4b23b6351a638613f7fbc090f77ecbe2

 

සැබවින් ම අප කරමින් සිටින්නේ අමුතු දෙයකි.

එනම්, අප කිසි දිනෙක නො දුටු පුහුදුන් මිනිසෙකු ව සරණ නො ගොස් එහෙත්, මහත් ආයාසයකින් හා නිති වැඩෙන ආශාවකින් අපි ඔහුට සමීප වන්නෙමු.

මෙකී සමීප වීම හුදෙක් ම බුද්ධිමය එකකි.

අපි යම් අවබෝධයක් අපේක්ෂා කරන්නමු. එය පතන්නෙමු.

එහෙත් මෙම පැතුම හුදු නිෂ්ක්‍රීය පතා බලා හිඳීමක් නො ව, නිරන්තර බුද්ධිමය අරගලයක මුහුණුවර ගත් පාඨක—පර්යේෂක අභිමුඛ වීමකි.

අපට ස්ථානයක් ඇත. නැතිනම්, ස්ථානයක් නිර්මාණය කරගැනීම හරහා අපි ‘අප’ යන්නම ගොඩ නගමින් සිටිමු. එම ස්ථානීයබව නාමකරණය වන්නේ කෙසේද යන්න මෙහිදී තීරණාත්මක නොවේ — ‘ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය’, ‘තීර්ථ කලා පාසල’…

මෙය එකමුතුවකි — එය ශනිදා දර්ශනය කියවන අධ්‍යයන කවයයි.

මෙම මොහොතේ අපගේ සාමුහික බුද්ධිය ඉල්ලා සිටින ආශාව වන්නේ —ඉමැනුවෙල් කාන්ට් ය (1724-1804).

මේ වන විටත් කාන්ට්ගේ “Critique of Pure Reason” හෙවත් “පාරිශුද්ධ තර්කයේ විචාරය”  කෘතිය හැදෑරීම තුළින් අපි කාන්ට්ගේ බුද්ධියට ආදරයයෙන් බැඳී ඇත්තෙමු.

ඔහු ස්වදේශිකයෙකු නො වේ.

දර්ශනය හැදෑරීමේ දී අපගේ කොදෙව්වේ දේශීය සීමාවන් බොහෝ සෙයින් අපි උල්ලංගනය කරන්නෙමු !

එයට හේතුව නම්, අපට මෙම විෂය හැදෑරීමේ දී හමු වන බොහෝ රචකයන්, චින්තකයන් රැසක් හටගත් පොලොව අපගේ නො ව විදේශයන් වීමයි.

අප බොහෝ විදේශයන්හි නිපන් කෘති කියවමු, සිනමාව නරඹමු, ඇසින් දැක විඳගනිමු. අපගේ නො වන මහා සංගීත සම්ප්‍රදායන් අපගේ ම සවනින් අසන්නෙමු. මේ සියල්ල උද්ග්‍රහණය කර ගැනීම අප අපගේ “අවබෝධයට” භාර කරමු.

එහෙත් අපි විදේශිකයන් නො වන්නමු.

මා ඔබට ඉදිරිපත් කරන මෙම ලියවිල්ලට පාදක වන්නේ, 1784 දී කාන්ට් විසින් ලියා පල කරන ලද රචනයකි. එහි ශීර්ෂය: “What is Enlightenment” ලෙස සඳහන් වන අතර අපට හුරු බසින් එය: “ප්‍රබුද්ධත්වය (ප්‍රබුද්ධාලෝකය) යනු කුමක් ද” ලෙස පෙරළාගත හැකි ය.

පැරණි ප්‍රකාශනයක් වුව ද, මෙම රචනය වෙසෙසින් ම පාදක කරගැනීමේ මාගේ අරමුණ වන්නේ මෙහි අඩංගු ඇතැම් කරුණුවල වැදගත්කමට මෙම ලියමන ලියන මම මෙන් ම කියවන ඔබ ද එක සේ සංවේදී වීමේ කාලීන අවශ්‍යතාවක් මතු ව ඇති බැවිණි.

ඉමැනුවෙල් කාන්ට් සියැසින් ම දුටු 18 වන සියවසේ ජර්මානු සමාජය (එකල ප්‍රසියාව) සාක්ෂර වූත් සුපාඨක සුළුතරයක් “ප්‍රබුද්ධත්වය” හා ප්‍රති- ප්‍රබුද්ධත්වය” අතරේ ද, බහුතරයක් බැතිමත් වූ ආගමික ජනයා— අධානග්‍රාහී   ප්‍රොතෙස්තන්ත දහම හා බැතිමත් සුශීලවාදය (Pietism) අතරේ ද විතැන් වූ ජන සංහතියකි.

