IMG_6372-copie-820x550

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 2012/13 වසර විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය වන ‘රාසම්මා ඩැනියල්’ නාට්‍යය ඉකුත් සැප්තැම්බර් මස 04 වන දින යෞවන සම්මාන උළෙල වෙනුවෙන් මරදාන ටවර් රඟහලේ වේදිකාගත කෙරුණි. නිශ්චිත ඒකමිතියක් නොමැති මෙම නාට්‍යයේ කථා වින්‍යාසය පැහැදිලි කිරීම තරමක් සංකීර්ණ කටයුත්තකි. තවත් ආකාරයකට කියන්නේ නම් නාට්‍ය ආරම්භයේදී සිටින චරිත හා නාට්‍ය අවසානයේ සිටින චරිත සම්පූර්ණයෙන්ම වෙනස්ය. මෙහි ඇත්තේ එම චරිත අතර අන්තර් සබඳතා තුළින් ගොඩ නැගෙන හෝ ඒ ඒ චරිත මුහුණපාන විවිධ සිද්ධි තුළින් දිගහැරෙන සමස්ථයක් ලෙස කරුණුමය වශයෙන් සඳහන් කළ හැකි කථාවක් නොව විවිධ යුග හා විවිධ සන්දර්භ නියෝජනය කරනා දීර්ඝ ඉතිහාසයක් යළි අර්ථ කථනය කිරීමකි. එනම් දෙවන රාජසිංහ රජුගේ සිට 1983 ජූලි කලබලය දක්වා, නාට්‍ය පුහුණුවීම් හා චිත්‍රපට රූගත කිරීම් දර්ශන සිදුවන සන්දර්භයක රාසම්මා ඩැනියල් නාට්‍ය වින්‍යාස ගත වී ඇත. එය අංක 10 කින් යුක්ත අතර බොහෝ විට එක් අංකයකින් නිශ්චිත කාල පරාසයක් – යුගයක් – නියෝජනය වෙයි.

