jagath Face

අපි සංවාදය ඉදිරියට ගෙන යමු. අවසන් වරට මා ලියූ කෙටි රචනය තුළ (එම රචනය මෙතැනින්) පෙන්වා දුන් පරිදි, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ සීමාව වන්නේ එය සඳහා ‘මනස’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිළි කරගත නොහැකි වීමයි. එක අතකින් මනසින් තොර වූ යථාර්ථයක් නොමැති බව ප්‍රකාශ කරනා විට එමගින් අදහස් කරන්නේ, සැබැවින්ම පවතින්නේ මනස පමණක් යන්නයි. එම නිගමනය වෙත පැමිණියහොත්, ඉන් පසුව මෙම ‘මනස’- මෙම ‘මනස’ පමණක් – පවතින්නේ කෙසේද කියනා ප්‍රශ්නය ඇති වීම වලක්වා ගත හැකි නොවේ. සියල්ල තිබෙන්නේ මනසෙහිය කියා ප්‍රකාශ කරනා විට, මනස තිබෙන්නේ කෙසේද, එය විතරක් මෙලෙස පවතින්නේ ඇයි ආදී නව ප්‍රශ්න රාශියකට අප පිළිතුරු සෙවිය යුතුය.

අපි තරමක් මෙය පැහැදිළි කර ගනිමු. මනස පමණක් පවතිනවා කියා කෙනෙක් ප්‍රකාශ කරනා විට එහිදී ‘පවතිනවා’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා පැහැදිළි කරගත යුතුය. එය ‘අවකාශය තුළ ඉඩක් ගැනීමක්’ වැනි දෙයක් විය නොහැකි වන්නේ එවිට, එම ‘අවකාශය’ මනසට බාහිරව තිබෙනවා කියා නිගමනය කරන්නට සිදු වන නිසාය. එම මනස පවතින්නේ ‘දෙයක්’ ලෙසද? එසේනම් එම ‘දෙයෙහි’ සීමාවන් මොනවාද? දෙයක් නොවන පැවැත්මක් යනු කුමක්ද? අනෙක් අතට මගේ මනස මේ සියල්ල නිර්මාණය කරගන්නවා යන ප්‍රවාදය හා ගැලපීම අපහසු වන අත්දැකීම් අපට තිබේ. විශේෂයෙන් අනෙකාගේ මනස පිළිබඳව ප්‍රශ්නය අප පැහැදිළි කරන්නේ කෙසේද? අනෙකා යනු මාගේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වයට මුළුමනින්ම ඌණනය වන්නක් ද, සහ, එම නිසා, මම නොමැති විට කිසිදු ආකාරයකට පවතින්නක් නොවේද? නිදර්ශනයක් ලෙස මාගේ මතකය තිබෙනා කාලයේ ඉපදී, හැදී වැඩුණු, නමුත් – අවාසනාවන්ත ලෙස – මාගේ සවිඥානික ලෝකය තුළම මිය ගිය මිනිස්සු සිටිති. එම මිනිසුන් මුළුමනින්ම, කිසිදු ශේෂයක් නොමැතිව, පැවතුනේ මාගේ මනසේ කියා අපට කිව හැකිද? වෙනත් ආකාරයකට කියන්නේනම්, මම නොමැති වූවානම් එම මිනිසුන් ද නොමැති වේද? මෙයින් අදහස් කරන්නේ එම මිනිසුන් පිළිබඳව මට ඇති සුවිශේෂ දැනුම නොවේ. එම මිනිසුන් කියා මා අවබෝධ කරගන්නේ මවිසින් ‘සංස්කරණය’ කරන ලද ‘දැනුමක්’ කියා අපි පිළිගනිමු. එම දැනුමට අනුව මෙම මිනිසුන් අර්ථකථනය කරගන්නා ආකාරය මම නොමැතිව තිබිය නොහැකි බව ඉතාමත් පැහැදිළි වේ. මෙහිදී අභියෝගයට ලක් වන්නේ එය නොවේ. මෙහි ගැටලුව වන්නේ මම නොමැති වන්නේනම් එවැනි මිනිසෙක් ගේ උපත යනුවෙන් දෙයක් අපට හඳුනා ගත නොහැකි වන්නේ ද යන්නයි. මම ලේඛකයෙක් වන්නේනම්, නිදර්ශනයක් ලෙස, මට ප්‍රබන්ධමය චරිතයක් – ‘ස්පයිඩර් මෑන්’ වැනි – නිර්මාණය කළ හැකිය. එම ප්‍රබන්ධමය චරිතය, මාගේ පැවැත්ම මත මුළුමනින් පරයාත්ත වන බව පැහැදිළි වේ. මා කුඩා කල හදිසි අනතුරකින් මිය ගියේනම්, එවැනි චරිතයක් බිහි නොවන බව පිළිගැනීම අපහසු නැත. නමුත් මෙහිදී අප සැලකිල්ලට ගන්නා අනෙකුත් මිනිසුන් ද මේ ආකාරයේ – ‘ස්පයිඩර් මෑන්’ වැනි – මාගේ මනසේම නිර්මාණයක් පමණක් වන්නේ ද? මා කුඩා කළ හදිසි අනතුරකින් මිය ගියානම් එම මිනිසුන් නොපවතිනු ඇතිද? අනෙකා සඳහා මාගේ මානසික ලෝකයෙන් ස්වායත්ත වූ කිසිදු පැවැත්මක් නොමැතිද?

