10000943_e_dt3_master

ශ්‍රාස්ත්‍රීය ආකෘතියෙන් බැහැරව රචනා වන මෙම කෙටි සටහන 2018.04.20 දින කැලණිය විශ්වවිද්‍යාල තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය සහ නවක වදය, නවක නම්නීකරණය වැනි ව්‍යපෘතීවල පවතින අගතීන්ගේ සමාජීය තක්සේරුව පැහැදිලි කරමින් නාදුනන සාමූහිකය විසින් බෙදා හරින ලද මුද්‍රිත අංගුවක් ‘කැලණිය’ විශ්වවිද්‍යාල පරිපාලනය සහ කැලණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මැදිහත් වීමෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම පාදක කරගනිමින් ගෙන එනු ලබන සහෝදරත්වයෙන් යුතු ප්‍රගතිශීලී දේශපාලන ආමන්ත්‍රණයකි. ඒ සදහා ප්‍රවේශය වශයෙන් අනාගත විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඩෙරීඩාගේ අර්ථකථනය යොදා ගැනීම වඩාත් උචිතය. “මම විශ්වවිද්‍යාල ලෙස හදුන්වන්නේ මෙයයි. අනාගත විශ්වවිද්‍යාල යනු සත්‍ය සෙවීමට එරෙහි කොන්දේසි කිසිවක් නොමැති, අලුත් දේ දැන ගැනීමට හා විවේචනය කිරීමට නිදහසක් ඇති, ප්‍රශ්න කිරීමට හා සැක කිරීමට වරම හිමිවන දේශපාලන හෝ ආගමික බලයක් විසින් කිසිසේත්ම සීමා නොකෙරෙන පරමාදර්ශී තැනකි”

නාදුනන සාමූහිකය විසින් ‘කැලණිය’ විශ්වවිද්‍යාලය තුළ ප්‍රගතිශීලී දේශපාලන හැසිරීමකට අදාල නියෝජනයක් වශයෙන් ඉදිරිපත් කරන ලද පහතින් දැක්වෙන කෙටි සටහනට දේශපාලනික වශයෙන් අභිමුඛ විය යුතු බවට ‘කැලණිය’ විශ්වවිද්‍යාල පරිපාලනය සහ ‘කැලණිය’ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් තීරණය කිරීම වටහා ගැනීම අපහසු නොවේ. ඕනෑම දේශපාලන භාවිතයක් අධිපතිවාදී ආකෘතියක මුහුණුවර ගැනීම එහි වර්ධනයේම එක් කොටසක් වශයෙන් අනන්‍ය වීම පැවතීම පශ්චාද් නූතන ලෝකය තුළ දක්නට ලැබෙන තත්ත්වයකි. ප්‍රගතිශීලීත්වයටද එම ඉරණම පොදු වූවකි. ලංකාව තුළ සමාජවාදී එළඹුමකින් යුතු දේශපාලනයක නිරත වන සෑම දේශපාලන ව්‍යාපරයක් කෙරෙහිම මෙම රෝගය ව්‍යාප්ත වී හමාරය. ඒ සදහා ලබා දිය හැකි වඩාත්ම ප්‍රායෝගික විසදුම වනුයේ අවංක ස්වයං විවේචනයන් සිදු කිරීම සහ තම ප්‍රගතිශීලීත්වය ප්‍රශ්න කරනු ලබන අනෙකුත් ප්‍රගතිශීලීත්වයන්ගේ තර්කනයන්ට ඉඩ ලබා දීමයි. ඒ සදහා ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් අනෙකුත් ප්‍රගතිශීලී ව්‍යාපාරයන්ගේ දේශපාලනය සහෝදරත්වයට මෙන්ම ඊට අනුගතව එල්ල වන විවේචනයන්ට පැහැදිලිවම විවෘත විය යුතුය. කැලණිය විශ්වවිද්‍යාලය භූමිය තුළදී නාදුනන සාමූහිකය විසින් බෙදා හරින ලද මෙම ලේඛනයෙහි දැක්වෙනුයේ විශ්වවිද්‍යාල භූමිය තුළට පැමිණෙන නවක සිසුන් සදහා ප්‍රගතිශීලී දේශපාලන සංයුක්තයක ක්‍රියාකාරිකයින් විසින් ඉදිරිපත් කරනු ලබන සහෝදරාත්මක සහ ප්‍රජාත්‍රාන්ත්‍රික ආමන්ත්‍රණයන්‍ ය. එහි මූලික අඩංගුව සකස් වනුයේ විශ්වවිද්‍යාලයක පැවැතිය යුතු අතිමූලික මට්ටමේ දේශපාලන අදහස් කේන්ද්‍ර කරගනිමිනි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල භූමිය තුළ නිදහස සහ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, ප්‍රේමයේ සමානාත්මතාවය, සෘජු හා වක්‍ර පීඩකත්වයට එරෙහි වීම, පුරුෂ කේන්ද්‍රීය පීඩකත්වයට එරෙහි වීම වැනි කිසිදු ‘දේශපාලන’ නොඑකගතාවයකට යටත් නොවන සංකල්පයන්ට අදාල සරල නිර්මාණාත්මක ආමන්ත්‍රණයක් මෙම පත්‍රිකාව තුළ අඩංගු වේ. පැහැදිලිවම මෙම දේශපාලන ආමන්ත්‍රණයන්ගේ අරමුණ වන්නේ, අත්දැකීම් අනුව අප දන්නා පීඩක අකෘතියකින් යුතු අදහස්මය තලයක, නවක සිසුන්ගේ දේශපාලන සහ සමාජීය මනස දිය වීමට/ කිරීමට එරෙහි වීමයි. නවක වදය සහ නවක නම්නීකරණ වැනි පීඩක අගතීන් මූලික වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලබන සෑම ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක් ම මෙවැනි සුජාත දේශපාලන අරමුණු වෙනුවෙන් පූර්ණ සහයෝගය දැක්විය යුතුය. (ඊට අභිමුඛ වන ප්‍රගතිශීලීත්වයන්ගේ ලිට්මස් පරීක්ෂා කිරීම ස්භාවික අර්ථයෙන් ඉදිරියේදී සිදු වීමට නියමිතය. අවශ්‍ය නම් මෙම රචනය පවා එවැනි ලිට්මස් පරීක්ෂාවක් වශයෙන් සැලකීමට හැකිය).