      පළමු අංකයේ දෙවන රාජසිංහ රජතුමා යැයි අනුමාන කළ හැකි අයෙකු මරණයට පත් කරමින් සිදුවන ඉංග්‍රීසීන්ගේ පාලනය සංකේතවත් කරන සිදුවීමකි. ඉන්පසුව ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තිය පිළිබද අඟවන හා ජෝන් ද සිල්වාගේ නාට්‍ය පුහුණුවීම් සිදු කරන දර්ශනයකි. එහිදී අපට ජෝන් ද සිල්වාගේ වේදිකා භාවිතය, ඔහුගේ දේශපාලන දෘෂ්ටිය හා එවකට සමාජ තත්ත්වවල විවිධ සංකීර්ණතා ඥානනය කරනු ලබයි. අද දවසේ මූලික මානව අයිතිවාසිකමක් ලෙස සළකන සමලිංගික හා සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳ සංවාදයක් ද එහි ඇතුළත්ය. පසුව මෙරට වාමාංශික දේශපාලනය රාජ්‍ය විරෝධී ව්‍යාපාර ලෙස වර්ධනය වන ආකාරය කම්කරු පංතියේ ජනතාවගේ කලා භාවිතය හා රසිකත්වය තුළින් ගෙන ඒමට උත්සහ කර ඇත. ‘බ්‍රේස් ගර්ඩල්’ වැනි වාමාංශික නායකයන් පිළිබඳව ද එම අංක තුළ කතාබහට ලක් වෙයි.  ඉන්පසුව 1940/50 දශකයේ නාට්‍ය හා සිනමා නිර්මාණ සිදුකළ නිර්මාණකරුවෙකු වන සිරිසේන විමලවීරගේ නාට්‍ය පුහුණවීම් අවස්ථා ඇතුළත් අංකයකි. එම පුහුණුවීම්වල සිටිනා නළු/නිළියන් වන්නේ එකල කරත්තකරුවන් ලෙස හැඳින්වූ කම්කරු ජනතාවයි. දේශපාලන සවිඤ්ඤාණිකත්වය හා වාමාංශික අරගලය වෙත ඔවුන්ගේ නැඹුරුව අපගේ ඉතිහාස දැනුම ආහ්ල්ලාදයට පත්කරන ආකාරයෙන් ගොඩනගා ඇත. ඊට අමතරව ඩෙරික්ද සූසා නම් ක්‍රියාධරයින් මඟින් මෙරට දේශපාලනයේ අනාගතය පවතින අනතුරුදායක තත්ත්වය හා පවතින තත්ත්වයේ සංකීර්ණතා පිළිබඳ හෙළි කරයි. පසුව සම්පූර්ණයෙන්ම අපගේ අවධානය B.A.W ජයමාන්නගේ සිට චිත්‍රපටි කෙෂ්ත්‍රයේ නැගීම දක්වා මාරු වෙයි. එහිදී රුක්මණී දේවියගේ ජීවිතය හා පසුව පැමිණි මෙරට ප්‍රධාන පෙළේ චිත්‍රපට නිළියන්ගේ ජීවිතයේ විවිධ සංකීර්ණතා හා ඔවුන්ගේ කලා භාවිතය පිළිබඳ ඉතා ආකර්ෂණීය සිදුවීම් පෙලක් අවසාන අංකවල දක්නට ලැබේ. අවසානයේ 1983 ජූලි කලබලය පිළිබඳ ප්‍රවෘත්තිය තරුණ යුවලක් මඟින් අපට දැනගන්නට ලැබේ. ඔවුන් මඟින් අපට හෙළිදරව් කරන්නේ මෙපමණ දුරක් පැමිණි මෙම කලා ධාරා විවිධ ජාතීන්ගේ මැදිහත්වීමෙන් මෙන්ම ඔවුන්ගේ අනිවාර්ය සම්බන්ධය තුළින් ගොඩ නැගුණු බවයි. ඉන්පසුව අපට ඒත්තු යන්නේ මෙරට චිත්‍රපටි කේෂත්‍රයේ කොඳු නාරටිය වූයේ දෙමළ, මුස්ලිම් කලාකරුවන් හා තාක්ෂණික ශිල්පීන්ගේ මැදිහත්වීමත් ඒ තුළ කිසිවිටෙක ජාතීන්ගේ අනන්‍යතාව ඉස්මතු නොවූ බවත්ය. ජනවාර්ගික ගැටුම වෙනුවට එකල කලාව හා පංති ගැටුම සඳහා මූලිකත්වය ලැබීම ඊට හේතුව බව අපට ඒත්තු ගන්වයි.

             මෙලෙස ‘රාසම්මා ඩැනියල්’ නාට්‍යයේ කථා වින්‍යාසයේ සුවිශේෂ සංකීර්ණතා රාශියක් පවතියි. ඒවා තුළ ඒකමිතියක් සොයා ගැනීම බැලූ බැල්මට අපහසුය. නමුත් සෑම විටම අපට එහි ඒකමිතියක් ඇති බව ඒත්තු ගන්වන නිෂ්පාදන සංකල්පයක් නාට්‍ය තුළ ශක්තිමත්ව ගොඩ නැගී ඇත. නිෂ්පාදන සංකල්පය යනු නාට්‍යයක මූලික ගොඩ නැංවීම සිදුකරන කේනද්‍රීය ලක්ෂ්‍ය වේ. මෙහි නිෂ්පාදන සංකල්පය ලෙස අපට හඳුනාගත හැක්කේ මෙම නාට්‍ය පුහුණුවීම් හා චිත්‍රපට රූගත කිරීම් සිදුවන මොහොතවල් ය.

