Kline_no2

Arthur Miller ගේ ‘The Crucible’ නාට්‍යය අප හඳුනාගන්නේ විසිවන සිසවසේ ඇමරිකානු නාට්‍ය රචනා තුළ ලියවුණු සුවිශේෂී නාට්‍ය කෘතියක් ලෙස යි. එය ‘මායා බන්ධන’ නමින් ගාමිණී වියන්ගොඩ  සිංහලට පරිවර්තනය කළ අතර උෂාන් පෙරේරා විසින් එම නමින් ම පසුගිය 25 වන දා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන්ස් නාට්‍ය උළලේ දී වේදිකා ගත කරන ලදී. මෙම ලිපිය රචනා කරනා මොහොත වන විට මෙම නාට්‍ය නිෂ්පාදනය මෙවර යෞවන සම්මාන උළලේ හොඳම නාට්‍ය ලෙස සම්මානයට ද පාත්‍ර විය. සම්මාන විනිශ්චයන් යනු කිසිවිටෙක බරපතල ලෙස භාරගත යුතු දෙයක් නොවන බව නාට්‍ය උළෙල විනිශ්චය මණ්ඩල විසින් තහවුරු කර ඇති යුගයක; ඒ සියල්ලට වඩා මෙහි වටිනාකම රැඳී තිබෙන්නේ ලෝක නාට්‍ය කලාවේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් මෙරට ප්‍රේක්ෂකයා වෙනුවෙන් වේදිකා ගත කිරීමට ගත් උත්සාහය තුළ යි. මෙම රචනය තුළින් අපගේ අවධානය යොමු වන්නේ එවැනි නාට්‍යයක් තෝරාගන්නා අධ්‍යක්ෂවරයා අප ජීවත් වන සමාජ දේශපාලන යාන්ත්‍රණය, ආමන්ත්‍රණය කර ඇත්තේ කෙසේද යන්නා විමසා බැලීමටයි.

ඇමරිකාවේ මැසචුසෙට්ස් පළාතේ සලෙම් නම් ග්‍රාමීය වසමකි. එය ඇමරිකාව ලිබරල් ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් වීමට ප්‍රථම කොලනි වශයෙන් ජීවත් වූ යුගය යි. එම වසමේ ක්‍රිස්තියානි පූජකයා – පැරිස් පියතුමා – ගේ දුව – බෙටී – යක්ෂ දිෂ්ටියකට බිය වී ඇතැයි සැක කිරීමෙන් නාට්‍ය ආරම්භ වේ. පසුව ඒ සඳහා මූලික වූ සිද්ධියෙහි බෙටී සමඟ සිටි ගැහුණු ළමුන්ගෙන් පැරිස් පියතුමා හා පළාතෙහි ප්‍රධාන පූජකයෙක් වන හේල් පියතුමා ප්‍රශ්න කරයි. එම සිද්ධිය අතර සිටි ගැහැණු ළමුන්ගේ ප්‍රධානියා ලෙස පෙනී සිටින්නේ ඇබිගේල්ය. ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වන්නේ පැරිස් පියතුමා එම ස්ථානයට යන විට තරුණ ගැහුණු ළමුන් පිරිසක් කැලයේ යම් නැටුමක් – පූජා නැටුමක් – කර ඇති බවයි. එහි බාර්බඩෝස් සිට පැමිණි ටිටුබා නම් නීග්‍රෝ වහලියක් ද වෙයි. අවසානයේ ඇබිගේල්ගේ සාක්ෂිවලට අනුව ටිටුබා යක්ෂයා ගෙන්වා ඇති බවත්, ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට මේ වන විට යක්ෂයා ආවේශ වී ඇති බවත්, ඔවුන් යක්ෂයා සමඟ ගනුදෙනු කරමින් සිටින බවටත්, චෝදනා එල්ල වෙයි. එම චෝදනාවට පළමුව ලක්වන්නේ වන්නේ ටිටුබා යි. මෙම මූලික සිද්ධිය ක්‍රමයෙන් ජනප්‍රිය වී මුළු සලෙම් වසම පුරාම පැතිරී ගොස් අවසානයේ නඩු විභාග මඟින් යක්ෂයා සමඟ ගනුදෙනු කරන්නන් වරදකරුවන් බවට පත් කොට, පාපොච්චාරණය කරන්නන් නිදහස් කරයි. ජෝන් ප්‍රොක්ටර් නම් ගොවියා මීට විරුද්ධ ව නැගී සිටියි. ඒ අතර ප්‍රොක්ටර්ගේ බිරිඳ එලිසබෙත් ද යක්ෂයා සමඟ ගනුදෙනු කිරීමේ චෝදනාවට ලක් වේ. ඒ ප්‍රොක්ටර් කෙරෙහි ආශාවකින් පෙළෙන මෙම සිද්ධියේ කථා නායිකාව වන ඇබිගේල්ගේ ලිංගික ඊර්ෂ්‍යාවක – ඇබිගේල් තරමටම ඔහුගේ බිරිඳ එලිසබෙත් ද ඔහු කෙරෙහි එවැනිම ඊර්ෂ්‍යාවකින් පෙළෙයි – ප්‍රතිපලයක් ලෙස යොදන උපක්‍රමයක් හේතුවෙනි. ඇබිගේල් හා ප්‍රොක්ටර් අතර පසුගිය වසරේ වූ සිද්ධියක් නිසා ඇබිගේල් පත්වන අසරණකම, තනිකම හා ප්‍රොක්ටර් කෙරෙහි ඇතිවන ආශාව ඇගේ මෙම පළිගැනීමට හේතු වේ. වසම තුළ බොහෝ කාන්තාවන් යක්ෂයා සමඟ ගනුදෙනු කරන්නේ ය යන චෝදනාවට වරදකරුවන් වන අතර ඔවුන් පාපොච්චාරණය නොකරන්නේ නම් අවසාන තීන්දුව වන්නේ ඔවුන් එල්ලා මැරීමයි. ඉන්පසුව ජෝන් ප්‍රොක්ටර් හා ඔහුගේ බිරිඳ එලිසබෙත් හා වසමේ වැඩිමහල් ප්‍රගතිශීලී කාන්තාවක් ලෙස පෙනී සිටින රෙබෙකා නර්ස්ගේ පාපොච්චාරණය කිරීමේ තීරණ වෙත නාට්‍යයේ අවසානය ගමන් කරයි. ප්‍රොක්ටර් පාපොච්චාරණය කළ ද එය ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් ඔහු තම විරෝධය එල්ල කරයි. එහි දී අවසානයේ ඔහු ඇතුළු බොහෝ දෙනෙකුගේ මරණය තීරණය වෙයි.

