Alessandro Sicioldr http:/www.tuttartpitturasculturapoesiamusica.com

මීටපෙර ලිපිවල දී අප කියකිගාර්ඩ්ගේ හේගල් පිළිබඳ විවේචනය සටහන් කළෙමු. ඔහුගේ ආස්ථානය වන්නේ පද්ධතිහරණය බවත් අප පැහැදිලි කළෙමු. කෙසේ වෙතත් ඔහුගේ දර්ශනය තුළ අපට දයලෙක්තිකයක් දැකගත හැකි අතර එයට සාංදෘශ්ටිකවාදී දයලෙක්තියක් ලෙස පැවසීම අසාධාරණ නොවේ. කියකිගාර්ඩ් එය ගොඩනඟනු ලබන්නේ තාර්කික : හේගලියානු දයලෙක්තිකයට විරුද්ධවය. අප මෙම ලිපිය තුළ දී සාකච්ඡා කිරීමට උත්සහ කරනු ලබන්නේ කියකිගාර්ඩ් විසින් හේගල්ට විරුද්ධ වීමේ කොන්දේසි පැහැදිලි කිරීමටය. හේගල්ට අනුව පැවැත්ම යම් කිසි ආකාරයකට තාර්කික ආකාරයකට වටහා ගැනීමට උත්සහ කරන නමුත් කියකිගාර්ඩ්ට අනුව පැවැත්ම සම්පූර්ණයෙන්ම ගතිකවේ.  එය සෑම විටම පරිණාමය වෙමින් පවතී. එම නිසා කියකිගාර්ඩ්ට අනුව ලෝකය තුළ පැවැත්ම සඳහා තිබෙන්නේ එක් මාවතක් නොවේ. පැවැත්මේ විවිධ ආකාරයන් තිබේ.සාංදෘෂ්ටිකත්වය යනු ඒ වන විටත් ස්වයං තත්ත්වයක් ලෙසට අප තුළ පවතින්නක්නොවේ. එය ජීවිතය තුළ අත්කරගත යුතු දෙයකි. සාංදෘෂ්ටිකත්වය ස්ථාවරවටහාගැනීමක් නොවේ. කියකිගාර්ඩ් ට අනුව බිය යනු අප පවත්නා එක් ආකාරයකි. එමනිසා ඔහුට අනුව මෙහිදී අපට පැවැත්ම සඳහා යාන්ත්‍රික අර්ථකථනයක් දිය නොහැක. ඒනිසා එය සාමාන්‍යකරණය කළ නොහැකි අතර එය නියත නොවන අතර ඉදිරියට ගලායයි. විවිධ මාර්ග, විවිධ ආකාර පවතී. හේගලියානු  පද්ධතිය  ප්‍රායෝගිකප්‍රඥාවේ වලංගුසහගත බව නොසලකා හරින බව කියකිගාර්ඩ් පෙන්වා දෙනු ලබයි.හේගල්ට අනුව අපට හමුවන්නේ සෛද්ධාන්තික ප්‍රඥාවකි. තාර්කිකත්වය, හේතුව : එක්තරා ආකාරයකට විශ්වීය මූලධර්මයක් ලෙස අපට ඉදිරිපත් වේ. පරිමිත මූලධර්මයක්ලෙස එය සටහන් කිරීම අසාධාරණ නොවේ.  ප්‍රායෝගික ප්‍රඥාව ලෙසට මෙහිදී සටහන්  කරන්නේ – කුමක් කරන්නේ ද කොහොමද කරන්නෙ – ලෙසට සිතා බැලීමේ ප්‍රඥාවයි.