වරෙක තාර්කික වූත් විද්‍යාත්මක අනාවරණයන්ගේ අනුප්‍රාණය ලබා “ප්‍රබුද්ධත්වය” ද, සිය අධ්‍යාත්මයේ අභ්‍යන්තරයෙන් ම ආගමික ජීවිතයකට වූ සැදැහැති ආත්ම පරිත්‍යාගය සිත්හී දරාගත් බතිමතුන්ගේ ජීවිතය හා විශ්වාසය පදනම් කරගත් සුශීලවාදය ද කෙසේ හෝ පොදු ජනයාහට නව ප්‍රාණයක්—නව ආලෝකයක් ලබා දීමට සැදීපැහැදී  සිටි චින්තනයේ ම විවිධ භූමිකාවන් විය.

අප අවදාරණය කරගත යුතු එක් වැදගත් කරුණක් ඇත, එනම්; “ප්‍රබුද්ධත්වය” (හෙවත් 17 වන සියවස වන විට යුරෝපයේ වැඩී වර්ධනය වුණු විද්‍යාවේ වස්තවීකත්වය මගින් විද්‍යාත්මක සබුද්ධිකත්වය පොදුජන ආකල්පයට ආමන්ත්‍රණය කිරීම) යන්න අදහසක් ලෙස ජර්මානු මහපොළොව මත පිහිටුවාලූ චින්තකයා කාන්ට් නො වන බවයි. ඔහු ඒ වන විටත් යුරෝපීය සමාජය තුළ විසිරී තුබුණු ප්‍රබුද්ධත්වයේ අදහස් පද්ධතිය හැදෑරු ශිෂ්‍යයෙකි. එය ඉගැන්වූ ආචාර්යවරයෙකි. පසුව එය ප්‍රශ්න කළ විචාරාත්මක චින්තකයෙකි.

ඉමැනුවෙල් කාන්ට් ඒ වන විටත් සිය පරිනත ජිවිත්යේ දී, උක්ත විශ්වාස පද්ධතීන් හා බුද්ධිමය සම්ප්‍රදායන්වල ග්‍රාහකයෙකි— සාක්ෂිකරුවෙකි.

silhouette-of-a-man,-light-165968.jpg222

ඔහු විසින් 1784 දී සිය රචනයෙන් අසා සිටින්නේ “අලුත් ප්‍රශ්නයක්” නො ව, එය බොහෝ කල් සිය ස්වදේශීය පසුබිම මත හැදී වැඩී ව්‍යාප්ත වුණු සම්ප්‍රදායක් පිළිබඳ ඔහු බලාපොරොත්තු වන අපගේ නව දැක්මයි. අපගේ නව්‍ය වූ “ඉස්මතු වීමයි” (emergence).

ඔහු සිය රචනය අරඹන්නේ එලෙසයි:

“මිනිසා සිය ස්වයං-ආරෝපිත නොමේරූ බවින් [අපරිණතකමින්] නැගී සිටීම [අත්මිදීම] ප්‍රබුද්ධත්වයයි”.

මෙම ආරම්භක පාඨයෙන් නො නැවතී කාන්ට් තවත් ඉදිරියට යමින්; සැබවින් ම මෙකී “අපරිණත බව” කුමක් ද යන්න සෘජු ව ම ප්‍රකාශ කර සිටියි.

ඔහු සඳහන් කරන ආකාරයට, ඉහත සඳහන් “අපගේ ම අපරිණත බව” යනු; අනෙකුගේ අධාරයක් නො මැති ව අපට අපගේ ම අවබෝධය (Understanding) භාවිත කිරීමට ඇති නොහැකියාවයි. මෙය අනර්ථය ගෙන දෙන නින්දිත වූ තත්වයක් යන්න ඔහුගේ අදහසයි.

මෙය ඉතා වැදගත් කරුණකි.

එනම්; ඔහුට අනුව, අපගේ ම මෙම ස්වයං-ආරෝපිත අපරිණතකම යනු, බොහෝ දෑ පිළිබඳ ව අපට සාමාන්‍යයෙන් ඇති “අනවබෝධය” නො ව— අපට මේ මොහොතේ ඇති යම් අවබෝධයක් (තේරුම් ගැනීමක්) වන්නේ නම් එකී අවබෝධය නියමිත පරිදි භාවිත කිරීමට අපට ධෛර්යය හා නියාමනයක් නො මැති කමයි.

