mimesis_001

‘රූපණය යනු කුමක්ද’ යන ගැටලුවට නැතිනම් එම ඓතිහාසික ප්‍රශ්නය සඳහා පිළිතුරු ගොනු කරමින් සිටින රංග කලා න්‍යායවේදීන්ගේ විවිධ අදහස් අද වන විට ලෝකයේ විවිධ ආකාරයෙන් කතා බහට ලක් වේ. නමුත්, අවාසනාවකට, මෙරට මෙම ජනප්‍රිය ප්‍රශ්නය ශාස්ත්‍රාලයීය කථිකාව තුළ පවා කතා බහට ලක් වන්නේ ඉතාම අඩුවෙනි. මෙම සම්භාව්‍ය ප්‍රශ්නය ගැන සද්භාවවේදී විචාරයක් තුළින් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. තවත් ආකාරයට කියන්නේ නම් රංගනය යනු කුමක්ද යන්න පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සාකච්ඡාවට ගැනීමයි. එය මෙම ප්‍රශ්නය පිළිබඳ ලාංකික කථිකාව ගමන් කර ඇති ආකාරය මත පදනම් ව සිදු කෙරේ.

            ‘රූපණය යනු කුමක්’ යන ගැටලුවට මෙරට ජනප්‍රිය මෙන්ම බොහෝ විට ප්‍රධාන පෙලේ න්‍යායධරයින්ද පිළිතුරු ගොඩනගන්නේ ඒ ඒ රංග විධි ක්‍රමවලට අනුවයි. නැවත තවත් ආකාරයට කියන්නේ නම් නොයෙක් රංග ගුරු කුල හා නොයෙක් රංග වැඩමුළු පවත්වන්නන්, රංගනය යනු යථාර්ථවාදී, ශෛලිගත, ගැමි, බ්‍රේෂ්ටියානු වැනි විවිධ ආකාරයේ පරමාදර්ශ මත තීරණය කරයි. එනම් සිංහබාහු නාට්‍යයේ රංග ශෛලිය, ඉබ්සන්ගේ හෝ ටෙනසි විලියම්ස්ගේ නාට්‍යයක රංග ශෛලිය, දාරියෝ ෆෝ හෝ බර්ටෝල්ට් බ්‍රේෂ්ට්ගේ රංග ශෛලිය, විකාරූපී….. මේ ආකාරයේ විවිධ ශෛලීන් තුළ දක්නට ලැබෙන රූපණ විධික්‍රම රූපණය යනු මෙයයි යන්න විස්තර කිරීම එම සම්භාව්‍ය ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී යොදා ගැනේ.

            එම ප්‍රවේශයේ ඇති ගැටලුව වන්නේ මේ එකක් වත් අනෙක සමඟ සමාන නොවීමත් ඒවා එකක් වත් ප්‍රතික්ෂේප කිරීමටද නොහැකි වීමත්, ඒවා සියල්ල තුළ ම රූපණය යනු කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරු විවිධ අයුරින් – සම්පූර්ණයෙන් ම වෙනස් ලෙස – දක්නට ලැබීමත් ය. අපට සිංහබාහු හෝ කබුකි, නාඩගම් රංග ශෛලිය ප්‍රතික්ෂේප කළ නොහැක, එලෙස ම ඉබ්සන්, විලියම්ස් වැන්නන්ගේ නාට්‍ය තුළ දක්නට ලැබෙන යථාර්ථවාදී රංගය ද ප්‍රතික්ෂේප කළ නොහැක. එය එහි ශෛලිය යැයි කියමින් රූපණය පිළිබඳ සාකච්ඡාවේදී යථාර්ථවාදී රංගය පමණක් කථිකාවට ගෙන ඒම ද සාධාරණ නොවන බව මෙහි දී පැහැදිලි වෙයි. එසේ නම් මේ සියල්ලේ පොදු ලක්ෂ්‍යය වන රූපණය යනු කුමක්ද යන ප්‍රශ්නයේ පසුබිම තුළ සැඟවී තිබේ. එම පොදු ලක්ෂ්‍යය ඖචිත්‍ය යැයි කීමෙන් අපට කිසිදා පිළිතුරක් මුණ නොගැසේ. තවත් ආකාරයට කියන්නේ නම් එම ඖචිත්‍ය තීරණය කරන මූලධර්ම, නැතිනම් එම ඖචිත්‍ය සාධාරණීකරණය කරනා කරුණු මොනවාද? එම සන්දර්භයේ ඖචිත්‍ය අනෙක් සන්දර්භයේ ඖචිත්‍යයෙන් වෙන් කරන්නේ කෙසේද? කලාව පිළිබඳ ගොඩනැගෙන ගැටලු සඳහා අවසාන පිළිතුර ලෙස ඖචිත්‍ය යැයි පිළිතුරු දී ම ප්‍රමාණවත් නොවනවා සේ ම එය පිළිතුරක් ලෙස භාර ගැනීම ද සාධාරණ නොවේ. එලෙස ම එය පිළිතුරක් ලෙස ලබා දුන් පසු ඉන් ඉදිරියට එහි කථිකාව ගොඩ නැගීම ද අරුත්සුන් වෙයි.