අපි දුටු පරිදි, ‘සියල්ල පවතින්නේ මනසෙහිය’ යන සම්භාව්‍ය විඥානවාදයේ තිසීසය සමග මේ ආකාරයේ ප්‍රශ්න රාශියක් පැන නගියි. සම්ප්‍රදායික යථාර්ථවාදය ප්‍රශ්න කිරීම සඳහා විඥානවාදියා සාර්ථක ආරම්භයක් ගන්නේ වුවත් ඒ මගින් අපගේ මානසික ලෝකය පිළිබඳව දෙන ලද අත්දැකීම් සමග සංගත විය හැකි පැහැදිළි කිරීමක් ලබා දෙන්නේ නැත. ඒ අවස්ථාවේදී විඥානවාදියා දෙවැනි පියවරක් තබනා බව අපි දුටුවෙමු. නමුත් මේ දෙවැනි පියවර සඳහා තවදුරටත් තාර්කික පදනමක් නොමැති වූ අතර ඒ මගින් කියා සිටියේ අප ආගමික විශ්වාසය වෙත ගමන් කළ යුතු බවයි. නිදර්ශනයක් ලෙස පවතින්නේ මානසික ලෝකයනම් – ‘මගේ ලෝකය’ නම් – එම මානසික ලෝකය පවත්නා මාදිලිය කුමක්ද කියා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන්ගෙන් විමසා සිටින විට ඔවුන්ගේ පිළිතුර වන්නේ එය සැබැවින්ම නොපවතින බවත්, එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අනවබෝධය නිසා ඇති වී ඇති මායාවක් බවත්ය. නමුත් මෙම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු කුමක්ද කියා අප දන්නා කිසිදු නිර්මාණාත්මක සාපේක්ෂතාවාදියෙක් ප්‍රත්‍යක්ෂ කර නොමැති වේ. එම නිසා එම කළාපයේදී අප සියලු දෙනාට තිබෙන්නේ අපගේ පුද්ගලික ජීවන ඉතිහාසයෙන් උරුම වූ ආගමික විශ්වාසයන් පමණි. නමුත් මෙතැනදී අප මේ එක් විශ්වාසයක් සඳහා විශේෂ වරප්‍රසාදයක්, වටිනාකමක් ලබා දිය යුත්තේ ඇයිද ඇයිද යන්නත්, ඒ වෙනුවට වෙනුවට, නිදර්ශනයක් ලෙස, මැවුම්කාරී දෙවි කෙනෙක් පිළිබඳව උපන්‍යාසය විශ්වාස නොකළ යුත්තේ ඇයිද යන්නත් අපට පැහැදිළි නොමැත.

