H A Karunaratne 2

 

පහතින් පළ වන්නේ ෆිලීප් ලකු-ලබාර්ත් (Philippe Lacoue-Labarthe) නම් ප්‍රංශ චින්තකයාගේ “Transcendence Ends in Politics” (‘අනුභූතිඋත්තරත්වය අවසන් වන්නේ දේශපාලනයෙනි’) නම් රචනය පිළිබඳව කෙටි හැඳින්වීමක දෙවන කොටසයි (පළමු කොටස මෙතැනින්). දර්ශනය සහ දේශපාලනය අතර සම්බන්ධය පිළිබඳව තරමක් ගැඹුරු කතා බහක් ඇති කරගැනීම දේශපාලනය පිළිබඳව දාර්ශනික උනන්දුවක් තිබෙනා අයට ඉතාමත් වැදගත් වෙයි. සාමාන්‍යයෙන් අප සිතන්නේ දේශපාලනය ගැන අවබෝධය වඩාත් හොඳින් තිබෙන්නේ වඩාත් ගැඹුරින් සිතිය හැකි චින්තකයන් හට බවයි. නමුත් පසුගිය කාලයේ මෙරට දේශපාලනයේ බුද්ධිමය සංවාදය පිළිබඳව අවබෝධයක් ඇති ඕනෑම කෙනෙක් මෙම සරල නිගමනයේ ඇති අර්බුධය වටහා ගැනීමට සමත් වනු ඇත. මෙම අර්බුධය වටහා ගැනීම සඳහා මාටින් හෛඩගර් සහ නාට්සි ව්‍යාපාරය අතර සම්බන්ධය – ඉහළම ගණයේ චින්තකයෙක් සහ බිහිසුණු ලෙස හානිදායක වූ දේශපාලන ව්‍යාපාරයක් අතර සම්බන්ධය – තරම් වැදගත් ඓතිහාසික නිදර්ශනයක් තිබිය නොහැකිය. දාර්ශනික/න්‍යායික සංකල්ප ඇසුරින් දේශපාලනය ගැන සිතීමට උනන්දු වන ඕනෑම කෙනෙක් මෙම ඓතිහාසික අත්දැකීමේ ප්‍රතිවිඵාක ගැන සිතිය යුතු වෙයි.

***

හෛඩගර් සිය ආන්දෝලනාත්මක ‘රෙක්ටර් ධුර කතාව’ආරම්භ කරන්නේ සිය නව තනතුරේ වගකීම පිළිබඳව අදහසක් ප්‍රකාශ කරමිනි. මූලික වශයෙන් එහි තිබෙනා ප්‍රධාන වගකීම වන්නේ විශ්ව විද්‍යාලයට, එහි ශිෂ්‍යයන්ට සහ ආචාර්යවරුන්ට ‘අධ්‍යාත්මික නායකත්වය’ (‘spiritual leadership’) ලබා දීම තුළයි. මේ සඳහා අවශ්‍ය වන්නේ විශ්ව විද්‍යාලය එහි මූලය වෙත කැඳවාගෙන ගොස් එහි පදනම ශක්තිමත් ලෙස ස්ථාපිත කිරීම මගිනි. මෙවැන්නක් කළ හැකි වන්නේ එම ක්‍රියාවලියේ නායකත්වය, පොදු ජර්මන් ජනයා සිය ඉතිහාසයේ මුද්‍රාව පෙන්වා සිටීමට බල කර සිටින අධ්‍යාත්මික ව්‍යාපාරය අනුගමනය කරන්නේනම් පමණි. තරමක් සරල ආකාරයකට අපට හෛඩගර් ගේ අදහස මෙලෙස සාරාංශ කළ හැක: ජර්මන් ජනයා සිය ඓතිහාසික දෛවය වෙත ගමන් කරමින් සිටිනා අතර එම ගමනේ කොටස්කරුවෙක් වීම මගින් විශ්වවිද්‍යාලයේ නායකත්වයට – මෙහිදී හෛඩගර් හට – විශ්ව විද්‍යාලය එහි මූලික පදනම තුළ ස්ථාපිත කිරීමට ඉඩ හිමි වේ. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සහ එහි ගුරුවරුන් එම අනාගතය වෙත රැගෙන යා හැකි වන්නේ මේ මගින් පමණි.

