45617377_2227337324259013_893362543416836096_n

ආගමිකයින් සහ නිරාගමිකයින් අතර විශාල සංවාදයක් ආරම්භ වී ඇත. මුහුණු පොතෙහි මෙම සංවාද උදෙසාම සමූහ පවා නිර්මාණය වී ඇත. සංවාදයක් ඇති වීම ඉතා හොඳ තත්ත්වයක් වන අතර අවාසනාවකට මෙන් මෙම සංවාද බොහෝමයක් පෞද්ගලික අපහාස සහ අසභ්‍ය වචන හුවමාරු මැද අවසන් වේ. ඕනෑම පුද්ගලයෙකුට ආගමක් ඇදහීමට මෙන්ම නොඅදහා සිටීමට ද නිදහසක් තිබිය යුතු ය. ආගම යනු පෞද්ගලික කැමැත්තක් විය යුතු ය. එකම ආගමක් අදහන පුද්ගලයන් දෙදෙනෙකු වුවද ආගමෙහි ඉගැන්වෙන හරයයන් පිළිබඳව වෙනස් අදහස් දැරිය හැක. නමුත් සැබැවින් ම ආගම යනු පුද්ගලික කැමැත්ත මත සිදුකෙරෙන තෝරාගැනීමක් නොව උපතේ දී ම  අප මත බලයෙන් පටවන ලද්දකි. බොහෝවිට අපගේ මුළු ජීවිත කාලයම හැඩගැසෙන්නේ උපතේදී ලද ආගමට අනුව ය. අපගේ සියලුම ඇදහිලි, විශ්වාසයන් තීරණය වන්නේ උපතේදී අපට හිමිවන ආගමට අනුව ය. එබැවින් ආගම දේශපාලනික ය. අපගේ කෑම බීම, ඇඳුම් පැළඳුම් වල සිට රටක පාලනය කරන පුද්ගලයා තෝරාගැනීම දක්වාම ආගමෙහි බලය ව්‍යාප්ත වී ඇත. අපගේ නිදහස පිළිබඳ තීරණ ගැනීමට ද ආගමට හැකියාව ඇත. අප පුදුම විය යුතු කාරණය වන්නේ, මේ සියල්ල සිදු වන්නේ ආගම් අදහන්නන්ගේ කිසිදු ප්‍රතිරෝධයකින් තොර ව වීමයි. රටක දියුණුව, පරිහාණිය තීරණය කිරීම මෙන්ම මහා ජන සංහාර නිර්මාණය කිරීමට ද ආගමට හැකි ය. ආගම සතු මෙම අද්විතීය හැකියාව කුමක්ද? අප ආගම ප්‍රශ්න කළ යුත්තේ එබැවිනි. නිරාගමිකයින් සහ ආගමිකයින් අතර ඇතිවී තිබෙන සංවාදය එයට ඉතා හොඳ අවකාශයකි. වැදගත් වන්නේ දිනුම පැරදුම නොව සංවාද කිරීමයි.

