Untitled-1

සංගීතය යනුවෙන් අපගේ ව්‍යවහාරික ලෝකයේදී  සාමාන්‍යයෙන් අප හඳුනාගෙන  ඇත්තේ සංගීත භාණ්ඩ හා කටහඬ මුල් කරගෙන ගායනා කරන “ගීතය” වටා ගොඩ නැගුණු සංගීත ව්‍යුහ රටාවයි. ගීතයක ව්‍යුහාත්මක පදනම පවතින්නේ වචන (lyrics), භාණ්ඩ (musical instruments), හා මිනිස් හඬ (voice), අතර ඇතිවෙන සුසංයෝග වර්ණ වියමන් මතයි. මෙම ආකෘතියට එහා ගිය ඔපෙරා, සිම්ෆනි, සොනාටා, හා කොන්ෂර්ටෝ (Concerto) යන සංගීත ආකෘතීන් කීපයක්ම සම්භාව්‍ය යුගයේදී ප්‍රචලිත වුන අතර එය විශ්ලේෂණය කරන්න සංගීතවේදය (musicology)  නමින් විද්‍යාවකුත් බිහිවිය.

ඔපෙරාවක්  යනු සංගීතය, කාව්‍ය, රඟපෑම මුල් කරගෙන ඉදිරිපත් කරන සංවාදාත්මක හඬ නාටකයකි (Voice Drama). බටහිර සංගීත සම්ප්‍රදායේ එන තවත් ඉතාමත් වැදගත් සංගීත නිර්මාණ ආකෘතියක් වශයෙන් සිම්ෆනි සංගීත සුසංයෝගය පිළිගැනේ. මෙය විශාල වාද්‍ය වෘන්දයක් වන අතර දැව  සුසර භාණ්ඩ (Woodwind Instruments), සමාඝාත භාණ්ඩ (Percussion), අපරදිග බෙර වර්ග, පිත්තල සුසර භාණ්ඩ (Brass wind) සහ (Stringed Instruments) යන සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන මෙම වාද්‍ය වෘන්දය නිර්මාණය වෙන අතර එය මෙහෙයවන්නෙකු විසින් මෙහෙයවනු ලබයි. දහඅටවන සියවසේ සිට පැවත එන සොනාටාව යනුවෙන් හඳුන්වන මේ සංගීත ආකෘතිය, තනි වාද්‍ය භාණ්ඩයක් හෝ භාණ්ඩ දෙකක් මත නිමාණය කරන සංගීත නිර්මාණයකි.පියානෝවක් සඳහා රචනා කරන ලද සොනාටාවක්, පියානෝ සොනාටාවක් ලෙසද, වයලීනයක් සහ පියානෝවක් සඳහා සැකසු සොනාටාවක් ‘වයලින් සොනාටා’ යනුවෙන්ද සොනාටාවක් හඳුන්වනු ලබයි. මේ අතර වාද්‍ය භාණ්ඩ තුනක් හෝ හතරක් භාවිතා කරමින් නිර්මාණය කරන කෘතිද සොනාටා ලෙස හඳුන්වනු ලබයි. වාද්‍ය භාණ්ඩ තුනක් සඳහා රචිත කෘතියකට trio නොහොත් තුන් කට්ටුව ලෙසද, සංගීත භාණ්ඩ හතරක් යොදාගෙන රචනා කරන ලද සොනාටාවකට Quartet නැතිනම් චතුස්කය යනුවෙන්ද හැදින්වේ.කොන්ෂර්ටෝව යනුවෙන් හැදින්වෙන සොනාටාවක් හැඳින්වෙන්නේ තනි සංගීත භාණ්ඩයක් වයන ඒක පුද්ගල වාදකයෙක් සඳහා රචිත සොනාටා වර්ගයකටය. කොන්ෂර්ටෝවේ තිබෙන්නේ වාදකයාගේ හුදෙකලා ආත්මීය ගුණයත් වාද්‍ය වෘන්දයත් අතර ඇති භාවමය සංවාදයකි. කොන්ෂර්ටෝවක් සෑම විටම පවතින්නේ චලනාත්මක වර්ණ රිද්ම රටාවකටය.එම චලන රටාව භාවයන් හා හැගීම් දනවන ගීතවත්බවක් උසුලයි.

