Felix_Gonzales-Torres-_Go Go Dancing Platform

‘සමපේක්ෂණය’ යනුවෙන් පරිවර්තනය කර තිබෙන්නේ ‘speculation’ යන ඉංග්‍රීසි වචනයයි. මේ වචනය සඳහා ඇති ලතින් නිරුක්තියේ අර්ථය වන්නේ දැකීම, සංජානනය කිරීම වැන්නකි. එම නිසාම එය, ‘අන්තර්ඥානය’ ලෙස සිංහලට නැගිය හැකි, ‘intuition’ යන වචනය සඳහා ඇති ලතින් නිරුක්තියට සමාන පදයක් ලෙස සැලකිය හැකිය.

කාන්ටියානු දර්ශනය තුළ ‘අන්තර්ඥානය’ යනු මිනිසාගේ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියේ ආරම්භක මොහොතයි. බාහිර ලෝකය කියා අපට හැඟෙනා දේ තුළ ඇති දෘශ්‍යමානයන් අපට පළමුවෙන් ලැබෙන්නේ අන්තර්ඥානයන් ලෙසයි. නමුත් අපගේ අන්තර්ඥානයන් යනු අපගේ සංවේදනීය ඉන්ද්‍රීයයන් මත යැපෙන දෙයකි. එම නිසා එය ‘සංවේදනීය අන්තර්ඥානය’ (‘sensible intuition’) කියා කාන්ට් විසින් නම් කරනු ලබයි. තරමක් සරල අර්ථයෙන් කාන්ට් මේ මගින් අදහස් කළේ අපට ලෝකය පෙනෙන්නේ අපගේ ඉන්ද්‍රීයය නම් වූ රාමුවට යටත්ව පමණක් බවයි. එම නිසාම මෙම ඉන්ද්‍රීයයන් නොමැතිව ලෝකය සැබැවින්ම තිබෙනා ආකාරය වෙත අපට ඍජුව ළඟා වීමට හැකි වන්නේ නැත. එවැනි ළඟා වීමක් කාන්ට් නම් කළේ ‘බුද්ධිමය අන්තර්ඥානය’ (‘intellectual intuition’) කියාය. ඔහුට අනුව මිනිසා හට කිසිදා බුද්ධිමය අන්තර්ඥානයක් හිමි විය නොහැක.

හේගලියානු දර්ශනය විසින් කාන්ට් ගේ මෙම සීමා කිරීම අභියෝගයට ලක් කළේය. අපගේ සියලු දැනුම අදාළ වන්නේ සංවේදනීය අන්තර්ඥානයෙන් සීමා වූ කළාපයට වන නිසා – කාන්ට් ට අනුව – හේතුඵල සම්බන්ධය අයත් වන්නේ ද එහි අභ්‍යන්තරත්වයට පමණි. එසේනම් අපගේ ‘සංවේදනයට ලක්වීම’ නම් ඵලය සඳහා හේතුව එහි බාහිර ඇති ‘දෙයෙහි-එහිම-ස්වරූපයක්’ වෙත ආරෝපණය කිරීම මගින් කාන්ටියානු නියාම ධර්මය කාන්ට් අතින්ම උල්ලංගණය වේ. මෙය ජයගැනීම සඳහා අපට තිබෙනා එකම ක්‍රමවේදය වන්නේ එම දෙය යන්නද ‘මා’ විසින් ස්ථාපනය කරනා ලද දෙයක් කියා නිගමනය කිරීමයි. එවිට මට දැන ගත හැකි පරිමිත ලෝකය සහ දැන ගත නොහැකි සැබෑ ලෝකය අතර බෙදීම බිඳ වැටෙනා හෙයින් තවදුරටත් සංවේදනීය අන්තර්ඥානය සහ බුද්ධිමය අන්තර්ඥානය අතර වෙනසක් සලකුණු කිරීමට නොහැක.

