2016_CKS_13430_0036_000(sadamasa_motonaga_work)

යළිත් යුද්ධයක් ඇති වීමට ඇති ඉඩ ගැන මේ රටේ ඉන්න භික්ෂූ බහුතරයත්  මහින්දවාදීනුත් නිරන්තරයෙන්ම ආණ්ඩුවට චෝදනා එල්ල කරන බව අප දැනටමත් දන්නා කරුණකි . ඒ අතරේ යළිත් යුද්ධයක් ඇති වීම ගැන අනාවැකි පල කරන අනාවැකිකරුවන් සෑහෙන ප්‍රමාණයක් ද සිටිති . ඒ නිසා අපේ සාමාන්‍ය අවබෝධයට ගෙන ආ යුතු වැදගත් දෙයක් මෙහි සටහන් කරන්නට කැමත්තෙමි.

අනාගතයේ ඇති වෙන යුධමය විනාශයක් ගැන අනාවැකි සැබැවින් ඒත්තු ගැන්වෙන සුළු ඒවා බවට පත් වීමට එක් හේතුවක් වන්නේ යුද්ධයක් ඇතිවේය යන්න ගැන වූ අධිකතර විශ්වාසය යි. එය ඇත්ත හෝ බොරු වේවා , අප එම විශ්වාසයට කැමැති හෝ අකමැති වේවා එහි ශක්තිමත්ම කොටස වන්නේ එම විශ්වාසය අනාගත දේශපාලන ව්‍යවසනයක් ගැන වූ බියක් තුලින් වර නැගෙන නිසාය .

එබැවින් මේ විශ්වාසය හැමවිටම  ‘ නැවත යුද්ධයක අවශ්‍යතාවය ‘ සටහන් කරවන එකම  ප්‍රාර්ථනාව බවට පත් වීමට ඇත්තේ කෙස් ගහක දුරකි. ඊට හේතුව බිය යනු සතුරෙකු නොමැති වුවද සතුරෙකු සිටින බව පරිකල්පනය කිරීමයි. එමෙන්ම එය සතුරෙකු ගැන තමන් සතු සම්පූර්ණ දැක්මයි.

කොන්දේසි විරහිත යුද විරෝධින් වන අප මේ විශ්වාසය, ප්‍රාර්ථනාව , නැතහොත් බිය නිවැරදිව හඳුනා ගත යුතු වන්නෙමු. ඔවුන් ජනතාව බිය ගන්වමින් , ඒ බියට එරෙහි ප්‍රතිරෝධයක් ( දෙමළ කැරැල්ලක් පරිකල්පනය කරයි ) ඉල්ලා සිටියි. ඒ ආකාරයෙන් ජනතාව දිගින් දිගටම බිය කිරීම ඔවුන්ගේ දේශපාලන උපක්‍රමය යි.

එමෙන්ම උපක්‍රමයක් ලෙස ඒ සඳහා ඔවුන්ට අයිතියක් ද ඇත. නමුත් හෙට දිනයේ දෙමළ කැරැල්ලක් ඇති වුවහොත් එය මර්ධනය කිරීමට හැකි උපරිම දෘෂ්ටිවාදය හා මිලිටරි බලය ශ්‍රී ලංකා හමුදාව සතුව ඇත. එහෙත් ජනතාව තුල ඇති කරන මේ අදහස් විනාශ කර දමන්නට ඒ හමුදා බලයට නොහැක. ඕනෑම ආකාරයක ත්‍රස්තවාදයක් මැඩලීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට රාජ්‍යයට හැකි වුව ද එක් එක් පුද්ගලයා සතු විචක්ෂණබාවය මර්ධනය කිරීම ඊට වඩා සංකීර්ණය.

හැම මිනිසාම නිරන්තරයෙන් තම විචක්ෂ්ණබාවයේ මහිමය මත තීන්දු තීරණ වලට පැමිණෙයි. බිය ගැන්වීම එනම් ත්‍රස්තවාදයක් තම දේශපාලන උපක්‍රමය ලෙස බාවිතා කිරීමට ඇති අයිතිය ඔවුන් හොඳින්ම බාවිතා කරයි. ඕනෑම ත්‍රස්තවාදයක් තුවක්කු වලින් මර්ධනය කිරීමට හැකි නම් ඒකාබද්ධ විපක්ෂයේ සහ සිංහල බෞද්ධ රණකාමින්ගේ ත්‍රස්තවාදයට ද දණ ගස්වා වෙඩි තැබිය යුතුය.

මෙසේ දණ ගස්වා විනාශ කර දැමිය යුතු සිංහල බෞද්ධ ඒකීයවාදයට වඩා නියම ත්‍රස්තවාදය ඊට වඩා දෙගුණයකින් උදාරය. ඊට හේතුව ඒකීයවාදයට වඩා බහුත්වවාදයක් ගැන පරිකල්පනයේ  නියැලෙන සමාජය සහ එහි සමාජ වටිනාකම් වල සංස්ලේෂණය පොහොසත් එකක් බවට පත් වීමයි. අවුරුදු 30 ක යුද්ධය යනු මේ බහුත්වයට බිය වෙමින්, එය දිගින් දිගට ප්‍රතික්ෂේප කරමින් සිටි භාවිතයයි. අප අනෙකාගේ පැවැත්ම පිලිගැනීමට නොහැකිවීම ගැන කට පුරාවට පරිවර්තනය කලේ ‘ මේ අපේ දේශය රැකගැනීමේ මහා සටන කියාය.

බහුත්වවාදී රාජ්යය ක්‍රමයක් විසින් බිහිවන්නේ ඒකීයවාදයට වඩා දියුණු සංකීර්ණ රාජ්යක පැවැත්මකි. නමුත් පහසුවෙන් රට පාලනය කිරීමට ඇති උවමනාව මනස්ගාතයකි. එම මනස්ගාතයට නම් තබන්නේ නම් එය ඒකියවාදය ලෙස හඳුන්වමු . ඒකීයවාදය යනු හැම විටෙම ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයකින් ගෙතෙන බියක් පමණි. ඉන් එහා එයට පැවැත්මක් හිමි වන්නේ නැත .

එබැවින් ඒකීය රාජ්යවාදයක් තුල ඇති සාර්ථකත්වය ගැන කතා කරන අයට මෙය පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වේ යැයි සිතමි. සාර්ථකත්වය යනු දිගින් දිගටම තමන් සාර්ථක බව ‘පෙන්වීමයි. ඒකිය රාජ්‍යයක් තුල නිතරම කරන්නෙ මේ ව්‍යාජ පෙන්වීමයි.

කේ. කේ. ශ්‍රීනාත් චතුරංග