එම නිසා මනසින් තොරව යථාර්ථයක් පිළිබඳව සිතීම යන්න පරස්පරයක් වේ යන අදහසට එකඟ වෙමින්, නමුත්, එමගින් අපට ඉතිරි කරදෙන මානසික ලෝකයේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නය වෙත අවධානය යොමු කරන දාර්ශනික ප්‍රවේශයක් අපට අවශ්‍ය වේ. අප අවසන් වරට කියා සිටි ලෙසම, මාටින් හෛඩගර් ගේ දාර්ශනික ප්‍රවේශය වන්නේම මෙයයි.

තරමක් ජනප්‍රිය ලෙස හෛඩගර් උත්සාහ කළේ ‘පැවැත්ම යන්නෙහි අර්ථය කුමක්ද’ කියනා ප්‍රශ්නයට සමකාලීන පිළිතුරක් නිර්මාණය කිරීමටයි. අපට කිසියම් දෙයක් කුමක්ද කියා දැනගැනීමට අවශ්‍ය වූ විට එය පරීක්ෂා කර බැලිය යුතු වන බව අපි දනිමු. ‘රබර් බෝලයක්’ යනු කුමක්ද කියා කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වනවා කියා සිතන්න. සාමාන්‍යයෙන් අප එවිට කරන්නේ රබර් බෝලයක් අතට ගෙන පරීක්ෂා කර බැලීමයි. එය පහසුවෙන් එබිය හැකි බවත්, අපගේ අත ඉවත් කළ සැනින් එම එබුම යළි වැසි යන බවත් එවිට අපට පෙනී යයි. එවැනි ලක්ෂණයක් එයට හිමි වන්නේ එය සකස් වී ඇති අමුද්‍රව්‍යයේ ඇති විශේෂ ගුණයක් නිසාද කියා අපට දැන්, අවශ්‍යනම්, සොයා බැලීමට අවස්ථාව තිබේ. එවිට එම අමුද්‍රව්‍යය සකස් වී ඇති මූලද්‍රව්‍ය මොනවාද, ඒවා මේ ආකාරයට එකතු වීමෙන් එයට මෙවැනි ලක්ෂණ ඇති වන්නේ කෙසේද ආදී ලෙස අපට මෙම විමර්ෂණය සිදු කළ හැක.

‘පැවැත්ම යනු කුමක්ද’ කියනා ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමත්, එක්තරා අර්ථයකින් ගත්විට මේ හා සමාන වන බව අපට කිව හැක. මේ සඳහා අප කළ යුතු වන්නේ ද ‘පැවැත්ම’ සමග අභිමුඛ වී, එය පරීක්ෂා කර බැලීමයි. නමුත් ‘රබර් බෝලය යනු කුමක්ද’ කියනා ප්‍රශ්නයට වඩා මෙහිදී අපට තරමක් සංකීර්ණ ප්‍රශ්න කීපයකට මුහුණ දීමට සිදු වේ. මෙහිදී පළමුවෙන්ම ඇති වන ප්‍රශ්නය වන්නේ අපගේ විශ්ලේෂණය ආරම්භ කළ යුතු ලක්ෂ්‍යය කුමක්ද කියා අපට එතරම් නිරවුල් නොමැති වීමයි. ‘රබර් බෝලය’ යන්න අප ඉදිරියේ දෘශ්‍යමාන වේ. අප මෙයට පෙර ද මෙවැනි රබර් බෝල දැක තිබේ. එවැන්නක් පරිකල්පනය කර ගැනීම එතරම් අපහසු නැත. නමුත් ‘පැවැත්ම’ යනු මේ ආකාරයට නිශ්චිතව වෙන් කරගත හැකි සුවිශේෂ ‘දෙයක්’ නොවේ. අනෙක් අතට, තත්වය තවත් සංකීර්ණ කරමින්, අපට වෙන් කර හඳුනා ගත හැකි ඕනෑම දෙයක් යනු පැවැත්මක් කියා ද අපට වැටහී යයි. නිදර්ශනයක් ලෙස ‘රබර් බෝලය’ යන්නද පැවැත්මකි. නැතිනම් පැවැත්මක් ඇති දෙයක් යන්නට එය නිදර්ශනයකි. එසේනම් අප පැවැත්ම යනු කුමක්ද කියනා ප්‍රශ්නයට පිළිතුරක් නිර්මාණය කිරීම සඳහා ද කළ යුතු වන්නේ ‘රබර් බෝලය’ පරීක්ෂා කර බැලීමද?

