Hubert Scheibl - One

 

ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් නිසා පසුගිය කාලයේ ‘බව’ බ්ලොග් අඩවිය සක්‍රීය වූයේ නැත. මෙය එක්තරා ආකාරයක නැවත ආරම්භයක් වන නිසා ‘බව’ පිළිබඳව සඳහනක් කිරීම ප්‍රයෝජනවත් විය හැකි බව අපි සිතමු. එක්තරා ආකාරයකට ක්‍රියාකාරිත්වය, අක්‍රිය වීම, නැවත ආරම්භය යනු මානව විමුක්තිය පිළිබඳව නූතනවාදී අදහසේ අනිවාර්යය අංගයකි. සැමුවෙල් බෙකට් කියූ ලෙසම අපට තිබෙන්නේ නැවත උත්සාහ කිරීමට, නැවත අසාර්ථක වීමට සහ, මේ අවස්ථාවේදී, පළමුවරට වඩා හොඳින් අසාර්ථක වීමට පමණි.

සමහරවිට, ඔබ මේ වනවිටත් දන්නා පරිදි, ‘බව’ බ්ලොග් අඩවිය යනු තරමක් සරල අදහසක් මත ක්‍රියාත්මක වීමට උත්සාහ කරනා සාමූහික උත්සාහයකි. ඉතාමත් සංක්ෂිප්ත ලෙස පවසන්නේනම්, අප උත්සාහ කරන්නේ, දෙන ලද සමාජ අවස්ථාව තුළ එතරම් වැදගත්මක් නොමැති දේ වෙත වැදගත්කමක් හිමි වන අවකාශයක් නිර්මාණය කිරීමටයි. ඕනෑම සමාජයක් තුළ වැදගත් වන දේ, වැදගත් නොවන දේ, පෙනෙන්නට හැකි දේ, පෙනෙන්නට නොහැකි දේ ආදීය නිර්ණය වන ආකාරය ස්වභාවිකත්වය පිළිබඳව අදසකින් තේරුම් ගත නොහැකි බව අපි දනිමු. ඒ වෙනුවට ඒවා තීරණය වන්නේ, අවසාන අර්ථයේදී, ‘බලයේ’ අවශ්‍යතාවය අනුවයි. මෙයින් අදහස් කරන්නේ හොර රහසේ, රාත්‍රීයේ හමු වී සාකච්ඡා කරමින් සියල්ල පාලනය කරනා ‘බලවත් පුද්ගල කණ්ඩායමක්’ පිළිබඳව ඇති – ‘X Files’ පන්නයේ – කුමන්ත්‍රණ න්‍යායක් නොවේ.

අපගේ සමාජයේ කතා බහ කළ යුතු තරමේ වටිනා අදහස් සහ ප්‍රශ්න මොනවාද කියා තීරණය වන්නේ, නිදර්ශනයක් ලෙස, වෙළඳපොල, ආගමික සංස්ථාවන්, ආණ්ඩුව සහ එයට ඇති ප්‍රායෝගික බල විකල්පය, ස්ථාපිත බුද්ධිමය අධිකාරිත්වයන්, නිල කලාකරුවන්, ගෝලීය භූ දේශපාලන අභිලාශ ඇති රාජ්‍යයන් ආදී, මුළුමනින් සංගත නොවන ඒජන්තයන් අතර ඇති බල සමතුලිතයක් මතයි. අපේ ලෝකයේ දැකිය හැකි, ඇසිය හැකි, වැදගත්මක් හිමි වන දේ මොනවාද කියා තීරණය වන්නේ මෙම සමතුලිතය සකස් කළ හැකි අදහස් එකතුවකිනි. රොන්සියර් අනුව යමින් අපට එය ‘සංවේදනීය දෙයෙහි බෙදා හැරීම’ (‘distribution of the sensible’) යනුවෙන් නම් කළ හැකි වේ.

