7M7A9820

 

දේවින්ද වික්‍රමසිංහගේ ‘මම අඩකුඹුයි’ නාට්‍ය මීට වසර දෙකකට පමණ ප්‍රථම යෞවන සම්මාන නාට්‍ය උළලේ හොඳ ම කෙටි නාට්‍යයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. එම නාට්‍ය පිළිබඳ යමක් ලියා තැබීම මෙරට කෙටි නාට්‍ය සාහිත්‍ය තුළ එය විසින් සලකුණු කළ සුවිශේෂීත්වය පිළිබඳ කරන මැදිහත්වීමක් ලෙස සළකමි. එලෙස ම සමකාලීන දේශපාලන හැසිරීම් හේතුවෙන් නිරන්තරයෙන් සිහිගන්වන මෙම නාට්‍යයෙහි කේන්ද්‍රීය අදහස අද දවසේ අපට කතාබහට ලක් නොකට මඟහැර යා නොහැකි සංවාදයකි. මෙහි ආකෘතිමය විශේෂත්වය වන්නේ අප සාමාන්‍යයෙන් නරඹා තිබෙන කෙටි නාට්‍යයක ආකාරයෙන් නොව තනි නළුවෙකු වේදිකාවට පැමිණ සිදු කරන රංගයක් වීමයි. මීට ඉහත මෙවැනි සුවිශේෂී අත්දැකීමක් අපට හමුවන්නේ ධනංජය කරුණාරත්නගේ ‘ලාස්ට් බස් එකේ කතාව’ නම් කෙටි නාට්‍ය තුළින් ය. ඉන්පසුව බෙහෙවින් ජනප්‍රියත්වයට හා කතා බහට ලක් වූ එවැනි වර්ගයේ නාට්‍යයක් අපට හමුවන්නේ ‘මම අඩකුඹුයි’ නාට්‍යය වේදිකාගත කිරීමෙන් අනතුරුවයි.

            ‘මම අඩකුඹුයි’ නාට්‍යය කුමන වර්ගයේ නාට්‍යයක් ද (ආත්ම භාෂණ, ඒකල භාෂණ) යන්න තේරුම් ගැනීමට හෝ කාණ්ඩ ගත කිරීමට වෙහෙසනවාට වඩා එය විසින් අප වෙත ඇති කරන සෞන්දර්යාත්මක හා බුද්ධිමය බලපෑම පිළිබඳ කතාබහයට ලක් කිරීම වඩා යෝග්‍ය යැයි හඟිමි. තවද එහි රංග ශෛලිය, මුඛරි සංවාද, ආනුෂාංගික අංගවල සංකල්පීය මැදිහත්වීමද අගය කරමින් එම සංවාද මේ ලිපිය තුළ කතා බහට ලක්කිරීම මා මඟහරින්නේ, සමස්ථයක් ලෙස ‘මම අඩකුඹුයි’ නාට්‍ය තුළින් අපට කලාව යනු කුමක්ද, ප්‍රබන්ධය හා යථාව අතර සම්බන්ධය හා එම වෙන් කිරීම් පිළිබඳ යළි සිතා බැලීමට හා ජාතිකවාදය පිළිබඳ සරලමතික වුවද සමකාලීන කියවීමකට අප ව යොමු කිරීම හා අවසාන අර්ථයෙන් සත්‍ය යනු කුමක්ද, වැනි දාර්ශනික කථිකාවක් වෙත අප ව යොමු කරන හැකියාවක් එයට පවතින නිසාය. අප මෙම ලිපිය තුළ උත්සහ කරන්නේ මෙම විවිධ මාතෘකාවල සමකාලීන පොදු ලක්ෂය වෙත මෙම නාට්‍ය කෙන්ද්‍රගත කර හැකිද යන්න විමසීමයි.

