heidegger-final1

“ඔහු” අනුදත් පරිදි;  මහපොළොව ද, නිල් අහස ද, ඈත විමන්හී පහල වූ දෙවිවරු ද, මිහිමත උපන් මියදෙනසුලු සියලු මනුෂ්‍යයන් ද සිහියෙහි තබාගනිමින් මම, මෙසේ අරඹමි.

මාගේ ලිඛිත ඉදිරිපත් කිරීමට ඔබින කොටස් නැවත ලිවීමට ද, නිසි තැන් හුවා දැක්වීමට මෙන් ම සුනිසි තැන් හුරු බසට හැරවීමට ද මම බලාපොරොත්තු වෙමි.

මෙවන් ලිපියක් සැකසීමට මා සිතූ ඒක කරුණක් වන්නේ මම ද මෙය කියවන ඔබ ද, මේ වන විටත් “ඔහු” හෙවත්  හෛඩගර්ගේ Being and Time කෘතිය සමග කෙසේ හෝ යම්කිසි සබඳකමක් ගොඩනගාගෙන ඇති බැවිණි. ඇතැමෝ මෙම කෘතිය ‘කියවා ඇති’ බව පවසති. ඇතැමෝ මෙය ‘කියවන’ බව පවසති. එහෙත් අප සියලු දෙනා ඉදිරියේ ඇති සුපිරිසිදු ම සත්‍යය නම්: අප මේ වන විටත් මෙකී කෘතිය ‘සාමුහික ව’ අපට හුරු බසින්, සවිස්තර ව කියවා ඇති බව යි.

 අප ඇතැම්විට අපැහැදිලි ලෙස අරමුණු කරගත්, අසම්පූර්ණ ලෙස දැනඋගත් “බුද්ධිමය යටගියාව” (Intellectual History) තුළ සැබවින් ම විස්මිත වූ සිදුවීම්, පෙර අප නො ඇසූ නො දැන සිටි කරුණු කාරණා හා අර්ථකථන ද, ඉතාමත් අසාමාන්‍ය ලෙස අප ආකර්ෂණය වූ පෙර නොදුටු පුද්ගලයන් රැසක් ද දැකගත හැකි ය.

අප කොතනින් කෙසේ මෙවන් මිනිසුන් පිළිබඳ  දැනගත්ත ද ඔවුන් බොහෝ දෙනෙක් ඒ වන විටත් අපගේ “පුර්වගාමීන්” වන්නේ ය. අපට පෙර මෙම  අසීරු මගෙහි ගියවුන් වන්නේ ය. අන් ලෙසකින් කියන්නේ නම් ඔවුන් අපගේ “පුරෝගාමීන්” වන්නේ ය (our predecessors).   

අපි මෙය පිළිබඳ ව ඉතාමත් සාමාන්‍ය දෛනික අද්දැකීම් වෙත හැරෙමු;

අප හඹා යන ආකර්ෂණීය වන “දාර්ශනිකයන්” ලෙස හැඳින්වෙන පුද්ගලයන් එදිනෙදා අපට මුණහසෙන්නේ නැත. ඔවුන් බොහෝ දෙනෙකු මේ වන විටත් මියගිය හෝ සුජීවත් ව විසුව ද අප නොදුටු මුණ නොගැසුණු මිනිසුන් යන්න නිසැක ය. මෙවැනි මිනිසුන් පිළිබඳ ව ප්‍රථමයෙන් ම අරමුණු වන්නේ ( බොහෝවිට ලාංකේය පරිසරය හා වටාපිටාව තුළ නම්) අපට වඩා ඔවුන් පිළිබඳ දැනඋගත් අයෙකු විසින් කරනු ලබන ප්‍රකාශයකට අප අහඹු ලෙස නිරාවරණය විමෙණි. අප එවිට මෙසේ කියයි: “ඔව් මම අහලා තියෙනවා”.

පසු ව අපට වාසනාව හෝ වෙන යම් නොදත් හේතුවක් නිසාවෙන් මෙවැනි ම වූ දැනුමක්, අප කරා ඇතැම්විට අනාරාධිත ව ම පැමිණෙනු ඇත.

මෙම දැනුම, අපගේ ජිවිත නිහඬ ව හෝ ආක්‍රමණය කරන්නේ ය.  

