6285044174086db44e6277f9830a5409

‘The Seventh Continent’, ඔස්ට්‍රියානු ජාතික ‘මයිකල් හනෙ‍කේ’ විසින් 1989 දී අධ්‍යක්ෂණය කරන ලද  ඔහුගේ ප්‍රථම චිත්‍රපටය යි. චිත්‍රපටයෙන් ගෙනඑන්නේ පවුලේ සියලු දෙනා සියදිවි නසාගන්නා මධ්‍යම පංතික පවුලක කතාන්දරයකි. යුරෝපීය පවුලක් අවසන් අවුරුදු කිහිපය ගතකරන ආකාරය මෙම සිනමා පටය තුළින් නිරූපිතයි. ගෘහ මුලිකයා වන ජෝර්ජ්, වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. බිරිඳ ඇනා, දෘෂ්ටි විශේෂඥවරි‍යෙකි. දියණිය ඊවා, පාසල් අධ්‍යාපනය ලබන දැරියකි. පළමුව අප චිත්‍රපටයේ කථා වින්‍යාසය වෙත අවධානය යොමු කරමු.

චිත්‍රපටය ආරම්භ වන්නේ පිරිසිදු කරන ලද මෝටර් රථය don’t break නම් පුවරුව පසුකරමින් ඉදිරියට ඇදීමෙනි. සුපුරුදු පරිදි දිනයක් ආරම්භ කරන ඔවුන් පෙරවරු 6.00 යේ සීනුවට අවදි වීම, මුහුණ සේදීම ,පාවහන් පැළඳීම, මාළුන්ට කෑම දැමීම හා ඔවුන් උදේ ආහාරය ගැනීම, රැකියාව, පාසලට පිටත්වීම සිදු කරයි. ඊට අමතරව වෙනත් තැනක සිටිනා ඔවුන්ගේ මව සමඟ ලියුම් හුවමාරු කර ගනියි. දිනක් ඊවා පාසලේදී දෑස් නොපෙනෙන්නියක් ලෙස ගුරුතුමිය ඉදිරියේ පෙනී සිටී. ඊට සමාන්තරව මව – දෘෂ්ටි විශේෂඥවරිය –  මුණගැසීමට පැමිණි කාන්තාවක්ද තම පාසල් කාලයේ ඇස් නොපෙනුණු මිතුරියක් අපහසුතාවයට පත් කළ ආකාරය කියා සිටි. පසුව සුපිරිවෙළඳ සැලෙන් බඩු මිලදී ගෙන නිවසට පැමිණි පසු ඊවාගේ ගුරුතුමිය ඇමතුමක් ලබාදෙමින් දියණිය කළ රැවටීම කියා සිටී. එදිනම රාත්‍රියේ ඇනාගේ සොයුරාද සමගින් රාත්‍රී ආහාරය ලබාගන්නා ඔවුන් තමාට මුණ ගැසුණු ඉහත කාන්තාවගේ කතාව කියමින් සිනාවේ. ඒ අතර ඇනාගේ මව මතක් කරමින් ඇයගේ සහෝදරයා හඩා වැළපෙයි. පසුව තම දියණිය – ඊවා – ළඟ තිබී අන්ධ ළමයෙකුට ලැබෙන ආදරය පිළිබඳ ලියා තිබූ ලිපියක් ඇනාට හසුවෙයි. ජෝර්ජ්ට රැකියාවේ උසස්වීම් ලැබේ. ඔවුන් තිදෙනා ගමනක් යන අතර රියඅනතුරකින් මියගිය කිහිපදෙනෙකු දකී. ඊලග මොහොතේ වාහනය පිරිසිදු කරන විට ඇනා හඩාවැටේ. ඉන්පසුව රූපරාමුව ඡේදනය වන්නේ ඇනා සහ ජෝර්ජ් තම මව්පියන් දැකීමට ගොස් පැමිණීමයි.

