Tristram Hillier (1905 - 1983) Spanish Peasants Drinking 1963

 

මෙම ඉක්මන් සටහනේ ඍජු අරමුණ වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මරණයෙන් පසු ඔහු පිළිබඳව නලින් ද සිල්වා ලියූ කෙටි විචාරය පරීක්ෂා කර බැලීමයි (එම විචාරය මෙතැනින්). නමුත් එයට වඩා මෙය අප විසින් ආරම්භ කළ දාර්ශනික සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාමට තැබූ ආරම්භක පියවරක් ලෙස සලකන්නේනම් එය වඩාත් සුදුසු වනවා කියා සිතමි. අප විසින් ආරම්භ කළ එම සංවාදයේ තිබෙන්නේ, බොහෝ දෙනෙක් දන්නා පරිදි, නලින් ද සිල්වා ගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය පිළිබඳව මා කළ විවේචනයකි. මට මේ සටහන මගින් අවශ්‍ය වන්නේ, කලකට පෙර ආරම්භ කළ ඒ සංවාදය පිළිබඳව මතකය යළි අලුත් කිරීමත්, එහි මීළඟ පියවර සඳහා පෙර සූදානමක් වීමත් පමණි. ලෙස්ටර් පිළිබඳව – කාලීන වටිනාකමක් ඇති – විචාරය මා යොදා ගන්නේ ඒ වෙනුවෙනි.

එම සංවාදයේ අවසානයේදී මා මතු කළ මූලික තර්කය, සාරාංශ වශයෙන් දක්වතොත්, මෙලෙස ලිවිය හැකිය. මනසින් බාහිර යථාර්ථයක් සිතීම විසංවාදයක් වේ යන අදහස එහි තාර්කික අවසානය වෙත ගෙන ගියහොත් මනසේ ආරම්භය මෙන්ම මනසේ අවසානය පිළිබඳවත් අපට කිසිවක් කිව නොහැකි බවයි. අපට කිව හැක්කේ සෑම විටම ඒ වනවිටත්, ‘මනස’ යන්න තිබීම අනිවාර්ය වන බවත් එවැන්නක් නොමැති වීම යන්න අපට සිතා ගත නොහැකි බවත්ය. එයට හේතුව වන්නේ, සරලවම, ‘හිතා ගැනීම’ යන්න සඳහා මනසෙහි පැවැත්ම අනිවාර්ය වීමයි. මට අනෙකා ගේ මනස ලෙස මවිසින් හඳුනා ගන්නා දෙයක නතර වීම සිතා ගත හැකි වුවත්, සහ, ‘මනස’ යන වියුක්ත සංකල්පය නොමැති වීම යන්න සිතා ගත හැකි වුවත්, මේ දෙකම කළ හැකි පූර්ව කොන්දේසිය වන්නේ, ඒ වනවිටත්, ‘මගේ මනස’ – අවශ්‍යනම් ‘මගේ ලෝකය’ – ක්‍රියාත්මකව තිබීමයි. මගේ මනස නොමැති වීම මට කිසිදා සිතිය හැකි දෙයක් වන්නේ නැත – එහිදී අපට හමුවන්නේ ද මනසින් පරිබාහිරත්වයක් පිළිබඳව සිතීමේදී අපට හමු වූ පරස්පරයමයි.

මෙම කරුණ මත නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය වෙනුවෙන් පෙනී සිටිනා විචාරකයන් ප්‍රශ්න කළ විට අවසානයේදී අපට ප්‍රතිචාර ලෙස හිමි වන්නේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය සහ බුදු දහම අතර ඇති වෙන් කිරීමකි. ඒ අනුව, ඔවුන් කියා සිටින්නේ, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය යනු දැනුම පිළිබඳව ප්‍රවාදයක් වන බවත්, බුදු දහම ඔවුන්ගේ පුද්ගලික විශ්වාසයක් සහ/හෝ අධ්‍යාත්මික විමුක්ති මගක් යන්නයි.

