Egon Schiele 1

 

නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් සමග සංවාදය අවසානයේ නතර වූ ලක්ෂ්‍යය වන්නේ ‘මනස’ පිළිබඳව එහි ඉදිරිපත් කරනා විවරණයේ ඇති ගැටලුවයි. ‘සිංහල බෞද්ධ මනස විසංයෝජනය කිරීම’ යනුවෙන් මා ලියූ රචනය තුළ මා පෙන්වා දීමට තැත් කළ මූලික කරුණ වන්නේ මෙයයි (එම රචනය මෙතැනින්). සැබැවින්ම, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ මනස පිළිබඳව විවරණය කියවනා කෙනෙක් හට සිහිපත් වන්නේ අසල්වැසියෙක්ගෙන් කේතලයක් ඉල්ලා ගත් මිනිසා පිළිබඳව ෆ්‍රොයිඩ් ගේ ජනප්‍රිය උපමා කතාවයි කියා කෙනෙක් යෝජනා කළහොත් මාගේ සම්භාෂකයන් අමනාප නොවේ කියා සිතමි. ‘ඉර්මා ගේ එන්නත’ යනුවෙන් ජනප්‍රිය වන, ෆ්‍රොයිඩ් විසින්ම දකින ලද සිහිනයක් පිළිබඳව ඔහුගේ විශ්ලේෂණයේදී මෙම උපමා කතාව අපට හමු වේ. කතාවේ තිබෙන්නේ අසල්වැසියෙක්ගෙන් කේතලයක් ඉල්ලා ගත් මිනිසෙකු එය නැවත බාර දෙන විට කේතලය කැඩී තිබීම පිළිබඳවයි.මෙයට හේතු විමසා සිටිනා විට එම මිනිසා විසින් එයට පිළිතුරු තුනක් ගොණු කරයි. පළමුව, තමා කේතලය නැවත බාර දෙන විට එය කැඩී නොතිබූ බවත්, දෙවනුව, ඔහු කේතලය ඉල්ලා ගන්නා විටම එය සිදුරු වී පැවති බවත් පවසන එම මිනිසා, තුන්වැනුව කියා සිටින්නේ, ඔහු කිසිදා අසල්වැසියාගෙන් කේතලයක් ඉල්ලා ගත්තේ නොමැති බවයි.

මනස සම්බන්ධයෙන් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය තුළ ඇති පැහැදිළි කිරීම තුළත් අපට මෙම ‘කේතල් තර්කණයේ’ ආකෘතිය හඳුනා ගත හැක. පළමුවෙන්, මනස යනු ‘චිත්ත’ පරම්පරාවක් සමස්තයක් ලෙස ගැනීමක් වන අතර, දෙවනුව, මනස යනුවෙන් හඳුනා ගත හැකි යමක් සැබැවින්ම පවතින්නේ නැත. අනෙක් අතට මේ සැබැවින්ම පවතින්නේ නැති බව අපට වැටහී නොයන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳව අපට ඇති අනවබෝධය නිසා වුවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ‘අවබෝධ කරගත්’ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් ද නොමැති වේ.

සත්‍ය වශයෙන්ම මෙම ප්‍රවාදයේ තිබෙන්නේ මෙම ගැටලු පමණක් නොවේ. මෙම ගැටලු මතු වන්නේ අප එයට ‘සැකයේ වාසිය’ උපරිම වශයෙන් ලබා දී ඒ ගැන තසේරුවකට පැමිණෙන්නේනම් පමණි. එසේ නොමැතිනම් මෙහි තවත් ගැටලු ඇති බව පෙන්වා දිය හැකිය. විශේෂයෙන් මෙහිදී ‘චිත්තය’ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්න ගැටලුකාරී වේ. ඒ සඳහා තිබෙනා පැහැදිළි කිරීම වන්නේ එය මනසින් වටහා ගත හැකි කුඩාම ඒකකය යන්නයි. නමුත් අපගේ දෛනික අත්දැකීම් තුළ අපට හඳුනා ගත හැකි අදහස්, සිතුවිලි අතර ‘චිත්ත’ යනුවෙන් හඳුනා ගත හැකි දෙයක් තිබෙන්නෙහිද? ‘චිත්ත’ දැක තිබෙනා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදියෙක් සිටින්නේද? සාමාන්‍යයෙන් අපට හඳුනා ගත හැකි සිතුවිලි සමන්විත වන්නේ චිත්ත වලින්ද? මෙවැනි උපන්‍යාසයක් ඇසුරින් අපට සිතුවිලි වඩා හොඳින් විස්තර කළ හැකිද? මේ ආදී ප්‍රශ්න රාශියක් මේ සම්බන්ධයෙන් ඇසිය හැකි බව පැහැදිළි වේ.