ප්‍රබුද්ධත්වයේ නියමු ආදර්ශ වාක්‍යය ලෙස කාන්ට් සඳහන් කරන්නේ: ඔබගේ ම අවබෝධය භාවිත කරන්නට ධෛර්යසම්පන්න වනු! යන්නයි.

කාන්ට් තවදුරටත් පවසන පරිදි මෙම සොබාදහම තුළ මිනිසාගේ නොහැකියාවන්ට ක්ෂණික වූත් සුලභ වූත් “උපදේශකයන්” හා “ආරක්ෂකයන්” සිටීම ද එවන් අයගෙන් කිනම් හෝ මගපෙන්වීමක් ලබා ගැනීම පහසු වී ඇත්තේ ද අපගේ ම අලසකම හා බියසුලුකම් නිසා ම ය.

ඔහු ඉතා පැහැදිලි ව මෙසේ කියා සිටියි:

“අපරිණත ව සිටීම [කාටත්] පහසු ය”.

එනම්, අපට බොහෝ දෑ හරිආකාර ව නො පෙනෙන බව, අප බොහෝ දේ නො දන්නා බව, ඇතැම් දේ නො සිතූ බව….ලෙස නිරායාසයෙන් ම අපට නිදහසට කරුණු කාරණා ඉදිරිපත් කළ හැකි ය.

මගේ දෛනික දැනුම උදෙසා පොතපත ද මගේ පිරිසිදු හෘදසාක්ෂිය උදෙසා පුජකයා ද, මාගේ ම සිරුරේ ඇති වන රෝගාබාධ හා මගේ ආහාර රටාවට උපදෙස් දීම සඳහා පවුලේ වෛද්‍යවරයා ද ආදී වසයෙන් මාහට විවිධ දේවල්, මිනිසුන් සමීප කරගනිමින් සැළකිය යුතු ලෙස ඒවා මත පරායත්ත විය හැකි ය.

මෙවන් සේවාවන් හා දේවල් උදෙසා නියමිත ගෙවීමක් මාහට කළ හැකි නම්, මෙවැනි දෛනික ගැටලු පිලිබඳ ව සැබවින් ම මාහට නො සිතා සිටිය හැකි වේ.

කිකලෙක වුව ද අපගේ ම දෛනික පැවැත්මේ සැළකිය යුතු අංශයක් අපි අමතක කර දමමු. කල් යන විට ඇතැම් දේ නො සළකා දමමු.

ඒ වනුවට විවිධ අදහස් පද්ධතීන් හා නීති ආදිය අපගේ ම අපරිණතකමේ ස්ථිරසාර බව උදෙසා අපි අත්පා බැඳ තබන යදම් හා විලංගු කරගෙන සිටිමු.

ඉමානුවෙල් කාන්ට් මෙම ආමන්ත්‍රණය කර සිටින්නේ 18 වන සියවස මැදභාගයේ දෙවන ෆ්‍රෙඩ්රික් රජු (1740 සිට 1786 දක්වා  ජර්මනිය පාලනය කල ඔහු එකල ස්වදේශික ආත්මයේ කිඳාබැස තිබුණු “ප්‍රබුද්ධත්වයේ” ආකල්ප සිය අරමුණු ලෙස දරා සිටි පාලකයෙකු විය) විසින් ප්‍රසියාව පාලනය කරනු ලබන සමයේ විසූ සාක්ෂර එහෙත් “අපරිණත” මිනිසුන්ගේ බුද්ධියට ය.

මෙලෙස සැබවින් ම ප්‍රබුද්ධත්වය යනු කුමක් ද යන්න ඔහු සාකච්ඡා කරනුයේ ඒ වන විටත් මිනිසා විසින් ම විද්‍යාවේ ආලෝකය වනුවට අතිමහත් අධානග්‍රාහී අන්ධකාරයක් සිව්දෙස පතුරුවමින් සිටි බැවිණි.

එළිය දකින්නෝ දුර්ලභ ය. සියලු වාද-විවාද මධ්‍යයේ තමන් සිටින්නේ සැබවින් ම අඳුරේ ය යන්න පසක් කළවුන් ඉතා අල්ප ය. කාන්ට් සඳහන් කරන පරිදි, තමාට ම අවේනික ස්වීය චින්තනයක්—අදීන මනසක් ගොඩනගාගනිමින් ස්වකීය අපරිණතභාවයෙන් අත්මිදුණවුන් ගණනින් අල්ප වූවෝ වෙති.

