H A Karunaratne 1

මෙම රචනය තුළ අරමුණු කරන්නේ ෆිලීප් ලකු-ලබාර්ත් (Philippe Lacoue-Labarthe) නම් ප්‍රංශ චින්තකයාගේ “Transcendence Ends in Politics” (‘උත්තරානුභුතිකත්වය අවසන් වන්නේ දේශපාලනයෙනි’) නම් රචනය පිළිබඳ කෙටි හැඳින්වීමක් සහ සාකච්ඡාවක් කිරීමටයි. දර්ශනය පිළිබඳ උනන්දු වන ඕනෑම කෙනෙක් විමසිය යුතු ප්‍රශ්නයක් වන්නේ දර්ශනය සහ දේශපාලනය අතර තිබෙනා සංකීර්ණ සම්බන්ධය යි. දාර්ශනිකව තරමක් සංකීර්ණ ගැටලු, අදහස් ප්‍රකාශ කිරීම සහ දේශපාලනිකව අතිශය ප්‍රතිගාමී, අන්තවාදී සහ හානිදායක ස්ථාවර වෙත එළඹීම යනු මුළුමනින් ම අන්‍යෝන්‍ය වශයෙන් බහිශ්කාරක ක්‍රියාවන් නොවේ. තවත් සරල ලෙස – දර්ශනය තුළ ඇති අවබෝධය වැඩි වෙනවා යනු දේශපාලනික අවබෝධය වැඩි වීම සඳහා සහතිකයක් නොවේ. මේ සඳහා තිබෙන්නේ එක ලාංකික අත්දැකීමක් පමණක් නොවනා බව අපි හොඳින් දනිමු. නමුත් මෙයට තිබෙනා ජනප්‍රියම ගෝලීය අත්දැකීම අතින් ගත්විට මෙම ලාංකික අත්දැකීම් කිසිවක් සංසන්ධනය කිරීමට හෝ හැකියාවක් ලැබෙන්නේ නැත.

මාටින් හෛඩගර් යනු පසුගිය සියවසේ සිටි – අඩුම තරමින් මහත්ද්වීපික දර්ශන සම්ප්‍රදාය තුළ – ශ්‍රේෂ්ඨත ම චින්තකයා වේ යන කරුණ සම්බන්ධයෙන් අද වනවිට එතරම් විශාල සැකයක් නොමැති වේ. පසුකාලීනව ජනප්‍රිය වූ ෆූකෝ, ඩෙරීඩා, බදියූ, ජිජැක්, මෙයසූ ආදී චින්තකයන් හෛඩගර් පිළිබඳව ලියා ඇති දේ කියවීමෙන් මෙය පහසුවෙන් වටහා ගත හැකිය. නමුත් හෛඩගර් යනු නාට්සි ව්‍යාපාරයට දේශපාලනිකව හිතවත් වූ, එහි ඍජු සාමාජිකයෙක් වූ, චින්තකයෙක් යන්න සම්බන්ධයෙන්ද කිසිදු සැකයක් අපට නොමැති වේ. මෝඩ ආකාරයකට ලියා තැබුවහොත් අපේ ප්‍රශ්නය වන්නේ මෙයයි: හොඳම දාර්ශනිකයා නරකම දේශපාලන ව්‍යාපාරයකට එකතු වීම මගින් දර්ශනය සහ දේශපාලනය අතර සම්බන්ධය පිළිබඳ ව අපට ඉගෙන ගත හැක්කේ කුමක්ද?

ලකු-ලබාර්ත් ගේ මෙම රචනය පුරා ඔහු උත්සාහ කරන්නේ, හෛඩගර්ගේ ම දර්ශනය ඇසුරින්, මෙම ප්‍රශ්නයට පිළිතුරක් ගොණු කිරීමටයි. ලියවිල්ල තරමක් දික් වූ බැවින් එය කොටස් කීපයකට පළ කිරීමට සිදු වේ. මුල් රචනය සඳහා බලන්න In, Lacoue-Labarthe, P., (1989), “Transcendence Ends in Politics”, in “Typography – Mimesis, Philosophy, Politics”, tr. & ed. Fynsk, C., Massachusetts/London, Harvard University Press, pp. 267-300.

