1

මුද්‍රණය යන ක්‍රියවලිය අපට වටහා ගත හැක්කේ යම් පෘෂ්ඨයක් මත ඇදීම සිදු නොකර තෙරපීම ආධාර කොට ගෙන සලකුණු හා සංඥා සටහන් කර ගැනීමක් ලෙස වේ. මෙය මානව ඉතිහාසය තුළ ඵලදායීව යොද ගැනීමට පෙරයුගයක සිටම පැවත එන එක්තරා ප්‍රකාශන මාදිලියක් ලෙස හඳුනා ගත හැකිය. එනම් මුද්‍රණය යන්න ප්‍රාග් ඓතිහසික යුගයන් දක්වා අපව කැඳවාගෙන යාමට සමත්වේ. ප්‍රාග් මානවයන් තැබූ අත්ල සටහන් ගුහා චිත්‍ර අධ්‍යනය කරන්නෙකු හට මග හැරී යන්නේ නැත. මේව අපට හමුවන පැරණිම මුද්‍රණ භාවිතාවන් ලෙස හඳුනා ගත හැකිය.පසු කාලීනව චීනය කඩදාසි නිෂ්පාදනය කිරීමත් සමග මුද්‍රණ ශිල්පයේ වලංගුතාවය වර්ධනය වීම සිදු විය. යොහාන් ගුටෙන්බර්ග් අච්චු අකුරු මුද්‍රණ යන්ත්‍රය නිපදවීම මුද්‍රණ කාර්ය වඩා ප්‍රායෝගික වීමටත් වඩා වේගවත් වීමටත් බලපෑවේය. අප හොඳින් දන්නා පරිදි අද වන විට ඉතාම දියුණු තාක්ෂණික ක්‍රම හරහා මුද්‍රණ අවශ්‍යතාවයන් සිදු වීම දැක්නට ලැබේ.

ඒකාකාරී නොවීමත් විවිධ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට හැකි වීමත් නිසා මුද්‍රණය හුදෙක් ව්‍යවහාරික අවශ්‍යතා වලින් මිදී කලාත්මක ප්‍රකාශනයක් ලෙසද භාවිතා වීම සිදුවේ. තරමක් දුලභ කලා භාවිතයක් වුවද මුද්‍රණ චිත්‍රයට එයටම ආවේණික වූ කලාත්මක වටිනාකමක් ඇත.එම අර්ථයෙන් අපට පසුගිය දින කිහිපය පුරා කොළඹ තීර්ථ කලාගාරයේ පැවති ‘imprint in print’ නැමති මුද්‍රණ චිත්‍ර ප්‍රදර්ශනය වැදගත් කමක් උසුලයි. බුද්ධික නාකන්දල මෙම මුද්‍රණ චිත්‍ර වල නිර්මාණ ශිල්පියා වේ. ඔහු පවසන පරිදි මෙම ප්‍රදර්ශනය දීර්ඝ කාලයක සිට ඔහු අත්හදා බැලූ මුද්‍රණ විධික්‍රමයන් පර්යේෂණාත්මකව යොදා ගැනීමේ ප්‍රතිඵලයකි. මෙම ලිපියෙන් අප උත්සාහ ගන්නේ බුද්ධිකගේ මුද්‍රණ චිත්‍ර තුළ ඇති තාක්ෂණික ක්‍රමෝපායන් පිරික්සා බැලීමට වඩා කලා කෘතියක් ලෙස ඔහු අපට සන්නිවේදනය කරනා අදහස් ලෝකයට හැකි තාක් සමීප වී බැලීමටය.

