Kevin Abosch

දර්ශනයේ ඉතිහාසයේ තීරණාත්මක මන්සන්ධි දෙකකදී ‘වනාන්තරයක පාර සොයා ගැනීම’ පිළිබඳව උපමා කතා දෙකක් හමු වේ. පළමු කතාව හමුවන්නේ ඩෙකාට් ගේ ‘Discourse on Method’ (‘ක්‍රමවේදය පිළිබඳව සංවාදය’) තුළයි. සමහරවිට ලෝකයේ වඩාත් ජනප්‍රියම දාර්ශනික උපුටාගැනීම කියා අපට කිව හැකි ‘මම සිතමි, එනිසා මම පවතිමි’ යන සුප්‍රසිද්ධ අදහස තිබෙන්නේ මෙම රචනයේය. මෙම අදහස මගින් නියෝජනය කරනා ආත්මීයත්වය පිළිබඳව අදහස නූතන දර්ශනයේ සමාරම්භක මොහොත ලෙස ගතහැකි වන හෙයින් මෙම ලියවිල්ලේ ඓතිහාසික වටිනාකම තේරුම් ගැනීම අපහසු නැත.

‘වනාන්තරය’ පිළිබඳව ඩෙකාට් ගේ උපමා කතාව අපට හමුවන්නේ මේ රචනයේ තෙවන උපකොටස ආරම්භයේදීය. සත්‍යය සොයා යාමේදී අත්‍යවශ්‍ය වන අධිෂ්ඨානශීලිත්වය ඩෙකාට් සමාන කරන්නේ වනාන්තරයක අතරමන් වන සංචාරකයෙක් ගත යුතු තීරණය සමගයි. මෙවැනි අවස්ථාවකදී අප නොකළ යුතුම දෙය වන්නේ විවිධ දිශාවන් වෙත ගොස් අපට පහසුවෙන් නැවත පාර සොයා ගත හැකිද කියා සොයා බැලීමයි. එසේ කිරීම මගින් ඔබ එකම තැනක කැරකීමේ සහ ඔබගේ ශක්තිය නිරපරාදේ නාස්ති කර ගැනීමේ විශාල අවධානමක් ගත යුතුය. එමෙන්ම ඔබට කාලය සමග තිබෙනා අරගලයටද මෙයින් සිදු වන්නේ හානියකි. මෙවැනි අවස්ථාවකදී අප ගත යුතු බුද්ධිමත් තීරණය වන්නේ එක දිශාවක් වෙත, හැකි තරම් ඍජු මාවතක් දිගේ, ගමන් කිරීමයි. මෙහිදී ඔබ තෝරා ගන්නේ වනාන්තරයෙන් එළියට පැමිණීමට තිබෙනා කෙටිම මාවත නොවීමට ඉඩ තිබේ. සමහරවිට ඔබ ගමන් කරනු ඇත්තේ එයට ප්‍රතිවිරුද්ධ දිශාවට, වනාන්තරයේ ඇතුලට විය හැකිය. නමුත් මෙම අවධානම ගැනීම ඉහත පළමු ආකාරයේ අවධානමක් ගැනීමට වඩා ප්‍රයෝජනවත් වේ. අවම වශයෙන් ඔබ කවදා හෝ වනාන්තරයේ වෙනත් කෙළවරකින් එළියට පැමිණීමට සමත් වේ කියා අපට සිතිය හැකිය. වනාන්තරය මැද සිර වීමට වඩා මෙය යහපත් තෝරා ගැනීමක් වන බව – ඩෙකාට් ට අනුව – ඉතාම පැහැදිළි වේ.

