18fb96e90ca559acf1020be5a5f965de--abstract-landscape-abstract-paintings

‘What a nice Couple’ නාට්‍යය වෙත ප්‍රවේශ විය හැකි පහසු කියවීමක් වන්නේ එය අද දවසේ පාරිභෝජනවාදී සමාජයේ මධ්‍යම පංතික ගැටලුවක් විදාරණය කිරීමට උත්සහ දැරූ නාට්‍යයක් යන්නයි. තරුණ යුවලකගේ පළමු විවාහ සංවත්සරය. අමුත්තන් රහිතය. රාත්‍රියේ වයින් පානය කරමින් කේක් කන, ඔවුන් දෙදෙනාගේ ම සාදයකි. නව-පාරිභෝජනවාදී සමාජයෙන් නිර්මාණය වූ වෙළඳ ප්‍රචාරණයට කෙෂ්ත්‍රයට සම්බන්ධ රැකියාවක් කරන තරුණයා, සාදය මොහොතේ දී තම රැකියාවේ කටයුතු සිදු කරමින් (ලැප් ටොප් පරිඝණකයක) තම බිරිඳ සමඟ කතා බහේ නිරත වෙයි. ඒ අතර නිතර නිතර තරුණයාගේ රැකියාවට සම්බන්ධ – ඔහුට අනුව – දුරකථනය ඇමුතුම් දිගින් දිගටම පැමිණෙයි. ඒ අතර – ඔහුට අනුව – ඔහුගේ කාර්යාලයේ ලොක්කා (බොස්), අරුන්දතී මැඩම් නම් ඔහුගේ සේවාදායකියාවක්, ඔහුගේ මිතුරෙකුගේ ගැටලුවකට ඔහුට අමතන මිතුරාගේ පැරණි පෙම්වතිය වෙයි. මෙම ඇමතුම් නිසා බිරිඳට තුළ හටගන්නා සැකයක් හේතුවෙන්, සාමාන්‍යයෙන් අප දැක ඇති නිවසේ අඩදබර තත්ත්වයට මෙම සංවාදය පත් වෙයි. තරුණිය වැළපෙයි. තමුන්ගේ ජීවන මතකයන් සමඟ තම රැකියාවේ දුක් දෝමනස්සයන් පවසන අඳෝනාවක් සහිතව තරුණයා ද වැළපෙයි. ඔවුන්ගේ සිහිනය වන්නේ ඕස්ට්‍රේලියාවට ගොස් ඔවුන්ගේ ම දරුවෙක් සමඟ යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමයි. අවසානයේ තරුණයා රැකියාවෙන් ඉවත් වීමට තීරණය කරයි. පසුව බිරිඳ ඔහු ව සනසන්නට උත්සහ කරයි. මේ ආකාරයේ සංවාද තුළ නාට්‍යය අවසන් වෙයි. නාට්‍යයේ නාටකීය අවස්ථාව වන්නේ ඉතා ගැටුම්කාරී සංවාදයකින් අනතුරුව බිරිඳ – ගැටුමට හේතු වූ දුරකථනය ඇමුතුම ලබා දුන් අයෙක් විසින් තෑගි දුන් – කේක් එක නැවත ආහාරයට ගන්නා අවස්ථාවයි. ඒ හැරුණු කොට සාමාන්‍ය මධ්‍යම පංතික නිවසක අපට දකින්නට ලැබෙන තත්ත්වයෙන් නාට්‍යය ගලාගෙන යයි.

අප ජීවත් වන යුගයේ වෘත්තීමය ජීවිතය හා සාමාන්‍ය ජීවිතය බෙදා වෙන් කරන රේඛාවක් සොයා ගැනීමට අපහසු වී ම තුළ පවතින පුද්ගල ආතතිය, පීඩනය ‘What a nice Couple’ නාට්‍ය මඟින් ගෙන එන්නට චාමර උත්සහ කර ඇත. සමහරවිට, සමාජ දේශපාලනය හා පවුල අතර ඇති ඍජු සම්බන්ධය නැතිනම් වෙන් කළ නොහැකි අරුත් සහගත බැඳීම ඔහුගේ මෙම තෝරා ගැනීමට මූලික වන්නට ඇත.