පළමුව අපි මිනිසුන්ට ආගමක් අවශ්‍ය වන්නේ ඇයිද යන ප්‍රශ්නය සළකා බලමු. ස්වභාවයෙන්ම මිනිසාට ලෝකය පිළිබඳව ඇත්තේ නොදන්නා බවකි. පැවැත්ම පිළිබඳව මිනිසා තුළ නිසඟ ගැටළුවක් තිබේ. මිනිසා ලෝකය පිළිබඳව දන්නා දේ හෙවත් දැනුම යනු මිනිසාගේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂ දෙයකි. ඉන්ද්‍රියයන් මගින් මිනිසා අත්දකින ලෝකය පිළිබඳ දැනුම සැක සහිත ය. එමෙන්ම ඉන්ද්‍රියයන් හරහා දැනුම ලබාගත හැක්කේ ලෝකයේ එක්තරා සීමාවක් තුළ පමණි. එම නිසා මිනිසාට ලෝකය, ලෝකය පවතින ආකාරයෙන්ම නොහොත්, සද්භාවවේදී ව අත්දැකිය නොහැක. මිනිසාට ලෝකය ප්‍රශ්නකාරී දෙයක් වන්නේ මේ නිසාය. නමුත් මිනිසා මෙම ප්‍රශ්නකාරී බව අමතක කර, දැනුම තුළ ගොඩනගා ගත්, විවිධ අරමුණු වෙත දිශානත වූ ජීවිතයක් ගත කරයි. අප ‘ජීවිතය’ ලෙස හඳුනාගන්නේ මෙම  කලාපයයි. මෙම ප්‍රශ්නකාරී බවෙන් වඩාත් දුරස් වූ විට අපට හොඳ ජීවිතයක් ගත කල හැකි වන අතර, ප්‍රශ්නකාරී බවට ආසන්න වත්ම ජීවිත් වීම අපහසු වේ. උදාහරණයක් ලෙස, මරණය ගත හැක. මරණය යනු ලෝකය තුල සිදුවන එක්තරා සංසිද්ධියකි.  මරණයෙන් පසු සිදුවන දෙය පිළිබඳ මිනිසාට අදහසක් නැත. එම නිසා මරණය යනු මිනිසාට ප්‍රශ්නකාරී දෙයකි.  එම ප්‍රශ්නකාරී බව මිනිසාට ඇතිකරන්නේ ආතතියකි. ලෝකය පිළිබඳ ප්‍රශ්නකාරී බවෙන් ඈත් වීමට නම් සතුට අවශ්‍ය වේ. සතුට යනු දැනුම තුළ ගොඩනගාගත් ලෝකයක් තුළ සුරක්ෂිත වීම ය. අප කරන ඕනෑම දෙයක් දිශානත වී ඇත්තේ සතුට වෙතයි. (මිනිසා සහ සතුට පිළිබඳව මීට පෙර ලිපියකින් විස්තර කර ඇත.) සතුටත්, ලෝකය (පැවැත්ම) පිළිබඳ ප්‍රශ්නකාරී බවත් අනුලෝමව සමානුපාතික වේ. නමුත් ජීවිතයේ සතුට සෑමවිටම ඒකාකාරී ලෙස පවත්වාගැනීමට නොහැක. එසේ වන්නේ ලෝකය යනු නිරන්තරයෙන් වෙනස් වන, මිනිසාගේ පාලනයෙන් ස්වායත්ත දෙයක් නිසා ය. ලෝකයේ වෙනස් වීම් නිසා මිනිසාගේ ජීවිතයේ සතුට බිඳ වැටේ. මෙවිට දැනුම තුළ ගොඩනගා ගත් ලෝකය පිළිබඳ නොදන්නා කලාපය මිනිසාට නිරාවරණය වේ.  මෙම කලාපය ගවේශණය කිරීමට හෝ එම කලාපයෙන් වහාම ඉවත් වීමට මිනිසාට අවශ්‍ය වන්නේ මේ මොහොතේ දී ය. ජීවිත කාලය පුරාවටම වරින් වර මෙම නොදන්නා කලාපය නිරාවරණය වන බැවින් එය පිළිබඳ ගවේශණයට මිනිසා පෙළඹේ.

