Edvard Munch - The Lonely Ones

ඒකාන්තයෙන්ම  මම ඔබට කියමි

ඔබ හඬා වැලපෙන්නාහුය

එහෙත් ලෝකයා ප්‍රීති වන්නාහ

ඔබ දොම්නස් වන නමුත්  ඔබේ

දොම්නස සොම්නසට හැරෙනු ඇත

‘සාන්තුවරයා  සහ දෙකේ කාසිය’

– මංජුල  වෙඩිවර්ධන –

 

ජීවිය වූ කලී පරිත්‍යාගවලින් පිරි

පුජා පිළිවෙත් මාලාවකි . ලෝකය නමැති

අල්තාරය මත සියලුම ශාක සහ සත්වයෝ

අනෙක් ජීවීන්ගේ  උන්නතිය සඳහා තම ජීවිතය

පුද කරති .මේ අල්තාරය මත අපගේ

තාරුණ්‍ය , සුභ සිද්ධිය ,ආදරය කරන්නවුන්  හා

අවසන  අපගේ ජීවිත ද කැප කරමු ………………

 

‘ Confessions of a Pagan Nun’

– Kete Horsly –

 

 

දෙවියන් වහන්සේට  උවමනා කරන්නේ

හුරතල් කරන බබ්බු නෙමෙයි .

ධෛර්යයෙන්  ජීවිතේට මුහුණ දෙන

වැටී වැටිත් නැගිටින , ජීවිතයෙන්ම

ඉගෙන ගන්න , ජීවිතය බෙදාගන්න දරුවෝ

එහෙමයි දේව දරුවෝ වෙන්න පුළුවන්

දෙවියෝ ඉඩ දෙනවා අවදානම් දරන්න .

දුෂ්කර මාවතක ගමන් කරන්න .

ඒ හරහා තමයි මනුෂ්‍යයෙක්  පරිනත වෙන්නේ

දෙවියන් කැමතියි අපේ ජීවිතේ

තෝන් ලනුව අපිම අතට ගන්නවානම්

අභියෝගවලට  මුහණ නොදෙන ජීවිතයකින්

ඇති වැඩක් නැහැ ….

‘දේශද්‍රෝහීයාගේ  නිර්මල හෘදය’

– තරංගනී රෙසිකා ප්‍රනාන්දු –

මිනිස් ජීවිතයේ ඇති සියලුම පුජනීය දේවල් වෙළඳපල විසින් තීරණය කරන කාලපරිච්ඡේදයක අපි දැන් ජීවත් වෙමින් සිටිමු . මිනිස් අභ්‍යන්තරයේ  ඇතිවෙන ප්‍රේමණීයබව , සෙනෙහස හා මිනිස් සම්බන්ධතා  වැනි උත්කෘෂ්ඨ හැගීම් ව්‍යාජ සළුපිළිවලින්  මුළු මිනිස් සමාජයම සරසන යාන්ත්‍රනයක්  බවට ධනවාදය නමැති  අබලන් පීලි මත අපිව රැගෙන යමින් සිටියි . රූකඩ සංදර්ශනයේ  නුල් වෙළඳපල විසින් මෙහෙවන විට , එහි ව්‍යාජ මිනිස් රූප වෙළඳපලට අනුව රඟපාමින් සිටින අතර , ආන්තික මිනිස් ජීවිත දෙවියන්ගේ සැබෑ ස්වරුපය සොයමින් හඬා වැලපෙති . මිනිස් ජීවිතයකට මුලික අවශ්‍යතාවයන් වන ඉඳුම් හිටුම් හා කෑම බීම පවා අහිමි කරමින් ඇති නැති පරතරයේ  ඇති බෙදුම් රේඛාව  විශාලනය වී කෙලින්ම දෙවියන් යදින්න ඇති සීමාව ඉවත්කර  අතර මැදියන්ගේ කප්පම් අවසරය මත ,ඇති හැකි අයට පමණක් ස්වර්ගීය සැප අත්පත් කරගැනීමට වෙළඳපල ආධිපත්‍යය කාරුණික වී ඇත . අධිකතර ලෙස වෙළඳපල විසින් ආක්‍රමණය කරමින් සිටින මේ සමාජ සන්දර්භය තුල , එයට ප්‍රතිපක්ෂව සිටගන්නා ධෛර්යමත් මිනිසුන් සුළුතරයක් හෝ සිටීම හදපත්ලටම  කිඳාබැස ඇති වේදනාව සුවපත්කරන ඔසුවකි මේ ධෛර්යාමත් මිනිසුන් . සැබෑ වීරයන්ගේ සොහොන් කොත් ඩෝසර් වෙන අතර ව්‍යාජ ප්‍රති වීරයින්ගේ ස්මාරක වන්දිභට්ට  ගී ගායනා මැදින් ඉහලට එසවෙයි.

මිනිස් අභ්‍යන්තරයේ ගොඩ නැගෙන ප්‍රේමනීය හැගීම් අඳුරු වලාවකින් වැසී යමින් තිබෙනා අතර ,සිනාසීම පවා වෙළඳපලට ඌනනය වී ඇත .සියළුම මිනිස් ක්‍රියාකාරකම් මේ සමාජ වටපිටාවට අනුගතව සකස් වෙමින් යන අතර සාහිත්‍යයේ හා කලාවේ ඇති ආත්මීයබව ද ,මිනිසා හා සොබාදහම අතර ඇති සුසංයෝගය ද නිශේධනය වී ඇත .යම් කළා කෘතියකින් විය යුත්තේ ජීවිතය හා සමාජ වටපිටාව පිළිබඳව ගැඹුරු විවරණාත්මක අවබෝධයක් එම කෘතිය තුලින් ප්‍රකාශමාන වීමයි .එම නිසා කලාකරුවෙකුගේ අභිප්‍රාය විය යුත්තේ ජීවිතය හා සමාජ වටපිටාව පිළිබඳව තම අභ්‍යාන්තරයට දැනෙන ප්‍රතිවිරෝධතාවයන් පිළිබඳව නිරවද්‍ය විවරණයක් කලා කෘතියක් තුලින් ඉදිරිපත් කිරීමයි .එය අභ්‍යන්තරික ආත්මීයත්වයේ සත්‍යයේ  ස්වරුපයක් විය යුතුයි.

