Upali Ananda - No Erasure 1

මෙයට දින කීපයකට පෙර දකින්නට ලැබුණු ෆේස්බුක් පෝස්ටුවකින් නිහඬ ලෙස ප්‍රකාශ කර සිටියේ ජේ.ඩී.ඒ පෙරේරා ගැලරිය තුළ මඟ හැර යා නොහැකි චිත්‍ර ප්‍රදර්ශනයක උණුසුම කලකට පසුව හෝ මතු වී ඇති බවයි. මෑත කාලීන චිත්‍ර ප්‍රදර්ශන බොහෝ ගණනක් ජේ.ඩී.ඒ පෙරේරා ගැලරිය හා සම්බන්ධ නොවීමේ අර්බුදය කුමක් වුවත් මෙම ප්‍රදර්ශනය එම අරාජිකත්වය තරමක් හෝ සමනය කළ බව කීම අතිශෝක්තියක් නොවේ. මෙතැන් සිට අපගේ අවධානය යොමු වන්නේ ‘ NO ERASURE ‘ යන තේමවෙන් නිමවූ උපාලි ආනන්දගේ මෙම චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ යම් විචාරාත්මක කතිකාවක් ගොඩනැංවීමටය.

සමකාලීන ලාංකීය දෘෂ්‍ය කලාකරුවෙකු ලෙස උපාලි ආනන්දගේ නිර්මාණ ආවේශය තරමක් දුලභ භාවිතයක් යැයි කිව හැකිය. එනම් ඔහුගේ සිතුවම් භාෂාව සඳහා ඔහු යොදා ගන්නේ පොදු වැසිකිළි හෝ එවැනි මිනිසුන් දෛනිකව භාවිතා කරන නමුත් එතරම් අවධානයකට ලක් නොවන ස්ථාන වල ඇඳ ඇති කුරුටු චිත්‍ර (graffiti) හා කුරුටු ලිවීම්ය. උපාලි විසින් කර ඇත්තේ මෙවැනි කුරුටු චිත්‍ර හා ලිවීම් තම චිත්‍රය තුළට සංකල්පීය ආකරයකින් ඇතුළත් කිරීම වේ. වෙනත් ආකාරයකට කියනවා නම් සමජයේ අඳුරු අහු මුළු වල කුරුටු ගා ඇති මිනිසුන්ගේ සැබෑ ආශාවන් හා වේදනාවන් වල රූපමය පැවැත්ම ගැලරි අවකාශයක් තුළ පෙනෙන්නට සැලැස්වීම වේ.

Upali Ananda - No Erasure 2

ප්‍රදර්ශනය සතු වූ සිතුවම් විසිදෙකක ප්‍රමාණය සඳහා චිත්‍ර තලය ලෙස භාවිතා කර තිබෙන්නේ පැතලි සෙවිලි තහඩු (ceiling sheet) සහ ඝණකම් කඩදාසි ආදියයි. මිශ්‍ර මාධ්‍යයෙන් (mix media) වර්ණ ගැන්වීම කර කර ඇති බව පෙනේ. සෑම සිතුවමක්ම සුදු පැහැ තලයක් (mount board) මධ්‍යයේ අලවා තිබීමද දැකිය හැකි තවත් එක් ලක්ෂණයකි. පොදුවේ මෙවැනි නිර්මාණ ආකෘතියක් තුළ හිඳිමින් ශිල්පියා චිත්‍ර තලය මත නිරූපණය කරන රූපකයන් මොනවාද යන්න මීළඟට අපට විමසා බැලිය හැකිය.

