bexy-square-400

අපට දැනට ලැබී තිබෙන තොරතුරු අනුව අනන්ත එදිරිසූරියට ‘සරාතුස්ත්‍රා’ නම් වූ පරිසරවාදියාව පළමු වරට මුණ ගැසෙන්නේ අනුරාධපුරයේ පර්යේෂණ කටයුතු කරනා – 2016 වසරේ මැද – කාලයේදීය. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් අනන්ත ගේ ස්ථාවරය වෙනස්වීම සඳහා මේ සරාතුස්ත්‍රාගේ බලපෑම තීරණාත්මක වන බව පෙනී යයි. පහතින් උපුටා දක්වා ඇති ලිපිය අනන්ත වෙත යොමු කරන්නේ කවදාද කියා පැහැදිළි නොමැති වුවත් එය ඉතාම මෑත කාලීන ලියවිල්ලක් බව අන්තර්ගතයෙන් තේරුම් ගත හැකිය.

***

හිතවත් අනන්ත,

එළඹෙන පළාත් පාලන මැතිවරණය තරම් JVPයට ඡන්දය දිය යුතුය යන නිගමනයට එළඹීමට පහසු වෙනත් මැතිවරණයක් මගේ මතකයට නොනැගේ… 2015 ජනවාරි 08 බිහිවූ “යහපාලන” විකෘතිය ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ සුජාතභාවයේ අවසානය සනිටුහන් කර ඇත. සොරකම, පගාව, දුෂණය, පොරොන්දු කඩ කිරීම, ජනයාට වග නොවීම, බොරු කීම, පොදු දේපළ කොල්ල කෑම, මැර බලය, අමනකම ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ මූලික ලක්ෂණ බවට පත්ව ඇත. UNP හා SLFP/පොහොට්ටු අතර බෙදුම් රේඛා බොඳ ව ගොස් ඇති අතර උදේ එක පක්ෂයක සිටින්නෙකු සවස අනෙක් පක්ෂයේ දක්නට ලැබීම අතිශය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. පලවා හරිනු ලැබූවන් හොර පාරෙන් මහගෙදරට පැමිණ ඇති අතර මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ අතර වෙනස සොයමින් අන්වීක්ෂ රැගෙන එහෙ මෙහෙ දිව යාමේ අවශ්‍යයතාවයක් තවදුරටත් ඉතිරිව නැත. common sense වලට අනුව නම් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී JVPයට ඡන්දය දීම ඉහත කී ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියෙන් ගැලවීමේ දිගු ගමනේ එක්තරා වැදගත් සංධිස්ථානයක් වනු ඇත.

මෙම කෙටි ලියවිල්ලේ අරමුණ මේ සරල common sense නිගමනයට එළඹීම වළක්වන මානසික තත්වයන් දෙකක් පිළිබඳ ව සාකච්ඡා කිරීමයි.

  1. UNP- SLFP/පොහොට්ටු ව්‍යාජ binaryයෙන් ගැලවීමට ඇති නොහැකියාව:

නිදහසෙන් පසු ලාංකීය ඉතිහාසය යනු පොදුවේ ධනවතාගේ සිට නිර්ධන පංතිකයාද, නූගතාගේ සිට උගතා දක්වා ද මේ මානසිකත්වයේ ගොදුරු බවට නැවත නැවතත් පත්වීමේ ඛේදවාචකය යි. UNP- SLFP/පොහොට්ටු binary යෙන් ඔබ්බට පරිකල්පනය කිරීමේ නොහැකියාව විසින් අප මිත්‍රයන් ද ඇතුලත් ලාංකීය සමාජය ප්‍රතිචාරයන් දෙකක් වෙත නැවත නැවතත් තල්ලු වන බව දක්නට ලැබිය හැකිය.

  1. මාරුවෙන් මාරුවට හොරුන් ගෙන් පිරුණු මේ පක්ෂ දෙක නැවත නැවතත් බලයට පත්කිරීම.
  2. ඡන්ද වර්ජනය: ඡන්ද වර්ජනය යනු UNP- SLFP/ පොහොට්ටු binary චින්තනයේම තවත් වේශයකි. ඒ මේ පක්ෂ. දෙකින් ඔබ්බට පරිකල්පනය පුළුල් කිරීමට ඇති නොහැකියාවේම තවත් ප්‍රකාශනයකි. ප්‍රධාන ධාරාවේ පාදඩ දේශපාලනයෙන් ගැලවීමට ප්‍රයත්නයක් දරනවා වෙනුවට ඡන්ද වර්ජනය විසින් UNP හෝ SLFP/පොහොට්ටු පක්ෂ දෙකින් එකක් බලයට පැමිණීමේ ඉඩ කඩ වඩාත් හොඳින් තහවුරු කරයි. 10%ක් නොව 99%ක් ඡන්දය වර්ජනය කලත් ඡන්දය පලකරන 1% විසින් UNP හෝ SLFP/පොහොට්ටු නියෝජිතයන් අඩුවකින් තොරව අදාළ මහජන ආයතනයට පත්කර යවනු ඇත. (සටහන: පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඡන්දයට සහභාගී නොවන බැවින්ම, ඡන්දය ධනපති ක්‍රමයේ උපකරණයක් ලෙස නම් කර ඡන්ද වර්ජනය කිරීමට කරන යෝජනාව මෙම ලිපියේ සාකච්ඡාවට නොගැනේ.)