 

කාව්‍යයක්  හෝ නව කතාවක් රචනා කිරීමේදී , චිත්‍රයක් ඇදීමේදී  හෝ

සංගීතයක් නිර්මාණය කිරීමේදී , කලාකරුවා තම යතා ලෝකයේදී මුහුණ

දුන් බලවේග අතර සබඳතා සංකල්ප රුප මගින් වින්දකයාට සංස්පර්ශ

කරවීමට හා වින්දනය කරවීමට වෙර දරයි . ඕනෑම නිර්ව්‍යාජ කලා කෘතියක්

සමග සම්පර්ක වීමේදී සහෘදයා මෙතෙක් තම හද රැඳී හැගීම්වල සංක්‍රමණයක්

සිදුවුබව පසක් කරන්නේ එහෙයිනි .

‘කල්පනා ලෝකවාදය

සාහිත්‍ය කලා හා මාක්ස්වාදය’

– කීර්ති බාලසුරිය

සුචරිත ගම්ලත් –

 

මෙම අභ්‍යන්තරික  සත්‍යයේ  ස්වරුපය බිඳවැටුණු  විට, ප්‍රේමනීයබව , මිනිස් සබඳතාවල ඇති අනුරාගිකබව ගිලිහී යයි . එවිට සාහිත්‍යයේ  හා කලාවේ ආත්මීයබව ද ගිලිහී යයි . එවිට ලෝකය තුල පැවැත්ම , ලෝක සුසංයෝගය ව්‍යාජ වටිනාකම් බවට ඌනණය වෙයි . අප දැන් ගතකරමින්  ඉන්නේ  මිනිස්සු නම් දෙයෙහි සමග පැවැත්ම අභියෝගයකට ගිය වටපිටාබවකය . මෙවන් වටපිටාවක ලියන , කියන , ඇහෙන , අඳින සියල්ල සාරය අහිමි  ව්‍යාජ ස්වරුපයන්ය . මෙවැනි සාරය අහිමි වෙළඳපල මුල්කරගෙන  ලියන  කියන පසුබිමක දේශද්‍රෝහියාගේ  නිර්මල හෘදය නමින් තරංගා රෙසිකා ප්‍රනාන්දු   ඇයගේ කුළුඳුල් නවකතාව දොරට වැඩීම් උත්සව නැතිවම දොරට වඩියි. පොතේ පිටකවරයේ සිට අන්තර්ගතය දක්වා වෙළඳපල ආකර්ෂණයෙන් බැහැරකරයි   . නිර්මාණාත්මක පොත් පිටවැස්මවල් වෙනුවට ව්‍යාජ ලිංගිකත්වයන් මවා පාමින් කවර  නිර්මාණය කරන පසුබිමක තරුරසි  එම ව්‍යාජත්වයෙන් පවා මිදී  පොතේ අන්තර්ගතයට සාපේක්ෂව කවරය නිර්මාණය කිරීමට ඇය අවංක වී ඇත. පොතේ  අන්තර්ගතයට  හා කතා රටාවට අනුව ආකෘතිය ද එයට සාපේක්ෂව ගොඩනැගීමට තරුරසි තමන්ගේ නිර්මාණයෙන් අවංක උත්සාහයක් ගෙන ඇති  අතර එය සමාජ දේශපාලනික හා සැබෑ  ප්‍රේමනීය හැගීම් එකිනෙකා අතර ගොඩ නැගෙන විදිය ඉතාමත් තාර්කික ලෙස මෙම පොත මගින් ප්‍රකාශමාන කරයි .මෙය බයිබලීය සන්දර්භයට අනුව උත්පත්ති කතාව සහ නික්මයෑම යනුවෙන් ආකෘති රටාව වෙනස් කරන අතර පරිච්චේද වෙන්කරන ආකාරයද බයිබලයේ ප්‍රේම ගී කියන කොටසේ වාක්‍යයන් එම පරිච්චේදයට හරියටම උචිත ලෙස ගලප්පන්නට ඇයගේ පරිකල්පනීය ලෝකයේ ඇති නිර්මාණශීලීභාවය මෙම කෘතිය මගින් ගම්‍යමාන කරයි  යම් කලා කෘතියක ජීවමාන  අර්ථය රඳාපවතින්නේ  එම කෘතියේ ඇති ගුණාත්මක ලක්ෂණ මත පමණක්ම නොවේ , එම කෘතිය කියවන්නියද කෘතියේ ආත්මීය කොටස් කාරියක වී  ඇයගේ පරිකල්පනීය ඥානය ද  එම කෘතිය සමග බද්ධවී කියවන්නියද කැඩපතක් ඉදිරිපිදී තමාව තමා දකින්නට සැලැස්වීමෙනි .තරු තම කෘතිය තුලට කියවන්නියව රැගෙන යන්නේ කළු සුදු පැහැ අන්තරයට අමතරව අළු පැහැති සමාජ දේශපාලනික වටපිටාබවකට අපිව ඇතුල් කරමිනි .ඇය තම කෘතිය තුලට අපිව මුල් චේදයෙන්ම රැගෙන  යන්නේ ව්‍යාජ  ලෙස සරසා ඇති නගරාලංකාරයේ සළුපිලි මුදාහරිමිනි .

 

ඉර ඇවිලෙමින් පැවති උදෑසන හැඩි වන්නේ අතොරක් නැති කාක් කංකරච්චලයෙනි.

