Unknown1

ස්වතන්ත්‍ර නාට්‍ය රචනය යනු රටක නාට්‍ය කලාවේ ප්‍රගමනය වෙනුවෙන් සෘජුව බලපාන මුලික ම භාවිතයකි.  ප්‍රශස්ත නාට්‍ය නිෂ්පාදනයක් බිහි වීම මේ මූල බීජය පිටපත ය. අද්‍යතන සිංහල නාට්‍ය  කලාවේ දක්නට ලැඛෙන නිශේදනිය තත්ත්වයක් වනුයේ ගුණාත්මක ස්වතන්ත්‍ර නාට්‍ය රචනා බිහිවීමේ ප්‍රවණතාව ශුන්‍ය වී ගොස් තිබීමයි. එම තත්ත්වයට මූලික හේතුව වනුයේ සමාජ පරිස්ථීතයේ පවතින කාලීන සිදුවීම් සහ සමාජයීය, දේශපාලනික වශයෙන් පැන නගින තත්ත්වයන් තුළ ඇති ජනප්‍රිය දෘෂ්ටිවාද (Popular Ideology) පදනම් කර නාට්‍ය රචනා කිරීම හා උසස් සාහිත්‍යය රසසාස්වදයෙන් පරිකල්පනය තියුණු තත්වයට පත් කර ගත් නාට්‍ය රචකයන් හිඟ වීමයි. කාලීන දේශපාලනික හෙජමොනිය තුළ එම නාට්‍ය රචනා හුදු වාර්තා සහ ප්‍රවෘත්ති ලෙස ප්‍රේක්ෂකයාට රස වින්දනයක් ලෙස ගම්‍ය වුව ද, ක්‍රමිකව එම හෙජමොනික ග්‍රහණය බිඳ වැටීමෙන් පසු එම නාට්‍ය රචනාවන් හි ඇති දෘෂ්ටිය හා ප්‍රේක්ෂක ඥානනය කුමන ආකාරයක් ගනී ද යන්න උභතෝකෝටික ය.

ප්‍රබන්ධය, යථාව සහ සංකතනය ස්වතන්ත්‍ර නාට්‍ය රචනාවක් ගොඩ නැගීම සදහා මුලික පදනම වේ. ලෝකයේ බිහි වූ විශිශ්ට නාට්‍ය රචකයන් කිහිප දෙනෙකුගේ අදහස් පාදක කරගනිමින් ස්වතන්ත්‍ර නාට්‍ය රචනය සම්බන්ධව ඔහුන් ප්‍රකාශ කළ නිවැරදි අර්ථ කථනයන් සාකච්ජා කිරීම වැදගත් වනු ඇත. එංගලන්ත නාට්‍ය රචක එඩ්වඩ් බොන්ඩ් (Edward Bond) පවසන අන්දමට මනුෂ්‍යත්වයේ නිදහස් අපේක‍ෂාව පිළිබඳ අර්බුදයට පිළිතුරු ගැබ් වී ඇත්තේ නාට්‍ය කලාවේ පමණකි. එය එසේ කරන්නේ ඉගැන්වීමෙන් නොව මනුෂ්‍ය ස්වභාවය පැහැදිලි කිරීමෙන් හා නිර්මාණය කිරීමෙනි. මනුෂ්‍ය ස්වභාවය යනු අවබෝධය හා විනිශ්චයයි. එය රඳා පවතින්නේ පරිකල්පනයේ තර්ක න්‍යාය මතයි. පරිකල්පනයේ තර්ක න්‍යාය යනු මනුෂ්‍ය ස්වභාවයයි. ව්‍යාවහාරික රංග කලාවේ ආඛ්‍යාන ගොඩනැගීමේ විෂය පථයට කිසිදු නෛතික සීමා මායිම් නැත. එය රංග කලාත්මක සහජාශයකින් (Instinct) පැන නගින හෙයින් බව බොන්ඩ්ගේ අදහසයි. ඇමරිකානූ ජාතික නාට්‍ය රචක ජෙෆ්රි හැචර් (Jefrey Hatcher) (The art and craft of play writing) කෘතියේ ප්‍රකාශ කරනු ලබන්නේ  අවට ලෝකයේ සංඥවන්ගෙන් හා අදාලත්වයෙන් උද්දීපනය වන අතර එහෙත් පශ්චාත් නූතන රංගකලා විද්වතුන්ගේ භාවිතාවන් මෙන්ම රංගකලා ඉතිහාසය ද ආඛ්‍යාන ගොඩනැගීමේ කැන්වසය මත සුවිශේෂි දිශානතීන් ඉඟි කරන බව ය. නාට්‍ය කලාව අත්‍යාවශ්‍යයෙන්ම මවා පෑමකි. (Pretence) එය යථාර්ථයේ ප්‍රතිනිර්මාණයක් නොවේ. Mimesis යනු නිර්මාණයක් මිස අනුකරණයක් නොවේ. එසේ නම් රංග ආඛ්‍යානයේ භූමි කලාපය පවතින්නේ කොතනද එය පවතින්නේ යථාව හා පරිකල්පනය අතර අවකාශයක බව ඔහූ පවසයි.