***

හෛඩගර්ගේ නාට්සි සම්බන්ධය පිළිබඳ අදහස් දැක්වීම සඳහා, මා සිතනා ආකාරයට, අවශ්‍ය අතිමූලික කොන්දේසි දෙක ලකු-ලබාර්ත් අතින් ඉහළින්ම ඉටු වී තිබේ. එක අතකින් ඔහු හෛඩගර්ගේ සමා-විරහිත විවේචකයෙක් වුවත්, පුළුල් අරුතින්, හෛඩගරියානු අවකාශයට අයත් වෙන්නෙකි. නිදර්ශනයක් ලෙස, මොහු සහ මොහුගේ දිගු කාලීන දාර්ශනික සමකතුවරයා වන ජොන්-ලක් නොන්සි ව ඇලේන් බදියූ අතින් හැඳින්වෙන්නේ වාමාංශික-හෛඩගරියානුවන් (left-Heideggerians) යනුවෙනි. මෙයට සම්බන්ධ දෙවැනි කරුණ වන්නේ මොහු දේශපාලනය පිළිබඳ සිතීම සිය දාර්ශනික ව්‍යාපෘතියේ කොටසක් ලෙස සලකනා චින්තකයෙක් වීමයි. එම අර්ථයෙන් මෙම නිශ්චිත ප්‍රශ්නය සාකච්ඡා කිරීම ලකු-ලබාර්ත් හට තීරණාත්මක වෙයි.

නමුත් අප පළමුවෙන් ලකු-ලබාර්ත් පිළිබඳ ඉතා ම කෙටි හැඳින්වීමක් කරමු. කිසිදු ආකාරයක විධිමත් බුද්ධිමය සම්ප්‍රදායක් වර්ධනය වී නොමැති මෙවැනි රටවල සමාජ සංවාදය සඳහා මෙවැනි හැඳින්වීමක් කිරීම අනිවාර්ය කොන්දේසියක් වෙයි. එසේ නොමැති වන්නේනම් සිදු වන්නේ ලකු-ලබාර්ත් කියවිය යුතු සන්දර්භය නොමැති වීම නිසා ඔහුගේ ලියවිලිවල අර්ථය බෙහෙවින් හීන වී යාමයි.

සමහරවිට, ලාංකික සන්දර්භය තුළ ෆිලීප් ලකු-ලබාර්ත් හැඳින්විය හැකි කෙටි ම ආකාරයක් වන්නේ ජාක් ඩෙරීඩාගේ දාර්ශනික ව්‍යාපෘතියේ ප්‍රධාන සගයන් දෙදෙනා ගෙන් එක්කෙනක් ලෙසයි (අනෙකා වන්නේ, ඉහතින් සඳහන් කළ, ජොන්-ලක් නොන්සි වේ). ඩෙරීඩියානු දෘෂ්ඨිකෝණයකින් ලැකේනියානු මනොවිශ්ලේෂණය වෙත ප්‍රථම වරට විවේචනයක් එල්ල කළේ – නොන්සි සමඟ එකතුව – ලකු-ලබාර්ත් ය. මෙයින් අදහස් වන්නේ ලකු-ලබාර්ත් සහ නොන්සි ඩෙරීඩා අනුගාමිකයන් ලෙස හැඳින්විය හැක්කේ ලාංකික සන්දර්භය තුළ පමණක් ම වේ යන්න නොවේ. සත්‍ය වශයෙන්ම මේ හැඳින්වීම පළමුවෙන් සිදු කරන්නේ – සහ ඒ මගින් නොන්සි සහ ලකු-ලබාර්ත් එක රැයින් ජනප්‍රිය කරවන්නේ – අන් කිසිවෙකු නොව ජාක් ලැකෝන්ම වෙයි. නමුත් මේ හැඳින්වීමට ලකු-ලබාර්ත් සහ නොන්සි මෙන්ම ඩෙරීඩා ද එකඟ වූයේ නැත. කරුණුමය අතින් ගත්ත ද ලකු-ලබාර්ත් සහ නොන්සි යනු ඩෙරීඩා ගේ ඍජු ශිෂ්‍යයන් නොවේ – ඔවුන් අතර වයස් පරතරය වසර දහයකට වඩා බොහෝ වැඩි නොවේ. අනෙක් අතට ලකු-ලබාර්ත් සහ නොන්සි යනු ඩෙරීඩා ගේ අතවැසියන් නොවන බව අපි හොඳින් දනිමු. නිදර්ශනයක් ලෙස 1980 දශකයේ ආරම්භයේදී ඇලේන් බදියූ ප්‍රංශ බුද්ධිමය ලෝකයෙන් මුළුමනින් වාගේ හුදෙකලා කර තිබෙන විට සහ ඩෙරීඩා සමග තරමක් දුරදිග යන ආරවුල් ඇති කරගෙන තිබෙන විට බදියූ ගේ සංවාදය ඉදිරියට ගෙන යාමට උපකාර කළ කීප දෙනා අතරින් ලකු-ලබාර්ත් සහ නොන්සි මූලික විය.