         රාසම්මා ඩැනියල් නාට්‍ය තුළ කතාබහට ලක්කළ හැකි ප්‍රවේශ කිහිපයක් හඳුනාගත හැකිය. එහිදී මාගේ වැඩි අවධානයට  යොමු වන්නේ එහි ඇති නූතන වේදිකාව තුළ අපට මුණ නොගැසුණු වේදිකා ලක්ෂණ හා වේදිකාව තුළ විකල්ප දේශපාලනය පිළිබඳ අදහස යළි කියවීමේ උත්සාහය යි. ඊට අමතරව එහි ඇති වාර්තා රංග ලක්ෂණ, පර්යේෂණයක් තුළින් ඔවුන් ගොඩනඟන අන්තර්ගතය, කලාව හා සමාජ පෙනීසිටීම්වල ජාතිකවාදී ආස්ථාන, වර්තමාන විශ්වවිද්‍යාල නාට්‍ය පිළිබඳ ව, නාට්‍ය කලාවේ රංගනය හා බැඳුණු මතවාද පිළිබඳ ව, ශ්‍රී ලාංකේය නාට්‍ය කලා ඉතිහාසය, ස්ත්‍රීවාදය හා නවලිබරල් මානව අයිතිවාසිකම්, වැනි බොහෝ දෑ මඳකට අතපසු කරන්නේ ඉහත අප තෝරාගන්නා මාවත් දෙක අද දවසේ මෙරට වේදිකා නාට්‍ය සන්දර්භයේ සුවිශේෂීත්වයක් ගන්නා මාතෘකා ලෙස සිතමින්ය.

       පශ්චාත් නූතන වේදිකාව (බලන්න) ලෙස අපට නම් කළ හැක්කේ පශ්චාත් නූතන යුගයේ ලක්ෂණ තුළින් පෝෂණය වූ වේදිකාව යි. එහිදී එම ලක්ෂණ තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන මූලික ලක්ෂණ කිහිපයක් හඳුනා ගත හැකි ය. පාරම්පරිකබව හා සමකාලීන තත්ත්වයන් සමතික්ක‍්‍රමණය කරවීම, සංස්කෘතික සම්මිශ්‍රණය, විවිධත්වය වැනි ලක්ෂණ මූලික වශයෙන් හඳුනා ගත හැකිය. තවද අන්තර්ගතය හා ආකෘතිය අතර පවතින නොඑකඟතාව රස නිෂ්පත්තිය  හෝ අර්ථ ජනනය වන ලෙස සංවිධානය කිරීම හැඳින්විය හැකි ය. මෙම ලක්ෂණ පශ්චාත් නූතනත්වයේ ලක්ෂණ ලෙස සලකුණු කිරීමේ ගැටලු පවතින බව පිළිගත හැකිය. නමුත් වේදිකාව පිළිබඳ නවීනත්වයකින් සිතීමේදී මෙම අදහස් – පශ්චාත් නූතන හෝ මොනයම් ආකාරයකින් හෝ – යොදා ගැනීමේ වේදිකාවේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ.

         රාසම්මා ඩැනියල් නාට්‍යයේ නූර්ති, මිනර්වා නාට්‍යවල පවතින ආකෘතිමය ලක්ෂණ ඒ අයුරින්ම භාවිතා කොට ඒවායේ ජනප්‍රිය හා අප ඉගෙන ගන්නා ඉතිහාසය තුළ තිබූ දේශපාලන, සමාජ පෙනීසිටීම් වෙනුවට එම ආකෘතිය තුළින් ම සම්පූර්ණයෙන් ම වෙනස් අන්තර්ගතයක් ගොඩ නැගීම සිදු වෙයි. උදාහරණයක් ලෙස ජෝන් ද සිල්වාගේ නාට්‍ය පුහුණුවීම් අඩංගු දර්ශන දෙකෙහි ඇත්තේ නූර්ති ශෛලියට නිර්මාණය වූ අංග හා එම ඉතිහාසය සිහිගන්වන සංවාද වේ. නමුත් ඒ තුළින් අපට හමුවන්නේ ජෝන් ද සිල්වාගේ නූර්තිවල අඩංගු වී තිබූ නාට්‍ය රසය නොව එම හැසිරීම් තුළින් අපට ඥානනය කරවීමට උත්සහගන්නා සමාජ දේශපාලන යථාර්ථය යි. සමස්ථයක් ලෙස රාසම්මා ඩැනියල් නාට්‍යයේ ම මෙම තත්ත්වය මනාව සකස් කොට ඇත. සෑම විටම ආකෘතිය හා පැරණි භාවිතයන් එලෙසින්ම භාවිතා කරමින් සමකාලීන අදහස් සන්නිවේදනය කිරීම මෙහි ප්‍රධාන වේ. එය සිරිසේන විමලවීර, රුක්මනී දේවියගේ සිද්ධි ඇතුළත් අංක තුළ ද දක්නට ලැබේ. මෙලෙස පැරණි ආකෘති තුළට සමකාලීනත්වය ආදේශ කිරීම තුළින් ඉතිහාසය යළි සකස් කිරීමක් සහ ආකෘතිය හා අන්තර්ගතය සම්පූර්ණයෙන්ම වෙනස් වන මොහොතක් නිර්මාණය කරයි. තවත් අයුරකින් පැහැදිලි කරන්නේ නම් මෙහෙදී නිර්මාණය කර ඇත්තේ ජෝන්ද සිල්වා යනු කුමක්ද ජෝන්ද සිල්වා නම් අදහස මිස ඔහු පිළිබඳ ස්භාවිකත්වයක් දක්වා වර්ධනය වී ඇති ජාතිකවාදී සාහිත්‍ය නොවේ. නැවත තවත් අයුරකින් කියන්නේ නම් මෙහිදී සිදුවන්නේ ජෝන් ද සිල්වා නම් දෙය විසංයෝජනය කිරීමයි. එම අර්ථයෙන් කලාව යනු කාලය හා අවකාශය තම ගලග්‍රහණයට ගනිමින් එය යළි සකස් කිරීමයි.