ගැටලුව වන්නේ, අප මෙම අදහස පිළිගැනීමේ ඍජු ප්‍රතිවිඵාකය ලෙස, සියලුම ආගමික විශ්වාසයන්ට එක හා සමාන වටිනාකමක් ලැබීම මෙහිදී ප්‍රතික්ෂේප කළ නොහැකි වීමයි. වෙනත් ආකාරයකට කියන්නේනම්, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය මගින් අපට කියා සිටින්නේ දැනුමේ ඇති පරිමිතත්වය පිළිබඳව පමණක්නම්, එවැනි ප්‍රවාදයක් මත හිඳ ‘දෙවියන් වහන්සේ’ යන්න මිත්‍යාවක් බවත්, ‘නිවන’ යනු අපට ඇති එකම විමුක්තිය පිළිබඳව අදහස වේ යන්නත් පිළිගැනීමට පදනමක් නොමැති වේ. දෙවියන් වහන්සේ පිළිබඳව අදහස ‘පට්ටපල් බොරුවක්’ කියා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය තුළ හිඳ පෙන්වා දිය හැකිද? එසේ කළ නොහැකි වනවා පමණක් නොව, කලකට පෙර, නලින් ද සිල්වා විසින්ම දෙවියන් වහන්සේ පිළිබඳව අදහස සඳහා දාර්ශනික විවරණය ලබා දී ඇති බව අපි දනිමු (එම රචනාව මෙතැනින්).

එසේනම් අප මෙම ප්‍රතිචාරයෙන් තෘප්තිමත් වී, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය අනුව සියලු ආගමික විශ්වාසයන් සඳහා එක හා සමාන වටිනාකමක් ලැබෙනා බව පිළිගත යුතුද? කරුණු දෙකක් නිසා මෙම ප්‍රතිචාරය අපට ප්‍රමාණාත්මක නොවන බව පෙන්වා දිය හැකිය. නමුත් මෙහිදී අපට සලකා බැලිය හැකි වන්නේ මේ අතරින් එක් කරුණක් පමණි. ඒ තමයි මෙය අවංක පිළිතුරක් නොවෙයි කියා එතරම අපහසුවකින් තොරව පෙන්වා දිය හැකි වීම. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය තුළ බුදු දහම සඳහා හිමි වන්නේ, අනෙකුත් ආගම් සඳහා නොලැබෙන ආකාරයේ, විශේෂ වරප්‍රසාදිත තත්වයකි. ලෙස්ටර් පිළිබඳව නලින් ද සිල්වා ගේ විචාරය වැදගත් වන්නේ මෙම ලක්ශ්‍යයේදීය.

එහිදී ලෙස්ටර් සම්බන්ධයෙන් නලින් ද සිල්වා එල්ල කරන මූලික විවේචනය වන්නේ, සාරාංශ වශයෙන් ගත්විට, ලෙස්ටර් අතින් සිංහල සිනමාව බටහිර නූතනත්වයට නතු කෙරෙනා බවයි. ඒ වෙනුවට නලින් ද සිල්වා විසින් අනුදක්නා ලද උත්තර කලාව වන්නේ ජාතක කතා වල සහ පියදාස සිරිසේන, සුනිල් ශාන්ත, දයානන්ද ගුණවර්ධන සහ, සිනමාව තුළ, සිරිසේන විමලවීර වැනි අයගේ නිර්මාණ වල අපට හඳුනා ගත කලාවකි. මෙහි මූලික ලක්ෂණය වන්නේ – නලින් ද සිල්වා ගේ අර්ථකථනයට අනුව –  පුද්ගලත්වය, පුද්ගල නිදහස, පුද්ගල ජීවිතයේ අර්ථය සොයා යන බටහිර නූතනත්වයේ කලාව වෙනුවට සිත නිවීම, සසර කෙටි කර ගැනීම, නිවනට අත්වැලක් සැපයීම ආදිය ප්‍රමුඛ වීමයි. නමුත් අප නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය සහ බුදු දහම අතර ඉහත බෙදීමට යටත්ව ගත්විට මෙම අදහස පිළිගැනීම සඳහා අපට දාර්ශනික තර්කයක් හමුවන්නේ නැත. අපට ‘නිවන’, ‘දෙවියන්’ ආදිය ගැන ලබා දිය හැක්කේ එක හා සමාන වටිනාකමක් පමණක්නම් අප නිවන ප්‍රමුඛ කරගත් කලාවක් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ඇයි? ඒ වෙනුවට, නිදර්ශනයක් ලෙස, දෙවියන් වහන්සේ පිළිබඳව අදහස් ලබා දෙන කලාවක් වෙනුවෙන් අපට පෙනී සිටිය නොහැකි වන්නේ ඇයි?

