Flight in Pink

දින සටහනක් නොමැතිව ලියා ඇති මෙම ලියමන හමුවන්නේ ද අනන්ත එදිරිසූරිය ගේ තුන්වැනි දින සටහන් පොතේ ය. ආන්‍යා වෙත ඍජුව ආමන්ත්‍රණය කරමින් ලියා ඇති මෙම ලියවිල්ලේ අන්තර්ගතය අනුව මෙය ලියා තිබෙන්නේ දෙසැම්බර් 17 වැනිදා ට පසුව යන්න පැහැදිළි වේ. බලය, දර්ශනය සහ සමාජ මැදිහත්වීම් පිළිබඳව අනන්ත ගේ සිතා බැලීම් අතර හමුවන මෙම සටහන් පෙළට කියවීමක් ලැබීම ප්‍රයෝජනවත් වන හෙයින් මෙසේ බෙදා ගැනීමට තීරණය කළෙමු.

***

හිතවත් ආන්‍යා,

අද මම පටන් ගන්න යන්නේ දර්ශනයේ ඉතිහාසයේ ඉතාම ජනප්‍රිය කතාවකින්. මා ඔබට ලියූ අවසන් සටහනේ අප සාකච්ඡා කළේ දර්ශනයේ ඉතිහාසය ආරම්භ වෙන මොහොත ලෙස සොක්‍රටීස් සැලකිය යුත්තේ ඇයිද යන්නයි. අපි දැක්කා, අයෝනියාවේ පූර්ව සොක්‍රටීසියානු චින්තකයන් අතින් ලෝකයේ ස්වභාවය පිළිබඳව පුරාකතා සහ ආගමික කතිකාව විසින් ඉදිරිපත් කරන ලද පැහැදිළි කිරීම් අභියෝගයට ලක් වීමත් සමග අපට නව ගැටලුවකට මුහුණ දීමට සිදු වන බව. ඒ තමයි අපේ වටිනාකම්, හර පද්ධතිය, අර්ථ දක්වන ආකාරය කුමක්ද කියන ගැටලුව.

හොඳ/නරක, යහපත/අයහපත පිළිබඳව අදහස සාමාන්‍යයෙන් අර්ථ දැක්වීමේ ආධිපත්‍යය තිබෙන්නේ ආගමික කතිකාවටයි. නමුත් මෙම අර්ථ දැක්වීම වලංගු විය හැක්කේ ආගමික කතිකාව මගින් ලෝකය පිළිබඳව ඉදිරිපත් කරනා අදහස විශ්වාස කළ හැකිනම් පමණයි. නිදර්ශනයක් ලෙස බයිබලයේ පරණ ගිවිසුමේ එන ‘දස පනත’ තුළ පළමුවෙන් තිබෙන්නේ අප එකම දෙවියන් සරණ යා යුතු බවයි. වෙනත් ආකාරයකට කියන්නේනම් මෙහි අර්ථය වන්නේ මැවුම්කාරී දෙවියන් ට ඉහළින්, ඔහුට වඩා වැඩියෙන්, අන් කිසිවක් විශ්වාස නොකරන්න යන්නයි. දැන්, මෙවැනි විධානයක් අප පිළිගත යුත්තේ මෙවැනි දෙවි කෙනෙක් සත්‍ය වශයෙන්ම සිටිනවානම් පමණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් පූර්ව සොක්‍රටීසියානු චින්තකයන් අතින් අභියෝගයට ලක් වූයේම ලෝකය පිළිබඳව මේ ආකාරයේ පැහැදිළි කිරීම් බව අපි දුටුවා. එවිට අප දස පනත විශ්වාස කරන්නේ ඇයි? දෙමාපියන්ට ගරු කිරීම, මිනී නොමැරීම, සොරකම් නොකිරීම, අන් සතු දෙයට ආශා නොකිරීම ආදී දේ අප පිළිපැදිය යුත්තේ ඇයි? මේ සියල්ල සඳහා අපට යහපත පිළිබඳව අදහසක් තිබිය යුතු බව පැහැදිළි වේ. නමුත් මේ අදහස දරා සිටිනා පදනම වීමට තවදුරටත් ආගමික කතිකාවට ශක්තියක් තිබුනේ නැත. එවැනි පසුබිමක අප යහපත යළි අර්ථකථනය කරන්නේ කෙසේද? මේ තමයි සොක්‍රටීස් – ඉතිහාසයේ පළමු වරට – ඇසූ ප්‍රශ්නය.