         ඉහත කරුණට අමතරව ‘රාසම්මා ඩැනියල්’ නාට්‍ය හුදු ඉතිහාස කතාවක් කීමෙන් වෙනස් වන්නේ කෙසේද? මූලික හේතුව වන්නේ ඔවුන් අපට නිරාවරණය කරන දෙයෙහි දේශපාලන සත්‍යයක් අඩංගු වීමයි. ප්‍රංශ දාර්ශනික අලෙන් බදියු සත්‍ය මුණ ගැසෙන මාඳිලි ලෙස දේශපාලනය, කලාව, ආදාරය හා විද්‍යාව සඳහන් කරයි. මෙම සන්දර්භයේ අපට සත්‍ය හමුවන්නේ කලාවේ මාඳිලියෙනි. රාසම්මා ඩැනියල් තුළින් නිරාවරණය කරන්නේ එම සත්‍යයයේ මොහොතයි. අපට මඟහැරුණු, ඉතිහාසයට, භාෂාවට, ජනප්‍රිය දේශපාලන මතාන්තරවලට වැසී ගිය සත්‍යයි. එය එක්තරා අර්ථයකින් දේශපාලනකි වේ. දේශපාලනය පවතින බෙලහීනතාවෙන්, ආත්මාර්ථකාමී බලලෝභීයත්වයෙන් විතැන් වී සාමූහිකත්වය පිළිබඳ අදහස උත්කර්ෂණයට නංවන සන්දර්භයක් නාට්‍යකරුවා අපට මුණ ගස්වයි. තවද ප්‍රංශ දාර්ශනික ජාක් රොන්සියර් දේශපාලනය ලෙස නම් කරනා ආත්මීයකරණයන්ට ලක්වීම නම් අදහස පැහැදිලි කර ගැනීම මේ සඳහා අතිශය වැදගත් වේ. එනම් මෙම නාට්‍ය තුළ අපට නිරන්තරයෙන් මුණ ගැසනෙ එකල නූර්ති හා මිනර්වා යුගයේ නළු/නිළියන් ව සිටි කරත්තකරුවන් දේශපාලන ආත්මයන් ලෙස ප්‍රකාශ මාන වේ. නමුත් අවසානයේ සිනමාව තුළින් පෙනී සිටින නළු/නිළි චරිත තුළ අහිමි වන්නේ එම ආත්මීයත්වය යි. රොන්සියර් ආත්මීයකරණයන්ට ලක්වීම ලෙස අදහසක් කරන්නේ තමා ජීවත්වන සන්දර්භයට අනුව තමා තමා ව හඳුනාගත් පසු තමා හා අනෙකන් – පරිබාහිරත්වය – සමඟ පැවතුණු සම්බන්ධතාව යළි සකස් වීමට පටන් ගැනීමයි. එයත් සමඟ නැවුම් ව අපූර්වත්වයකින් යුතුව අභිමුඛ වීම දේශපාලනය නැති නම් ආත්මීයකරණයට ලක් වීමකි. එකල 1940 දශකයේ සිරිසේන විමලවීර සමඟ නාට්‍ය පුහුණුවීම් සඳහා පැමිණි කම්කරුවන් සැබෑ දේශපාලන ආත්ම බවට නාට්‍ය විසින් අර්ථ කථනය කරයි. එමඟින් අපට මඟහැරුණු ඓතිහාසික රැඩිකල් වාමාංශික නැඹුරුවක් නිරාවරණය කරයි. ඒ තුළ නාට්‍යයේ මුඛ්‍ය තේමාවක් වන කලා සන්දර්භ තුළ හා වාමාංශික සන්දර්භය තුළ ජාතිය අතික්‍රමණය කරන සමාජ නවීනත්වය අපට මුණගස්වයි. 1956 ට ප්‍රථම නෛසර්ගිකව සංවිධානය වී තිබූ කම්කරු පංතියේ සාමූහිකත්වය ජාතිය පිළිබඳ අදහසට විතැන් වීමක් කිසිලෙසකින් හෝ අපේක්ෂා කර නොතිබූ බව ඉන් අනාවරණය කරයි. අවසානයේ එක්තරා අර්ථයකින් වර්තමානයේ සිට බලන විට මීළඟ යහපත් දේශපාලන අරගලය දිශානත විය යුත්තේ කෙළෙසඳ යන්න නාට්‍ය විසින් අපට යෝජනා කරයි. එහි පොළව වන්නේ කලාවයි.