මේ සඳහා ප්‍රායෝගිකවාදී තර්කයක් තිබෙනා බව මම දනිමි. ඒ තමයි සියවස් ගණනක් පුරා අපට උරුම වූ සංස්කෘතිය මගින් අප ගොඩ නගා ඇති චින්තනය අනුව යන්නේ නොමැතිව අපට දැනුම නිෂ්පාදනය කිරීමට නොහැකි වේ කියනා තර්කය. ඒ අනුව, බටහිර චින්තනය අපට චින්තනයක් ලෙස උරුම නොවන නිසා එවැනි චින්තනයක් තුළ හිඳ සිතනා කෙනෙක් ලෙසින් අපට එම චින්තනයේ දැනුම නිර්මාණය කිරීමට හැකියාවක් නොමැත. මේ සඳහා නලින් ද සිල්වා ලබා දෙන ජනප්‍රිය අනුභූතික සාක්ෂි බොහෝ දෙනෙක් අසා තිබෙනු ඇත – නොබෙල් සම්මාන ලාභීන් අපට නොමැති වීම, විද්‍යාව සඳහා රාජකීය සංගමයේ අධිසාමාජිකයන් එක්කෙනෙක් පමණක් බිහි කිරීමට හැකි වීම. මේ හා සමාන සිනමා සාක්ෂියක් ද, ලෙස්ටර් ට එරෙහිව, නලින් ද සිල්වා විසින් ඉහත ලිපියේදී ගෙන හැර දක්වයි. ඒ තමයි ලෙස්ටර් ඇතුළු කිසිදු ලාංකික සිනමාකරුවෙක් ට ඔස්කාර් සමාන ලබා ගැනීමට නොහැකි වීම.

ඒ අනුව, මෙහිදී, බුදු දහමේ විමුක්ති මාර්ගය වෙත ප්‍රමුඛබවක් ලබා දීම සඳහා දාර්ශනික තර්කයක් අපට ඉදිරිපත් කළ නොහැකි වුවත් ප්‍රායෝගිකවාදී තර්කයක් තිබෙනා බව අපට කිව හැකිය. ඒ තමයි එය විශ්වාස කිරීමෙන් හැර අපට ‘ගොඩ යාමක්’ පිළිබඳව බලාපොරොත්තු විය නොහැකි වීම. වෙනත් ආකාරයකට කියන්නේනම්, ‘නිවන’ පිළිබඳව අපට, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය පැත්තෙන් ගත්විට, විශේෂ වටිනාකමක් ලබා දීමට නොහැකි වුවත්, එය අපට පාරම්පරිකව උරුම වී ඇති විශ්වාසය වන හෙයින් අපගේ ‘මෙලොව’ සුවසෙත වෙනුවෙන් එය මත විශ්වාසය තැබීම හැර අපට වෙනත් විකල්පයක් නොමැති වේ. එසේ නොමැති වනවා යනු – ලෙස්ටර් මෙන් – අපත් ‘දෙලොවක් අතර’ ජීවත් වීමට සිදු වීමයි.

මෙම ප්‍රායෝගිකවාදී ප්‍රවේශයේ සීමාව හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ. එක අතකින් – සහ අප අඩු වටිනාකමක් තිබෙනා තර්කයෙන් ආරම්භ කරන්නේනම් – නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ වසර තිහක ශේෂ පත්‍රය පරීක්ෂා කර බැලූ විට, මේ ප්‍රවේශය හරහා අපට ප්‍රායෝගිකව හඳුනා ගත හැකි විශේෂ නව දැනුමක් නිෂ්පාදනය වී ඇති බව, පොදුවේ ගත්විට, කිව නොහැකිය. සාපේක්ෂ වශයෙන් කුඩා දේ මේ සඳහා නිදර්ශන ලෙස ලබා දිය හැකි වුවත්, ‘බටහිර චින්තනය’ ලෙස හඳුන්වන සම්ප්‍රදාය තුළ උත්පාද වී ඇති දැනුමට සාපේක්ෂව මෙය ගණනය නොකළ යුතු තරමේ කුඩා දෙයක් බව පැහැදිළි වේ – 1980 දශකයේදී අප වෙත ලබා දුන් පොරොන්දු තවමත් ඉටු වී නොමැත. මෙයට ප්‍රතිචාරයක් ලෙස එවැනි ව්‍යාපෘතියක් සඳහා වසර තිහකට වඩා බොහෝ වැඩි කාලයක් යන බව ප්‍රකාශ කිරීමෙන් ද අපට තෘප්තිමත් විය නොහැක. ප්‍රායෝගික ප්‍රශ්නයක් වෙනුවෙන් – ‘අපට විද්‍යාඥයන් බිහි කර ගැනීමට නොහැකි වීම’– ඇති කරගත් උපන්‍යාසයක් – ‘චින්තනයේ වෙනස්කම්’ – පරීක්ෂා කර බැලිය හැක්කේ ප්‍රායෝගිකව ලබා දෙන ප්‍රතිඵල මත පමණි. අපට එම ප්‍රායෝගික ප්‍රතිඵල ලබා ගැනීමේ නොහැකියාව පැහැදිළි කළ හැකි හොඳම උපන්‍යාසය වන්නේ මෙය බවට කිසිදු සැකයක් නොමැති වේද? මේ සඳහා දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුවනම් පැහැදිළි වන්නේ මේ සඳහා තවත් විකල්ප පරීක්ෂා කර බැලීම – අවම වශයෙන් – ප්‍රයෝජනවත් විය හැකි බවයි.