දර්ශනය යන විෂය මින් මත්තට අපට හැදෑරිය හැකි භාවිතයට ගත හැකි වන්නේ; කෘති, මූළ ග්‍රන්ථ, පාඨ ග්‍රන්ථ (වෙසෙසින් ම සෞත්‍රික සම්ප්‍රදාය තුළ  වර නැගුණු), හෝ වෙන යම් මුද්‍රිත-ලිඛිත ප්‍රකාශන ඔස්සේ ය. මා පෙර සඳහන් කළ පරිදි, වාච්‍ය අරුතින් ම “බුද්ධිමය යටගියාව”යනු මනුෂ්‍ය සිතිවිල්ලෙහි එක් දැවැන්ත පැතිකඩකි. මෙම යටගියාව තුළ නමින් සඳහන් වන අපගේ පුරෝගාමීන්ගේ පෞරාණිකත්වය සේ ම ඔවුන්ගෙන් උපන් ග්‍රන්ථ කෘතීන් ආදිය ද ඉපැරණි වේ.

මේ මොහොතේ මාගේ මතකයට නැගෙන්නේ ප්ලේටෝ විසින් රචිත “ජනරජයයි” (The Republic). මේ ඉපැරණි වියත්, වියපත් කෘතිය ඇරඹෙන්නේ ම පුරෝගාමීන්ගේ වටිනාකම හා මරණය ඉදිරියේ වන වියපත් බව පිළිබඳ අපගේ ඇදුරු සොක්‍රටීස්ගේ කතාබහකිනි. වියපත් මිනිසුන් (මාගේ ලියවිල්ලේ ඇති සන්දර්භයේ නම්, අප බෙහෙවින් ම නො දුටු චින්තකයන්) අපට වටිණුයේ, සොක්‍රටීස්ට අනුව නම්: අප ගමන් කිරීමට තෝරා නොගත් හෝ තෝරාගත යුතු මංමාවත්වල, මංපෙත්වල “ඔවුන්” මේ වන විටත් ගොස් ඇති නිසා ය.

නමුත් මෙම විෂයේ දී, අප ගනුදෙනු කළ යුත්තේ බෙහෙවින් ම මෙම වියපත් මිනිසුන් සමග පමණක් නො ව ඔවුන් සේ ම වියපත් වූ ඔවුන්ගේ “සිතිවිලි”— ඔවුන්ගේ චින්තනය සමගයි. සෙසු මානවීය ක්‍රියාකාරකම් සේ ම චින්තනය ද ඓතිහාසික වේ.

සාක්ෂර මිනිසාගේ පැවැත්ම ඇති තාක් ම මෙකී මිනිසුන්ගේ වියපත් අදහස්, මෙනෙහි කිරීම් හා අරුත්නැංවීම් සදාකල් තාරුණ්‍යයේ මිහි මත පවතිනු ඇත.  

එම කරුණ එසේ වන බැවින්, දැන් අප— ඇසට හසුවන සිමාවේ ම ඇති බොහෝ දෑ සෙවනැල්ල තුළ සඟවාලන මේ පුංචි විජ්ජාකාරයා පිළිබඳ විමසමු.          

 “ඔහු” හෙවත් මෙස්කිර්ෂ් ලෙස නම් ලද ඒ කුඩා ජර්මානු ගම්මානයේ උපන් ඔහුඅපගේ පුංචි විජ්ජාකාරයා වන මාටින් හෛඩගර් (1889-1976) යනු හොඳින් දැන කතාබහ කීරීමට අපගේ මිතුරෙකු නො වේ. ප්‍රේම කිරීමට   අපගේ අසල්වැසියෙකු ද නො වේ, සබදකම් පැවැත්වීමට අපගේ ළග ඥාතියකු ද නො වන බව අපි හොඳාකාර ව ම දනිමු. මෙතන දී පැහැදිලි ම කරුණ වන්නේ; ඔහු අපට අභිමුඛ වී ඇත්තේ, අපට බොහෝ දූරස්ථ වූ චින්තකයෙකු/ දාර්ශනිකයෙකු ලෙස වන බවයි.   

