chiharu_shiota_uncertain_journey_berlin_ignant_clemens_poloczek-101

මෙයට දශක දෙකකට පමණ පෙර ‘The Sunday Times’ පුවත්පතේ පළ වූ ලිපියක් හේතුකොටගෙන පුවත්පතේ කතුවරයා වූ සිංහ රත්ණතුංග ට එරෙහිව නඩුවක් පැවරිණි. නඩුව පැවරුනේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ට අපහාසාත්මක ලිපියක් පළ කිරීම පිළිබඳව චෝදනාවක් යටතේය.

සතියේ දේශපාලන ඕපදූප පළ වන ලිපියේ කොටසක් ලෙස පළ වූ මෙම සටහනේ සඳහන් වූයේ හිටපු ජනාධිපතිනිය සහභාගී වූ සාදයක් පිළිබඳවයි. සාදය පැවැත්වෙන්නේ ඇයගේ ඥාති සොහොයුරෙකු මෙන්ම එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වූ අසිත පෙරේරා ට අයත් වූ ඔබෙරෝයි හෝටලයේ පුද්ගලික කාමරයකදීය. වාර්තාවට අනුව චන්ද්‍රිකා ජනාධිපතිනිය මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ – හොර රහසේ, හෝටල් කාමරයේ පසුපස පිවිසුමින් – එයට සහභාගී වී තිබෙන අතර අළුයම දෙක පමණ වන තුරු එහි ගත කර තිබේ. අපහාස කිරීමේ චෝදනාවට වඩාත් වැදගත් වන්නේ මේ කාලය ඇය ගත කර තිබෙනා ආකාරය පුවත්පත විසින් වාර්තා කර තිබූ ආකාරයයි. විශේෂයෙන් මෙහිදී යොදාගෙන තිබෙනා අලංකාරික පිළිබඳව බොහෝ අවධානයක් යොමු විය. නිදර්ශනයක් ලෙස හිටපු ජනාධිපතිනිය එහි ගත කර තිබෙනවා කියා පැවසෙන විනාඩි 90 ක කාලය හඳුන්වා දී තිබුනේ ‘in the heat of the silent night’ [‘නිහඬ රාත්‍රියේ උණුසුම මැද’] යනුවෙනි. ඉන් පසුව, වාර්තාවේ සටහන් වූ ආකාරයට, ඇය ආහාරයට ගෙන තිබුනේ ‘හිල්ටන් හෝටලයේ ආහාරනම් නොවේ’. මෙය තරමක් ව්‍යාකූල අදහසක් බව පැහැදිළි වේ. ඔබෙරෝයි හෝටලයේ සිටිමින් කෙනෙක් හිල්ටන් හෝටලයේ ආහාර නොගෙන සිටි බව සපත කර සිටින්නේ කෙසේද? වාර්තාකරු එය සටහන් කර තිබූ ශෛලිය අනුව – ‘as for what she ate, we assure you: it was not food from the Hilton’ [‘ඇය ගත් ආහාර සම්බන්ධයෙන් අපට කියන්නට ඇත්තේ මෙයයි. අපි සහතික වෙලා කියන්නම්: ඒ හිල්ටන් හෝටලයේ ආහාරනම් නොවේ’] – මෙය ඉතාම ව්‍යාකූල වේ. මෙතරම් සහතික වී හිල්ටන් හෝටලයේ ආහාර නොගත් බව පෙන්වා දිය යුත්තේ ඇයි? මෙයට පිළිතුරක් සඳහා එක් හෝඩුවාවක් වාර්තාවේ මීළඟ – තීරණාත්මක – ප්‍රකාශය තුළ හමු වේ. ඒ තමයි හිටපු ජනාධිපතිනියගේ ‘එපිකියුරියානු රුචිකත්වය’ පිළිබඳව කියවන්නන් සඳහා තිබෙනවා කියා ලේඛකයා උපකල්පනය කරන දැනුම [‘The reading public now has a fair idea of it’s first citizen’s epicurean taste’]. එයට අනුව ඇයට තිබෙන්නේ එපිකියුරියානු රුචිකත්වයක් වන අතර එය මේ වන විට සියලු දෙනා අතර ජනප්‍රිය පොදු දැනුමකි.