එකවරම ඔවුන් ආයුධ, බෙහෙත්, මිලදී ගනී. ගිණුම් වල තිබෙන මුදල් ලබා ගනියි. වාහනය විකුණා දමයි. විවිධ වර්ගයේ කෑම බීම රැගෙන විත් ගිජු ලෙස ගිල දමයි. දෙමාපියන් වෙත ලියුමක්ද ලියයි. නිවසේ එල්ලා තිබෙන ඡායාරූප ගලවමින් විනාශය අරඹයි. ඇඳුම්, පොත්පත්, ගෘහ භාණ්ඩ, මාළු ටැංකිය ඔවුන් මිලදී ගත් ආයුධවලින් විනාශ කර දමයි. බැංකුවෙන් ලබාගත් මුදල් වැසිකිලි වලට දමා විනාශ කරයි. දොරවල් වසා, දුරකථන, සීනුව  ක්‍රියාවිරහිත කරයි. රූපවාහිනිය දෙස එක එල්ලේ බලා සිටියි. පෙර විනාශ කර දමන බඩු භාණ්ඩ අතර රූපවාහිනිය ඉතිරි කරයි. ඇනා විසින් දියණියට වස ලබාදීමෙන් පසු ඊවා මිය යයි. පසුව ඇනා වස පානය කරයි. ජෝර්ජ්ද වස එන්නත් කර ගනී. රූපවාහිනියේ කිසිඳු රූපයක් – අප රූපවාහිනී ඇන්ටනාව ක්‍රියාවිරහිත කළ විට හෝ රූපවාහිනී විකාශය නවතා දැමූ විට දිස්වන රූපය – දිස් නොවේ. සිදුවූ සියලු දේ ඔහුට මතකයට රූපාකාරයෙන් නැගේ. ඔහුද මියයයි.

සත්වන මහාද්වීපය ලෙස අප හඳුනාගන්නේ ඕස්ට්‍රේයාවයි. එකී මහාද්වීපය වූ කලී ස්වදේශිකයන් වෙනුවට – ස්වදේශිකයන් පීඩනයට පත් කළ රාජ්‍යයකි – විදේශිකයන්ගේ පැවැත්මට හිතකර යැයි සම්මත මහද්වීපයකි. ඔවුන් නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට පලා යාමේ බලාපොරොත්තු සහිතව නාගරික මධ්‍යම පංතියේ ජීවිත මෙහෙයවීමට හදිසියේම තීරණය කරති. තත්වය එසේ පවතිද්දී ඔවුන් කරා අභිමුඛ වන්නේ ලෝක ආහාර අර්බුධය, සිරියානු යුද්ධය, ජාතිවාදී අරගලයක් හෝ නොව තම “පැවැත්ම පිලිබඳ ප්‍රශ්නය යි. එබැවින් පැවැත්ම පිළිබද සද්භාවවේදී ප්‍රශ්නය කතාබහට ලක්කළ හැකි යොමුවක් ලෙස මෙම සිනමා නිර්මාණය හැදින්විය හැකි ය.

සුගතාපාල ද සිල්වා බෙකට්ගේ ‘ගොඩෝ උන්නැහෙ එනකං’ නාට්‍ය පරිවර්තන කෘතියේ පෙරවදනේ සඳහන් කරන ආකාරයට ‘ජිවිතයේ අර්ථ විරහිතබව ප්‍රකට කරන සිනමා නිර්මාණයක් කියවීමේදී අභුතරුපී නාට්‍ය කලාව අමතක කළ නොහැක. අභුතරූපී රංගකලාවට අනුව ලෝකය මුළුමනින්ම උදාසීනය. එහෙයින් ම කරුණුවල සහ සිදුවීම්වලට අර්ථ සපයන්නේද මිනිසා විසින් ම ය. සදාචාර සංකල්ප, තර්කානුකුල සාධක මත නොපිහිටා හුදෙක් මිනිසුන් විසින් උත්පාදනය කරන ලද ප්‍රබන්ධ විශේෂයක් ලෙස සලකයි. තවද එක් ක්‍රියාවක් තවත් ක්‍රියාවක් තරමට ම වැදගත් වෙන අතර සිය දියුණුව සඳහා මිනිසා ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම හේතු රහිත වන්නේ මිනිසුන්ගේ අදහස්වලට පදනම් වී පවතින පුරුෂාර්ථ සාරධර්ම පද්ධතියට තාර්කික පදනමක් නැති හෙයිනි. සත්‍ය අර්ථකථනය කරන්නේ නම් එය තර්ක යුක්තියත්, පිළිවෙලක් හා නිශ්චිතත්වයක් නැත්තට තවත් නමකි. මිනිස් ආශාවන්, අභිලාෂයන් හා ඔහු ජීවත්වන ලෝකය හා අතර ඇතිවන ඝට්ටනය තුළින් මේ අභුතරුපී තත්වය උදාවෙතැයි ඇල්බෙයා කැමූ පවසා තිබේ. එසේනම් මිනිසාගේ ගැටලුව වන්නේ මේ කලබැගෑනියට පත් ලෝකය තුළ සිය මන් හසර තෝරා බේරා ගැනීමයි. එය සිය දෛනික ජීවිතයට එක්තරා පිළිවෙලක් දීමට සමත් වේ.’