දුව්ල්ල , දිවිල්ල , අවිලිල්ල නිරන්තර ධ්‍යානය කොටගත් අගනගරය සාටෝප

සුන්දරත්වයේ සළු පිළියෙන් සැරසෙමින් සිටින්නේ , අසුන්දරභාවයේ සියල් සලකුණු

වසන් කරලන්නට හැකිතාක් වෙර දරමිනි . අපමණක් කුණු කන්දල් හංගාගෙන පාට පාට

කුට්ටි ගල් , නේක නෙක හැඩයෙන් අතිරෙමින් , පැතිරෙමින් පවතී .කුණු කාණුවල දුර්ගන්ධය

නැහැ පුඩු ඉක්මවා ඇස්, ඉස , මස් ලේ නහර විනිවිදින්නේ සකලවිධ අන්සිනයක්

අතර වුව එළඹ සිටි සිහියෙන් ඇවිද යන්නේකුගේම පමණී .

‘දේශද්‍රෝහීගේ නිර්මල හෘදය’

පිටුව , 09

මතුපිටින් පෙනෙන සමාජ සැකැස්මේ ඇති ව්‍යාජ ස්වරුපය විනිවිඳිමින් කෘතියේ ඇතුලට පිවිසෙන්නට ආරාධනා කරන්නේ වර්තමාන තත්‍යය ලෝකයේ ඇති නපුරු සිහින ජීවිතයට සම්මිශ්‍රණය කරමිනි . සාහිත්‍යය හා වෙනත් කලා කෘතියක් අපට විවිධාකාරයෙන්  අර්ථකථනය කලහැක .සාහිත්‍යය හා කලාව යනු කුමක්ද ,එහි දිශානතිය කුමක්ද , එයට බලපාන සමාජ දේශපාලන කාරනා මොනවාද ,එය ප්‍රේමය හා සෞන්දර්යට බලපාන්නේ කෙසේද ලෝකයේ පවත්නා දේවල් වෙනස් කිරීමට කලාවට ,සාහිත්‍යට  බලපෑමක් කළහැකිද කියන කාරනා විශ්ලේෂණයට බඳුන් කල හැක .මම හිතන්නේ මේ සියලු කාරනා තරුගේ කෘතියෙන් පිළිවෙලට සාකච්චා කිරීමට හැකියාව තියනවා කියලයි .සමහරවිට මෙය හුදු ආගමික පොතක් ලෙස කෙනෙකුට හැඟෙන්නට පුළුවන් එය එසේ නොවන බව  පොතේ අන්තර්ගතය හා සමාජ දේශපාලනික කාරනා වටහා ගත් කියවන්නියකට අවබෝධ වෙනු ඇත .

පොතේ හමුවෙන චරිත පරිකල්පනීය ලෝකයේදී හමුවෙන චරිත නෙවෙයි . මේ මහා පොළොවේ මිනිස් නිදහස , ස්වාධීනත්වය සඳහා අරගල කල , අරගල කරන මිනිසුන්මයි මේ කෘතිය තුලින් හමු වෙන්නේ .කෘතියේ මුඛ්‍ය තේමාව වන්නේ සෙව්වන්දි නම්  කන්‍යා සොහොයුරියක් තම පැවිදි ජීවිතයේ නීති රීති වලට පරිභාහිරව සමාජ දේශපාලන කාරනාවලට සම්බන්ධ වීම සහ , එහිදී ඇතිවෙන ගැටලුවලට ඇය තාර්කිකව මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාවයි .ස්ථාපිත ආගම් සම්ප්‍රදායේ  නීති රීතිවල ඇති  සීමාකම් නිර්භයව ප්‍රශ්නකරමින් දෙවියන් පෙනී සිටිය යුත්තේ කා වෙනුවෙන්ද කියන කාරනාව  ස්ථාපිත ආගම් සම්ප්‍රදායෙන් අසයි .

 

දෙවියන් වහන්සේට සේවය කරනවා කියන්නේ මිනිසුන්ට සේවය කරනවා කියන එක නෙවෙයිද

සිස්ටර් ? නොපෙනෙන දෙවියන් මිනිස්සු තුල දකින්න ඕන කියන එක අපේ පැවිදි පුහුණුව

ඇතුලෙම අපිට ඉගැන්නුවනේ

‘දේශද්‍රෝහීගේ නිර්මල හෘදය’

පිටුව 13

 

දෙවියන් වහන්සේගේ නාමයෙන් ආන්තික මිනිසුන් වෙනුවෙන් සත්‍යය කතා කරපු ,ඒ වෙනුවෙන් දිවිදුන් බොහෝ දිවැසිවරු, මුනිවරු සහ මුනිවරයන් පරමාදර්ශ චරිත බයිබලීය සන්දර්භයට අනුව ඓතිහාසිකව  අපිට මුණ ගැසෙයි. දේව රාජ්‍යය යනු ප්‍රේමනීයබවේ ,සමානාත්මකබවේ හා සාධාරණත්වයේ සාමුහික සමාජයකි . සෙව්වන්දි නමැති කන්‍යා සොයෝරිය අරගල කරන්නේ එවැනි පරමාදර්ශී සමාජයක් වෙනුවෙනි . ඇය හැම විටම ඇයගේ හෘද සාක්කියට අනුව ජීවත් වීමට උත්සාහ දරයි .ඒ අනුව ඇය එක් අර්බුදකාරී අවස්තාවක තම හෘද සාක්කියට අනුව පැවදි දිවියෙන් සමුගන්න පවා  තීරණය කරයි. මෙම කෘතියේ  එන අනිත් ප්‍රබල චරිතය වන්නේ විකල්ප අදහස් ඇති  සමාජ දේශපාලන මැදිහත්කරුවෙකු වන ආදිත්‍ය නම් රැඩිකල්  තරුණයායි. ඔහුගේ මේ ඇසුර සෙව්වන්දිගේ ජීවිතේ බොහෝ වෙනස්කම් වලට බලපායි . ඔහුත් ඇයත් අතර මේ ඇතිවෙන මිතුරු ඇසුර ගොඩ නැගෙන්නේ ප්‍රේමනීයබවේ පරමාදර්ශයේ සංකේතයක් ලෙසයි .සාමාන්‍යයෙන් යම් කලා කෘතියක් විශ්ලේෂණය කරද්දී කතුවරිය හෝ කතුවරයාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරුවලින් බැහැරව කෘතිය තුලින්ම එය විශ්ලේෂණය කිරීම තමයි විචාරයේ විධික්‍රමයක් ලෙස ගැනෙන්නේ . බොහෝ දුරට කෘතිය හා කතුවරයා අතර බෙදුම් රේඛාව බොඳවී ගොස් කෘතියේ ආකෘතිය හා අන්තර්ගතය කේන්ද්‍ර කරගෙන විචාරාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරයි .එත් තරු සහ තරුගේ කෘතිය අතර ඇති බෙදුම් රේඛාව වෙන්කරන්න බැහැ. කෘතිය තුලින් පිළිබිඹු වෙන්නේ තරුගේ ආත්මයයි ,තරුගේ සමාජ  දේශපාලන මැදිහත්වීමේ නිර්ව්‍යාජ ආත්මභාවයයි .