            මෙහි පොදු ලක්ෂය තෝරා ගැනීමේදී මෙම ලිපිය මඟින් සිදු කරන යෝජනාව වන්නේ අපගේ සම්භාව්‍ය ප්‍රශ්නය වරනගන ආකාරය වෙනස් කිරීමයි. ‘එනම් රූපණය යනු කුමක්ද’ යන්න වෙනුවට ‘රූපණය යනු කවුද’ යන ප්‍රශ්නයට මාරු වීමයි. එය ඉහත මතු කළ විවිධ ප්‍රකාශමානවීම්වල පොදු ලක්ෂ්‍යය මුණ ගැසෙන ප්‍රශ්නය ලෙස අපට ලියා තැබිය හැක්කේ ඒ සියලු ආකාරවල පොදු ලක්ෂණ අපට මුණ ගැසුණද – ප්‍රේක්ෂකයා, වේශ නිරූපණ, රංග වස්ත්‍ර – රූපණය වෙනුවෙන් වඩා අනිවාර්ය පැවැත්ම නළුවා/නිළිය වන නිසා ය. තවත් ආකාරයකට කියන්නේ නම් නළුවාගේ/නිළියගේ පැවැත්ම තේරුම් ගැනීම තුළ රූපණය යනු කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරු සොයාගත හැකිය. නැවත කියන්නේ නම් රූපණය මතු වන්නේ නළුවාගෙනි – නළුවාගේ/නිළියගේ පැවැත්ම සොයා යෑම තුළ අපට හමු වන්නේ රූපණය යනු කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරයි.

            එම සංකල්පය තවත් ආකාරයට ගොඩ නැගුවහොත් අපට මුණ ගැසෙන්නේ නළුවාගේ පැවැත්ම යනු කුමක්ද යන්න තුළ රූපණය යනු කවුද නැතිනම් රූපණය යනු කුමක්ද යන ගැටලුවට පිළිතුරු ලැබෙන බවයි. නමුත් පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය සද්භාවවේදය තුළ වරනැගෙන ආකාරය ඉතා සංකීර්ණ වන අතර එහි එන මූලධාර්මික කරුණු කිහිපකින් මෙම ඩොලර් මිලියනයේ ප්‍රශ්නයට සාධාරණයක් ඉටු කිරීමට උත්සහ කරමු. රූපණය පිළිබඳ කෙරෙන සද්භාවේදී විශ්ලේෂණාත්මක ලිපි මාලාවකින් ඉදිරියේදී හමු වෙමු.

            ඒ සඳහා අපගේ ප්‍රවේශය යම් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් – නළුවා/නිළිය යනු තම මනස මූලික කරගත් පැවැත්මක් ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කිරීම, නළුවා/නිළිය සෑම විට ම ඔහු/ඇය ජීවත් වන ලෝකයෙන් වෙනත් ලෝකයක ජීවත් නොවන බව, ඔහු/ඇය භාවිතයට ගන්නා සහ ඔහු/ඇය හැසිරෙන පසුබිම වෙත තවත් සුපරික්ෂාකාරී නිරීක්ෂණයක් යොමු කිරීම, භාෂාව හා ප්‍රකාශ කිරීම් තුළ අපට හමුවන නළුවාගේ/නිළියගේ පැවැත්මේ වරප්‍රසාදිත තත්ත්වයන් අනාවරණය කර ගැනීම වැනි ආකාරයේ ප්‍රවේශ තුළින් රූපණය යනු කවුද යන ප්‍රශ්නයට පිළිතුර ගොනු කිරීම සිදු වන අතර එය අපගේ සම්භාව්‍ය ප්‍රශ්නය වන රූපණය යනු කුමක්ද යන ප්‍රශ්නය මෙතෙක් සිර කර තිබූ මූලධාර්මික මතවාද සුණුවිසුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ද සැලකීම වැරදි නැත.

රංග මනුප්‍රිය

Advertisements