Prabuddha1

එපිකියුරස් ගේ ‘Letter to Menoeceus’ ලිපියේ සිංහල පරිවර්තනය පළ කිරීමට සැලසුම් කර තිබුනේ මෙයට තරමකට පෙරයි. නමුත්, කවුරුත් දන්නා පරිදි, පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා අපේ රටේ සියලු සංකල්පීය සමපෙක්ෂණයන් අත්හිටුවමින් ‘දේශපාලනික දෙය’ කරළියට පැමිණියේය. එතැන් පටන් අපට තිබුනේ ඉතාම සීමිත තෝරා ගැනීම් බවත්, බොහෝ තීරණාත්මක දේ අපගේ පාලනයෙන් තොර වූ අදෘශ්‍යමාන කළාපයක් තුළ සිදු වූ බවත් අපි දනිමු. මෙයින් අදහස් වන්නේ අපට කිසිවක්ම කළ නොහැකි වූ බව නොවේ. සැකයකින් තොරවම ජාතිකවාදයේ දේශපාලන උපදේශකවරුන් බලාපොරොත්තු නොවූ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී බලවේග නැවතත් ඉක්මනින් සංවිධානය වීමට සහ යළි නැගී සිටීමට සමත් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝම්බර් 26 ඉදිරියට තැබූ පියවර පසුපසට ගැනීමට සහ පරාජය බාර ගැනීමට ජාතිකවාදී දේශපාලනයට සිදු විය.

නමුත් තවත් අතකින් මේ ‘ජයග්‍රහණය’ අතිශය සීමාසහිත දෙයක් වන බව ඉතාමත් පැහැදිළි වේ. මෙහි ආසන්න ප්‍රතිලාභය අත්වූයේ රනිල් වික්‍රමසිංහට බවත් එමනිසාම මෙහි ප්‍රජාතන්ත්‍රවාදී විභවය බෙහෙවින්ම හීන වන බවත් අපි දනිමු. රනිල් යනු සිය ප්‍රජාතන්ත්‍රවාදී අක්තපත්‍රය ආපසු හැරවිය නොහැකි ලෙස කඩකරගෙන සිටිනා නායකයෙකි. ඔහුගේ පාලනයක් යටතේ, සමහරවිට, අප බොහෝ දෙනෙක් කැමති ආකාරයේ චිත්‍රපටියක් පෙන්වා ගැනීමට, පොතක් පළ කර ගැනීමට, සංවාදයක් සංවිධානය කිරීමට සාපේක්ෂ වශයෙන් වැඩි ඉඩක් තිබෙනා බව සත්‍යයකි. නමුත් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නම් අදහස මගින් නියෝජනය කරන්නේ මෙය නොවන බව ඉතාම පැහැදිළි වේ.

පුරාතන ග්‍රීසියේ පළමු වරට දෘශ්‍යමාන වූ මෙම අදහස සඳහා ලබා දිය හැකි සරල අර්ථයක් වන්නේ සමාජය යනු කිසියම් ස්වභාවික වූ නියාම ධර්මයකට අනුව, අනිවාර්ය මූලධර්මයකට අනුව, නියත ධූරාවලියකට අනුව පාලනය විය යුතු දෙයක් නොවන බව එම සමාජයේ ප්‍රතික්ෂේපිත වූ මිනිසුන් වටහා ගන්නා මොහොතයි. එවැනි මිනිසුන් සඳහා ද සමාජය නියාමනය විය හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්විය හැකි බව සහ එවැනි මිනිසුන් හට මුළුමහත් මිනිස් වර්ගයා නියෝජනය කළ හැකි බව පිළිගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයයි. එම අර්ථයෙන් ගත්විට ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවත් මිනිසුන් විසින් ධනය නැති මිනිසුන් පාලනය කිරීම නොවනවා සේම ධනවත් මිනිසුන්ට එරෙහිව ධනය නැති මිනිසුන් කැරළි ගැසීම නිසා ඇති වන අරාජිකවාදයද නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවත් මිනිසුන් සමග එකම වේදිකාවක සිට සමස්ත සමාජයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට ධනය නැති මිනිසුන්ට සමාන අවස්ථාව හිමි වන පාලන ක්‍රමයකි. එම අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉතාම අහම්බයෙන් දැකිය හැකි වන ඓතිහාසික අත්දැකීමක් බව පැහැදිළි වේ. පුරාතණ ග්‍රීසියෙන් පසුව එය අපට අත්දැකිය හැකි වූ ඓතිහාසික අවස්ථාවන් මොනවාද කියා තීරණය කිරීමද තරමක් අපහසු කරුණකි. නමුත් පහසුවෙන් කිව හැකි වන්නේ මෙම නිශ්චිත අර්ථයෙන් ගත්විට රනිල් වික්‍රමසිංහ යනු ‘ප්‍රජාතන්ත්‍රවාදියෙක්’ වන්නේනම් නැති බව පමණි. රනිල් වික්‍රමසිංහ යනු එම අර්ථයෙන් ගත්විට, සැබවින්ම, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපක්ෂය නියෝජනය කරනා කෙනෙකි.