ලකු-ලබර්ත් පෙන්වා දෙන පරිදි, අවසන් විග්‍රහයේදී, මෙහි තිබෙන්නේ හෙජමොනිය පිළිබඳව අදහසයි. හෛඩගර් මෙහිදී යොදනා ‘Fuhrung’ (‘මගේ පෙන්වීම’) යන ජර්මන් වචනය ලකු-ලබර්ත් අර්ථකථනය කරන්නේ මෙසේය. සාමාන්‍යයෙන් මෙම වචනය අප බොහෝ ගැටලුකාරී වචනයක් ලෙස තේරුම් ගැනීමට නියමිතව තිබෙන්නේ එය ‘Fuhrer’ නම් වචනයේ තවත් ව්‍යාකරණමය ස්වරූපයක් වන නිසාය. ‘Fuhrer’ යනුවෙන් හැඳින්වූයේ ජාතික සමාජවාදී පක්ෂ නායක හිට්ලර් ව බව අපි දනිමු. එම අර්ථයෙන් එම වචනය අපට බොහෝ අපහසු වචනයක් වන බව පැහැදිළි වෙයි. නමුත්, ලකු-ලබර්ත් පෙන්වා දෙන පරිදි, මෙම නිශ්චිත සන්දර්භයේදී හෛඩගර් ගේ මෙම උපක්‍රමික තෝරා ගැනීම වඩා පුළුල් ලෙස අර්ථ ගන්වා ගැනීමට අපට එමගින් නොහැකි වන්නේ නැත. හෛඩගර් උත්සාහ කරන්නේ මෙම නායකත්වය පිළිබඳව ඇති පොදු වචනය ඔහුගේ අරමුණ වෙනුවෙන් යොදා ගැනීමටයි – විශ්ව විද්‍යාලයේ බුද්ධිමය නායකත්වය නම් කිරීමට යොදා ගැනීමටයි.

දැන්, ප්‍රශ්නය වන්නේ ජර්මන් ජනයාගේ ඓතිහාසික දෛවය, ඔවුන්ගේ අධ්‍යාත්මික අරමුණ (spiritual mission) වන්නේ කුමක්ද සහ එයට විශ්ව විද්‍යාල වල ස්වයං-තහවුරු වීම මගින් සිදු වන්නේ කුමක්ද යන්නයි. විශ්ව විද්‍යාලයේ ස්වයං-තහවුරු වීම යනුවෙන් හෛඩගර් අදහස් කරන්නේ විශ්ව විද්‍යාලයේ පදනම වෙත, එහි සාරය වෙත එය සාමූහිකව ගමන් කිරීම වේ. විශ්ව විද්‍යාලයේ එම සාරය ලෙස ඔහු හඳුනා ගන්නේ ජර්මන් ජනතාවගේ දෛවය ආරක්ෂා කරන සහ එය වෙත ඔවුන් කැඳවාගෙන යාමට නායකත්වය දෙන අයව පුහුණු කිරීම සහ ශික්ෂණය කිරීමයි. එය කරන්නේ විශ්ව විද්‍යාලයේ ඇති විද්‍යාව පදනම් කරගෙනයි. නැවතත් මතක තබා ගත යුත්තේ හෛඩගර් මෙහිදී විද්‍යාව යනුවෙන් අදහස් කරන්නේ මූලධාර්මික සද්භාවවේදය යන්න බවයි. එසේත් නැතිනම්, සද්භාවවේදය යනු ‘පැවැත්ම පිළිබඳව පැවැත්ම ලෙස කතා කරනා විද්‍යාව’ (science of being qua being) යන ඇරිස්ටෝටලියානු අර්ථයෙන් ගත්විට අපට හමුවන පළමු විද්‍යාවයි.