ප්‍රසංශ ජාතික නාට්‍ය රචක පොල් රිසර් (Paul Ricoeur) ප්‍රකාශ කරන පරිදි කතාන්දර කීම යනු කාල්පනික අවකාශයන් පෙළගැස්වීමයි. කාල්පනික අවකාශයන් යනු ජීවිතය, දෘෂ්ටිවාදය හෝ පවතින්නා හෙජමොනික පීඩනය වාර්තා කිරීම නොව ඒවා විනිවිද දක්වයි. බර්ටෝල් බ්‍රෙෂ්ට (Bertolt Brecht) අනුව ආඛ්‍යාතකරුවා සිදුවීම් වාර්තා නොකරයි. ඒවා විසංයෝජනය කොට නිරීක‍ෂණයට ලක් කරයි. එය යථාර්ථය ම නොවන බව බ්‍රෙෂ්ට්ගේ අදහසයි. හැරල්ඩ් පින්ටර් (Harold Pinter) ගේ මතය වනුයේ යථාර්ථය හා යථාර්ථ නොවන දෙය අතර වෙනසක් නැති තරම් බව ඔහූ යෝජනා කරයි. සත්‍ය යමක් හා අසත්‍ය යමක් ද සේය. යමක් සත්‍ය මෙන්ම අසත්‍ය ද විය හැකිය. මේ සියළු දෙයින් ගම්‍ය වන්නේ ආඛ්‍යානකරුගේ විෂය පථය පවතින යථාව පරිකල්පිත දිශානතියකට යොමුවීමෙන් නිර්මාණය වන්නක් බව පින්ටර් පවසයි.

ආඛ්‍යානයේ ප්‍රස්තුතය කවර කලක කවර දේශයක සිදු වූව ද එය නිර්මාණාත්මකව පරිකල්පනය කිරීමේ ”අරුම වූ මොහොතක්” ඉස්මතුවෙයි. එය එසේ වන්නේ රචකයාගේ  දෘෂ්ටිමය අපුර්වත්වයක් හේතුවෙනි. එහෙත් ආඛ්‍යානය ඇරඹෙන්නේ අදහසක් මුල් කරගෙනම නොවේ. එය කිසියම් සිදුවීමක් මූලික කොට ගනිමින් ද නිර්මාණය කළ හැක. එහෙත් එහි ආඛ්‍යාන හා රූපක, පවතින අධිපති දෘෂ්ටින් අභියෝගයට ලක් කරයි. වෙනම පැවැත්මක් පිළිබඳ ඉඟි කරයි. තොරතුරු සැපයීම නොව අත්දැකීම් ඛෙදා හරිනු ලබයි. මනුෂ්‍යත්වයේ නිදහස අපේක‍ෂාව පිළිබඳ දොරගුළු විවර කරයි. ඇස ගැටීමේ හා අභිමුඛ වීමේ සාධක වෙත යොමු කරයි. සංස්කෘතික සීමාවලින් ඔබ්ඛෙහි මනුෂ්‍යත්වය ගවේෂණය කරයි. එය හසුකරගත් අරුම අපූර්වත්වය වෙනත් විෂයකින් හසුකරගෙන නොහැකි අවකාශයක පිහිටා සිටියි. ඒ ප්‍රේක‍ෂකයින් සඳහා නොව සහභාගීවන්නන් සඳහා ය.

