Semyon Chuikov - Daughter of Soviet Kyrgystan1

අනන්ත එදිරිසූරියගේ තුන්වැනි සටහන් පොතේ එන පහත සටහන හමු වන්නේ 2017 වසරේ දෙසැම්බර් 3 වැනි දිනය යටතේ ය. එම නිසා මෙය අප මෙහි පළ කළ සටහනට (එම සටහන මෙතැනින්) පසුව ලියවූ සටහන ලෙස – එසේත් නැත්නම් එයට පසුව ලියූ සටහන් අතරින් එකක් ලෙස – මෙය හඳුනා ගත හැකිය. මෙහි ආකෘතිය අනුව මෙය අනන්ත ගේ දිගු කාලීන ලියුම් හුවමාරුකාරිය වූ ‘ආන්‍යා’ වෙත ලියා ඇති දෙයක් බව සැක කිරීමට හැකි වුවත් එය තහවුරු කිරීමට නොහැකි වන්නේ රචනයේ ඇති පුද්ගලික-නොවන ආඛ්‍යාන ශෛලිය නිසාය. මෙයට පෙර සටහනේදී මෙන්ම මෙහිදීත් ඔහු සාකච්ඡා කරනා බව පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සඳහා දාර්ශනික පදනම් නිර්මාණය කිරීමේ අභියෝගයයි. මැතිවරණයත් සමග ඇති ව ඇති දේශපාලන උනන්දුව සඳහා “බව” එකතු කිරීමක් ලෙස මේවා සංස්කරණය කිරීමකින් තොරව මෙහි පළ කරමු.

***

අවසන් සටහනින් මා ගෙන ආ මූලික අදහස වූයේ දර්ශනය ආරම්භ වීම සඳහා ‘පැවැත්ම’ පිළිබඳව කතිකාව සහ ‘වටිනාකම්’ (values) පිළිබඳව කතිකාව අතර කණ්ඩනයක් ඇති විය යුතු බවයි. ආගම යනු මේ කතිකාවන් දෙක එකට එකතු කරනා කතාන්දරයකි. එනිසාම එහිදී වටිනාකම් – යහපත, යුක්තිය, සත්‍යය ආදී ලෙස – සඳහා පරම වූ වලංගුබවක් තිබේ. නමුත් මේ කතිකාවන් දෙක වෙන් වීමේ ප්‍රතිඵලය වන්නේ වටිනාකම් සඳහා තවදුරටත් සද්භාවවේදී පදනමක් නොමැති වීමයි. දර්ශනය යනු කුමක්ද යන ප්‍රශ්නයට දිය හැකි එක පිළිතුරක් වන්නේ මෙම කතිකාවන් දෙක සබුද්ධික ලෙස යළි එකතු කිරීමේ හැකියාව/නොහැකියාව පිළිබඳව කෙරෙනා සංවාදයක් යන්නයි.

මෙම එකතු කිරීම සඳහා ග්‍රීකයන් යෝජනා කළ ‘විශ්වය’ (‘Cosmos’) යන්න බිඳ වැටීම – මෙය බිඳ වැටෙන්නේ නූතන විද්‍යාව හරහාය – සහ රොමෑන්ටිකවාදයේ ‘ස්වභාව ධර්මය’ (‘Nature’) යන්න අසාර්ථක වීමට පසු මෙවැනි එකතු කිරීමක් සාර්ථක වන්නේ 18 වැනි සියවසේ අවසානයෙදී වර්ධනය වූ ‘ඉතිහාසය’ (History’) පිළිබඳව අදහස තුළයි. දීර්ඝ ලෙස විස්තර කළ යුතු දෙයක්, අපේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉතාම සංක්ෂිප්ත කළොත් මෙහි මූලික අදහස මෙවැන්නක්. තනි තනි පුද්ගලයන් ගේ අරාජික ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් විදියට මේ තනි ක්‍රියාකාරිත්වයන් ඉක්මවා ගිය පොදු අරමුණක් – අභිප්‍රායක් (will) – නිර්මාණය වේ. මෙම ‘ඉතිහාසයේ අරමුණ’ හරහා අපව නැවතත් යුක්තිය වෙත රැගෙන යනු ඇත. ලයිබ්නීට්ස් ගේ සිට හේගල් දක්වා දාර්ශනිකව වර්ධනය වූ මෙම අදහස පරිසමාප්තියට පත්වන්නේ ආර්ථිකවාදය (Economism) තුළයි. ආර්ථිකය හරහා සියලු දෙනාට අවසානයේ යුක්තිය ඉටු වේ කියා – දුක් මහන්සි වී වැඩ කර පොහොසතෙක් විය හැකිය කියනා දෘෂ්ඨිවාදය – විශ්වාස කරන ලිබරල් වාදය එක අතකින් සහ ආර්ථිකයේ අනිවාර්ය ස්වයං-කඩා වැටීමක් හරහා කොමියුනිස්ට් සමාජය බිහි වී මානව විමුක්තිය උදා වේ කියා විශ්වාස කළ මාක්ස්වාදය යනු මෙම පොදු දාර්ශනික සුසමාදර්ෂයේ කොටස් ය.