සද්භාවවේදී ප්‍රශ්නය හෛඩගර් ට අනුව කෙතරම් කේන්ද්‍රීය වන්නක් ද කියා අපි හොඳින් දනිමු. එම අර්ථයෙන් ජර්මන් ජනයා වෙත නියමිතව තිබෙනා ඓතිහාසික කාර්යභාරය ලෙස හෛඩගර් හඳුනා ගන්නේ කුමක්ද යන්න අපට පැහැදිළි වේ. ඒ තමයි මෙම විද්‍යාව ගොඩ නගන ජාතිය බවට පත්වීම. විශ්ව විද්‍යාලය යන්න අවශ්‍ය වන්නේ ජර්මන් ජනයා ගේ මෙම දෛවය වෙත ඔවුන්ව කැඳවාගෙන යාමටයි. ජර්මන් ජනයාගේ අධ්‍යාත්මික අරමුණ වන්නේ මෙයයි. මේ ඉදිරි පියවර සඳහා අත්‍යවශ්‍ය වන ජර්මන ජනයාගේ සහ විද්‍යාවේ එකතු වීම සිදු වන්නේ විශ්ව විද්‍යාලය මගින් පමණි.

හෛඩගර් ගේ රෙක්ටර් ධුර කතාවේ මූලික යෝජනාවන් තේරුම් ගැනීම, මේ අනුව, අපට අපහසු නොවේ. එහිදී ඔහු සමාජයේ ශ්‍රම විභජනය පිළිබඳව ඉදිරිපත් කරන අදහස වන්නේ එය වැඩ කරන්නන්ගේ සේවය (work service), ආරක්ෂක සේවය (military service) සහ දැනුමේ සේවය (knowledge service) ලෙස කොටස් තුනකට වෙන් කළ හැකි බවයි. මෙහි පළමු අවස්ථාවන් දෙක, අවසානයේදී යටත් වන්නේ තුන්වැනි අවස්ථාවටයි. වෙනත් ආකාරයකට කියන්නේනම් වඩා වැදගත් වන්නේ දැනුමේ සේවයයි – සත්‍යයේ සේවයයි. විශ්ව විද්‍යාලය නව ආකාරයකට ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාවය ඇති වන්නේද මෙම නිසාය. මේ සියල්ලේ අවසාන අරමුණ වන්නේ ‘අපගේ’ – එනම්, ජර්මන් ජනයාගේ – අධ්‍යාත්මික පැවැත්මේ මූලික සිදුවීම බවට විද්‍යාව පත්කිරීමයි. මෙම අදහස අපට Being and Time භාෂාවට ඉතාම ඉක්මනින් හරවා ගැනීමට ද හැකිය: පැවැත්ම පිළිබඳව අපට තිබෙනා ප්‍රශ්නය අපගේ පැවැත්මේ ප්‍රධාන ප්‍රශ්නය බවට අප පත් කරගත යුතු වේ.

නැවතත් මතක් කළ යුත්තේ හෛඩගර් ගේ මෙම දේශනය සිදු කරන්නේ ඔහු යටතේ දර්ශනය ඉගෙන ගන්නා සිසුන් හට නොවේ. ඔහු මෙය සිදු කරන්නේ පරිපාලකයකු ලෙස සිදු කරනා දේශපාලන කතාවක් ලෙසයි. මෙම රචනය පුරා ‘විද්‍යාව’ යන වචනය ප්‍රමුඛ වන්නේ එම නිසාය. නමුත් ඔහු විද්‍යාව යනුවෙන් මෙහිදී, අවසන් අර්ථයෙන් අදහස් කරන්නේ, දර්ශනය බව ඉතාමත් පැහැදිළි වනවා පමණක් නොව, එය එලෙස වන බව ඍජුවම ප්‍රකාශ කර සිටියි: “සියලු විද්‍යාවන් යනු දර්ශනයයි – ඒවා මේ කරුණ දැන සිටියත්, නැතත්, මේ කරුණ පිළිගත්තත්, නැතත්”.