සමකාලීන සිදුවීමක් නාට්‍ය රචනයක් සදහා පාදක කර ගැනීමෙන් එම සමාජය තුළ ජිවත් වන ප්‍රේක්ෂකයා සමාජයීය හා දේශපාලනනික වශයෙන් බුද්ධිමය පුද්ගලයන් ලෙස අවදි කොට උත්තේජනයක් සැපයීම ගුණාත්මක  නාට්‍ය රචනයකට හැකි වනු ඇත. සමකාලින තත්ත්වයන්  තුළ ඇති සුක්ෂම ගූඪ භාවයන් හි යථාර්ථය එමඟින් ප්‍රේක්ෂකයාට ඥානනය වනු ඇත. ස්වතන්ත්‍ර නාට්‍යයක පළමු ප්‍රේක්ෂකයා වන්නේ ඵම නාට්‍යය් රචකයා ය. ඔහු තම නාට්‍ය රචනයට පාදක කර ගන්නා සිදුවීම ඔහුගේ දෘෂ්ටිය සහ පරිකල්පනය (Imagination) ඔස්සේ කාල්පනික අවකාශයක් තුළ ප්‍රබන්ධ කළ යුතුය. එවිට ප්‍රේක්ෂකයාට නාට්‍ය රචනය තුළින් ගම්‍ය වන්නේ තත්කාලීන සමාජයේ ජනප්‍රිය දෘෂ්ටිවාද පරයා ගිය නව අර්ථකනයක් රැගත් රස වින්දනයකි. මෙය ජෙෆ්රි හැචර් (Jefrey Hatcher) ගේ ද ප්‍රකාශයත් සමඟ වඩා තහවුරු වනු ඇත.

ප්‍රශස්ත නාට්‍ය පෙළ රචනාවක් යනු දේශ සීමා, කාල සීමා නොමැති පොදු මානවයා රසවින්දයෙන් ඥානනය කළ හැකි වන්නා වූ කෘතියකට ය. කාලයත් සමඟ හෝ දේශයත් සමග එම නාට්‍ය පෙළෙහි සන්දර්භය අහෝසි වේ නම් එය හුදු වේදිකා ප්‍රසංගයක් බවට පමණක් පත් වන්නකි. නූතන සිංහල වේදිකාව තුළ එවැනි නාට්‍ය බහුල වශයෙන් දක්කනට ලැඛෙන අතර එම නාට්‍යයන් ඇගයීමට පාත්‍ර වීම තුළින් නාට්‍ය සම්බන්ධව තිඛෙන නිවැරදි අර්ථකථනය ප්‍රේක්ෂකයා තුළින් මෙන් ම සමාජය තුළින් ද ගිලිහී යනු ඇත. 1985 නිහාල් සිල්වාගේ “සාජන්ට් නල්ලතම්බි” සිට වර්තමානය දක්වා ම බහුතර නාට්‍ය රචනා තුළ මෙම අර්බුදකාරී ස්වභාවය දක්නට ලැඛෙන අතර එවන් නාට්‍ය ජනප්‍රිය බම්මන්නන්ගේ තාවකාලික වේදිකා ප්‍රසංග පමණකි. නාට්‍ය රචනා පමණක් නොව සියළු කලා මාධ්‍යයන් සමකාලීන සිදුවීම් තම නිර්මාණ සදහා පාදක කර ගැනීමේදී නිර්මාණකරුවා කාලීන තත්වයන් ඇති සැටියෙන් වාර්තා නොකොට ඉන් එහා ගිය පරිකල්පනික අවකාශයක් තුළ තම නිර්මාණ විශද කළ යුතුය. එම නිර්මාණ පොදු ප්‍රේක්ෂකයා රසවින්දනාත්මකව ඥානනය කරනු ලබන නිර්මාණයන් බවට පත්විය යුතුය.