UNP හා SLFP/පොහොට්ටු යන විචල්‍ය දෙකින් යුත් ශ්‍රී ලාංකීය දේශපාලන සමීකරණය බහුවිචල්‍ය සමීකරණයක් බවට පත්කිරීමට මැදිහත් වීම යුගයේ එක් වැදගත් දේශපාලන කාර්යයක් ලෙස දැකීමට මම කැමැත්තෙමි. UNP හා SLFP/පොහොට්ටු මෙන්ම ඒවායේ බලල් අඬුද නොවන තෙවන, සිව්වන හා පස්වන දේශපාලන බල කේන්ද්‍ර බිහිවිය යුතු අතර එවන් බහුවිචල්‍ය දේශපාලන සමීකරණයක් අවසාන විග්‍රහයේදී ජනයාට වඩා හිතකර තත්ත්වයක් ගොඩ නගනු ඇත. JVP බල කේන්ද්‍රය වර්ධනය විය යුතුවාක් මෙන්ම දෙමල හා මුස්ලිම් ජනයාගේ ඡන්දද සුළු ජාතීන් නැවත නැවතත් රවටන UNPයට හා SLFPයට බැර නොකරන දෙමළ හා මුස්ලිම් දේශපාලන ව්‍යාපාරද උතුරේ, නැගෙනහිර, මධ්‍යම කඳුකරයේ හා බටහිර බිහිවීම දේශපාලන වශයෙන් හිතකර වනු ඇත.

  1. අපගේ පාලනයෙන් එපිට ඇති දේශපාලන පක්ෂ සහභාගීවන ඡන්දයකදී අපගේ සියළු දේශපාලන ඇරියස් අප ඡන්දය දෙන පක්ෂ ය හරහා cover කරගත යුතු යැයි කරන යෝජනාව :

වත්මන් සංදර්භය තුල දේශපාලනය ගැන උනන්දුවන අප සියළු දෙනා වෙත අපගේම වූ දේශපාලන න්‍යාය පත්‍ර තිබිය යුතුයැයි මම අදහස් කරමි. එමෙන්ම එම න්‍යායපත්‍රානුකූලව බහුවිධ ක්‍රියාකාරිත්වයක් සහිත දේශපාලනයක නිරත විය යුතුයැයි යෝජනා කරමි. ඡන්දයක් යනු ප්ර ගතිශීලී ශ්‍රී ලාංකිකයා සහභාගීවන එක් දේශපාලන ක්‍රියාකාරකමක් පමණි. අප බොහෝ දෙනෙකුට සහමුලින්ම එකඟ විය හැකි පක්ෂයක් හෝ දේශපාලන ව්‍යාපාරයක් ලංකාව තුල නැති තත්ත්වයක් තුල පක්ෂයකට ඡන්දය දී බලයට පත් කොට ඉන්පසුව අදේශපාලන ජීවිත ගත කිරීමේ හැකියාවක් අප සතුව නැත. උදාහරණයක් ලෙස සියළු ජාතීන්ගේ දේශපාලන අයිතීන් පිළිගන්නා (පරිපාලන අයිතීන් පමණක් නොවේ) හරිත සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් (green left) අනාගත දේශපාලනය විය යුතු බවට විශ්වාස කරන මට තෝරාගත හැකි කිසිඳු දේශපාලන පක්ෂයක් තවමත් බිහිවී නැත. එබැවින්ම මගේ අනාගත දේශපාලන භාවිතය ලෙස මම දකින්නේ මගේ දේශපාලන දැක්ම හා යම් ප්‍රමාණයකට හෝ ගැලපෙන පක්ෂය ඡන්දයකදී තෝරන අතර, මා විශ්වාස කරන දේශපාලන මතවාදය සමාජය වෙතට ගෙන යාමට මා හා එකඟ වන පුද්ගලයින් හා කණ්ඩායම් සමග එක්ව දිගින් දිගටම ක්‍රියාකිරීමයි. අප කන්ඩායම් ගතව කරන මතවාදීමය හා ආකෘතිමය මැදිහත්වීම් සාර්ථකවන ප්‍රමාණයට සාපේක්ෂව යම් දිනක දේශපාලන පක්‍ෂවල හැඩතලයන්ද අප නිවැරදියැයි සිතන ආකාරයට වෙනස්වීමේ දේශපාලන ඉඩකඩ ගැන මම විශ්වාස කරමි (සටහන: දේශපාලන පක්ෂ අභ්‍යන්තරයන් සමග සම්බන්ධවී දේශපාලන පක්ෂ වෙනස් කිරීමේ උත්සාහයන් අසාර්ථක උත්සාහයන් බව මේ වනවිට මගේ පිළිගැනීමයි).

ඡන්දයකදී අප තෝරන දේශපාලන පක්ෂය හරහා සියළු ඇරියස් cover කර ගැනීමට යෝජනා කිරීම නිසා සිදුවන සුලබ ඇබැද්දියකට උදාහරණයක් නම් මැතිවරණ මොහොතකදී JVPය සමග තරඟ කරන UNPය සමග හෝ SLFP/පොහොට්ටුව සමග හෝ සංසන්දනය කරනවා වෙනුවට ඡන්දයට ඉදිරිපත් නොවන ලොව මෙතෙක් බිහිවූ පාරිශුද්ධම වාමාංශික ව්‍යාපාරයන් සමග සංසන්දනය කිරීමට පෙළඹීමයි.

මගේ අනාගත දේශපාලන සටන් පාඨ දෙක:

  1. JVP නියෝජිතයන් වැඩි ප්‍රමාණයක් පළාත් පාලන ආයතනවලට යවමු!
  2. ජාතීන්ගේ දේශපාලන අයිතීන් පිළිගන්නා හරිත සමාජවාදී සමාජයක් වෙනුවෙන් ඉදිරියේදී වැඩ කරමු!!

මෙයට හිතවත්,

සරාතුස්ත්‍රා

 

 

 

***