සමපේක්ෂී දර්ශනය (speculative philosophy) යනු මේ ආකාරයට අපගේ දැනුමේ සීමාවන් අතික්‍රමණය කිරීමේ දර්ශනයයි. එහි ප්‍රතිපක්ෂය වන්නේ – හේගල්ට අනුව – කල්පනාකාරී දර්ශනය (reflective philosophy) වෙයි. හේගල්ගේම උපමාවක් ඇසුරින් කියන්නේනම් කල්පනාකාරී දර්ශනවාදය යනු සදාකාලිකවම පූජා මණ්ඩපය අසළ හිඳ එයට ඇතුලත්වීමේ හැකියාව පිළිබඳව ක්‍රමවේදී ගැටලු පිළිබඳව කල්පනා කිරීම වේ. නමුත් සමපේක්ෂී දර්ශනය යනු පූජා මණ්ඩපය ඇතුලට හිතුවක්කාරී ලෙස කඩා වැටීමකි. වඩාත් නිවැරදිව කියන්නේනම් මෙම ‘ඇතුල’ යනු අප සිටිනා ‘එළිය’ විසින් ස්ථාපනය කරනා ලද දෙයක් බව වටහා ගැනීමකි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සමපේක්ෂී දර්ශනය සඳහා හමුවූ පළමු පරමත්වය වන්නේ විඥානයයි – එම නිසාම එම දර්ශනය විඥානවාදී වීම වැලැක්විය නොහැකි විය. එහි තිබෙනා භෞතිකය යනු එම විඥානය විසින් ස්ථාපනය කරන ලද විඥානයේ නිමේෂයකි. පරිපූර්ණ ලෙස විඥානයෙන් තොර වූ – පරිපූර්ණ ලෙස මියගිය – භෞතිකයක් පිළිබඳව සාකච්ඡා කරන සම්ප්‍රදායික  එපිකියුරියානු භෞතිකවාදය සමග මෙම සමපේක්ෂී දර්ශනය එකතු කළ නොහැකි විය.

මාක්ස්වාදය විසින් මේ සඳහා යෝජනා කළ විසඳුම වූයේ භාවිතය තුළ මෙයට විසඳුමක් සෙවීමයි. පූජා මන්දිරයේ දොරටුව අභියස සදාකාලිකව කල්පනා කරමින් සිටිනා – කාන්ටියානු – ඥානවිභාගවේදියා වෙත හේගල් එල්ල කළ විවේචනය මාක්ස්වාදය බාර ගනියි. නමුත් එමගින් එය සූත්‍රගත වූයේ කල්පනාකාරී දර්ශනය ඉක්මවා යාම ලෙස පමණක් නොව පොදුවේ – කල්පනාකාරී මෙන්ම සමපේක්ෂී – දර්ශනයේ ඉක්මවා යාමක් ලෙසයි. මාක්ස් ගේ ජනප්‍රිය එකොළොස්වෙනි තිසීසය ලියවෙන සන්දර්භය වන්නේ මෙයයි.

සියවස් එකහමාරක විප්ලවවාදී ව්‍යාපාරයන් ගේ ඓතිහාසික හති වැටීමෙන් පසුව අපට අද නැවතත් භෞතිකවාදය, ඥානවිභාගය සහ සමපේක්ෂණය අතර වෙනත් ආකාරයක සම්බන්ධයක් පරිකල්පනය කිරීමට බල කෙරී ඇත. ඥානවිභාගය විසින් පූජා මණ්ඩපයේ දොර අවුරා ඇති විට එය වෙත මග පෙන්වීම දැනුම නොව භක්තිය විසින් බාරගෙන තිබේ. ශක්තිමත් ලෙස නැග එන රණකාමී වාර්ගික-ජාතිකවාදයේ දේශපාලනය සඳහා අචාර්ය ධාර්මික සුජාතභාවය ලබා දෙන්නේ මෙයයි. ඥානවිභාගවේදියා සහ සමපේක්ෂී දාර්ශනිකයා අතර වෙනස අමතක කළ භෞතිකවාදයක් වෙනුවෙන් පෙනී සිටීමට අපට මෙම දේශපාලනය ඉඩ දෙන්නේ නැත. අද අවශ්‍ය වන්නේ භෞතිකවාදියා සහ සමපේක්ෂී දාර්ශනිකයා අතර නව සන්ධානයකි. ඥානවිභාගවේදියා ගේ ආගමික හැරවුම අභියෝගයට ලක් කළ හැක්කේ මේ ආකාරයටයි. හේගල් ගේ උපමාව තරමක් නවීකරණය කරන්නේනම් අද දවසේ අවශ්‍ය වන්නේ පූජා මණ්ඩපයේ අභ්‍යන්තරත්වයට ඇතුල් වීම පමණක් නොව පූජා මණ්ඩපයේ අභ්‍යන්තරත්වය තුළ නියෝජනය වන සුවිසල් සත්‍යය වෙත ඥානය පුළුල් කිරීමයි.

‘සමපේක්ෂී භෞතිකවාදය’ යනු මේ පුළුල් වැඩසටහනේ උද්‍යෝගිමත් සටන් පාඨය පමණි.

 

 

 

 

***