මේ සෑම සංගීත රචනයක්ම හැගීම් හා භාවයන් උද්දීපනය වෙන අයුරින් ස්වර එකඟතාවයන් මත සකස් කරන ලද සංගීත කෘතීන් ලෙස සැලකේ. මෙය සම්භාව්‍ය සංගීත රචකයන්ගේ (Classical Composers) මුලික පදනම මත සිට කරනා සම්මත ආකෘති යටතේ නිර්මාණය වන්නකි.මෙම සංගීත නිර්මාණයන් මිනිස් ශ්‍රමය මත පදනම්ව සකස් වෙන අතර, මෙහි යම් ආධිපත්‍යයක්ද උසුලයි. ඕනෑම කළා කෘතියක් නිර්මාණය වෙන්නේ යම් නිෂ්පාදන විදික්‍රමයකට අනුරූපව බවත්, සුවිශේෂී අධ්‍යාත්මික නිර්මාණ පවා ශ්‍රම නිෂ්පාදනයෙන් ව්‍යුක්තව නොපවතී. මෙම යතාර්ථය තුළ අප වටහා ගතයුතු කාරණය වන්නේ නිර්මාණ කරුවා සහ නිර්මාණ රස විඳින්නා අතර ඇති අවියෝජනීය සම්බන්ධය ශ්‍රමයේ හා ආධිපත්‍යයේ ස්වරුපයෙන් පරිභාහිරව, නොපවතින බවත්, රසවින්දනය නමැති ලාලසාම මානසික ක්‍රියාව යම් ධනේශ්වර නිෂ්පාදන ආකෘතියකට යටත්ව පවතින බවත්ය.මෙම අරුතින් ගත්විට රසවිඳීම නමැති සුවිශේෂී අව්‍යාජ රසන වේදනය ගැඹුරු මනොභාවයේ මාදිලිය අහිමි වී පරාරෝපිත වූ (Alienated) පැවැත්මක් වෙත ඇදවැටී ඇත. රසවිඳීම නමැති මිනිස් ක්‍රියාව යනු ව්‍යාජත්වයෙන් පරම ලෙස වෙන්වූ අපිරිමත්වයක් නොව, මෙහි අව්‍යාජ ස්වරුපය සංකල්පීයව අවබෝධ කරගැනීමයි.