මෙම චිත්‍ර ප්‍රදර්ශනය නරඹන්නෙකු හට මූලිකවම ‘monotype’ හා ‘emboss’ යන මුද්‍රණ ක්‍රම දෙවර්ගය මත පිහිටා කළ චිත්‍ර දැකිය හැකිය.‘Monotype’මුද්‍රණයන් වර්ණ සහිත වන අතර ‘emboss’ මුද්‍රණයන් සඳහා වර්ණ භාවිතාවක් සිදු වන්නේ නැත. මේ දෙවර්ගය තුළම අපට හඳුනා ගත හැකි හැඩයන් මොනවාද? එනම් මෙම චිත්‍ර කියවා ගැනීමට ශිල්පියා විසින් අපට ලබාදෙන රූපකයන් මොනවාද යන්න නිරීක්ෂණය කල යුතු වේ. වෙනත් ආකාරයකට කියන්නේ නම් බුද්ධික විසින් මුද්‍රණය කර තිබෙන්නේ කුමක්ද? ඉතාම පහසුවෙන් හඳුනා ගත හැකි ලෙස මෙම චිත්‍ර තුළ මුද්‍රණය වී ඇත්තේ විවිධ යට ඇඳුම් හා විවිධ ශාඛ අතු ඉති පත්‍ර වේ. යට ඇඳුම් අතර ගැහැණු හා පිරිමි දෙවර්ගයේම යට ඇඳුම් ඇති අතර ඒවද විවිධ වර්ගයන්ගෙන් දැක ගත හැකිය. චිත්‍රයෙන් චිත්‍රයට යොදා ගෙන ඇති ශාඛ වර්ගද එකිනෙකට වෙනස්ය.මීට අමතරව අපටචිත්‍ර තලය තුළ දැක ගත හැක්කේ මුද්‍රණයේදී නෛසර්ගිකවම ඇති වූ වර්ණ වල අඩු වැඩි වීම්, පැල්ලම්, රේඛා හා තිත් වැනි දෑ බව හඳුනා ගැනීම අපහසු නොවේ.

23

 

 

 

 

 

තරමක් සියුම් ලෙස මෙම නිර්මාණයන් නිරීක්ෂණය කරන්නෙකුට පෙනෙන තවත් ලක්ෂණයක් වන්නේ මෙම යට ඇඳුම් ශාඛ අතු පත්‍ර අතර පැටලෙවී ඇති ආකාරයයි. යට ඇඳුම් වල හා ශාඛ අතු පත්‍ර වල ඇත්තේ යම් විනිවිද පෙනෙන ස්වභාවයකි. එනම් ඇඳුමේ ඇතම් කොටස් මත පත්‍ර හා අතු වල හැඩයන්ද මතු වී පෙනීමයි. මෙම කරුණ නිසා ඉදිරියෙන්ම ඇත්තේ යට ඇඳුම්ද නැතිනම් ශාඛයේ කොටස්ද යන්න නිශ්චය කර ගැනීමට අවස්ථාවක් නොමැත. ශාඛයත් යට ඇඳුමත් අවියෝජනීය ලෙස එකිනෙකට බැඳී ඇති ආකරයක් දැක ගත හැකිය. එසේම නිරීක්ෂණය කළ හැකි තවත් කරුණක් වන්නේ මෙම යට ඇඳුම් චිත්‍රය තුළ සංරචනය වී ඇත්තේ යම් අපිළිවෙල හැගීමක් නැතිනම් ජුගුප්සාවක් ගෙන එන ලෙස වීමය. ඒව පිළිවෙලකින් තොරව නැවී රැළි වැටී හා පොඩි වී ගිය පැරණි යට ඇඳුම් සේ දැක ගැනීමට ලැබේ. අනෙක් අතට ශිල්පිය තෝරා ගන්නා වර්ණ තුළින් වුව මතු වන්නේ යම් කිළිටි හා පැරණි බවකි.

