fb_img_1546624019344

දර්ශනය කියන්නෙ සමාජයක පවතින අධිපති කථිකාව මගින් මුළුමනින්ම බැහැර කරනු ලබන්නා වූ ප්‍රගතිශීලී නව සමාජ පැහැයක බලාපොරොත්තු කොන්දේසි සහිත මූලධර්ම අනුසාරයෙන් රැස් කිරීමට බලාපොරොත්තු වන සාමූහික ක්‍රියාකාරිත්වයක් ලගා කර ගැනීමට දරණ උත්සහයක්. මේ යටතේ එතරම් අවධානය යොමු නොකරන දේශපාලනික වශයෙන් වැදගත් තීරණාත්මක කලාපය වෙන්නෙ දර්ශනයේ ඉතිහාසය. ඒ යටතේ කොමියුනිස්ට්වාදයට සහ සමාජවාදයට අපගේ ඇති පක්ෂපාතීත්වය තුළ අපට හමුවන සංවාද බහුල අවකාශය වෙන්නෙ විමුක්තිකාමී දේශපාලනයේ ගාමක ඉතිහාසයේ චලනයන් හදුනා ගැනීම. ඒ ඇසුරින් නිරීක්ෂණය කළ විට අපට වඩාත් වැදගත් සහ අපට වඩාත් ආසන්නතම දාර්ශනික සංවාදය ස්ථානගත වෙන්නෙ කොමියුනිස්ට්වාදයේ ඉතිහාසය තුළ ඇති වූ දේශපාලනය චලනයන් හදුනා ගැනීම. මෙම හදුනාගැනීම අතිශයින්ම වැදගත් වෙන්නෙ මානව සමූහයා දේශපාලනික වශයෙන් ගන්නා ලද තීරණ (ප්‍රංශ විප්ලවය, 1789න් පසු ප්‍රංශයේ – ජර්මනියේ – ඔස්ට්‍රො හංගරි ප්‍රදේශයන්වල සාපේක්ෂ වශයෙන් ඇති වූ ප්‍රගතිශීලී ව්‍යාපාරයන්, ඔක්තෝබර් විප්ලවය…) සහ ඒ ප්‍රගතිශීලී ව්‍යාපාරයන් අදාල ඉතිහාසය තුළ සිදු කළ අත්වැරදීම් නැවත සිදු කිරීම වළක්වා ගැනීම සදහා ශක්තියක් ඇති කර ගැනීමේ මූලාරම්භක ප්‍රවේශය හදුනා ගැනීම සදහා. ලංකා සමාජයේ මේ මොහොතේ ක්‍රියාකාරී විමුක්තිකාමී දේශපාලනය සහ පොදුවේ ඕනෑම සමාජයක් වෙත ඓතිහාසික අනිවාර්‍යතාවයක් වශයෙන් මුහුණ දීමට සිදුවන බාධකය වෙන්නෙ ධනේශ්වරයට අදාල තීරණාත්මක ඌනනයක් වශයෙන් ජාතිකවාදයේ නිරාවරණය වීම්.

විමුක්තිකාමී දේශපාලනයේ මූලික අඩිය බවට පත් වී ඇති දර්ශනය ලංකාව තුළ විවිධ ආන්තීකරණයන්ට ලක් වූ දෙයක්. මේ පොදු බාධකය ජයගැනීම සහ ඒ ඇසුරින් විමුක්තිකාමී දේශපාලනයට මැදිහත් වීම සදහා අප කළ යුත්තේ අපගේ දේශපාලන ක්‍රියාකාරිත්වයන්ට සමගාමීව කොමියුනිස්ට්වාදී ඉතිහාසය තුළ ප්‍රතිගතීය අයුරින් නිරාවරණය වූ අගතීන් සම්බන්ධව ගැඹුරු කියවීමකට යාම. මොකද ඒ කියවීම තුළින් විතරයි අවම වශයෙන් කොමියුනිස්ට්වාදී ඉතිහාසය තුළ සනිටුහන් වුණ ව්‍යාජයන් සලකුණු වෙන්නෙ.