ඉසුරු කුමාරසිංහගේ සංගීත භාවිතය අපට උපකාරී වෙන්නේ අව්‍යාජත්වයේ හා ව්‍යාජත්වයේ ස්වරුපය ඉදිරිපිට පැවැත්මක් ලෙස, විභවාත්මක භාවිතයක් තුල තේරුම් ගැනීමටයි. ඉහතින් සඳහන් කල පරිදි සංගීතය යනුවෙන් අප අත්විඳින්නේ මුලික පදනමක් මත සකස් කරන ලද සංගීත කෘතීන්ය. මේ තතු යටතේ මිනිස් ස්වභාවයේ හැගීම් ඌනනය වී ඇත්තේ අධිනිශ්චය වූ ආධිපත්‍යධාරී පැවැත්මේ විභය අහිමි ශ්‍රම ධර්මතා මාදිලියකටය.ඉසුරු ගේ   සංගීත භාවිතය අයත් වන්නේ මේ අධිනිශ්චය වූ, ශ්‍රම      ආධිපත්‍යයෙන් විනිමුර්ත වූ, ස්වභාවධර්මයේ නියාමයන් මිනිස් මනස අතර ඇති සබැඳියාව ඉදිරිපිට පැවැත්මවල් ලෝකය තුල මුණ ගැසෙනා පැවැත්මවල් සමග ප්‍රක්ෂේපනය කිරීමයි.මෙවැනි ආකාරයේ භාවිතාවන් අපිට අවශ්‍ය වෙන්නේ ද්‍රව්‍යමය නිෂ්පාදනයේ  ආධිපත්‍යයෙන් ගැලවී වෙනත් ආකාරයේ සමාජ භාවිතාවක්, වෙනත් ආකාරයේ ස්වකීයත්වයක් හරහා පවත්නා දේ මාධ්‍යයේ සිට ඒවා ඉක්මවා යන ගමන් සද්භාවවේදී (Ontological) ජීවන විවරණයක් වෙත ප්‍රවේශ වීමටයි. ඇත්තටම වර්තමාන මේ මොහොත ගොඩනැගී ඇත්තේ මනුෂ්‍ය අධ්‍යාත්මයේ විභවාත්මක පැවැත්ම අපගෙන් වසා දැමූ අධි පරිභෝජන සමාජ සැකස්මකයි. මෙහි සෘජු ප්‍රතිපලය වන්නේ මිනිස් ඉඳීමේ අව්‍යාජ ස්වකීයත්වය එයට අහිමි වී ව්‍යාජ සවරුපයන් අපේ පැවැත්ම ලෙස බාරගැනීමයි.අව්‍යාජ ස්වරුපය යනුවෙන් අදහස් කරනා දෙය විසින් කල යුතු මූලික දෙය වන්නේ, ලෝකය තුල පැවැත්මවල්, භාවිතයට ගතහැකි පැවැත්මවල්, ඉදිරිපිට පැවැත්මවල් මගින් දෛනික ජීවිතයට ප්‍රක්ෂේපනය කර බැලීමයි. ඉසුරුගේ සංගීත භාවිතයේ සුවිශේෂත්වය වන්නේ ලෝකය තුල පැවැත්මවල් ඉදිරිපිට පැවැත්මවල් ලෙස ගෙන, මනෝ -භාවයේ කාලිකත්වය (Temporality of state-of-mind) අත්විඳීමට සැලැස්වීමයි. එය එක අතකට සංගීත ආකෘතියේ (Musical forms) ආධිපත්‍යයෙන් නිදහස් වී මිනිස් පැවැත්මේ ස්වකීයත්වය සාරාත්මක ලෙස අත්පත් කරගැනීමේ අභ්‍යාසකතත්වයකි  (Improvisation). මෙවැනි අභ්‍යාසකත්වයකින් වන්නේ අපෙන් පරිභාහිරව වැසී තිබෙනා  පරිසරයේ ඇති  වටපිටාබව (Aroundness) විශාල අවකාශිත්වයක් තුලින් හඳුනා ගැනීමයි.ඇත්තටම ඉසුරුගේ මේ පරීක්ෂණාත්මක සංගීත භාවිතය, අපගේ පැවැත්මේ සාරය කිසියම් ආකාරයකට පුද්ගල සාරයක් තුල සෙවීම වෙනුවට එය සාන්දෘෂ්ඨික ලෙස වටහා ගැනීමට පසුබිමක් නිර්මාණය කර, සංගීතය ගැන තිබූ අධිපති පෙර සංකල්පනයන් (Fore-conceptions) නිශේද වී දෛනිකත්වයේ කාලිකතත්වය මතට ගෙනහැර දක්වයි.පරිසරයේ අවකාශිත්වයට ආමන්ත්‍රණය කරන ඉසුරුගේ සංගීත භාවිතය වර්තමාන සමාජ අධ්‍යයනයක්  තුලින් ‘කතිකාවක්’ බවට පත්කිරීම මේ මොහොතේ කල යුතු කලාත්මක මෙන්ම දේශපාලනිකව ද වැදගත් වන්නකි.

 

සාලිය ඉඳුරුවිතාන

 

 

 

***

Advertisements