අප වඩාත් උනන්දු වන කරුණ වෙත අපට දැන් පිවිසිය හැකිය: ‘එපිකියුරියානු රුචිකත්වය’ යනු කුමක්ද? මෙය මූලික වශයෙන් පදනම් වන්නේ එපිකියුරස් නම් ග්‍රීක චින්තකයා පිළිබඳව ඇති ජනප්‍රිය අර්ථයක් තුළයි. එයට අනුව එපිකියුරියස් යනු ජීවිතයේ අසීමිත සැප විඳීම වෙනුවෙන් පෙනී සිටි දාර්ශනයෙකි. විශේෂයෙන් මෙහිදී වැදගත් වන්නේ සංවේදනාත්මක සැප විඳීමයි – එනම් අපගේ ඉන්ද්‍රීය සන්තර්ප කරමින් ලබනා සතුටයි. එම අර්ථයෙන් අපේ සතුට අර්ථ ගැන්වූ විට සිහියට නැගෙනා මූලික ප්‍රහර්ෂයන් දෙකක් තිබේ. ඒ තමයි ප්‍රණීත ආහාරපාන හරහා ලබන සතුට සහ ලිංගිකත්වයේ සතුට. දැන්, ඉහත වාර්තාව විසින් අපට කියා සිටින්නේ, චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ‘එපිකියුරියානු රුචිකත්වය’ අප හොඳින් දන්නා බවයි. නමුත්, අනෙක් අතට, ඇය ආහාර වශයෙන් ගෙන ඇත්තේ හිල්ටන් හෝටලයේ ආහාරනම් නොවන බව වාර්තාකරු අපට මේ වනවිටත් කියා තිබේ. මෙයින් අදහස් කරන්නේ ඇය ඔබෙරෝයි හෝටලයේ ආහාර ගත් බවද? ඔබෙරෝයි හෝටලයේ පැවැත්වෙන සාදයකදී ඇය හිල්ටන් හෝටලයේ ආහාර නොගත් බව අපට සපත කර සිටින්නේ ඇයි? මේ හරහා වාර්තාකරු යෝජනා කරන්නේ ඇය ආහාර නොගෙන ඇති බව කියා කෙනෙක් ට උපකල්පනය කිරීමට හැකි වන්නේ එම නිසාය. තතු එසේනම් ඇයගේ ‘එපිකියුරියානු රුචිකත්වය’ මගින් ගම්‍ය වන්නේ ලිංගිකත්වයේ සතුටක් පිළිබඳව කියා නිගමනය කිරීමේ නිදහසක් තිබේ. එය අනිවාර්ය සහ එකම නිගමනය නොවනා බව සත්‍යයකි. නමුත් මේ හරහා අපට එවැනි නිගමනයක් වෙත පැමිණීමටද හැකියාවක් ඇති බව ප්‍රතික්ෂේප කිරීම ඉතාම අපහසු වේ. විශේෂයෙන් ‘නිහඬ රාත්‍රියේ උණුසුම තුළ’, ‘එපිකියුරියානු රුචිකත්වයක්’ ඇති අපේ ජනාධිපතිනිය විඳි සතුට කුමක්ද කියා අපට පහසුවෙන් සිතා ගත හැකි බව පැහැදිළි වේ.

පසුව හෙළිදරව් වූ කරුණු අනුව මෙම පුවත මුළුමනින්ම අසත්‍යයක් වූ අතර චන්ද්‍රිකා ජනාධිපතිනිය එවැනි සාදයකට සහභාගී වී නොමැත. සාපරාධි අපහාස නීතිය යටතේ The Sunday Times පුවත්පතේ කතුවරයාට එරෙහිව නඩුව ආරම්භ වන්නේ මේ අනුවයි. අවසානයේදී සිංහ රත්ණතුංග වැරදිකරු කරමින් ඔහුට අත්හිටවූ සිර දඬුවම් නියම වූ අතර දීර්ඝ අභියාචනා දෙකක් හරහා මෙම දඬුවම ඉවත් කරගැනීමට හැකිවූයේ උක්ත පුවත පිළිබඳව කණගාටුව පළ කිරීමේ නිවේදනයක් පුවත් පතේ පළ කිරීමත් සමගිනි. මෙම ජනප්‍රිය නඩුවේ දෘෂ්ඨි කෝණයෙන් අප එතැන් සිට ලාංකික දේශපාලන ඉතිහාසය විශේල්ෂණ කළහොත් අපට කිව හැකි වන්නේ කුමක්ද?