සමස්ථයක් ලෙස අප දැන් බුද්ධික විසින් මෙම චිත්‍ර වල මුද්‍රණය කර ඇත්තේ මොනවාද එසේත් නැතිනම් ඒවා මුද්‍රණය වී ඇත්තේ කුමන ආකාරයකටද යන්න ගැන ඉහතින් විමසා බලා ඇත. මින් පසුව බුද්ධිකගේ නිර්මාණ අපට බල කර සිටින්නේ එම මුද්‍රණය වී ඇති දෑ පිළිබඳ නැවත ප්‍රශ්න කරනා ලෙසටය. එනම් ‘ඇයි මේ යට ඇඳුම් නිර්මාණයකට ගේන්නේ?, කාගෙද මේ යට ඇඳුම්?, ඇයි ඒව ගස් අතු කොල අස්සේ පැටලිලා වගේ තියෙන්නේ?,  ඇයි මේ වගේ වර්ණ ගත්තේ?’ ආදී ලෙස වේ.

නවීන වෙළඳපොළ හමුවේ ඇතම් විටෙක සාමාන්‍ය ඇඳුමකට වඩා එහා ගිය ලිංගික ආශාව වඩවන ඉහළ ගණයේ වෙළඳපොළ ආකර්ෂණයක් යට ඇඳුම් සඳහා ආරෝපණය වී ඇති බව පෙනේ. යට ඇඳුම් කර්මාන්තය දිනෙන් දින ඒවාට ලබා දෙන හැඩය ,මෝස්තර, වර්ණ හා ප්‍රචාරණය මඟින් පාරිභෝගිකයාට ඒවයේ අවශ්‍යතාවය එක්මවා ගිය ලිංගික තෘප්තියද විඳ ගැනීමට ආරාධනා කර සිටියි. නමුත් අපට පැහැදිලිව පෙනෙන දෙය වන්නේ බුද්ධික තම නිර්මාණ හමුවේ එවැනි ආකර්ෂණීය හෝ කාමුක නිරූපනයක් කිරීමට උත්සහයක් ගෙන නොමැති බවයි. එම චිත්‍ර තුළ මතු වී පෙනෙන්නේ අපිළිවෙල ආකරයෙන් තැන් තැන් වලින් නැවී පොඩි වී ගිය යම් ආකාරයකින් කිළිටි හා පැරණි යැයි කිව හැකි යට ඇඳුම් වල ප්‍රියජනක නොවන මුද්‍රණයන්ය. එපමණක් නොව මෙම යට ඇඳුම් ඇත්තේ ශාඛ අතු පත්‍ර අතර වෙලී පැටලී ඇති ආකරයෙනි.මෙම ඇඳුම් තැලී පොඩි වී රැළි වැටී ඇති ආකාරයත් ඒවා චිත්‍ර තලය මත සංරචනය කර ඇති ආකරයත් අනුව නරඹන්නාට කිසිදු ලිංගික ආස්වාදනයක් හෝ කාමුක හැඟීමක් ජනිත නොකරයි. ඒ වෙනුවට කිළිටි අපිරිසිදු හා පැරණි බාවය පිළිබඳ අදහසක් ලබා දෙයි. එය වඩාත් ප්‍රකට වීමට බුද්ධික යොදා ගෙන ඇති වර්ණ ඍජුවම බලපා ඇති බව වටහා ගැනීම අපහසු නැත. විටෙක අඳුරු කහ සමඟ මිශ්‍ර වී යන අඳුරු කොල පැහයන්ද තවත විටෙක අඳුරු රතු සමඟ මිශ්‍ර වන දුඹුරු පැහැයන් හා අඳුරු නිල් වර්ණයෙන් කළ චිත්‍රද දැකිය හැකි වේ. වර්ණවල ත්‍රිවුරතාවය අඩු වැඩි වීම් හ වර්ණය මුලුමනින්ම වාගේ ගෙවී ගොස් ඇති තත්වයන් හමුවේ අපට මෙම අපිරිසිදු කිළිටි හැඟීම වඩ වඩාත් සමීපව දැනෙයි. එමෙන්ම එම වර්ණ තුළ ඇත්තේ ඈත අතීතයක වල් වැදී ගිය පැරණි බාවය දනවන හැඟීමකි.