මේ සදහා පිළිතුර තියෙන්නෙ සමාජය තුළ අපි යෝජනා කරන දේශපාලනය කෙරෙහි පොදු මිනිසාගේ එකගතාවයක් ලබා ගැනීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදය තුළමද? මේක අද වෙනකොට උණුසුම් සංවාද නිරාවරණය ආතතීන් බහුල කලාපයක්. මෙම ආතතීන් සමග ගනුදෙනු කරමින් විමුක්තිකාමීත්වය (දේශපාලනයේ) සහ දර්ශනය අතර සම්බන්ධතාවය නිවැරැදිව හදුනා ගැනීම සදහා ගත් කිසියම් උත්සහයක් ඊයේ දින කොළඹ විශ්ව විද්‍යාකලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ කාමර අංක 226දි සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරිපත් වුණා. ඊයේ දින සංවාදය ජාතික චින්තන කණ්ඩායමේ පුද්ගල දායකත්වයක් සහ ඊට දාර්ශනිකව සහ දේශපාලනිකව අභිමුඛ වීමට උත්සහයක් ගන්නා පුද්ගල දායකත්වයක සුවිශේෂී උනන්දුවකින් පැවැත්වුණා. විශේෂයෙන්ම 1980 දශකයේදී මාක්ස්වාදී දේශපාලන ආස්ථානයන්ගෙන් තීරණාත්මක ලෙස ඉවත් වූ නලින්ද සිල්වා ධනේශ්වරයට සහ සිංහල බෞද්ධයන්ට සහ සිංහල බෞද්ධකරණයට නැඹුරු වීමට එකග පිරිස් සදහා විමුක්තිය ලගා කර ගැනීම සදහා රාජ්‍යයක් ගොඩනැගීමට නිර්මාණාත්මක සාපේක්ෂතාවදය පදනම් කරගනිමින් දාර්ශනික ගොඩනැංවීමක් සිදු කරනවා. මේ ප්‍රයත්නය අද වන විට ධනවාදයේම ගොදුරක් බවට පත් වී තිබුණත් මේක තමයි ලංකා සමාජය තුළ මේ මොහොතේ දෙන ලද අධිපති දේශපාලනයේ මූලිකම දාර්ශනික පදනම. දෙමළ විමුක්ති අරගලය මුළුමනින්ම යටපත් කිරීමට සහ සිංහල බෞද්ධ ජාතිකවාදයට තර්ජනයක් වූ/ විය හැකි සාමූහික ජනවාර්ගික කණ්ඩායම් මුළුමනින්ම බැහැර කිරීම සදහා පශ්චාත් යටත් විජිත ලාංකේය රාජ්‍යයට ප්‍රතිමානක අවසරයක් ලැබෙන්නෙ මෙම දාර්ශනික පදනම හරහා. ධනේශ්වර විප්ලවයක් වෙත හෝ අවසාන වශයෙන් වඩාත් යහපත් දේශපාලනයක් ගොඩ නැගීමට ගන්නා (පොදුවේ කොමියුනිස්ට්වාදය නමින් හදුන්වන ප්‍රයත්නය) උත්සහයේදී පවතින අධිපති දේශපාලන යථාව සමග අභිමුඛ වීමට සිදු වීම අනිවාර්‍යයක්. ඒ යටතේ අද ලංකාවේ පවතින අධිපති දේශපාලනයේ දාර්ශනික පදනම සමග තීරණාත්මක සංවාදයක් ඇති කර ගැනීම සහ එම දාර්ශනික පදනමේ වලංගුභාවය ප්‍රශ්න කිරීම ඉතාමත් තීරණාත්මක ප්‍රවේශයක්. ඒ යටතේ ඊයේ දින ගත් උත්සහය ස්ථානගත වෙන්නෙ නිර්මාණාත්මක සාපේෂතාවාදයට අභ්‍යන්තරික විවේචනයක් වශයෙන් ඒ සදහා පැමිණි පිරිස තුළ අවම වශයෙන් සංවාදයට අදාල මූලික ප්‍රවේශයන් පිළිබදව යම් අවබෝධයක් ඇති වූවා නම් එම තත්ත්ව අපගේ උත්සහයේ සාර්ථක බව පිළිබදව ධනාත්මක හැගවුමක් බව කිය යුතුයි. ඊට අමතරව කාලය පිළිබදව ඇති අර්බුධ ජයග්‍රහණය කරමින් සංවාදයට පැමිණි තමළුට විශේෂයෙන් අගය කිරීමටත් කැමතියි.

විඳුරංග කීරවැල්ල