            මෙහිදී අපට මුණ ගැසෙන විරෝධාභාෂයක් වන්නේ මෙම නාට්‍යය ආකෘතිමය වශයෙන් මුණ ගැසෙන්නේ බොහෝ දුරට පශ්චාත් නූතන මොඩලයිනි. පශ්චාත් නූතනත්වය යනු ධනවාදයේ නවීනත්වය මෙන්ම එහි නෛසර්ගික ක්‍රෑර ස්භාවය ඉස්මතු කරනා සමකාලීන ආකෘතිය යි. නමුත් එම නවීනත්වය නාට්‍යකරුවා යොදා ගන්නේ, එම නවීනත්වය උත්පාද කළ සමාජ දේශපාලන පසුබිම අර්ථ කථනය කිරීමටයි. අද දවසේ වාමාංශික දේශපාලනයට අවශ්‍ය වන්නේ මෙම සන්දර්භයේ ම සිටිමින් එම නොඑකඟතාවයන්, සමාජ සම්බන්ධතාවල පරස්පරතාවයන් – වෙනස – නඩත්තු කරමින් ඒ තුළින් පොදු දේශපාලන ආත්මයක් නිර්මාණය කිරීමයි.

         විශ්වවිද්‍යාල නිෂ්පාදනයක් ලෙස රාසම්මා ඩැනියල් මෙහිලා වැදගත් වන මූලික කරුණක් වන්නේ වාමාංශික අදහස අද දවසේ කලා කෘතියක් තුළින් කතා බහට ලක් කිරීමට හැකි වීමයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සමාජ ක්‍රියාකාරීන්ට තිබූ මූලික ගැටලුවක් වූයේ ඊළඟට පැමිණෙන සමාජය කොයි ආකාරයක් වේද යන්නයි. නැතහොත් එය අප කුමන ආකාරයක අරගලයක් තුළින් නිර්මාණය කළ යුතුද යන්නයි. නමුත් අවාසනාවකට ධනවාදයේ අභ්‍යන්තර වර්ධනයක් තුළින් ගොඩ නැගෙන පශ්චාත් නූතන තත්ත්වයන් – සංස්කෘතිය තුළට ප්‍රාග්ධන තර්කණය ඇතුළු වීම – විසින් ධනවාදයට ස්භාවිකත්වයක් ආරෝපණය කෙරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අනාගත සමාජ ව්‍යුහය කොයි ආකාරයද යන්න පරිකල්පනය කරනවාට වඩා ලෝක විනාශය සිදු වන ආකාරය පරිකල්පනය කර ගැනීම වඩා පහසු වන සමාජයක් බිහි විය. එහි තවත් විවිධ ප්‍රකාශමාන වීම් වූයේ කලාව තුළ විවිධ මනෝ සංකූලතා, ස්වයං පුද්ගල හැසිරීම්, ස්ත්‍රීවාදය, විද්‍යා ප්‍රබන්ද, වර්ගවාදය, මානව අයිතිවාසිකම් ආදී නොයෙක් සමාජ දේශපාලන අදහස් සමඟ ඍජුව අභිමුඛ වන සංවාද පමණක් ඉතිරි වීමයි. එවැනි සන්දර්භයක – මොහොතක – වාමාංශික දේශපාලනය පිළිබඳ ප්‍රශ්නය මෙරට ජාතික ගැටලුව සමඟ පර්යාය ව විදාරණය කරන කථා සන්දර්භයක් ගොඩ නැංවීම විශිෂ්ට උත්සාහයකි.

       සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල නිර්මාණය කළ අනෙක් නාට්‍යවලට වඩා මෙම නාට්‍යයේ සුවිශේෂීත්වය වන්නේ මෙම නාට්‍ය විවිධ තලවල ප්‍රේක්ෂකයින්ට ඇතුළුවිය හැකි දොරටුවක් විවෘත කරන බැවිනි. මෙරට වැඩි පිරිසකගේ ජනාදරයට පත් චරිත, ගීත හා හැසිරීම් මෙන්ම සාමාන්‍ය බස්වහර හා වේදිකාව ආකෘතිය භාවිතා කරමින් වාමාංශික දේශපාලන කථිකාව පිළිබඳ ඥානනය කළ හැකි විශිෂ්ට ආඛ්‍යායනයක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකි වී තිබේ. අද දවසේ නාට්‍යකරුවාගේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද යන්න එක්තරා අර්ථයකින් මින් ඉඟිකරයි. කියවීම අතුරුදහන් වූ සමාජයක, රූපවාහිනිය විසින් නිර්මාණය කර ලද ළමා පරපුරක් සිටින රටකට, අධ්‍යාපනය තුළ ගවේෂණය හා පර්යේෂණය විතැන් වී ඇති මොහොතක මෙන්ම විශ්මයජනක නොදැනුමක් සහිත තරුණ පුරපුරක් වෙසෙනා සමාජ සන්දර්භයකට ආමන්ත්‍රණය කළ හැකි වඩා ශක්‍යතා සම්පන්න මාඳලියක් බව මෙම නාට්‍ය යෝජනා කිරීම වඩා සාධාරණ වනු ඇත.

        රාසම්මා ඩැනියල් නාට්‍ය තුළ විවිධ ආනුශාංගික අංගවල අඩුපාඩු, යම් මොහොතක අංක අතර පවතින දැරිය නොහැකි හිස්බව, වේදිකා පෞරෂයන් ප්‍රබල සන්නිවේදනයක් දක්වා ගොඩනැගී නොතිබීම, පුනරුච්චාරණය, නළු සංරචනයේ අඩුපාඩු තිබියදී ඉහත සඳහන් කළ මැදිහත්වීම් තුළ ඔවුන් ගොඩ නඟන අපූර්වත්වය ඉදිරියෙන් පවතියි. තවත් ආකාරයකට කියන්නේ නම් රාසම්මා ඩැනියල් වෙත විශිෂ්ටත්වයක් ආරෝපණය කිරීමට අප ගෙවිය යුත්තේ ඉතා ම සුළු වන්දියක් පමණි. අවසාන වශයෙන් තමන් ජීවත් වන සමාජය වඩා යහපත් සමාජයක් බවට පරිවර්තනය කිරීමට අරගල කරනා දේශපාලන පැවැත්මවල් සත්‍ය පිළිබඳ දේශපාලන ආත්මීයකරණයකට ලක්වීමට රාසම්මා ඩැනියල් නාට්‍ය නැරඹීම වඩා වැදගත් වනු ඇත. තවත් ආකාරයකට කියන්නේ නම් සමකාලීනත්වය තුළ විප්ලවය යළි කියවීමට අවශ්‍ය පසුබිම රාසම්මා ඩැනියල් තුළින් නිර්මාණය කරයි.

රංග මනුප්‍රිය

 

 

 

***