නාට්‍යයට පාදක වන සමයේ පල්ලිය හා රාජ්‍ය, දෙකක් නොව එකක් ලෙස පැවතිණි. තවත් ආකාරයකට කියන්නේ නම් ආගමික නීතය හා රාජ්‍ය නීතය අතර වෙනසක් නොපැවතුණි. ආගම හා රාජ්‍ය තුළ පවතින අවියෝජනීය සම්බන්ධය නීතිය විසින් ශක්තිමත් කරයි. තවත් ආකාරයට කියන්නේ නම් මෙම ත්‍රිත්වයෙහි පැවැත්ම උදෙසා ඒවා විසින් එකිනෙක වෙත පෙනී සිටීම සිදු වේ. ආගමික විශ්වාස මත ගොඩ නැගෙන, එනම් තර්කයට හසු කරගත නොහැකි මිත්‍යා මත සඳහා වාස්තිවික උදාහරණ පෙළ ගස්වන්නට උත්සහ කරන නීතිය, රාජ්‍යයේ පැවැත්ම හා එහි සුජාතභාවය ආරක්ෂා කරයි.

මායා බන්ධන නාට්‍ය තුළ ඇබිගේල්ගේ චරිතය නිරීක්ෂණය කිරීමේදී ඇය විසින් සලෙම් වසමේ ඇති වී තිබෙන තත්ත්වය ඇගේ අණසකට ගැනීමට හේතු වන මූලික කරුණු ලෙස ඇයගේ ආශාව හැඳින්විය හැකිය. එවැනි ප්‍රවේශයකින් මායා බන්ධන නාට්‍ය කියවා ගත හැකි වුව ද එයින් අපට අහිමි වන්නේ මායා බන්ධන නාට්‍යය මඟින් ආගමික රාජ්‍යයක පවතින නග්න ස්වරූපය අප වෙත නිරාවරණය කරවීම ඈත් කිරීමයි. නමුත් එවැනි මනෝ විශලේෂණාත්මක විචාරයක් මෙන් ම ස්ත්‍රීවාදී විචාරවලට ද මායා බන්ධන නාට්‍ය තුළ බොහෝ අවකාශය පවතියි.