කෙසේ වුවත් ලකු-ලබාර්ත් සහ නොන්සි අතර විශේෂ ඩෙරීඩියානු පක්ෂපාතිත්වයක් තිබුණු බව නම් අසත්‍යයක් වන්නේ නැත. ඔවුන්ගේ තේමාවන්, ඔවුන්ගේ භාෂා ශෛලිය, පුළුල් ලෙස පොදුවේ ඔවුන්ගේ දර්ශනය යනු ඩෙරීඩාගේ මුද්‍රාව හොඳින් හඳුනා ගත හැකි චින්තන ව්‍යාපෘති වෙයි. අපගේ සංවාදයට බඳුන් වන ලකු-ලබාර්ත් ගේ ලිපිය ඇතුලත් කෘතියේ – “Typography – Mimesis, Philosophy, Politics” – පෙරවදන ලියවෙන්නේ ද ඩෙරීඩා අතිණි.

මේ සියල්ල කිව යුතු වන්නේ, විශේෂයෙන්, අප කතා කරනා චින්තකයන් අයත් වන පසුබිම පිළිබඳ ව අදහසක් ලැබීමට තරම් පොහොසත් සංවාදයක් මෙරට තුළ නොමැති වීම නිසාය. ‘ජාක් ඩෙරීඩා’ කියන නම අසා ඇති බොහෝ දෙනෙක් හිටියත් එම සංවාදයේ – නිශ්චිතව ම ලකු-ලබාර්ත් ට සහ නොන්සි ට අදාළව ඩෙරීඩා විසින්ම ගොඩ නැගු සහ දැන් සමාජ මාධ්‍යවල ලාංකික විහිළුවක් බවට පත් වී ඇති වලින් කියන්නේනම් එම ‘පවුල් පරිසරයේ’ (family atmosphere) – තවත් කේන්ද්‍රීය චරිත දෙකක් වන ලකු-ලබාර්ත් සහ නොන්සි ගැන මෙරට බොහෝ දෙනෙක් කිසි දෙයක් අසා නොමැත. එනිසා අප ගමන් කළ යුතු වන්නේ කලින් සාදා තිබෙන පාරක නොව පාර හදමින්, හෙළිපෙහෙළි කරමින් යන ගමනක ය.

අපි සංවාදයට ප්‍රවිෂ්ට වෙමු.