ආන්‍යා ට මතකද මේ කතාව?

ඒත්, මට අද අවශ්‍ය වන්නේ මේ පිළිබඳව යළි පැහැදිළි කිරීමට නොවේ. මට අවශ්‍ය වන්නේ සොක්‍රටීස් ට එරෙහිව එල්ල වූ චෝදනාව ගැන අදහසක් කියන්නයි. අපි දන්නවා ඔහුට මරණ දඬුවම ලැබුනේ ‘තරුණයන් නරක් කිරීම’ කියන චෝදනාව නිසා කියන කතාව. ඒ අතින් බැලුවම, දර්ශනය පිළිබඳව අපට තිබෙනා පැරණිම සමාජ තක්සේරුව වන්නේ මෙයයි: දාර්ශනිකයා තරුණයන් නරක් කරන්නෙකි. නැතිනම් – දර්ශනයේ අරමුණ වන්නේ තරුණයන් නරක් කිරීමයි. මම හිතන්නේ මේ ඓතිහාසික අනන්‍යතාවය අපි හැකිතාක් ආරක්ෂා කරගන්න ඕන.

ඒත් මෙතන ‘නරක් කිරීම’ කියන අදහස අපි අර්ථකථනය කළ යුත්තේ කෙසේද? සත්‍ය වශයෙන්ම මෙයට පිළිතුර අපි මේ වනවිටත් සාකච්ඡා කර තිබේ. සොක්‍රටීස් අතින් තරුණයන් ගේ ඔළු නරක් වෙනවා කියන්නේ ඔහු සමාජ යහපත පිළිබඳව අදහස ප්‍රශ්න කරනා ක්‍රියාවලියටම මිස අන් කිසිවකට නොවේ. දෙවියන් විසින්, රාජ්‍යය විසින්, ආධිපත්‍යධාරී පුද්ගලයන් විසින්, පොදුවේ පිළිගත් සම්ප්‍රදායන් මගින්, අපට පිළිගැනීමට බල කරනු ලබන කිසිවක්, එම නිසාම පිළිගැනීමෙන් වලකින්න – මේ තමයි සොක්‍රටීස් ගේ පණිවුඩය. අපට සැබෑ ජීවිතයක් හිමි වනු ඇත්තේ අපට ලැබී ඇති පූර්ව කල්පනයන්, අන්ධ විශ්වාසයන්, හිතුවක්කාරී චාරිත්‍ර සහ බලය, ජනප්‍රියත්වය ලබා ගැනීමට ඇති තරඟය ආදියට එරෙහිව අරගල කළ හැකිනම් පමණි.