මායා බන්ධන නාට්‍යයේ ප්‍රකාශිත රාජ්‍ය හා ආගම පිළිබඳ අර්ථ කථනය අද දවසේ අප වැනි රටකට බොහෝ සෙයින් ගලපාලිය හැකිය. සිංහල-බෞද්ධ ජාතිකවාදය, පශ්චාද් යුධ සමයේ පෙනී සිටි ආකාරය හා රාජ්‍ය තම ප්‍රචණ්ඩත්වය සුජාතකරණය කිරීමට සිංහල-බෞද්ධ ජාතිකවාදය භාවිතා කිරීම අපට දැක ගත හැකි විය. නමුත් මෑතක දී ආගම හා රාජ්‍ය අතර යම් පලුදු කිරීමක් ඇති කරවමින් නව ව්‍යවස්ථා සංශෝධනය රජය විසින් ගෙන ඒ මේ දී ඊට ප්‍රතිපක්ෂව නැගී සිටියේ ආගමික නායකයින් ය. එය එක්තරා අර්ථයකින් ආණ්ඩුවට එරෙහිව ආගමික ආධිකාරිය රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටීමක් ලෙස හඳුනාගත හැකිය. එහි දී ආගමික නායකයන් ක්‍රියාකර ඇත්තේ රාජ්‍යයට විරුද්ධව නොව ගැඹුරු අර්ථයෙන් රාජ්‍යයේ වර්තමාන සැකැස්ම රැක ගැනීම වෙනුවෙනි. එම නිසා අවසානයේ මෙරට ව්‍යවස්ථාදාකයේ තීරණ හා ක්‍රියාමාර්ග ආගමික බලපෑම් මත ඇති කරන සීමාකම් මත තීරණය වන තත්ත්වයක් උදා වී ඇත. ඒ සිංහල-බෞද්ධ රාජ්‍යයේ සුරක්ෂිතතාව උදෙසා ය. එම තීරණවලට ආණ්ඩුව පිටුපාන්නේ නම් රාජ්‍ය අස්ථාවර වී නැවත සිංහල-බෞද්ධ ජාතිකවාදය හිස ඔසවන රාජ්‍යයක් නිර්මාණය වීම කැට තබා කිව හැකි අනාවැකියකි. මායා බන්ධන තුළින් අප පිවිසිය යුත්තේ මෙවන් ගැටලු වරනැගෙන සන්දර්භයකට නොවේද ? ඒ අතරම ද්‍රවිඩ හා මුස්ලිම් පළාත්වල ද මෙම ආගමික නීතිය පීඩාකාරී ලෙස පවතින අවස්ථා අපට හඳුනා ගත හැකිය. තවද ලෝක මට්ටමින් මියැන්මාරයේ රොහින්ග්‍යා ගැටලුව, ඉන්දියාව වැනි රටවල ක්‍රියාත්මක වන කුල පද්ධතිය තුළ ද දැකිය හැකි වන්නේ සලෙම් වසමේ සිදු වූ, සිදු වීමේ විවිධ ප්‍රකාශමාන වීම් ය.

නාට්‍ය නිෂ්පාදනයක අඩුපාඩු කම් – රංගන කුසලතා හා ආනුෂාංගික අංගවල දුර්වලතා – පෙන්වා දීමට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ – ඉහත කරුණු මත – අධ්‍යක්ෂවරයා මෙම පරිවර්තන කෘතිය කෙරෙතම් මෙරට සන්දර්භයට අවශ්‍ය පරිදි දිශානත කර ඇත් ද යන්න විමසීමයි. එසේ විමසීමට හේතු වන්නේ ඔහුගේ තෝරාගැනීම අතිශය ප්‍රබල හැඟවුමක් අප වෙත එල්ල කරන නිසාවෙනි. එහි දී වැදගත් වන්නේ ඒ සඳහා ඔහු ඉදිරිපත් කරන ‘නිෂ්පාදන සංකල්පය’ කෙතරම් ශක්තිමත් ද යන්නයි. නිෂ්පාදන සංකල්පය ගොඩනැගෙන්නේ අධ්‍යක්ෂවරාය අරමුණු කරගන්නා – පෙලෙහි සාරය සමඟ එය ප්‍රක්ෂේපණය කරන – අර්ථය සමඟයි. අධ්‍යක්ෂවරයාගේ දෘෂ්ටිය අපට කියාපාන ප්‍රකාශමානවීම වන්නේ නිෂ්පාදන සංකල්පය යි. එසේ නම් මූලිකව නිෂ්පාදන සංකල්පය සඳහා අධ්‍යක්ෂවරයාගේ අරමුණ සමාජය වෙත ඔහු නිර්මාණය තුළින් දක්වන මැදිහත්වීම සමඟ බැදේ.