යම් පුද්ගලයෙකුගේ ලිංගික අවයවයන් ආවරණය කර ගැනීමට යට ඇඳුම් භාවිතා වන බව අපි දනිමු. එමෙන්ම යට ඇඳුම් යනු යම් ආකරයක කිළිටි බාවය අඟවන දෙයකි. එය පුද්ගලික රහසිගත එසේම ලිංගික වස්තුවක් ලෙසද අපට හඳුනා ගත හැකිය. යට ඇඳුම් අප තනිව භාවිතා කරනවා මිස හුවමාරු කර ගන්නේ නැත. අපගේ අභ්‍යන්තරත්වය, රහස් බාවය නැතිනම් රහස් ඉංද්‍රියන් පිළිබඳ අදහස යට ඇඳුම් මඟින් නිරූපණය කරන බව මේ අනුව අමුතුවෙන් කිව යුතු නොවේ. ශාඛ අතු පත්‍ර යොදා ගැනීම තුළ ශිල්පියාගේ අරමුණ කුමක් විය හැකිද? අපට සරළවම හඳුනා ගත හැක්කේ ඒ සොබාදහම යන්න නිරූපණය වීමක් ලෙස වේ. වෙනත් ආකරයකට කියනවානම් යට ඇඳුම් මඟින් පුද්ගලත්වය, රහස් බව, කිළිටි බව අදහස් වනවා සේම එහි අනෙක් පාර්ශවය වන ස්වභාවිකත්වය, බාහිර ලෝකය, සැබෑව, අපරිමිත බව, පිරිසිදු බව යන්න මෙම ශාඛ මඟින් අදහස් වන බව කිව හැකිය. ස්වභාදහම ලෙස අප සාම්ප්‍රදායිකව හඳුනා ගන්නේ එවැනි සුන්දර සුපිරිසිදු යහපත් අදහසකි. ස්වභාදම් දිනිතිය නැතිනම් පරිසරය නැමති මව වැනි වන්දනීය අර්ථයන් පවා අප විටෙක භාවිතා කරන්නේ මෙකී ස්වභාදහම සතු යැයි සිතන අපරිමිත නැතිනම් නිරපේක්ෂ බාවය නිසාය.

ශිල්පියා තම කලා කෘතියට යට ඇඳුම් යොදා ගැනීම එක්තරා අර්ථයකින් ඔහුගේම පුද්ගලික ජීවිතය හෙළිදරවු කිරීමේ තෝරා ගැනීමක් ලෙස අරුත් ගන්වා ගැනීම වඩා සාධාරණ නිරීක්ෂණයකි. ‘Imprint  in  print’ නැමති මෙම මුද්‍රණ චිත්‍ර ප්‍රදර්ශනයට තබා ඇති නමින් පවා ගම්‍ය වන්නේ එක්තරා අර්ථයකින් මුද්‍රණය මත නැවත මුද්‍රණය වීමක් නැතිනම් මුද්‍රාගත වූ මතකයන් නැවත මුද්‍රණය කිරීමක් වැනි අදහසක් බව අවබෝධ කර ගත හැකිය.යට ඇඳුම් පිළිබඳ විමසීමේදී එහි ඇති පුද්ගලික බාවය යන්න අපට එයින් වෙන් කළ නොහැකි වේ. එනම් යට ඇඳුමක් එය භාවිතා කළ පුද්ගලයාගේ රහසිගත ජීවිතයෙන් විශාල කොටසක් දරා සිටියි. එසේත් නැතිනම් ශිල්පියාගේ පුද්ගලික ‍යම් ආකාරයක කිළිටි හා පැරණි මතකයන් මෙකී යට ඇඳුම් තුළ ප්‍රකාශමාන වන බව කිව හැකිය. දාර්ශනිකව කියවා ගන්නේනම් මෙම මුද්‍රණ චිත්‍රයන් තුළ යට ඇඳුම යන්න නිරූපනය කරන්නේ ආත්මීයත්වය නැතිනම් මගේ ලෝකය බව මේ අනුවඅපට වටහා ගැනීම අපහසු නොවේ. එම අර්ථයෙන් බුද්ධික කර තිබෙන්නේ ආත්මීයත්වය මුද්‍රාගත කිරීමකි. සරළව කියන්නේනම් ඔහුගේ අතීතය විසින් දරා සිටින යටපත් කිරීමට අපහසු කිළිටි ඉපැරණි මතකයන් මුද්‍රණය කිරීමකි.

