Jagath-Shiva Dance

මෙම කෙටි සටහනේ අරමුණ වන්නේ ‘සිංහල ජාතිකවාදී දේශපාලනයේ දාර්ශනික ප්‍රභවය’ නම් රචනය සම්බන්ධයෙන් ඌණ පූර්ණයක් කිරීමයි (මුල් ලිපිය මෙතැනින්). එම රචනයේදී මා උත්සාහ කළේ පසු ගිය කාලයේ මම සහ තවත් පිරිසක් එකතු වී සිංහල ජාතිකවාදී දේශපාලනයේ බුද්ධිමය කණ්ඩායමක් සමග ගෙන ගිය සංවාදයේ පුළුල් දේශපාලනික අරමුණ පැහැදිළි කිරීමටයි. විශේෂයෙන් මා මිත්‍ර විදර්ශන කන්නන්ගර සමග මා කලක සිට තිබෙනා සංවාදයක් සඳහා දායකත්වයක් ලබා දීමට එහිදී ප්‍රයත්න දරා තිබේ. එම සංවාදයේ ඉදිරි වර්ධනය වෙනුවෙන් තරමක් ඍජු ප්‍රශ්න කීපයක් විදර්ශන වෙත යොමු කිරීමට මෙම කෙටි සටහන තුළ මම උත්සාහ කරමි.

මෙහි කේන්ද්‍රයේ තිබෙන්නේ නලින් ද සිල්වා ගේ අදහස් සම්බන්ධයෙන් මා කළ විවේචනයකි. මා බොහෝ වාරයක් පෙන්වා දී ඇති පරිදි නලින් ද සිල්වා ගේ සමස්ත අදහස් පද්ධතිය රඳා පවත්නා තර්කය වන්නේ මනසින් බාහිර යථාර්ථයක් පිළිබඳව අපට දැනුම ලබා ගැනීමට ඇති නොහැකියාව පිළිබඳව ඇති සම්භාව්‍ය විඥානවාදී තර්කයයි. ප්‍රශ්නය මේ ආකාරයට පෙළ ගැසීම පවා පරස්පරයක් බව පෙන්වා දීමට ඔහුට එම දාර්ශනික තර්කය ඉඩ ලබා දෙයි (වැඩි විස්තර සඳහා ‘මගේ ලෝකය ප්‍රවාදයේ අභ්‍යන්තරය ආතතිය’ නම් වූ ලිපිය කියවන්න – මෙතැනින්).

නලින් ද සිල්වා ගේ මෙම ප්‍රකට අදහස දාර්ශනික ස්ථාවරයක් මිස, ජාතිවාදී – හෝ, අවම වශයෙන්, ‘ජාතිකවාදී’ හෝ – අදහසක් නොවන බව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. එමගින් කියා සිටින්නේ, ඉතාමත් සංක්ෂිප්තව ගත්විට, අපේ මනසින් පරිබාහිරත්වයක් පිළිබඳව සිතීම, එය සිතීමක් වන නිසාම, අපේ මානසික ලෝකයේ අභ්‍යන්තරයට අයත් වන්නක් වන බවත්, එනිසා අපේ මනසින් පරිබාහිර වූ ලෝකයක් පිළිබඳව කතා කිරීම මුළුමනින් අර්ථ විරහිත වන බවත්ය. දර්ශනයේ ඉතිහාසයේ මෙය හඳුන්වන්නේ විඥානවාදය කියා බව අපි දනිමු (මෙතනදී කිව යුතු අමතර කරුණක්: ‘විඥානවාදයේ’ තිබෙනා තවත් එක් ලක්ෂණයක් වන්නේ විඥානවාදීන් සාතිශය බහුතරයක් දෙනා තමන් විඥානවාදීන් බව පිළි නොගැනීමයි).

මගේ නිශ්චිත ප්‍රශ්නය වන්නේ මෙයයි: මෙන්න මේ තර්කය සඳහා ලංකාවේ වාමාංශික බුද්ධිමතුන් සඳහා තිබෙනා ප්‍රතිචාරය කුමක්ද?