මෙම ලියමනේ මා පිළිතුරක් ගොනු කිරීමට බලාපොරොත්තු වන නිශ්චිත ගැටලුවක් ඇත. අන් ලෙසකින් කියන්නේ නම්; මා පෙර සඳහන් කළ, මෙම ලිපිය නිපදවෙන “වටාපිටාව” හෙවත්, සතිපතා සිදු වන සාමූහික කියවීම වූ හෛඩගර්ගේ Being and Time කෘතිය සම්පුර්ණයෙන් ම කියවීම යන්න තුළින් ම ප්‍රකාශමාන වන (විය-හැකි) ගැටලුවක් ඇත.

මම එය මෙසේ ඉදිරිපත් කරමි:

විසිවන සියවසේ පළ වුණු අතිශය වැදගත් ම දාර්ශනික ප්‍රකාශනයක් වූ මාටින් හෛඩගර්ගේ Being and Time කෘතිය සුපැහැදිලි ලෙස ම “අසම්පුර්ණ” කෘතියක් බව දැන-දැන ම අප මෙය කියවුයේ ඇයි? 

මෙම කෘතිය කියවීම/හැදෑරීම නිෂ්පල ක්‍රියාවක් ද?

මා දැන් ප්‍රවේශමෙන් “දර්ශනය” නමැති කලාපයට ඇතුළු විය යුතු ය.

උක්ත ගැටලුව සැබවින් ම ගැටලුවක් ද හා එය එසේ නම්, මා එම ගැටලුව ඉදිරියට මගේ පිළිතුර කැඳවාගෙන ආ යුතු ය.

තරමින් මහත් වුව ද බෙහෙවින් ම ශෛලිගත පාඨශාලීය ආකෘතියකින් සම්පාදනය වී තිබුණ ද, මෙම කෘතිය අප දන්නා ලෙස (හෛඩගර් බලාපොරොත්තු වූ පරිදි) තවත් කොටස් සහ කාණ්ඩවලින් සමන්විත දාර්ශනික ව්‍යාපෘතියක පළමුවැන්න පමණි. මෙම ‘සුප්‍රසිද්ධ’ සෙසු කොටස් සහ කාණ්ඩ කෘති ලෙස නොපවතින බව, පළ නො වූ බව කරුණක් ලෙස අපි මේ වන විටත් දනිමු.

අනෙක් කරුණ නම්; මෙම කෘතිය රචිත අරමුණ පරිදි “පැවැත්ම” ද එහි විය-හැකි (possible) ක්ෂිතිජය ලෙස “කාලය” යන්න එළිපෙහෙළි කරගැනීම සිදු විය යුතු ව තිබුණ අතර අපගේ පුංචි විජ්ජාකාරයා හෛඩගර්, මෙම කෘතිය අවසන් කරන්නේ උක්ත ගැටලුවට පරිසමාප්ත පිළිතුරක් ඉදිරිපත් කිරීමෙන් නො ව, ඉහත අරමුණුකාරී ගැටලුවේ ම අන් රුවක් මවා පෑමෙනි. Being and Time කෘතියේ අවසාන ම පිටුවෙහි ඇති අවසාන ම වදන් පෙළ වන්නේ මෙයයි: “කාලය එය ලෙස ම පැවැත්මේ ක්ෂිතිජය ලෙස ප්‍රකාශමාන වේ ද?

ඔහු තම කෘතියට ප්‍රවේශ වන්නේ වියතෙකු, මහ ඇදුරෙකු ලෙස ය. කාලත්‍රය ජයගත් මහා ප්‍රාඥයෙකු විලසට ය.

ඔහු එම කෘතියේ ප්‍රථම පරිච්ඡේදයේ ප්‍රථම උප කොටස අරඹන්නේ ම “පැවැත්ම” පිළිබඳ ප්‍රශ්නය අද වන විට [අපට] අමතක වුණු ප්‍රශ්නයක් බව සඳහන් කරමිණි.

මේ වන විට මෙම ලිපිය කියවන ඔබට පැහැදිලි වී ඇති කරුණ නම්; Being and Time කෘතිය කියවීම/හැදෑරීම නිෂ්පල ක්‍රියාවක් වන බවයි. අඩු ම වසයෙන් ඒ බවක් හැගී යනු ඇත. සැබවින් ම මා මෙම ලිපිය කියවන ඔබට ඉදිරිපත් කළ ප්‍රශ්නය (යෝජිත ප්‍රශ්නය) වන්නේ ද මෙයයි.  