සාපාරාධි අපහාස නීතිය පිළිබඳව සහ එහි හානිකර ප්‍රතිවිඵාක පිළිබඳව විශාල සංවාදයක් ඇති වූ අතර 2002 වසරේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හරහා එම නීතිය පාර්ලිමේන්තුවේ පූර්ණ අනුමැතිය යටතේ ඉවත් කර ගැනීමට හැකි විය. මාධ්‍ය නිදහස පිළිබඳව සංවාදය දේශපාලන කතිකාවේ කේන්ද්‍රයට පැමිණියේය. නමුත් ඉන් පසුව හදිසියේම ඇති වූ නව කරුණු දෙකක් නිසා මෙම සංවාදය මුළුමනින් පාහේ අර්ථ විරහිත විය. පළමු කරුණ වූයේ රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් යුද්ධය ආරම්භ කිරීම සහ ඒ හරහා රාජ්‍ය මර්ධනය යන්න ‘සාපරාධී අපහාස නීතිය’ පිළිබඳව ප්‍රශ්නයක් නොව එයට වඩා බොහෝ ඍජු, සැබෑ, බිහිසුණු ප්‍රශ්නයක් බවට පත්වීමයි. දෙවෙනි සාධකය වන්නේ සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය සමග ඇති වූ නව යථාර්ථය තුළ අපහාස කිරීම සහ ඒවා පාලනය කිරීම ඉතාම අපහසු දෙයක් බවට පත්වීමයි. ‘ෆේස්බුක්’, ‘ට්විටර්’ වැනි මාධ්‍ය හරහා ඕනෑම කෙනෙක්ට මත පළ කිරීමට නිදහස ලැබී ඇති අතර ඒවා පිළිබඳව ගුණාත්මක වර්ගීකරණයක් සිදු කිරීමේ යාන්ත්‍රණයක් තවදුරටත් පවතින්නේ නොමැත. නිදහස් මාධ්‍ය තුළ එකිනෙකා සමග සංකල්ප, ප්‍රවාද සහ තර්ක වලින් ගැටීම වෙනුවට සමාජ මාධ්‍ය තුළ එකිනෙකාට නිදහසේ අපහාස කර ගැනීමේ අවස්ථාවක් සියලු දෙනාට හිමිව තිබේ.

මේ සමස්ත කතාන්දරය තුළ සියලුම දෙනාට පාහේ අමතකව ගිය කරුණ වූයේ ඉහත ‘එපිකියුරියානු රුචිකත්වය’ පිළිබඳව ප්‍රශ්නයයි. විශේෂයෙන් මෙහිදී වැදගත් වන්නේ අප මෙහිදී එපිකියුරියානු දර්ශනය පිළිබඳව තිබෙනා අර්ථකථනය බාර ගැනීමට සූදානම් වූ ආකාරයයි. එපිකියුරියස් නම් ග්‍රීක මිනිසා පිළිබඳව තිබෙනා පොදු අර්ථය නිවැරදි වන්නේ ද? එපිකියුරියානු දර්ශනය යනු හැකිතාක් කා බී රමණය කරන ලෙස ඉල්ලා සිටින ‘දර්ශනයක්’ ද? මෙවැනි ‘දර්ශනයක්’ යුක්ති යුක්ත කරන්නේ කෙසේද?