අප අද ජීවත් වෙන්නේ ‘පැවැත්ම’ සහ ‘වටිනාකම්’ එකතු කිරීමට උත්සාහ කළ මේ තුන්වැනි දාර්ශනික යුගයේ අවසානය තුළයි. තවදුරටත් ‘ඉතිහාසය’ යන්න මිනිසා සඳහා ‘යහපත’ සහ ‘යුක්තිය’ උදා කරදෙන සද්භාවවේදී පදනම ලෙස පිළිගැනීමට අපට හැකියාවක් නොමැත. පසුගිය සියවස් එකහමාර තුළ අපට පෙන්වා දෙන මූලික අදහසක් වන්නේ ලිබරල්වාදය මගින් යෝජනා කරනා ලෙස ආර්ථිකය අනිවාර්ය සාධාරණත්වය ඉටු කිරීමට මුළුමනින් අපොහොසත් වනවා යන්න මෙන්ම, මාක්ස්වාදය මගින් යෝජනා කළ ආර්ථිකයේ ස්වයං-කඩාවැටීම හරහා බිහි වන නව සමාජ ක්‍රමය යන්නද අනිවාර්යතාවයක් නොමැති බවයි. නැවතත්, ‘පැවැත්ම’ සහ ‘වටිනාකම්’ අතර කතිකාව වෙන් වී තිබේ (ජාතික චින්තනවාදය යනු මෙම වෙන් වීම ලංකාවේ වඩාත් හොඳින් පෙන්වා දුන් විතණ්ඩවාදී [sophistic] ව්‍යාපාරයයි).

අප ජීවත් වන්නේ අපගේ පැවැත්ම සඳහා අනිවාර්යතාවයක් ලබා දෙන කිසිදු බලවේගයක් පිළිබඳව – ‘විශ්වය’, ‘ස්වාභා ධර්මය’, ‘ඉතිහාසය’ – දාර්ශනික විශ්වාසයක් තැබීමට නොහැකි පසුබිමකයි. ඒ වෙනුවට නූතන දේශපාලනය, නූතන විද්‍යාව මෙන්ම නූතන කලාවත් අපට පෙන්වා දෙන්නේ මෙම අනිවාර්යතාවය පිළිබඳව විශ්වාසය මුළුමනින් පදනම් විරහිත වන බවයි. මෙවැනි සන්දර්භයක් තුළ ‘නුදුරු අනාගතයේ එන විප්ලවයක්’ පිළිබඳව කිසිදු සහතිකයක් අපට හිමි වන්නේ නැත. ඒ වෙනුවට අපට තිබෙන්නේ සියලු ආකාරයේ සමාජ යුක්තිය පිළිබඳව බලාපොරොත්තු බිඳ වැටීමයි.