අපි මේ කියවීම වෙනුවට මෙයට තරමක් දාර්ශනික ප්‍රවේශයක් ගන්නට උත්සාහ කරමු. මේ සඳහා මා උපයෝගී කර ගන්නේ හෛඩගරියානු දර්ශනයේ තිබෙනා මූලික අදහසකි. ඔහුට අනුව අපේ පැවැත්ම තීරණය කරන මූලික කාල මානය වන්නේ ආනාගතයයි. එයට එවැනි අධිකාරීත්වයක් හිමි වෙයි. මන්ද අපගේ වර්තමානය තීරණය වන්නේත්, අතීතය සංස්කරණය වන්නේත් ආනගතයට අනුවයි. උදාහරණයකින් කියන්නේ නම් අප අනාගතයේ අත් පත් කර ගැනීමට බලාපොරොත්තු වන දෙයක් වෙනුවෙන් අප අපේ වර්තමානය වෙනස් කරයි. අපේ අතීතයත් එයට අනුව සංස්කරණය කර ගනියි. තරුණ යුවලගේ සිහිනය මෙල්බර්න් ගොස් යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමටය. ඒ සඳහා ඔවුන් දැනට තෝරාගෙන තිබෙන්නේ මෙම නව වෙළඳපළකරණය විසින් උරුම කර දෙන ලද රැකියාවකි. ඔවුන් තමන්ගේ අනාගතය වෙනුවෙන් එම රැකියාව විසින් උරුම කර දෙන ලද පීඩනය විද දරා ගැනීමට සූදානම් ය. තවත් ආකාරයට කියන්නේ නම් මෙල්බර්න් යාමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම වෙනුවෙන් යම් කැප කිරීම් කිරීමට සූදානම්ය. අතීතයේ දී ඔවුන් කළ කී දෑ අමතක කර දැමීමට හෝ ඒවා අනාගතයට ගැලපෙන පරිදි අඛ්‍යානගත කර අර්ථ කථනය කිරීමට ඔවුන් පෙළබෙයි. නමුත් ඔවුන්ගේ අනාගතය යනු ම පවතින නව-ලිබරල් දේශපාලනයේ තවත් එවැනි ම මාඳිලියක ජීවත් වීමට දකින සිහිනයකි. එම නිසා ඔවුන් එක්තරා අර්ථයකින් ජීවත් වන්නේ සදාකාලික වර්තමානයකයි. (වැඩි විස්තර මෙතැනින්) තම අනාගතය වෙනුවෙන් අවශ්‍ය නොවන ගංජා බොමින්, සින්දු කියමින් ගෙවූ අතීතය තරුණයාගේ වැළපිල්ල තුළින් එක්තරා මොහොතක ප්‍රකාශ වෙයි. ඒ ප්‍රකාශ වන්නේ අනාගතය වෙනුවෙන් ඔවුන් විසින් පිරිපහදු නොකරන ලද තවත් ආකාරයකට කියන්නේ නම් සංස්කරණය නොකරන ලද අතීත කතාවයි.

ෆෙඩ්රික් ජෙම්සන්ගේ අර්ථ කථනවලට අනුව පශ්චාත් නූතන යුගය යනු ප්‍රාග්ධන තර්කනය සංස්කෘතිය තුළට ඇතුළුවීමයි. ‘What a nice Couple’ නාට්‍යයට අනුව නිර්මාණාත්මක වෙළඳ ප්‍රචාරණයේ යෙදීමට හා ඔවුන්ගේ සේවාදායින්ගේ සංස්කෘතික ජීවිතය නඩත්තු කිරීමට තරුණයාට සිදු වෙයි. එය ඔහුගේ වගකීම වන අතර ඔහුට එය මඟනොහැරිය හැකි සේ එම පද්ධතිය ශක්තිමත් කොට ඇත. තම බිරිඳ සමඟ ගෙවන මේ එක් සුවිශේෂී රාත්‍රිය තුළ ද ඔහුට ඔහුගේ වෘත්තීමය වගකීමෙන් ඉවත් වීමට කිසි සේත් හැකියාවක් නොමැත. අවසානයේ ඊට ප්‍රතිවිරෝධයක් ලෙස ඔහු ගන්නා ක්‍රියාමාර්ගය වන්නේ පලා යාමයි. ක්‍රමයට විරුද්ධව සටන් කරීම නොව පලා යෑම අද දවසේ තරුණයාගේ චරිත ලක්ෂණයක් ලෙස නාට්‍ය විසින් ප්‍රතීයමාන වෙයි. නාට්‍ය තුළ ඒ සඳහා වෙනත් ප්‍රවේශයක් යෝජනා කරන්නේද නැත. එම අත්‍යවශ්‍යම යැයි පවසන්නට ඉක්මන් නොවෙමු. මන්ද ගැටලුව සංවාදයට ගැනීම ම විකල්ප අදහසක් වෙනුවෙන් ප්‍රේක්ෂකයා සූදානම් කිරීමට ගන්නා උත්සාහයකි.