හේගල්ගේ පද්ධතිකරණය මඟින් විස්තර කරන නිදහස නම් සංකල්පය කියකිගාර්ඩ් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. එයට හේතුව වන්නේ, – කියකිගාර්ඩ්ට අනුව – පරම නිදහසක් කිසිදාක පද්ධතිකරණයකින් ලබා ගත නොහැකි වීමයි. පද්ධතිය සෑමවිටම නිදහසට සීමා නීර්ණය කරනු ලබයි. එහි සම්පූර්ණ නිදහසක් ඇති නොවන බව ඔහුගේ විශ්වාසයයි. සැබෑ නිදහස ලෙස ඔහු හඳුනාගන්නේ පරම ආකාරයේ නිදහසකි. මෙහිදී කියකිගාර්ඩ් අපට උළුප්පා පෙන්වා දෙන්නේ අපේ කැමැත්ත යන්න සෑම විටම අපේ කැමැත්ත නොවන බවයි. එය බොහෝ විට අපේ කියා සිතුවත් එය ඇත්තටම පද්ධතියේ කැමැත්ත වේ. නමුත් ඔහුගේ යෝජනාව වන්නේ අපට පරම තීරණ ගැනීමේ හැකියාව ලැබෙන්නේ පුද්ගලත්වය තුළදී පමණක් බවයි. මගේ තීරණයන් ගැන තීන්දු කළ හැක්කේ මටම පමණි. එයට සමාජයෙන් හෝ පද්ධති මඟින් අණ කළ නොහැක. මේ අර්ථයෙන් ඔහු අතිශ්‍ය පුද්ගලත්වවාදියෙක් ලෙසට සිය අදහස් ඉදිරිපත් කරයි. ඔහුට අනුව තීරණතාර්කිකව නියම කළ නොහැක. ඒවා තාර්කික විය යුතු ද නැත. හේගල්ට අනුව මෙමතීරණ ඥානාන්විත තීරණ වේ. කියකිගාර්ඩ් මෙම තාර්කිකත්වයට එකඟ නොවේ. සාම්ප්‍රදායිකව අප දන්නා පරිදි අපගේ තීරණ බලපවත්වන්නේ හේතු මතයි. ඔහුටඅනුව තීරණ ගැනීම කිසිසේත්ම තාර්කික නැත. එයට හේතු ඇත්තේ ද නැත. හේගල්ට අනුවපැවැත්ම, නො-පැවැත්ම, පත්වීම ආදී සියල්ල , වාදය, ප්‍රති – වාදය, සහවාදයආදියත් සැලසුම් වන්නේ ආත්මය සහ සිතුවිලි වලට අනුවය. [මෙහිදී මතක් කළයුත්තේ හේගල් සිතුවේ පද්ධතිය විසින් සියලු පුද්ගලිකයන්ට නිදහස ලබා දෙනබවයි. ඔහුට අනුව පරමත්වය ඒකාධිපතීත්වයක් නොවේ. පුද්ගලත්වයේ තීරණ වලට අවස්ථාව උපරිම වශයෙන් හිමිය.] අවම වශයෙන් මතක් කරන්නේ නම් හිට්ලර් පවාසිතුවේ පුද්ගලත්වය පරම බවයි. හේගල් සිතුවේ පරම නිදහස ලබාගත හැක්කේ, වටහා ගතහැක්කේ පරම නිදහස ලෙස බවයි. එය දේශපාලනික හෝ සමාජියීය ආකෘතියක් ලෙස / තුළවටහාගත නොහැකි වේ.

එක්තරා ආකාරයකට සාංදෘෂ්ටිකවාදය මානවවාදය විශ්වාස කරන බව මේ අනුව කෙනෙකුට තර්ක කරන්න හැකියි. එයට හේතුව වන්නේ මිනිසා සහ මෙම පුද්ගලවාදයට යා හැකි දුර සීමාසහිත නිසාය. මම යනු සමස්ත සාංදෘෂ්ටිකත්වයේ කොටසක් පමණි. මම ස්වභාවධර්මයේ කොටසක් – අන්තර් සම්බන්ධයේ – මිස එහි හිමිකරු නොවේය. මෙහිදී මතක් කළ යුත්තේ ‘අනෙකා’ යන්නද තමන්ගේ සාංදෘෂ්ටිකත්වයේම කොටසක් බවයි. පද්ධතිය අපට අනෙකාලෙස සැලකීමට ද හැකිය. මේ ආකාරයට කියකිගාර්ඩ් කරනු ලබෙන්නේසෛද්ධාන්තික සූත්‍රගත කිරීමකි. මෙහිදී නැවතක් මතක් කර සිටින්නේ, පුද්ගලවාදී සාංදෘෂ්ටිකත්වයේ විවිධ මානයන් තිබෙන බවයි. මෙහිදී එකම නිර්ණායකය වන්නේ ආත්මීයත්වයයි. සාංදෘෂ්ටිකත්වය අනිවාර්ය ලෙසට ධූරාවලීන් ප්‍රතික්ෂේප කරන අතරනමුත් එසේ ප්‍රතික්ෂේප කිරීමෙන්  විවිධ ආකාරයට ලෝකය විග්‍රහ කරන්නේ කෙසේ දකියා කෙනෙකුට ඇසිය හැකිය.