සද්භාවවේදී ප්‍රවේශයකින් පැවැත්ම පිළිබද ප්‍රශ්න කෙරෙන නුතන චින්තකයන් අතර මාටින් හෛඩගර් සුවිශේෂී වන්නේ මෙතෙක් දර්ශන ඉතිහාසය තුළ පැවැත්ම යනු කුමක්ද? යන ගැටලුවට ලබා දී තිබූ අර්ථ කථනය සුණු විසුණු කොට නව රැඩිකල් ආරම්භයක් ඒ සඳහා ලබා දී ම හේතුවෙනි. එහි දී ඔහු ශරීරයෙන් තොර ව හෝ මනසෙන් තොර ව හෝ අප ජීවත්වන ලෝකයෙන් වෙන්ව හෝ මේ එකිනෙකට තනිව යථාර්ථයක් ලෙස ස්වායක්තව පැවතිය නො හැකි බව පෙන්වා දෙයි. උපකරණමය සමස්තය හා  අනෙකුත් පැවත්මවල් සමඟ ඇතිකරන අරුත්සහගත බැඳීම් ජාලයත් හේතු කොටගෙන පැවැත්ම තීරණය වන බවත්, එකී බැඳීම් ජාලයෙන් මිදුණු මොහොත තුළ තවදුරටත්  පැවැත්මක් නොමැති බවත් සිනමා පටය මඟින් අපට ඥානනය කරවන්නේ එම හෛඩගරියානු සද්භාවවේදී දාර්ශනික ආස්ථානය මතක් කර දෙමිනි. මිනිසුන් විසින් තීරණය කරන ලද  ලෝකයට අනුව මෙකී පවුලට තවදුරටත් ඒකී බැඳීම් ජාලය තුළ සිට තම පැවැත්ම සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය නොවූයේ මන්ද? ඒ වනවිටත් බැඳීම් ජාලයෙන් බැඳුණු ඔවුන් ඒවායින් මිදුණු කල පැවැත්මේ ස්වභාවය කුමක්ද යන්න අත්හදා බැලීමට තරම් රැඩිකල් තීරණයක් සඳහා යොමුවූයේ  ඇයි?