නමුත් මෙම ප්‍රායෝගිකවාදී ප්‍රවේශයේ තිබෙනා ගැටලුව මෙයට වඩා හොඳින් වටහා ගැනීමට අපට හැකියාවක් තිබේ. ලෙස්ටර් පිළිබඳව ප්‍රශ්නය අපට අදාළ වන්නේ මෙතැනදීය. පළමුවෙන් කිව යුත්තේ මෙම ප්‍රායෝගිකවාදී තර්කය වෙනුවෙන් ලබා දෙන අනුභූතික සාක්ෂි අතර ගුණාත්මක වෙනස්කම් තිබෙනා බවයි. අවම වශයෙන් මෙහි ආරම්භයේ දී ප්‍රමුඛ වන්නේ කලාව නොව විද්‍යාව පිළිබඳව ප්‍රශ්නය බව අපි දනිමු. තවත් සරල ලෙස, එහිදී වැදගත් වන්නේ අපට බටහිර රටවල මෙන් විද්‍යාඥයන් බිහි කිරීමට නොහැකි වන්නේ ඇයිද යන ප්‍රශ්නයයි. නොබෙල් සම්මානය සහ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය පිළිබඳව සාක්ෂිය අවශ්‍ය වන්නේ මෙම නොහැකියාව තහවුරු කිරීමටයි. අප එම තර්කය මොහොතකට පිළිගනිමින් මෙවැනි ප්‍රශ්නයක් අසමු: අප විද්‍යාඥයන් බිහි කළ යුතු වන්නේ ඇයි? මෙයට ලබා දිය හැකි එක පිළිතුරක් වන්නේ එමගින් අපේ ප්‍රශ්න වලට අපට සමීප විසඳුම් සෙවීම මෙන්ම සමහර ගෝලීය ප්‍රශ්න සඳහා වෙනත් සංස්කෘතියක නොමැති විසඳුම් ලබා දීමේ හැකියාව එමගින් ලැබෙන්නේය යන්නයි. ගෝලීය පරිසර අර්බුධය සඳහා, නිදර්ශනයක් ලෙස, අපගේ චින්තනය මත පදනම් වූ දැනුමක් හරහා වඩා සාර්ථක විසඳුමක් ලබා දිය හැකි බව අපට උපකල්පනය කළ හැක. එවැනි තත්වයකදී, සමහරවිට, අපට නොබෙල් සම්මානය දිනා ගැනීමට අවස්ථාවක් ද හිමි වීමට ඉඩ තිබේ.

