sol lewitt brick wall

 

පහතින් පළ වන්නේ පොලිස් නිල ඇඳුම හැඳි මිනිසකුගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ‘බට්ටි’ යන අන්වර්ථ නමින් ජනප්‍රියව ඇති හිතවතියක් විසින් සිය යුක්තිය ඉල්ලා කළ අරගලයේ ජයග්‍රහණයක් පිළිබඳව, අප හිතවත් චාමර ගුරුගේ තැබූ සටහනකි. අප යෝජනා කරනා ආකාරයට මෙය, ලැකේනියානු වාමවාදයේ එන කේන්ද්‍රීය පර්යේෂණ ගැටලුවක් වන, ‘අව්‍යාජ ක්‍රියාවක්’ (an authentic Act) ලෙස හඳුනා ගැනීමේ අවධානම ගැනීම වරදක් නොවේ. අව්‍යාජ ක්‍රියාවක තිබෙනා එක වැදගත් ලක්ෂණයක් වන්නේ එය අර්ථවත් භාෂා ලෝකයේ පිළිවෙලට බාහිරව සිට එල්ල කරනා අභියෝගයක් නොව පරිපූර්ණ ලෙස එම පිළිවෙල අභ්‍යන්තරයේ සිට එල්ල කරන්නක් වීමයි. නමුත් ඒ හරහා මෙම සමස්ත පිළිවෙලේ තිබෙනා අසංගතබව, අසම්පූර්ණ බව අපට නිරාවරණය කරයි. එමගින් සිදු කරන්නේ පවත්නා සංඛේතීය පිළිවෙල තුළ කළ නොහැකි දෙයක් ලෙස පෙනී යන්නක් සිදුකිරීමෙන්, එයට පසුව එම හැකියාව එම පිළිවෙලේ අභ්‍යන්තර කොන්දේසියක් වන පරිදි, සමස්ත පිළිවෙලම යළි සකස් කිරීමකි. එම නිශ්චිත අර්ථයෙන් ‘බට්ටිගේ අරගලය’ අව්‍යාජ ක්‍රියාවක් ලෙස හඳුනා ගත හැකි ද යන්න තවමත් විවෘත ප්‍රශ්නයක් බව අපි පිළිගනිමු. නමුත් පූර්ව සහතික නොමැතිවීම නෛසර්ගික ලක්ෂණයක් වන අව්‍යාජ ක්‍රියාවන් ඇති විය හැක්කේ මේ ආකාරයේ ප්‍රයත්නයන් තුළින් වේ යන්න කිසිදු සැකයක් නොමැති වේ. මෙවැනි දේ සඳහා අපට හැකි උපරිම ආකාරයෙන් පුළුල් පිරිසක් වෙත ගෙන යාමට මහන්සි විය යුත්තේ මෙම නිසාය. මේ කෙටි සටහන තැබුවේ ඒ වෙනුවෙන් ‘බව’ ට කළ හැකි පුංචි එකතු කිරීම වෙනුවෙනි. මේ සඳහා මූලිකත්වය ගත් උදුල් ප්‍රේමරත්න, ශ්‍රීනාත් චතුරංග, ප්‍රියන්ත කළුආරච්චි, කෞශල්‍ය කුමාරසිංහ, සුදන්ත මාධව ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, ලක්ෂාන් ඩයස් ඇතුළු සියලුම දේශපාලන ක්‍රියාකාරීන්ට සහ ක්‍රියාකාරිනියන්ට අපගේ ආදරය.