අපගේ පැවැත්ම යනු ම අපගේ අනාගත වියහැකිභාවයන් වේ. – හෛඩගර් මෙය අවබෝධය නමින් හඳුන්වයි –  එනම් අප අනාගතය වෙතට ප්‍රක්ෂේපනය වූ පැවැත්මකි. එය පැවැත්මේ අනිවාර්යය තත්ත්වයක් ලෙස පවතී. උදාහරණයක් ලෙස ඔවුන්ට අවශ්‍ය වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට විනා ඔස්ට්‍රේලියාවේ ජනාධිපති වීමට නොවේ. ඔවුන් ඒ අනාගත අභිලාෂය වෙනුවෙන් තමුන්ගේ වර්තමානය ගොඩ නැගීමට උත්සහ කරයි. ඔවුන් ක්‍රමයෙන් අර්ථ විරහිත ජීවිතයක් අත් පත් කර ගන්නේ එම අනාගත වියහැකියාවන්වලට ද තමුන්ගේ ජීවිතය අර්ථවත් කිරීම හෝ සැපවත් කිරීම කළ හැකි ද යන සංශය තුළිනි. නමුත් මෙම සියලු වියහැකිභාවයන් යතාර්ථයක් බවට පත් නොවන අතර ඒවා යතාර්ථයක් බවට පත්කරගැනීම උදෙසා අදිශ්ටානශීලී පුර්ව අපේක්ෂාවෙන් තම වර්තමානය ගොඩනගා ගැනීම ම මිනිසා විසින් ජීවිතය බවට පත්කරගනී. මෙහිදී මෙම පවුලේ සැමදෙනා විසින් එදිනෙදා ජීවිතයේ දෛනික කටයුතු සිදුකරන අතර ම ඕස්ට්‍රේලියාව බලා පදිංචියට යාමේ අපේක්ෂාවෙන් කල් ගෙවති. එයද පාරිබෝජනවාදය විසින් දෙන ලද අපේක්ෂාවකි. නමුත් එය යතාර්ථයක් වන්නටත් ප්‍රථම අපේක්ෂාව බිඳ වැටේ. එහිදී ස්වාධීන පුද්ගලයෙකු ලෙස අව්‍යාජ වීමට ඇති හැකියාව මොවුන්ට අහිමි වී තිබේ. මෙහිදී මිනිස්සු විසින් තීරණය කරන ආකාරයේ පැවැත්මක් වෙත මොවුන් සෑම විටම තම පැවැත්ම දිශානත කර තිබෙනු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, ක්ෂණික ආහාර ගැනීම, තොල් සායම් ආලේපනය, සුපිරි වෙළෙඳ සැලෙන් බඩු මිලදී ගැනීම,…… කොටින්ම කියතොත් ඔස්ට්‍රේයාවට පලායාමට ගන්නා තීරණය ම එවැන්නකි. එනම් මිනිස්සු විසින් තීරණය කරන ලද හා තම අවශ්‍යතාවයන්ට වඩා ප්‍රසිද්ධ මහජන මතය තුළ පවතින, පරිභෝජනවාදය වැනි ධනවාදී සැඩ සුලඟට හසුවී හැඩය වෙනස් වූ එනම්, ව්‍යාජ පැවැත්මට නිරාවරණය වීමකි. එපමණක් නොව පවතින සමාජ ක්‍රමය තුළ ව්‍යාජ ලෙස තම පැවැත්ම රූපණය කිරීම ඔවුන්ව හෙම්බත් කර තිබේ.

අපගේ පැවැත්ම සමග මුහුණට මුහුණ හමු වීම යනු මිනිසාගේ දෛනික ජීවිතයේ සාරි තේරීම, දේශපාලන පක්ෂයකට ඡන්දය දීම වැනි තවත් එක් තෝරාගැනීමක් නොවේ. සත්‍ය වශයෙන්ම සිදුවන්නේ මෙහි ප්‍රතිපක්ෂය යි. අපගේ පැවැත්ම අභිමුක වීම වලකනු වස්, එය මඟ හැරීම එම පැවැත්මේ මූලික වූත් සාමාන්‍ය වූත් ලක්ෂණය වී තිබේ. ඒ සඳහා මිනිස්සු විසින් තීරණය කර ඇති ලෝකය – හෛඩගර්ට අනුව බොළඳ කතාව – හේතුවේ. මන්ද ජනප්‍රිය වෙළඳ මතය මඟින් මිනිසුන්ගේ දෛනික ජීවිතය තීරණය කරයි. අපි ආහාරයට ගත යුත්තේ මොනවාද? අපි භාවිතා කළ යුතු ඇදුම් පැළදුම් ඇතුළු සියලු දේ තීරණය කරන්නේ ඔවුන් විසිනි. සිනමා නිර්මාණය තුළ මව, පියා හා දියණිය තම තමන්ගේ දෛනික ක්‍රියාකාරකම්හි නිරත වන අතරම ඔවුන්ගේ පැවැත්ම ඔවුන්ට අභිමුක වීම අහුරාගනී. එකී ක්‍රියාකාරකම් සුපුරුදු පරිදි ඔවුනවුන්ට තෘප්තිමත් විය හැකි ආකාරයෙන් සිදු කිරීමට උත්සාහ කරති. ඔවුන් විවිධ තෝරාගැනීම් සිදුකරති. ආර්ථික මට්ටමද හොඳ තත්වයක පවත්වා ගනී. නමුත් මෙලෙස මිනිසා සිය පැවැත්මේ ස්වකීයත්වයෙන් පලායනවා යන්නෙන් අදහස් කරන්නේ එයට සිය පැවැත්ම කිසිදා හමුවීම කළ නොහැකි බව නොවේ. පලා යාමේ ප්‍රතිපලයක් ලෙස පැවැත්ම අභිමුක වීම සිදුවේ. තවත් ආකාරයට කියන්නේ නම් දෛනික ජීවිතයේ ඒකාකාරීබව විසින්ම අපට එහි අර්ථ විරහිත බව මුණගස්වයි. මෙහිදී කාංසාව නම් මනෝභවික තත්ත්වය පිළිබඳව අදහසක් ගොඩ නැගීම වැදගත් වේ.