Upali Ananda - No Erasure 3

ඉහතදී අප සඳහන් කළ ආකාරයට ශිල්පියා අපට පෙන්වා සිටින්නේ පොදුවේ මහජනයා ගැවසෙන නමුත් එතරම් අවධානයට ලක් නොවන ස්ථාන වල මිනිසුන් කුරුටු ගා යන විවිධ රූප, සංඛේත හා සටහන් ආදියයයි. බොහෝ චිත්‍ර වල නිරුවත් ගැහැණු රූප දැක ගත හැකිවේ. ඒවා ඇද වුණු හා විකෘති වී ගිය රූපය. එමෙන්ම තමන්ට රිසි අයුරින් එම ශරීර වල අවයව විශාලව ඇඳීම හෝ කුඩා කර ඇඳීමද දැක ගත හැකිය. විශේෂයෙන්ම ස්ත්‍රී යෝනිය හා පියයුරු දැක්වීමේදී එය වර්ණ කිරීමට වෙනත් වර්ණයක් යොදා ගැනීම නැතිනම් එම ස්ථාන අඳුරු කර කුරුටු ගා දැමීම මතු වී පෙනන කරුණකි. ‘Flower’ සහ ‘Mani’ ලෙස නම් කළ චිත්‍ර වල ගැහැණු රූප, මල් මාලාවක් අතින් දරා සිටියි. ‘My Cat’ නැමති චිත්‍රයේ සිටින්නේ බළලෙකු අල්ලාගෙන සිටින ගැහැණු රුවක් වන අතර සිරුර පුරා ඇන වැදී උඩුබැල්ලෙන් වැතිරී සිටින ගැහැණු රූපය ‘Untitled 8’ ලෙස නම් කළ චිත්‍රයෙන් දැක ගත හැකිය. එක් චිත්‍රයක සිටින ගැහැණු රූපයේ දෙපා හා යෝණිය අසළ ගැවසෙන කුඩා සතුන් සමූහයක් පෙන්වා ඇත. තවත් චිත්‍රයක එම සතුන් ගැහැණු ශරීරය පුරා සැරිසරන ආකාරය දැක ගත හැකිය. මීට අමතරව ශිල්පියා පිරිමි රූපයද සිතුවම් තුළ භාවිතා කර ඇත. එය බොහෝ දුරට දුම්වැටියක් උරන පිරිමි මුහුණක් ලෙස දක්නට ලැබේ. ආදරයේ සළකුණ ලෙස හඳුන්වන හදවතේ සංඛේතය චිත්‍ර තුළ බහුලව දැක ගැනීමට හැකි වන අතර ඒවාද බොහෝ විට පොදු ස්ථාන වල කුරුටු ගා ඇති ජනප්‍රිය රූපකයන් ලෙස නම් කළ හැකිය.

Upali Ananda - No Erasure 4

ශිල්පියා විසින් චිත්‍ර තලයේ විවිධ දේවල් ලියා දැක්වීමද මෙම සිතුවම් තුළ කැපී පෙනෙන ලක්ෂණයක් බව පෙනේ. ඒ අතර දුරකථන අංක, ආදරය ප්‍රකාශ කිරීම්, කාමුක ආමන්ත්‍රණයන්, අසභ්‍ය බැන වැදීම් හා පුද්ගල නාමයන් ආදී නොයෙක් දේ සඳහන් කර ඇත. ඇතැම් චිත්‍රයක ඇත්තේ ජනප්‍රිය ආදර ගීයක පද පේලි කිහිපයකි. දුම් වැටියක් සහිත පිරිමි මුහුණු දක්වා ඇති චිත්‍ර කිහිපයකම දුම් බීම තහනම් ලෙස ලියා තිබීම දැකිය හැකිය. ‘Philosopher on Road’ නැමති චිත්‍රයේ විවිධ වර්ණයේ පැස්ටල් වලින් එක මත එක ලියූ විශාල කුරුටු ලිවීම් ප්‍රමාණයක් දක්වා තිබේ. මෙම ලිවීම් චිත්‍ර වල ප්‍රධාන හැඩතල ඡේදනය වන ආකරයට දක්වා ඇති අතර එහි පිළිවෙලක් දැක ගත නොහැකි වේ. ඇතැම් තැනක එම කුරුටු ලිවීම් ඉතාම අපැහැදිලි වනවා මෙන්ම ශිල්පියා විසින්ම ඒවා මකා දමා ඇති අයුරු පෙනෙන්නට ඇත.