මෙම අර්ථයෙන් ගත්විට, විද්‍යාව යන්න ප්‍රථම වරට ආරම්භ වන්නේ ග්‍රීකයන් සමග කියා අපි දනිමු. හෛඩගර් සඳහන් කරනා පරිදි, අපගේ පැවැත්මෙන් මදක් ඉහළට හිස ඔසවා අප අවට පවත්නා දේ පිළිබඳව සිතා බැලීමට, ඒවා පවත්නා ආකාරය කුමක්ද කියා සිතා බැලීමට සහ ඒවා පැවතීමට හේතුව කුමක්ද කියා සිතා බැලීමට ප්‍රථම වරට උත්සාහ කරන්නේ ග්‍රීකයන් වේ. මෙම කරුණ විවේචනය කළ හැකි වුවත් – නිදර්ශනයක් ලෙස පශ්චාත් යටත්විජිතවාදී දෘෂ්ඨියෙන් – එය නිශ්චිත ලෙසම ජාතිවාදී ප්‍රකාශයක් නොවන බවට සැකයක් නොමැති වේ. නිදර්ශනයක් ලෙස මේ හා සමාන අදහස් ඇති නමුත් කිසි සේත්ම නාට්සිවාදයට සම්බන්ධ වනවා කියා කිසිවෙක් සැක කරන්නේ නැති සමකාලීන චින්තනකයන් අපට හඳුනා ගත හැක.

විද්‍යාව පිළිබඳව මෙම අදහසේ ඇති තීරණාත්මක ලක්ෂණයක් වන්නේ එය මිනිසා ගේ – හෛඩගර් යොදා ගන්නා ‘ඩාසයින්’ යන වචනය වෙනුවට මෙහිදී, කියවීමේ පහසුව වෙනුවෙන්, ‘මිනිසා’ යන්න යොදා ගැනෙයි – අනුභූතිඋත්තරත්වය සමග සමපාත වීමයි. හෛඩගර් ගේ දර්ශනය තුළ ‘ලෝකය’ යනුවෙන් අදහස් කරන්නේ මේ ලෝකයේ පවත්නා සියලුම දේවල් වල එකතුව නොවේ. ඉතාමත් සරල ලෙස ‘ලෝකය’ යනු අපට අත්දැකිය හැකි ආකාරයේ සියලු දේ අපට ලබා දෙන ‘පසුබිමයි’. නමුත් මෙහිදී පසුබිම යනුවෙන් අදහස් කරන්නේ අප සාමාන්‍යයෙන් ‘අවකාශය’ ලෙස තේරුම් ගන්නා, සියල්ල ඇතුලත්ව තිබෙනා ‘හිස් ඉඩක්’ යන්න නොවේ. එවැනි ‘හිස් ඉඩක්’ වුවත් අපට හඳුනා ගත හැක්කේ ‘යමක්’ ලෙස පමණි. නමුත් මේ ආකාරයේ අවකාශයක් වුවත් ඇති වන්නේ ඇයි? කිසිවක්ම නොපැවතීම වෙනුවට විවිධ දේවල් පැවතිය හැකි හිස් අවකාශයක් අපට හමු වන්නේ ඇයි? එවැන්නක් ඇති වීමට, මේ සියල්ල, හිස් අවකාශයද ඇතුළුව, අපට ලබා දෙන ‘පසුබිමක්’ තිබිය යුතු වේ. එම පසුබිම යනු මේ ලෝකයේ පවත්නා තවත් එක පැවැත්මක් නොවන නිසා අපට එය කිසිදා අත්දැකිය නොහැකි වන්නකි. එය අනුභුතිඋත්තර වනවා කියා හෛඩගර් කියන්නේ මෙම නිසාය. හෛඩගර් ‘ලෝකය’ යනුවෙන් හඳුන්වන්නේ මෙයයි.