ප්‍රංශ විප්ලවයේ තාපය එකල කාන්ට් ජීවත් වුණු බුද්ධිමය පරිසරය උණුසුම් කළ වග නොරහසකි. ප්‍රංශ විප්ලවය විසින් අවට රාජ්‍යයන් මෙන් ම සමස්ත ප්‍රබුද්ධත්වයට කළ බලපෑම ඉමහත් ය. කාන්ට්ගේ අදහස වන්නේ, එවන් සංහතික විප්ලවයන්හී ප්‍රතිඵලය වන්නේ හුදෙක් ම වංශවත් ඒකාධිපතීත්වය පරාජය කිරීම් හා බලග්‍රහණයන් වන අතර, සැබවින් ම මානව චින්තනයේ ප්‍රතිසංස්කරණයක් නො වන බවයි.

ඔහු අපේක්ෂාවෙන් අපට ඉදිරිපත් කර සිටින ප්‍රබුද්ධත්වයේ ආලෝකයට අත්‍යවශ්‍ය ම මුලිකාංගය වන්නේ; අප කවුරුත් අපේක්ෂා කරන, ආශක්ත වන, දිනාගැනීමට අරගල කරන —“නිදහසයි”.

එහෙත් මෙතැන දී හුදෙක් ජාතික, වාර්ගික හෝ දේශපාලනික වසයෙන් අප මෙකල වරනගන ඊනියා නිදහසින් ඔබ්බට ගොස්, කාන්ට්, සිය ශුද්ධ තරකනයේ අදහස පෙරටු කරගත් දාර්ශනික ව්‍යාපෘතිය අපට සිහිපත් කරමින් පැහැදිලි ව සඳහන් කරන්නේ මෙයයි: “ නිදහස යනු අපෞද්ගලික ව, පොදුජන තලයක “තාර්කිකත්වය” (Reason) භාවිත කිරීමට [අපට] ඇති නිදහසයි”.

සිය රචනයේ දී කාන්ට් අවධාරණය කර සිටින්නේ යමෙකුගේ තාර්කිකත්වය පොදුජන (public) භාවිතයක් උදෙසා ව්‍යාපෘත (use) කිරීම සැම විට ම ස්වෛරී වූ නිදහස් ක්‍රියාවක් විය යුතු බවයි.

ඉහත කරුණ පමණක් වුව සැබෑ ප්‍රබුද්ධත්වය මනුෂ්‍ය වර්ගයා අතර යළි ජනිත කරවීමට සෑහෙන බව ඔහුගේ අදහසයි.

සිය රචනය අවසන් වීමට මත්තෙන් කාන්ට් මෙසේ අපගන් අසා සිටියි: “අප වර්තමානයේ වෙසෙන්නේ ප්‍රබුද්ධත්වයට පත් යුගයක ද?”.

ඔහු අපට ලබා දෙන පිළිතුර වන්නේ “නැත” යන්නයි. කාන්ට් පවසන්නේ: “එහෙත් අප ජීවත් වන්නේ ප්‍රබුද්ධත්වයේ යුගයක ය” යන්නයි.

එනම්, සියලු අන්ධකාරය මධ්‍යයේ, ප්‍රබුද්ධාලෝකය නැවුම් ලෙස මිනිසුන් අතර ඉස්මතු වීමට මෙන් ම, අපගේ ම ස්වයං-ආරෝපිත නොමේරූ —අපරිණත බව බිඳ දමා ඉන් නැගී සිටීමට අවශ්‍ය හේතූන් හා විභවයන් මෙකී යුගයේ ම (එකල කාන්ට් සිටි යුගය) නිධන්ගත ව ඇති බවයි.

මිනිසුන්ට නිදහස් ලෙස සිය අපරිණතභාවයෙන් අත්මිදීමට මෙතෙක්කල් තිබුණු බාධාවන් ක්‍රමික ව ජයගැනීමට ද, යදම් විලංගු (ආකල්පික) සිඳබිඳ දැමීමට ද අවශ්‍ය විභවය ක්‍රමික ව ගොඩනැගෙමින් පවතින බව කාන්ට්ගේ අදහසයි. ශුද්ධ තාර්කිකත්වයේ බීජය රෝපණය කළ හැකි, එබැවින් නිදහස් තාර්කිකත්වය ඕනෑම මොහොතක ඉස්මතු විය හැකි එම කාලපරිච්ඡේදය ඔහුට අනුව “ප්‍රබුද්ධත්වයේ යුගයකි”.

 

අප මේ වන විටත් දන්නා පරිදි කාන්ට්, සිය Critique of Pure Reason කෘතිය 1781 දී පල කළේ ය.

