Henrique Oliveira Baitogogo Palais de Tokyo

‘ෆේස්බුක්’ ඇතුළු සමාජ මාධ්‍ය යනු මෑත කාලීන තාක්ෂණ වර්ධනයන් අතරින් වඩාත් වැදගත් එකක් යන්න සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති වේ. අති විශාල මිනිසුන් ප්‍රමාණයක් එකිනෙකා හා සම්බන්ධ කරමින් සියලු දෙනා එක වේදිකාවක් තුළට ගෙන ඒම නිසා සමාජ සංවාදයේ නව යුගයක් බිහි වී තිබේ කියා පැවසීම බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප නොකරනු ඇත. තාක්ෂණයේ වර්ධනය නිසා සිදු වන වෙනස්කම් හරහා අපට හුරුපුදු ලෝකය අහිමි වී යාම ගැන විස්සෝප වන සම්ප්‍රදායවාදීන්ට විරුද්ධව අප මෙම වර්ධනය සමග එන නව විභවතා පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය බව පැහැදිළි වේ.

අතීතයේදී අපගේ අදහස් පොදු සමාජ සංවාදය තුළට ගෙන යාම පහසු දෙයක් නොවීනම් අද වන විට එය ඕනෑම තරාතිරමක, ඕනෑම වයසක, ඕනෑම අනන්‍යතාවයක සිටිනා කෙනෙක් හට පහසුවෙන් කළ හැකි දෙයක් බවට පත්ව තිබේ. මේ නිසා අපේ අදහස් වලට එකඟ විය හැකි පිරිසක් එකතු කර ගැනීම අද තරමක් පහසු කටයුත්තක් බවට පත්වී ඇත. බොහෝ දෙනෙක් විසින් වැදගත් කියා සලකා බලනු ලැබීමට අඩු ඉඩක් තිබෙනා අදහස් වෙනුවෙන් පෙනී සිටිනා ‘බව’ වැනි ව්‍යාපෘති සඳහා මේවායෙන් සිදු වන්නේ විශාල උපකාරයකි. අපගේ ජීවිතයේ අර්ථය පිළිබඳව කෙරෙනා විමසා බැලීමක් හරහා යථාර්ථය, කලාව, දේශපාලනය ආදිය පිළිබඳව ප්‍රශ්න කිරීමට අප කරනා මැදිහත්වීම් ‘ෆේස්බුක්’ හරහා සාපේක්ෂ වශයෙන් පුළුල් පිරිසක් වෙත රැගෙන යාමට අපට ඉඩ ලැබුණි. මුද්‍රිත මාධ්‍යයක් හරහා වෙළඳපොළ යාන්ත්‍රණය සමග තරඟ කරමින් අපගේ අදහස් ප්‍රචාරය කිරීමට වඩා මෙය බොහෝ පහසු සහ එනිසාම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් බව වටහා ගැනීම අපහසු නැත.

නමුත්, අප, තාක්ෂණයේ ඉදිරි වර්ධනයන් සමග ගණුදෙනු කරන්නේ ඒවායේ පුළුල් ප්‍රතිවිඵාක පිළිබඳව සංවේදී නොවෙමින්නම් එය එතරම් බුද්ධිමත් තෝරා ගැනීමක් නොවනු ඇත. ෆේස්බුක් එක හරහා මෙවැනි කුඩා ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් උනන්දු වන පිරිසක් එකතු කරගත හැකි සේම ඒ හා සමානව ඕනෑම ආකාරයක අදහසක් සමග එකඟ වන පිරිසක් නිර්මාණය කරගැනීමට එය යොදා ගත හැක. වෙළඳපොල ප්‍රචාරණයේ ප්‍රාග්ධන මෙහෙයුම් වල සිට වාර්ගික සහ ආගමික අන්තවාදයන් දක්වා ඕනෑම දෙයක් සඳහා මිනිසුන් එකතු කරගැනීමට ‘ෆේස්බුක්’ වේදිකාව එක ලෙස යොදා ගත හැකි වේ. එමෙන්ම එකිනෙකා සතු ක්‍රය ශක්තිය අනුව මෙම හැකියාවේ සීමාව කුමක්ද කියා තීරණය වනු ඇත. තවමත් අවසන් වී නොමැති, පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් රුසියානු මැදිහත්වීම පිළිබඳව පරීක්ෂණය හරහා, මෙවැනි දේ සිදු විය හැකි ධාරිතාවය කුමක්ද කියා බොහෝ දෙනෙකුට දැන් වැටහෙමින් යයි. ඩොලර් මිලියන ගණන් වියදම් කිරීමට හැකියාව ඇති, බල දේශපාලන අභිප්‍රායන් හරහා මිනිසුන්ගේ අදහස් වෙත කළ හැකි බලපෑම කුමක්ද කියා අපට දැන් තේරුම් ගත හැක. ඒවාට සාපේක්ෂව ‘බව’ වැනි ව්‍යාපෘති සඳහා ලැබෙනා සමාජ මාධ්‍ය ඉඩ යනු නොසලකා හැරිය යුතු මට්ටමේ කුඩා අවස්ථාවන් කියා කෙනෙක් නිගමනය කළත් එය එතරම් වැරදි නොවේ.

