35078386_447447819016647_2239690088969666560_n

‘ඔබ නිවස ඉදිරිපිට ඇති ගසක් හදිසියේ එක්වරම කුරුල්ලෙකු වී පියඹා යනු ඔබ දැක තිබේද?’

අප දකින්නේ අප එකිනෙකාට සාපේක්ෂ වූ ලෝකයකි. ඔබ දකින්නේ මා දකින ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් වූ ලෝකයක් විය හැක. සමහරවිට එසේ නොවීමටද ඉඩ තිබේ. ලෝකය පවතින්නේ නිරන්තරයෙන් වෙනස් වෙමිනි. මේ වෙනස් වීම ද අප එකිනෙකාට සාපේක්ෂ විය හැක. මෙම තර්කයේ අවසාන අන්තයට ගියහොත් ලෝකය පවතින්නේ මගේ මානසික ලෝකය තුළ පමණක් බව කිසිවෙක්ට කිව හැක.තවත් ආකාරයකට කියන්නේ නම්, අප අවට ඇති ලෝකය යනු අපගේ මානසික ලෝකයම වන බවකිව හැක.

නමුත් ඉතා හොඳින් සිතා බැලුවහොත් ලෝකය (අප අවට ඇති ) සහ මානසික ලෝකය යනුවෙන් අප හඳුනාගන්නා ලෝක අතර වෙනස්කමක් ඇති බව පෙනී යනු ඇත. එම වෙනස නම්, මානසික ලෝකයට නොමැති සීමා රාශියක් අප අවට ඇති ලෝකයට ඇති බවයි. උදාහරණයක් ලෙස අප ඉදිරිපිට ඇති ගසක් එක්වරම කුරුල්ලෙකු බවට පත් වී ඉගිලී යාම අපගේ මානසික ලෝකය තුළ පරිකල්පනය කළ හැක. නමුත් අප ඉදිරිපිට ඇති ලෝකයේ එවැන්නක් සිදු වන්නේ නැත. ලෝකය යනු වෙනස් වෙමින් පවතින දෙයක් වුවත් එම වෙනස සිදුවන්නේ එම වෙනස් වන දෙයට අදාළ සුවිශේෂී ක්‍රමයකට ය. ගසක් ක්‍රමයෙන් වැඩේ. විශාල වේ. පත්‍ර හැලී යයි. ගසක සිදුවන වෙනස්වීම් සිදුවන්නේ මෙවැනි එයට ආවේණික වූ ආකාරයකට ය. ලෝකයේ ඇති ඕනෑම දෙයක් පවතින්නේ යම්කිසි සීමාවන් රාශියකට යටත්ව ය. නමුත් අප මානසික ලෝකයේදී එසේ නොවේ. අපට ඕනෑම දෙයක්( මානසික ලෝකයේ නොපැවැත්ම හැර )  පරිකල්පනය කළ හැක. එසේ නම් අප මානසික ලෝකය සහ අප අවට ඇති ලෝකය ලෙස දැනෙන ලෝක අතර ඇති මේ වෙනස කුමක්ද? අවට ලෝකය යනු මානසික ලෝකයම නම්, මානසික ලෝකය තුළ පරිකල්පනය කළ හැකි ආකාරයේ වෙනස්කම් අවට ලෝකයේදී සිදු නොවන්නේ ඇයි. ලෝකය මේ ආකාරයටම පැවතීමේ අනිවාර්යතාවය කුමක්ද?මෙම ගැටළුව දිශානත වී ඇත්තේ ‘පැවැත්ම යනු කුමක්ද’ යන ගැටළුව වෙතය.