මේ සියලු ප්‍රශ්න, පොදුවේ ගත්විට, දිශානත වන්නේ එකම කරුණක් වෙතයි. ඒ තමයි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ එන මනස පිළිබඳව ප්‍රවාදය පිළිගැනීම සඳහා බුදු දහම – අවම වශයෙන් නලින් ද සිල්වා විසින් අර්ථ දක්වා ඇති බුදු දහම – පිළිගැනීම අනිවාර්ය වීම. ‘චිත්තය’, මනස යන්නෙහි නොපැවැත්ම, ‘ත්‍රීලක්ෂණය’ ආදිය පිළිබඳව පූර්ව එකඟතාවයක් නොමැතිව එම ප්‍රවාදය පිළිගැනීම කළ හැකි නොවේ. එවැනි පූර්ව එකඟතාවයක් ඇති කරගන්නවා යනු, සරලවම, ‘නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී බෞද්ධයෙකු’ බවට පත්වීමයි. එම නිසා, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ ආරක්ෂකයින් අපට ප්‍රකාශ කර සිටිනා ලෙස, ඥානවිභාගය පිළිබඳව අදහසක් පමණක් ලෙස එය ගෙන, බුදු දහම පිළිබඳව විශ්වාසය එයින් වෙන් කිරීම කිසිදා කළ හැකි නොවේ. එවැන්නක් සිදු කිරීමටනම් පළමුවෙන් ඔවුන් විසින් ‘මනස’ යනුවෙන් නාමකරණය කරනා දේ සඳහා බෞද්ධයෙක් නොවන කෙනෙක් හට පිළිගත හැකි පැහැදිළි කිරීමක් ලබා දිය යුතුය.

මෙය තීරණාත්මක කරුණක් වන්නේ ‘මනසින් තොරව යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්විය නොහැකි වේ’ යන, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ එන මූලධාර්මික තිසීසය නිසාය. මෙම අදහස සම්පූර්ණ වීම සඳහා ‘මානසික ලෝකය’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සඳහා පැහැදිළි කිරීමක් ලබා දීම අනිවාර්ය වේ. සත්‍ය වශයෙන්ම මෙය විඥානවාදී ඥානවිභාගයේ ඇති ඓතිහාසික සීමාවක් ලෙස හඳුනා ගත හැකිය. සම්ප්‍රදායික යථාර්ථවාදය ප්‍රශ්න කිරීමේදී විඥානවාදියා සතුව ශක්තිමත් තර්කයක් තිබෙනා බව අපි දනිමු. ‘යථාර්ථය’ යනු, අන් සියල්ලට පෙර, වචනයකි. සෑම වචනයකටම වගේ එයට අර්ථයක් තිබේ. අර්ථය අයත් වන්නේ අපේ සිතුවිලි වල ලෝකයටයි. එම නිසා යථාර්ථය යනු, පළමුවෙන් සිතුවිල්ලකි. එමගින් හඟවන්නට උත්සාහ කරන්නේ සිතුවිලි වලින් එහා තිබෙනා දෙයක් වුවත්, එම ‘සිතුවිලි වලින් එහා තිබෙනා දෙය’ යන්නද නැවතත් සිතුවිලි පමණක්ම වේ. එම අර්ථයෙන් අප හසු වන්නේ විෂම චක්‍රයකට බව පැහැදිළි ය. එම නිසා සිතුවිලි වලින් එහා ලෝකයක් යන සිතුවිල්ල අපට හඳුනා ගත හැක්කේ විසංවාදයක් ලෙසයි – එය සිතුවිල්ලක් වන නිසාම, එය සිතුවිලි වලින් එහා තිබෙන්නක් නොවේ.