සැකයකින් තොරවම අපට ‘රබර් බෝලය’ පරීක්ෂා කර බැලීමෙන් ද පැවැත්ම යනුවෙන් අප අදහස් කරන්නේ කුමක්ද කියනා ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම ආරම්භ කළ හැකි බව පෙනී යයි. නමුත් අපට මේ සඳහා ඇති විශාල තෝරා ගැනීම් අතරින් අප රබර් බෝලය පමණක් තෝරා ගත යුතු වන්නේ ඇයි? අපට සිතිය හැකි ඕනෑම දෙයක් සඳහා කුමන හෝ ආකාරයේ පැවැත්මක් තිබේ. අප ස්පයිඩර් මෑන් වැනි ප්‍රබන්ධ කතා වල එන චරිතයක් ගත්තත් එයටත් යම් කිසි ආකාරයක පැවැත්මක් ඇති බව පැහැදිළි වේ. ස්පයිඩර් මෑන්ව අපට මහපාරේදී හමු වීමට නොහැකි බව අපි දනිමු. උපරිම වශයෙන් අපට හමු වන්නේ ස්පයිඩර් මෑන් චරිතය ඇඳ සිටිනා ආකාරයේ ඇඳුමක් ඇඳ සිටින සාමාන්‍ය මිනිසෙකි. ඔහුට හෝ ඇයට හෝ සිරුරෙන් මකුළු දැල් විදීමට සහ එම මකුළු දැල් වල එල්ලී අධික වේගයෙන් ජනාකීර්ණ නගර වලට ඉහළින් ගමන් කිරීමට නොහැකි වේ. නමුත් මෙයින් අදහස් කරන්නේ ‘ස්පයිඩර් මෑන්’ යනුවෙන් කිසිවක්ම නොමැති බවද? අවම වශයෙන් ස්පයිඩර් මෑන් යනුවෙන් කෙනෙක් අපට පරිකල්පනය කිරීමට හැකියාවක් තිබේ. එවිට අපගේ පරිකල්පනයක් ලෙස ස්පයිඩර් මෑන් පවතින බව – සත්‍ය වශයෙන්ම, පරිකල්පනයක් ලෙස පවතින බව – අපට පැහැදිළි වේ. නමුත් එවිට ගැටලුව වන්නේ අපගේ පරිකල්පනය තුළ පවත්නා දේවල් වල පැවැත්ම කුමක්ද කියා පරීක්ෂා කර බැලීමයි. මේ සඳහා අප පළමුවෙන් අපගේ ‘පරිකල්පනය’ යනු කුමක්ද කියා පරීක්ෂා කර බැලිය යුතු වේ. එසේනම් අප දැන් ‘පැවැත්ම යනු කුමක්ද?’ යන ප්‍රශ්නයට පිළිතුරක් නිර්මාණය කිරීම සඳහා කළ යුතු වන්නේ අපගේ ‘පරිකල්පනය’ යනුවෙන් නම් කළ දෙය පරීක්ෂා කර බැලීමද?

මෙතැනදීත් අපට ඇති වන්නේ ‘රබර් බෝලය’ පිළිබඳව ඇති වූ ආකාරයේ ප්‍රශ්නයකි. පැවැත්ම පිළිබඳව සොයා බැලීම සඳහා අපට ඇති අති විශාල තෝරා ගැනීම් අතරින් අප ‘පරිකල්පනය’ යනුවෙන් අප දැන් නම් කළ දෙය තෝරා ගත යුතු වන්නේ ඇයි?