ඔහු මෙම What is Enlightenment යන රචනය ලියා පල කරන්නේ 1784 වසරේ දී ය. එනම්, කාන්ට් මෙම සැබෑ ප්‍රබුද්ධත්වයේ ආමන්ත්‍රණය කර සිටින්නේ සිය දාර්ශනික පද්ධතිය ජනගත වී ඇති වටාපිටාවක ය (මෙහි දී ජනගත වී ඇත යනු, ජනප්‍රිය (popular) යන අරුතින් නො ගත යුතු ය).

පාරිශුද්ධ තාර්කිකත්වය තුළින් සබුද්ධික සාක්ෂර මිනිසාට ඇමතූ ඔහු මෙම රචනයෙන් සෘජු ව ම මනුෂ්‍ය වර්ගයාගේ ස්වකීය නොමේරූ බවින් අත්මිදීම ද ඒ සඳහා පොදුජන මනස ස්වකීය භාවිතයට —“තාර්කිකත්වය” යොදා ගැනීමේ වැදගත්කම පෙන්වාදෙයි.

මෙම ලියවිල්ල තරමක් විස්තරාත්මක යයි පෙනුණ ද සැබවින් ම මෙය කාන්ට්ගේ රචනය පිළිබඳ සංක්ෂිප්ත ඉදිරිපත් කිරීමකි.

මා මාගේ මෙම ලියවිල්ල අරඹන ලද්දේ අපගේ යුගයේ අප ඥානගවේෂණයට, කලාව හා දේශපාලනයට සබුද්ධික ව “සහ-භාවිත්වයක්” ඉස්මතු කර ගැනීමට අප විසින් සකසාගත් “අපගේ පරිසරය” පිලිබඳ පණිවුඩයකිනි.

මෙම පරිසරය නම් — අපගේ “සාමූහිකව දර්ශනය කියවන ක්‍රියාකාරකමයි”.

කාන්ට් ඔහුගේ කාලපරිච්ඡේදය පිළිබඳ දැරූ ආකල්පය සේ ම, අප වර්තමානයේ ක්‍රියාත්මක වන, අධ්‍යයනය කරන, එකතු වන, විසිර යන මෙම සමාජ අවකාශය හා කාලය තුළ “ප්‍රබුද්ධත්වය” පිළිබඳ ඇති සැබෑ අදහසක් ඉදිරිපත් කිරීම අපහසු කරුණකි.

එයට හේතුව නම් Enlightenment යන්නට “බුද්ධත්වය” ලෙස ආගමික —ලොව්තුරු අරුතක් දීමක් මිස පුහුදුන් බව, විද්‍යාත්මක සබුද්ධිකත්වය හා ශුද්ධ තාර්කිකත්වය මත පිහිටා එකී සංදර්භය ආශ්‍රිත අදහසක් හෝ අරුතක් ලබා දීමක් අප රටවැසියනට නුහුරු වීමයි.

පුහුදුන් සමාජයක එවන් අනගි “අර්ථයන්” හඹා යන්නෝ අල්ප වෙති.

කාන්ට් පැවසූ පරිදි : “එය දුර්ලභ ය”.

කලාව, සමකාලීන විද්‍යාත්මක චින්තනය හා අද්‍යතන දේශපාලන ප්‍රවණතා ආදී විෂයන් හා සහ-පැවැත්මක් සාක්ෂාත් කරගන්නා විරළ වූ අසීරු මාවතක් අපි තෝරාගෙන ඇත්තෙමු.

අපි “දර්ශනයට” ආශක්ත වී ඇත්තෙමු.

මෙම ලියවිල්ල සම්පාදනය කළේ මා වුව ද, මෙය කියවා අප අපගේ අපරිණතකම්වලින් අත්මිදී නැගී සිටීම යනු, මෙවන් කලෙක අපගේ දෛනික වටාපිටාව තුළ තනි ව කළ හැක්කක් නො වන බව ඔබ ද වටහාගත යුතු ය.

අප අපගේ —“මම” යන ඒකවචන උත්තමපුරුෂභාවයෙන් මිදී බහුවචනය වැළඳගත යුතු ව ඇත.

ප්‍රබුද්ධාලෝකය කරා යාමට අවැසි බහුජනයා ද, අත්පත් කරගත යුතු තාර්කිකත්වයේ “නිදහස” ද, එහි “අර්ථය ද” අපට සුපැහැදිලි වන්නේ එවිට ය.

 

වරංග ද සිල්වා

 

 

***

 

 

 

 

 

 

 

 

Advertisements