මුද්‍රණය නැමති ක්‍රියාවලිය නිසාම මෙම චිත්‍ර වලට එකතු වන තවත් අදහසක්ද වේ. එනම් මුද්‍රණය යනු යම් පෘෂ්ඨයක ඇඳීම සිදු නොකර තෙරපීම ආධාර කර ගනිමින් සළකුණු හා සංඥා සටහන් කර ගැනීම බව අපි ඉහතදී සඳහන් කළෙමු. දැන් ශිල්පියාගේ නිර්මාණ ක්‍රියාවලිය තුළ සිදුවන්නේ තම කිළිටි මතක වස්තූන් අධික බරක් යොදා තෙරපීමය. එක් අතකින් ඒවායේ  රිදුම් දෙන අතීතය මුද්‍රාගත වීම සිදු වනවා සේම අනෙක් අතින් එම මතකයන් තලා පොඩි කර සදාකාලිකව විනාශ කර දැමීමේ අදහසද මෙම චිත්‍ර හමුවේ බැහැර කළ නොහැකි ලෙස එකට බැඳී ඇත.

චිත්‍රය තුළ යට ඇඳුම නිරූපණය වන්නේ එය හුදෙකලා වස්තුවක් ලෙසින් නොවන බව අපට පැහැදිලිය. ශිල්පියා තම නිර්මාණයේදී මෙම යට ඇඳුම් සමඟ වෙලී පැටලී ඇති ශාඛ අතු ඉති පත්‍රද පෙන්වා සිටියි. මෙහිදී යට ඇඳුම් ආත්මීයත්වය, අභ්‍යන්තරත්වය නැමති අදහස මතු කරන විට එයට සමගාමීව ශාඛ අතු පත්‍ර ආදිය පරිභාහිරත්වය, ස්වභාවිකත්වය ලෙස අපට අර්ථ ගැන්විය හැකිය. වෙනත් ආකාරයකට කියන්නේනම් අප සාම්ප්‍රදායිකව ඇතුළ හා පිටත, විශය හ වස්තුව නැතිනම් මානසික හා භෞතික ලෝකය ලෙස දාර්ශනික තලයේදී බෙදා වෙන් කරගන්නා මූලික දෙබෙදුම වේ. එය තවත් සරළව කියන්නේනම් ශාඛ මඟින් ප්‍රකාශ වන්නේ තම ආත්මීය ඇතුල් ලෝකයට පිටතින් ඇති ස්වභාවික ලෝකයයි.

456

නමුත් මෙම යට ඇඳුම් හා ශාඛ ආදිය චිත්‍ර තුළ මුද්‍රණය වී ඇත්තේ එකකින් අනෙක් වස්තුව වෙන් කර ගත නොහැකි ආකරයට බව පෙනේ.ඒවා එකකට එකක් මුසුවී ඇත. ශාඛ පත්‍ර ආදිය තුළද යට ඇඳුමේ කොටස් අපට පෙනෙයි. පළමුව යට ඇඳුමත් ඉන් පසුව ශාඛ පත්‍ර අතු ඉති ආදියත් ලෙස අපට වෙන වෙනම හුදෙකලා කොට ඒවා වෙන් කර ගත නොහැකි ලෙස බැඳී පවතී. මුද්‍රණය තුළ හමුවන වර්ණ, තලය මත හැසිරී ඇති ආකරයෙන්ද මතු වී පෙනෙන්නේ මේවා අතර ඇති සහසම්බන්ධයයි. තතු එසේ නම් අප ඉහත කී ආත්මීයත්වය හා පරිභාහිරත්වය නැමති මූලික ඛණ්ඩනය මෙම චිත්‍ර තුළ අභියෝගයට ලක් කරන බව පැහැදිලි විය යුතුය. එනම් ආත්මීයත්වයෙන් තොර පරිබාහිර ලෝකයක් හෝ පරිබාහිර ලෝකයෙන් තොර ආත්මීයත්වයක් හෝ පවතිනවා යැයි කීම අර්ථ විරහිත ප්‍රකාශයක් වේ. සරළව අපට එම අදහස මෙසේ හඳුනා ගත හැකිය.