මෙම සටහනට මූලික වන කාරණය තුළ දී කැලණිය විශ්වවිද්‍යාල පරිපාලනය නාදුනන සාමූහිකය ගෙන එනු ලබන දේශපාලන ආමන්ත්‍රණයට එරෙහි වීම තේරුම් ගත හැකි වුවද කැලණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය වැනි දේශපාලන හා ආර්ථිකමය අගතීන්ට එරෙහි ව ප්‍රධාන මැදිහත් වීමක් සිදු කරන ප්‍රගතිශීලීත්වයක සෘජු නියෝජනයක් සහිත සහෝදරත්වයක් විසින් මෙවැනි දේශපාලන ආමන්ත්‍රණයන්ට එරෙහි වීම ප්‍රගතිශීලී ව්‍යාපාරයන්ගේ ප්‍රගතිශීලීත්වය උභතෝකෝටික ආකෘතියකට ඇද දමන්නකි. වඩාත් සංයුක්ත අර්ථයෙන් ගත් විට අප මෙහිදී අදහස් කරනුයේ ප්‍රගතිශීලී දේශපාලනයක අදහස්මය තලයට අදාල වන මූලික පරස්පරතාවයක් වශයෙන් නාදුනන සාමූහිකය සහ එහි දේශපාලන මැදිහත් වීම ‘කැලණිය’ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් ගණන් බැලීම ප්‍රගතිශීලී සිතන්නන් වශයෙන් අපට ප්‍රශ්නකාරී වන බවයි. එම ප්‍රශ්නකාරීත්වය පදනම් කරගනිමිවඩාත් තනුක වූ දේශපාලන පරිකල්පනයන් දෙකක් වෙත එළඹීමට සිදු වේ.

  1. නාදුනන සාමූහිකය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රගතිශීලී අදහස්මය තලය, ‘කැළණිය’ විශ්වවිද්‍යල පරිකල්පනයට සහ ‘කැලණිය’ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයෙහි දේශපාලන තර්කනයන්ට මූලික වශයෙන් පරස්පර බව.

   2. කොළඹ කේන්ද්‍රීය ශ්‍රාස්ත්‍රීය ශ්‍රමයෙහි නියෝජනයක් වන කැලණිය විශ්වවිද්‍යාලය තුළ දේශපාලනික සහ  මානුෂවාදී අර්ථයෙන් විකල්ප ප්‍රගතිශීලීත්වයක දේශපාලනික ස්ථාවරය ඉදිරිපත් කිරීමට තරම් දියුණු මට්ටමේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බව.

මෙම උභතෝකෝටික දේශපාලනය අවබෝධ කරගැනීමට විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඩෙරීඩා විසින් ඉදිරිපත් කරනු ලබන අදහස වැදගත් වේ. එම අදහසට අනුව අනාගත විශ්වවිද්‍යාල යනු අලුත් දේ දැන ගැනීමට, විවේචනය කිරීමට සහ ප්‍රශ්න කිරීමට පැහැදිලි අවකාශයක් විවර වන දේශපාලනික සහ ආගමික වශයෙන් සීමා නොකෙරෙන භූමියකි. නමුත් ‘කැළණිය’ විශ්වවිද්‍යාල පරිපාලනය සහ ‘කැලණිය’ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සෘජුව අභිමුඛ වනුයේ නවක සිසුන්ගේ දේශපාලන හා සමාජීය නිදහසට අදාල මෙවැනි අතිමූලික සංකල්පයන්ටය. අපගේ අවබෝධයට අනුව මෙවැනි අභිමුඛ වීම සහ ප්‍රතික්ෂේපිතයන් තුළ නවකයින්ට ස්වකීය දේශපාලන වරණය තීරණය කිරීමට ඇති මූලික අයිතිවාසිකම පැහැදිලිවම උල්ලංඝනය වේ.කණගාටුව වන්නේ මෙය ලාංකේය ප්‍රගතිශීලීත්වය නිරන්තරයෙන්ම මග හැර යන කරුණක් (Missing Part) විමයි. මෙවැනි තත්ත්වයන් අපට කියනුයේ ප්‍රගතිශීලීත්වය ආගමක් නොවිය යුතු බවත් ; ප්‍රගතිශීලීත්වය නිරන්තරයෙන් විවේචනයට විවෘත විය යුතු බවත්ය.

 

30716054_2046090425605708_3833926449677467648_n

 

විඳුරංග කීරවැල්ල

 

 

 

***