‘බව’ උත්සාහ කරන්නේ මෙම සංවේදනීය දෙයෙහි බෙදා හැරීම අභියෝගයට ලක් කළ හැකි මැදිහත්වීම් වලට පුංචි වේදිකාවක් ගොඩ නගා දීමටයි. කලාත්මක මැදිහත්වීම් සම්බන්ධයෙන් අප විශේෂයෙන් උනන්දු වන්නේ මෙම නිසාය. කලාව මගින් සිදු කරන්නේ අපට පෙනෙන්නට/අසන්නට නොමැති දෙයක් පෙනෙන්නට සැලැස්වීමයි, එසේත් නොමැතිනම් පෙනෙන්නට/අසන්නට ඇති දේ පිළිවෙල යළි සකස් කළ පෙනෙන/ඇසෙන ලෝකයේ නොපෙනෙන දෙය හෙළිදරව් කිරීමයි. වේදිකාව, සිනමාව, චිත්‍ර කලාව, සංගීතය ආදිය සම්බන්ධයෙන් නිරන්තර මැදිහත්වීම් කරන්නට අප උත්සාහ කරන්නේ මෙම නිසාය.

අවසාන අර්ථයෙන්, මෙම උනන්දුව පරිසමාප්තියට පත්වන්නේ දර්ශනය පිළිබඳව අපගේ උනන්දුව තුළිනි. අප සිතනා ආකාරයට ‘දර්ශනය’ යනුවෙන් අදහස් කරන්නේ තවත් ‘විෂයන්’ අතර තිබෙනා එක් ‘විෂයක්’ නොව මේ ආකාරයේ සියලු ‘විෂයන්’ විනිවිද යන, සහ එම නිසාම කිසිදු එක ‘විෂයකට’ අයත් නොවන චලනයකි, ව්‍යාපාරයකි. දර්ශනය සෑම විටම ‘ඩයස්පෝරික’ වන බව ජෝජියෝ අගම්බෙන් කියන්නේ මෙම නිසාය. එය සෑම විටම ඒ වනවිටත් මවුබිම අහිමි වූ ප්‍රජාවකි. එමගින් සිදු කරන්නේ සංවේදනය වන ලෝකයේ දේවල් සකස් වී ඇති පිළිවෙල තුළ අප විමසන්නේ නොමැති දේ විමසා බැලීමයි. ප්‍රශ්න කිරීමකින් තොරව බාර ගන්නා දේ ප්‍රශ්න කිරීමට ලක් කිරීමයි. ඒ හරහා, මේ ආකාරයට බෙදී වෙන් වී ඇති සමාජ අවකාශයන් වලින් විචාරාත්මක දුරස්ථබවක් තබා ගැනීමට දර්ශනය අපට උපකාර වේ.

‘දේශපාලනය යනු කුමක්ද’ කියනා ප්‍රශ්නය, නිදර්ශනයක් ලෙස, තවදුරටත් දේශපාලනයට අයත් වන ප්‍රශ්නයක් නොව දර්ශනයට අයත් වූ ප්‍රශ්නයකි. දේශපාලනය කිරීම සඳහා මේ ප්‍රශ්නයට පිළිතුරක් නිර්මාණය කිරීම අනිවාර්ය වන්නේ නැත. සත්‍ය වශයෙන්ම දේශපාලනය කරනා බොහෝ දෙනෙක් සතුව මේ ප්‍රශ්නයට පිළිතුරක් නොමැති බවද අපි දනිමු. මේ ආකාරයේ ප්‍රශ්න අපට තවත් බොහෝ ඇසිය හැකි බව අපි දනිමු: ‘කලාව යනු කුමක්ද’, ‘සමාජය යනු කුමක්ද’, ‘ලිංගිකත්වය යනු කුමක්ද’, ‘සමාජ ජාල යනු කුමක්ද’, ‘සතුට යනු කුමක්ද’, ‘ධනවාදය යනු කුමක්ද’, ‘ජීවිතය යනු කුමක්ද’…

මේ සෑම ප්‍රශ්නයකම තිබෙනා පොදු ලක්ෂණයක් වන්නේ මෙම ප්‍රශ්නය මගින් විමසා බලන දෙයෙහි පැවැත්ම සඳහා මෙම ප්‍රශ්නය ඇසීම සහ එයට පිළිතුරක් නිර්මාණය කිරීම අනිවාර්ය නොවීමයි. ‘ජීවිතය යනු කුමක්ද’ කියනා ප්‍රශ්නයට පිළිතුරක් නිර්මාණය කරන්නේ හෝ, අවම වශයෙන්, එම ප්‍රශ්නය වර නගන්නේ හෝ නැතිව ජීවත් වීම ඉතා පහසුවෙන් කළ හැකි බව අපි දනිමු.