‘What a nice Couple’ නාට්‍යයේ තිබෙන අර්බුධය වන්නේ ව්‍යාජ රූපණ විධික්‍රමයක් භාවිතා කිරීම හා වේදිකාවේ නාටකීය බව අමතක කර දැමීමයි. (වැඩි විස්තර මෙතැනින්) සුවිශේෂී උදාහරණයක් ලෙස නාට්‍ය තුළ නිහඬතාවය භාවිතා කර තිබූ අන්දම සැලකිල්ලට ගනිමු. නිහඬතාවය යනු කුමක්ද? නිහඬබව ද භාෂාවේ කොසටකි. අපගේ වචනවල සමස්තය භාෂාව ලෙස නම් කළහොත්, නිහඬබව යනු ද එහි ම කොටසකි. සංවාදයක් අතරතුර ඇති වන නිහඬබව අර්ථ ජනනය කරයි. ‘What a nice Couple’ හි නිහඬතාවය භාවිතා කිරීමෙන් උත්සහ කර තිබුණේ එය වඩා ස්භාවිකත්වයට ළං කිරීමයි. නමුත් නොදැනුවත්වම සිදුවන්නේ නාට්‍යය ගලා ආ ආතතිය අකර්මන්‍ය වීමයි. එමඟින් අර්ථයක් ප්‍රකාශ කරනවා වෙනුවෙට නාට්‍යයේ සමස්ත තානය ඇණහිටීමකට ලක් වෙයි. අර්ථාන්විත නිහඬතා දක්නට ලැබුණු අවස්ථා නැතුවා ම නොවෙයි. නමුත් සමස්ථයක් ලෙස නිහඬතාව භාවිතා කිරීම නාට්‍යයේ සමස්ථ රංග කාර්යයට සහයක් දක්වනවාට වඩා නාට්‍ය විසින් භාවිතා කර තිබුණු ව්‍යාජ රූපණ ආකෘතියට සේවය කරන්නකි. නිහඬතාව බොහෝ විට සුවිශේෂී වෙනසක්, ප්‍රතික්‍රියාවක්, නාට්‍ය වෙනත් තලයකට ගෙන යන්නක් වෙනුවෙන් සාදාගන්නා අඬිතාලමකි. නැතිනම් මෙතෙක් සංවාද කරමින් සිටි මාතෘකාව වෙනස් කරන මොහොතකි. මේ සියල්ල තුළින් බලාපොරොත්තු වන්නේ නාට්‍යයේ තානම ප්‍රේක්ෂක ආතතිය තීව්‍ර වන සේ භාවිතා කිරීමයි.

නාට්‍යයේ පෙන්වන්නේ මධ්‍යම පංතික නිවෙසක ව්‍යාජයයි. ඒ සඳහා චාමර යොදාගන්නේ ඇතැම් විට ඔහු යථාව යැයි විශ්විස කරන රංග ආකෘතියයි. නමුත් අප ඉදිරියේ චිත්‍රණය වන්නේ තවත් ව්‍යාජයක් මිස අව්‍යාජ රංගයක් නොවෙයි. මෙය අද දවසේ නාට්‍ය කලාවේ ඉතා සංකීර්ණ ගැටලුවකි. මේ සඳහා කලක පටන් සංවාද බොහොමයක් අපට අසන්නට ලැබේ. ‘What is acting?’ මේ සඳහා පවතින විසංවාදී සංකථනයන් හා එහි සංකීර්ණත්වය නාට්‍ය විචාරයකින් විදාරණය කිරීමේ අපහසුතාව නිසා මේ සඳහා 16 වන සියවසේ ජීවත් වූ ප්‍රංශ දාර්ශනිකයෙකුගේ මැදිහත්වීම ලබා ගැනීමට කැමැත්තෙමු. ඔහු ඩෙනිස් දිදෙරෝය. ඔහු විසින් රචිත ‘Paradox of Acting’ කෘතියේ හේමසිරි ලියනගේ අතින් පරිවතර්තිත අප්‍රකාශිත සටහනකින් මෙම උපුටා දැක්වීම කරමි.