එනම්, මේ වන විට ප්‍රකාශමාන වී ඇති තොරතුරු ආශ්‍රයෙන් නම්; පැවැත්ම යන්නෙහි “අරුත” යන්න පිළිබඳ ප්‍රශ්නය හෛඩගර් අසා සිටින විමසන මෙම අසම්පූර්ණ කෘතිය අප කියවීමෙහි කිසිදු තේරුමක්/අරුතක් නො වේ (ද?) යන කරුණ මතුපිටට පැමිණ ඇත.

එහෙත් මාගේ මෙම ලියවිල්ලෙහි අරමුණ හුදෙක් ම මෙම ප්‍රශ්නය කියවන ඔබට ප්‍රක්ෂේපනය කිරීම නො ව මෙම ගැටලුව දර්ශනය හදාරන අයෙකුට වලංගු වන්නේ දැයි විමසීම ය.

එනම්; හුදු ප්‍රකාශමනයෙන් ඔබ්බට පියවරක් තැබීමෙන් අප ප්‍රශ්නයේ තතු ලෙස ම සිතන්නේ නම්, එම කරුණ තවත් පැහැදිලි කරගැනීමයි.

ෆ්‍රාන්ස් බ්‍රෙන්ටානෝ සහ ඉන් පසු ව එඩ්මන්ඩ් හුසල් විසින් දියුණු තියුණු වුණු ජර්මානු ප්‍රපංචවේදයේ (“ප්‍රපංචය” හෙවත් අපගේ විඤ්ඤාණයට තම ආකාර විදහා පෙන්වන දේවල් පිළිබඳ සිදු කෙරෙන දාර්ශනික සිතා බැලීම්, විස්තර සහ අර්ථකථනය) ඊළඟ අනුප්‍රාප්තිකයා ප්‍රපංචවේදයේ කිරුළුපළන් කුමරා ලෙස හෛඩගර් කලෙක (එකල ප්‍රපංචවේදය සම්භාවනාවට පාත්‍ර වන දර්ශනයේ යටගියාව තුළ) පිළිගැනුණු බව අප දන්නා කරුණකි.

හෛඩගර්ගේ තාරුණ්‍යයෙන් උපන් මෙම කෘතිය තුළ ඔහු සියවස් ගණනක් මුළුල්ලේ පැවතුණ දාර්ශනික ගැටලුවක් යළි අප ඉදිරියේ මවාපෑමට සැරසේ. ඔහුගේ අභිලාශය වන්නේ උක්ත ගැටලුව වන: පැවැත්ම යන්නෙහි අරුත පිළිබඳ ප්‍රශ්නය ඉදිරියේ, ඔහුගේ ම සමකාලීන වියත් මිනිසුන් පමණක් නො ව, තවත් සියවස් ගණනක් ඉදිරියට ද නිරන්තරයෙන් කොහේ හෝ සිට අදවටුණාක් මෙන් මිහිමත උපදින්නට නියමිත මිනිස් වර්ගයා ව අවදි කරවීමයි.

මෙය ඔහු අසම්පුර්ණ ව වුව ද විශිෂ්ට ලෙස සිදු කළේ කෙසේ ද යන වග මා සම්පූර්ණ ව (බෙහෙවින් ම අසම්පුර්ණ ව!) ගෙනහරපෑමට නම්, Being and Time කෘතියෙහි සමස්තය තුළට, නිර්ලොභී ව කිඳා බැසිය යුතු අතර මෙම ලියවිල්ලේ තුළ මාගේ අහිලාශය අනෙකක් වන බැවින් ද එය මෙතැන දී සිදු නො කළ යුත්තකි.

       නැවතත් මා ඔබට සිහිගන්වන්නේ නම්; මාහට අවශ්‍ය වන්නේ මෙම කෘතියට කවර හෝ ආකාරයකින් නිරාවරණය වූ යමෙක්, කණ්ඩායමක් හෝ පිරිසක් වෙත් ද එකී පිරිස අතර මෙම කෘතිය කියවීමෙන් ඇති “තේරුම” හෝ ප්‍රතිඵලය කුමක් ද යන්න පිළිබඳ ව පෙර ලෙස ම ඇති වුණ හෝ විය හැකි ගැටලුවෙහි සාධාරණත්වයේ සීමාව සලකුණු කිරීමයි.

අපගේ විජ්ජාකාරයා හෛඩගර්ගේ අරමුණ වන්නේ කුමක් ද?