අනෙක් අතට, එවැන්නක් ඇති විය හැක්කේ මිනිසා වැනි පැවැත්මක් නිසා පමණි. එම අර්ථයෙන්, මිනිසා යනුද ලෝකයේ ඇති පැවැත්මවල් ඉක්මවා යන පැවැත්මකි. අපට ලෝකය පිළිබඳව සිතීමේ හැකියාව මෙන්ම, එයට වඩා පුළුල් අරුතින්, පැවැත්ම පිළිබඳව සිතීමේ හැකියාව තිබෙන්නේ මෙම ‘ඉක්මවා යාම’ නිසාය. හෛඩගර් විසින් අනුභූතිඋත්තරත්වය යනුවෙන් නම් කළේ මෙයයි. දැන්, හෛඩගර් ට අනුව ග්‍රීකයන් විසින් ප්‍රථම වරට සබුද්ධික ලෙස වර්ධනය කරන්නේ මෙම හැකියාව වේ. ලෝකයේ පවත්නා පැවැත්මක් ලෙස හිඳිමින්ම එම පැවැත්ම ඉක්මවා ගොස්, තමන් දෙසම නැවත හැරී බැලීමේ හැකියාව තිබෙන්නේ ඩාසයින් වෙතයි. මෙම පරිමිත අනුභූතිඋත්තරත්වය යනු හෛඩගර් මෙහිදී විද්‍යාව යනුවෙන් අදහස් කරනා දෙය සඳහා ලබා දිය හැකි සරලම පැහැදිළි කිරීමයි.

මේ අදහස අපට 1927 පළ වන Being and Time කෘතියේ සිට 1933 රෙක්ටර් ධූරය බාර ගැනීමේ කතාව දක්වා අකණ්ඩව නිරීක්ෂණය කළ හැකිය. මේ සඳහා ලකු-ලබාර්ත්, නිදර්ශන ලෙස, මේ අතර කාලය තුළ පළ වූ ලිපි කීපයකින් සාක්ෂි සපයයි. මේ සියල්ලෙහිම, අවසානයේදී, අපට හමු වන්නේ එක මූලික අදහසකි. මිනිසා යනු පැවැත්මල් අතරට වීසිකර තිබෙනා පැවැත්මකි. එනිසාම එය පරිමිත පැවැත්මක් වේ. නමුත් මේ පරිමිතත්වය සමගම වුවත්, එය වටා ඇති අනෙකුත් පැවැත්මවල් ඉක්මවා යාමේ හැකියාවක් මිනිසා වෙත තිබේ. එනිසා පැවැත්ම පිළිබඳ ගැටලුව නිරාවරණය වන්නේ මිනිසාටයි. එනිසාම මිනිසාගේ පැවැත්ම අපට සමස්තයක් ලෙස ග්‍රහණය කර ගත හැක්කේ මේ දැනුම වෙත ඇති අනුරාගය, පැවැත්ම පිළිබඳව දැනුම ලබා ගැනීමට ඇති අනුරාගය, මගින් පමණි. නමුත් මෙහිදී මිනිසා යනුවෙන් අදහස් කරන්නේ තනි ඩාසයින් වැනි පැවැත්මක් පමණක් නොව ‘ජනතාව’ ලෙස මෙන්ම බටහිර සම්ප්‍රදාය ලෙසද හැඳින්විය හැකි පැවැත්මකි. ග්‍රීකයන් යනු මේ මූලධාර්මික ක්‍රියාවලිය වන විද්‍යාව – එනම් මෙම පාරභෞතික වාදය – ආරම්භ කළ ප්‍රජාවයි.