  • අනෙක් සියල්ලට ම වඩා උත්තම නළුවෙක් (Great Actor) තුළ තිබිය යුතු යැයි සැළකෙන ගුණාංගයක් ලෙස ඔහු නොසැදි උපේක්ෂාවෙන් බලා සිටින්නෙක් විය යුතුය. ඔහු චරිතය විනිවිද දැකිය යුතුය. සංවේදී නොවිය යුතුය.
  • නළුවා හැඟීම් වලින් පිරී ඇත්නම්, ඒ හැඟීම්වලට සම්පූර්ණයෙන් යටවී ඇත්නම්, ඔහුට එක ම ජීවයකින් හෝ සාර්ථකත්වයකින් ඒ චරිතය එක සේ දෙවරක් රඟපෑ හැකිද? ප්‍රථම රංගනයේ තිබුණ, උද්වේගය, උණුසුම (fire) නිවී, තුන්වන වර රඟපාන විට කිරිගරුඬයක් මෙන් ශීතල වී යනු ඇත. අපි හොඳ නළුවෙක් ගෙන බලමු. ඔහු “සහජය” පිළිබඳ විශ්වාසය තබා රඟපාන කෙනෙකැයි සිතමු. ඔහු තමා අනුකරණය කරමින් ‘Augustns’ ලෙස ‘lcima’ ලෙස ‘Orosmanes’ ලෙස හෝ ‘Mohamet’ ලෙස ප්‍රථම වරට වේදිකාවට පිවිසෙයි. ඔහු චරිතවලට ඉතා හෘදයාංගමවත්, තාත්විකබව ආරක්ෂා කරගනිමිනුත්, නිරීක්ෂණයත් එකතු කරමිනුත් රඟපානු ඇත. ඔහුගේ රඟපෑම් ක්‍රමයෙන් වැඩිදියුණු වුවත් මධ්‍ය ම ප්‍රමාණයේ වුවත් ඔබ ඔහු එක සේ අගය කරනු ඇත. ඒත් ප්‍රශ්නය වන්නේ මේ රඟපෑමේ දී ප්‍රදර්ශනය වන්නේ, පෙනී සිටින්නේ “ඔහුම” නම් ඔහු “ඔහුවීම” වළක්වා ගන්නේ කෙසේද යන්නයි. ඔහුට “ඔහු” වීම නවත්වා ගන්නට වුවමනා නම් එම “තැන”  (the point where he is the stay ) ඔහු අල්ලා ගන්නේ කෙසේද?
  • මේ අදහසේ සිට සළකා බලන විට මට පෙනී යන කරුණ නම් “හදවතින්” රඟපාන නළුවන්ගේ රඟපෑමෙහි ඇති ඒකාකාරී නොවන බවයි. වෙනස්වන සුළු බවයි. ඔවුන්ගේ රඟපෑම් වරෙක ප්‍රඥාවන්තය, වරෙක දුර්වලය, වරෙක උසස්ය. අද ඔහු සාර්ථක වූ අවස්ථාව, හෝ හේතුව හෙට ඔහුට අවනත විය හැකිය. එය නිවැරදි කරන්නට යාමේ දී පසුගිය වතාවේ අසාර්ථක වූ සමහර තැන් මේ වතාවේ වඩා හොඳ විය හැකිය. නමුත් නළුවා මනා පරිකල්පනයෙන් යුතුව “සකල්පීය නිමැවුමක් (Ideal type) අනුකරණය කරනවා නම් හැම දර්ශන වාරයක දී ම කරන රඟපෑම එක හා සමාන ව පවත්වා ගත හැකිය. රඟපෑම එක හා සමාන ව පවත්වා ගත හැකිය. රඟපෑම ද ඉදළ මට්ටමින් පවත්වා ගත හැකිය. ඔහු හැම දෙයක්ම බුද්ධියෙන් විමසා බලා, ඉගෙන ගෙන සකසාගෙන ඇති බැවිනි. මෙසේ රඟපාන විට චිත්ත වේග ගලායාම නිෂ්චිත ක්‍රමයකට සිදුවේ. ප්‍රතික්‍රියාවන් ද එසේය. පැහැදිලි මුල, මැද, සහ අගක් ඇත. දර්ශන වාර දෙකක් අතර යම් වෙනසක් ඇති වෙන්නේත්, ඇති වන්නේ මුල් වරට වඩා දෙවන වර හොඳ වෙනසකි. ඔහු වෙනස් වන්නේ නැත. මුහුණ බලන කණ්නාඩියක් මෙන්, එකම ජවයකින්, එකම ජීවයකින් යතාර්ථය සහ සත්‍යය ප්‍රතිබිම්බනය කරයි. ඉක්මනින් සිඳී යන “තමන්ගේ” දුප්පත් සම්පත් ආකරයේ ගිලී සිටිනවාට වඩා, කවියා මෙන් කිසිදා නොසිඳෙන ස්වභාවධර්මය නැමති සම්පත් ආකාරයෙහි ගිළී සිටීමට ඔහුට හැකිවේ.