මෙම රචනය පුරා ලකු-ලබාර්ත් ගවේෂණය කරන මූලික ප්‍රශ්නය වන්නේ හෛඩගර්ගේ දේශපාලන මැදිහත්වීමේ දාර්ශනික ප්‍රතිවිපාක මොනවාද යන්නයි. තවත් නිශ්චිතව කියන්නේ නම්, හෛඩගර් විසින් 1933 දී නාට්සි පක්ෂයේ දේශපාලන පත්වීමක් ලෙස විශ්වවිද්‍යාල රෙක්ටර් පදවිය බාර ගැනීම සහ ඒ සමඟ බැඳුනු තවත් ක්‍රියාකාරකම්වල නියැලීම අප හෛඩගර් ගේ දර්ශනය ඇසුරින් තේරුම් ගත යුත්තේ කෙසේද? අපි හෛඩගර් නාට්සි පක්ෂයට පක්ෂපාති වීම පිළිබඳ ව සදාචාරමය විනිශ්චයන් දීම වෙනුවට, එය ඔහුගේ දර්ශනය තුළ සාධාරණීකරණය කළ හැකි ආකාරය, ඒ පිළිබඳ ව හෛඩගර් තුළ තිබුණු අදහස, කුමක්ද කියා විමසා බැලුවහොත් අපට ලැබෙන පිළිතුර කුමක්ද? ලකු-ලබාර්ත් මෙහි දී උනන්දු වන ප්‍රශ්නය වන්නේ මෙයයි.

මේ සඳහා ඔහු විශ්ලේෂණය කරන්නේ හෛඩගර් ෆ්‍රීබර්ග් විශ්වවිද්‍යාලයේ රෙක්ටර් පදවියට – නාට්සි රජය යටතේ – පත්වීමෙන් පසුව කරන ලද සමාරම්භක දේශනයයි. හෛඩගර් ගේ සමස්ත ජීවිතය පුරාම ඔහු විසින් කරන ලද වඩාත් ආන්දෝලනාත්මක දේශනය වන්නේ මෙය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහු නව තනතුරට පත්වන්නේ 1933 අප්‍රේල් මාසයේ වන අතර ඔහු මැයි මස පළමුවනදා නාට්සි පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනියි. “The Self-Assertion of the German University” (“ජර්මන් විශ්වවිද්‍යාලයේ ස්වයන්-තහවුරු කිරීම”) යන නමින් හෛඩගර් සිය දේශනය පවත්වන්නේ මැයි මස 27 වෙනිදාය. එම දේශනය ආරම්භ කිරීමට පෙර නාට්සි පක්ෂයේ නිල ගීතය වන – සහ 1933 සිට 1945 වනතුරු ජර්මනියේ ජාතික ගීය ලෙස භාවිතා වන – ‘හෝස්ට් වෙස්ල් ගීතය’ (Horst Wessel Lied) ගායනා කරයි. දේශනා ශාලාවේ පසුපසින් නාට්සි පක්ෂයේ සංඛේතය වූ ස්වස්තිකාවේ සැරසිලි තිබේ. නිල ගීතය ගායනා කිරීමෙන් පසුව ‘Sieg Heil’ (‘ජය වේවා’) යන ප්‍රකාශය සියලු දෙනා අතින් කියවෙන්නේ දකුණු අත ඉදිරියට දමා සිදු වන සුප්‍රසිද්ධ නාට්සි හස්ත මුද්‍රාවට අනුවයි. සැකයකින් තොරවම, මුළුමහත් දර්ශනයේ ඉතිහාසය පුරා මේ සා බිහිසුණු සහ ආන්දෝලනාත්මක මොහොතක් තවත් තිබිය හැකි නොවේ. ලකු-ලබර්ත් ගේ විශ්ලේෂණයට බඳුන් වන්නේ හෛඩගර්ගේ ඍජු දේශපාලනික ලියවිලි අතින් වඩාත්ම කේන්ද්‍රීය, වඩාත්ම ජනප්‍රිය, වඩාත්ම ආන්දෝලනාත්මක වන මෙම ලියවිල්ලයි. අනෙක් අතට හෛඩගර් මේ ලියවිල්ල කෙදිනකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැත – ඔහු අතින් වූ අත්වැරැද්දක් ලෙස මෙය ඉල්ලා අස් කරගැනීමට හෛඩගර් උත්සාහ කරන්නේ නැත. ඔහුගේ දීර්ඝ සහ සංකීර්ණ බුද්ධිමය චාරිකාවේ එක මොහොතක් ලෙස මෙය හඳුනා ගැනීමට ඔහු අපට ඉඩ ලබා දෙයි.

