b0937cfcddd5c299cd8291346c7da5d2--circulatory-system-abstract-art

සාංදෘෂ්ටිකවාදය පිළිබඳව මූලික වශයෙන් සොරේන් කියකිගාර්ඩ් විසින් විල්හෙල්ම් හේගල්ට එල්ල කළ විවේචනය පැහැදිලි කර ගැනීමේ උත්සාහයේ දෙවන ලිපිය ලෙස මෙය සකස් කරමු. මෙය තරමක් දීර්ඝ සංවාදයක් ලෙස ලියවෙන්නක් බැවින් මෙහි ඇති වෙන අපහැදිලි තැන් නිරවුල් කර ගැනීමට සංවාදයේ දිග හැරුම විසින් ඉඩ දෙන ලෙසා ඉල්ලා සිටිමු. අපගේ පළමු ලිපියෙන් අප විල්හෙල්ම් හේගල්ගේ දාර්ශනික ස්ථාවරය හැකිතාක් විවරණය කරන්නට මහන්සිගත් අතර මෙය එහිම දිගුවකි. සොරේන් කියකිගාර්ඩ්ට්ට අනුව, දයලෙක්තික පද්ධතිය යනු මානුෂිකත්වය ප්‍රතික්ෂේප කරන නිකම් ව්‍යුක්ත පද්ධතියක් පමණි. අවසානයේ එහි මානව පැවැත්මක් නැත. හේගල්ගේ මෙන් තාර්කික පද්ධතිවල එවැනි මානව පැවැත්මක් නැති බව කියකිගාර්ඩ් මූලික වශයෙන් පෙන්වා දෙයි. මෙම ලිපියේ අරමුණ  වන්නෙ කියකිගාර්ඩ්ගේ ආස්ථානය පෙන්වා දීමයි. කියකිගාර්ඩ්ට අනුව යථාර්ථයේ මූලිකාංග තාර්කික වන්නේ නැත. දැන් අප මෙහිදී සලකා බැලිය යුතු ද්විතියීක කරුණ වන්නේ කියකිගාර්ඩ් යථාර්ථය ලෙසට අපට පෙන්වා දෙන්නේ කුමක් ද යන කාරණයයි. ඔහුට අනුව සම්පූර්ණ යථාර්ථය හුදෙක් තාර්කික – සහේතුක වන්නක් නොවේ.

මෙහිදී කියකිගාර්ඩ්ගේ ජනප්‍රිය කෘතිය වන (Kierkegaard, Either/Or) කෘතියේ යළි යළිත් මතක් කර දෙනු ලබන්නේ හේගල්ගේ පද්ධතිය එක්තරා ආකාරයකට කාණ්ඩ කිරීමේ ක්‍රමයක් (System of categories) එසේත් නැත්නම් පද්ධතියක් ලෙසයි. මෙම පද්ධතියේ ජීවී පදාර්ථ (living elements) නොමැති බව ඔහු පෙන්වා දෙයි. අප දැන් හොඳින්ම දන්නා පරිදි අපට හේගල්ගේ පද්ධතිය වටහා ගැනීමට සිදු වන්නේ චින්තනයේන් – සවිඥානිකත්වයක් (Consciousness)  තුළින් පමණි. මානව යථාර්ථය තුළ අපට හේගල්ගේ පද්ධතිය සොයාගත නොහැක. ඔහුගේ පාර භෞතිකය  (Metaphysics) අපට වටහා ගත හැක්කේ සවිඥානිකත්වය තුළින් පමණි.

දර්ශනයේ දී බොහෝ විට යථාර්ථය සම්බන්ධයෙන් විභේදනයක් පවතියි. එය දාර්ශනික අර්ථයෙන් සහ සාමාන්‍ය දැනීමේ (Common sense reality) ආකාරයෙන් යථ ග්‍රහණය කර ගැනීම ලෙසට අප සරල කර දැක්විය හැක. නමුත් මානව පැවැත්ම සමබන්ධව අනෙකුත් සියලු දාර්ශනිකයන් (හේගල් ඇතුළුව) ලබා දෙන අර්ථ කථන  ඔහු භාවිත කරන්නේ නැත. යථාර්ථය සම්බන්ධව ඔහු කල්පනා කරන්නේ සීමාසහිතව නොවේ. එයට හේතුව වන්නේ ආත්මීය පදාර්ථ (Subjective) (element) වාස්තවික පදාර්ථ (Objective element) වලට වඩා මූලික වන බවට ඔහු සිතන නිසාය.