මේ මොහොතේ සාහිත්‍ය කෘති කියා තොග ගණනින් එලියට එන්නේ වෙළඳපල විසින් ඉල්ලා සිටින සරල ලිංගිකත්වයන් ඉස්මතු කරන සාහිත්‍ය යැයි කියාගන්න අවරගණයේ පොත්ය. එවන් පසුබිමක තරු විසින් තමන්ගේ කුළුඳුල් නවකතාවෙන්ම කරන  සමාජ දේශපාලන මැදිහත්වීම ප්‍රසංසාවට කරුණකි .ලංකාවේ ඇතිවූ දේශපාලන අරගල තුනක  ඉතිහාසය 71, 88 ,89  හා උතුරේ විමුක්ති අරගලය පිළිබඳව පොතේ අන්තර්ගතය තුලින් නිර්මාණාත්මකව රැගෙන එන්නේ ලාංකික සමාජ වීඥානය පිළිබඳව අපිව අලුතින් සිතන්නට පොළොඹවමිනි . මේ අරගල තුනේ ඉතිහාසය ඇතුලේ මනුෂ්‍ය ඝාතනයට එරෙහිව මිනිස්කම වෙනුවෙන් සැබෑවටම පෙනී සිටි ඒ වෙනුවෙන් දිවිදුන් උදාර චරිත කීපයක්ම පොතේ සන්දර්භයට අනුව අපිට මුණ ගස්වන්නේ මිනිස් වර්ගයා ගැන අලුතින් හිතන්නට කියන ආදරණීය ආරාධනාවකිනි. මේ කාලවකවානුවේ මිනිසුන් වෙනුවෙන් ප්‍රාණය පරිත්‍යාග කල , මයිකල් පොල් රුද්‍රිගු පියතුමා ගැනත් , ශ්‍රී ලාල් අමරතුංග පියතුමා ගැනත් මතකය අපට රැගෙන එන්නේ  සංවේදී හදවත් තෙත් කරවමිනි. වචනවලින් පමණක් ව්‍යාජ වීරයින් වී ජනප්‍රිය  වෙන්න දඟලන පසුබිමක තම ප්‍රායෝගික ජීවිතයෙන්ම ජීවිතය කුමක්දැයි ඔප්පුකර ,මෙලොවෙන් සමුගත්තත් සදා ජීවමාන මිනිසුන්ගේ රිද්මය අපේ ජීවතවලට සමීප කරන්න තරු සමත්වෙන්නේ ඉතාමත් තාර්කික කතා රටාවකිනි . 88,89 සමාජ දේශපාලන අර්බුදකාරී සමයේ මයිකල් රුද්‍රිගෝ පියතුමාගේ ජීවිත ආරක්ෂාව ගැන විමසු තම සොයුරිය ,ඇයට ලිපියකින් පිළිතුරු යවමින් කියාසිටින්නේ ,

 

කුරුසිය අප බිත්තියේ සවිකර එල්ලා ගන්නා දෙයක් නොවේ .ජේසුතුමා පළමුව එහි එල්ලුණි

ඒ අනුව අප අවස්තාව පැමිණිවිට අප සහෝදර සහෝදරියන් වෙනුවෙන් මියයාමට සුදානම්ව

සිටිය යුතු වෙමු .මැරෙන්නට අප බිය විය යුත්තේ ඇයි ? අර්බුදයෙන් පලායාම සාක්ෂි දැරීම

නොවේ .ජනතාව අත්නොහැර  අප ඔවුන් සමග ජීවත් විය යුතුය .

උපුටා ගත්තේ

‘කිතු දහමේ විමුක්ති හරයට

පණ පෙවූවෝ’ කෘතියෙනි

 

 