සත්‍ය කරුණ වන්නේ එපිකියුරස් පිළිබඳව ඉතාම කුඩා මට්ටමේ අවබෝධයක් තිබෙනා කෙනෙක් වුවත් මෙම විවාදයේ සියලු පාර්ශව මගින් කර තිබෙන වැරැද්ද ඉක්මනින් හඳුනා ගත යුතු බවයි. එපිකියුරස් ගේ ‘දර්ශනය’ වූයේ අසීමාන්තික ලෙස කා බී රමණය කරන්න යන්න නොව ඒවා හැකිතාක් සීමා කරන්න යන්නයි! මෙම ජනප්‍රිය වැරදි අර්ථකථනය සඳහා ඔහුගේ දර්ශනය – ආරම්භයේ සිටම – ගොදුරු වීමට සරල හේතුවක් තිබේ. ඒ තමයි දර්ශනයේ අරමුණ වන්නේ මිනිසාගේ ජීවිතයට සතුට රැගෙන ඒමයි යන එපිකියුරියානු ප්‍රස්තූතය. ජීවිතයේ අර්ථය වන්නේ සතුටු වීමනම්, කා බී රමණය කිරීම හැර වෙනත් අරමුණක් එයට තිබිය හැකිද? මෙයට එපිකියුරස් ගේ පිළිතුර ‘ඔව්’ යන්නයි. ඔව් ජීවිතයේ සතුට ලබා ගන්නනම් ඔබ කළ යුත්තේ ඒවා පසුපස යාම නොව සතුට, වේදනාව, ජීවිතය, මරණය ආදිය පිළිබඳව තාර්කිකව සිතා බැලීමයි. අසීමිත ලෙස දේවල් පරිහරණය කිරීමට උත්සාහ කිරීමෙන් අපට අසහනය ඇති වන බවත්, අනෙක් අතට, සතුටු වන්නේ කුමක් සමග වුවත් එහි ගුණාත්මක අගය සමාන වන බවත් එවිට ඔබට වැටහෙනු ඇත. එම නිසා ජීවිතයේ සතුට සොයා ගැනීම සඳහා කළ යුතු වන්නේ සතුට සහ අසතුට උත්පාද කරනා මූලයන් පිළිබඳව තාර්කිකව විමසා බැලීමයි. එපිකියුරියානු දර්ශනය, දර්ශනයක් වන්නේ මෙම අර්ථයෙන් මිස ‘නැව ගිලුනත් බෑන් චූන්’ කියා ප්‍රකාශ කළ නිසා නොවේ.

සත්‍ය වශයෙන්ම, පොදුවේ ගත්විට, දර්ශනය යනුම ජීවිතයේ සතුට ගෙන දීමේ තාර්කික උත්සාහය කියා අපට කිව හැකිය. ඓතිහාසිකව දර්ශනවාදයන් නිර්මාණය වෙලා නැති මේ රටේ මේ සරල කරුණ මග හැරී යාම පුදුමයක් නොවේ. එම නිසා ඓතිහාසිකව අමතක වී ගිය එපිකියුරියානු දර්ශනය පිළිබඳව සාකච්ඡාව – දශක දෙකක ප්‍රමාදයකින් පසුව – ගෙන ඒමට අපි සූදානමින් සිටිමු. මේ සඳහා එපිකියුරියස් ගේ ‘Letter to Menoeceus’ ලිපියේ සිංහල පරිවර්තනය නුදුරු දිනකදී මෙහි පළ වනු ඇත.

සමාජ විප්ලවයේ මීළඟ ස්වභාවය නිශ්චිත වශයෙන්ම කුමක්දැයි කියා කිව හැකි අය සිටිනවාද කියා අපි නොදනිමු. නමුත් ‘The Sunday Times’ වැනි ලාංකික දැනුමේ සීමාව සංඛේතාත්මකව නියෝජන කරනා පුවත්පතක් විසින්, එපිකියුරියස් පිළිබඳව මෙම වැරදි අර්ථකථනය අනුව යමින්, දේශපාලන නායකත්වයට ‘එපිකියුරියානුවන්’ කියා අපහාස කරන විට, “අනේ බන් උඹලයි අපියි දන්න එපිකියුරස් – මේ නොදන්න මගුල් නොකිය ඉඳපන්” කියා පෙරළා කිව හැකි දේශපාලන නායකත්වයක් ඇති කළ හැකිනම්, නව සමාජයේ ශක්තිමත් සලකුණක් ලෙස එය හඳුනා ගත හැකි වනු ඇත.

අප දර්ශනය කරන්නේ එය වෙනුවෙනි. නැතිනම්, The Sunday Times ඒකට නොවැටහෙන ලෙස කියන්නේනම්, අප දර්ශනය කරන්නේ ජීවිතයේ සතුට වෙනුවෙනි.

 

 

 

***