20501_1

 

ඉතිං what is philosophy? යන ප්‍රශ්ණයම ග්‍රීක සම්භවයක් ඇති ප්‍රශ්ණයක්. (පළමු ලිපිය මෙතැනින්) එනම් එය ග්‍රීක Whatness එකක්.(What is that…?) එමෙන්ම එය දැනුම පිළිබද ප්‍රශ්ණයක් නෙවෙයි. එසේම එය දර්ශනවාදයේ දර්ශනවාදය ගැන ප්‍රශ්ණයක්ද නෙවෙයි. ඒ වගේම එය දර්ශනවාදයේ පටන් ගැන්ම හෝ වර්ධනය වීම පිළිබද ප්‍රශ්ණයක්ද නෙවෙයි. නමුත් මෙම  ප්‍රශ්ණය විසින් අපව ඇද දමන ක්‍රියාව ඓතිහාසිකයි. එනම් එය ඉරණම් සහගත ඇද දැමීමක්. අපි what is philosophy? කියල ප්‍රශ්ණයක් වර නගනවිටම එසේ වර නැගීමට ඓතිහාසික සම්භවයක්(ග්‍රීක-ඇතන්ස්) තියෙනවා.මේ ප්‍රශ්ණයට අතීත අනාගත දිශානතියක් තියෙනව. එනම් එම ප්‍රශ්ණය දිගේ ගමන් කල හැකි මාර්ගයක් තියෙනව. ඒ කියන්නෙ ප්‍රශ්ණය මෙලෙස වරනැගීම නිසා අපි ගමන් කරමින් ඉන්නෙ ග්‍රීක ලෝකය විසින් අපට දෙන ලද පැහැදිලි මාවතක.

          නමුත් අපට තවමත් මේ මාවත නිවැරදිද කියල තක්සේරු කරන්න බැහැ.ඒ වගේම මේ මාවතේ අපි ගමන් කල යුත්තේ ඇයිද කියල තවම හරියට නිශ්චය කරගන්න බැහැ. මොකද ස්වභාවයේ පවතින දෙයක් පිළිබදව ප්‍රශ්ණ කිරීම, දෙයක ස්වභාවය ප්‍රශ්ණ කිරීමට ලක්කිරීම, දෙයක ස්වභාවය පිළිබදව අවදියෙන් සිටීම, මෙලෙස ප්‍රශ්ණ කිරීමෙන් ස්වභාවය සමග සාදාගන්නා සම්බන්ධය මේ වෙනකොට මුලුමනින්ම වාගේ අවසන් වෙමින් යනවා.එය මුලුමනින්ම වාගේ අපැහැදිලි, පැටලිලි සහගත දෙයක් වෙලා තියෙනවා.

          ඉතිං අපේ ප්‍රශ්ණය what is philosophy? අවධාරණය කරන්නෙ දර්ශනයේ ස්වභාවය කුමක්ද ?යන්න පිළිබදවයි. අපි මෙහිදී මූලිකව හදුනාගනිමින් ඉන්නවා මේ ප්‍රශ්ණයේ ස්වභාවය විසින්ම අපිව ඇතන්ස්-ග්‍රීක සම්ප්‍රදාය විසින් කේන්ද්‍රගත කල රවුමක සැරිසන්න සිදුවී ඇති බව.බැලූ බැල්මට මේ රවුම වටේ යන්නට අපව දිශානත කරන්නෙ ග්‍රීක “Philosopia” වචනය. කොටින්ම ග්‍රීක භාෂාව දැන් අපි දන්නා යුරෝපීය භාෂාවක් වගේ නෙවෙයි.එය මල භාෂාවක්.නමුත් ඒ භාෂාව විසින් අපට කේන්ද්‍රයන් නිර්මාණය කරනවා.ඒ කේන්ද්‍රයන් වටේ හැදෙන වලල්ලක අපව සිරගත කොට තබනවා.එනම් එය ලෝගෝ (Logo’s) නිර්මාණය කරනවා.ඉතිං අපට පොරබදන්න වෙලා තියෙන්නෙ ග්‍රීක “Philosopia” නැමති වදන් කේන්ද්‍රීයතාවය(Logo) එක්ක. ඒ කියන්නෙ අපි ග්‍රීක වචනයක් ග්‍රීක කණකින් ඇසුවහොත් අපි ග්‍රීක කතා කරන්න ගන්නවා. ඉතිං අපි මුලින්ම ග්‍රීක  “Philosopia” නැමැති වදන් කේන්ද්‍රය (Logo) පරීක්ෂා කරමු.

           ග්‍රීක “Philosopia” වචනයේ තවත් ආපස්සට ගියොත් එය philosophos වෙනවා. එය නාම පදයකට වඩා ක්‍රියා පදයක්. හරියට philarguros – රිදී වලට කැමති/ආදරය කරන, philotomos අවංකභාවයට ආදරය කරන වගේ.  philosophos වචනය නිශ්චිතව භාවිතා කරන්නෙ හෙරෙක්ලිටස්. හෙරෙක්ලීටස්  සදහන් කල philosophos නැමැති අදහස දැන් පවතින්නෙ නැහැ. එනම් හෙරක්ලිටස් ගෙ  philosophos කියන්නෙ දාර්ශනික මිනිසෙක් නෙවෙයි. කොටින්ම මෙම philosophos යනුවෙන් හෙරක්ලිටස් කියන අදහස ග්‍රීක දාර්ශනික- philosophical කියනවාට වඩා මුලුමනින්ම වෙනස් අදහසක්.හෙරක්ලිටස්ගෙ philosophos වල තියෙනවා sophon. sophon කියන්නෙ එකක් අනෙක සමග පවත්වන අනෝන්‍ය සම්බන්ධය (harmonia) පිළිබදව කතාකිරීමට. හෙරක්ලීටස්ගෙ අදහසට අනුව sophon වලට ආදරය කිරීම(philei to sophon) තමයි  philosophos වෙන්නෙ. එනම් philosophos -දේවල් එකිනෙක අතර පවත්නා සම්බන්දය සහ ඒවායේ ඒකත්වය කුමක්දැයි ‘කතා කෙරෙන’ එසේ කතාකිරීමට ආදරය කරන (philei) වැනි අදහසක් තියෙනවා.