***

බට්ටිගේ ජයග්‍රහණය චිත්‍රපටියක් කරන්න තරම් වටිනා කතාවක් මට හිතෙන්නේ …. රත්නපුරේ ටවුන් එකේ හැමෝම ඉස්සරහ මහදවල් බිම දාගෙන පොලිස් කාරයෙක් විසින් ගැහැණියකට බෙල්ට් එකකින් ගහන්නේ මනුස්සයෙක්ට සලකන්න පුළුවන් අන්තිම අගෞරවනිය විදියට….කවුරුන් හෝ මේ සිදුවීම වීඩියෝ කරලා ෆේස්බුක් එකේ දානවා…ඒ කාලේ මේ වගේ වීඩියෝ අත්දැකීම් අලුත් හින්දා …ඒ දින දෙක තුනේ රටේ ඒ ගැන විශාල කතා බහක් ඇතිවෙනවා…මේ කතාව තව වටයකින් ඇවිස්සෙන්නේ උදුල් ඇයව හොයාගෙන රතන්පුරේ කකුස්සිවත්තට යාමත් එක්ක ….ඇය බට්ටි…. රත්නපුර නගරයේ විදි ගණිකාවක් ….උදුල් බට්ටිව හොයාගෙන යද්දිත් ඉන් දින දෙක තුනකට කලින් පොලිසියෙන් ගුටි කෑ සිදුවීම රටේම ප්‍රසිද්ධවෙලා කියලා ඇය දන්නෙත් නැහැ ….ඇය ෆේස් බුක් ගැන දන්නේ නැහැ …ඇයට පොලිසියෙන් ගුටි කෑම ඒ වනවිට ඉතාම සාමාන්‍ය අත්දැකීමක් වෙලා තිබුණේ….අවමානයට ලක්වීම ඇයගේ එදිනෙදා ජීවිතයේ ඉරණම වෙලා තිබුණේ…උදුල් මුලික අයිතිවාසිකම් කඩකිරීම පිලිබඳ නඩුවක් පවරන්න ඇයව උනන්දු කරනවා …ඒ වනවිට මුලික අයිතිවාසිකම් කියා දෙයක් තියනවා කියලවත් ඈ දන්නේ නැහැ …නමුත් ඈ ඊට එකඟ වෙනවා… ඈ කොළඹ එනවා….මේක ඇගේ පැත්තෙන් ලෙහෙසි අභියෝගයක් නෙවෙයි ….කොළඹ පැමිණීමත් සමග නැවත ඇයට ගමේ යන්න බැරිවෙනවා….රත්නපුරේ මිනිස්සු ඇයට විරුද්දව පොලිස් කාරයාගේ පැත්තේ හිට ගන්නවා …රත්නපුරේ කියන්නෙත් කුලියාපිටිය වගේම තව ගමක් …ඒ මිනිස්සුන්ගේ මතය වෙන්නේ ”මේ නොහොඹිනා ගණිකාවට පොලිස්කාරයා සැලකුවේ සලකන්න ඕන හොඳම විදියට” කියන එකයි …මට බට්ටිව මුණගැහෙන්නේ 2014 ඔක්තෝබර් 14 ”වට් අ නයිස් කපල්”නාට්‍යයේ මංගල දර්ශනයේදී…බට්ටි සහ ඇගේ සැමියා නාට්‍යය නරඹපු අනෙකුත් නයිස් කපල් අතරේ තවත් එක් නයිස් කපල් එකක් ….”කොහොමද නාට්‍යය?” මම ඇගෙන් දවසක් අහනවා…. ”ෂෝක් අනේ අර දෙන්නා හොඳට රඟපානවා” …එතරම් දිග නොවන අගේ විචාරය ඉතාම අවංකයි …මේ වෙනකොට බට්ටි අපේ මිතුරු ගොනුවේ තවත් එක මිතුරියක් …ඒත් බට්ටිට ඒ මිත්‍රත්වය ඇතුලේ ජීවත්වෙන එක ලෙහෙසි වෙන්නේ නැහැ…. න්‍යායික කරුණු ගැන නිතර සංවාදවල පැටලෙන අපේ මිත්‍රයින්ගේ ලෝකය හා බට්ටිගේ කකුස්සිවත්තේ ලෝකය කියන්නේ ලෝක දෙකක්…. පියවන්න බැරි පරතරයක්….”ඒ ගෑනිට ඒ ගෑණිගේ ගමට වෙලා කරන් හිටපු රස්සාව කරගෙන හිටපු විදියට ඉන්න දෙන්නේ නැතුව උඹලා උඹලගේ ප්‍රොජෙක්ට් වලට ඒ ගෑනිව පාවිච්චි කරනවා…අන්තිමට ඒ ගැනීට එහෙත් නැතිවෙනවා මෙහෙත් නැති වෙනවා” …උදුල්ට සහ මේ වැඩෙත් එක්ක උදුල් එක්ක හිටගත්තු අනෙක් මිතුරන්ට චෝදනා එල්ල වෙනවා …ප්‍රොජෙක්ට් කොහොම උනත් ගෙදරින් උදේට කන්න දීපු බත් එක බට්ටිට දීලා උදුල් ගියපු අවස්ථා මම දන්න තරමින් තියනවා…මීටත් වඩා සංකීර්ණ ප්‍රශ්න ඇතිවෙනවා..නවාතැන් ප්‍රශ්න… ජීවනෝපායන් ගැන ප්‍රශ්න …මේ වගේ ප්‍රශ්න ගණනාවක් …ඇතිවෙනවා…. මෙතැනදී උදුල්ව තනි නොකර ඉන්න මිතුරන් බොහොමයකුත් ඉන්නවා …(මම එයින් කෙනෙක් නෙවෙයි… මම කරපු උදව්වක් නැහැ..)…කාලය යනවා…අලුත් ප්‍රවෘත්ති විසින් පරණ ප්‍රවෘත්ති යට යවනවා…බට්ටිව අමතක වෙනවා… මේ ලියන මට පවා අමතක වෙනවා….අවුරුදු හතරක් ම ඔය විදියට ගෙවෙනවා …”බටිට් නඩුව දිනලා” මේ ආරංචිය අද ඇහුන වෙලාවේ ඇස්වලට කඳුළු එන තරමේ සතුටක් මට දැනුණා …මොනවහරි ලියන්නම ඕන උනත් මට ඒකට වෙලාවක් හම්බුනේ දැන් …ඉතින් මං එක හුස්මට ලිව්වා…ඇත්තටම මන් ගොඩක් දේවල් දන්නේ නැහැ …මිට වඩා මේ ගැන දන්න මිත්‍රයෝ ඉන්නවා…මම ඔවුන්ට යෝජනා කරනවා ලියන්න කියලා….මේක ඓතිහාසික මොහොතක්… දුබලයා විසින් ප්‍රභලයා පරාජය කළ …මින්පසු කිසිම ගනිකාවකට නිගරු කරන්න කලින් පොලිසිය දෙවරක් හිතාවි…උදුල් මචං මං උඹව විවිධ දේශපාලනික මුහුණුවරයන් ගෙන් දැකලා තියනවා …මේ තමයි මම උඹේ දැකපු හොඳම දේශපාලනික මැදිහත්වීම් … හොඳම මානුෂික මැදිහත්වීම …උදුල් උඹට ජය! ….බට්ටි උඹට ජය! …මේ සටනේදී උදුල්ව හා බට්ටිව තනි නොකළ මිතුරනි උඹලට ජය!

චාමර ගුරුගේ

(උපුටා ගත්තේ ෆේස්බුක් වලිනි)

 

 

 

 

 

***