තරුරසි කිසිවිටක තමන්ගේ මනෝ ලෝකයෙන් මවාගත් ඉන්ද්‍රජාලික චරිත තම කෘතියට ගෙන එන්නේ නැත.එහෙම ගෙන එන්නට තරුට අවශ්‍යතාවයක් ද නැත .එ මොකද තරු මේ මහා පොළොවේ බර අඩි තියා ඇවිදින ,පොළොවේ රස්නය හොඳට දැනෙන ඇය සැබෑ මනුෂ්‍ය දුවක් වන නිසාවෙනි .එම නිසාම මෙහි එන චරිතද අහසින් පාත්වූ චරිත නොව ,සැබෑ ලෙසම අප සමග ජීවත්වූ දැනටමත් ජීවත්වෙන චරිත වෙති . එහෙයින් අනවශ්‍ය සංකල්ප රූප සහ සංකීර්ණ අර්ථ ජනන යාන්ත‍්‍රණයයෙන් බැහැරව යතාර්ථවාදී රීතිය ඔස්සේම කෘතියේ අන්තර්ගතයට පිවිසෙයි .කතෘ හා පාඨකයා අතර තිබෙන දුරස්ථභාවය සමීපකර,  කියවීම යනු හැකිලී තිබෙන පොතක් පිපෙන්නට සැලැස්වීම යන අර්ථයෙන් පාඨකයාවද මේ කෘතියේ චරිතයක් බවට පත් කරන්නට තරු සමත් වෙයි .එපමණක් නොව භාෂාව හා යථාර්තමය ගුණය නිසා කෘතියේ අන්තර්ගතයට ලැබෙන ආලෝකය ආකෘතියෙන් ගම්‍යමාන වෙයි.මිනිසා මිනිසෙක් ලෙසත් , මිනිසා ලෝක පුරවැසියෙක් ලෙසත් අපි අවබෝධ කරගන්නේ කෙසේද යන කාරනාව මේ කෘතිය පුරාවටම දිස්වෙන ලක්ෂණයයි. පටු වර්ගවාදය නිසා දහස් ගණනින් මියගිය  මිනිසුන්ගේ ජීවතවලට වන්දි ගෙවන්නේ කෙසේද කියන හෘද සාක්ෂිය ඇය විසින් අප අභිමුඛව තබන ප්‍රශ්නයයි .මෙලොවට ඉපදුන සෑම මනුෂ්‍යයෙක්ම ගරුත්වයක් සහිතව ජීවත් වී මිය යා යුතුය. එයයි දේව නීතිය ,එයයි ස්වභාව ධර්මයේ නීතිය. තරුරසි තම නිර්මාණය හරහා මුළු සමස්ත ලෝකයෙන්ම අහන වේදනාබර ප්‍රශ්නය එයයි. එක අතකින් මේ පොත හරහා සමාජ දේශපාලන ගවේෂණයක් කරන අතර, අනෙක් අතින් අධ්‍යාත්මික ගවේෂනයක්ද කරමින් විශ්වීය යථාර්ථයක ඇති ඓශ්චර්යය ගැන අපෙන් ප්‍රශ්න කරයි.

 

ජීවිතය උඩුයටිකුරු වන ඓශ්චර්යවත් නිමේෂයන් මෙලොව උපන් සෑම අයෙකුටම

හමුවෙනවා ඇත. යමෙකු එය හඳුනා ගන්නට සමත් වෙනවා ඇත. තවත් අය කිසිවක්

නොදැන ඒ අසිරිමත් අවස්තාවන් පසුකර යනවා ඇත. විශ්වීය විශ්මයට ආත්මය වීවෘත

වන මොහොත ස්වර්ගීය සැලසුමට අප නතුවන මොහොතද ? එසේ නොවේනම් ස්වර්ගීය

සැලසුම යනු ම විශ්වීය ඓශ්චර්යය  කරා අප කැඳවා යන මාවතද ?

පිටුව 15

ඇත්තටම එය අප අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි . නීති රීති වලට වඩා  ඔබ්බෙන් ඇති උත්තරීතර පැවැත්මක් යනු කුමක්ද ?එය දෙවියන්ගේ පැවැත්ම සාධනය කරන අනුභුතිකඋත්තර  පැවැත්මක්ද ?මනුෂ්‍ය ආත්මයක් දෙවියන් සමග සුසංයෝග  වෙන්නේ කෙසේද යන්න අප අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි. පොතේ අන්තර්ගතය විසින් අපිට ආරාධනා කරන්නේ ,ලෝකය තුල පැවැත්ම සාධනය කරගත හැක්කේ ජීවිතයේ ඓශ්චර්යවත් නිමේෂයන් ස්වර්ගීය සැලසුමකට අනුව අපේ ආත්මයන් සැලසුම් කරගත යුතුයි කියන සංඥාවද ? ජීවිතයේ හා ලෝකයේ ඇති ප්‍රතිවිරුද්ධතාවයනුත් , දෙවියන්ගේ හා ස්ථාපිත ආගම්වල ඇති ප්‍රතිවිරුද්ධතාත් , සැබෑ ප්‍රේමය යනු කුමන හැගීමත්ද යන්න කෘතියේ එන සෙව්වන්දි කියන කන්‍යා සොයුරියගෙන් ගම්‍ය වෙයි.ඇය විමුක්ති දේව දහම හදාරන්න කැලණියේ පිහිටි තුලන ආයතනයට ගියවිට , එහිදී ඇයට ආදිත්‍ය නම් තරුණයකු මුණගැසෙයි . ඔහුගේ රැඩිකල් ආකල්පයන් , හැසිරීම්, ඔහුගේ සමාජ දේශපාලනික මැදිහත්වීම් සහ ඔහු තුල ඇති උදාර පරමාර්ථ නිසා ඔහුත් ඇයත් අතර මිත්‍රත්වයක් ඇතිවී ඒ මිත්‍රත්වය ප්‍රේමනීයබවක් දක්වා ගොඩනැගෙයි.ඔහුගේ මේ අමුතුබව නිසාම  ඇය ඔහුට චන්ඩි ජීසස් ලෙස නම් කරන අතර ඇයගේ අභ්‍යන්තර ජීවන හැගීම් සහ භාහිර දේවල් අතර වෙනස විශාල  පරිවර්තනයකට භාජනය වෙයි. ඇයගේ ජීවිතයේ මේ වෙනස්වීම් හමුවේ පැවිදි ජීවිතයේ ඇති සීමාකම් පවා ඇය ප්‍රශ්න කරයි. එම නිසාම ඇයට වෙනත් දුෂ්කර පළාතකට යන්න සිදුවෙයි. ඒත් ඒ  වෙනකොට පැවිදි දිවියේ නියම අරුත වටහාගෙන ඇති නිසාවෙන් ඇය ලෝකයේ ඕනෑම තැනක යන්නට ඇයගේ මානසික ලෝකය ශක්තිමත්ව ගොඩනැගී ඇත. ඇයට අවශ්‍ය වන්නේ මිනිසුන් සිටින වටපිටාවක් පමණී.