සමකාලීන සිදුවීමක් පාදක කොට නාට්‍යයක් රචනා කිරීම එම කාලීන තත්ත්වය අතික්‍රමණය කරන ලද නිර්මාණයක් බවට පත් කළ යුතුය. වස්තු විෂය කර ගන්නා සිදුවීම එලෙසම වේදිකා තරණය කිරීම ප්‍රවෘත්ති වාර්තා කිරීමකට නොදෙවෙනි භාවිතාවක් වනු ඇත. කිසියම් සිදුවීමක් හෝ අනුභූතියක් පෞද්ගලික දෘෂ්ටියක් ගම්‍ය වන වස්තු විෂයයක් විය හැකිය. නමුත් එය රචකයා විසින් සමස්ත පොදු මානවයාගේ දෘෂ්ටියක් බවට පෙරලා නාට්‍ය රචනය කළ යුතුය. එය කිසියම් ආකාරයක ප්‍රගතිශීලි නාට්‍ය රචනයක් වන අතර එමඟින් ප්‍රේක්ෂකයා හට නිර්මාණය ඔස්සේ කරන බලපෑම අති ප්‍රබල ය. ඒ සදහා මුලික වශයෙන් එම සිදුවීම්, චරිත, හා අවස්ථා සත්‍ය සිදුවීම අතික්‍රමණය කළ ප්‍රබන්ධයක් බවට නාට්‍ය රචකයා විසින් තම දෘෂ්ටිය හා පරිකල්පනය භාවිත කොට ගොඩ නැඟිය යුතුය. සමකාලීන සිදුවීම් පාදක කර ගනිමින් කළ ප්‍රශස්ත නාට්‍ය රචනා ද අල්ප වශයෙන් සිංහල වේදිකාව තුළ දක්නට ලැබේ. ඒ අතර අද්‍යතනයේ නිර්මාණය වූ චාමික හත්ලහවත්තගේ “රජා මං වහලා”හා සෞදර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ 2015 උපාධි අපේක්ෂකයන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනයක් වූ “ප්‍රොමිතියස් පෙම්වතිය” වැනි නාට්‍ය රචනා හැඳින්විය හැක. සත්‍ය සිදුවීමේ ගැබ්ව ඇති ඒ නාට්‍යමය අවස්ථාව නම් අපූර්ව මොහොත රචකයා විසින් සොයා ගත යුතු අතර, එයට තමාගේ අර්කථනය එකතු කර නාට්‍යයක් රචනා කිරීම පරිසමාප්ත නාට්‍ය රචකයකුගේ විශිෂ්ටත්වය ප්‍රකට වන්නකි.