විද්‍යාවට අනුව පදාර්ථයයෙහි මූලික ඒකකය පරමාණුවයි. පරමාණුව පියවි ඇසින් දැකිය නොහැක. පරමාණුව පිළිබඳ සොයාගැනීම් කර ඇත්තේ විද්‍යාත්මක පර්යේෂණ රාශියකිනි. නමුත් සත්‍ය වශයෙන්ම පදාර්ථය තැනී ඇත්තේ පරමාණු වලින්ම යැයි නිශ්චිතවම කිව නොහැක. එසේ වන්නේ විද්‍යාත්මක නිගමන පදනම් වන්නේ උපකල්පන මත වීම නිසාය. නමුත් පරමාණුව සහ උප පරමාණුක අංශු සොයා ගැනීමෙන් පසු සිදු කළ විවිධ විද්‍යාත්මක පර්යේෂණ බොහෝමයකින් පරමාණුව සම්බන්ධ මූලික උපකල්පන සත්‍ය බව පෙනී යයි. උදාහරණයක් ලෙස, ඩී. එන්. ඒ වැනි පියවි ඇසට දැකගත නොහැකි අණුවක හැඩය තීරණය කරන්නේ පරමාණුව සම්බන්ධ මූලික උපකල්පන පදනම් කරගෙන ය. තවත් විවිධ පරයේෂණ මඟින් ඩී.එන්.ඒ අණුවේ හැඩය තහවුරු වේ. මේ ආකාරයට මේ සියලු උපකල්පන පරමාණුව පිළිබඳ කල උපකල්පන මත පදනම් වේ. මෙහිදී අප අවධානය යොමු කළ යුත්තේ විද්‍යාත්මක උපකල්පන වල සත්‍යතාවය පිළිබඳ නොවේ. එම උපකල්පන සහමුලින්ම වැරදි වීමටද ඉඩකඩ ඇත. නමුත් මෙම පර්යේෂණ සහ උපකල්පන වලින් පැහැදිලි වන්නේ පැවැත්මෙහි ඇති සුවිශේෂී ආකාරයක් පිළිබඳ නොවේද? පරමාණුව, න්‍යෂ්ඨියක් වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වීමෙන් සෑදෙන ව්‍යුහයට වඩා වෙනස් ව්‍යුහයක් නොවූයේ ඇයි? පරමාණුව පිළිබඳව පසුව කළ පර්යේෂණ සහ වෙනත් විද්‍යාත්මක පර්යේෂණ රාශියකින් එම ව්‍යුහයේ සත්‍ය බව තහවුරු වන ආකාරයේ ප්‍රතිඵල ලැබෙන්නේ ඇයි? පරමාණුව මේ ආකාරයට පවතින බවට සාක්ෂි ලැබීමේ අනිවාර්යතාවය කුමක්ද? සියල්ල පවතින්නේ අපගේ මානසික ලෝකය තුළ නම්, මානසික ලෝකය තුළ සියල්ල මේ ආකාරයටම පැවතීමේ අනිවාර්යතාවය කුමක්ද?

මේ ආකාරයට පැවැත්මෙහි ඇති අනිවාර්යතාවය ප්‍රශ්න කළ විට අපට පෙනීයන්නේ කිසිවක් මේ ආකාරයට පැවතීමේ අනිවාර්යතාවයට හේතුවක් නොමැති බවයි. මිනිසුන් මියයන බව අපි දනිමු. නමුත් මිනිසුන් මියයන බව අප දන්නේ කරුණක් ලෙසය. මිනිසා බිහිවූ දා සිට ඉපදුනු මිනිසුන් මියගිය බැවින්, ඉපදෙන සියලුම මිනිසුන් මියයන බව අපි කරුණක් ලෙස දනිමු. නමුත් එයින් මරණය අනිවාර්ය වන බව කිව නොහැක. කුමක් හෝ නොදන්නා හේතුවක් නිසා හෙට සිට උපදින මිනිසුන් අමරණීය වීමට ඉඩක් නැතිද? ලෝකය යනු නිරන්තරයෙන් වෙනස් වන දෙයකි. වෙනස් වන නිසා ලෝකය අනිත්‍ය බව අපි දනිමු. නමුත් අනිත්‍ය අනිවාර්ය බව අපට කිවහැකි නොවේ. සංසාර චක්‍රය යනුවෙන් දෙයක් පවතී නම් එය එසේ පවතින්නේ ඇයි? ‘එය පවතී යැයි’ අප ප්‍රකාශ කලහොත් ඒ සමඟම ‘එය පවතින්නේ ඇයි’ යන ප්‍රශ්නය ද මතුවේ.සියල්ල පවතින්නේ මානසික ලෝකය තුළ නම්, මානසික ලෝකයේ පැවැත්මෙහි අනිවාර්යතාවය කුමක්ද? මේ ආකාරයට, ලෝකය පමණක් නොව නිවන, දෙවියන්, අපාය වැනි දේ පවතිනවා නම් ඒවා එසේ පවතින්නේ ඇයි යන ප්‍රශ්නය ද ඒ සමඟම මතු වේ. කිසිවක් නොපැවතීම වෙනුවට කුමක් හෝ දෙයක් පවතින්නේ ඇයි? එය අහම්බයකි.ඔබ ඉදිරිපිට ඇති ගසක්, කුරුල්ලෙකු බවට පත් වී පියාඹා නොයාමේ අනිවාර්යතාවය කුමක්ද? එසේ නොවී ගස, ගස ආකාරයෙන්ම පැවතීම මේ අහඹු බව වේ. අප නැවතත් පැමිණ ඇත්තේ පැවැත්ම යනු කුමක්ද යන ගැටළුව වෙත ය.

.

දිනිත් සුමනසේකර

Advertisements