නිෂ්පාදන සංකල්පයක අවශ්‍යතාව තවත් ආකාරයකට කියන්නේ නම් වියන්ගොඩ විසින් කළ පරිවර්තනය කියවීමෙන් අප ලබාගන්නා ආනන්දය, දැනුම, කිනම් හෝ ආශ්වාදයක් නාට්‍ය නිෂ්පාදනය තුළින් අප අත්පත් කරගන්නා දෙයට වඩා වෙනස් හා වර්ධනීය තත්ත්වයක් විය යුතුය.  පරිවර්තන කෘතියක් අතිශය උචිත නිෂ්පාදන සංකල්පයක් තුළ ගොඩනංවන්නේ නොමැති වන විට එය පෙළ හඬ ගා කීමකට පමණක් ඌනනය වේ. නිෂ්පාදන සංකල්පය ගොඩනැගෙන්නේ පෙලෙහි සාරය, ගැඹුර හා අධ්‍යක්ෂවරයා ඉන් ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වන දේශපාලන, දාර්ශනික අර්ථ කථනය පිළිබඳ අදහස තුළින් පමණි. ආනුශාංගික අංග සඳහා තීරණ ගැනීම්, නළුවරණය, රංග ශෛලිය, භාෂා ශෛලිය, සංගීතය, වර්ණ සියල්ල තීරණය වන්නේ අධ්‍යක්ෂවරයා පෙළ අර්ථ කථනය කිරීමට යොදා ගන්නේ ඔහුගේ නිෂ්පාදන සංකල්පය මත ය. එම නිෂ්පාදන සංකල්පය ගොඩනැගීමට අවශ්‍ය මූලික ප්‍රවේශය නිර්මාණය වන්නේ අප ජීවත් වන සමාජය වෙත කෘතිය විසින් කුමන ආකාරයක මැදිහත්වීමක් කරන්නේද යන තර්කනය මත පිහිටා ය. ඒ අර්ථයෙන් මායා බන්ධන නාට්‍යය නිෂ්පාදනයට මඟ හැරී ඇත්තේ ශක්තිමත් නිෂ්පාදනය සංකල්පක් ය. සමහරවිට අධ්‍යක්ෂවරයා නොසතුටු වන ලෙස කිවහොත් ඔහු කර තිබෙන්නේ ආතර් මිලර් ට වුවමනා පරිදි නාට්‍ය සිංහල බසින් නිෂ්පාදනය කිරීමයි.

මායා බන්ධන කෘතියෙහි මෙම ක්‍රියාවලිය තවත් සංකීර්ණ වන්නේ මිලර් මෙය රචනා කර ඇත්තේ 1951 සිදු වීමක් 1692 සිදුවීමක් සමඟ සමපාත කිරීමෙනි. එසේනම් මායා බන්ධන නිෂ්පාදනය කරන අධ්‍යක්ෂවරයෙක් 1951 ඇමරිකානු දේශපාලන තත්ත්වය, 16 හා 17 වන සියවස්වල ඇමරිකාවේ කොලනි තත්ත්වය හා වර්තමානයේ ඔහු මෙම කෘතිය නිෂ්පාදනය කරන ලාංකේය සමාජය පිළිබඳ පුළුල් නිරීක්ෂණයකින් පසු විය යුතුය. එසේ නොවන්නේ නම් ඔහුගේ නිෂ්පාදනය හා සමාජය අතර විශාල තාප්පයක් නිර්මාණය වේ.

අවසාන අර්ථයෙන් මෙවන් සුවිශේෂී නාට්‍ය කෘතියක් නිෂ්පාදනයේ දී නිෂ්පාදන සංකල්පයක් අධ්‍යක්ෂවරයාට තිබියු යුතු අතර ඒ සඳහා ඔහු පර්යේෂකයෙක් ද විය යුතුය. නැතිනම් එවැන්නෙක් ඇසුරු කළ යුතුය. මේවා නිවැරදිව ගලපා ගැනීමෙන් ඔහුට මෙම කෘතිය මෙරට සමාජය තුළ නිවැරදිව ස්ථානගත කිරීමට අවශ්‍ය අවකාශය හිමි වනු ඇත. උෂාන් ගමනේ යම් දුරක් ගෙවා අවසන්ය. නමුත් ඔහු මෙරට සමාජ දේශපාලන තත්ත්වයන්ට තම නිර්මාණය මැදිහත් කරගන්නා ආකාරය ගැන සිතීමට ඔහුට ශක්තිමත් නිෂ්පාදන සංකල්පයක් අවශ්‍යය. එවිට ඔහුට ‘මෙම නිෂ්පාදනය තුළ’ ආතර් මිලර් සමඟ එකට සිට ගැනීමට නොව ඔහු පසුකර යා හැකිය. උෂාන්ගේ සැකයකින් තොර දක්ෂතාවය සහ උද්‍යෝගය කලාත්මක-දේශපාලනික විපර්යාසකාරී මැදිහත්වීමක් දක්වා වර්ධනය වනු ඇත්තේ එවැනි මොහොතක පමණි.

රංග මනුප්‍රිය

 

 

***