මෙම දාර්ශනික ප්‍රවේශය සම්පූර්ණ වීමටනම්, දෙවැනි පියවර ලෙස, සිතුවිලි වල ලෝකය – ‘මගේ ලෝකය’ – යනු කුමක්ද කියා පැහැදිළි කිරීමක් ලබා දිය යුතුය. විඥානවාදය ඓතිහාසිකව අසාර්ථක වන ලක්ෂ්‍යය යනුවෙන් අපට හඳුනා ගත හැක්කේ මෙයයි. නිර්මානසික ලෝකය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම විසංවාදයක් වන්නේනම්, විසංවාදයක් නොවන බව ප්‍රකාශ කර සිටින, මානසික ලෝකය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එම මානසික ලෝකය ඇති වූයේ කෙසේද? මානසික ලෝකයක් පමණක් පවතිනවා යන්නෙහි අදහස කුමක්ද? එහි ‘සීමාවන්’ මොනවාද? එහි ස්වරූපය කුමක්ද? එය ‘පවතිනවා’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? විඥානවාදී තිසීසය සම්පූර්ණ විය හැක්කේ මේ ආකාරයේ පැහැදිළි කිරීම් සමග පමණක් බව තේරුම් ගැනීම අපහසු වන්නේ නැත. නමුත්, මේ වනවිට පැහැදිළි විය යුතු පරිදි, මෙම නිශ්චිත ලක්ෂ්‍යයේදී විඥානවාදියාට සෑම විටම සිදු වන්නේ ආගමික භක්තිය වෙතට මාරු වීමටයි. මෙම පියවර, ඓතිහාසික විඥානවාදයේ කේන්ද්‍රීය ප්‍රකාශකයා වන, බාක්ලී තුළත් මේ ආකාරයටම හඳුනා ගත හැක (බාක්ලී ගේ මූලික තර්කයේ සිංහලය පරිවර්තනයක් මෙතැනින්). මනසින් පරිබාහිරත්වයක් නොමැති බව පෙන්වා දීමෙන් පසුව අපගේ මානසික ලෝකයේ ස්වරූපය පැහැදිළි කරගැනීම සඳහා ඔහු සතු වූ එකම ප්‍රතිචාරය වන්නේ ‘මැවුම්කාරී දෙවියන්’ යන්නයි. අපි එම තර්කය ඉක්මනින් සාරාංශ කරමු.

අපගේ අදහස් වලින් පරිබාහිර සැබෑ ලෝකයක් යන්නම විසංවාදී වනවා යන්න මගින් අපගේ සෑම අදහසක්ම එක සමාන වනවා යන්න ගම්‍ය නොවේ. ඉතා පැහැදිළිව සමහර අදහස් අපගේ කැමැත්ත සහ අභිප්‍රාය අනුව උත්පාද වන ඒවා වුවත්, තවත් බොහෝ අවස්ථාවලදී එය එසේ වනවා කියා කිව හැකි නොවේ. මා ඉදිරියේ පෙනෙන්නට තිබෙනා සියලු දේ එසේ තිබිය යුතුයැයි මා කලින් තීරණය කළේ නැත. අපට සෑම අවස්ථාවකදීම වාගේ ඇසෙන, දකින බොහෝ දේ මේ ආකාරයට අපේ කැමැත්තෙන් තොරව අපට පෙනෙන්නට දකින්නට ඇති දේ බව තේරුම් ගැනීම අපහසු වන්නේ නැත. තතු මෙසේවන්නේනම්, මේ ආකාරයට, සැබෑ දේ කියා අපට හැඟෙන, නමුත් සත්‍ය වශයෙන්ම අපේ සිතුවිලි ලෝකයටම අයත් වන සහ අපේ පාලනයෙන් තොරව උත්පාද වන සිතුවිලි අප පැහැදිළි කරන්නේ කෙසේද? දෙවියන් පිළිබඳව අදහස වෙත බාක්ලී ගමන් කරන්නේ මෙම නිශ්චිත ප්‍රශ්නයට ප්‍රතිචාරයක් ලෙසයි. අපට සැබෑ ලෝකය ලෙස පෙනෙන මේ ලෝකය මෙලෙස දෘශ්‍යමාන වන්නේ සහ මෙලෙස විධිමත් පිළිවෙලකට සකස් වී තිබෙන්නේ අපේ මැවුම්කරුවා නිසා බව ඔහු යෝජනා කරයි. එසේ නොමැතිනම්, බාක්ලී ට අනුව, අපේ පාලනයෙන් තොරව සහ පැහැදිළි පිළිවෙලකට මේ ලෝකය සකස් වී තිබෙන්නේ ඇයිද යන්න අපට පැහැදිළි කළ නොහැකි වේ. එම නිසා අප පැමිණිය යුතු නිගමනය වන්නේ මාගේ සිතුවිලි ලෝකය පවතින්නේ මැවුම්කරුවා තුළ යන්නයි.