නමුත් ‘දර්ශනය’ මගින් සිදු කරන්නේ මේ ආකාරයට නැති ප්‍රශ්නයක් අපේ ඉදිරියේ ගෙන හැර පෑමයි. එම අර්ථයෙන් දර්ශනය සඳහා ප්‍රතිරෝධයන් එල්ල වීම අපට තේරුම් ගැනීමට හැකි වේ. බොහෝ දෙනෙකු කියනු ඇත්තේ, නිදර්ශනයක් ලෙස, ‘ජීවිතය යනු කුමක්ද’ කියනා ප්‍රශ්නයට පිළිතුරක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ ඔවුන් මේ වනවිටත් එයට පිළිතුර දන්නා නිසා වන බවයි. දාර්ශනිකයා අසන්නේ – ඒ බොහෝ දුර අතීතයේදී සොක්‍රටීස් ඉල්ලා සිටියේ – එම දැනුම කුමක්ද කියා හෙළි කරනා ලෙසයි. ඒ ගැන ඔබ උනන්දු නොවන්නේ ඔබට මේ වනවිටත් එයට පිළිතුරක් නිර්මාණය වී තිබෙනා නිසාද? එසේත් නැතිනම්, එයට පිළිතුරක් නොමැති බව ඔබ දන්නා නිසාද? එයට පිළිතුරක් නොමැති බව ස්ථිර වශයෙන් ඔබ දැන ගත්තේ කෙසේද? සමහරවිට ඔබ තවමත් හඳුනා ගෙන නැති පිළිතුරක් එයට තිබෙනවා විය නොහැකිද?

දාර්ශනිකයා උත්සාහ කරන්නේ මේ ආකාරයේ ප්‍රශ්න ඇසිය හැකි අවකාශයක් නිර්මාණය කිරීමයි. එම නිසාම එමගින් සමාජයේ පවත්නා අවකාශයන් බෙදී ඇති ආකාරය ප්‍රශ්න කිරීමට ලක් වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දර්ශනය යන්න භාවිතයක් ලෙස පැවතිය හැකි අවකාශයක් හමු වන්නේ ද නැත. වෙනත් ආකාරයකට කියන්නේනම් දර්ශනය යන්න අපගේ සංවේදනීය ලෝකය ව්‍යූහගත වී ඇති ආකාරය තුළ ස්ථානගත කළ නොහැකිය. එය සෑම විටම අතිරික්තයකි. ව්‍යතිරේකයකි. පුපුරා යාමකි. එහි පැවැත්මම, සෑම විටම, එහි තිබෙනා විශාලතම අභියෝගයයි. එමගින් කිසිවෙක් හට ‘ප්‍රයෝජනයක්’ නොමැති වේ. එම නිසාම එහි පැවැත්ම කිසිවෙක් විසින් හෝ සහතික කරන්නේ නැත.