නමුත් අපගේ දේශපාලනයේ අත්‍යන්ත සීමාව ලෙස අපට හමු වන්නේ ඔහුයි. නැතිනම්, තරුණ ජාතිකවාදියෙක් උත්ප්‍රාසජනක ලෙස ලියා තැබූ පරිදි ‘ප්‍රජාතන්ත්‍රවාදය රනිල් වික්‍රමසිංහ ලෙසත් පැමිණිය හැකිය’. අපගේ දේශපාලන තෝරාගැනීම් වල ඇති පරිමිතභාවය මේ හරහා තේරුම් ගැනීම අපහසු නොවේ. හැකි ඉක්මනින් මැතිවරණයක් ඉල්ලා සිටීම සහ ඒ හරහා ජනතා විමුක්ති පෙරමුණට සහ දෙමළ ජාතික සන්ධානයට වැඩි කේවල් කිරීමේ බලයක් හිමි වන පාර්ලිමේන්තුවක් වෙනුවෙන් මහේක්ෂ දේශපාලනය තුළ පෙනී සිටීමට වඩා වැඩි දෙයක් වත්මන් දේශපාලනය තුළ බලාපොරොත්තු වියහැකි ඉලක්ක වන්නේ නැත. මෙම සමස්ත ක්‍රියාවලිය තුළ ඉතාමත් හොඳින් පැහැදිළි වූ දෙයක් තිබෙන්නේනම් ඒ තමයි ‘විප්ලවවාදී බලය අල්වා ගැනීමක්’ යන්න මෙවැනි අවස්ථාවක වුවත් අපට සිහිනෙන්වත් සිතිය නොහැකි බවයි. මේ අර්බුධය ආරම්භ වූ මුල් දින වල මෙරට ප්‍රමුඛ වාමාංශික විචාරකයෙක් කර තිබූ ප්‍රකාශයක ඇති උත්ප්‍රාසය තේරුම් ගැනීමෙන් අපට මෙය පැහැදිළි කරගත හැකිය. ඔහු සිටින්නේ රනිල් පැත්තේ ද මහින්ද පැත්තේ ද කියා ඔහුගෙන් විමසූ විට, ඔහු සිටින්නේ ‘අන්තරය’ පැත්තේ බව ප්‍රකාශ කර තිබුණි. නමුත් අප දුටු පරිදි මෙම සමස්ත ආඛ්‍යානය තුළ කිසිදු භූමිකාවක් ඉටු නොකළ, අවම වශයෙන් ඇස ගැටෙන ප්‍රවෘතියකට හෝ හේතු නොවුණු දේශපාලන සංවිධානයක් වීනම් ඒ ‘අන්තරය’ විය. රාජ්‍යයේ ඒකමිතිය බෙහෙවින් අවිනිශ්චිත වූ සහ අභියෝගයට ලක් වී තිබූ මොහොතක පවා, අප බලාපොරොත්තු වන විදියේ ‘ක්‍රම වෙනසක්’ වෙනුවෙන් එය යොදා ගැනීමට කිසිවෙක් හට අවස්ථාව තිබුනේ නැත.

අපගේ දේශපාලනය පරිමිත වන්නක් කියා පැවසීමට අප තවදුරටත් ලැජ්ජා විය යුතු නොවේ. අප සිටින්නේ පසුගිය සියවස් දෙකේ ශ්‍රේෂ්ඨ සමාජ බලාපොරොත්තුව වූ කොමියුනිස්ට්වාදයෙන් බොහෝ දුරස්වයි. ‘ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය’ නම් බෝඩ් ලෑල්ල පිළිබඳව කතා නොකරන්නේනම් ‘කොමියුනිස්ට්වාදය’ යන වචනය පවා ඇසිය නොහැකි වන්නා වූ සමාජයක අපි ජීවත් වෙමු.

‘ප්‍රජාතන්ත්‍රවාදය’ යනු පුරාතණ ග්‍රීකයන්ගෙන් අප වෙත ලැබුණු එකම උරුමය නොවේ. ඒ හා සමපාත වූ සහ එම නිසා එයට අන්‍යෝන්‍ය වශයෙන් උපකාරී වූ තවත් සුවිශේෂ පැන නැගීම් තුනක් – අවම වශයෙන් – අපට නම් කළ හැකිය. ඒ තමයි ගණිතය, ශෝකාන්ත නාට්‍යය සහ දර්ශනය. අර්ථ විරහිත මේ ලෝකයේ මිනිසාගේ භූමිකාව සහ අපට කළ හැකි දේ පිළිබඳව ඉතිහාසය පුරා, කඩින් කඩ, සිදු කළ දීර්ඝ තාර්කික පරීක්ෂාවේ ඓතිහාසික ආරම්භය වන්නේ මෙයයි. සමහරවිට ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගත ස්ථාවර වීම සඳහා අවශ්‍ය වන්නේ ද මෙම සංඝටක වල මුහු වීම විය හැකිය. පැහැදිළි එකම කරුණ වන්නේ අප අකණ්ඩව සටන් කළ යුතු බව සහ බලාපොරොත්තු විය යුතු බව පමණි.

එපිකියුරස් ගේ ලිපිය බදාදා දින පළ කරමු. එයට පෙර ඒ සඳහා හැඳින්වීමක් ලෙස අප – ඔක්තෝම්බර් 26 දිනට පෙර – තැබූ සටහන කියවන්න, මෙතැනින්.

‘බව’ සංස්කාරකවරු

 

 

 

***