මේ සියල්ල අතරින් ‘What a nice Couple’ නාට්‍ය මුහුණ දෙන ප්‍රධාන අර්බුධය වන්නේ එම නාට්‍ය හරහා අපට වේදිකා සොයාගත නොහැකි වීමයි. බදියානු අර්ථයෙන් එයින් වේදිකා අදහස් නිපදවෙන්නේ ද යන්න ප්‍රශ්නකාරී වේ. වේදිකාවේ සියලු අංග එකතු වී නිෂ්පාදනය වන වේදිකා අදහස් යනු වෙනත් ස්ථානයක එම අංග තනි තනි ව ගත් විට නිපදවිය නොහැකි වේදිකාව මත ම රෝපණය වන අදහස් වේ. ‘What a nice Couple’ නාට්‍ය වේදිකාවට පමණක් අනන්‍ය වූ කෘතියක් ලෙස අපට භාරගත හැකිද? එහි වේදිකාබව අපට හමු වේද? තවත් ආකාරයකට කියන්නේ නම් චාමර ඔහුගේ ගැටලුව සඳහා යොදා ගෙන ඇත්තේ නිවැරදිම කලා මධ්‍යද? තවත් ආකාරයකට කියන්නේ නම් සිනමාව, වේදිකාව හා ස්භාවිකවාදය පටලා ගැනීමෙන් අහිමි වී ඇත්තේ වේදිකාවබව නොවේද? නාට්‍යයෙහි මූලික අර්බුධය එයයි. අප වේදිකාව ලෙස අත්දකින, සුගතපාල ද සිල්වාට අනුව ස්නායු ප්‍රකංපනය වන නාටකීය මොහොත ‘What a nice Couple’ හි මඟහැර තිබේ.

මෙම නාට්‍යයෙහි සුවිශේෂීයත්වය වන්නේ එය 2014 වර්ෂයේ යෞවන සම්මාන උළලේ විශිෂ්ටතම නාට්‍ය වීමත්, අද දවසේ කලාව සමඟ කටයුතු කරන බොහෝ තරුණයන්ගේ ජනප්‍රිය නාට්‍ය වීමත් ය. එසේ වී ඇතතේ ඇයි? තවත් එම තත්ත්වය සුවිශේෂී වන්නේ ඔවුන් බොහොමයක් විකල්ප කලාවක්, විකල්ප සමාජයක් වෙනුවෙන් පෙනී සිටින්නන් වීමයි.

එසේ වීමට මූලික හේතුවක් ලෙස තාරුණ්‍ය හා වේදිකාව අතර ඇති දුර සම්බන්ධය හැඳින්විය හැකිය. තවත් ආකාරයකට කියන්නේ නම් අද දවසේ අවශ්‍ය වන්නේ විකල්ප අදහස් දරණ – ඒවා විකල්ප නොවූවද ඔවුන් පවතින තත්ත්වයට විරුද්ධ වූවන්ය – තරුණයා සමඟ පෑහිය හැකි නාට්‍ය කලාවක් නොමැති වීමයි. ඔවුන් අපේක්ෂා කරන විකල්ප ජීවිතය නියෝජනය කරන කෘතීන් ඔවුන්ට මුණ ගැසීම පිළිබඳ බලාපොරොත්තුවක් ගොඩ නැගීම මෙහි ප්‍රමුඛ අවශ්‍යතාවයක් කියා යෝජනා කරමි. ඔවුන් තීරණය කර ඇති ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් පෙනී සිටින නාට්‍යයක් ඔවුන්ට අවශ්‍යව තිබේ.