නමුත්, මෙතන තිබෙනා ප්‍රධාන ප්‍රශ්නය වන්නේ හෛඩගර් විසින්, මෙම ග්‍රීකයන්ගෙන් ආරම්භ වූ විද්‍යාව, මෙම පාරභෞතිකවාදය, ඉදිරියට ගෙන යා හැකි ප්‍රජාව ලෙස ජර්මන් ජනයා හැඳින්වීමයි. රෙක්ටර් ධුර කතාවෙන් වසර දෙකකට පමණ පසුව ඔහු අතින් ජර්මන් ජනයා හැඳින්වෙන්නේ අන් සියලු ප්‍රජාවන්ට වඩා පාරභෞතික වන ප්‍රජාව (metaphysical community)  යනුවෙනි. මෙහිදී අප, පළමුවෙන්, තරමක් සංකීර්ණ සිංහල භාෂා ගැටලුවක් නිරාකරණය කළ යුතුය. පාරභෞතිකවාදය (‘metaphysics’) යන වචනය සඳහා තිබෙන තරමක් ජනප්‍රිය වැරදි වැටහීමක් වන්නේ එය ‘සැබෑ ලෝකය ගැන මනසින් මවා ගන්නා වැරදි චිත්‍රයක් – මනස්ගාතයක්’ යන්නයි. මෙය දර්ශනය තුළ ‘පාරභෞතිකවාදය’ යන අදහස යෙදෙන ආකාරයට මුළුමනින් ප්‍රතිවිරුද්ධ අර්ථයකි. දර්ශනය තුළ, පොදුවේ ගත්විට, පාරභෞතිකවාදය යනුවෙන් අදහස් කරන්නේ, යථාර්ථය සකස් වී ඇති සැබෑ ව්‍යූහයන් හඳුනා ගැනීමේ දර්ශනවාදයන් වේ. නූතන දර්ශනය තුළ මෙවැනි හැකියාවන් පිළිබඳව තබා ඇති විශ්වාසය බොහෝ පලුදු වී තිබෙන්නේ වුවත්, එමගින් අදහස් කරන්නේ මේ වචනය මගින් ‘මනස්ගාත’ හැඳින්වෙනවා යන්න නොවේ. ඒ වෙනුවට ජර්මන් ජනයා ‘පාරභෞතික ප්‍රජාවක්’ කියා හඳුන්වන විට, එමගින් අදහස් කරන්නේ, සරල ලෙස, දර්ශනයේ ගැඹුරුම මානය වෙත ගමන් කිරීමට එම ජනයාට විශේෂ හැකියාවක් ඇති බවයි – ඔවුනගේ ‘චින්තනය’ මගින් එවැනි අවබෝධයක් වෙත යාමට එම ජනයාට විශේෂ වරප්‍රසාදයක් දෙන බවයි.

දැන්, මෙම පියවරේදී අපට මේ වනවිටත් සංකීර්ණ ලෙස පෙනෙන්නට තිබෙන ‘යුරෝකේන්ද්‍රවාදයක්’, කිසිදු ආකාරයකින් යුක්තියුක්ත කිරීමට නොහැකි ජාතිකවාදයක් දක්වා ඇද වැටීම හඳුනා ගැනීම කළ හැකි වේ. බැලූ බැල්මට හෛඩගර් අතින් සිදු වන්නේ සිය දාර්ශනික ස්ථාවරයන් දේශපාලනික විශ්වාසයන් වෙතට යටපත් කිරීමයි.ලකු ලබාර්ත් මෙම අර්ථකථනය ප්‍රතික්ෂේප කරන්නේ නැත. මෙවැනි නිගමනයක් සාධාරණීකරණය කිරීම සඳහා අපට අවශ්‍ය සාධක පෙන්වා දීම අපහසු නොවේ.

නමුත් මෙහි ප්‍රතිපක්ෂය ද මේ ආකාරයටම සත්‍ය වන බව අපට ප්‍රතික්ෂේප කළ නොහැකි වේ. එනම්, හෛඩගර් උත්සාහ කරන්නේ ඔහුගේ දාර්ශනික අරමුණ වෙනුවෙන් දේශපාලනය යටපත් කිරීමටයි කියා කෙනෙක් ට මෙම ක්‍රියාවලිය අර්ථකථනය කිරීම කළ හැකි වේ. තරමක් සරල ආකාරයකින් අපට මෙම අදහස මෙලෙස පැහැදිළි කළ හැක: හෛඩගර් උත්සාහ කරන්නේ ඔහුගේ දාර්ශනික ව්‍යාපෘතිය යටතට ජර්මන් ජාතිය ගෙන ඒමටයි – ඔහුගේ දර්ශනය යථාභූත කළ හැකි ක්‍රියාධරයන් බවට ජර්මන් ජනයා වෙත අවශ්‍ය පුහුණුව සහ නායකත්වය ලබා දීමටයි.