අපි ලකු-ලබාර්ත් අතින් ගවේෂණය වන ගැටලුව කුමක්ද කියා දැන් නිශ්චිතව සටහන් කර ගනිමු: 1933 දේශපාලන මැදිහත්වීම සඳහා ඉඩ ලබා දීමට – වඩාත් නිවැරදිව කියන්නේනම්, එම මැදිහත්වීම වළක්වන්නේ නැති වීමට – හෛඩගර් ගේ චින්තනය තුළ තිබිය යුත්තේ කුමක්ද?

මේ ප්‍රශ්නයේ සන්දර්භය පැහැදිළි කරගැනීම සඳහා ලකු-ලබාර්ත් කරුණු දෙකක් පෙන්වා දෙයි. පළමුවෙන්, මෙහි දී අප උත්සාහ කරන්නේ හෛඩගර් චෝදනාවලට වරදකරු කිරීමට නොව ඔහු මෙතැනට ඇද වැටීම විශ්ලේෂණය කිරීමටයි. නමුත් මෙයින් අදහස් කරන්නේ මෙම චෝදනාවලින් ඔහු නිදහස් වනවා යන්න නොවේ. මෙය ඉතා බරපතල ගැටලුවක් බවත්, මේ සම්බන්ධයෙන් හෛඩගර් හට සරල ව ගැලවී යාමට අපට අවස්ථාවක් ලබා දීමට ඉතා ම අපහසු බවත් පැහැදිළි වේ. යහපත/අයහපත පිළිබඳ දාර්ශනික විභේදනය සලකුණු කිරීම සඳහා අපට තවදුරටත් පදනමක් නොමැති වුවත් මෙවැනි ප්‍රශ්නවලින් කෙනෙකුට පහසුවෙන් ගැලවී යා හැකි නොවේ. නමුත් මේ රචනය තුළ ලකු-ලබර්ත් මේ ප්‍රශ්නවලට උත්තර ලබා දීමට උත්සාහ කරන්නේ නැත. වෙනත් ආකාරයකට කියන්නේනම් හෛඩගර් කර තිබෙන වැරද්ද ඔප්පු කිරීම සහ එයට අවශ්‍ය දඬුවම නිර්ණය කිරීම ලකු-ලබර්ත්ගේ අරමුණ නොවේ. මෙයින් අදහස් වන්නේ ඔහු ඒවා අනවශ්‍ය බව කියා සිටිනවා යන්න නොව, මෙම රචනයේ සීමාව තුළ එය සාකච්ඡාවට බඳුන් නොකරන බවයි.

දෙවනුව, මෙම ප්‍රශ්නය මෙහිදී සලකා බැලෙන්නේ හුදු ඓතිහාසික කරුණක් ලෙස පමණක් නොවේ. ලකු-ලබර්ත් උත්සාහ කරන්නේ අතීතයේ සිටි මිනිසෙක්, අතීතයේ ගත් තීරණයක් ගැනීමට ඔහු සිටි අතීත අවස්ථාවේ තිබූ දේ නිර්ණය කරනා ඉතිහාසඥයාගේ භූමිකාව ට පණ පෙවීමට නොවේ. ඒ වෙනුවට, ඔහු උත්සාහ කරන්නේ අපට අද දවසේ ද වැදගත් වන ප්‍රශ්නයක් වර නැගීමටයි. ඒ තමයි දේශපාලනය සහ දර්ශනය අතර සම්බන්ධය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ, ලකු-ලබාර්ත් පිළිගන්නා ලෙස ම, හෛඩගර්ගේ චින්තනය අපට දාර්ශනිකව තීරණාත්මක වීමයි. අපගේ යුගයේ දර්ශනය සිදු කිරීම යනු කිස් සේත් ම හෛඩගර්ගේ චින්තනය මගහැර ගොස් කළ හැකි දෙයක් නොවේ. එනිසා දේශපාලනික වන දෙය අතින් දාර්ශනික වන දෙය සීමා කරන්නේ කෙසේද කියා වටහා ගැනීමට මේ නිදර්ශනය අපට ඉතා ම වැදගත් වේ.