මිනිසා දැනුම තුළ ගොඩනගාගත් ලෝකය ඉතාමත් කුඩා ය. එයට එපිටින් ඇත්තේ ඝන මීදුමකින් වැසී ගියාක් මෙන් වූ නොදන්නා කලාපය යි. මෙම කලාපය ගවේශණය කිරීමට මිනිසා යොදාගන්නේ ආගම, දර්ශනය සහ විද්‍යාවයි. විද්‍යාව සහ දර්ශනය තුළ මෙම නොදන්නා කලාපය පිළිබඳ නිශ්චිත පිළිතුරු නැත. (විද්‍යාව සහ දර්ශනය මෙම කලාපය ගවේශණය කරන්නේ දෙආකාරයකට ය. එය වෙනම සංවාදයකි.) නමුත් ආගම තුළ එයට නිශ්චිත පිළිතුරු ඇත. විවිධ ආගම් තුළ විවිධාකාර පිළිතුරු තිබුණත් ඒ ඒ ආගමට අනුව ඒ ඒ පිළිතුර නිශ්චිත ය. එම පිළිතුරු තවදුරටත් ප්‍රශ්න කිරීමක් හෝ තර්ක කිරීමක් ආගම් තුල නැත. කළ හැක්කේ ඒවා කෙරෙහි ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් විශ්වාස කිරීම පමණි. මිනිසාට අවශ්‍ය වන්නේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නකාරී නොවූ ජීවිතයක් බැවින්, පැවැත්ම පිළිබඳ අවිනිශ්චිත පිළිතුරු ලබාදෙන විද්‍යාව සහ දර්ශනයට වඩා, නිශ්චිත පිළිතුරු ලබාදෙන ආගම තෝරා ගැනීමට මිනිසා පෙළඹේ. ඉන් පසු එම පිළිතුරු පරම සත්‍යය බව ආගම් අදහන්නන් විශ්වාස කරයි. එවිට ජීවිතය ඉතා පහසු ය. මිනිසා ආගමට නැඹුරු වීමේ පදනම එයයි. විද්‍යාව හා දර්ශනය බිහිවීමට පෙර ආගම බිහිවන්නේ ද මේ නිසා ය.  අප කුඩා කල සිට ම හුරු කරන්නේ සතුට ඉලක්ක කරගත් ජීවිතයකි. එම නිසා කුඩා කල දී ම ආගමික සංකල්ප ඉතා පහසුවෙන් මනසට කා වදී. විශේෂයෙන්ම පවුලෙන්, පාසලෙන් සහ ආගමික ආයතන වලින් මෙම සංකල්ප අපගේ ජීවිතයට එකතු වේ. පසුව එම සංකල්ප වෙනස් කිරීම හෝ ඉවත් කිරීම ඉතාම අපහසු ය. මෙම සංවාදයේදී අප පළමුවෙන්ම ආගම සම්බන්ධ මෙම පසුබිම අවබෝධ කරගත යුතු ය.

ඕනෑම ආගමක ප්‍රධාන කොටස් දෙකක් ඇත. පළමුවැන්න ආගමක ඉගැන්වෙන නිරපේක්ෂ පරම සත්‍යයයි. එය මිනිසා ජීවත් වන ලෝකය තුළ අත්දැකීමට නොහැකි දෙයකි. එබැවින් නිරපේක්ෂ ය. ආගමෙහි හරය මෙයයි. (උදා : දෙවියන්, නිවන, ස්වර්ගය, පුනර්භවය ආදිය ) දෙවැනි කොටස වන්නේ මෙම නිරපේක්ෂ සත්‍ය හරය වටා ගොඩනැගුණු සමාජ සදාචාර පද්ධතියකි. ආගම් වල ඉගැන්වීමට අනුව ආගමේ හරය වෙත