      නමුත් මේ හෙරක්ලීටස් කියන sophon අපට ටිකක් වටහාගන්න අමාරු පරිවර්තනය කරන්න අමාරු සංකල්පයක්.එනම් sophon හි ග්‍රීක අදහස Hen panta. ඒ කියන්නෙ ‘One (is) all’කියන තරමක් දුරවබෝධ අදහස. All කියන්නෙ පවතින සියලුම දේ.පැවැත්මේ කොන්දේසි ඇතුලත් සමස්ථය. Hen කියන්නෙ එකක්වීම(​one). ඉතිං Hen panta කියන්නෙ පැවැත්මේ සියලුම දේ එකක් තුල පැවතීම(All being is united in Being). මේක තමයි One (is) all එසේත් නැත්නම් Hen panta හි දල අදහස. මෙතන තීරණාත්මකම කාරණය තියෙන්නෙ (is) එකේ. ඇදි පදයේ (copula). එනම් මෙහි is පදය විසින් එකට පැවතීම (gathered together) ඉගි කරනවා. එකට එකතුවීම (collected) ඉගි කරනවා.එනම් Being(One) gathers ( is)  being together (all) යන කේන්ද්‍රීය අදහස හෙරක්ලිටස්ගේ sophon පදයේ තියෙනවා.

          “සියලු ඉඳීමවල් මහා  ඉඳීමක් තුළ තිබේ (All being is in Being)”. මේක ඇසීමක්. එනම් ඕනෑම පැවැත්මක් මහා පැවැත්මක් තුළ එකට පැවතීම, එනම් එය මහා පැවැත්මට ඇති සම්බන්ධය, එනම් එය මහා පැවැත්මක් සමග එකතුවීම “ඇසීම” ස‍ඳහා “කණ”ක් හැඩගැසීම ගැන මින් කියවෙනවා. ඉතිං වැදගත්ම දේ ඉඳීම (being) හා මහා ඉඳීම (Being) අතර සම්බන්ධය ගොඩනැගෙන තැන(copula). මේ නිසා මේ හෙරක්ලිටස්ගේ sophon පදයේ තියෙනවා මේ ‘සම්බන්ධ වෙන තැන’ තුළ සජීවී වෙන ඇසීමක්-yearing (orexis). ඉතිං හෙරක්ලිටස් ගේ අදහසට අනුව Sophon (the being in Being ) ට ආදරය කිරීමෙන් Philosopia ට එලඹෙන බව මින් අදහස් වෙනවා.

          දැං අපි දන්නවා සුපුරුදු ග්‍රීක ප්‍රශ්ණය එනම් What is being ? (being යනු තුමක්ද?) යන ග්‍රීක ප්‍රශ්ණය වර නැගීමෙන් පමණයි අපට philosophy තුළට ඇතුලුවිය හැක්කේ  කියල. ඒ අර්තයෙන් හෙරක්ලිටස් (Heraclitus) හෝ පාර්මෙන්ඩස් (Parmenides) “දාර්ශනිකයො” නෙවෙයි. ඔවුන් විශිෂ්ඨ සිතන්නෝ (Great Thinkers) පමණයි. එනම් ඔවුන් විශිෂ්ඨ සිතන්නෝ වෙන්නෙ මේ සියල්ල එකක් තුල පවතී One (is) all එසේත් නැත්නම් සියලු ඉඳීම් (being) මහා ඉඳීම (Being) ක් තුළ (in) පවතී – being in Being යන දැනීමේ සිතන්නන් නිසා.නමුත් ඔවුන් මේ සදහා නිශ්චිත පිළිතුරු ගොනුකලේ නැහැ.එනම් යමක  (is) ness (what is….? ) එක පිළිබද පිලිතුරක් ගොණු කිරීම මුල් වරට සිද්ධ වෙන්නෙ සොක්‍රටීස්, ප්ලේටෝ අතින්.එය වඩා විධිමත්ව වර්ගීකරණය කොට ගොණුකලේ ඇරිස්ටෝටල්.ඉතිං ග්‍රීක What is being?  වඩා නිවැරදිව What being is?  යන ප්‍රශ්ණය තමයි  philosophy තුල සොයන්නෙ.එනම් කිසියම්  ඉඳීමක් (being) මහා ඉ|Sම (Being) ට තියෙන සම්බන්ධය, ගරුත්වය කුමක්ද? කොටින්ම කිසියම් ඉඳීමක ඇති ඉඳීමේබාවය (Beingness)  යන්න තමයි philosophy තුළ මූලිකම ගැටලුව වෙන්නෙ. ඉඳීමේබාවය (Beingness) ප්ලේටෝ හැදින්වූයේ Idea කියල. ඇරිස්ටෝටල් හැදින්වූයේ actuality කියල.

මෙය මාර්ටින් හෙයිඩෙගර් ගේ what is philosophy? දේශනයේ දල සිංහල අදහසකි.

මතු සම්බන්ධයි.

කපිල ක්‍රිෂාන්ත

 

 

 

***