පිළිතුර දීමට අපහසු මෙම ප්‍රශ්නය සඳහා අපට එක්තරා ආකාරයක පිළිතුරක් සොයා ගැනීම සඳහා හෛඩගර් විසින් විකල්ප යෝජනාවක් ගෙන එනු ලබයි. ‘පැවැත්ම යනු කුමක්ද’ කියා ප්‍රශ්නය ඇති වන්නේ ද කිසියම් පැවැත්මකට බව පැහැදිළි වේ. මෙහිදී මේ ප්‍රශ්නය අසන්නේ අපයි. එම නිසා ‘අප’ යනුවෙන් හඳුනා ගන්නා පැවැත්ම කුමක්ද කියා පරීක්ෂා කර බැලීමේ විශේෂ උනන්දුවක් කෙනෙක්ට ඇති වන්නේනම් මෙහි පුදුම වීමට දෙයක් නොමැත. පැවැත්ම යනු කුමක්ද කියා අසනා පැවැත්ම කුමක්ද? අපට පැවැත්ම පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා ඇති විශාල තෝරා ගැනීම් අතරින් මෙම විශේෂ පැවැත්ම තරමක් ඉලිප්පී පෙනනා බව මේ අනුව පැහැදිළි වේ. ඕනෑම දෙයක් පැවැත්මක් ලෙස ගත හැකිනම් අපට පරීක්ෂා කර බැලීම සඳහා ඇති තෝරා ගැනීම් ගණන අති විශාල වෙයි. මේවා අතරින් මෙම, ‘පැවැත්ම පිළිබඳව ප්‍රශ්නය අසනා පැවැත්ම’ යනු තරමක් සුවිශේෂ පැවැත්මක් බව පැහැදිළි වේ. අප විසින් විමර්ශනය කරනු ලබන ප්‍රශ්නය පැන නැගීමේ පූර්ව කොන්දේසිය වන්නේ මෙම සුවිශේෂ පැවැත්මයි. එය නොමැති තැන ‘පැවැත්ම යනු කුමක්ද’ කියා ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. එනිසා, හෛඩගර් යෝජනා කරන්නේ, පැවැත්ම යනු කුමක්ද කියනා ප්‍රශ්නයට පිළිතුරක් ගොණු කිරීම වෙනුවෙන් අප විසින් පරීක්ෂා කර බැලිය යුතු පැවැත්ම ලෙස අපගේම පැවැත්ම තෝරා ගත යුතු බවයි. අවම වශයෙන් ‘රබර් බෝලය’ හෝ ‘ස්පයිඩර් මෑන්ගෙන්’ මෙය ආරම්භ කරනවාට වඩා වැඩි වටිනාකමක් මෙයට තිබෙනවා කියා තේරුම් ගැනීම අපහසු නොවේ. අපගේ විශ්ලේෂණය අසාර්ථක වන්නේ වුවත් මේ හරහා අපට අප ගැනම තිබෙනා අවබෝධය වැඩි වනු ඇත.

විඥානවාදී විශ්ලේෂණය නිශ්චිත ලෙස අසාර්ථක වූයේද මෙම ලක්ශ්‍යයේදීය. අපගේ මානසික ලෝකයෙන් පරිබාහිරත්වයක් වෙත ගමන් කිරීමට අපට නොහැකි බව ඒ මගින් පෙන්වා දුන්නද ‘අපගේ මානසික ලෝකය’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා ඒ මගින් කළ පැහැදිළි කිරීම ප්‍රමාණවත් නොවීය. එහිදී එයට සිදු වූයේ, අවසාන විග්‍රහයේදී, ආගමික භක්තිවාදය වෙතට ගමන් කිරීමටයි. එයට හේතුව වන්නේ අපගේ පැවැත්ම පරීක්ෂා කර බැලීම යනු අපට එතරම් පහසුවෙන් කල හැකි දෙයක් නොවීමයි. අපට මෙම ප්‍රශ්නය සූත්‍රගත කළ යුතු ආකාරය වුවත් එතරම් නිරවුල් නොවේ.

මෙහිදී ‘අප’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ ආකාරයට ප්‍රශ්නය සූත්‍රගත කිරීම පවා නිවැරදි වන්නේ ද? මෙයට වෙනස්ව, අප ඇසිය යුතු සැබෑ ප්‍රශ්නය වන්නේ ‘අප’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න නොව ‘අප’ යනුවෙන් අදහස් කරන්නේ කවුද යන්නද? ‘කුමක්ද’? ‘කවුද’? මේ ප්‍රශ්න වල ඇති වෙනස කුමක්ද? අපගේ ප්‍රශ්නය අප ‘පැවැත්ම යනු කුමක්ද’ යනුවෙන් ලියනවා මිස ‘පැවැත්ම යනු කවුද’ කියා ලියන්නේ නොමැති වන්නේ ඇයි? අවසානයක් නොමැති ප්‍රශ්නාවලියක් අප ඉදිරියේ දිග හැරෙමින් ඇති බව පමණක් පැහැදිළි වේ. මේවාට පිළිතුරු සෙවීමට යා යුතු දිසාවක් අපට පෙනෙන්නේ නැත.