එමෙන්ම මේ ආකාරයේ දැනුවත් සමාජ මාධ්‍ය මෙහෙයුම් සිදු වන්නේ මිනිස් ඉතිහාසයේ පෙර නොවූ විරු ආකාරයේ දත්ත එකතුවක් මත පදනම්ව කියා ද අපි දනිමු. අප ‘ෆේස්බුක්’ එක වෙත ලබා දෙන තොරතුරු, අප සම්බන්ධ වන අනෙක් මිනිසුන්, අප කැමැත්ත දක්වන දේ, අපගේ සෙවුම් ඉතිහාසයන් ආදිය හරහා අප වෙත සම්බන්ධ විය යුතු වඩාත් ඵලදායි ආකාරය කුමක්ද කියා නිර්ණය කළ හැක. අවශ්‍ය වන්නේ එම තොරතුරු වෙනුවෙන් නියමිත මිල ගෙවීමේ හැකියාව පමණි.

අනෙක් අතට අපේ ලෝකය නියාමනය කිරීමේ හැකියාව තවත් අතකින් පහසු වන බවද පෙනී යයි. අප ගේ අතීත තොරතුරු මත පදනම්ව අපගේ එම තෝරාගැනීම් හා ගැලපෙන ලෝකයක් තුළ අපව සිර කර තැබීමට සමාජ මාධ්‍යයට හැකියාවක් තිබේ. මේ මගින් අහුරනු ලබන්නේ අහම්බය මගින් අපේ ජීවිතයේ ඉටු කරනා භූමිකාවයි. බලාපොරොත්තු නොවූ මොහොතක අප හමු වී බලාපොරොත්තු නොවන ලෙස අපගේ ජීවිතය උඩු යටිකුරු කරනා ආදරයවන්තයන් මගින් නිදර්ශනය වන අහම්බය යනු අපගේ ජීවිත වල ඇති වඩාත් විපර්යාසකාරී නිමේෂයයි. ‘ෆේස්බුක්’, ‘ගූගල්’, ‘ඇමසෝන්’ වැනි පොදු වේදිකාවල් හරහා සිදු කරන්නේ මේ අහම්බයේ ඉඩ – ‘ඔවුන්ගේ’ දෘෂ්ඨිකෝණයෙන් ගත්විට අහම්බයේ අවධානම – හැකිතාක් අඩු කිරීමයි.

ආණ්ඩුව විසින් ‘ෆේස්බුක්’ වාරණය කර ඇති මේ මොහොතේ මේවා පිළිබඳව සිතා බැලීම ඉතා ප්‍රයෝජනවත් කියා අපි සිතමු. මෙම වාරණය දිගු කල් තිබෙනා දෙයක් නොවන බව පැහැදිළි වේ. නමුත් මේ කෙටි කාලය තුළ අපගේ ක්‍රියාකාරකම් වල සැබෑ ධාරිතාවය පිළිබඳව අවංක තක්සේරුවකට පැමිණීමට අපට අවස්ථාව තිබේ. ඉතාම පැහැදිළි වන්නේ ෆේස්බුක් වැනි අවකාශ වලින් පරිබාහිරව මිනිසුන් සම්බන්ධ කරගැනීමේ සහ සංවිධානය කිරීමේ උත්සාහයන් වල වැදගත් කමයි. ‘ෆේස්බුක්’ යනු අපගේ සමාජ ක්‍රියාකාරිත්වය ආරම්භය හෝ අවසානය හෝ ලෙස ගත යුතු නොවේ. එවැනි බහුවිධ සමාජ ක්‍රියාකාරිත්වයකින් තොරව ‘ෆේස්බුක්’ දේශපාලනය එතරම් ඵලදායි කර්තව්‍යයක් නොවනු ඇත. ෆේස්බුක් එකේ සිදු වන සංවාද මුහුණට මුහුණ සිදු කිරීමට උත්සාහ කර ඇති ඕනෑම කෙනෙක් දන්නා පරිදි ෆේස්බුක් යථාර්ථය වෙනත් අවකාශයන් වලට පරිවර්තනය කිරීම සිදු වන්නේ බොහෝ දුර්වල ලෙසයි.

අනෙක් අතට එවැනි සම්බන්ධතා නොමැතිව දුර දිග යන සංවාද ඇති වීමට ඇත්තේ අඩු ඉඩකි. මිනිසෙක් හට ජීර්ණය කරගැනීමට අපහසු තරම් විශාල තොරතුරු ප්‍රමාණයක් දෛනිකව සංසරණය වන ෆේස්බුක් වැනි අවකාශයක ‘සංකල්පයේ ඉවසීම’ යනු තබා ගැනීමට ඉතාම අපහසු සීලයකි. අදහසක් සමග පොර බදිමින් එය අපගේ ජීවිතය විනිවිදීමට දැක්විය හැකි සහය පිළිබඳව පරීක්ෂණ කිරීමට ‘ෆේස්බුක්’ වැනි අවකාශයක් ඉඩ ලබා දෙන්නේ නැත. ඒ වෙනුවට එහි තිබෙන්නේ ඉමනින් කියවා බලා ඒ හා සමාන වේගයකින් ඉවත ලන අදහස් පමණි. එම නිසා ‘අදහස්’ වෙනුවෙන් මැදිහත්වීමට උනන්දු වන කෙනෙක් හට ‘ෆේස්බුක්’ යනු සුවපහසු මෙවලමක් පමණක් නොව ජයගැනීමට ඇති අභියෝගයක් ද වෙයි.

මේ සියලු දේ ගැන කල්පනා කර බැලීමට සුදුසු කාලයකි. ‘බව’ සම්බන්ධ අනෙකුත් ක්‍රියාකාරකම් සුපුරුදු පරිදි සිදු වනු ඇත. දිගටම ‘බව’ සමග සම්බන්ධ වී සිටින්න.

 

***

 

 

***

Advertisements