නමුත් මෙහිදී පැන නඟින ප්‍රශ්නය වන්නේ ‘මම’ අනෙකන්ගෙන් තේරුම් ගන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා  යමක් අනිවාර්ය ලෙසට පොදු විය යුතුය. මම සහ තවත් අයෙකු අතරසම්බන්ධයක් ඇති වීමට නම් අප අතර පොදු එකඟතාවයක් තිබිය යුතුය. බොහෝ විට මෙවැනි සමාජඡාලාවල අපට හමුවන පොදු ගැටලුව වන්නේ එයයි. අපට දේශපාලනය සඳහා සාකච්ඡා කිරීමට නම් අප අතර [යම් කිසි] ආකාරයේ හෝ පොදු ආස්ථානයක් අවශ්‍යවේ. නාටකීය ලෙසට කියනවා නම් තේ එකක් බීල කතා කරන්න හැකි විය යුතුයි. දැන් අප තවදුරටත් ‘සාංදෘෂ්ටිකවාදී දයලෙක්තිකය’ දෙසට යොමු වෙමු. මෙම දයලෙක්තික අදහස හේගල්ට ඉඳුරාම ප්‍රති විරුද්ධ බව අප මුල් ලිපි වලින් පෙන්වා දුන් බව මතක් කරමු. කියකිගාර්ඩ් කතා කරන්නේ පැවැත්ම (Being)  – නොපැවැත්ම (Non Being) – පැවැත්ම බවට පත් වීම (Becoming). ලෙසට අපට පෙන්වා දිය හැකිය.  කියකිගාර්ඩ් වැඩිදුරටත් සඳහන් කරන්නේ සාංදෘෂ්ටිකත්වයේ විවිධ මාදිලීන් (Modes of Existence)  පවතින බවයි.  එලෙසම සාංදෘෂ්ටිකත්වය කිසි ලෙසකට දෘඩ  – නොවෙනස්වන – යමක් නොවන බව මෙහිදී මතක් කළ යුතුය. ඔහු කියන්නේ එය විවිධාකාර ගන්නා බවයි. සාංදෘෂ්ටිකත්වය යනු ලෝකය තුළ පැවතීම බව ඔහු පිළිගනී. හැඟීම්, අත්දැකීම්, විවිධ ක්‍රියාවන් මේ ආකාරයෙන් සාංදෘෂ්ටිකත්වය විවිධ මාදිලියෙන්ප්‍රකාශයට පත් වේ. මෙහිදී ඔහු කතා කරනු ලබන්නේ  මනුෂ්‍ය ජීවිතයක් පිළිබඳවය.ජීවී සාංදෘෂ්ටිකත්වයක් පිළිබඳවය. ලෝකය තුළ මේ ජීවත් වන මිනිසාගෙන් තොරව අපට සාංදෘෂ්ටිකත්වයක් කතා කළ නොහැක.