Upali Ananda - No Erasure 5

සුමට හා රිද්මයානුකූල රේඛා දැකිය නොහැකි මෙම චිත්‍ර වල ඇත්තේ රළු හා ගොරහැඩි පින්සල් පහරවල්ය. තීන්ත, පැස්ටල් හා පෑන භාවිතයෙන් කල රේඛා, එකක් මත තවෙකක් ඡේදනය වී හා පැටලී ඇති අයුරු පෙනෙන්නට ඇත. මීට අමතරව විශාල තීන්ත පැල්ලම් හා ඒවා නැවත මකා දැමීමට මෙන් කර ඇති උත්සාහයන් ශිල්පියා දැනුවත්ව යොදා ගත් උපක්‍රමයක් බව පැහැදිලිය. තීන්ත චිත්‍ර තලයට හැලීම හෝ බුරුසුවෙන් තීන්ත ගසා දැමීම කළ අවස්ථාද උපාලිගේ චිත්‍ර තුළ අපට හමුවන ලක්ෂණයකි. ඇතැම් තැනක එම තීන්ත පැල්ලම් වියළීමට පෙරම සූරා දමා කුරුටු ගෑම සිදු කර ඇත. සිතුවම් අතර ප්‍රබලම භූමිකාවක් ඉටු කරන්නේ කලු හා සුදු පැහැයන්ය. කලු පැහැය ඉතාම රළු ආකරයකට බුරුසුව ආධාරයෙන් චිත්‍ර තලයේ ආලේප කිරීමත් පින්සලෙහි තීන්ත අවසන් වීමේදී පින්සල් පහර නොනවත්වා තලයේ එහා මෙහා ගෙන යාමත් නිසා ඇති වූ විවිධ වයනයන් (Textures) නැතිනම් පෘෂ්ඨ ස්වභාවයන් දැකිය හැකිය. සුදු පැහැය භාවිතා කිරීම තුළද එකී ලක්ෂණය අපට දැක ගත හැකි වේ. මීට අමතර අළු සහ රතු වර්ණ ඇතැම් තැන් අවධාරණයට යොදා ගෙන ඇත. ශිල්පියා විසින් චිත්‍ර කිහිපයකම දීප්තිමත් වර්ණ යොදා ගෙන ඇති නමුත් එම චිත්‍ර තුළද කලු වර්ණය මූලික වර්ණයක් සේ මතු වී පෙනීම සිදුවේ.

Upali Ananda - No Erasure 6

එක්තරා ආකාරයකින් උපාලිගේ චිත්‍ර වල සිටින ගැහැණු රූප අපට සිහිපත් කරන්නේ පිකසෝගේ  ‘ ඇවිග්නොන්හී යුවතියෝ  ‘ ( Les Demoiselles d Avignon ) නැමති සිතුවමයි. එහි නිරූපණය කර ඇත්තේ ඇවිග්නොන් නගරයේ ගණිකා වෘතියේ යෙදෙන කාන්තාවන් කිහිපදෙනෙක්වය. උපාලිගේ සිතුවම් තුළ සිටින ඇතැම් කාන්තා රූපද වෙසඟනන් බව නරඹන්නාට සියුම්ව ඉඟි කර සිටියි. එම කාන්තා රූප දක්වා ඇති ඉරියව් ප්‍රකාශනය, පියයුරු හා යෝණිය අවධාරණය කර දැක්වීම හා එම සිතුවම් වල කුරුටු ගා ඇති ඇතැම් ලිවීම් මඟින්ද එය හඳුනා ගත හැකි වේ. ‘Untitled 3’ සහ ‘Untitled 8’ ලෙස නම් කර ඇති චිත්‍ර දෙකෙහිම, ලිංගික එක් වීමකදී දැක ගත හැකි ඉරියව් ප්‍රකාශනයක්, එම ගැහැණු රූප මඟින් නිරූපණය කර ඇති බව පෙනෙන්නට ඇත. එමෙන්ම  ‘My Cat’ නැමති චිත්‍ර තුළ දැක ගත හැකි කලු පැහැති බළල් රූපය ලිංගික අරුත් සපයන සංඛේතයක් ලෙස යොදා ඇති බව පැහැදිලිය. එම සිතුවම තුළම ඇති විවිධ – ‘මුට්ටියට දාපන්’, ‘මගේ ගාන මට දෙනවද’, ‘kiss me’, ‘fuck you’ වැනි – කුරුටු ලිවීම් වල පවා ඇත්තේ ලිංගික අර්ථයන්ය. මුඩුක්කු හා වීදී වල ජීවත් වන අඩු ආදායම්ලාභී ගැහැණියක් ගණිකාවක් බවට පත් වීම පුදුමයට කරුණක් නොවුනද එම ගැහැණියගේ ජීවිතය සතු ඛේදනීය සත්‍ය දෙස මොහොතක් නතර වී බැලීමට උපාලිගේ චිත්‍ර නරඹන්නාට හිමින් සීරුවේ යෝජනා කර සිටියි. අනෙක් අතට ශිල්පියා විසින් මතු කර සිටින්නේ සමාජයක මෙම ප්‍රතික්ෂේප වන පහළම ස්ථරයන් වෙත කිසිඳු ආකාරයක සාධනීය වෙනසක් දීර්ඝ කාලීනව සිදු වී නොමැති  බවයි. මේ නිසා ප්‍රදර්ශනයේ තේමාව වන ‘NO ERASURE’ යන්නෙන් ප්‍රකාශ කර සිටින එක් අර්ථයක් වන්නේම මෙම දුක්ඛිත ජීවිත වල ස්වභාවය මකා දැමිය නොහැකි ලෙස කුරුටු ගා ඇති බවයි.