‘මානසික රෝගයක් නොවන කාංසාව මඟින් අදහස් කරන්නේ අපහසු බව, අසහනකාරී බව යන තත්වයකි. හෛඩගර් විසින් පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක් ඇති පැවැත්ම “ඩාසයින්” (මිනිසා) ලෙස නම් කරයි. මෙහිදී සරලව ම පෙන්වාදෙන්නේ නම් සෑම පුද්ගලයෙක්ම තම ජීවිතයේ කිනම් හෝ අවස්ථාවක “මේ ජීවිතයේ තේරුම මොකද්ද?”යනුවෙන් තමාටම ප්‍රශ්න කරගනී. ඩාසයින්ගේ – මිනිසාගේ – පැවැත්ම තුළ ඇදවැටීම යනුවෙන් අදහස් කරන්නේ පැවැත්මෙන් පලාගොස් මිනිස්සු විසින් තීරණය කරන ලද ලෝකය තුළ ලැගුම් ගැනීමයි. ඒ නිසා මිනිසාට සිය පැවැත්ම මග හැරයාමේ අවශ්‍යතාවයක් ස්වභාවයෙන්ම පවතියි.’

කාංසාව යන අත්දැකීම මඟින් සත්‍ය වශයෙන්ම සිදු කෙරන්නේ ලෝකයේ ඇති පැවැත්මවල්වල අරුත් සහගතබව බිඳ වැටීමයි. කාංසාව වැනි මනෝභාවයක් අප සතු විය හැකි අවස්ථා ලෙස අප කැමති දෙයක්, පුද්ගලයෙකු අහිමි වීම, යුද්ධය,….යන්න දැක්විය හැකි ය. එවිට රසවත් ආහාර, මිහිරි ගීත පවා අර්ථ විරහිත භාවයක් දක්වයි. චිත්‍රපයේ අවසානයේ නාන කාමරය තුළ සිට රුපවාහිනිය නරඹන අවස්ථාවේ තවදුරටත් ඔවුන් ඉදිරියේ මැවෙන ගායිකාවගේ රුපය හා හඬ ඔවුන්ට අරුත් සහගත බැඳීමක් තුළ සිට සන්නිවේදනයක් සිදු නොකරයි. එබැවින් ගී ශබ්දය පවා ඔවුන්ට ගෙන එන්නේ හුදු ශබ්දයක් පමණකි. මෙවැනි අවස්ථාවක ලෝකයේ ඇති පැවත්මවල් වලට තිබුණු අරුත් සහගත බව බිඳ වැටේ.

