Romantic Science and Naturphilosophie

 

බාක්ලියානු විඥානවාදය සහ කාන්ටියානු අනුභුතිඋත්තරවාදයට පසුව භෞතිකවාදය වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කළ අය විසින් අනුගමනය කරන ලද මූලික ප්‍රවේශය වන්නේ විඥානවාදයේ තාර්කික අභියෝගය අමතක කිරීමයි. මෙහි මූලික පියවර දෙකක් හඳුනා ගත හැකිය.

පළමුවෙන් සිදු වන්නේ මෙය අර්ථවිරහිත ප්‍රශ්නයක් ලෙස හැඳින්වීමයි. ඒ අනුව මෙය – නීට්ච අනුව යමින් – ‘ලොම් හැලිච්ච ඇකඩමික් මහාචාර්යවරුන්ගේ ප්‍රශ්නයක්’ (‘the sickly Kantians of the University’) බවට ඌණනය වේ. ඒ වෙනුවට භෞතිකවාදයේ ප්‍රශ්නයට පිළිතුරු තිබෙන්නේ ‘ව්‍යවහාරය’ තුළ මිස ‘ඇකඩමියාව’ තුළ නොවේ කියා නිගමනය කරයි. නමුත් විඥානවාදියාගේ තර්කය ‘ව්‍යවහාරය’ තුළ විසඳීම භෞතිකවාදය වන්නේ කෙසේද කියා අපට මෙම භෞතිකවාදීන් පැහැදිළි කරන්නේ නැත. මිනිසුන් මැදිහත්වීම නිසා සමාජ අවස්ථාවන් වෙනස් විය හැකිවීම යනු විඥානවාදයට විග්‍රහ කළ නොහැකි ප්‍රපංචයක් – විඥානවාදයේ ‘ඒපෝරියාවක්’ – නොවේ. ඉතාම පහසුවෙන් මිනිසුන් මැදිහත් වී සමාජ පරිවර්තන වන බව විඥානවාදයට විස්තර කළ හැකිය. කොටින්ම විඥානවාදයේ සුසමාදර්ශය වන බාක්ලියානු විඥානවාදයට වුවත් එය විස්තර කළ හැක!

දෙවෙනි පියවර වන්නේ විඥානවාදියාගේ තර්කයට පිළිතුරු දීම වෙනුවට මෙම තර්කය විඥානවාදියා විසින් මතුකරනු ලබන්නේ ඇයිද කියනා ප්‍රශ්නය වෙත සංවාදය මාරු කිරීමයි. එහිදී කියා සිටින්නේ මෙවැනි ප්‍රශ්න මතු වන්නේ – මාක්ස් අනුව යමින් – ‘දෘෂ්ඨිවාදය’ නිසා, එසේත් නැතිනම් – ෆ්‍රොයිඩ් අනුව යමින් – ‘ප්‍රතිරෝධය’ (resistance) නිසා කියාය. නමුත් මේ ආකාරයට විඥානවාදියාගේ තර්කයට පිළිතුරැ දීම වෙනුවට ඔහු එවැනි ප්‍රශ්න මතු කිරීමේ හේතුව විමසා සිටීම සමාන වන්නේ නක්ෂස්ත්‍රකරු ගේ විග්‍රහය පදනම් විරහිත බවට කෙනෙක් අභියෝග කළ විට එවැනි විරෝධයක් ඔහු අතින් එල්ල වන්නේ ඔහුගේ ලග්නය ‘තුලා’ වන නිසා කියා කියූ නක්ෂස්ත්‍රකරුගේ පිළිතුරයි.

සත්‍ය කරුණ වන්නේ ‘ව්‍යවහාරය’ මගින් භෞතිකවාදය සාධනය කිරීම යනු මාක්ස් ගේ ෆොයබාක් තිසීස – මේවා ‘තිසීස’ යනුවෙන් හැඳින්වුවත් මෙය අයත් සැබෑ ශානරය වන්නේ රොමෑන්ටිකවාදී ‘සාහිත්‍යමය කැබැල්ල’ (Romantic fragment) යන්නයි – මගින් අපට හෙළිකරගත හැකි නිශ්චිත ස්ථාවරයක් නොවේ යන්නයි. අප මෙම ‘ව්‍යවහාරයේ භෞතිකවාදීන්ට’ කියන්නේ කරුණාකර මේ මගින් විඥානවාදය ප්‍රතික්ෂේප කරන ආකාරය අපට පැහැදිළි කර දෙන ලෙසයි. එය විශේෂයෙන් ‘භෞතිකවාදය’ යන වචනයෙන් හැඳින්වීම අවශ්‍ය වන්නේ එමගින් විඥානවාදයන් ප්‍රතික්ෂේප වනවානම් පමණි. ඒ වෙනුවට එමගින් සිදු කරන්නේ විඥානවාදය මගින් එල්ල වන අභියෝගය අමතක කර අප සමාජය වෙනස් කරන්න සංවිධානාත්මකව මැදිහත්විය යුතු බව ප්‍රකාශ කිරීමනම්, එවැන්නක් නම් කිරීමට ‘භෞතිකවාදය’ යනුවෙන් විශේෂ පදයක් අවශ්‍ය නොවනවා පමණක් නොව ‘විඥානවාදී’ දාර්ශනික ස්ථාවරයන් වල ඉන්නා අයගේ දේශපාලනයෙන් එය මෙහිදී වෙනස් වන්නේ ද නැත. අවම වශයෙන්, එංගල්ස් ගේ අවසාන ලියවිලි වල එන ‘යාන්ත්‍රික භෞතිකවාදය’ වෙනුවෙන් පෙනී සිටිනා අය මෙතනදී අවංක වේ. එහි දාර්ශනික ශක්තිමත් බව අඩු වන්නේ වුවත් එය භෞතිකවාදයක් වනවා යන්න සම්බන්ධයෙන් කිසිවෙක් හට සැකයක් මතු වන්නේ නැත. නමුත් විඥානවාදයේ ප්‍රශ්නය අමතක කර තමන්ගේ වැඩ කරගෙන සිටීමට ‘භෞතිකවාදය’ යනුවෙන් විශේෂණ පදයක් යෙදීමේන් විඥානවාදයට සහ එමගින් එල්ල වන බුද්ධිමය-දේශපාලනික අභියෝගයටනම් පිළිතුරු නිර්මාණය වන්නේ නැත.

සිය මරණයෙන් පවා ලංකාවේ ‘භෞතිකවාදය’ පිළිබඳව සංවාදයේ අර්බුධය පෙන්වීමට අපට උපකාර කළ පතිරාජට අපගේ ආදරය.

 

 

 

***