ඉතාමත් පැහැදිළි වන්නේ අපට තිබෙනා සම්ප්‍රදායික පිළිතුරු මේ ප්‍රශ්නය සඳහා ප්‍රමාණාත්මක නොවන බවයි. හෛඩගර් විසින් සිදු කරනු ලබන්නේ ‘Being and Time’ කෘතියේ ඇති අදහස් එලෙසින්ම නාට්සිවාදය වෙනුවෙන් යොදාගත් බව මෙයට ඇති පළමු සම්ප්‍රදායික පිළිතුරයි. තවත් සරල ලෙස, එමගින් කියා සිටින්නේ හෛඩගර්ගේ දර්ශනය, එහි ඇති සෑම සංකල්පයක් සහ අදහසක්ම නෛසර්ගිකවම ෆැසිස්ට්වාදී වන බවයි. නමුත් කෙනෙක් මේ පිළිතුර බැරෑරුම් ලෙස බාර ගැනීම මගින් සිදුවන්නේ අපගේ ප්‍රශ්නය සැබැවින්ම ප්‍රතික්ෂේප වෙයි. එමගින් උපකල්පනය කරන්නේ දාර්ශනික වන දෙයෙහි සිට දේශපාලනික වන දෙය වෙත ඇත්තේ ඍජු සරල සම්බන්ධයක් බවත් එකකින් අනෙකට මාරු වීම තුළ කිසිවක් වෙනස් නොවන බවත්ය. එම අර්ථයෙන් ගත්විට ‘Being and Time’ යනු දාර්ශනික ස්වායත්තබවක් ඇති කෘතියක් නොවේ. තවත් පොදුවේ ගත්විට දර්ශනය සහ දේශපාලනය අතර වෙනස සලකුණු කළ හැකි ආකාරය අපට මේ මගින් පැහැදිළි වන්නේ නැත.

මෙහි අනෙක් අන්තය මගින් ද අපට ප්‍රමාණාත්මක පිළිතුරක් ලැබෙන්නේ නැත. හෛඩගර්ගේ ‘පාරිශුද්ධ දර්ශනය’ නාට්සි දේශපාලනයේ බලපෑම නිසා විපරීත වූ බව පැවසීම මගින් අදහස් වන්නේ එම අන්තයයි. මේ මගින් දර්ශනය දේශපාලන කතිකාව මගින් බලපෑමට ලක්වන ආකාරය අවබෝධ කරගැනීමට ඉඩ ලබා දෙන්නේ වුවත් අපගේ ප්‍රශ්නයට එමගින් පිළිතුරක් නිර්මාණය වන්නේ නැත. හෛඩගර්ගේ දර්ශනය හරහා, දාර්ශනිකයෙක් ලෙස සිය භූමිකාවේ සිටිමින්ම, දේශපාලනයට මැදිහත්වීමට හෛඩගර් හට ඉඩ ලබා දෙන්නේ ඔහුගේ දර්ශනයේ ඇති කුමන මානයද? ලකු-ලබාර්ත් ට අනුව අප වඩාත් උනන්දු විය යුතු ප්‍රශ්නය වන්නේ මෙයයි. මෙයින් අදහස් කරන්නේ ඉහත ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම අනවශ්‍ය වන බව නොව එමගින් අපගේ මෙම නිශ්චිත ප්‍රශ්නයට පිළිතුරු නොලැබෙනා බවයි.

මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීම සඳහා අප හෛඩගර්ගේ ම පසුකාලීන පැහැදිළි කිරීම මත පදනම් වන්නේනම් අපට ලැබෙන්නේ තරමක සරල චිත්‍රයකි. හෛඩගර් සිය මරණයෙන් පසුව පළ කිරීමේ එකඟතාවය මත ජර්මනියේ Der Spiegel සඟරාවට ලබා දුන් සම්මුක සාකච්ඡාවේදී හෛඩගර් මෙම අරමුණ පැහැදිළි කරයි. ඔහුට අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාල දේශපාලනය වෙත සම්බන්ධ වීමටයි – විවිධ විෂයන් යටතේ බෙදී වෙන් වී පැවති ජර්මානු බුද්ධිමය සමාජය එහි පදනම වෙත එකතු කිරීමටයි. විද්‍යාව යනු සියලු දැනුම් පද්ධතීන් එකතු කරනා පොදු බුද්ධිමය පදනමක් යන සම්ප්‍රදායික ජර්මන් අර්ථයෙන් ගත්විට හෛඩගර් හට අවශ්‍ය වූයේ, ඔහු ම කියනා පරිදි, එම පදනම ලබා දිය හැකි ආකාරයකට ජර්මානු විශ්වවිද්‍යාලය ප්‍රතිසංස්කරණය කිරීමටයි.

හෛඩගර් මෙම ‘පදනම’ හඳුන්වන්නේ විද්‍යාවේ සාරය ට (essence of science) අනුකූල ලෙස විශ්වවිද්‍යාලය යළි සකස් කිරීම යනුවෙනි. අනෙක් අතට මෙම තේමාව අපට හෛඩගර් ‘Being and Time’ කෘතියේ සිට රෙක්ටර් ධූර කතාව දක්වා අකණ්ඩව හඳුනා ගත හැකි තේමාවකි. ‘Being and Time’ භාෂාවෙන් කියන්නේනම් මෙමගින් අරමුණු කරන්නේ මූලධාර්මික සද්භාවවේදයක් වෙත විශ්ව විද්‍යාලය – සහ පොදුවේ අධ්‍යාපනය – ගෙන යාමටයි.

නැවතත් මෙහි දී පැහැදිළි කිරීමක් කළ යුතු වේ. මෙයින් අදහස් කරන්නේ හෛඩගර් ඔහු වෙත මේ නිල බලය ලැබුණු ආකාරය පිළිබඳව කිසිවක් නොදැන ඉතාම ‘අහිංසක’ ලෙස ඔහුට ලැබුණු තනතුර හරහා සිදු කිරීමට ගිය දේ විස්තර කිරීමට පමණක් උත්සාහ කරනා බව නොවේ. ඉතා පැහැදිළිව ඔහු වෙත මෙම ධූරය පිරි නැමුණේ නාට්සි ආණ්ඩුවේ නැග ඒම නිසාය. ඔහු හට මේ තනතුර ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ අනෙක් ආචාර්යවරුන්ගේ සහය හිමි වන්නේ ඔහු එම නව රජයේ හිතවතෙක් වීම කියන කරුණ නිසා බව යන්න කිසිවෙක් හට රහසක් නොවේ. ඔහු පැහැදිළිවම හිට්ලර්ගේ ජාතික සමාජවාදී ව්‍යාපාරය තුළ ‘අභ්‍යන්තර ශ්‍රේෂ්ඨත්වයක්’ (inner greatness) හඳුනාගෙන තිබුණි. මෙය හුදු තනතුරක් වෙනුවෙන් කළ උපක්‍රමික අදහස් දැක්වීමක් නොවන්නේ එම අදහස ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව ද ප්‍රකාශ කර ඇති නිසාය.

නමුත් අපට වැදගත් කරුණ වන්නේ මෙයයි: ඔහු සිය නිල කතාව තුළ අදහස් දක්වන අනාගතයේ ශ්‍රේෂ්ඨත්වය වෙත ළඟා වීමේ හැකියාව පදනම් වන්නේ ජාතික සමාජවාදී රජයේ ඉදිරි ක්‍රියාකාරකම් මත නොව ඔහු විසින් හඳුනාගෙන ඇති මෙම විද්‍යාවේ සාරය වෙත විශ්වවිද්‍යාල ගෙන යාම මත යි. මෙම නිශ්චිත කරුණේදී, හෛඩගර්ගේ පුද්ගලික විශ්වාසය අපට ප්‍රමුඛ වන්නේ එම නිසාය. අපට වැදගත් වන්නේ ඔහු විසින් මෙහි දී අරමුණු කරන ලද දෙයක් කුමක්ද කියා දැන ගැනීමයි.