            අසම්පූර්ණ ලෙස සමස්ථ පෙළ සංක්ෂිප්ත කළ හොත්ත සිංහයා, සිංහ කොඩියෙන් බැස වේදිකාව ඉදිරියට පැමිණෙයි. සිංහයා තමුන් ව හඳුන්වා දී ඔහුගේ මෙම පැමිණීම, අප ඉදිරියේ පෙනී සිටීමේ අපූර්වත්වය පිළිබඳ විශේෂයෙන් සඳහන් කරයි. පසුව ක්‍රමයෙන් ඔහු තුළ පවතින අර්බුධය පැහැදිලි කිරීමට උත්සහ ගනියි. ඒ අතර ඔහුගේ කඩුව සොරකම් කළ බවත් එය නැවත සොයා ගැනීමට ඔහු දැරූ උත්සාහයකදී සිදු වූ ත්‍රාසජනක සිදුවීම් පිලිබඳවත් ඔහු රංගනයෙන් විස්තර කරයි. පසුව ඔහු (සිංහයා) ක්‍රමයෙන් තමුන්ගේ ජීවිතය වෙනස් කළ සිදුවීම අපට විස්තර කිරීමට පටන් ගනියි. එනම් භරතමුණිගේ ‘නාට්‍ය ශාස්ත්‍රය’ කියවීමෙන් ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හා කණගාටුදායක අහම්බ, විඳ දරා ගැනීමට හෝ ඒවා මඟහැර සිටීමේ ක්‍රමයක් ලෙස භරතමුණිගේ නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී වෙන් කිරීම ඔහු ඒ සඳහා යොදා ගන්නා ආකාරය ඉතා සතුටින් ප්‍රකාශ කරයි. නැවත කොඩි කණුව වෙත යන සිංහයා තමන් ව ආදර්ශයට ගනිමින් මෙම සිදුවන විශ්මයාන්විත, ඇදහිය නොහැකි සමාජ, දේශපාලන තත්ත්වයන් තමා ව අනුගමනය කරමින් මඟහරින ආකාරය පැහැදිලි කර දෙයි.

            සමස්ථ නාට්‍ය ඇත්ත සහ බොරුව පිළිබඳ සංවාදයක් වෙත විවෘත වෙයි. එහිදී භරතමුණිට අනුව ඇත්ත යනු ලෝක ධර්මී ලෙසත් බොරුව යනු නාට්‍ය ධර්මී ලෙසත් වෙන් කරයි. (නාට්‍ය කලාවට සමීපත්වයක් නොමැති අය වෙනුවෙන් – නාට්‍ය ධර්මී යනු අප සැබෑ ලෝකයේ හැසිරෙන ආකාරයට නොමැතිව, වෙස් මුහුණු පැළඳ හෝ විවිධ ආකාරයේ වේෂ නිරූපණයෙන් සැරසී හෝ විවිධ ගමන්තාල අනුව යමින් හෝ විවිධ ආකාරයේ කාව්‍යාත්මක තාලවලට දෙබස් උච්චරණය කරන හෝ… සමස්ථයක් ලෙස ස්භාවිකත්වයට ඉක්මවා ගිය රංගයකි. ලෝක ධර්මී යනු අප සැබෑ ලෝකයේ සිටින ආකාරයට බෙහෙවින් සමාන ආකාරයට වේදිකාව තුළ රංගය ඉදිරිපත් කිරීමයි. තවදුරටත් උදාහරණ මගින් පැහැදිලි කළහොත් ‘මනමේ’ නාට්‍ය, නාට්‍ය ධර්මී වන අතර සුගපාලද සිල්වාගේ ‘බෝඩිංකාරයෝ’ නාට්‍ය ලෝක ධර්මී වේ.) මෙම වෙන්කිරීම තුළ නාට්‍ය ධර්මී යනු සාමාන්‍ය ජීවිතයට වඩා අප රඟදැක්වීමක, අපගේ සාමාන්‍ය දෛනික ජීවිතය ඉක්මවා ගිය ආකාරයකට හැසිරෙන බවයි. එය ව්‍යාජයක් නැතිනම් සත්‍ය නොවන්න ලෙස වේදිකාව තුළ සංස්කෘත සාහිත්‍යයට අනුව නම් කරයි. භරතමුණිගේ නාට්‍ය ශාස්ත්‍රය කියවා මෙය අවබෝධ කරගත් සිංහයාට ඔහුගේ ඉතිහාසය තුළ සිදු වී තිබෙන කණගාටුදායක සිදුවීම් සියල්ලෙන් කාංසාවට පත් වූ විට ඔහු ඒවා අමතක කරන්නේ ඒවා නාට්‍ය ධර්මී සිදුවීම් ලෙස සිතාය. ඔහු අපට ද යෝජනා කරන්නේ ඒ ආකාරයට සිතන ලෙසයි. දේවල් පිළිබඳ ගැඹුරින් සිතීම හෝ ඒ පිළිබඳ දුකට පත් නොවී එය සැබෑ සිදුවීමක් නොවන බව සිතා එය අමතක කර දැමීමෙන් ජීවිත කාලය ම සතුටින් කල් ගෙවිය හැකි බව නාට්‍යයේ එක ම හා ප්‍රධාන චරිතය වන සිංහයා පැහැදිලි කරයි. අද දවසේ මහජනතාව දෘෂ්ටිවාදාත්මක ව ස්ථානගත වී සිටිනා තැන පිළිබඳ යළි සිතා බැලීමක් එමඟින් ඒත්තු ගන්වයි.

