීරකෝන්

Advertisements