සැකයකින් තොරවම, මේ ප්‍රශ්නය සඳහා තමන් උනන්දු වන්නේ නොමැති බව කියන්නට කෙනෙක්ට අයිතියක් තිබේ. සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු නිර්මාණය කිරීමේ ආචාරධාර්මික වගකීමක් කිසිවෙක් වෙත පැවරෙන්නේ නැත. නමුත්, මෙවන් තීරණයක් ගන්නා කෙනෙක් මෙහිදී එම ප්‍රශ්නය සඳහා පිළිතුරක් නොමැති බව කියන්නට අවංක විය යුතුය. එවැනි කෙනෙක් කිව යුත්තේ මෙම ප්‍රශ්නයේදී නලින් ද සිල්වා ගේ දාර්ශනික ස්ථාවරය වැරදි වන්නේ ද, නිවැරදි වන්නේ ද යන්න තමන් විමසා බලා නොමැති වන හෙයින්, ඒ සම්බන්ධයෙන් තමන්ට නිශ්චිත අදහසක් නොමැති වන බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, එවැනි කෙනෙක් හට සිදු වන්නේ, මෙම නිශ්චිත ප්‍රශ්නයේදී නලින් ද සිල්වා නිවැරදි වීමේ ඉඩ පිළිගැනීමට වේ.

මෙයට එරෙහිව, අපට, උපරිම වශයෙන් කිව හැක්කේ, ඉහත තර්කය ‘බැලූ බැල්මටම වැරදි කියා අපට සිතෙනා බැවින් එය වැරදි විය යුතු වේ’ කියාය. මාගේ අදහසේ හැටියට, පොදුවේ ගත්විට, ලංකාවේ සම්ප්‍රදායික මාක්ස්වාදය වෙතින් නලින් ද සිල්වා ගේ උක්ත ප්‍රශ්නය සඳහා ලැබුණු ප්‍රතිචාරය වූයේ මෙයයි. ‘අපේ මනසින් බාහිර ලෝකයක් නැහැ කියන්නේ මොන විකාරයක්ද! දෙයියනේ මේ තියෙන්නේ අපේ ඇස් ඉදිරිපිටම මේ ලෝකය!’ – බොහෝ වෙලාවට අපට අසන්නට ලැබෙන්නේ මෙවැනි ප්‍රතිචාරයකි. එයට අනුව නලින් ද සිල්වා අනිවාර්යෙන් වැරදි විය යුතුය – මෙයට හේතුව වන්නේ ඔහු නිවැරදි විය හැකි නොවීමයි. මෙය ඉතාම අසාර්ථක ප්‍රතිචාරයක් බව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. තමන්ගේ බුද්ධිමය ආස්ථානයන් වල නිරවද්‍යතාවයේ සහතිකය ලෙස ‘බැලූ බැල්මට පෙනෙන දෙය’ සාක්ෂියක් වශයෙන් කැඳවීමට, අන් සියල්ලන්ට වඩා, මාක්ස්වාදීන් හට අවස්ථාව හිමි වන්නේ නැත. ‘බැලූ බැල්මට පෙනෙන ලෝකයේ’ අනිවාර්යතාවය ප්‍රශ්න කිරීම අපගේ දේශපාලනයේ ස්නායු කේන්ද්‍රය වෙයි.

එනිසා, මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරක් නිර්මාණය කිරීමට තමන් උනන්දු නොවනවා කියා හෝ එය තමන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ අද්දර තිබෙනවා කියා හෝ කෙනෙක් කියන්නේනම්, ඔහුට හෝ ඇයට හෝ ඉතිරි වන්නේ, සත්‍ය වශයෙන්ම, එක තෝරා ගැනීමක් පමණි: මෙම නිශ්චිත ප්‍රශ්නයේදී නලින් ද සිල්වා නිවැරදි විය හැක. අවධාරණය වෙනුවෙන්, නැවතත් කියන්නේනම්, මගේ තර්කය මෙයයි: ‘මනසින් පරිබාහිර යථාර්ථයක් පිළිබඳව සිතීම විසංවාදයක් වේ’ කියනා දාර්ශනික තර්කය පිළිබඳව කෙනෙක් උනන්දු වන්නේ නැති වෙනවා යනු එම කරුණේදී නලින් ද සිල්වා නිවැරදි වීමේ ඉඩ පිළිගැනීමට සිදුවීම වේ.