            මෙහිදී ඇත්ත හා බොරුව අතර සිදු කරන මෙම බෙදීම සැළකිල්ලට ගනිමු. නාට්‍ය සන්දර්භයට අනුව රචකයා මෙම බෙදීම සිදු කරන්නේ අප ජීවිතයේ සාමාන්‍යයෙන් අත්දකින දේවල් ඉක්මවා ගිය පැවැත්මවල් හා සිදුවීම් සත්‍ය ලෙස භාරගත නොහැකි බැවින් ඒවා අසත්‍ය ලෙස භාර ගැනීම තුළ අප කිසිඳු පීඩනයට ලක් නොවී නිදහසේ ජීවත් විය හැකි බවයි. සාමාන්‍ය ජීවිතයේදී ඉතා සරල ව අපට සත්‍ය ලෙස භාරගත හැකි දෙය වන්නේ අප වෙතට නිරාවරණය වන අපට හදුනාගත හැකි, විනිශ්චයන් ලබා දිය හැකි සීමාවේ පවතින දේවල් වේ. නමුත් අපට නිරන්තරයෙන් අසන්නට, දකින්නට හා විඳින්නට ලැබෙන දේවල් සෑම විටම එහි පාරිශුද්ධ අර්ථයෙන් සත්‍ය ලෙස පවතියිද? අපගේ මෙම ගැටලු ව, වඩා සංකීර්ණත්වයට ගමන් කරන්නේ ‘දෘෂ්ටිවාදය’, ප්‍රපංචවේදයේ එන ‘ඇඳවැටීම’ Falling හා ‘මිනිස්සු නම් දෙය’ The Other වැනි සංකල්ප තුළින් එදිනෙදා ජීවිතය විග්‍රහ කිරීමේදීය. එහිදී අපට ඒත්තු යන තර්කය වන්නේ අප සෑම විට ම ඒ වන විටත් සත්‍ය තුළ සිටිනවා සේ ම අසත්‍ය තුළද ජීවත් වන බවයි.

            නාට්‍යකරුවා පවසන ආකාරයට සමකාලීන දේශපාලනය තුළ ජාතිකවාදය අර්ථ කථනය වන්නේද මේ අර්ථයෙනි. ජාතිකවාදය පෝෂණය කිරීමට හා ජනප්‍රිය කරවීමට බටහිර හෝ විජාතීය සහය විවිධ මාඳිලයෙන් උපයෝගි කරගැනීමට සිදු වේ. නාට්‍යයේ කියවෙන පරිදි සිංහයාගේ කඩුව හොරකං කර ඇති අතර දැන් ඔහු ළග තිබෙන්නේ චීනයේ නිෂ්පාදිත තාවකාලික කඩුවකි. අද දවසේ ජාතිකවාදය එහි පාරිශුද්ධ අර්ථයෙන් හෝ ඉතිහාසය තුළ අපට හමුවන දුටුගැමුණු රජුගේ අර්ථයෙන් හමුවන්නේ නැති බව ඉන් ඉඟි කරයි. ලිබරල්වාදී ආස්ථානයද අද දවසේ දේශප්‍රේමීත්වය නැතිනම් ජාතිකවාදී කොන්දේසි මඟහැරයාමට හැකියාවක් ලැබී නැත. එම ආස්ථානයද ජාතිකත්වය හා බටහිර ආචාරධර්ම පද්ධතියක් තුළ තම පැවැත්ම තහවුරු කරගැනීමට උත්සහ කරයි. ලාංකේය වාමාංශික දේශපාලනය තුළද හමුවන්නේ මෙම තතත්වය ම නොවේද? වාමාංශික අදහස් මෙන්ම ඔවුන් තුළ ජාතිකවාදී හා ලිබරල් අදහස්ද විවිධාකාරයෙන් විවිධ අවස්ථා සඳහා උපයෝගී කොට ගනියි. ඉහත සඳහන් කළ විවිධ දෘෂ්ටිවාදාත්මක මැදිහත්වීම් යටතේ ඒ ඒ සන්දර්භවලට අනුව අප සෑම විට ම ඒ වන විටත් සත්‍ය හා අසත්‍ය තුළ ගමන් කරයි. එසේ නම් දේශපාලන කථිකාව තුළ අද දවසේ අපට හමුවන බොහෝ සිදුවීම් හා ක්‍රියාකාරකම් පවතින්නේ රඟදැක්වීම් මාඳිලියෙන් වන අතර එය අයත් වන්නේ මෙම නාට්‍ය ධර්මී කලාපයට වන්නේ ඒවා සැබෑ ලෝකයේදී බලාපොරොත්තු නොවිය හැකි ප්‍රමාණයේ අධිතාත්විකත්වයක් අරෝපණය කර ඇති නිසාවෙනි. එසේ නම් නාට්‍යකරුවා තම අදහස ගොඩනඟන්නේ පවතින තත්තවය විසින් යෝජනා කර තිබෙන ආහ්ලාදජනක දේශපාලන හැසිරීම අප බාරගත යුත්තේ සත්‍ය ලෙස නොව ස්භාවිකත්වය ඉක්මවා ගිය සැරසිල්ලක් ලෙස යන්න යි.