සංක්ෂිප්ත ව කියන්නේ නම් ඔහුගේ අරමුණ වන්නේ; “පැවැත්ම” යන්නෙහි අරුත කුමක් ද යන ගැටලුවට ප්‍රවේශයක් හා අවසන් පිළිතුරක් ලෙස දර්ශනයේ හෙවත් පාරභෞතීය සම්ප්‍රදාය තුළ ම අපැහැදිලි ව අඳුරු වූ සෙවනැලි අතරේ නො පෙනී ගිය එයට ග්‍රහණය වුණු “පැවැත්ම” (Being) යන්න ම නිශ්චිත සන්දර්භයක පිහිටුවාලීමයි. මා පෙර සඳහන් කළ පරිදි මෙකී සන්දර්භය “කාලය” (Time) ලෙස වඩාත් නිවැරදි ව කියන්නේ නම්: කාලය යන්න පවත්මහි විය-හැකි ක්ෂිතිජය ලෙස සලකුණු වන්නේ මෙලෙස ය.

ඔහු මෙම ගැටලුව ද සඳහන් කරමින් සිය කෘතිය අරඹන්නේ එකී ගැටලුවට ඔහු විශ්වසනීය පිළිතුරක් ගොනු කරනා බව අපට ඉඟි කරමිණි. මෙම කෘතිය කියවීමෙන් ද ඉන් ඔබ්බට ගිය හැදෑරීමක දී අපට අවබෝධ වන්නේ, මෙස්කිර්ෂ්හී පුංචි විජ්ජාකාරයා ලෙස තම විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් අතර හෛඩගර් කීර්තියට පත් වුවා සේ ම ඉතා බැරෑරුම් ඇදුරෙකු ලෙස පාඨක අපගේ විශ්වාසය ද ඔහු දිනාගන්න බවයි.

මෙවැනි බැරෑරුම් චින්තකයෙකුගේ කාර්යභාරය වන්නේ සැම විට ම ප්‍රශ්න නැගීම හෝ ඊට පරිසමාප්ත පිළිතුරු සැපයීම නො වේ යන්න, බුද්ධිමය යටගියාව (සමස්ත දර්ශනය /පරභෞතීය සම්ප්‍රදායේ) තුළින් ම අපට දැකගත හැකි ය. දාර්ශනිකයාගේ කාර්යභාරය වන්නේ “දර්ශනය” නමැති මනුෂ්‍ය සිතීම විසින් ප්‍රවේශමෙන් තම ප්‍රවේශය දිනාගත් කලාපය වෙත යොමු කරනු වස්, සැබවින් ම අප ප්‍රශ්න කළ යුතු අනර්ඝ දේවල් වෙත අප ව පරීක්ෂාකාරී ව “විපරම්සහගත” කරවීමයි.

         Heidegger: An Introduction නමැති කෘතියෙහි රචකයා වන රිචර්ඩ් පොල්ට් සඳහන් කරන පරිදි: වරෙක හෛඩගර් සිය රචිත ලිපි එකතුවක්, ජර්මන් බසින් “Holzwege” (Woodpaths) ලෙස එනම්, “වන මංපෙත්” ලෙස නම් කර තිබේ.

පොල්ට් තව දුරටත් සඳහන් කරන පරිදි: Holzwege හෙවත් “වන මංපෙත්” යන යෙදුම එහි ජර්මානු භාෂාමය වටපිටාව තුළ අරුත්ගැන්වෙන්නේ “මාවතක ආවෘත අන්තයක්” (dead-end) ලෙස ය. ඔහුට අනුව පමණක් නො ව අපට ද වැදගත් වන කරුණ නම් මෙවැනි ඉදිරියක් නො මැති, නො පෙනෙන ආවෘත අන්ත (dead ends) අපට වැදගැම්මකට ගත නොයුතු දේවල් නො වේ යන්නයි. ඔහුගේ අවධාරණය මම මෙසේ හුරු බසට නංවමි:

“ අපට මෙම [ආවෘත අන්තයෙහි] මංපෙත් දිගේ ඇවිද ගොස් නැවත හැරී පැමිණීමට සිදු වුවා කියා සිතන්න; [එහෙත්] අප වෙනස් වී ඇත [යම් වෙනසකට බඳුන් වී ඇත], මෙම මංපෙතෙහි ගමන් කිරීමට පෙර සිටියාට වඩා අපි නැණවත් වී ඇත්තෙමු. ඇතිරී පැතිරී ඇති භුමිය ගැන ද අපගේ ශක්‍යතාවයන් ගැන ද අපි දනිමු. එයින් [වනයෙන්] අපි පිටතට නො පැමිණිය ද එම වනය ගැන [ඒ වන විටත්] බොහෝ දෑ දනිමු.” (පිටුව.7)

අප නැවතත් හෛඩගර්ගේ Being and Time කෘතියේ අවසානයේ වූ අවසාන ම වදන් පෙළට හැරෙමු: කාලය එය ලෙස ම පැවැත්මේ ක්ෂිතිජය ලෙස ප්‍රකාශමාන වේ ද?  

කෘතිය ආරම්භයේ දී අපගේ විශ්වාසය දිනාගන්නා මේ බැරෑරුම් චින්තකයා කෘතිය අවසානයේ දී යම් අස්ථිර බවක් හඟවයි.

මෙම කරුණු කාරණා මධ්‍යයේ අපට මෙන් ම ඇතැමෙකුට ද පෙනී යන්නේ කෘතියෙන් අරමුණු වූ හෛඩගර්ගේ අභිලාශය නිෂ්ඵල වන්නක් ලෙසයි.

එහෙත් එය සැබවින් ම නිෂ්ඵල ද?

හෛඩගර් පිළිබඳ පර්යේෂකයෙක් වන රිචර්ඩ් පොල්ට් ද මෙම ලියවිල්ල ලියනා මම මෙන් ම සමස්ත දර්ශන සම්ප්‍රදායෙහි ම ශිෂ්‍යභාවය අහෝසි නො කරගත් ආධුනිකයින්,  බුද්ධිමතුන් හා මෙය කියවන පාඨක ඔබ ද දන්නා හෝ දැනගත යුතු කරුණ නම්; හෛඩගර්ගේ කෘතිය අප පිළිගත යුත්තේ, සිතාබැලීම් මෙහෙහිකිරීම් සසරක එක් සුවිශේෂී “කොටසක්” අසම්පුර්ණ අංශයක් ද මෙන් ම පෙර අප අනුදත් පරිදි; ඝන වනයෙන් පිටතට ඒමක් පෙනෙනතෙක්මානයකවත් නො මැති ආවෘත අන්තයක් (dead end) මෙන් වූ වන මංපෙතක් ලෙස ය.

පරිසමාප්තිත පිළිතුරක් නො පෙනී ම වුව ද එහෙත් අපගේ පුරෝගාමීන් මෙන් මෙම කෘතියට පරෙස්සමන් ප්‍රවේශ වී ඉතා හොඳින් “අතරමං” වීමට අප ඉවසීමන් වගබලාගත යුතු ය.

ඒ බව අනෙකාට ප්‍රකාශ කිරීමට අප නිහතමානී විය යුතු යයි සිතමි. 

නිශ්චිත ව ම 2016 පෙබරවාරි මස 25 වන බ්‍රහස්පතින්දා දින පටන් (එකල පදනම් ආයතනයේ දී ) සාමුහික, කණ්ඩායම්ගත කියවීමක් ලෙස, වංගීසගේ මගපෙන්වීම සහ බුද්ධිමය දායකත්වයෙන් (මෙය පැහැදිලි ලෙස ම ඔහුගේ බුද්ධිමය හිමිකම් අප හා බෙදාගැනීමකි!) සම්පුර්ණයෙන් ම කියවා ආවරණය කළ හෛඩගර්ගේ Being and Time (පැවැත්ම සහ කාලය) කෘතිය තුළ අපට බලාපොරොත්තු විය හැකි පරිසමාප්ත පිළිතුරක් නො ලැබුණ ද, දර්ශනයේ ඇති (ඇතැම් විට දර්ශන සම්ප්‍රදායට ම සුවිශේෂී වූ) හොඳ පිළිතුරු මෙන් ම ඒ හා සම ලෙස ම වැදගත් වූ “හොඳ ප්‍රශ්නවලට” ද ඇති අපගේ ආකර්ෂණය අප සිහිපත් කර ගත යුතු ය.