ගමන් කළ හැක්කේ ඒ ඒ ආගම තුළ ඉගැන්වෙන සදාචාර පද්ධතියට අනුකූල ව ගමන් කිරීමෙනි. මෙම සදාචාර පද්ධතිය ගොඩනැගෙන්නේ ඒ ඒ ආගම බිහි වූ කාලයට සහ ප්‍රදේශයට සාපේක්ෂ ව ය. බොහෝවිට එය ගොඩනැගෙන්නේ එම ආගම බිහි වූ සමකාලීන සමාජයේ අවශ්‍යතාවයන්ට අනුව ය. ආගම තුළ වූ සියලුම සිරිත් විරිත් සහ ඇදහිලි ක්‍රම ආදිය නිර්මාණය වන්නේද ඒ අනුව ය. කාලයත් සමඟ තාක්ෂණයේ දියුණුව හරහා සමාජය වෙනස් වන විට එම අවශ්‍යතාවයන් ද වෙනස් වේ. නමුත් ආගමේ හරය හා බැඳී ඇති සදාචාර පද්ධතිය වෙනස් නොවේ. එසේ වන්නේ ආගම තුළ වූ පරම සත්‍යයට ලඟා විය හැක්කේ එම සදාචාර පද්ධතිය තුළින් ම පමණක් බව එම ආගම අදහන්නන් දැඩිව විශ්වාස කරන බැවිනි. මේ නිසා ආගම සමාජයේ දියුණුවට මෙන්ම පුද්ගල නිදහසට ද ප්‍රතිරෝධී වේ. යම් පුද්ගලයෙකු අදහන ආගමෙහි නිරපේක්ෂ සත්‍ය පිළිබඳව එම පුද්ගලයා දරණ අදහස කුමක් වුවත් එම පුද්ගලයා ජීවත් විය යුත්තේ තමන් අදහන ආගමෙහි ඉගැන්වෙන සදාචාර පද්ධතියට අනුකූලව ය. එසේ වන්නේ එය ගොඩනැගී ඇත්තේ යම් ආගමක් අදහන සාමූහිකයකට සාපේක්ෂව නිසා ය. එය දේශපාලනික ය. යම් පුද්ගලයෙක් හෝ වෙනත් ආගමක් එම සදාචාර පද්ධතිය (හෝ පරම සත්‍යය) ප්‍රශ්න කරයි නම් හෝ විවේචනය කරයි නම් එම ආගම අදහන සාමූහිකයෙන් එම පුද්ගලයාට හෝ අන්‍ය ආගමට එල්ල වන්නේ දැඩි ප්‍රතිරෝධයකි. ආගම පුද්ගලික නිදහසට බාධාවක් වන්නේ මේ ආකාරයට ය. එමෙන්ම ආගම් නිසා ඇතිවන ගැටුම් වල මූලය වන්නේ ද මෙයයි. මේ සියල්ල සළකා බැලූ විට අපට පෙනී යා යුත්තේ ආගම සම්බන්ධ සියල්ල රඳා පවතින්නේ ආගම කෙරෙහි ආගමිකයා තුළ පවතින භක්තිය මත බව යි. අදහන ආගම කෙරෙහි ආගමිකයාගේ භක්තිය කොන්දේසි විරහිත ය. ඒ ඔවුන් එය පරම සත්‍යයක් බව විශ්වාස කරන බැවිනි. ඒ වෙනුවෙන් ඔවුන් තම ජීවිතය පවා දෙවෙනි කිරීමට සූදානම් ය. නිරාගමිකයන් හෝ වෙනත් ආගමක් මඟින් තමා අදහන ආගම අභියෝගයට ලක්වන විට සැබැවින්ම සිදුවන්නේ ලෝකයේ නොදන්නා කලාපය පිළිබඳ ආගම විසින් මවා ඇති චිත්‍රය බිඳ වැටීමයි. එවිට සිදුවන්නේ ලෝකය පිළිබඳ නොදන්නා බව නිසා ඇතිවන කාංසාමය ආතතියට නිරාවරණය වීමයි.