නමුත්, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේදී මෙන්ම, බාක්ලියානු විඥානවාදය තුළත් මෙම දෙවැනි පියවර සඳහා පූර්ව එකඟතාවයක් අවශ්‍ය බව පැහැදිළි වේ. අපගේ සිතුවිලි වල ලෝකය උත්පාද වන්නේ කෙසේද කියා අපට නිශ්චිතව කිව නොහැකි වූ පමණින් එය මැවුම්කාරී දෙවි කෙනෙකුගේ පැවැත්ම තහවුරු කරන්නේ නොමැත. අපට තිබෙන්නේ දැනුමේ නිමේශයක් නොව නොදැනුමේ නිමේෂයකි. මනස ඇති වූයේ කෙසේද? මනස පවතින්නේ කෙසේද? මේ ප්‍රශ්න සඳහා අපට පරීක්ෂා කර බැලිය හැකි ආකාරයේ පිළිතුරු නොමැති වේ. එය නොදැනුමේ නිමේශයක් (an instance of ignorance) කියා සඳහන් කළේ එම නිසාය. නමුත් මෙය ඇති වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අනවබෝධය නිසා හෝ මැවුම්කාරී දෙවි කෙනෙක් ගේ නිර්මාණයක් නිසා හෝ කියා ප්‍රකාශ කිරීම යනු නොදැනුමේ නිමේශයක් නොව දැනුමේ නිමේෂයකි (an instance of knowledge) – එය සිදු වන ආකාරය පිළිබඳව අප දන්නා බව, දැනුමින් වටහාගෙන ඇති බව ප්‍රකාශ කිරීමකි. නමුත්, සත්‍ය වශයෙන්ම, එය එසේ නොවන බව වටහා ගැනීම අපහසු වන්නේ නැත. මේ සඳහා අපට තිබෙන්නේ විඥානවාදියාගේම තර්කය එය වෙත යොදා පෙන්වීම පමණි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙන්ම මැවුම්කාරී දෙවියන් යනුද අපගේ මානසික ලෝකයේම තිබෙනා තවත් සිතුවිල්ලකි. එම නිසා මානසික ලෝකයේ සම්භවය පිළිබඳව එම සිතුවිලි යොදා ගැනීම විය හැක්කේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වය තුළ සිට පමණි. එමෙන්ම මේ එක් උපකල්පනයක් වෙනුවට තවත් උපකල්පනයක් – ‘මැවුම්කාරී දෙවියන්’ වෙනුවට ‘ත්‍රීලක්ෂණය’ – තෝරා ගැනීමට, මෙම නිසාම, අපට පදනමක් නොමැති වේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මාගේ මානසික ලෝකය පවත්නා ස්වරූපය සම්බන්ධයෙන් ඉතිරි වන්නේ බෙහෙවින් අසම්පූර්ණ චිත්‍රයක් බව පැහැදිළි වේ. යථාර්ථවාදය ප්‍රතික්ෂේප කරමින් විඥානවාදියා ඉදිරිපත් කරනා තර්කය ශක්තිමත් එකක් වන්නේ වුවත්, ඒ මගින් අප වෙත නව ගැටලුවක් ඉතිරි කරයි. මේ මානසික ලෝකය යනුවෙන් මා හඳුනා ගත් ‘දෙය’ පවතින්නේ කෙසේද? මාටින් හෛඩගර් විසින් නම් ජර්මන් චින්තකයා විසින් විසඳුමක් දෙනු ලබන්නේ මෙම ඓතිහාසික ප්‍රශ්නයටයි. අප මීළඟට කළ යුත්තේ එම විසඳුම පරීක්ෂා කර බැලීමයි.

වංගීස සුමනසේකර               

 

 

 

 

***