මෙය අවසානයේ දී ඉදිරියක් නො මැති ආවෘත වූ වන මංපෙතක් යයි දැන-දැන ම එහෙත් අතරමග දී හමු වන නැණ, මනවඩන බොහෝ දෑ කෙරෙහි ආශක්ත වීමට අප ධෛර්යසම්පන්න විය යුතු ය. මෙය මෙස්කිර්ෂ්හී අපගේ පුංචි විජ්ජාකාරයා ද අනුදත් මගයි.

සිග්මන්ඩ් ෆ්‍රෝයිඩ්, ඔහුගේ Interpretation of Dreams — “සිහින පිළිබඳ අර්ථකථනය” කෘතියෙහි තුන්වන ඉංග්‍රීසි මුද්‍රණයට ලියූ පෙරවදන අවසානයේ සඳහන් කර ඇති ලෙස: “මෙය [ඔහුගේ කෘතිය] ජීවිතයේ [බොහෝවිට] එක්වරක් පමණක් ඇති වන ඉසියුම් දැක්මකි (insight)”, යන්න සිහිනයක් නො ව සැබෑවක් බව අප තේරුම්ගත යුත්තේ යම් සේ ද, මනෝ  විශ්ලේෂණයට ඉඳුරා ම වෙනස් වූ ආකෘතියකින් හෙබි “දර්ශනය / පාරභෞතීය සම්ප්‍රදාය යන්න තුළ ද විවිධ ලිඛිත හා අලිඛිත ප්‍රකාශනයන් ඔස්සේ අප කරා පැමිණෙන්නේ මෙකී විරල ඉසියුම් දැක්මවල් බව අප අවබෝධ කරගත යුතු ය. 


මෙම ලිපියේ ඇරඹුමට ඇති මාගේ දැඩි ආදරයත්, සමස්ත දර්ශන සම්ප්‍රදාය හෙවත්— බෙහෙවින් ම ළඟා වීමට අසීරු ප්‍රඥාව/බුද්ධියට ඇති අපගේ ඇල්ම බැල්ම ද සිහියෙහි තබා ගනිමින්“ඔහු” අනුදත් පරිදි:

සියලු වෘක්ෂ, දිය දහරාවෝ විසිරී පැතිරී ඇති, සුදුසු කල මල් දරා පල ද දරන අනේකවිධ ගස්වැල් ආදියට බිම සළසන “මහා පොළොව” ද,

අපට පෙනෙන සේ කවාකාර ව ගමන් කිරීමට හිරුට මග සළසන, සඳුට රිසි සේ කලාවන්ගෙන් සැරසී රැස් විහිදාපෑමට ද එය වටා විසිරී පැතිරී තම සියුම් කාන්තියෙන් බැබළීමට තරුවලට උචිත අඳුර සළසන, අලුයමේ ද සන්ධ්‍යාවේ ද ගුවන විසිතුරු පැහැයන්ගෙන් පුරවාලන්නට ද, දිවා රෑ නො බලා අප හිසට මත්තෙන් අපට නොදැනෙන්නට වළාවියන්වලට ගමන් කිරීමට ඉඩ සළසන “නිල් අහස” ද,

බොහෝ ඈත අතීතයේ පටන් කටකතා, බණකතා, උපමාකථා හා වීරකාව්‍යයන්හී ද, සුරාසුරයන් ලෙස මිහිපිට උපන් මිනිසුන්ට රුවින් බෙහෙවින් සමාන ලෙස පෙනී නො පෙනීභක්තිය මෙන් ම බිය ද දිනාගත්, ඈත විමන්හී වෙසෙන “දෙවිවරුන්” සහ,

නිසැක ලෙස ම මරණය මරණය ලෙස ම අද්දැකීමට හැකි, මරණයට පත්වීම සිහිනයක් නො වූ, අහේතුවකින් මෙන් මිහි මතට ඇදවැටුණු “මැරෙනසුලු මිනිසුන්” ද සිහිපත් කරමින්, තරමක් කාව්‍යාත්මක වුවද මෙකී වදන් පෙළකින් මා අවසානයට පැමිණිය යුතු ය. එබැවින්, මා මගේ මනස සමග කරනා කියවිල්ලත්, ලියන මෙම ලියවිල්ලත් මෙපමණකින් අවසන් කිරීම උචිත යයි සිතමි.

වරංග ද සිල්වා