Upali Ananda - No Erasure 7

මෙම ප්‍රදර්ශනයේ තේමාව වන  ‘NO ERASURE’ යන්නද අපට අර්ථ කිහිපයකින් හඳුනා ගත හැකිය. එය ‘මකා නොදමන්න’ , ‘මකා දමන්නේ නැත’ යන අදහස් ගෙන එනවා මෙන්ම ‘ මකා දැමීමට එරෙහිව ‘ යන අභියෝගාත්මක අර්ථයද මතු කර සිටින බව තේරුම් ගැනීම අපහසු නැත. එම අර්ථයෙන් ගත් විට උපාලිගේ ඇතැම් චිත්‍ර වල මෙම එරෙහි වීම නැතිනම් අභියෝග කිරීම දැකිය හැකි වේ. විශේෂයෙන්ම  ‘No Smoking’, ‘Is That Prohibited’ සහ ‘Untitled 9’ යන චිත්‍ර වල ඇත්තේ තහනම හෝ විධානය කිරීමේ අදහසක් බව පැහැදිලිය. දුම් වැටියක් පානය කරන මුහුණක් පෙන්වා සිටින එම චිත්‍ර වල ලියා ඇත්තේ දුම් බීම තහනම් වේ යන්නයි. නමුත් ශිල්පියා මෙම තහනමට යම් ආකරයක එරෙහි වීමක්, එම තහනම නැවත ප්‍රදර්ශනය කිරීමෙන් නිරූපණය කර තිබේ. මේ තිබෙන්නේ සමජයේ අවධානයට ලක් නොවන මිනිසුන්ගේ සැබෑ ප්‍රකාශනයන්ගේ කුරුටු චිත්‍ර හා ලිවීම්ය. එම ආවේගයන් මකා දැමීමට එරෙහිව නැතිනම් ඒවා මඟ හැර යාම වෙනුවට ශිල්පියා එම ප්‍රකාශනයන් වෙනුවෙන් පෙනී සිටීමක් අපට මෙහිදී හඳුනා ගත හැකිය. උපාලිගේ චිත්‍ර ශෛලිය ජීන් මයිකල් බැස්කුයිට්ගේ  (Jean Michel Basquiat ) චිත්‍ර ශෛලියට යම් ආකාරයක සමානතවයක් දක්වන්නේ මෙම කරුණේදීය. බැස්කුයිට් කලු ජාතිකයෙකු ලෙස මුහුණ දුන් අසරණ බාවයන් චිත්‍රය මඟින් නිරූපණය කළේය. කුරුටු චිත්‍ර (graffiti) සහ වීදි චිත්‍ර ( Street Art ) ශෛලියෙන් පෝෂනය වූ ඔහුගේ චිත්‍ර තුළ තිබුණේ තහනමට එරෙහි වීමේ ලක්ෂණයන්ය. එම අර්ථයෙන් අපට උපාලිගේ චිත්‍රද කියවා ගත හැක්කේ යම් ආකාරයක විරෝධය ප්‍රකාශ කිරීමක් ලෙස වේ.