නමුත් අපගේ ප්‍රශ්නය එතනින් අවසන් වන්නේ නැත. මා විදර්ශන – සහ, ඒ ඇසුරින්, තවත් අය – සමග සංවාදය සඳහා ලියූ පළමු ලිපිය මගින් පෙන්වා දෙන්නට තැත් කළේ මෙහිදී අපට ඇති වන අතුරු ප්‍රශ්නයි. ඉතාමත් සංක්ෂිප්තව අපට එය පහත ආකාරයට ගොණු කළ හැකිය.

නලින් ද සිල්වා ගේ මෙම තර්කය සඳහා පිළිතුරක් නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කරනවා යන්න ‘සත්‍යය’ වෙනුවෙන් දේශපාලනය කරනා කෙනෙක් හට පිළිගත හැකි දෙයක් නොවේ. අප මෙය පිළිගන්නවා යනු අපේ දේශපාලන මතයත් තවත් එක් මතයක් පමණක් වන බව පිළිගන්නට සිදු වීමයි. ‘සත්‍යයේ දේශපාලනය’ සමග ‘භෞතිකවාදය’ පිළිබඳව දාර්ශනික ප්‍රශ්නය ඉතා සමීප ලෙස පැමිණෙන්නේ මෙම නිසාය (මෙම කරුණ පිළිබඳව ලෙනින් ගේ අදහස් ගැන කියවීමක් ඇසුරින් කරනා පැහැදිළි කිරීමක් සඳහා, ජිජැක් ගේ ‘Revolution at the Gates’ කෘතියේ ‘The Right to Truth’ සහ ‘Materialism Revisited’ යන අනුකොටස් බලන්න).

අපගේ මානසික ලෝකයෙන් පරිබාහිරත්වයක් පිළිබඳව සිතීමේ නොහැකියාව යනු හරි/වැරදි යනුවෙන් අපගේ අදහස් වර්ගීකරණය කිරීමට, අවසාන විග්‍රහයේදී, ඉතාම අපහසු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට ඉතිරි වන්නේ එක හා සමාන වටිනාකම් ඇති මත (opinions) වලින් පමණක් සමන්විත වූ ලෝකයකි. එවැනි ලෝකයක මිනිසා ගේ විමුක්තිය යන්න එම ලෝකය තුළ සාක්ෂාත් කර ගත හැකි දෙයක් ලෙස වටහා ගැනීමට පහසු වන්නේ නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස, එම ලෝකයේ දේශපාලනය යන්න මිනිසාගේ විමුක්තිය වෙනුවෙන් තිබෙන්නක් නොව අපට අවම හානිදායක පාලන ක්‍රමයන් – ‘අඩු නපුර’ – පිළිබඳව කෙරෙනා අසම්පූර්ණ අදහසක් පමණි. අනෙක් අතට, විමුක්තිය පිළිබඳ අදහස අපේ මානසික ලෝකයෙන් – සහ එනිසාම අපේ බුද්ධිමය ලෝකයෙන් – ඉවත් වූ පසු එය පැවතිය හැකි එකම අවකාශය වන්නේ ආගමික භක්තියේ ලෝකයකි (මේ කරුණ පිළිබඳව වැඩිදුර සාකච්ඡාවක් සඳහා ලුවී අල්තුෂර් ගේ ‘Philosophy for Non-Philosophers’ කෘතිය, විශේෂයෙන් ‘Philosophy and Religion’ යන පරිච්චේදය, බලන්න).

ඒ අනුව අපට හමු වන්නේ මානව විමුක්තිය පිළිබඳ අදහස දේශපාලනයෙන් ඉවත් කළ ලිබරල්වාදය සහ – එම කාසියේ අනෙක් පැත්ත – ලෝකෝත්තර විමුක්තිය වෙනුවෙන් දේශපාලනය යටත් කළ ආගමික-ජාතිකවාදයයි. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ සිටිනා අතර අනෙක් පසින් සිටින්නේ මහින්ද රාජපක්ෂයි. එක පැත්තකින් හිලරි ක්ලින්ටන් සිටින අතර අනෙක් පසින් සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙයි. මට සහ විදර්ශනට පුද්ගලිකව සමීප ආකාරයකට කියන්නේනම් – එක පැත්තකින් චින්තන ධර්මදාස සිටිනා අතර අනෙක් පසින් සිටින්නේ ජානක වංශපුරයි.