කියකිගාර්ඩ්ගේ දර්ශනයට අනුව ඔහුගේ ‘පැවැත්ම’ පිළිබඳ අර්ථ කථනයේ දී ආත්මීය හෝ වාස්තවික, පද්ධතිගත කිරීමක් ඉදිරිපත් නොකරයි. ඒ අනුව ඔහුගේ අර්ථ කථනය වටහා ගැනීම පිණිස අපට එය හේගල්ගේ තීසිසය සමඟින් තේරුම් ගත හැක. වාදය (Thesis)  – ප්‍රති වාදය (Anti -Thesis)  සහ සහවාදය (Synthesis) ලෙස අපට හේගල්ගේ දයලෙක්තිය වටහාගත හැකි නම් (හේගල්ගේ අර්ථ කථනය කියවා ගැනීමේ පහසුවට) පැවැත්ම (being) – නොපැවැත්ම (non- being) සහ පැවැත්මක් බවට පත් වීම (Becoming) ලෙස කියකිගාඩ්ගේ අර්ථ කථනය සූත්‍රගත කළ හැකිය. නමුත් ඔහු පද්ධතියක් සූත්‍රගත නොකරයි.

එක්තරා ආකාරයකට මෙය සංකල්පීය චින්තනයක් කියා පැවසීම අසාධාරණ නොවේ. කියකිගාර්ඩ්ගේ අර්ථයෙන් අපට පද්ධති දෙස බැලීමේ දී පෙනී යන්නෙ ඒවා තෘප්තිමත් නොවන බවයි. ඒවා විසින් මානව පැවැත්ම එතරම්ම සැලකිල්ලට නොගන්නා බවක් පෙනී යයි. කියකිගාර්ඩ් කියනා ආකාරයට හේගල්ගේ චින්තනය හරියට ලෙඩකුගේ වේදනාව ගැන නොසලකා ශෛල්‍යකර්ම කරනා වෛද්‍යවරයෙක් වැනිය. මානසික තත්වය ගැන නොසලකා ශෛල්‍යකර්මයක් සිදු කිරීමකි. හේගල් වැඩ කරනු ලබන්නේ ඔහුගේ අදහස් සමඟ පමණි. මෙය කියකිගාර්ඩ්ගෙන් දැඩි විවේචනයට බඳුන් වේ. ඔහු පවසන්නේ මේ ආකාරයේ ක්‍රියාවලියක් මිනිසුන්ගේ හැඟීම් දැනීම් හෝ මානසික කාරණා නොසලකන බවයි. දර්ශනය සහ මනෝවිද්‍යාව යන ද්විත්වයම සැලකිල්ලට ගත යුතු බව ඔහුගේ අදහසයි. හේගල් පද්ධතිය ගොඩනැඟීමට කටයුතු කරන අතර කියකිගාර්ඩ් පද්ධතිය සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි (ඕනෑම  පද්ධතියක්). ඒ සඳහා අති මූලික කාරණාව ලෙසට කියකිගාර්ඩ් සඳහන් කරන්නේ මගේ ස්වයං පෞද්ගලිකත්වයයි. හේගල්ගේ සහ කියකිගාර්ඩ්ගේ මැදිහත්වීම්වල වෙනස දැන් අපිට පෙනෙනවා. වැඩිදුරටත් කියකිගාර්ඩ් පවසන්නේ දර්ශනයට මම සහ මගේ ජීවිතය සමඟ කිසිවක් කිරීමට නොමැති බවයි.

එම නිසා ඔහු පෙන්වා දෙන්නේ, හැඟීම්, මනෝ විද්‍යාත්මක ආදී පෞද්ගලික මූලිකාංග වෙනස් කළ යුතු බවයි. මේ අර්ථයෙන් ඔහු ලඟා වන්නේ මානව පැවැත්මේ අති පෞද්ගලිකත්වයක් දෙසට බව අපට පෙනී යයි.  නමුත් මෙහි පෞද්ගලික (Individual) යන්නෙන් අදහස් කරන්නේ ස්වකීය (Personal) යන්න නොවේ. පුද්ගලික තොරතුරු (Personal data) නොවේ. පෞද්ගලික දැක්මකි. අපට කිසි විටෙක මානවයා තර්කයෙන් පමණක් නිර්වචනය කළ නොහැකි බව ඔහුගේ අදහසයි. ඔහු සෑම විටම උත්සහ ගන්නේ මිනිසා භාවාත්මක ලෙසට හඳුනා ගැනීමටයි.  මිනිසා හුදෙක් තාර්කික නොවන බවත් මිනිසා සත්ව ආශාවන්ගෙන් පසුවන බවත් ඔහු පවසයි.  දැන් අපි ඔහු මේ ආකාරයෙන් පුද්ගලත්වය දෙසට යොමු වන්නේ කුමක් නිසා ද යන්න සලකා බලමු.