‘වනාන්තරයක පාර සොයා ගැනීම’ පිළිබඳව දෙවන උපමා කතාව හමු වන්නේ, ඩෙකාට් ගෙන් සියවස් තුනකට පමණ පසුව, හෛඩගර් ගේ ‘Woodpaths’ (‘කැලෑ පාරවල්’) නම් ලිපි එකතුව තුළයි. හෛඩගර් යනු නූතන දර්ශනයේ අවසානය නිවේදනය කළ චින්තකයා ලෙස අපට නම් කළ හැකිය. ඩෙකාට් යනු හෛඩගර් ගේ දර්ශනයේ කේන්ද්‍රීය ප්‍රතිවාදියෙකි. පැවැත්ම යනු අප ඉදිරියේ දෘශ්‍යමාන වන දේවල් වේ යන කාටිසියානු උපන්‍යාසය විවේචනය කරමින් බටහිර පාරභෞතික විද්‍යාත්මක සම්ප්‍රදාය විනාශ කර දැමිය යුතුය කියා යෝජනා කරන්නේ හෛඩගර් විසිනි.

‘වනාන්තරය’ පිළිබඳව හෛඩගර් ගේ උපමාව අපට හමු වන්නේ ‘Woodpaths’ කෘතිය ආරම්භයේදීය. ඔහු පෙන්වා දෙන ලෙස, කැලෑ පාරවල් යනු සාමාන්‍යයෙන් අප ගමන් කරන මාවත් හා සම වන්නක් නොවේ. ඒවා බොහෝ විට රවුමට දිග හැරී ගොස් ගණ කැලය මැද හදිසියේ අවසන් වේ. ඒවා අපව නිශ්චිත අවසානයක් වෙත, ගමනාන්තයක් වෙත, රැගෙන යන්නේ නැත. මේ සෑම පාරක් සඳහාම එයට ආවේණික වූ ගමනක් තිබේ. කැලය ගැන අවබෝධයක් නැති සාමාන්‍ය මිනිසෙක්ට මේ එක පාරක් තවත් පාරකින් වෙන් කර ගැනීම එතරම් පහසු නොවේ. ඒවා බොහෝ විට යොදා ගන්නේ දඩයක්කරුවන්, ගස් කපන්නන් වැනි කැලයේ ජීවිත ගත කරන මිනිසුන් විසිනි. මෙම පාරවල් මගින් නිශ්චිත ගමනාන්තයක් වෙත අපව ගෙන යන්නේ නොමැති වුවත් ඒවායේ වෙනත් ප්‍රයෝජනයන් තිබෙනා බව ඔවුහු දනිති. එහි උපයෝගිතාවය තිබෙන්නේ ගමනාන්තයේ නොව ගමන තුළයි. අත්දැකීම්, අධ්‍යාපනය, අවබෝධය හිමි වන්නේ ගමන නිසා මිස ගමනාන්තයේ තිබෙනා විශේෂිත දෙයක් නිසා නොවේ. එවැනි පාරකට කෙනෙක් ඇතුළු වන්නේම එවැනි අවසානයක් නොමැති බව දැනගෙනමයි.

නූතන දර්ශනයේ ජනප්‍රිය ආරම්භයේ සහ එහි ප්‍රකාශිත අවසානයේ ‘වනාන්තරයක පාර සොයා ගැනීම’ පිළිබඳව ඇති මෙම උපමා කතා දෙක අපගේ ලෝක දැක්මේ ඇති වී තිබෙනා වෙනස්කම් පිළිබඳව සිතා ගැනීමට බෙහෙවින් උපකාරී වන්නක් යන්න සම්බන්ධයෙන් එතරම් සැකයක් නොමැති වේ. එක කතාවක තිබෙන්නේ වනාන්තරයෙන් එළියට පැමිණීමේ හැකියාව පිළිබඳව අචල විශ්වාසයක් වන අතර අනෙක් පසින් තිබෙන්නේ ‘එළිය’ පිළිබඳව බලාපොරොත්තුවේ ඇති අර්බුධය පෙන්වා දීමයි. මෙම අර්ථයෙන් ගත්විට මෙරට දේශපාලනයේ නුදුරු අනාගතය තීරණය වන්නේ වනාන්තරයෙ පාර සොයා ගැනීම පිළිබඳව ඇති මෙම තෝරා ගැනීම් දෙක මගින් කියා යෝජනා කිරීම අතිශයෝක්තියක් වන්නේ නැත. 2020 දී ඔබ කාටිසියානුවෙක්ද, එසේත් නැතිනම් හෛඩගරියානුවෙක්ද? මේ දෙක අතර වෙනත් විකල්පයක් තිබෙන්නේද?