philosophia යන ග්‍රීක වචනය සකස් වී තිබෙන්නේ ‘ආදරය කිරීම’ යන අර්ථය එන ‘philo’ යන වචනයෙන් සහ ‘දැනුම, බුද්ධිය’ වැනි අර්ථයක් ඇති ‘sophia’ වචනයෙන් බව අපි බොහෝ දෙනෙකු දනිමු. සමහරවිට, පයිතගරස් හා සම්බන්ධ වන, මේ වචනයේ ආරම්භය පිළිබඳව ඇති සුන්දර පුරාවෘතය එතරම් ජනප්‍රිය නොවීමට ඉඩ තිබේ. වරක් පයිතගරස් ගේ දැනුමින් උද්‍යෝගයට පත්වන ෆිලියස් නගර රාජ්‍යයේ පාලකයා වන ලියෝ, පයිතගරස් ඉගෙනගෙන ඇති ශිල්පය කුමක්ද කියා විමසා සිටියි. තමන් කිසිදු ශිල්පයක් ඉගෙනගෙන නොමැති බවත් තමන් දාර්ශනිකයෙක් බවත් පයිතගරස් ප්‍රතිචාර ලෙස දක්වයි. කිසිදා එම වචනය අසා නොමැති ලියෝ විමසා සිටින්නේ එහි අර්ථය කුමක්ද කියා පහදාලන ලෙසයි. පයිතගරස් ගේ පිළිතුර, පොදුවේ ගත්විට මේ ආකාරයට පැහැදිළි කළ හැකිය. ඉතාම තියුණු ක්‍රීඩා තරඟයක් ගත්විට එයට සහභාගී වන ක්‍රීඩකයන් එසේ කරන්නේ ජයග්‍රහණයේ වීරත්වය අත්විඳීමට බව අපි දනිමු. එමෙන්ම එය නරඹන්න එන බොහෝ දෙනෙක් එසේ කරන්නේ මේ ක්‍රීඩකයන් සමග පරිකල්පනීය ලෙස අනන්‍ය වී එම වීරත්වය සැමරීම ට බව තේරුම් ගත හැක. තවත් සමහර දෙනෙකු මේ තරඟය හරහා වෙළඳ ප්‍රචාරණය, ඔට්ටු ඇල්ලීම වැනි දේ මගින් මුදල් සොයා ගැනීමට උත්සාහ කරනු ඇත. නමුත් ඉතාම කීප දෙනෙක් මෙය නරඹනු ඇත්තේ එම ක්‍රීඩකයන් සතු සුවිශේෂ නිපුණතා දැක හඳුනා ගැනීමටයි. ඔවුන් වඩාත් උනන්දු වන්නේ දිනුම හෝ පැරදුම පිළිබඳව නොව එම විශිෂ්ඨත්වය දැකීමට සහ තේරුම් ගැනීමටයි. එම දුලභ ශක්‍යතාවය අර්ථකථනය කිරීමටයි. පයිතරගස් අතින් දාර්ශනිකයන් සමාන වන්නේ මේ අවසන් ප්‍රවර්ගයටයි. දාර්ශනිකයා යනු ජනප්‍රිය වීමට, වීරත්වය ආරෝපණය කරගැනීමට, සමාජ පිළිගැනීම ලැබීමට, මුදල් හම්බ කර ගැනීමට උනන්දු වන මිනිසුන් අතර සිටිනා, එහෙත් එම අරමුණු වෙනුවට ‘දේවල්’ තිබෙන්නේ කෙසේද කියා දැන ගැනීමට උනන්දු වන, එම දැනුමට ආදරය කරනා කෙනෙකි.

ඔහු/ඇය දැනුමින් (‘sophia’) පරිපූර්ණ වී නොමැත – ඒ වෙනුවට ඔහු/ඇය සිදු කරන්නේ දැනුමට ආදරය කිරීම (‘philosophia’) පමණි’. එම අර්ථයෙන් දාර්ශනිකයා සහ ආගමික ශාස්තෘවරුන් අතර ඇති වෙනස කුමක්ද කියා අපි දනිමු. ආගමික ශාස්තෘවරුන් යනු සියල්ල දන්නා අය වන්නේනම් දාර්ශනිකයා යනු ඉතාම සරල ප්‍රශ්න ලෙස හැඟී යන දේ කුමක්ද කියා තේරුම් ගැනීමට උත්සාහ කරනා කෙනෙකි. එම නිසා දාර්ශනිකයාට ‘රැක ගැනීමට’ දෙයක් නොමැති වේ. සොක්‍රටීස් ව ඇතන්ස් නුවර නම් විශාල අශ්වයාගේ ශරීරයේ වසනා පුංචි ‘ඇට මැස්සා’ ලෙස ප්ලේටෝ විසින් හඳුන්වන ලද්දේ මෙම නිසාය. අශ්වයාගේ වලිගය වේගයෙන් පැමිණ පතිත වනවිට ඇට මැස්සාට සිදු වන්නේ එතැනින් ඉවත්ව ගොස් තවත් තැනක – තාවකාලිකව – වැසීමට පමණි.

‘බව’ පෙනී සිටින්නේ ඔට්ටු ඇල්ලිය හැකි විශ්වසනීය අශ්වයන් වෙනුවෙන් නොව ඇසට නොපෙනෙන ඇට මැස්සන් වෙනුවෙනි – ඇට මැස්සන්ට බිජු දැමිය හැකි අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙනි.

image_1486890334-0926414e88

 

 

 

 

***

Advertisements