නමුත් ඔස්කාර් සම්මාන දිනා ගැනීම සම්බන්ධයෙන් ගත්විට මෙවැනි අවස්ථාවක් හිමි නොවන බව පැහැදිළි වේ. අපගේ ‘සංස්කෘතියට ගැලපෙන’ ආකාරයේ කලා නිර්මාණ කිරීම මගින් – නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ තර්කයට අනුවම – බටහිර නිර්ණායක අනුව සම්මාන හිමි වීමට ඇත්තේ අඩු ඉඩකි. එසේනම්, ලෙස්ටර් ‘දෙලොවක් අතර’ සිර වීමෙන් මිදීම සඳහා කළ යුතු බව පෙනී යන්නේ ඔස්කාර් සම්මාන ලබා ගැනීමේ අරමුණ අමතක කර දමා ‘සිත නිවන කතා’ නිර්මාණය කිරීමයි. එවිට කලාව යනුවෙන් අප අදහස් කරන්නේ අපේ සංස්කෘතිය මගින් අපට උරුම වූ විශ්වාසයන් – අපට දාර්ශනිකව කිසිදු පදනමක් ලබා දිය නොහැකි හුදු විශ්වාසයන්, ‘දෙවියන් වහන්සේ’ හෝ ‘අල්ලා දෙවියන්’ අතරින් අපට වෙන්කර දැක්විය නොහැකි විශ්වාසයන් – වෙනුවෙන් සේවය කිරීම පමණි. තවත් තියුණු ලෙස කියන්නේනම් කලාකරුවා කළ යුත්තේ අපටම තහවුරු කර බැලීමට නොහැකි විශ්වාසයක් වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදීමයි.

මෙම ප්‍රායෝගිකවාදී ප්‍රවේශය තුළ විද්‍යාඥයා සහ කලාකරුවා අතර ශ්‍රම විභජනයක් පවත්නා බව, මේ අනුව, පැහැදිළි විය යුතුය. විද්‍යාඥයා විසින් ආගමික විශ්වාසයේ නිරවද්‍යතාවය පිළිබඳව උපන්‍යාසය පිළිගන්නේ ඒ හරහා දැනුම නිෂ්පාදනය කිරීමටයි. එහිදී විද්‍යාඥයා එම විශ්වාසය වැළඳගැනීම අනිවාර්ය වන්නේ නැත. නමුත් කලාකරුවා හට එවැනි තෝරා ගැනීමක් ලැබෙන්නේ නැත. ඔහුට හිමි වන්නේ ආගමික විශ්වාසයේ නිරවද්‍යතාවය පිළිගනිමින්, එය වෙත මිනිසුන් යොමු කරවන්නා වූ නිර්මාණ කිරීමටයි. කලාකරුවා සිදු කළ යුත්තේ, වෙනත් ආකාරයකට කියන්නේනම්, රාජ්‍යයේ මතවාදය ප්‍රචාරය කිරීම සහ එයට මිනිසුන් ආකර්ෂණය කර ගැනීමයි.

මෙයට පරස්පරව, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ නියෝජිතයන් කියනා ලෙස, අප බුදු දහම සහ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය යනු එකක් නොව දෙකක් කියා පිළිගන්නේනම්, කලාකරුවාගේ භූමිකාව සඳහා ඉහත ප්‍රායෝගිකවාදී තර්කය අවලංගු වන බව පැහැදිළි වේ. නිදර්ශනයක් ලෙස නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය සිය කලාවේ දෘෂ්ඨිය ලෙස සලකනු ලබන කලාකරුවෙක් විසින් සිය මුඛ්‍ය කාර්යය ලෙස හඳුනාගනු ඇත්තේ සිය දැනුමේ ඇති පරිමිතත්වය පිළිගැනීමයි. එවැනි කෙනෙකු අතින් විය යුත්තේ අපගේ දැනුමේ ඇති අත්‍යන්ත සීමාව උල්ලංගණය කිරීමට උත්සාහ කිරීමේ මූලධාර්මික වරද පෙන්වා දීම නොවේද? වඩාත් උත්ප්‍රාසජනක ලෙස, අපගේ ග්‍රහණයෙන් ඔබ්බෙහි තිබෙනා රහසක් හෝ සාරයක් හෝ වෙත ළඟා වීම වෙනුවෙන් බිහිසුණු ඝාතණයක් කළ මිනිසෙකුගේ අභ්‍යන්තර සංවාදය අප වෙත ගෙන එන ‘නිධානය’ චිත්‍රපටිය පිළිබඳව තරමක වෙනස් කියවීමක් සිදු කිරීමට මේ මගින් අපට අවස්ථාව හිමි නොවන්නේද?

ඉතාම පැහැදිළි වන්නේ, අවම වශයෙන්, කලාව පිළිබඳව සිතීම සඳහා චින්තනය පිළිබඳව ඇති ප්‍රායෝගිකවාදී තර්කය වලංගු නොවනා බවයි.

(මතු සම්බන්ධයි)

වංගීස සුමනසේකර

 

 

 

***