මේ නිසා අප අනුගමනය කළ යුතු වන්නේ, අපට පිළිතුරු සිතා ගැනීමට අපහසු ප්‍රශ්න වලට මුහුණ දී සිටිනා විට සෑම විටම අනුගමනය කළ හැකි උපක්‍රමයකි. ඒ තමයි, අප සතුව නිශ්චිත වශයෙන් තිබෙන්නේ කුමක්දැයි කියා පරීක්ෂා කර බලා එතැනින් අපගේ ගමන යළි ආරම්භ කිරීම. අපගේ මෙතෙක් සාකච්ඡාවේ ශේෂ පත්‍රය විමසා බලමු. අප උත්සාහ කරන්නේ පැවැත්ම යනු කුමක්ද කියනා ප්‍රශ්නයට පිළිතුරක් ගොණු කිරීමටයි. නමුත් ‘පැවැත්ම’ යනුවෙන් අපට එක දෙයක් හමු නොවේ. ඒ වෙනුවට අපට හමුවන්නේ විවිධාකාරයෙන් පවතින්නා වූ දේ – ‘රබර් බෝල’, ‘ස්පයිඩර් මෑන්’, ‘අප’ – පමණි. එනිසා අපට තිබෙනා එකම ප්‍රවේශ මාර්ගය වන්නේ මේ ආකාරයේ එක පැවැත්මක් ගෙන එය පවත්නා ආකාරය පරීක්ෂා කිරීමෙන් පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම ආරම්භ කිරීමයි. මේ සඳහා අප ‘අපගේම පැවැත්ම’ පරීක්ෂා කර බැලීමට තෝරාගෙන තිබේ. එයට හේතුව වූයේ එය සුවිශේෂ පැවැත්මක් වීමයි – සිය පැවැත්ම යනු කුමක්ද කියා අසා සිටීම එම පැවැත්මේ තිබෙනා එක ලක්ෂණයකි. මේ අනුව අප මෙහිදී ‘අප’ යනුවෙන් අදහස් කරනා දෙය සම්බන්ධයෙන් එක නිශ්චිත කරුණක් මේ වනවිටත් අවබෝධ කරගැනීමට සමත් වී තිබේ: ‘අප’ ට ප්‍රශ්නයක් තිබේ – ‘පැවැත්ම යනු කුමක්ද?’. ‘අප’ ගැන මේ වනතුරු අප නිශ්චිත වශයෙන් දන්නේ මෙයයි. පැවැත්ම යනු කුමක්ද කියා මෙම පරීක්ෂණය කිරීමට හැකි වීම අපගේ පැවැත්මේ එක ලක්ෂණයකි.

මෙය අප ගැන කිව හැකි ඉතාම නොවැදගත් දෙයක් කියා එක්වරම හැඟී යාමේ අනතුරක් තිබේ. නමුත්, තරමක් කල්පනා කර බැලූ විට, ‘පැවැත්ම යනු කුමක්ද’ කියා ප්‍රශ්න කිරීමේ හැකියාව අපට තිබෙනවා යන්න මගින් අපට අපගේ පැවැත්මේ ඇති සුවිශේෂ හැකියාවක් හෙළිදරව් වනු ඇත. ඒ තමයි ‘අප’ යනු පැවැත්ම පිළිබඳව කිසියම් ආකාරයක අවබෝධයක්, මේ වනවිටත්, තිබෙනා පැවැත්මක් බව අවබෝධ වීම. අපි මෙම අදහස තවත් පියවරකින් තරමක් පැහැදිළි කර ගනිමු.

වංගීස සුමනසේකර

 

 

 

 

***

Advertisements