ආගමිකයන් සහ නිරාගමිකයන් අතර සංවාදයේදී සදාචාරය සම්බන්ධයෙන් ආගමිකයන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කයක් වන්නේ සමාජයේ සාරධර්ම සහ සදාචාරය රඳා පවතින්නේ ආගම නිසා බව ය. සැබැවින්ම ආගම නිසා සමාජයේ සදාචාරය යම්තාක් දුරට ආරක්ෂා වේ. සැබැවින් ම ආගම නිසා සමාජයේ සදාචාරය ආරක්ෂා වන්නේ ආගම විසින් ම මවා ඇති නිරපේක්ෂ සංකල්ප කෙරෙහි මිනිසුන් තුළ ඇති බිය හෝ ආශාව නිසා ය. උදාහරණයක් ලෙස බෞද්ධයින්, අයහපත් දේ කිරීමෙන් අපායට යාමට බිය වෙති. යහපත් දේ කිරීමෙන් දිව්‍ය ලෝකයට යාමට ඔවුන් තුළ ඇත්තේ ආශාවකි. ආගම මඟින් සමාජය තුළ සාරධර්ම රැකෙන්නේ එවැනි සම්බන්ධතාවයක් හරහා ය. නමුත් සැබැවින්ම සිදුවිය යුත්තේ සමාජයේ ජීවත් වන්නන් තමාගේ ක්‍රියා කලාපය සහ එයින් සමාජයට සිදුවන දෙය අතර හේතු ඵල සම්බන්ධය අවබෝධ කරගෙන එමඟින් තමා කළ යුතු හා නොකළ යුතු දේ අවබෝධ කර ගැනීමයි. එවැනි තත්ත්වයක් කරා මිනිසා ඔසවා තැබිය හැකි වන්නේ අධ්‍යාපනයට ය.

අප මතක තබාගතයුතු කාරණය වන්නේ අප ආගම ප්‍රශ්න කළ යුත්තේ එය දේශපාලනික වන නිසාය. මිනිසාට ආගමක් අවශ්‍ය වන්නේ ලෝකය පිළිබඳ නොදන්නා බව නිසා ඇතිවන හිස්තැන සම්පූර්ණ කරගැනීමට ය. එමනිසා මිනිසා ස්වභාවයෙන්ම විද්‍යාව හෝ දර්ශනයට වඩා ආගමට සමීප වේ. ලෝකය පිළිබඳ නොදන්නා බව මිනිසාට නිරාවරණය වන්නේ ජීවිතයේ සතුට අහිමි වූ විට ය. මිනිසාගේ සතුට රඳා පවතින්නේ මිනිසාගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වීමත්, නිදහසත් මත ය. ඒවා නොමැති වූ විට ජීවත් වීම අපහසු ය. එවිට ලෝකයේ අරුත් සුන් බව නිරන්තරයෙන් මිනිසා වෙත නිරාවරණය වේ. මෙයින් ආවරණය වීමට මිනිසා යොදාගන්නේ ආගමයි. මිනිසාගේ අවශ්‍යතා, නිදහස, ජීවන මට්ටම තීරණය වන්නේ මිනිසා ජීවත්වන සාමූහිකය තුළ ක්‍රියාත්මක වන දේශපාලනය මත ය. මිනිසාගේ අවශ්‍යතා, සහ නිදහස ලබාදීමට දේශපාලනය අපොහොසත් වන්නේ නම් එම සාමූහිකය (රට) තුළ ජීවන මට්ටම අවම වේ. එනම් මිනිසාගේ සතුට අහිමි වේ. ආර්ථික වශයෙන් ඉතාම දුප්පත් රටවල් වඩාත් ආගම් වලට නැඹුරු වීමේ හේතුව දැන් අපට පැහැදිලි විය යුතු ය. එවැනි රටවල් වල පාලනය විසින් බොහෝවිට සිදු කරන්නේ මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම වෙනුවට ඔවුන් අදහන ආගම් හොඳින් නඩත්තු කිරීමයි. එවැනි රටක ජනතාව පාලනය කිරීමට පාලකයින්ට ඉතා පහසු ය. ඔවුන්ට ඇතිවන ගැටළු වලදී පාලකයින් ප්‍රශ්න කිරීම වෙනුවට ඒවාට හේතු ලෙස පව, පින, කර්මය, දෙවියන්ගේ කැමැත්ත ආදිය ඔවුන් විසින් ම ආදේශ කර ගනී. සැබෑ ප්‍රශ්නය යටපත් වේ. එවැනි සමාජයක් තවත් පියවරකින් හෝ ඉදිරියට ගෙනයාමට නම් අප කළ යුත්තේ කුමක්ද?

-දිනිත් සුමනසේකර-

Advertisements