 

කොහේ කොතැනක වුව කම් නැත. ඒ මිනිසුන් නැති කාන්තාරයක් නොවෙනවා නම්

එපමණක් ප්‍රමාණවත්ය. විසල් කුටියෙන් නික්මෙනාතර හැර දා යා නොහැකි වැඩ

කන්දරාවක් සහ ලෙන්ගතු බැඳීම් රැසක් අගනුවර ගෙන්දගම් පොළොවේ ඇති බව

සිහිපත්වී ශෝකී සුසුමක්ද නැගිණි.

පිටුව 14.

 

ඇත්තටම මිනිස් ජීවිතය කියන්නේ හුදු සරල පැවැත්මකට නොවෙයි. ලෝකය තුල පැවැත්මට මිනිස් ජීවිතයක් ඇද වැටුණු දා සිට, එය විවිද සංකීර්ණ මානයන්වලට අපට මුහුණ දෙන්න සිදුවෙයි. අපිට මුහුණ දෙන්නට සිදුවන සෑම සංසිද්ධියකටම අප ධෛර්යයෙන් මුහුණ දිය යුතුය. ජීවිතයට පන්නරය ලැබෙන්නේ මිනිස්සු නම් දෙයහී සමග පැවැත්ම, ලෝකය තුල පැවැත්ම සාධනය කරන්න යන නිමේෂයන්වල දීය. සරල රේඛාවක් ලෙස ඔහේ ගලාගෙන යන ජීවිතයෙන් ඇති පලක් නොමැත. අපේ ජීවිතවලට අපි ලොකු අර්ථයන් දිය යුතුය. ජීවිතයේ පරිපුර්ණ අර්ථයන්වලට යා හැකි එකම මාර්ගය වන්නේ ප්‍රේමයේ අභ්‍යන්තරික  ධාරිතාවයයි. ප්‍රේමය යනු කායික සන්තර්පනයන් මත පමණක් ගොඩනැගෙන දෙයක් නොව, එය සොබාදහමේ හා මනුෂ්‍යත්වයේ උත්තරීතර පැවැත්මේ ප්‍රහර්ෂයයි. එය සැබෑවටම අපට අත්විඳිය හැක්කේ මේ ලෝකය වඩා යහපත් තැනක් කරන්න යන දේශපාලන අරගල භූමියේදීය. මානව ශිෂ්ඨාචාරයේ මෙතෙක් ආ ගමන් මග වැටී ඇත්තේ එවන් අරගලවල මානුෂීය වටිනාකමින් යුත් ඉතිහාසයෙනි. ප්‍රේමයේ විශ්වීයත්වයට අපිව රැගෙන යන්නේ එවන් අරගල තුලින්:

මිනිසුන් වෙනුවෙන් පණ  පිදු අපමණක් ප්‍රාණ පරිත්‍යාගවර මතක සමග කිමිදෙන විට

ඒ ධෛර්යය එන්නේ කොතැනින්දැයි සිතාගැනීම අපහසු නොවේ. විප්ලවය උපදින්නේ

ප්‍රේමය වෙතින් බව චේ කියා ඇතැයි මට කියා දුන්නේ ඔහුම නොවේද ? ජීවිතයට ,

මනුෂ්‍යත්වයට ඇති අප්‍රමාණ ප්‍රේමය සුවහසක් ජේසුවරුන්ට උපත දෙනවාට නිසැකය.

පිටුව 62.

කලා කෘතියක්  ජීවමාන වන්නේ එහි  යම් හදවත් රිද්ම රටාවකට එහි ඇති අන්තර්ගතය විසින් කියවන්නියව රඳා පවත්වා ගන්නට සමත්නම් පමණී. ජීවිතය හා මිනිස් සමාජයත් , මිනිස් සමාජය හා බැඳුනු සමාජ දේශපාලන කාරණාත් කලා කෘතියක් තුලින් ගම්‍යමාන නොවුනොත් එහි ජීවමාන ගුණය කෘතිය තුලින් ගිලිහී යයි. සැබෑ කලා කෘතියක සාරය වන්නේ මනුෂ්‍ය වේදනාවේ විඳවීම් පුද්ගලික දෘෂ්ඨියකින් නොව සමාජ දේශපාලන හා විශ්ව පරිමාන දෘෂ්ඨිකෝණයකින් එය ප්‍රකාශමාන කළහොත් පමණී. තරුරසිගේ කෘතියේ ඇති විශේෂත්වය වන්නේ  ද ඇයගේ මානසික ශ්‍රමය සමාජ නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා මුදා හැරීමයි. ලංකාවේ පැවති ,දැනුත් අඩුවැඩි වශයෙන් පවතින ජාතිවාදී හිංසනයන්වල යථා ස්වභාවය ප්‍රතිනිර්මාණය කරන්නේ අපට ද එහි වගකීමක් ඇති බව හඟවමිනි. තරුගේ කෘතියේ විශේෂම ලක්ෂණය වන්නේ අධිපතිවාදී දෘෂ්ඨිවාදයන් සියුම් ලෙස ප්‍රශ්න කිරීමයි. ආගම යනු අපේ ජීවිතවලට විමුක්තිය ලඟාකර දෙන ක්‍රියා මාර්ගයක් ද ,එසේත් නැතිනම් අපිව කොටු පවුරුවලින්  වටකර ජීවිතේ සීමාන්තික කරන ක්‍රියා මාර්ගයක් ද කියන ප්‍රශ්නය ඇය අසයි. ආගමික පසුබිමකින් කල යුත්තේ මිනිස් අධ්‍යාත්මයේ ඇති වටිනාකම් ගැන කියා දීම වුවත්, පවතින ආගම් යනු තව දුරටත් අධ්‍යාත්මය අහිමි ආයතන පමණක් බවත්, එහි ඇති ව්‍යාජ ස්වරූපයන් ගැනත්  ප්‍රශ්න කරයි.