විශේෂයෙන් මේ අන්තිම අදහස තරමක් පැහැදිළි කර ගැනීම වැදගත් වෙයි. එක අතකින් අපට දෙන ලද අදහස්, ආකල්ප ප්‍රශ්න කිරීමකින් තොරව බාර ගැනීම එතරම් යහපත් නොවන බව අද වන විට බොහෝ දෙනෙක් ගේ එකඟතාවය ලැබෙනා අදහසක් බව අපි දනිමු. එම අර්ථයෙන් එම ඉපැරණි සොක්‍රටීසියානු අදහසේ ඇති රැඩිකල් නවීනත්වය අපට ඒ හරහා දැනෙන්නේ නැත. නමුත් බලය පිළිබඳව ප්‍රශ්නයේදී අප තවමත් සිටින්නේ සොක්‍රටීස්ගේ ප්‍රශ්න කිරීමට යටත්වයි. මිනිසුන් මුදල් සහ ලිංගික සතුට සඳහා කැමති බව අපි හොඳින් දනිමු. නමුත් බලය? සමහර මිනිසුන් එයට කැමති බව පිළිගැනීම අපට එතරම් අපහසු නොවේ. නිදර්ශනයක් ලෙස අපේ රටේ දේශපාලඥයන් ජීවිත කාලයක් සුදු සරම් ඇඳගෙන, දෙකට තුනට නැමෙන නිලධාරියෝ ටිකක් වටකරගෙන, ඉවරයක් නැති රැස්වීම්, සාකච්ඡා, උත්සව වලට සහභාගී වීමට ජීවිත කාලයක් වැය කරන්නේ ඒ මගින් තිබෙනා බලයට ඇති උනන්දුව නිසා බව පැහැදිළිය. මේ අදහසම අපිට අධිකරණ විනිසිරුවරුන්, පොලිස් සහ හමුදා නිලධාරීන් ආදියටත් මේ ලෙසම ආදේශ කරන්න පුළුවන්. නමුත් මේක එතනින් අවසන් නොවේද?

නමුත් තරමක් කල්පනා කර බැලූ විට තත්වය මෙයට වඩා සංකීරණ බව පැහැදිළි විය යුතුය. බලය අභ්‍යාස කිරීමට ඇති කැමැත්ත අපේ ජීවිත වල තිබෙනා ප්‍රාථමික ආශාවක්-ඉලක්කයක් නොවෙයිද? රථගාල මෙහෙයවන ආරක්ෂක නිලධාරියා, දුම්රිය වේදිකාවේ ටිකට් පරීක්ෂකවරයා, රජයේ නිලධාරී තන්ත්‍රයේ ඉහළට යාමට අපේක්ෂා කරන සිවිල් නිලධාරියා, විශ්ව විද්‍යාල පරිපාලනයේ තනතුරු ගැනීමට කැමති ආචාර්යවරයා, සිය මතය පමණක් තහවුරු කිරීමට කැමති සාහිත්‍ය විචාරකයා ආදී ලෙස සමාජයේ තිබෙනා විවිධ ස්ථර මත මේ බලයට ඇති ආශාව අපට හඳුනා ගත හැකි වේ.

මේකට පරස්පරව දාර්ශනිකයා කියන්නේ මුදල්, සතුට සහ බලය වෙනුවට, ඒවා ඉක්මවූ සැබෑ ජීවිතයක් සොයා යන ලෙසයි. මේ හරහා අපට නිගමන දෙකකට පැමිණීමට අවස්ථාව තිබේ. එකක් සාධනීයයි. අනිත් එක පරප්ස්පරයි.

පළමුවෙන්, තරුණයන් නරක් කිරීම කියන එකට මීට වඩා හොඳ නිර්වචනයක් සමහරවිට අපට නොලැබෙනු ඇත. ජීවිතයේ අරමුණ වන්නේ මුදල් හම්බ කිරීම, පාරිභෝජනවාදී සතුට සහ බලය අභ්‍යාස කිරීමේ ඉලක්ක හඹා යාම නෙමෙයි. එහෙනම් සැබෑ ජීවිතයක් කියන්නේ මොකද්ද? මේකට සොක්‍රටීස් ගේ – බැලූ බැල්මට පරස්පර විරෝධී – පිළිතුර තමයි ‘සැබෑ ජීවිතය කියන්නේ ජීවිතයට වඩා විශාල දෙයක්’ කියන එක.

අපි සාකච්ඡා කළ යුත්තේ මෙය නොවේද?

ආදරයෙන්,

අනන්ත

 

 

 

***

 

 

Advertisements