මා සිතනා ආකාරයට, ‘භෞතිකවාදය’ පිළිබඳව සිය අදහස නිශ්චිත ලෙස ප්‍රකාශ කිරීමේ අභියෝගයෙන් සමකාලීන බුද්ධිමය-විමුක්ති දේශපාලනය සඳහා ගැලවිය නොහැකි වන්නේ මෙම නිසාය. දේශපාලනය වෙත විමුක්තිය පිළිබඳව අදහස නැවත ශක්තිමත් ලෙස ගෙන ඒම සඳහා මෙම සංවාදය අත්‍යවශ්‍ය අතුරු පියවරක් වෙයි. නලින් ද සිල්වා සහ ඔහුගේ අනුගාමිකයක් සමග අප ඇති කරගත් සංවාදයේ අරමුණ වූයේ මෙම නිශ්චිත ගැටලුව වෙත මැදිහත් වීමක් කිරීමයි. එනිසා, එමගින් උත්සාහ කරන්නේ ‘ජාතිකවාදීන් අප වෙත දිනා ගැනීම’ කියා එය තේරුම් ගැනීම විශාල වරදවා වටහා ගැනීමකි. අප උත්සාහ කළේ ඔවුන් මතු කළ ප්‍රශ්නයට, ඔවුන්ගේ කතිකාමය විශ්වයේ සිට ප්‍රතිචාරයක් ගොණු කිරීමටයි.

විශේෂයෙන්, මට මූලික වශයෙන් අවශ්‍ය වූයේ, අපගේ දාර්ශනික විවේචන වලට ඔවුනට පෙරළා ලබා දිය හැකි ප්‍රතිඋත්තර මොනවාද කියා විමසා බැලීමට පමණි. අප මතු කළ ප්‍රශ්න සඳහා ඔවුනට ශක්තිමත් පිළිතුරු නොමැති බව දැන් ඉතාමත් පැහැදිළි වෙයි. එනිසා තවදුරටත් මෙම පැටලීම තුළ සිටීම තේරුමක් වන්නේ නැත. මා මීළඟට උත්සාහ කරන්නේ එම කතිකාමය අවකාශයෙන් ඔබ්බට ගොස් මෙම සාකච්ඡාව අපගේ සංවාද ලෝකය වෙත නැවත ගෙන ඒමටයි. මාගේ තක්සේරුව අනුව, දැන් අපේ සංවාද ලෝකයට නලින් ද සිල්වා පසුකර යා හැකි – සමතික්‍රමණය කළ හැකි – පසුබිමක් තිබේ. බැරෑරුම් සිතීමේ ව්‍යාපෘති සමග බැඳෙන, සත්‍ය වශයෙන්ම ‘අලුත් පරපුරක්’ අපට නිර්මාණය කළ හැකි වනු ඇත්තේ මේ ආකාරයට පමණි. එවැනි නව තාරුණ්‍යයක් විසින් ලිබරල්වාදය/ජාතිකවාදය යන අර්ථ විරහිත තෝරා ගැනීමට විකල්පයක් ගොඩනගනු ඇත. අපගේ ‘ලෝක-ඓතිහාසික වගකීම’ වන්නේ මෙම බුද්ධිමය සංවාදය ශක්තිමත් ලෙස වර්ධනය විය හැකි සරු පොළොවක් සකස් කිරීමයි. විදර්ශන මගෙන් නිතර විමසා සිටින, මෙම බුද්ධිමය මහන්සියේ දේශපාලනික-උපායමාර්ගික ඉලක්කය ලෙස නම් කළ හැකි වන්නේ මෙයයි.

මෙම සන්දර්භය තුළ, අපගේ සංවාදයේ ඉදිරි වර්ධනය වෙනුවෙන්, අවසන් වශයෙන්, මා මිත්‍ර විදර්ශන කන්නන්ගර වෙත මෙම ප්‍රශ්න දෙක යොමු කිරීමට අවසර ඉල්ලමි:

ඔබ භෞතිකවාදියෙක් ද?

එසේනම්, භෞතිකවාදයට එරෙහිව නලින් ද සිල්වා සහ ඔහුගේ අනුගාමිකයන් එල්ල කරනා විවේචනයට එරෙහිව ඔබ සතු ප්‍රතිඋත්තරය වන්නේ කුමක්ද?

වංගීස සුමනසේකර 

 

 

***

Advertisements