 

ඇත්ත කරන්න පුළුවන් .එත් කරන්නේ නැහැ. පල්ලිය පන්සල කියන්නෙත් දැන්

ආයතන විතරයි. ආයතනික කටයුතු මිස මිනිස්සුන්ගේ ජීවිත සම්බන්දයෙන් ඇත්තම

වගකීමකින් වැඩ කරනවද ? එහෙම කරනවානම් මේ රටේ පන්සල් ,පල්ලි,කෝවිල්

තියන හැටියට මේ විදියට මිනිස්සු දුකට වැටෙයිද ?කා කොටා ගන්යිද ?හරිනම්

ස්වර්ගය නිවන මේ මහා පොළොවේ උදා වෙලා තියෙන්න ඕන නේද ?

පිටුව 100.

 

අප අතිමහත් භක්තියෙන් යුතුව ප්‍රාර්ථනා කල යුත්තේ ආත්මයේ හුදකලා විමුක්තියක් නොව, ලෝකය තුල පැවැත්ම සුසංයෝගය කරන පරිපුර්ණ පැවැත්මයි. වාග් සංදර්ශනවලින් තොරව මිනිස් ජීවිතේ අධ්‍යාත්මික සහ ලෞකික ලෝකය අතර ඇති සහසම්බන්ධතාවයත්, නිල සළුපිලිවලට යටින් ඇති සැබෑ මිනිස් හැගීම්වල  යතාර්තමය වේදනාවේ සාරයේ  ස්වභාවයත් තරු  නිර්මාණශීලීව ඉදිරිපත් කරන්නට අරන් තියන උත්සාහය හරිම සෞන්දර්යාත්මකයි සහ දේශපාලනිකයි. මෙහි එන සෙව්වන්දි කන්‍යා සොයුරියගේ චරිතයෙන් ඉස්මතු වෙන්නේ මෙම ආත්මියත්වය සහ පරමත්වය අතර ඇති මිනිස් හැගීමෙ ප්‍රතිවිරුද්ධතවයයි. මිනිස් සම්බන්ධතා ඒකරාශී කරන මුලික යාන්ත්‍රනය  මිනිස් අභ්‍යන්තරයේ පවතින අනුරාගික බවයි. ප්‍රේමය යනු මිනිස් ආත්මයේ අපිරිමිත අපේක්ෂාවන් උත්පාදනය කරන  අසීමිත ගැඹුරු යතාර්තයකි. මිනිස් අභ්‍යන්තරයේ ආත්මීය ස්වරුපය විසින් ඉල්ලා සිටින්නේ පරිපුර්ණ වූ ප්‍රේමනීය ලෝකයක් වුවත්, එය කිසිදා කිසිවෙකුට පුර්ණ ලෙස අත්පත් කරගත් නොහැකි හිස් ඉඩක් සහිත දුරස්ථ පැවැත්මකි. එමනිසාම අපි මිනිස් පැවැත්මෙන් පරිභාහිරවූ අපිරිමිත පැවැත්මක් වන දෙවියන් God වෙත අපේ ආත්මය මුදා හරියි .අනෙකා සමග පැවැත්ම අර්බුදයට යන හැම විටම, දෙවියන් සමග පැවැත්ම අපේ අභ්‍යන්තරයෙන් අපි ඉල්ලා සිටින්නේ, දෙවියන් යනු භාෂා ලෝකයට ගෙන ආ නොහැකි අපිරිමිත පැවැත්මක් නිසාවෙනි.

 

සමිඳුනි මම ඔබ වෙත හැරෙමි. මා අත්නොහැරිය මැනවි.ඔබේ උදහස මා පිට

නොපමුණුවනු මැනවි. ඔබේ ශුද්ධාසනය වූ මගේ ආත්මය නිරන්තර තැති

ගැන්මෙන් පසුවන්නේය.දෙවිඳුනි මා වෙත වැඩිය මැනවි. මා අවට පලිහක්ව

නැගී සිට මා රක්ෂා කල මැනවි. මගේ ආත්මය අසරණව යන සෑම මොහොතකම

මගේ ශක්තිය වුව මැනවි.

 

සාහිත්‍ය කෘතියක් විවිධ මානයන්ගෙන් අපිට අර්ථකථනය කල හැක. එය සෞන්දර්ය වීඥානය මත පදනම්ව හෝ සමාජ දේශපාලන ,මනෝවිද්‍යාත්මක  හා භාෂා,සංඥා, හා සංකේත සිද්ධාන්ත යටතේ කෘතියක් විශ්ලේෂණයට බඳුන් කල  හැක. මොනම දෘෂ්ඨි කෝණයකින් මෙය විවරණය කලත් ආත්මයේ සත්‍යතාවය කෘතියක් තුල තිබිය යුතු අතර එය තුල ජීවන විවරණයක් ද තිබිය යුතුයි.

මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භක අවදියේ පටන් මිනිස් හැගීම්වල ප්‍රතිවිරෝධතාවයන් යම් යම් සන්නිවේදන මාර්ග ඔස්සේ ප්‍රකාශමාන කරන්න මිනිසාට තිබුණු හැකියාවන් අතරින්, කලාත්මක ප්‍රකාෂමානය එයින් ප්‍රධාන තැනක් හිමි වන්නේ කලාව තුලින් මිනිසාගේ අධ්‍යාත්මයට සැනසිල්ලක් ලැබෙන නිසාවෙනි. සාහිත්‍ය කෘතියක් ප්‍රබන්ධයක් ලෙස වරහන් යුගලක් තුල තබා නිර්වචනය කලත්, එහි අන්තර්ගතයේ කතුවරයා අත්වින්ද ජීවන අත්දැකීම් යම් ආකාරයකට ප්‍රකාශමාන වෙයි. තරුරසිගේ මෙම කෘතිය පුරාවටම ප්‍රකාශමාන වන්නේ, ඇය විසින් අත් දැක්ක , අත් වින්ද  අත්දැකීම් සමුදායක එක් පැතිකඩක ජීවන විවරණයයි. මෙහි එන සෑම චරිතයක්ම තරුගේ සමාජ දේශපාලන ජීවිතයේදී සැබෑවටම තමන්ට මුණ ගැසුණු සැබෑ චරිතයන් වුවත්, ඒ චරිත කෘතිය තුලට  ගෙන එන්නේ ඉතාමත් නිර්මාණශීලීව කෘතියට හානියක් නොවන ආකාරයෙනි. කිසි විටක කතෘ විස්වාස විස්වාස නොකරන්න, කතාව විස්වාස කරන්න කියන සාධකය බිඳිමින්, කතෘ හා කෘතිය යන සාධක දෙකම සමපාතකර එය විශ්වාසයේ පරමයට ගෙන එන්නට තරු සමත් වන්නේ, තරුගේ නිර්මාණ දිවියත් සැබෑ දිවියෙත් ඇති අව්‍යාජකම නිසාය. මෙහි එන සෙව්වන්දී කන්‍යා සොයුරියගේ සැබෑ අභ්‍යාන්තරික හැගීම්වල මිනිස් ස්වභාවය සියුම් ලෙස විවරණය කරන්න හැකි වන්නේ තරු ද මේ පොළොවේ ඓන්ද්‍රීය දේශපාලන චරිතයක් වන නිසාමය.

 

හතර වටින් යුද ගිනිදැල් නැගෙද්දී මා සිටියේ අරුමැසි ප්‍රේමයේ ගිනිකන්දක් මා තුලම දරා

ගනිමිනි. එය කොයි මොහොතේ හෝ පුපුරා යනු ඇතැයි නිරන්තරයෙන් බිය ගනිමිනි.

ඒ ඇතුලාන්ත අරගලයෙන් යම් සහනයක් ලැබිය හැකි වෙතයි යන සිතුවිල්ල සැනසිල්ලක් වී

ශෝකී සුසුම් අතරම වියැකී යන බවක්ද දැනිණි.විදාරණය වන්නට නොව සිසිලනය වෙමින්

හද ගැඹරෙහිම නිවී යන්නට ඉඩ දිය යුතු ප්‍රේමයකි ඒ .

පිටුව 14 .

 

ඇත්තටම මෙහි ප්‍රේමයේ අභ්‍යන්තරික ශෘංගාරාත්මක රසයත්, දේශපාලන අරගලයේ භාහිර ස්වරුපයත් අසභ්‍යතත්වය සමග පටලවා නොගෙන ප්‍රේමයේ හා සමාජ සම්බන්දතා දෙස වීවෘත බැලීමට කතුවරිය සමත් වී ඇති අතර  එක පැත්තක වාර්ගික අර්බුදයත්, තව පැත්තක පීඩිත ව්‍යූහයේ ශෝකාලාපයත්, ඒ මැදින් උත්කර්ෂයට නංවාලන සැබෑ ප්‍රේමයේ ස්වරුපයත් නිර්මාණයශීලීව කියවීම නමැති අවිච්ඡින්න ක්‍රියාව මගින් ගොඩ නගන්න තරු විසින් කර ඇති උත්සාහය ඉතාමත් සෞන්දර්යාත්මක දේශපාලනයකි.පවත්නා දේ වෙනස් කිරීමට නම් ඒ වෙනුවෙන් අරගල කල යුතු බවත්, අරගලයකින් තොරව පවතින දේ වෙනස් කිරීමට නොහැකි බවත් දේශද්‍රෝහීයාගේ නිර්මල හෘදය මගින් සංජානනය කරන අතර, එය අයර්ලන්ත ජාතික කතුවරියක් වන KATE HORSLEY ගේ CONFESSIONS OF A PAGAN NUN කෘතියේ ව්‍යූහයට සමාන කෘතියක් බව කීමට තරම් මම නිර්භීත වෙමි. කවුරු හරි සාහිත්‍ය විචාරයෙකුට හෝ විචාරිකාවකට මගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසන්නට පිළිවන් මෙය විචාරයක්ද ? එහෙමත් නැතිනම් කෘතියේ පාරිශුද්ධභාවය ගැන පමණක් ලියු  රචනාවක් ද කියන ප්‍රශ්නය. ඔව් ! මට අවශ්‍ය වුයේ මිනිස් ආත්මයේ පවතින සැබෑ ස්වරූපයත්, එය ලෝකය තුල පවත්නා සමාජ හා දේශපාලන සන්දර්භයත්, දර්ශනවාදයේ එන මිනිස් “අධ්‍යාත්මයත්” “ආත්මීයත්වය” සහ ඒ මතින් ගොඩනැගෙන “සද්භාවවේදී වෙනසත්” කෘතිය තුලින් ගෙන ඒ තුලින් ජනනය වන බලපෑම සලකුණු කර විශ්ලේෂණය කිරීමටයි. මේ විචාර පුර්විකාව තව බොහෝ දුර ගෙන යා හැකි වුවත් කෘතියේ 222 වෙනි පිටුවේ චේදයකින් මෙය අවසන් කරමි.

“ඒ තරුවට තනියක් දැනෙන්නේ නැතිව ඇති. ළඟින්ම නැති වුණාට මුළු අහස පුරාම තරු ගොඩක්

තියෙන බව එයා දන්නවනේ. ඒ හැම තරුවකටම පැවරුණු වගකීමක් තියන බවත් එයා දන්නවා.

ඒ නිසා එයාට තනියක් දැනෙන්නේ නැතිව ඇති”

සාලිය ඉඳුරුවිතාන

***

***

 

 

 

 

Advertisements