හෛඩගර්ට අනුව “මරණය”ලෙස හදුන්වන්නේ මෙකී වියහකියාවන් නොමැතිවන මොහොතයි. එය අපේ පැවැත්මේ අනිවාර්යය විභවයකි. මා පවත්නා තුරු එකී විභවතාවය අවසන් නොවේ. මෙය අනෙකුත් විය හැකියාවන්ගෙන් වෙනස් වන්නේ මා පවත්නා තුරුම අනෙකුත් විය හැකියාවන් වෙනස් වුවද මරණයට ඇති වියහකියාව වෙනස් නොවීමයි. එය අපේ අනෙකුත් වියහකිභාවයන් සීමා කරන්නකි. මොවුන් විසින් ස්වභාවයෙන්ම එලෙස මරණය නිසා සීමා වූ වියහැකිභාවයන් වලටද අභියෝග කරයි. ඇල්බෙයා කැමූ කියූ පරිදි “අප සියදිවි නසා නොගන්නේ ඇයි?” එනම් ජීවත් වීම අර්ථාන්විත ක්‍රියාවක්ද?

මෙකී නිර්මාණය තුළ අපට දැකියහැකි  වඩා සිත්ගන්නා සුළු සිදුවීම නම් මාළුටැංකිය කුඩුකර දැමීමයි. මාළු ටැංකියේ මාළුන්ට ආහාර දමමින් විසිතුරු අංගයක් ලෙස උන් ඇතිකිරීමත්, පියා විසින්ම දියණියගේ අකමැත්තෙන් වූවද එය කුඩුකර දමයි. එවිට උන් පීනමින් සිටි අරුත්සහගත සම්බන්ධයෙන් නිදහස ලැබූ මාළුන්ට හිමි වනුයේ මරණය යි. උන් ආශ්වාස කිරීමට නොහැකිව දඟලයි. පවුලේ සියලුදෙනා එක්ව සැලසුම් සහගත ලෙස තමා සතුව ඇති සියල්ල විනාශ කිරීම සිදු කරයි. එහිදී මුදල් වල වටිනාකම ඉදිරිපිට පැවැත්මක් ලෙස ගෙන අභියෝගයට ලක්කරයි. තවද මොවුන් විසින් ගොඩනගාගත් අරුත් සහගත බැදීම් ජාලය ඔවුන් විසින්ම  අක්‍රීය කරගනී. (නිවසේ ඇති බඩු භාණ්ඩ, සමාජ සම්බන්ධතා, දුරකථන මාර්ගය, නිවසේ සීනුව, තම පවුලේ අය) ජෝර්ජ් තම දියණියගෙත් බිරිඳගේත් මළසිරුරු අභියස බිඳීගිය බැඳීම් සමග කිසිඳු සැකයකින් තොරව මරණය වැළඳ ගන්නේය.

මිදුණු හැගීමෙන් යුක්තව තමන්ට පිටතින් පෙනෙන දේ වෙත බලපෑම් කිරීමට නොහැකිව ,අපේ පාලනයෙන් එළියේ පවතින දේවල් නරඹමින් වුවත් ඒ වෙත කිසිඳු බලපෑමක්, ගනුදෙනුවක් කිරීමට නොහැකි ආකාරයට මිනිස්සු  වීදුරු පෙට්ටි වල සිරවූ දිවියක්  ගතකරයි. වාහනය පිරිසිදු කරනවිට ඇතුලට වී සිටින ඇනා අඳුරේ ම තම දියණියගේ අත අල්ලාගෙනය හඬා වැටෙයි. එවිට ඉදිරියෙන් ඇති “do not break” යනුවෙන් සඳහන් පුවරුව දිස්වන්නේ ඔවුනට මිනිස්සු විසින් තීරණය කළ ලෝකය තුළ ම ව්‍යාජ ලෙස නොනවත්වා ගමන් කරන ලෙසයි. සියලු දෙනාගේ දෙනෙත්වල ඇත්තේ විසඳුමක් නොමැති ප්‍රශ්නකාරී බවකි. ඒකී ප්‍රශ්නය පැවැත්මේ ආරම්භයේ සිට මේ වන තෙක්මත්, මින් ඉදිරියටත් නොවෙනස්ව පවතින සද්භාවවේදී ප්‍රශ්නයයි. තවත් සරල ලෙස කියන්නේ නම් අප පවතින්නේ ඇයි?

චාමනී දර්ශිකා

 

***

 

Advertisements