මිනිස් පැවැත්ම පිළිබඳ සාකච්ඡාවෙදී දර්ශනය ලඝු වී තිබූ එක් දැවැන්ත ආස්ථානයක් ජර්මන් ජාතික චින්තකයෙකු වූ මාර්ටින් හෛඩැගර් විසින් ප්‍රශ්න කරන්නට යෙදුණි. එනම් අප ඉහත කී ආත්මීයත්වය හා පරිභාහිරත්වය යන මූලික කණ්ඩනයයි. හෛඩැගර්ගේ තර්කය වන්නේ අපට මෙම ලෝකයේ දෙන ලද අත්දැකීම කෙනෙක් සියුම්ව නිරීක්ෂණය කළහොත් අප දන්නා එකම දෙය වන්නේ අප සෑම විටම ඒ වන විටත් ලෝකයක් හා බැඳී එකට ගැට ගැසී ඇති බවයි. අපට එම සහසම්බන්ධයට පෙර තත්වයක් ගැන ඇත්තේ නොදැනුමකි. වෙනත් ආකරයකට කියන්නේනම් පළමුව ආත්මීයත්වය කොහේ හෝ තිබී දෙවනුව එය මෙවැනි ලෝකයකට පැමිණියා යැයි කීමට අපට නොහැකිය. සරළව කියනවානම් මා නොමැති ලෝකයක් හෝ ලෝකයක් නොමැති මා කෙනෙක් හෝ මට සිතා ගැනීම කළ නොහැකි වේ. මට මතක ඇති කාලයක සිට මා මේ ගස් වැල් සමඟ මා වැනි අනෙකන් සමඟ හා නොයෙකුත් දේ සමඟ භාවිතාවක, වාසය කිරීමක නිරත වී සිටියි. හෛඩැගර්ගේ දර්ශනය ඔහු ගොඩනගන්නේ මෙම මූලික තර්කය මත හිඳිමින් බව කිව හැකිය.

එසේ නම් බුද්ධිකගේ මුද්‍රණ චිත්‍ර නිර්මාණයන් තුළ ආත්මීයත්වය හමුවේ ඇති සියලුම අගතීන් කිළිටි බාවයන් අන්ධකරයන් හා ඊට සාපෙක්ෂව යහපත් සුපිරිසිදු ස්වභාවික පරිබාහිරත්වයක් පෙන්නුම් කරනා බව කීම අර්ථ විරහිත වේ. ඊට පරස්පරව එම චිත්‍ර විසින් යෝජනා කරන්නේ අපගේ අභ්‍යන්තරික අතිශය පුද්ගලික, කිළිටි, වේදනාබර මතකයන්හී මුද්‍රාව යනුම අපගේ භාවිතයන් වලින් පසුබිම් වූ ලෝකයක් හා බැඳුනු, කිසිදා ඒයින් වෙන් කළ නොහැකි වූ, සෑම විටම ඒ වන විටත් ඇති සහසම්බන්ධයක් වන බවයි.

හෛඩැගරියානු තර්කයට අනුව බුද්ධික නාකන්දලගේ මුද්‍රණ චිත්‍ර විසින් ආත්මීයත්වය හා භෞතික ලෝකය නැමති සාම්ප්‍රදායික බෙදා වෙන් කිරීමේ ආස්ථානය අභියෝගයට ලක් කර සිටින බව මේ අනුව අපට යෝජනා කළ හැකිය.

සුපුන් කුරේ

 

 

***

Advertisements