එම අර්ථයෙන් ගත්විට, ඔහු විශ්වාස කරනා විශ්වවිද්‍යාලයේ අනාගත වර්ධනය සඳහා ජාතික සමාජවාදය යනු එක්තරා ආකාරයක බාධාවක්ද වෙයි. ඔහු පෙනී සිටින්නේ අධ්‍යාපනය හුදු රැකියාවක් කිරීමට, ප්‍රයෝජනවත් දෙයක් බවට පත්වීමට, රටට සේවය කිරීමට ආදී දේ වෙනුවෙන් ඌණනය කිරීමට එරෙහිවය. සාකල්‍යවාදී (totalitarian) පාලන තන්ත්‍රයන් යනු අධ්‍යාපනය මෙවැනි ආකාරයේ යාන්ත්‍රික මෙවලමක් බවට පත්කිරීමේ දෘෂ්ඨිවාදය වඩාත් ඉහළින් ක්‍රියාත්මක වෙන අවකාශ බව අපි දනිමු. එවැනි තැනකදී අධ්‍යාපනය යන්න වෙනුවෙන් හෛඩගර් පෙනී සිටීම පවත්නා ප්‍රධාන මතවාදවලට තරමක් එරෙහිව යන්නක් බව පැහැදිළි වේ. රෙක්ටර් ධූර කතාවේ එක්තරා උපක්‍රමික ආරක්ෂාකාරී බවක් අපට හඳුනා ගත හැකි වන්නේ මෙම නිශ්චිත කාරණය නිසාය.

ලකු-ලබාර්ත් පෙන්වා දෙන ලෙස ම හෛඩගර් දේශනයේ ‘ස්වයං-තහවුරු කිරීම’ යන අදහස සඳහා ඇති ජර්මන් වචනය වන ‘Selbstbehauptung’ යන්න ජර්මන් භාෂාව තුළ අපට, තවත් සරල ලෙස, ‘ආත්මාරක්ෂාව’ ලෙසද හඳුනා ගත හැකි වේ. හෛඩගර් වැනි චින්තකයෙක් ගේ භාෂා මැදිහත්වීම තුළ මෙවන් අර්ථයන් මග හැරී යාමට ඇති ඉඩ ඉතා ම අඩු වන බැවින් මෙය සිතාමතා කළ තෝරා ගැනීමක් යන්න වඩාත් සාධාරණ උපකල්පනයක් බව කිව හැක. එම අර්ථයෙන් හෛඩගර් ගේ මැදිහත්වීම යනු එක අතකින් විශ්වවිද්‍යාලය ආරක්ෂා කරමින් අනෙක් අතට එහි අනාගත විභවය තහවුරු කිරීමට ගන්නා උත්සාහයක් ලෙස නම් කළ හැකි වේ. මේ සඳහා ඔහු උත්සාහ කරන්නේ ජර්මන් සමාජයේ ඇති වෙමින් පවත්නා පොදු සමාජ ‘විප්ලවයේ’ පරාමිතීන් වලට හානි නොවන ලෙස විශ්වවිද්‍යාල ස්වාධීනත්වය තහවුරු කළ හැකි බව පෙන්වා දීම යි.

ලකු-ලබාර්ත්ගේ මූලික තර්කය අපට හමු වන්නේ මෙතැනදීය. ඔහුට අනුව හෛඩගර් චින්තනය තුළ දර්ශනය සහ දේශපාලනය හමුවන ලක්ෂ්‍යය අපට හඳුනා ගත හැකි තැන වන්නේ මෙයයි.

 

මතු සම්බන්ධයි

වංගීස සුමනසේකර

 

 

 

***