Upali Ananda - No Erasure 8

කුරුටු ගෑම යන්න මිනිසා සතු එක්තරා හැකියාවක් ලෙස ගතහොත් එම හැකියාව ඉතා සමීප කෝණයකින් පෙන්වීමට උපාලි තම ප්‍රදර්ශනය තුළ උත්සහ ගෙන ඇත. පාසලේ බංකුවක, මේස ලෑල්ලක හෝ ගමන් ගන්නා බස් රථයේ ආසනය පසුපස එසේත් නැතිනම් වීදි කෙළවර වැසිකිළි බිත්තියක අපට දැක ගත හැක්කේ මිනිසුන් විසින් කුරුටු ගෑ නොයෙක් වර්ගයේ ප්‍රකාශනයන්ය. ශිල්පියා මෙහිදී තම නිර්මාණයන්ට වැඩි වශයෙන් තෝරා ගන්නේ, අප ශිෂ්ඨ නැතිනම් සංස්කෘතික යැයි පවසන මිනිසාගේ අව්‍යාජ හැඟීම් වල නිදහස් මුදා හැරීම්ය. සරළව කියනවා නම් සමාජයක් ඉදිරියේ විවෘතව පළ කළ නොහැකි ප්‍රකාශනයන් වේ. ඒවා නිම වන්නේ කලා කෘතියක් කිරීමේ අරමුණින් නොවන බව වටහා ගැනීම අපහසු නැත. බාධාවන්ගෙන් තොරව හුදෙකලා මොහොතක යම් පුද්ගලයෙකු විසින් මුදා හරින වේදනාවක්, බැන වැදීමක්, ලිංගික ෆැන්ටසියක්, ආදරය ප්‍රකාශ කිරීමක් ආදී ඕනෑම ආකරයේ අභ්‍යන්තර අරගලයක් මෙම කුරුටු ගෑම් තුළ අඩංගු විය හැකිය. බොහෝ දුරට එම අවශ්‍යතාවයන් බාහිර ලෝකයේදී ප්‍රතික්ෂේප වීමට ඉඩ තිබෙනා ඒවාය. තහනම කැඩීමට මිනිසා තුළ ඇති සහජාශාව, අනෙකාගේ ලිංගික රහස් ලෝකය නැරඹීමට ඇති කැමැත්ත, ආදරය නොලැබීමේ වේදනාව මෙවැනි කුරුටු ගෑම් හමුවේ අපට හඳුනා ගත හැකිය. ශිල්පියා විසින් යම් ආකරයකින් ඉඟි කර සිටින්නේ ශිෂ්ඨත්වය නැමති සළු පිළි වලින් සැරසී සිටියද මිනිස් පැවැත්මේ ඇති සැබෑ ප්‍රතිරෝධයන්ගේ ස්වභාවයයි. වෙනත් ආකරයකට කියනවා නම් ශිල්පියා විසින් අසා සිටින්නේ මෙම ප්‍රතිරෝධයන් මිනිස් පැවැත්ම තුළින් මකා දැමීම කළ හැකිද යන්නයි.

Upali Ananda - No Erasure 9

මේ අනුව මිනිසාගේ සැබෑව වසා සිටින සියලු ආවරණයන් උනා දමා නිරුවත් මිනිස් පැවැත්ම දෙස බලා සිටීමට, චිත්‍ර ශිල්පියා නරඹන්නාට යෝජනා කර සිටියි. තරමක් උපහාසාත්මක ලෙස කියනවා නම් ග්‍රාම්‍ය සහ අශිෂ්ඨ ලෙස නාමකරණය වූ මිනිසුන්ගේ කුරුටු ගෑම් ගැලරි අවකාශයක තබා, නාගරික හා ශිෂ්ඨ යැයි කියනා මිනිසුන්ට මොහොතක් නැවතී බලා සිටීමට නිරාවරණය කොට ඇත.

සුපුන් කුරේ

 

 

 

***

Advertisements