අපට අද සමාජයේ නිරන්තරයෙන් දක්නට ලැබෙන්නේ ඉක්මනින් වයසට යන තරුණයින්ය. ජෛවීය තරුණයන්, සැබෑ අව්‍යාජ තරුණයන් බවට පත් කරන සාහිත්‍යයක්, දර්ශනයක්, කලාවක්, දේශපාලනයක් ගොඩ නැගීමට ඇති අවශ්‍යතාව මෙවන් නාටකීය දරිද්‍රතාවයක් ඇති නාට්‍ය තුළින් අපට ඉඟි නොකරන්නේද? මේ හරහා අපට ඇලේන් බදියූගේ එක්තරා තිසීසයක් වටහා ගැනීමට අවස්ථාව තිබේ. ඔහුට අනුව අද දවසේ තරුණයා විද්‍යාව, කලාව, දේශපාලනය හා ආදරය නියෝජනය කරනා පැවැත්මක් විය යුතු බව යි. ඔහුට අනුව තරුණයා යනු සමස්ත ලෝකයේ ජීව ගුණය ආරක්ෂා කරන කොදු නාරටිය වන්නේ එවැනි තාරුණ්‍යයකි. විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා යනු අද සමාජයේ ආධිපත්‍යය දරනා තාක්ෂණය වෙනුවට විද්‍යාවේ නවීනත්වය වෙනුවෙන් පෙනී සිටීමයි. දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිනවා යනු පවත්නා බලාධිකාරයන්ගේ ආධිපත්‍යයට එරෙහිව පොදු මානව විමුක්තියේ විභවයන් වෙනුවෙන් පෙනී සිටීමයි. ආදරය වෙනුවෙන් පෙනී සිටිනවා යනු කාර්මිකකරණය වූ ලිංගික භාණ්ඩවලට එරෙහි ව ආදරයේ අදහස වෙනුවෙන් පෙනී සිටීමයි. මේ සියල්ලට වඩා, කලාව වෙනුවෙන් පෙනී සිටිනවා යනු, සංස්කෘතිය නම්, අප සියලු දෙනාට ස්වභාවයෙන් උරුම වන, අර්ථ විරහිත සාමූහික හැසිරීම වෙනුවට සෑම විට ම විශ්වීය වූත්, නවීන වූත් කලාවේ නිර්මාණශීලී චින්තනය වෙනුවෙන් පෙනී සිටීමයි. (වැඩි විස්තර මෙතැනින්)

මේ සියලු තත්ත්වයන් තුළ චාමර ගුරුගේ.. ‘What a nice Couple’ නාට්‍ය තාරුණ්‍යයට කැඩපතක් අල්ලයි. එයින් ප්‍රකාශමාන වන ඉහත කරුණු මඟහරවා ගැනීමට හැකිවන්නේ චාමරලා ප්‍රමුඛ තරුණයින්ට ම පමණි. ස්වතන්ත්‍ර නාට්‍ය කලාව පමණක් නොව නාට්‍ය කලාව ම අර්බුධයට ලක් වී ඇති යුගයක චාමරලා ඒ වෙනුවෙන් පෙනී සිටීම ම විකල්ප අදහසකි. අනවශ්‍ය වෘත්තීමය ගරු නම්බු නාම රහිත, හෘද සාක්ෂියෙන්ම තම නාට්‍ය කර්තව්‍ය වෙනුවෙන් කැපවෙන, චාමරලා වැනි නාට්‍ය කණ්ඩායම් තාරුණ්‍යයේ විකල්ප අදහස වෙනුවෙන් නාට්‍ය කලාව භාවිතා කිරීමට ඉඩ විවර කර දිය යුතුව ඇත. එය නොමැති වීමේ ආකෘතික අර්බුධය චාමරගේ නාට්‍යයෙන් ප්‍රකාශමාන වීම අනිවාර්යතාවයක් වනු ඇත.

රංග මනුප්‍රිය

Advertisements