එයට හේතු වන්නේ පද්ධතීන් විසින් සෑමවිටම පුද්ගලත්වය ප්‍රතික්ෂේප කිරීමයි. පද්ධතිකරණය නොමැති නම් පුද්ගලත්වය ප්‍රතික්ෂේප වන්නෙත් නැත. මේ නිසා කියකිගාර්ඩ් සමාලෝචනය කරන්නේ,  හේගල්ගේ දර්ශනයෙන් මානව පැවැත්ම පිළිබඳ සංකල්පය දෙසට යොමු වුවත් – මානව පැවැත්ම සංකල්පයක් –  ලෙස ආමන්ත්‍රණය කළත් මානව පැවැත්ම පැවැත්මක් ලෙසට ආමන්ත්‍රණය නොකරන බවයි. (Hegel only addresses the concept of human being but not  the existence of human being). දාර්ශනිකයන් මානව පැවැත්ම ගැන සංකල්පයක් ලෙසට සලකා බැලුවත් එය ජීවමාන මානව පැවැත්මක් ලෙසට කල්පනා නොකරන බවට හේගල් විවේචනයක් සූත්‍රගත කරයි. ‍යථාර්ථයේ සාංදෘෂ්ටික මූලිකාංග පවතින බවත් එය හුදෙක්ම තාර්කික වන්නක් නොවන බවත් ඔහු සඳහන් කරයි. නමුත් හේගල්ගේ පද්ධතිකරණය විභේදනයන් සහිත වේ. මෙම පද්ධතියම සංකල්පීය වන අතර අවසානයේ දී එය හේගල් විසින් සවිඥානිකත්වයට (Consciousness) තල්ලු කරයි. කාල්පනික පද්ධතියක්. (Ideal System).

නමුත් මෙයට විකල්පව කියකිගාර්ඩ් පවසන්නේ මිනිසාගේ පැවැත්මේ තාර්කික නොවන පැතිකඩක් ඇති බවයි.  මානව පැවැත්ම ආරම්භ වන්නේ සංකල්පවලින් නොවන බව කියකිගාර්ඩ්ගේ අදහසයි. නමුත් හේගල්ට අනුව මානව පැවැත්ම යනු ව්‍යුක්ත අදහසක් සහ එය සංකල්පීය බව අපි දැනටමත් දන්නා කරුණක් බව යළි මතක් කරමු. නමුත් ඔහුගේ අදහස වන්නේ ඕනෑම සංකල්පයක් සතුව වියහැකියාවක් පවතින බවයි. ඒවගේම ඔහු සඳහන් කරන්නේ මානව පැවැත්ම ලෝකයේ විද්‍යමානව පවතින්නක් බවයි. නමුත් සංකල්ප සතුව ඇත්තේ වියහැකියාවක් පමණි. මෙය සරල උදාහරණයකින් පැහැදිලි කර ගත හැකිය. පෑන නම් සංකල්පය සහ දැන් මගේ ලඟ තිබෙන පෑන  වෙනස් දෑය. එම නිසා අපට පෙනී යන්නේ කියකිගාර්ඩ් තාර්කිකත්වයේ සිට ආත්මීයත්වයකට, හේතූන්ගේ සිට ලලාසාවන් වෙතටත් විතැන් වන බවයි. ඔහු සියලුම ආකාරයේ පද්ධතිවලට විරුද්ධ වන්නේ එම නිසාය.  අවසානයේ සොරේන් කියකිගාර්ඩ් පැමිණෙන්නේ ඔබත් මමත් සිරවී සිටින සියලූම ආකාරයේ පද්ධති වලින් අපව මුදා ගැනීමටයි. ඔව්! ඒක මිනිසාව සම්පූර්ණයෙන්ම පද්ධතිහරණය කරන දර්ශනයක් යැයි කීම අසාධාරණ නොවේ.

එරන්ද මහගමගේ