ලකු-ලබාර්ත් ට අනුව, හෛඩගර් ගේ රෙක්ටර් ධූර කතාව තුළ ‘ලෝකය’ පිළිබඳ අදහස වෙත ඇති විශේෂ අවධානය ඇසුරින් මේ දෙවැනි කියවීම වෙත තරමක බරක් තැබීමට අපට හැකියාවක් ලැබේ. හෛඩගර් මෙහිදී කරනා ප්‍රධාන යෝජනාවක් වන්නේ විද්‍යාව විසින් ජර්මන් ජනතාව වෙත ලෝකයක් නිර්මාණය කර දෙනු ඇති බවයි. ඔහු එය නම් කරන්නේ ‘අධ්‍යාත්මික ලෝකයක්’ (‘spiritual world’) කියාය. දේවල් ඔහේ සිදු වීමට ඉඩ දීම සහ ශ්‍රේෂ්ඨත්වය ප්‍රාර්ථනා කිරීම අතර ඇති නිරන්තර තීරණය ගැනීමට අපට ඉඩ දෙනු ඇත්තේ මෙවැනි ලෝකයක් බව හෛඩගර් ප්‍රකාශ කරයි. ජනයාගේ අනාගත ඉතිහාසය වෙත යන ජයමග තිබෙන්නේ මෙම ලෝකයේ ඇති මෙම බෙදීම මතයි.

සැකයකින් තොරවම ‘ජනයා අනාගත ඉතිහාසය වෙත යන ජයමග’ පිළිබඳ ප්‍රකාශයන් තුළ මිලිටරි රූපක හඳුනා ගැනීමට හැකි වේ. නමුත් Being and Time කියවන්නන් ලෙස මේ සඳහා අපට ලබා දිය හැකි එකම අර්ථකථනය මෙය නොවන බව අපි දනිමු. මේ තිබෙන්නේ හුදු රණකාමී දේශපාලන කතාවක් පමණක් නොවේ. ‘ලෝකය’ යනු හෛඩගර් ගේ දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පයකි. ලෝකය යනු අනුභූතිඋත්තරත්වය මගින් පෙන්වා දෙන දෙයයි, ඩමිනිසා ගේ හැකියාවන් ප්‍රක්ෂේපණය කරන දෙයයි, පවත්නා දේ වෙත සම්බන්ධ විය හැකි පූර්ව කොන්දේසියයි. එම අර්ථයෙන් ගත්විට හෛඩගර් විසින් ජර්මන් ජනයා සතු විශේෂ පාරභෞතික හැකියාවක් පිළිබඳව අදහස් හරහා ප්‍රකාශ කරන්නේ, අවසන් අර්ථයේදී, හෛඩගර් ගේ දර්ශනයේ අවසන් අරමුණු වෙත එම ජනයා රැගෙන යාමට කෙරෙනා උත්සාහයකි.

මිනිසා හට ස්වකීයත්වය ලබා ගත හැක්කේ ලෝකය නමැති සිතිජය තිබෙන්නේනම් පමණක් බව හෛඩගර් ගේ මූලික අදහසකි. අපගේ වියහැකිභාවයන් ප්‍රක්ෂේපණය කළ හැකි වන්නේ ලෝකය මතයි. අපට අපගේ පැවැත්මේ සමාරම්භක හිස්තැන වෙත යාමට හැකි වන්නේ ලෝකය මගින් අපගේ විභවාත්මක පැවැත්ම පෙන්වා දෙන නිසාය. අප ලෝකය-තුළ-පැවැත්මක් වන්නේ නොමැතිනම් අපගේ පැවැත්ම වෙත අර්ථයක් නොමැති වේ. අපට අනෙක් දේ සමග සම්බන්ධ විය හැකි වන්නේ මේ ආකාරයේ ලෝකයක් තුළ අප සිටිනා නිසාය. ‘මම’ සහ ‘ඔබ’ යනුවෙන් වෙන් කිරීමක් කිරීමට අපට හැකි වන්නේ මෙම නිසාය. මෙහි තීරණාත්මක ප්‍රතිඵලයක් වන්නේ, ලකු-ලබාර්ත් අපට මතක් කර දෙන ලෙස, ඩාසයින් වෙත සාමූහික පැවැත්මේ වියහැකිබව, එක්ව-පැවැත්මේ වියහැකිබව, ප්‍රජාවේ වියහැකිබව අපට හෙළි කරන්නේද, එම හැකියාවේ පූර්ව කොන්දේසිය වන්නේ ද, ලෝකයයි.

මෙම අදහසේ ප්‍රතිවිඵාක අපි මීළඟට විමසා බලමු.

වංගීස සුමනසේකර

 

***