මෙතනදී අපිට මූලික අභියෝග දෙකක් තිබේ. පළමුවෙන් තිබෙන්නේ ‘පැවැත්ම’ පිළිබඳව කතිකාව යළි සලකා බැලීමේ කොන්දේසි විමසා බැලීමයි. කාන්ට් ට සහ හෛඩගර් ට පසුව අපට පැවැත්ම පිළිබඳව කතිකාව යළි සලකා බැලිය හැකිද? විශේෂයෙන්ම ඩෙරීඩියානු විසංයෝජනයට පසුව අපට පාරභෞතික නොවන ආකාරයෙන් පැවැත්ම පිළිබඳව සාකච්ඡා කළ හැකිද? අපේ පළමු අභියෝගය වන්නේ මෙයයි. මේ සඳහා සමකාලීන දර්ශනයේ විවිධ උත්සාහයන් තිබෙනා බව අපි දනිමු. බදියූ ගේ ගණිතමය සද්භාවවේදය, ජිජැක් ගේ නව හේගලියානුවාදය, මෙයසූ ගේ සමපේක්ෂී භෞතිකවාදය, හාමන් ගේ වස්තුව වෙත දිශානත සද්භාවවේදය (object oriented ontology) ආදී ලෙස මෙයට නිදර්ශන තිබේ. විශේෂයෙන්, මා සිතනා ආකාරයට, අප මෙහිදී උනන්දු විය යුත්තේ දේශපාලන යුක්තිය පිළිබඳව අදහසට – මාක්ස්වාදයෙන් පසුව – සද්භාවවේදී පදනමක් ලබා දිය හැකිද යන ප්‍රශ්නය පිළිබඳවයි. මේක ඉතාම අපහසු සහ ඉක්මනින් මග වැරදිය හැකි දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මේ ප්‍රශ්නයට අපි පිළිතුරක් ගොණු කරන්න බැරි වෙනවා යනු අපේ දේශපාලනය තීරණවාදයකට (decisionism) ඌණනය වීම වැළක්විය නොහැකි වීමයි. එවිට ‘එය ඔබේ තීරණය – මම එයට එකඟ නොවෙමි’ කියන තර්කය විතණ්ඩතාවාදියෙකුට පහසුවෙන් ඉදිරියට ගෙන ආ හැකි වේ.

මේ හා බැඳුනු දෙවැනි අභියෝගය වන්නේ අප ආත්මය (subject) යන්න පිළිබඳව, නැවතත් පාරභෞතික-නොවන, අර්ථකථනයකට පැමිණෙන්නේ කෙසේද යන්නයි. අපි දන්නා පරිදි, නැවතත්, හෛඩගර් සහ ඩෙරීඩා ගෙන් පසුව ආත්මීයත්වය පිළිබඳව අදහස වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමට හැකි වන්නේ නැත. ‘මම’ යනුවෙන් වූ සාරයක්, ලෝකයෙන් සහ සකලවිධ පරිබාහිරත්වයන්ගෙන් පරම ලෙස ස්වායත්ත වූ දෙයක් පැවතිය හැක්කේ කෙසේද යන්න අපට තේරුම් ගත හැකි නොවේ. එනිසාම ‘මම’ යන්න සඳහා කිව හැක්කේ එය නිකන්ම ‘එතැන තිබෙනා පැවැත්මක්’ වන බවත් එය සඳහා ‘මගේබවක්’ (‘mineness’ – ජර්මන් වචනය ‘Jemeinigkeit’) ලෙස හැඳින්විය හැකි එය වෙතම වූ එහි සම්බන්ධයක් ඇති බවත් පමණි. නමුත් මේ ස්වයං-සම්බන්ධය (self-relation) ජීවවිද්‍යාත්මක ජීවිතය සමග පූර්ණ ලෙස සමපාත කිරීම යන දාර්ශනික ව්‍යාපෘතිය – ඩෙකාට් ගේ සිට සාත්‍ර දක්වා – මේ වනවිට බිඳ වැටී තිබේ. මගේ පැවැත්ම යනු ගැලවිය නොහැකි ලෙස ලෝකය සමග එකට ගැට ගැසී ඇති පැවැත්මක් වන බවත් එම නිසාම මගේ පැවැත්ම යන්න අර්ථකථනය කළ හැක්කේ මෙම සමස්ත ව්‍යූහය පිළිබඳව කෙරෙනා විග්‍රහයක් ලෙස පමණක් යන්න තවදුරටත් එතරම් ප්‍රශ්නකාරී දාර්ශනික ආස්ථාන නොවේ. 80-90 දශක වල මේ සඳහා තිබුණු ජනප්‍රිය ප්‍රතිචාරය වූයේ ‘ආත්මයේ මරණය’ (death of the subject) ජයග්‍රහණයක් ලෙස සැමරීමයි. ‘මම’ යනු පරිපූර්ණ ලෙස භාෂාවේ, ඉතිහාසයේ, දෘෂ්ඨිවාදයේ, වෙළඳපොළේ ගොඩනැංවීමක් පමණක් විය.