සමකාලීන සිදුවීම් පාදක කොට ගනිමින් කළ නාට්‍ය රචනා සිංහල නාට්‍ය කලාවේ ඉතිහාසයේ සිට ම අපට දක්කන ලැබේ.  නුතන නාට්‍ය කලාව ප්‍රභවය වන්නට පෙර අවදියේ සිට සම්ප්‍රදායික සිංහල නාට්‍ය තුළ ද සමකාලීන ලක්ෂණ විශද වන නාට්‍ය රචනා නිර්මාණය වී ඇත. 1814  සිදු වූ ඇහැපොළ සිදුවීම පාදක කර ගනිමින් පිලිප්පු සිඤ්ඤෝ විසින් රචනා කළ “ඇහැපොල නාඩගම” ශ්‍රී ලාංකේය නාට්‍ය ඉතිහාසයේ සමකාලීන සිදුවීමක් පාදක කර ගත් ප්‍රථම නාට්‍ය පිටපත ලෙස හැදින්විය හැකිය. එමගින් පෙනී යන කරුණක් නම් ඉතිහාසයේ සිට ම නාට්‍යකරුවා සමකාලීන සිදුවීම් පාදක කරගනිමින් තම නාට්‍ය රචනයේ යෙදී ඇති බවය. 1956 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගෙන් ආරම්භ වන නූතන නාට්‍ය කලාවේ ප්‍රභවය තුළ එදා මෙදා දක්වා සමකාලීන සිදුවීම් ඇසුරෙන් නාට්‍ය රචනා විශාල සංඛ්‍යාවක් නිර්මාණය වී ඇත. එම රචනා තුළ පවතින සර්වකාලීන ගුණය හා සර්වභෞමික ගුණය ද අද්‍යතනයේ දී යල් පැන ගොස් ඇති නාට්‍ය රචනා මෙන්ම වර්තමනයට ද වලංගු නාට්‍ය රචනා අපට රසවිදීමට අවස්ථාව ලැබී ඇත. නාට්‍යයක සදාකාලික ජිවගුණය රදා පවතිනුයේ නාට්‍ය රචනාව තුළ ය. සර්වකාලීන ගුණයෙන් යුතු නාට්‍යයක් රචනා කිරීම සදහා නාට්‍ය රචකයා හට මානව හැසිරීම්, සබදතා සංවේදනා පිළබද හා ආර්ථික, සමාජයීය, දේශපාලනික අවබෝධය පිළිබද  උපකල්පනය කළ හැකි, පරිකල්පනාත්මක දෘෂ්ටියක් තිබිය යුතුය.

ස්වකීයත්වය හා අනන්‍යතාවය එකිනෙකට  විරුද්ධ තත්ත්වයක් නොදක්වන නමුත් ආඛ්‍යාන ගොඩනැගීමේ දී ඒවා අනොන්‍ය සම්බන්ධතාවලටත් එකෙනෙක තුළට ගිල්වීමටත් භාවිත කරනු ලැබේ. ස්වයං චරිතාප්‍රදාන බොහෝ විට ප්‍රබන්ධය හා යථාව  මිශ්‍ර කර ගනී. එසේ ම ඓතිහාසික ජිවිත කතා ප්‍රබන්ධ කතා වී තිබේ. පුරාණෝක්තිවල හමුවන ප්‍රබන්ධ කතා ස්වයං හා සමාජ ආඛ්‍යනවල අවයව වී තිබේ. ව්‍යවහාරික රංග කලාව මෙහිදී විශේෂ වනු ඇත. එහි දී සහභාගී වන්නන්ට ප්‍රාදේශීය හා පෞද්ගලික කරුනු සම්බන්ධ ව ගවේෂණය කරන හෙයින් මෙහි දී ප්‍රබන්ධය හා යථාව අතර මායිම් සිතා මතා බිද දමනු ලබන්නේ එමගින් ප්‍රේක්ෂකයාට නව අත්දැකීම් නාට්‍යමය රූපකයක් බවට පරිවර්තනය කරගැනීමට අවකාශයක් ලැඛෙන බැවිනි. ඒ මගින් රංග පරම ආඛ්‍යනයන් ඉදිරිපත් කිරීමට කරුණු සැපයෙන බැවිනි. අවබෝධය වෙනස් වීමට හෝ නව ඥානනයක් ලබා ගැනීමට හැකි වන්නේ ආඛ්‍යාන එකිනෙකට පරස්පර වූ විට ය. වර්තමාන නාට්‍ය රචකයන්ගේ පුරුදු පරිචයක් විය යුත්තේ ප්‍රබන්ධ හා ස්වයං චරිතාපදාන විකල්ප ආඛ්‍යාන ලෙස ගොඩ නැගීමයි. ජීවිතය විකල්ප ස්ථානවල සිට විකල්ප දෘෂ්ටීන් වලින් දැක අත්දැකීම් රාමු ගත කිරීමයි.