            නාට්‍ය තුළින් අපට මතු කරලන අදහස වන්නේ මෙම රඟදැක්වීම නැතිනම් දේශපාලනය අද වරනැගෙන ආකාරයේ ඇති මෙම අධිතාත්විකත්වය ස්භාවිකත්වයක් දක්වා ගමන් කර ඇති බවයි. අද දවසේ අපට හමුවන ධනවාදී මැදිහත්වීම් හා මහජනයා පීඩනයට පත් කරන මැදිහත්වම් අප භාරගත යුත්තේ මෙලෙස ස්භාවිකත්වයක් දක්වා වර්ධනය වී ඇති රඟදැක්වීමේ මාඳිලියෙනි. පසුව එම රංගය බලා අපට එය අමතක කර දැමිය හැකිය. මීට ප්‍රබල නිදසුන සපයන්නේ මේ දිනවල රටේ ඇති ව තිබෙන දේශපාලන අස්ථාවරත්වය යි. අප එය දැකබලාගෙන සතුටට පත් වෙයි. එක අතකින් මේ මගින් කියා සිටින්නේ මේ අත්දකිනා විකාරරූපී හැසිරීම අප විනෝදය සපයන දෙයක් ලෙස විනා අපුල දනවන දෙයක් ලෙස බාර නොගන්නා බවයි. එම අර්ථයෙන් ගත්විට දේශපාලනය යනු මාධ්‍ය ධනවාදය විසින් අපට සංස්කරණය කර ලබා දෙන විනෝදාස්වාදය සපයන්නක් පමණි. නමුත් මෙයටත් වඩා වැදගත් වන්නේ මේ හරහා අපට පශ්චාත් යටත් විජිත් ලාංකික රාජ්‍යයේ දේශපාලන සමතුලිතයේ බිඳ වැටීමක් පෙන්වා දීමයි. තවදුරටත් සම්ප්‍රදායික පාලක තන්ත්‍රය සහ දේශපාලන පක්ෂ වලින් සැදුම් ලත් දේශාපලන සැකැස්ම මේ ආකාරයෙන් පවත්වාගෙන යා නොහැකි බව පැහැදිළි වේ. මුළුමනින් පලුදු වී ඇති එම පාලන තන්ත්‍රයේ කිසිදු පාර්ශවයකට දේශපාලන සුජාතභාවය ලබා ගත නොහැකි තත්වයක් පත්ව තිබේ. නව දේශපාලන සම්මුතියක, ආචාර ධාර්මික විප්ලවයක අවශ්‍යතාවය ඇති වන්නේ මෙම නිසාය. දේවින්ද වික්‍රමසිංහ ගේ පර්යේෂණාත්මක නාට්‍යය මෙම අනාගතය පුරෝකථනය කළ අනාගත වාක්‍යයක් වැනිය. සිංහයා කොඩියෙන් බැස ඇවිත් තිබේ. නව ආකාරයකට කොඩිය පරිකල්පනය කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබේ.

රංග මනුප්‍රිය

 

 

***