නමුත් මෙම ප්‍රවේශයේ තිබෙනා ගැටලුව වූයේ ප්‍රතිරෝධය දක්වන්නා උත්පාද වන්නේ කෙසේද යන්න තවදුරටත් පැහැදිළි නොවීමයි. ‘මම’ යනු දෘෂ්ඨිවාදයේ නිර්මිතයක් පමණක් වන්නේනම්, දෘෂ්ඨිවාදයෙන් පරිබාහිරත්වයක් වෙත යන්නේ කෙසේද? දෘෂ්ඨිවාදයෙන් ‘පළමුවෙන් ගැලවුනු’ පුද්ගලයා එසේ ගැලවුනේ කෙසේද? අවසාන අර්ථයෙන් ගත්විට මෙය දේශපාලනය සඳහා තීරණාත්මක ලෙස බල පාන්නකි. දේශපාලනය යන්න සෑම විටම සම්බන්ධ වන්නේ ක්‍රියාකාරකම්, තීරණ, මූලධර්ම, දිශානතියක් (orientation) සකස් කර ගැනීම ආදිය සමගයි. වෙනත් ආකාරයකට කියන්නේනම් දේශපාලනයේදී අපගේ වර්තමාන පැවැත්ම වෙත විවේචනාත්මක වන්නා වූ ස්වායත්තබවක් අත්‍යවශ්‍ය වෙයි. නැවතත් සමකාලීන දර්ශනය තුළ මේ ප්‍රශ්නය පිළිබඳව නව උනන්දුවක් තිබෙනා බව අපි දනිමු. බදියූ ගේ ‘සිදුවීමට පක්ෂපාත වූ ආත්මීයත්වය’, රොන්සියර් ගේ ‘සමානාත්මතාවයේ මූලධර්මය මත ගොඩ නැගෙනා ආත්මය’, මෙයසූ ගේ ‘දෛශික ආත්මය’ (vectoral subject) ආදී ලෙස මේවා නම් කළ හැකිය. පොදුවේ ගත්විට මේවායේ ඇති එක ලක්ෂණයක් වන්නේ ආත්මය යනු දෙන ලද දෙයක්, පුද්ගලත්වය සමග අනිවාර්යයෙන් බැඳුනු දෙයක් නොව උත්පාද විය යුතු, ගොඩනැංවිය යුතු දෙයක් ලෙස වටහා ගැනීමයි. ඒ අනුව ‘නිකන්ම ඔතැන පවත්නා’ පුද්ගලත්වය යනු ආත්මයක් නොවේ. එනිසාම, සෑම පුද්ගලයෙක්ම ආත්මයක් වන්නේ නැත. අනෙක් අතට දේශපාලනික ආත්මයක් සහ සාමාන්‍ය පුද්ගලයෙක් අතර පැහැදිළි වෙනසක් සලකුණු කිරීමට ද හැකි විය යුතුය. මෙම සාකච්ඡාව ජනතා විමුක්තු පෙරමුණ සමග සම්බන්ධ කිරීමේ යතුර තිබෙන්නේ මෙතන කියා මම සිතමි. අපි හැකි ඉක්මනින් මෙය සාකච්ඡා කරමු.

ආදරයෙන්,

අනන්ත

 

 

 

 

***