කියකිගාර්ඩ්මෙහිදී අපට සාංදෘෂ්ටිකත්වයේ මාවත් ත්‍රිත්වයක් ඉදිරිපත් කරනු ලබයි.  සෞන්දර්ය  (Aesthetic way of Life) යනු එහි එක් ආකාරයකි. නැවත වරක් මතක් කළයුතු වන්නේ ඔහු සාංදෘෂ්ටිකවාදය (Existentialism) යනුවෙන් යමක් ඉදිරිපත්නොකළ බවයි. ඔහු ඔහු සිතූ දේ ඉදිරිපත් කරනු ලැබූ අතර එය පසු කාලීනව දැනුම් පද්ධතියක් බවට පත් විය. අපගේ පහසුව තකා අප සාංදෘෂ්ටිකවාදය ලෙසට ලිවීම මෙහිදී සිදු වේ. ආචාර ධාර්මික (Ethical way of life)  මාවත දෙවැන්න ලෙසට ඔහු පෙන්වා දෙයි. තුන් වන ආකාරය වන්නේ ආගමික මාවතයි (religious way of life).  කියකිගාර්ඩ් ට අනුව මෙම ත්‍රිත්වයට එක්ව ගමනක් යා නොහැක. මෙම ත්‍රිත්වය එකිනෙකාට විරුද්ධ බව ඔහුගේ අදහසයි. ජීවිතයේ විවිධ කාල, ජීවිතයේවිවිධ ආකාර ඔහු මේවා හඳුන්වයි. සාංදෘෂ්ටිකත්වය පැවැතිය හැක්කේ මෙම ත්‍රිත්වයෙන් බව ඔහුගේ මූලික ඉදිරිපත් කිරීමයි. මානව පැවැත්ම සෞන්දර්යේ ස්වරූපයක් බව ඔහු පවසයි. නමුත් කිසිදු ආකාරයේ ආචාර ධාර්මිකත්වයක් හෝ ආගමික සැලකිල්ලක් එහි තිබිය නොහැක. සෞන්දර්ය පැවැත්මේ ආකෘතිය යනු අනෙකුත් ද්විත්වයෙන් සම්පූර්ණයෙන්ම විනර්මුක්ත වීමකි. මෙය සරලව තේරුම් ගන්නේ නම් සෞන්දර්යකාමියා ට ආගමේ හෝ ආචාර ධර්ම සමඟ සම්බන්ධයක් නැත. ඔහු ඒවා සලකන්නේ ද නැත. මෙම ආකාර ත්‍රිත්වය එකිනෙකට ප්‍රතිපක්ෂ වන බව ඔහු සඳහන් කරන්නේ එබැවිනි. මෙම ත්‍රිත්වය එක්තරා ආකාරයකට විකල්ප ත්‍රිත්වයක් බවට අප පෙන්වාදීම ඔහුට කරනා අසාධාරණයක් නොවේ. ඔබට තෝරා ගත හැක්කේ එක් විකල්පයක් පමණි. මෙහිදී ඔහු හොඳින්ම මතක් කරන්නේ මෙම තෝරා ගැනීමට ද තර්කයක් – හේතුවක් – නොමැති බවයි.

බොහෝවිට සෞන්දර්ය විෂයක් ලෙසට හැදෑරීමට විශ්වවිද්‍යාලයට එන බොහෝ තරුණ තරුණීයන් ඔවුන් එම විෂය තෝරා ගන්නේ Z අගය නිසාවෙනි. එහිදී ද සිනමාව වැනි විෂයක්තෝරා ගන්නේ බොහෝ විට අනෙකුත් නාට්‍ය, සංගීතය, චිත්‍ර වැනි කලා පිළිබඳ ප්‍රායෝගික කුසලතා නොමැති නිසාය. ලංකාවේ සෞන්දර්ය අධ්‍යාපනයට  Z අගය බලපෑමේහානිය සුළුපටු නොවන බව මේ අනුව පැහැදිලි වේ. නමුත් කියකිගාර්ඩ් පෙන්වාදෙන්නේ සෞන්දර්ය – ආගමිකත්වය – ආචාරධාර්මිකත්වය  ආදියෙන් එක් විකල්පයක් තෝරා ගැනීමට මෙබඳු හේතු – තර්ක බල නො පෑ යුතු බවයි. මේ අනුව කෙනෙක් තමන්ගේ පැවැත්ම සෞන්දර්ය තුළ තෝරා ගැනීමට කිසිදු හේතුවක් අවශ්‍ය නොවේ. සොරේන්කියකිගාර්ඩ් කෙතරම් තාර්කිකත්වය ප්‍රතික්ෂේප කළා ද යත් මේ ලිපි මාලාවට පදනම් වන ඔහුගේ මූලික කෘතිය වන්නේ “Either/Or” ය. එක්කෝ / එහෙම  නැත්තම්…

එරන්ද මහගමගේ

 

***

 

Advertisements