සමකාලීන සිදුවීමක් පාදක කර ගනිමින් සර්වකාලීන ගුණයෙන් යුතු නාට්‍ය රචනාවක් නිර්මාණය කිරීමට හැකිය. එය නාට්‍ය රචකයාගේ සුවිශේෂ කාර්යභාරයක් වනු ඇත. වර්තමාන සිංහල නාට්‍ය කලාව තුළ කාලීන සිදුවීම් පදනම් කර ගත් බහුතර නාට්‍ය රචනාවල දක්නට ඇත්තේ වර්තමනයේ දී ම අප මුහුණ දෙනු ලබන ජනප්‍රිය දෘෂ්ටිවාද වල ප්‍රතිබිම්බයකි. එසේ කිරීමට නාට්‍ය රචකයෙකු හෝ නිර්මාණකරුවෙකු අවශ්‍ය නො වේ. එය ප්‍රවෘත්ති වර්තා කරන්නෙකුට හෝ නිවේදකයෙකුට කළ හැකි කාර්යයකි. ඉතාලි ජාතික දාරියෝ ෆෝ වැනි නාට්‍යකරුවන් සමකාලීන සිදුවීම් පාදක කරමින් කරන ලද සාක්කි (Accidental Death Of An Anarchist) නාට්‍ය නිර්මාණ එ රට ජනතා මතවාදය සකස් කිරීමටත්, ඒ මගින් දේශපාලනික හා සමාජයීය පරිවර්තන සිදු කිරීමටත් මුලික වී ඇත. එමෙන්ම ඔගස්ටෝ බෝආල් වැනි නාට්‍ය කරුවන්ගේ නාට්‍ය ආකෘති මගින් ජනතාවගේ ගැටළු හා සමකාලීන සිදුවීම් නාට්‍ය නිර්මාණ තුළින් සාකච්ඡාවට බදුන් කොට ප්‍රේක්ෂකයා ඥානනය කරනු ලබයි. ඇමරිකානු ජාතික ආතර් මිලර් වැනි නාට්‍යකරුවන් හට තම නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයාට යථාර්ථය ඥානය කිරීම හේතුවෙන් රාජ්‍ය විසින් දඩුවම් පවා විදීමට සිදු විය. ශ්‍රී ලංකාවට ද එවැනි නාට්‍ය කෘති අවශ්‍ය කාලයකි මෙය. සමකාලීන සිදුවීම් මගින් නාට්‍ය රචනා කිරීමෙන් ආර්ථික, සමාජයිය, දේශපාලනික වශයේ එහි ගූඨ ස්වභාවයන් ප්‍රේක්ෂකයාට ඥානනය කිරීමට හැකි වනු ඇත. හුදු රසාස්වින්දනයෙන් ඔබ්බට ගිය ජනතාව අවදි කරවන ස්වතන්ත්‍ර නාට්‍ය රචනා මෙරට වේදිකාවට අවශ්‍යය වී ඇත. නාට්‍ය රචනාවේ සන්දර්භය හුදු ප්‍රවෘත්ති වාර්තාකරණය අතික්‍රමණය කළ රසස්වින්දනය සංකලනය වූ ප්‍රේක්ෂකයාගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන ලද හා ප්‍රේක්ෂකයා යාථාර්ථය ඥානනය කරවන ස්වතන්ත්‍ර නාට්‍ය රචනා අවශ්‍ය යුගයක් අප පසු කරමින් සිටි. ගුණාත්මක නාට්‍ය කලාවක් වෙනුවෙන් මුලික වශයෙන් සිදු විය යුත්තේ ස්වතන්ත්‍ර නාට්‍ය රචනයේ ශාස්ත්‍රීය පැතිකඩ අධ්‍යනය කිරීමකි. එමෙන් ම සමාජ සිදුවීම්, අනුභූතීන් ආදිය පරිකල්පනාත්මක නිර්මාණයක් බවට පත් කරන්නේ කෙසේ ද යන්න පිළිබද සොයා බැලිය යුතු මෙන් ම සාකච්ඡා කළ යුතු කාලය උදා වී ඇත.

දේවින්ද වික්‍රමසිංහ

 

Reference

The art and craft of play writing                          –           Jefrey Hatcher

Storyteller                                                                 –           Walter Benjamin

 

 

 

Advertisements